li Item

Monday, April 26, 2021

ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස

එක්කෙනෙකුටවත් මගේ වමත අල්ලන්නටවත් මං ඉඩ දුන්නේ නැත.

“මේ වැඩේ හරි යන්නේ නෑ මචං.... ඉක්මනට හොස්පිටල් එකකට යන්නත් ඕනිනේ. අපි ගිහින් වෑන් එක අරගෙන එමු....” ප්‍රියන්ත කිව්වේය.

එහෙම ඉක්මනින් එන්නට පාරක් නැතිකම ගැන ප්‍රියන්ත හිතුවේ නැත. ඉලුක්- මානා- ගඳපාන පඳුරුවලින් වැසී තිබුණු ලන්ද මැදින් වෑන් රථය අරගෙන එද්දී සිදුවිය හැකි අකරතැබ්බයන් එකක්වත් ගැන ඒ මොහොතේ ප්‍රියන්ත හිතන්නට නැතිය. 

“යමු මචං.... අපි දෙන්නා දුවලා යමු....” මර්විනුත් අඩියක් පෙරට තියලා අහවරය. දෙන්නාම ඉගිල්ලුණහ.         

“අපි නිමල් අයියව ඉස්පිරිතාලෙට ගෙනියන්නෙත් ජොකා පිටින්මද?” එක්කෙනෙකු ඇහුවේ එතකොටය. ලජ්ජාවේ බැරිය. අර ගෙදර තිබුණු මණ්ඩියට එනතුරුමත් මං ඉඳලා තියෙන්නේ නිඝණ්ඨනාථපුත්තගේ පුතණ්ඩියා වගෙය. “කෝ නිමල් අයියගෙ ඇඳුම්?”

“මේ තියෙන්නේ...” නාඳුනන හිතවතා දියෙන් ගොඩට ගෙනා මගේ shopping බෑගය අතේ තියාගෙන හිටි කෙනා එය දිග හැරියේය. තවමත් ෂොපින් බෑග් එකෙන් වතුර බේරෙයි! වතුරට ගසාගෙන යන්නට නොදී අර හිතවතා මගේ බෑගය අල්ලාගෙන තියෙන්නේ දියබත් වුණාට පස්සෙය.
මං තෙත යට ඇඳුම පිටින්ම සිටියදී, දිය බේරෙන කලිසම අන්දවන්නටත් දෙතුන් දෙනෙකුම ඕනෑ විණි. කමිසය ඇන්දවීම නං බොරුය. එක්කෙනෙකුටවත් මගේ වමත අල්ලන්නටවත් මං ඉඩ දුන්නේ නැත.

අලුත් අවුරුදු චාරිත්තර නූලට කරන සමහරුන් නම් නොනගත වෙලාවට ගෙදර කෙනෙකුටවත්....

“නිකං උරිස්සට උඩින් පොරවාගෙන යං!” අවස්ථානුකූලවූ ඒ යෝජනාවය, අන්තිමේදී ක්‍රියාවට නැංවුණේ....

“මහත්තයලට මොනරාගල ඉස්පිරිතාලේටම තමයි යන්න වෙන්නේ.... නොනගතේ වෙලාවේම....” ගෙදර කෙනෙක් කිව්වේය. ඒ කිව්වෙත් ටිකාක් විතර පසුතැවිල්ලකින් වගෙය. අපට නොනගත වෙලාව ගැන වගක්වත් තිබුණේ නැත. අපේ කට්ටියම එහෙන් වතුරත් ඉල්ලා ගත්හ. ඔවුන් එහෙම අපට වතුර දුන්නේ  නොකර බැරිකමටද?

අලුත් අවුරුදු චාරිත්තර නූලට කරන සමහරුන් නම් නොනගත වෙලාවට ගෙදර කෙනෙකුටවත් කිසිම කෑමක්-බීමක් දෙන්නේ නැත.

අපේ සුනිල්ගේ බිරිය, මල්ලිකාත් එහෙම කෙනෙකි. “මේ අම්මණ්ඩි මටයි, පුතාල දෙන්නටයිවත් තේ එකක් බොන්න ඉඩ දෙන්නෙ නෑ අයියේ, ඔය වෙලාවට.”
මල්ලිකාලගේ අම්මාත් එහෙමය!
 අපේ ගෙදර පුරුද්ද වෙලා තිබ්බේ නම් නොනගතයට කලින් කන-බොන දේවල් උයා-පිහා සූදානම් කර තියා ගැනීමය; අමතර ළිපකුත් කුස්සියට පිටතින් හදලා තියා ගැනීමය. තේ එකක්වත් හදා ගත්තේ ඒ ළිප පාවිච්චියට අරගෙනය.

පෝයදාට තැබෑරුම් වහන නිසා, කල් තබාම බෝතල් ගෙනත් තියා ගන්නවා වගෙය!

‘වළන් කඩේ සම්පතාචතාරික සමයේදී; අළු බදාදා සිට මහා සිකුරාදා තෙක් කාලයේදී.....
ඒ අතින් සිංහල බෞද්ධ අප පට්ට වංචාකාරයන්ය; බොරුකාරයන්ය; තමන්වම රවටා ගන්නවුන්ය.

මීට කලිනුත් ඔබට හමුවී ඇති ‘වළන් කඩේ සම්පතා’ චතාරික සමයේදී; අළු බදාදා සිට මහ සිකුරාදා තෙක් කාලයේදී මත්පැන් කටේ තියන්නේ නැත. ඒ විත්තිය හෙළි වුණේ අවුරුදු දෙක තුනකදීම, ඒ දිනවල trips ගියාමය. බොන තැනම හිටියත්, අනෙක් අයට සංග්‍රහ කළත් සම්පත් ‘සිල් බිඳ ගත්තේ’ නැත.

එහෙව් සිංහල බෞද්ධයෙකුට මට හමුවී තිබෙන්නේ ප්‍රියන්තගේ නැඟණියක හා විවාහවී සිටින සාන්ත (කිංස්ලි හේවාගමගේ) විතරය. සාන්තලාගේ ගෙදර පෝය දවසට මස්-මාළු ඉවීමක්, මත්පැන් පරිභෝජනයක් නැත. සම්පතුත්, සාන්තත් මගේ නොමඳ ගෞරවයට පාත්‍ර වන්නේ ඒ ප්‍රතිපත්තිගරුක බව හින්දාය.

මා තදින්ම අදහන විදිහට, ‘හොරෙකුට වුණත් ප්‍තිපත්තියක් තිබිය යුතු’මය. 

දෙවෙනි වතාවේ පරෙයියන් ඇල්ලට ගියාමත් අපට ඉතාමත් දයාන්විත වැඩිහිටි යුවලක් හමු විණි. වතුර ටිකක් ඉල්ලුවාම ඔවුන් හැදුවේ ‘තේ කහට කෝප්පයක්’ හදන්නටය. “එපා අම්මේ! වතුර තමයි හොඳ....” අපි කීවෙමු. ඒ ගෙදර නම් තියෙන්නේ පරෙයියන් ඇල්ලට යන පඩිපෙළ පටන් ගන්නවාත් එක්කම වගෙය.

අප පළමු වතාවේ ගිය පාර නොවේ දැන් තියෙන්නේ...

බැරි-බැරි ගාතේ ගාටමින්, විනාඩි දහයක්-පහළොවක් ඉස්සරහට යන්නටත් කලින් ප්‍රියන්ත වාහනය රැගෙන ආවේය. අපේ කට්ටිය තදබදවී හිඳගෙන, මට නිදහසේ වාඩි වෙන්නට ඉඩ දුන්හ.

මං දන්නේ ට්‍රොලියක උඩුබැල්ලෙන් හොවා වාට්ටුවකට අරගෙන යනවා....

වාහනය පෙරට ඇදුණේ ත්‍රාසජනක චිත්‍රපටයක වගෙය; වේගයෙන් නොවේ! හෙමින්ය. ඒත් එය ඒ පැත්තට- මේ පැත්තට වැනෙයි; පෙරළෙන්නට හදයි. ඒ වාරයක් ගණනේ; තත්පරයක් ගණනේ මට කෙඳිරි ගෑවෙයි. හෙමිනුත් නොවේ....

එහෙම දිහාවක; පාරක් නොවෙන තැනක, වළ ගොඩැලි තියෙනවාදැයි නොපෙනෙන තරමට පඳුරු වැවී ඇති ඉසව්වක වෑන් රිය පැදෙව්වාට ප්‍රියන්තට වෙනම තෑග්ගක් දෙන්නට වටියි.

එයාලා මාව අරගෙන ගියේ මොනරාගල රෝහලටය. රෝහලට ඇතුළත් කරගැනීම වගේ දේවල් කොහොම කෙරුණාදැයි අදටවත් මං දන්නේ නැත. ට්‍රොලියක උඩුබැල්ලෙන් හොවා වාට්ටුවකට අරගෙන යනවා නම් හීනයකින් වගේ මතකය.

අවුරුදු දවසේ දොස්තර මහත්වරුන්ටත් අවුරුදු තිබේ. අපට ටික වෙලාවක් බලාගෙන ඉන්නට වුණාද, නැතිනම් එදා මට වෙලාව ගතවුණේ හෙමින්ද? මට තවමත් නිනව් නැත.

“තමුසෙගෙ ඉලව්ව හින්දා එදා අපිට කන්නත් නෑ හලෝ!” පස්සේ දවසකත් නෙවිල් නම් මට දොස් කිව්වේය.

ඇත්තය! අපේ නඩයේ කෝකියා වුණේ මං වහන්සේය. උයන-පිහන වළන්-පිඟන් අරගෙන යන්නේ අපේ ගෙදරිනි; හාල්-තුනපහ-එළවලු-කරවල සේරම අරගන්නෙත් මංතුමාමය. අපරාදේ කියන්නට බැරිය. ඒ දවස්වල අපේ කට්ටියෙන් හුඟ දෙනෙකුට තේ එකක් හදන්නටවත් නොහැකිය.

මූ තේ හදලා තියෙන්නේ ටී බෑග්ස් ටික ඉරලා දාලා....

එහෙම එක්කෙනෙක් දවසක් තේ හැදිල්ල බාර ගත්තේය. (නම ඕනෑ නැත. කෙනෙක් කිව්වාම ඇතිය!) “මචං, කිරි තේ හදහන්!” ඒ අස්සෙම කවුරුන්දෝ එයාට නියෝග කළේය.

Tea bags ගෙනිහින් තිබුණු විත්තිය මම ඒ හාදයාට මතක් කළෙමි. “අපි දහ දෙනාට ටී බෑග්ස් පහළොවක් විතර දාලා හදන්න වෙයි... එතකොට හොඳට කහට එනවා!” කියලාත් මම වැඩි හොඳට කිව්වෙමි.
“නිමල් අයියේ, පිටි හැඳි කීයක්ද?” මනුස්සයා එහෙමත් ඇසුවේ, තිතට වැඩේ දෙන්නටය. සීනි හැඳි ගණනත්....

“පිටියි, සීනියි හොඳට කලවම් කරලා ගන්න... එතකොට කැට වෙන්නෑ....”

එයා කිරි තේ හැදුවේය; හදලා තේ පෙරන ගොට්ට හොයන්නට පටන් ගත්තේය. “පෙරන්න තරම් දෙයක් නැහැනෙ මහත්තයෝ...” වෙනින් වැඩක හිටි මම ඒ පැත්තවත් නොබලා කිව්වෙමි.
අපේ කතා නායකයා කොයිතරං විශ්වාසබල්ද කියනවා නං තව කෙනෙක් ගිහිං, එතැනට හොම්බ දමලාය.
“නිමල් අයියේ, මූ තේ හදලා තියෙන්නේ ටී බෑග්ස් ටික ඉරලා දාලා....” මහ සද්දෙකි; හිනා ගොඩකි.

අසරණ කතා නායකයා විපිළිසර වෙලාය. “එහෙම නැතිව කොහොමද හොඳට කහට ගන්නෙ?”

උත්තර දුන්නේ සභා තොමෝය. ‘$#$## *#%***’

අපේ හිතවතා නෙවිල් අනුරසිරිත් ඊට දෙවෙනි නැතිය; ඒ දවස්වල. එතකොට හැමදාම එළවලු කපන්නේ නෙවිල්ය. ඒ රාජකාරිය සීරුවට කරලා පැසසුම් ලබා හිටි මේ මනුස්සයා, වතාවක් පිකප් වුණේය. මූසිල වෙන්නට තැනුවේය.

ඔන්න අපේ යාළුවෝ!

“අද මම ගොටුකොළ සම්බෝලෙ හදන්නං... මොකෝ, තමුසෙට විතරද පුළුවන්?” කියලා වහසි බසුත් දෙඩුවේය. මම ඉඩ දුන්නෙමි.
මනුස්සයා සැරෙන්-සැරේ මගෙන්ම විස්තර අසා ගනිමින් ගොටුකොළ සම්බෝලය හැදුවේය. අන්තිමට මෙහෙමත් ඇසුවේය.

“මේක ළිපේ තියන්නේ මොකකට දාලද?”

මාව මොනරාගල රෝහලේ හදිසි අනතුරු අංශයට දාලා, අපේ කට්ටිය ගිහින් තියෙන්නේ බඩට යමක් දමා ගන්නටය. උයන්නට හිටි මං වාට්ටුවේ දපා තියා ඉන්නා බැවිනි!
“අවුරුදු දවසේ කඩ වහලනේ...” එයාලා කුසගිනි නිවාගෙන තිබුණේ ‘යන්තං සන්තං පදං...’ දේවල්වලිනි.

“අපි එහෙමයි! හැබැයි, තිබුණා නං බඩ පැලෙන්න කනවා, තමුසෙ නැති එකට පිං දිදී... නොතිබුණු හින්දා ඉක්මනට ආවා තමුසෙට කියලා රෑටවත් මොනවා හරි උයවා ගන්නව කියලා...”

ඔන්න අපේ යාළුවෝ!

දැන් එයාලට ඕනෑ කරන්නේ හැකිතාක් ඉක්මනින්, මාත් එක්කම රෝහලෙන් චුත වෙන්නටය.

“කොහෙදිද අත ආපහු දාන්නේ?”
“ගොඩක් පරක්කු වෙයිද?”
“තියටර් එකකට ගන්න එකක් නැහැ වගේ පෙනෙන්නේ........ මිසී කෙනෙක් කිව්වා ඩොක්ටර් කෙනෙක් දැන් එයි කියලා...” නලින් කිව්වේය. “... අපේ බැචෙකුත් මෙහෙ ඉන්නවා.... කොයිකටත් කියලා මං පණිවිඩයකුත් තිබ්බා මිනිහට.... බලමු, මිනිහත් අවුරුද්දට ගෙදර ගිහින්ද දන්නෑ... නිමල් අයියට අමාරුයි නේද?”

ඔය කපන කොටන එව්වා බලන්න මට ටිකක් අමාරුයි, දත් හිරි වැටෙනවා.

අහන්නත් දෙයක්ද? අමාරුය.
හැබැයි, කොයි තරම් අමාරුවෙන් හිටියත් මට මගේ ගැන අමතක වුණේ නැතිය!

‘ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන්- දෙවෙනි කොටස’ට comment එකක් එවමින් බකමූණු කතා’ බ්ලොග් අඩවියේ කතුවර D.G.M. බස්සා මහත්තයා මෙහෙම කියලා තිබුණේය. 
‘කලින් එකයි මේකයි දෙකම බැලුවෙ හරි අමාරුවෙන්. ඔය කපන කොටන එව්වා බලන්න මට ටිකක් අමාරුයි
, දත් හිරි වැටෙනවා. පෝස්ට් එකේ වරදක් නෙමෙයි, ඒ අපේ හැටි...
බොරු කියන්නෙ මොකටෑ
, හැබැයි, ප්‍රාජේ උන්නාන්සෙගෙත් හොම්බ රිවට් කරපු කතාව දැක්කාම නං, මට හිනහා ගියා.’

මේ තියෙන්නේ මං එතුමාට දුන් උත්තරයෙන් ටිකකි.

‘බස්සා මහත්තයෝ, 1999 කාලේ මාත් තමුන්නාන්සේ වගෙමයි. ඉන්ජෙක්ෂන් එකක් ගහන්න නෙවෙයි, බරවාවලට පරීක්ෂණ සඳහා රෑට ගෙදරට ඇවිත් ඇඟිල්ලෙන් ලේ ගනිද්දීත් කෙඳිරි ගානවා.
ඒකටත් එක්ක දැන්. පහුගිය මාර්තු 15 වෙනිදා කෙරෙන පරීක්ෂණවලට ලේ ගන්න ගියාම කටුව දිගේ ලේ එන්නෙ නෑ. අත් දෙකේ තැන් අටකට වැඩිය විදිනකල් උහුලාගෙන ඉන්න වුණා....’

සංසාරේ හැටි එහෙමය.

එදා වෙච්චි දෙයින් කොටසක් විතරය මං බස්සා මහතාට ලිව්වේ. එක තැනකට-දෙකකට-තුනකට කටු ගහලාත් හරි යන්නේ නැතිකොට මිසී නෝනලාට upsetය; හොඳටෝම අප්සෙට්ය; ප්‍රශ්න පිට ප්‍රශ්නත් ඇසුවෝය. “මේ මොකද අනේ.... කටුව වැදුණට ලේ එන්නෑනෙ...”

වාට්ටුවේ සේරම මිසීලා නිමල්ව වට කරගෙන එහෙන් මිරිකනවා.... මෙහෙන් මිරිකනවා....

“තව පාරක් try කරන්නද?”
“අනේ නිමල් අයියේ.... රිදෙනවද?”

දැන් ඉස්පිරිතාලේ සේරමලා වගේ අඳුනන නිසා එයාලාටත් දුක ඇති!

“කමක් නෑ නංගි. තව තැනක් try කරමු. Tests ටික කරන්න කොහොම හරි ලේ ගන්නත් ඕනිනෙ.”

කැල්සියම් කියලා test එකකුත් කෙරෙන නිසා අත තදින් වෙළන්නටත් බැරි හින්දාය, වැඩේ තවත් අසීරු. නර්ස් නෝනා මහත්මීන්ලා දෙතුන්-දෙනෙකුම දැන් මගේ වටේ රොක් වෙලාය. එක්කෙනෙක් මගේ එක අතක නහර මතු කරගන්ට තැත් කරයි. තව කෙනෙකු අනෙක් අතේ...

“නංගී, දැන් දකුණු අතේ නං ලේ එන්නෙම නැති තරම්...” මා කිව්වේ මාස ගණනාවක හිට කෙරෙන දේවල් මතක නිසාය.

“දැන් අයස්මන්ත සර් ආවොත් අපිට බැනුම් අහන්නත් වෙයි, මොකද මෙච්චර පරක්කු කියලා!” තවත් ප්‍රශ්නයකි!
එයා එන්නට කලින්ම, නෙවිල් අනුරසිරි ගින්න අවුළුවලාය.
“අද ලේ අරගෙන ඉවරයි මචං.... නිමල් හෙණ ආතල් එකක් ගන්නවා මිසීලට කියලා මසාජ් කරවාගෙන... වාට්ටුවේ සේරම මිසීලා නිමල්ව වට කරගෙන එහෙන් මිරිකනවා.... මෙහෙන් මිරිකනවා.... එක යුද්දයක් මචං... මිනිහා ලේ හංගගෙන...”

එහෙම ගිහිල්ලාත්, හරිම අමාරුවෙන් පරීක්ෂණවලට ඇති තරමට ලේ ගන්නට හැකි වුණේ නවවෙනි වතාවේය.

මෙදා වගේම එදා; 1999දීත් මට උදව් ඉල්ලන්නට වුණේ...

“දෙයියනේ... මේ මොකෝ මේ?” එක මිසී කෙනෙක් අහනකොටය මාත්, අනෙක් මිසීලාත් දැක්කේ. ලේ එන්නෙ නැතිව තිබුණු දකුණතේ සිදුරු කළ තැනකිනුත් ලේ ඇවිදින්ය. ටිකක් හෙමත් නොවේ.

තුනී කමිසයේ පදාසයක් තෙමාගෙන ගැලූ රුධිරය, මං ඇඳගෙන හිටි ඩෙනිම් කලිසමේ ඉණ පටියටත් කාන්දු වෙලාය. ඒක දිගේ ගලලා විතරක් නොවේ, ආපහු කමිසයේ පිටුපස පැත්තෙනුත් මතු වෙලාය.

දන්නවානේ, මගේ ලේ කැටි ගැසෙන්නේ හොඳටම අඩුවෙන්ය!

“නිමල් අයියට 😋😋😋 මාරු වෙලා!” නෙවිල් වාට්ටුවේ මිසීලාට ඉඟි-මරමින් කියයි.
කමිසය මාරු කර ගන්නට හිතා, ගෙනිහින් තිබුණු අමතර කමිසය වාට්ටුවට ගෙනවිත් දෙන්නයි කිව්වත්, ඒකට කීකරු වුණේ නෙවිල් නොවේ. “තමුසෙට ඕනි දේවල් වාට්ටුවට ගේන්න මතක තියා ගන්නවා, මීට පස්සෙවත්... බම්බුවටද ඒවා ගෙනාවේ බෑග් එකේ තියෙද්දී මෙහාට එන්න නං...”

මොනවා කරන්නද? මෙදා වගේම එදා; 1999දීත් මට උදව් ඉල්ලන්නට වුණේ නෙවිල්ගෙන්ය.

“දන්නවනෙ මගෙ විදිහ... නෙවිල්. අත හරි ගස්සනකොට ඔයාලා දෙතුන්-දෙනෙකුවත් මාව අල්ලා ගන්න... මම පයින් ගහයි... කෑ ගහයි!” මගේ හැටි දන්නා හින්දාමය, මං කිව්වේ.

“බය වෙන්න එපා නිමල් අයියෙ... injection එකක් විදලා වැඩේ කරයි මගෙ හිතේ...” නලින් එතකොට කිව්වා මතකය.

එන්නතක් විද්දාද නැද්ද කියලා නම් මට මතක නැත. වේදනාව නම් දිගටෝම තිබෙය.

අම්ම කෙනෙක් වාට්ටුවෙදී අලි පැටියෙක්ව වදලයි කියලා...

දොස්තර මහත්වරුන් එක්ක, අපේ මිතුරෝ හැමෝමත් මගේ ගිලන් ඇඳ වටේට රොක්වී සිටියහ. දොස්තර මහත්තුරුන්ට පහසුවක් කරන්නට වගේ මිතුරු දෙතුන් දෙනෙක් මගේ දෙකකුල් අල්ලාගෙන; ඇඳට තෙරපාගෙන හිටියහ. තවත් එක්කෙනෙක් දකුණතත්....

ඊට විනාඩියකට විතර පස්සේ...

“ආයෙ දෙකක් නෑ. අපි නිමලයව අල්ලාගෙන නොහිටියා නං මූ දොස්තර මහත්තුරුන්ට පයින් ගහනවාමයි!”

“වස ලැජ්ජාවයි මචං... මේකා හිටපු වාට්ටුවට අල්ලපු වාට්ටුවේ හිටියේ බබාලා හම්බ වෙන්න හිටි අම්මලා... මුගෙ කෑ ගැහිල්ලට මිසීලා දුවගෙන ආවේ... අම්ම කෙනෙක් වාට්ටුවෙදීම අලි පැටියෙක්ව වදලයි කියලා...”

“ඇයි යකෝ, ඔච්චර දෙයක්වත් ඉවසගෙන ඉන්න බැරිද, කෑ ගැහුවේ? ලජ්ජාවෙ බෑ!”
ඇසින් දුටු සාක්ෂිකරුවෝ අදටත් මතක් කරති; සිහිපත් කරමින් මට ගරහති!

එයාලට කියන්නට නම් අමාරු නැත. එතෙක් එවැනි වේදනාවක් මා විඳ තිබුණේ නැතිය. එයාලාට ඉසිලීමට බැරි තරම් ලජ්ජාවක් මා නිසා සිදු වුණු බවත් බොරුවක් නොවේ. ඒ තරම් සද්දෙටය, මං කෑ ගසා තිබුණේ. මගේ ඒ දුක්බර විලාපය ඇසී සෑහෙන දෙනෙක් එතැනට දුවගෙන ඇවිත් සිටියහ.

“අපි හිතාගෙන හිටියේ අත දාපු ගමන්ම ඔයාව ඩිස්චාර්ජ් කරයි කියලා.... ඔයා කෑ ගහපු හැටියට Doctorsලා බයයි ඔයාගේ ටිකට් කපන්න... පැය කීපයක්වත් ward එකේම තියාගෙන බලන්න ඕනිලු.....”

“ඒකනෙ. අදම එක්ගල්ඔය යන්න වෙන්නේ නෑ ඉතිං.... මෙහෙන් නවතින්න තැනක් හොයා ගන්නයි වෙන්නෙ...”

... නලින් එවූ මංගලලාගේ පවුලේ foto එක ලැබිණි.

“අපිට දිගටම මෙතැන ඉන්නත් බැහැනෙ... ගිහින් හවසට එන්නං...”
“නිමලෝ.... Take it ඊසි! උඹ බය වෙන්න එපා!”

මට සැනසිලි වදන් දොඩා, අපේ නඩය පිටත්ව ගියහ.

මගෙන් මෙහෙම බ්ලොගයක් ලියවෙන බව දන්නවා නම් හෙම, ඒ දවස්වලම සේරම විස්තර අසා ගන්නවාය. මට මතක තියෙන්නේ ඇසූ- දුටු දේවල් හා පසුව කියැවුණු දේවල් විතරය.

දැන් කළ යුතුව ඇත්තේ මංගල- අනූපමා දෙන්නා ඊළඟ ජවනිකාවට සම්ප්‍රාප්ත කරවන රාජකාරියයි. ඒත් මට එයාලගේ ඡායාවක්වත් මතක් කරගන්නට බැරිය!
දැන් ඒ දෙන්නා ඉන්නේ එංගලන්තයෙලු. ඒ බව මට කිව්වේ දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නා වෛද්‍ය නලින් ප්‍රියදර්ශන හිතවතාත්,  තවමත් ලංකාවේම ඉන්නා අයස්මන්ත පීරිස් මහත්තයාත්ය.

ඒ යුවලගේ foto එකක් හොයා දෙන්නැයි මම නලින්ටත්- අයස්මන්තටත් කීවෙමි. වාසනාවක් තිබ්බොත්....*** බලමු නේද!

***(මේ පෝස්ටුව කොටලා ඉවරවී, වැරදි නිවැරදි කරන්නටත් කලින්ම නලින් එවූ මංගලලාගේ පවුලේ foto එක ලැබිණි. ගොඩාරියක් ස්තුතියි නලින්!)

මේ කතාවේ, මේ කොටසට මංගල- අනූපමා යුවලගේ සම්මාදම ගැන මා දන්නා ටික විතරය මේ කියන්නේ. මංගල මහත්මාණෙනි, අනූපමා මහත්මියනි. මේවා ලියන්නේ ඔයාලා ගැන යාන්තමකවත් අහිතකින් නොවේ. ඔයාලාට මදි පුංචිකමක්; අවමානයක් කරන්නටත් නොවේ. සත්‍යයම ලියා තැබීමේ පුරුද්දට අනුගත වෙමින්, කෘතඥතා පූර්වක ස්තුතියකුත් පිරිනමන්නටය.

එදා ඇඳිරි වැටෙද්දී මගේ ටිකට් කප්පවා ගන්නට හැකි වුණි.

මට උරමාවකුත් යොදා තිබිණි. මෙහෙම නවීන එන්නේ එකක් නොවේ. සරල උරමාවක්...

රෝහලෙන් පිටත් කර එවන්නට කලින්ම, මට උරමාවකුත් යොදා තිබිණි. සරල උරමාවක්... බැන්ඩේජ් පටියකින් වමත වෙළා, එයින්ම බෙල්ල වටේ එල්ලලා....

එහෙම රෝහලෙන් එනකොට නම් මං හිටියේ හොඳටම හාංචි-පයිස් වෙලා හයින්-හාමතේය. යකෙකු කන තරම් සුදහ ගින්දරේය.

ප්‍රියන්තලා එදා රෑ නවතින්නට හොයාගෙන තිබුණේ මොනරාගල නිවහනක කුඩා කාමර දෙකකි.

“නිමල්ට නං අද යන්තම් මූණ හෝදගන්නයි වෙන්නේ... ඔයාට අත තෙමන්නත් එපයි කිව්ව නේද... අපි නං දවල් වතුර ඇලකින් නා ගත්තා...” ප්‍රියන්ත මතක් කළේය.

“මට හොඳටම බඩගිනියි... ප්‍රියන්ත.”

“Tea එකක් order කරලා තියෙන්නෙ නිමල්. අපේ මල්ලිගේ බැචාලා ජෝඩුවක් හම්බ වුණා hospital එකේදී. එයාලා අපිට ඉන්වයිට් කළා ඩිනර් එකට... ඇඳුමක් මාරු කරගෙන තේ එක බීලා එහාට යං... රෑ වෙන්නත් හොඳ නැහැනෙ....”

ඇත්තම කියන්නට වෙයි. මට දැනුණු විදිහට නම් අප කවුරුනුත් අර ආරාධිතයන්ගේ නිවහනට ගියේ ‘ඉතියෝපියානුවන්’ වගෙය. යනකොටත්.....

20 comments:

  1. Horivila weda mahatthaya mathak una. One my friend dislocated shoulder (we were near Habarana)Habarana Bank manager gave us direction to Horivila.

    We went, waited about 30 min to see weda mahattaya. He came, did not ask anything, applied some oil asking my friend mahattayage gama koheda, then my friend screamed 'Ammo'. Then weda mahatthaya said okkoma hari, dan yanna puluwan. Wijebahu

    ReplyDelete
    Replies
    1. හොරිවිල වෙද මහත්තය වගේ උතුම් දක්ෂයන් ගැන තවමත් ගොඩ දෙනා කතා කරනවා විජේබාහු මහත්තයෝ.
      හිතට දුක එහෙව් දක්ෂයන්, ඒ දැනුම් පද්ධතීන් අතුරුදහන් වේගෙන යන එක ගැනයි!

      Delete
  2. මේ කොටස කියවන්න එච්චරම අමාරු වුනේ නෑ. කාලෙකට ඉස්සර දුර්භික්ෂ්‍යක් තිබුණට ඉතියෝපියාව දැන් වෙනස් කියල තමා කියවෙන්නෙ. තාම පුරුද්දට එහෙම කියනව වෙන්ටෑ?

    ReplyDelete
    Replies
    1. https://www.washingtonpost.com/news/to-your-health/wp/2017/10/31/screams-torture-and-so-much-blood-the-gruesome-world-of-19th-century-surgery/

      https://thoughtcatalog.com/jessica-winters/2016/11/31-incredibly-gruesome-photos-of-the-human-body-during-actual-surgeries/

      Delete
    2. Thanks, but NO. Yes, I do have a dictionary and know the meaning of "gruesome"

      Delete
    3. බැස්සා මහත්තයෝ, ස්තුතියි.... අපි ඉස්සර ඉතියෝපියාව පරද්දන්නයි යන්නේ.., ඒක හිතාගෙනයි මම එහෙම ලිව්වේ.

      Pra Jay මහත්තයා එවලා තියෙන linksවලට ගියාම නම් මාවත් හොඳටම සලිත වුණා!

      Delete
  3. ඔය බස්තියන්තුමා කොහොමත් හොට , හොම්බ, බස්සො, නරි, ආඳො පටලවගෙන ඉන්නෙ තමන්ගෙ ගැලවීමට

    ReplyDelete
    Replies
    1. හොට පැටලුනා කිව්වා, කොහේද? එක්කො, නැතුවට කාරි නෑ, මොකටෑ නිකං විහින් ඉල්ලගෙන කන්නෙ.

      Delete
  4. https://www.healthline.com/health/shoulder-subluxation

    https://modernnurse.com/joy-of-nursing/

    https://www.thehealthy.com/healthcare/doctors/50-secrets-nurses-wish-tell/

    ReplyDelete
  5. ඔය මොණරාගල ඉස්පිරිතාලෙට ඒ පැත්‍ තෙ මිනිස්සු කියන්නෙ සිරිගල ඉස්පිරිතාලෙ කියල. ටවුමෙ ඉදන් සියඹලාණ්ඩුව පාරෙ එච්චර දුරක් නැති උනාට ඒ හරියට කියන්නෙ සිරිගල ලු!
    අපේ යාලුවෙකුටත් ඔය අත පනින ලෙඩේ තිබ්බා කැම්පස් යන කාලෙ. අපේ කට්ටිය නං කිව්වෙ ඔය අත පනින්නෙ වැඩිපුර අතේ.........හුටා තව ඩිංගෙන් කියවෙනවා!!

    ReplyDelete
    Replies
    1. හස්ත කර්මාන්ත කරපුවම කියල. අනේ මං දන්නෙ නෑ ඔව්වයෙ ඇත්ත නැත්ත...නෙවිල් ගෙං අහල බලන්ඩ....

      Delete
    2. ඔව්වා එහෙම බාලයන්ගෙන් අහගන්න යන්නේ කවුද ලොකූ? නෙවිල් උස මහතට හිටියාට මට වැඩිය බාලයිනේ!

      Delete
  6. රිදෙන තරම හිතාගෙන දැනටම බය වෙලා අත පය කඩා ගන්නේ නැතුව ඉන්ඩ තීරණේ කළා .. හෙහ් හෙහ් ..

    මම පොඩි කාලේ මෙනින්ජයිට්ස් හැදිලා ඉස්පිරිතාලේ ඉද්දි අත් දෙකේම කටු ගගහ ඉන්ජෙක්ෂන් ගහපු හැටි මතක් වුනා.. පොඩි හින්ද නහර හොයා ගන්න බැරුව වැරදි තැන් වලට කටු ගහපු වේදනාව දැනුත් දැනෙනවා වගේ.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා.... එහෙම පරෙස්සං වෙන්ට ඇහැකි නං බෝම හොඳා පැතුම්!
      කරුමේ කියන්නේ මට ඔය සංවරේ පිහිටලා නැති එකනෙ.... ඉස්සරහට බලන්නකො, මම පරෙස්සං වෙච්චි අපූරුව...

      Delete
  7. සෑහෙන කාලෙකින් එන්න වුනේ. ලංකාවේ ඉඳිද්දී එකක්වත් බලන්න ලැබුනේ නැහැ. තේ හදපුමෙකටයි සම්බෝල හදපු එකටයි නම් හිනා ගියා. එහම නෙවිල්ලත් ඉන්නවනේ. :)

    ReplyDelete
    Replies
    1. දැක්කා, දැක්කා fb එකෙන් දැක්කා අජිත් මහත්තයා ලංකාවට ආ විත්තියත්, හැකි තරමින් එහෙ-මෙහෙ ගිය විත්තියත්... සුවසේ ආපහු ගිය විත්තියත්. අම්මා නිදුකින් බවත්!
      එන-එන හැටියට ගහ උලුවස්සා කියාගෙන අපිත් ඉන්නවා!

      Delete
    2. බොරු කියන්න ඕනේ නැහැ. උඹව හම්බ වෙන්න කිසිම ඕන කමක් තිබ්බේ නැහැ මචෝ . සිටුවේෂන් එක හරි නැති නිසා. මට ආයි බ්‍රිතාන්‍ය ප්‍රභේද ගේනවා කියයි. හේ හේ අම්ම ඉන්න නිසා ගෙදරට ආවේ ගියෙත් සිලෙක්ටඩ් ෆිව් විතරයි.

      Delete
    3. ඒකට මොකෝ? මොන ප්‍රභේද ඇවිත්ය කිව්වත් අපි නං මේ මාසයේ දවස් 12ක්ම හිටියේ එහෙ-මෙහෙ. වැඩියත්ම කැලෑ වැදිලා....

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්