![]() |
උඹලා
රකින්න පොරොන්දු දෙන රට කියන්නේ.... |
ඇයි මේ මිනිස්සුන්ට මෙහෙම ගහන්නේ...ඒ මිනිස්සු හොරා කෑවද...? ඒ මිනිස්සු නිදන් හෑරුවද...? ඒ මිනිස්සු කුඩු විකුණුවද...?
අර මිනිස්සුන්ට උඩ පැන පැන පයින් ගහන
එවුන්ට ගෑස් ටික, තෙල් ටික, හාල්, කිරිපිටි නිකම් හම්බ වෙනවද...
නිල ඇඳුම අඳිද්දි දෙන පොරොන්දුවේ තියනවද
පවතින රජයේ ඕනෙම තුච්ඡ නියෝගයක් පිලිපැදගන උන්ගේ තුන්මුල්ල දිවෙන් ලොවනවා කියලා...
නෑ බං... ඔය එකක්වත් නෑ. උඹලා රකින්න පොරොන්දු
දෙන රට කියන්නේ රාජපක්ෂලා නෙවෙයි බං... රට කියන්නේ අපි... මේ අපි...
උඹලට පුලුවන් නම් අපිට කියල දියන් අතේ ගල්
කැටයක්වත් නැති මනුස්සයෙක්ට පස් හය දෙනෙක් වට කරගන ගහන එකේ ආතල් එක මොකද්ද
කියලා...
ඕක මානසික රෝගයක්. උඹලා මානසික රෝගීන්. ඒ වගේ මානසික රෝගීන් අතට ආයුධ දීලා- අපේම සල්ලිවලින් උන්ට පඩිත් දීලා- අපිටම වෙඩි තියපන් කිවුවම, අහිංසකයෝ ටිකක් ඔය උඹලගෙන් ගුටි කන්නේ.
තිරිසනෙක්ගේ තිරිසන්කමට සීමාවක් නැතුව
ඇති. ඒත් මනුස්සයෙක්ගේ තිරිසන්කමට සීමාවක් තියෙන්න ඕන. ඒ එතන ඉන්නේ මනුස්සයෙක්
නිසා. මනුස්සයෙක් විදිහට කරන හැම ක්‍රියාවකටම
තමන් සමස්ත මනුස්ස සංහතියටම වගවෙන්න ඕන නිසා.
ඒත් ඔය තිරිසන් වැඩේ ඉවර කරලා තමන්ගේ
ගෙදරට ගියාට පස්සේ උඹට පුලුවන්ද ගෙදර අම්මගේ,
තාත්තගේ මූණ
බලන්න... තමන්ගේ බිරිඳගේ මූණ බලන්න.... දරුවන්ගේ... අඩුම උඹට පුලුවන්ද උඹ යාලුවෙලා
ඉන්න කෙල්ල එක්ක "ඊයේ දුන්නා එකෙක්ට... අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න"
කියලා කියන්න.
![]() |
මොකද, උඹේ අම්මලා තාත්තලා ඉන්නෙත්
අපේ දෙමාපියන් එක්ක ඉස්පිරිතාලේ එකම බෙහෙත් පෝලිමේ. උඹේ ගෑණි ඉන්නෙත් අපේ ගෑණු
එක්ක එකම ගෑස් පෝලිමේ.... |
දිමුතු
සොම්නස් හිතවතා බුකියට ලියා තිබුණු දොම්නස දනවන සටහනකින් කොටසක්
තමයි ඒ.
දිගටම නිදිගෙ පංච තන්තරේ කියවගෙන එන ඔයාලට මතක ඇති, මම පසුගිය කොටස අවසන් කළ
විදිහ:
‘2022 මැයි
6
වෙනිදා
හවස. කට ඇරුණා විතරක් නෙවෙයි, හීල්ලුණා; හොඳටම
ඇඬුණා;
පපුව
පැලෙන තරමේ තරහකින් වෛරයකින් හිත පිරුණා....
දියත
උයන කිට්ටුව,
බත්තරමුල්ලේ
පාර්ලිමේන්තු පිවිසුම අසල- ඌරු කොටුව පාරේ ‘හොරු ගෝ ගමේ’ උද්ඝෝෂණයට
කෙරුණු පහර දීම් දකිද්දී...
කාගෙන්
අණ ලැබුණත් මිනිස්සුන්ට පුළුවනිද මෙච්චරටම අමානුෂික වෙන්ඩ... කෘෘර වෙන්ඩ... මෙයාල
පොඩි කාලේ අම්මලාගෙන් බීලා තියෙන්නේ කිරිද, රීරිද?
පෝස්ටු
මාලාවේ ඊළඟ කොටස ලියනකල්, ඔයාලට පුළුවනිද මට මේ තත්ත්වේ තේරුම් කරලා
දෙන්න?’ මං ඔයාලට
කිව්වා.
ඒ post එක publish කරලා ඉවර වෙලා, මුහුණු පොතේ සරද්දී තමයි දිමුතුගේ සටහන ඇහැ
ගැටුණේ. ඒක මටම ලියාපු උත්තරයක් වගේ! ඒ නිසාමයි, ඒ විස්තරය මුලින්ම ඔයාලට කියවන්නට
දෙන්න හිතුවේ. (ස්තුතියි දිමුතු!)
ඔන්න එහෙනං,
දැන් ඔයාලව ආපහු එක්ක යන්නංකො කොළඹ මහ ඉස්පිරිතාලෙට. මතකයිනෙ මං කියපු වාක්‍ය දෙක.
‘දොස්තර
මහත්තයාගේ මේසයට ටිකක් එහායින් තිබුණු පුටුවල තවත් හත්-අට දෙනෙක් වාඩි වෙලා
හිටියා. ඒ ගොඩේම හිටි තරුණයෙක් දැක්කාම මං වහන්සේගේ කට ඇරුණේ අප්පල්ලයක් වගේ!’
එහෙම වුණේ
පැය 36කට වැඩි කාලයක් තිස්සේ ‘ගෝඨා ගෝ ගමේදී’ මං එයාගේ රසිකයෙක් වෙල හිටි නිසා.
නිකම්ම නිකං රසිකයෙක් නෙවෙයි උග්‍ර රසිකයෙක්; උමතු රසිකයෙක් වෙලා හිටි නිසා!
හැබැයි එයා actor කෙනෙක් නෙවෙයි; Dancer කෙනෙකුත් නෙවෙයි. ඒකට
මොකෝ, මිනිහගේ performing සුපිරි!
‘අපි එනවා
කොළඹට - මයින එක්ක දුවන්ට///
සර් තමයි හොඳට කළේ - ඉඳ ගත්තොත් තැලෙයි මොළේ///
තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ///
ගෝ ගෝඨා - ගෝ ගෝ///’ වගේ සටන් පාඨ තාලෙට කියවෙනකොට- එයා ආවේශ වෙනවා, වයින් කරපු
බෝනික්කෙක් වගේ. රඟන්න පටන් ගන්නවා.
‘ගෑසුත් නෑ
- ලයිටුත් නෑ
කිරිපිටි නෑ - ඉන්ධන නෑ
සිස්ටම් එක - වෙනස් නොකර
ජයක් අපට - ඇත්තෙත් නෑ’
![]() |
ඒ
තරං ඉස්තරං අභිනය පෑමක් ඒ හාදයා ළඟ තිබ්බේ. පුදුම ආවේගයක්; ආවේශයක්; වෙහෙසට පත් නොවීමක්! |
තුන්හුලස්
හැඩයක් ගත්තු බැරියර් පෙළක් උඩ අසීරුවෙන් වාඩි වෙලා ඉඳගෙන තමයි, මයික්‍රෆෝන අත
දරාගෙන එතැන හිටි තරුණ අරගලකරුවන් කතා පැවැත්තුවෙත්, සටන් පාඨ හඬ නඟමින් කිව්වෙත්.
උපවාසයට
වාඩි වෙච්චි මට හරි කෙලින්ම පාරෙන් එහා පැත්තෙයි ඒ රංගනයන් ‘අට්ටාලගත’ වුණේ.
අර කොල්ලාව
(කොල්ලා කිව්වේ වැඩි ආදරේට මිස ගරහන්න නෙවෙයි මහත්තයෝ!) දුටු මොහොතේ හිටන්ම මගේ
ඇහැ ගියේ එයාටයි. ඒ තරං ඉස්තරං අභිනය පෑමක් ඒ හාදයා ළඟ තිබ්බේ.
පුදුම ආවේගයක්; ආවේශයක්; වෙහෙසට පත් නොවීමක්.
මාව බලන්නට එන හැම හිතවතෙකුටම, හිතවතියකටම වගේ මං ඒ හාදයාව පෙන්නුවත් එක්ක- ලොකු වරුණාවකුත් කරලා.
දැන් එයාවත් ඉස්පිරිතාලෙට ගෙනත්. මාව ගෙනාවත් එක්කම. ඇයි ඒ? එතකොටත් එයාගේ අතකට කැනියුලාවක් හයි කරලා. එහෙම කරන්නේ, විටින්-විට බෙහෙත් එන්නත් කරන්න හරි, සේලයින් දෙන්න හරි තියෙනවා නම්නෙ.... පුටුවේ වාඩි වෙලා හිටියට මගේ ඇස්-කන් සේරම තිබුණේ එයාලා ළඟ...
“නම
මොකක්ද?”
“සඳරුවන් ...”
“ගම?”
“අනුරාධපුරේ...”
“එච්චර දුර ඉඳලද මෙහෙ ගෙනාවේ....”
“නෑ.... මම ගෝල්ෆේස් හිටියේ....”
“භාරකාරයෙක් නැද්ද? වාට්ටුවෙන් ටිකට් කැපුවට පස්සේ අනුරාධපුරේ යන්න සල්ලි
තියෙනවද?”
සඳරුවන් උත්තර නැතිව නිස්සද්ද වුණේ ඇයි...
![]() |
එහෙනං
සේරම ගෝඨා ගෝ ගමේ.... අරගලකාරයෝ! |
දොස්තර මහත්තයාගෙන් සමාව ඉල්ලලා, මං වහන්සේත් සඳරුවන්ලගේ කතාවට හොට දැම්මා. “සඳරුවන්.. මාත් ගෝල්ෆේස් යන්නෙ... ආපහු. මගෙත් එක්කම ඔයාටත් යන්න පුළුවන්....”
සඳරුවන් ළඟ
හිටි ඉස්පිරිතාල කාර්ය මණ්ඩලයේ කෙනා (තනතුර නොදන්නා නිසයි එහෙම ලිව්වේ.) හිනා
වුණා. “මෙයාගේ ටිකට් කපන්න වෙන්නෙ නං හෙට උදේ තමයි!”
“ආ... එහෙනං
දෙන්නම ගෝඨා ගෝ ගමේ.... අරගලකාරයෝ!’ දොස්තර මහත්තයාගේ කටහඬේ තෙතමනය වැඩි වෙලා
වගෙයි මට දැනුණේ.
“හැබැයි...
ඔයාටත් හෙට උදේ වෙනකල් වාට්ටුවේ ඉන්න වෙනවා.”
එහෙම කරන්නට බැරි බව කියලා, මගේ කැමැත්තෙන් ටිකට් කපාගෙන යන විත්තියත් මම එතුමාට කිව්වේ එතකොට. ඒ අතරේ මට පෙනුණා සඳරුවන් හෙමි-හෙමිහිට කැනියුලාව වටේට අලවලා තිබ්බ ප්ලාස්ටර් කෑලි දෙක ගලවනවා හොරාට- හොරාට.
“මට බේත් එපා! මැරුණත් මට එහාට යන්නයි ඕනේ.... මං මළත් කමක් නෑ එහෙදී...” කියලා, ප්ලාස්ටර් කෑලිත් එක්ක ගුලි කරපු කැනියුලාව බිමට දාල, සඳරුවන් සෝපානය ළඟට දිව්වා. ඊළඟට අඩියට දෙකට තරප්පු පෙළ ළඟට ......මොකද වෙන්නේ කියලා හිතා ගන්නවත් ඉඩක් නොතියා, මිනිහා ඒක දිගේ පල්ලෙහාට දිව්වා.
හින්දි,
මලයාලම්, කන්නඩ film එකක එන භාවාතිශය දෙබසක් වගෙයි නේද, සඳරුවන්ගේ ප්‍රකාශය. වෙන
කෙනෙක් මට කිව්වා නම්, මං වුණත් මේ කතාව විශ්වාස නොකරන්න තිබ්බා. නමුත්, මගේම
දෙසවන් මට විශ්වාසයිනෙ. ඒ වචනවල ගෞරවය; අයිතිය සම්පූර්ණයෙන්ම අයිති සඳරුවන්ටයි!
(තවත් සඳරුවන්ලා දහස් ගාණක් ‘ආදරයේ අරගල බිමේ’ ඉන්න බව දැක ගන්න වාසනාව දැන් නං
ඔයාලටත් ලැබිලා අහවරයි!)
ලජ්ජාවෙන් වුණත් කියන්න වෙනවා, එතනදී තමයි මට හරියටම තේරුම් ගියේ ‘නොනිදන අරගලය’
කරන කොල්ලො- කෙල්ලො මොන අච්චුවේ අයද කියලා.... උන් ‘ලේ හැලුණත් පාර දිගේ - අපේ ගමන
අපි යනවා’ කියන්නේ සෙල්ලමට නෙවෙයි. ‘කෑලි කපා කපා කපා - අප වනසනු සිතනු එපා’
කියන්නෙත් නිකම්ම නෙවෙයි.....
ඉතිං,
බලහත්කාරයෙන් ටිකට් කප්පවාගෙන යන බව ලියලා, අත්සන් කරලා මං ගියේ වාට්ටුවේ
වැසිකිළියට. ‘මෙහෙදිම තියෙන මුත්‍රා බර නිදහස් කරගෙන ගියාම ලේසියිනෙ.’
ඒ කාරිය කර ගන්න අතරේ මට කල්පනා වුණේ ‘මේ වෙලාවේ ත්‍රී වීල් එකක් අල්ල ගන්න ඇහැක් වෙයිද, එහෙම කර ගත්තත්- ගෝල්ෆේස් එකට යාගන්න පුළුවන් වෙයිද’ කියන කාරණා. හිතිවිල්ල ඉවර වෙන්නත් කලින් උත්තරේ ළඟටම ඇවිත්.
![]() |
ඒ
වගේම උපදෙස්, වාහනෙන්
එහාට එන්න බැරි විත්තිය කියලා.... |
“කවුද ඔයාට මෙහාට එන්න කිව්වේ?” මං ඉස්සෙල්ලාම ඇහුවේ ඒක. “ටිකට් කපා ගන්නෙ නැතිව හෙට උදේ වෙනකල් මෙහෙ ඉන්නයැ... එතකොට උපවාසේ....”
නෙවිල් උත්තර දුන්නේ නෑ. මං ඊළඟ ප්‍රශ්නෙත් ඇහුවා. “කොහොමද මෙහාට ආවේ?”
“අර
ඇම්බියුලන්ස් එකේ ගෑනු ළමයා ටෙලිෆෝන් කරලා කිව්වා ‘තමුසෙව හෙට උදේ වෙනකල් වාට්ටුවේ
නවත්තනවා’ කියලා. ඒකයි මං මෙහාට ආවේ...”
අපි දෙන්නා පහළට එද්දිත් මං කල්පනා කළේ සඳරුවන් ගේට්ටුවෙන් එළියේ හරි හිටීවිද කියලයි. පහළ හිටි සිකියුරිටි කෙනෙක් නෙවිල්ව හඳුනගත්තා. “මේ ලෙඩාවද හෙව්වේ....”
“ ඔව්,
ඔව්... පේනවනේ... මම කිව්වේ, මෙයාට නං දුවගෙන ඇවිත් පැනලා යන්න පණ නෑ කියලා...”
එයාට විහිළු. ඒත් ඉතිං මේ යක්ෂයාට බනින්න ඇහැකිය.
“නෙවිල්ට මතකද, අර දඟල දඟල හිටි හාදයා....” මං සඳරුවන්ගෙ විස්තරේ කිව්වා.
“ඒකා ඉස්පිරිතාලේ ගේට්ටුවෙන් එළියට දිව්වලු කඩාගෙන.... මම හොයන්නේ එයාවද කියලා මේ
මිනිස්සු ඇහුවනේ....” නෙවිල් කිව්වා.
එහෙනං සඳරුවන් පයින්ම ගෝඨා ගෝ ගමට දිව්වද?
අපි
නෙවිල්ගේ වාහනේට යන්නත් කලින් ඉඳලාම කෝල්ස්... ප්‍රියන්තලා, නදීලා, අයස්මන්තලා වගේ
වගේ ගොඩ දෙනෙක්ගෙන්... ඒ වගේම උපදෙස්, වාහනෙන් එහාට එන්න බැරි විත්තිය කියලා.
‘සේරම පාරවල් වහලා. ගොඩ දුරක් ඔය මනුස්සයාට ඇවිදගෙන එන්න පුළුවන්ද?’
‘මට මොකද ඇවිදින්න බැරි?’
එකම පාරවල්වල රවුම් ගහලත්, වාහනේ නවත්තන්න ඉඩක් ලැබුණේ කොටුවේ, චැතැම් ස්ට්‍රීට්
එක ආසන්නයෙ තැනක විතරයි. ඒකත් වෑන් එකක් පිටත් වෙනකොටම අපි එතැනින් යමින් හිටි
නිසා!
අපි දෙන්නා
එතන ඉඳන් ගාට- ගාටා පයින්ම උපවාස කුටියට එද්දී, අපි එනකල් තලපත්පිටියේ ප්‍රියන්තලා-
නදීලා කට්ටියම එතන! ඒත් එයාලා හිටිද්දීම, ගෝඨා ගෝ ගමට ආව නඩ දෙක තුනක්ම උපවාස කුටි
දෙකම ආක්‍රමණය කරලා, අත්පත් කරගෙනත් ඉවරයි; අපි එතන නොහිටිය පැයේදී.
එයාල රෙදි
එලාගෙන, එකා-පිට එකා වැටිලා නිඳිත් එක්ක.
![]() |
කරුණාකර
සංසුන් වෙන්න.... අපේ මල්ලිලා කීප දෙනෙක් ඉක්මනට මේ ඉස්සරහට ඇවිත් මේ සිදු වීමට... |
(හොඳ වෙලාවට නෙවිල් මගේ බෑග් එක එහෙම කාර් එකට දාගෙනයි ඉස්පිරිතාලෙට ඇවිත් තිබුණේ.) අපි එනකොට උපවාස බැනරය නං එතැනම තිබුණට, ලොකු ජාතික කොඩිය... රුපියල් හයසීයක් දීලා ජයශංඛ අරං දුන්නු කොඩිය අවතැන් වෙලා.
ඒ අස්සෙම (අපේ කුටිය සකසා දුන් හිතවතාගේ සගයන්) තුන් දෙනෙක් මාව හොයාගෙන ආවෙ... “අංකල්ට කොහොමද? xxx අයියට එන්න විදිහක් නැති හින්දයි අපිව එව්වේ... එයාගේ මෝටර් සයිකලේ උස්සලා....” (ඒ විදිහට බලද්දී අපේ කොඩිය නැතිවීම මහ දෙයක්ද?)
ඊට ටිකකට පස්සේ ‘යකඩ කටෙන්’ ඒ විත්තිය නිවේදනය කෙරුණේ, තවත් ආරංචියක් එක්කයි.
“... මෝටර් සයිකලය විතරක් නෙවෙයි, වැගන් ආර් මෝටර් රථයකුත් අද රෑ හොරකම් කරලා...
ඉතිං, ආදරණීය හිතවතුනි, ඔබේ මොබයිල් ෆෝන්, පර්ස්, බෑග්ස් ගැන හොඳ අවධානයකින්
ඉන්න....”
අවධානයෙන්
හිටිල්ල කොහොම වෙතත්, ඊට ටිකකට පස්සේ ‘අරගල අට්ටාලය’ ඉදිරිපිටම පොදි කමින් හිටි
පිරිස කලබල වෙනවා පෙනුණා.
“කරුණාකර සංසුන් වෙන්න.... අපේ මල්ලිලා කීප දෙනෙක් ඉක්මනට මේ ඉස්සරහට ඇවිත් මේ සිදු වීමට මැදිහත් වෙන්න...... කරුණාකරලා එයාලට ඉඩ දෙන්න....” කියනවා ඇහුණා විතරයි, කිරා වැටෙමින් හිටි රාජන් උන්නැහෙත් පාර පැනලා ඒ පැත්තට ගියා.
ටිකකට පස්සේ
එයා ආවේ, විස්තරෙත් අරං. “පොකට්කාරයෙක් අහු වෙලා... පොලීසියට ගෙනිච්චා... ගහන්න
දුන්නැතිව බේර ගත්තේ මෙහෙ කට්ටිය.”
මෙහෙ
කට්ටිය?
මෙතැනදී
තමයි මට මතක් වෙන්නේ, මේ postsවල දෙවැන්නට D.G.M. බස්සා මහතා එවා තිබ්බ comment එක.
හ්ම්... දැන්
ටිකක් තේරෙනවා. බලාගෙන ගියාම, අපේ සහජ ගති
ඇරිලා නෑ. මේ වාහෙලත් එක්ක, අරගලය ඔය
තත්ත්වයෙන්වත් පවත්වාගෙන යන එක පුදුමයක්.’
‘හරි හරි කිසිම අවුලක් නෑ’
“මට එහෙම නිඳා ගන්න බෑ.” / “නෙවිල් මාමා නිඳා ගන්න...” / “නෑ, නෑ... ඔයා..” එයාලා
වාද කර ගන්න අතරේ මං බිම දිගා වුණා.
හයට නෙවිල්
අපිට ඇහැරවනකල්ම මම නං හිටියේ මර නින්දේ. බලද්දී එතැනම නිඳාගෙන තියෙන්නේ අකලංක. අපි
ඇහැරෙනකොට අපේ කුටි දෙකේ ආක්‍රමණිකයනුත් ගිහින්; සම්පතුත් ගිහින්.
“මාත් ගෙදර
ගිහින් හවසට එන්නං.”
“නෙවිල්, ඊට කලින් මම අකලංකත් එක්ක ගිහින් මූණ-කට හෝදගෙන එන්නං....”
එතකොටත් තාවකාලික වැසිකිළි හයේ දිග පෝලිමක්. පිරිමි පැත්තෙ. නොඉවසිල්ලෙන් නළියන
දෙතුන් දෙනෙකුත් ඒකෙ.
“ලේඩීස්ලා නැහැනේ. එහාට යං...” එක්කෙනෙක් ඉස්සර වුණේ යෝජනාව ඉදිරිපත් කරමින්. කියන
පමාවෙන් තව දෙන්නෙක් එයාගෙ පස්සෙන් රේස් එකක....
ඊට එපිටින් තිබුණු වතුර ටැංකිය ළඟදී මමත් ලජ්ජාව පැත්තකින් තියලා කමිසය ගැලෙව්වා. පොඩි තුවාය තෙම-තෙමා අත-පය පිහිදා ගත්තා. මං එහෙම කරගෙන ඇවිත්, ආපහු ප්ලාස්ටික් පුටුවට බර දෙන අතරේ වෙන්න ඇති, සමින්දික ශ්‍රීමන්ත fb එකට මේ පණිවිඩය කොටන්න ඇත්තේ.
• අප්‍රේල් 24 7.42
උඹ නම් යකෙක් 'නිදි'
ඊයෙ හවස මම
බලන්න ගිය වෙලාවෙ ‘හරි හරි කිසිම අවුලක් නෑ’ කියලා හිනා උනා. එහා පැත්තෙ
හාමුදුරුවෝ අමාරු වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කළා කිව්වා. කලිනුත් කීප දෙනෙක්
හොස්පිට්ල් ගෙනිච්චා- මම තවම බේරිලා ඉන්නවා කියලා ශක්තිමත්ව කිව්වා.
![]() |
උන්ට
හෙණ ගහන්න ඕනි පුතේ... මේ කරන අපරාදෙට.... |
ගෙදර ඇවිත්
පැය කීපයකින් ආරංචි උනේ ඔහුව හොස්පිට්ල් ගෙනිච්චා කියලා. සීනි එකවර අඩුවීමක්. නිදි
වෙනුවෙන් බ්ලොග්කරුවෝ ගෲප් එක ඔහුව රෝහල්ගත කරපු එක වෙනුවෙන් සතුටු උනේ ඔහු ගැනම
හිතලා.
අද උදේ...
"අන්න නිදි
ආයෙත් උපවාසයේ..." ගෲප් එකේ උන් එහෙම කියද්දි මට කියවුනේ, මූ නම් යකෙක්
කියලා. හැමෝම කිව්වෙ නිදිගෙ අසනීපෙ නිසා මේක නවත්තන්න ඕනි කියලා. මගෙ යටි හිත
කිව්වෙ මූට මේක කරන්න දෙන්න ඕනි කියලා.
නිදිට වයස 68යි.
අපි හරියට උන්නා නම් තරුණ උඹලට අද මෙහෙම පාරවල් දිගේ කෑගහන්න වෙන්නෙ නෑ කියලා පැය
68ක උපවාසයක් කරන්න නිදි ඉඳගත්තෙ.
හෙට උදේ
නැගිටිනකල්,
ගැම්මෙන්
හිටපං නිදි අංකල්!’
ඒ ගැම්මෙන් නං ඉන්න බැරි වුණා සෑම් මැයි නවවෙනිදා දවල්,
ටෙලිෆෝන් කෝල් එකක් ආවාම.... “රංජි පුතේ...” සෝමා
පුංචියි කතා කළේ, බදුල්ලේ ඉඳලා.
“අනේ රත්තරං
පුතේ.... ඔයා එහෙම කොහෙවත් යන්න එපා... හොඳද...... අපි කොච්චර පරෙස්සමටද පුතේ ඔයාව
හැදුවේ... ඔයා පරෙස්සම් වෙන්න ඕනි රංජි පුතේ...”
“මම විතරක්
පරෙස්සම් වුණාම හරිද පුංචි?” කියලා අහන්නයි මට ඕනි කළේ. ඒත් මට ඒකවත් කියා ගන්න
බැරි වුණා. ඉකි ගැහි-ගැහී ඇඬෙන්න ගත්තා.
එවෙලෙ මට මොකද වුණේ?
“ඇයි, ඇයි රංජි පුතේ අඬන්නේ.... ඉවසල හිටිමු මයෙ පුතේ. උන්ට හෙණ ගහන්න ඕනි පුතේ... මේ කරන අපරාදෙට....”
මේ නිහීන පාලක
රොත්තත් එක්ක,
ගොබ්බයන් වගේ
අවනීතියට රජ වෙන්න දීල අහක බලාගෙන හිටි රටේ ආරක්ෂකයනුත් එක්ක;
තමන්ට වගේම කැමති මතයක්
දැරීමේ අයිතිය අනුන්ටත් තියෙනවයි කියලා නොහිතපු තුච්ච පක්කලි සේනාවත් එක්ක තරහෙන්
පිපිරෙමින් හිටි මම මොනවා කියල කරන්නද?
ඔව් සෑම්, ඊට පස්සෙත් මට කතා කරපු සේරමලා දැනගන්න ඇති මගේ දුක.
![]() |
හැමෝම
පක්කලියන් නෙවෙයි; හැමෝම
කැනහිල්ලුත් නෙවෙයි; පරාර්ථකාමී
උත්තම මිනිස්සුත් ඉන්නවා! |
එහෙම අසරණ වෙලා ඉන්න වෙලාවක ඇස් පනාපිටම සිද්ද වෙන අකටයුත්ත දැක-දැක කොහොමද ඉවසගෙන ඉන්නේ? සත්තයි! මැරෙන තරං දුකක්....
ඒ වෙලාවේ දැනුණු අසරණකම-
දැනුණු තරහව දැනුයි ටික-ටික තුනී වේගෙන යන්නෙ...
මොකුත් හිතා ගන්න බැරිව;
මොකුත් කර ගන්න බැරිව; මෙහෙම අසරණ වෙලා ඉන්නවට වැඩිය හොඳ නැද්ද මැරෙන එක....
එහෙමයි මට හිතුණේ. නිර්වින්දනය වෙලා වගේ දවස් දෙකක්ම ඉඳලයි ආයෙම මේ ලියන්න ගත්තෙත්.
අනාගතේ ඉපදෙන අයට හරි කියවන්න; දැනගන්න මේවා ලියල තියන්න හිතාගෙන....
ඔව්, හැමෝම පක්කලියන් නෙවෙයි; හැමෝම කැනහිල්ලුත් නෙවෙයි; පරාර්ථකාමී උත්තම මිනිස්සුත් ඉන්නවා- යහපත් වැඩවලට උදව් කරන අයත් ඉන්නවා. ඒ උතුම් මිනිසුන් ගැනත් ඉතිහාසයේ ලියවෙන්නම ඕනි, මෙහෙමවත්.
මං කිව්වනේ මගේ පුටුවට කෙලින්ම පාරේ අනිත් පැත්තෙ තිබුණු අට්ටාලය ගැන. ඒක කිට්ටුවට හිමිදිරියේම එනවා වාහන කිහිපයක්. එක වාහනයක් නං තුන් පාරකට විතර ආයෙ-ආයෙම ආව, හැමදාම. උදේට කෑම අරං.
තවත් වාහනයකින් ගෙනාවේ පාන්. එයාලම සීනි සම්බෝල වගේ මොනවා හරිත් ගෙනාවා. එතකොටම ඒ
කුටිය ඉස්සරහ දිග පෝලිමක් හැදෙනවා. පාන් කපන්න දෙතුන් දෙනෙක්/ ඒවා මැදට සීනි
සම්බෝල දාන්න දෙතුන් දෙනෙක්/ බෙදන්න තව අය..... ready පිට හිටියේ...
ඒ අතරේම කිරි පැකට්... වතුර බෝතල්.... (එක දවසක් උදේට බෙදුවේ පරිප්පුයි පානුයි!)
‘තමුසෙ ඔච්චර විස්තර දන්නෙ එතැන ඉඳන් උපවාස කෙරුවද.... එහෙම නැති නං ඔත්තු බැලුවද?’
ඉතිං ඊට පස්සේ.....