li Item

Tuesday, August 10, 2021

දාහතර වෙද්දී... - අටවෙනි කොටස

මටත් දේශපාලනයට ගෑවෙන්නටය තිබුණේ...

ඔව්! අපේ මේ නාට්ටියට සිංදු- දෙබස් නැතිම තරම් වෙන්න ඕනි... හැමෝටම තේරුම් ගන්න ලේසි එකක් වෙන්නත් ඕනි... ඇයි ලස්සන.... හරිහමං නැටුම්ම නොවුණත් නැටුම් තියෙන්නත් ඕනි.... (එහෙම හිතුවේ අද වගේම එදාත්. මං දන්නා නැටුම් ශාස්ත්‍රයක් නොතිබුණු හින්දයි!)

බලාගෙන යද්දී මටත් දේශපාලනයට ගෑවෙන්නටය තිබුණේ... අද දේශපාලකයන් වැඩි දෙනෙකු කරන්නේත් ඔවුන් මෙලෝ හසරක් නොදන්නා දෙයකි.
එදා මාත් කළේ ඒකය!
 

අපේ මූලික සාකච්ඡාවේදී, නාට්‍යයට ගැළපෙන කතාවක් යෝජනා කළේ කවුදැයි කියලා මතකයි නං එයාට ක්‍රෙඩිට් එකක් දෙන්නට වටියි. ඒ තරමටම අපේ ‘විජය-කුවේණි’ ප්‍රේක්ෂකයන්ට අල්ලලා ගිය බැවින්ය, මං එහෙම කිව්වේ. ඇත්තටම මේ කතාව ගනිමු යැයි එදා කිව්වේ කවුද?
ම්හු! මතක් වෙන්නේ නැත.
අඩමානෙට වගේ මං හිතාගෙන හිටියේ, මං වහන්සේම චිත්තරපටියකින් හෙණ කොප්පයක් ගහන්නට ඇති කියලාය.

ඒ කාලේ ආපු චිත්‍රපට කීපයකම ගීත නාට්‍යයක දර්ශනයක් බැගින් තිබුණේය.
‘දුප්පතාගේ දුක’ film එකේ ‘වෙස්සන්තර ජාතකය’ එක ගීතයකට කැටි කර තිබුණු බව තවමත් මට මතකය. ‘කවුද හරි’ හා ‘ජීවන ගංගා’ තවත් එවැනි films දෙකකි.

තිරය ඇරුණාම කුවේණි නටාගෙන එනවා stage එකට...  

එයිනුත් ‘ජීවන ගංගා’ චිත්‍රපටයේ තිබුණු ‘විජය-කුවේණි’ ගීත නාටකය මං ගෙඩිය පිටින්ම copy කරන්නට ඇති බවයි, ලැජ්ජාවක් ඇතිව වුණත් හිතාගෙන හිටියේ.

මේ පෝස්ටුව ලියද්දී එම මතය නිශේධනය වෙන්නට කරුණු මතු වුණේය.
ඒ 1968යි. අපේ නාටකය කෙරුණේ 1968දීය. ‘ජීවන ගංගා’ තිරගතවී තියෙන්නේ 1974දීය.
ඒ විදිහට බලාගෙන ගියාම කොපි කරනවා නං කරලා තියෙන්නේ එයාලාගෙන් මං නොවේ; අපෙන් එයාලාය!

නමුත්, 1974 වසරේ දෙසැම්බරයේ තිරගත වුණු ‘ජීවන ගංගා’ චිත්‍රපටයේ ‘ජය කේළි බන්දන’ පරිපූර්ණ ගීත දර්ශනය- යළි යළිත් මා අතීතයට; බණ්ඩාරවෙල නගර ශාලාවට කැන්දාගෙන යයි. අපේ ගීත නාට්‍යයත් සමහර අංශවලින් එයට සමානය.
දයාරත්න රණතුංග, නාලනී රණසිංහ දෙදෙනා චිත්‍රපටයට ගයන ඒ
ගීතය අති සුමධුර එකක් බවත්; මෙතැන ලියා තැබිය යුතුමය.

“එතකොට නිමල්, සින්දුවක් කියනකොටද ඔය සේරම කෙරෙන්නේ?”
“අපෝ නෑ. එහෙම කරන්න ගිහින් බැහැ. ගීත කිව්වට කෑලි-කෑලි එක-එක තාලෙකට කියනවා විතරයි. මං ඒවා ලියලා දෙන්නංකො....” මං එහෙම කිව්වේ, නීලා අක්කා
එහ්සාන් මෙරේ දිල් පෙ තුම්හාරා හෙ’ තාලයට ‘ප්‍රියංකර පොඩි පුතුනී, පොඩියක් අහන්නකො’ සිංදුව ලියූ වග එහෙම මතක් කර ගෙනය.

බුවෙනකබා විදුහලේ එඩ්වඩ් ලොකුලියනගේ නැටුම් සර් ඒ ගීතයට නැටුමක් නිර්මාණය කොට මට පුහුණු කරවලාත් තිබුණේය. 

වැඩිහිටි උදවියත් ඔවුන්ගේ වැදගත් දේවල් පවා ලියා තිබ්බේ අභ්‍යාස පොත්වලය.

“නිමල්ම සිංදු ලිව්වත් කියන්න කට්ටිය...” ඊළඟට මතුවී ආවේ ඒ ප්‍රශ්නයයි.

“ඒක simple.... සින්දුවක්ය කිව්වට අපේ නාට්‍යයෙ වෙන්නේ මොකක්ද කියන එක තේරුම් කරන්න දාන පේළි දෙක තුනේ කෑලි ටිකක් විතරයිනෙ....
ඔන්න මෙහෙමයි. තිරය ඇරුණාම කුවේණි නටාගෙන එනවා stage එකට... ඇවිත් වාඩි වෙලා කපු කටින්න ගන්නවා. විජය කුමාරයත් එනවා දෙතුන් දෙනෙක් එක්ක...
ඊළඟට දෙන්නා එකට නටනවා....
ඔය විදිහට කෙරෙද්දී stage එකේ පැත්තකින් හිටගෙන ඉන්න කණ්ඩායම තමයි ඒ ඒ වෙලාවට සිංදුව කියන්නේ...” මගෙන් කියවෙන්නට ඇත්තේ එහෙම වෙන්නැතිය.

“එතකොට එච්චර පොඩ්ඩද?”

“නැතුව... පොඩ්ඩක් වුණාට, ඒ පොඩ්ඩ නියමෙට කරමුකෝ.... දවස් දෙක තුනයිනෙ අපිට මේවා පුරුදු වෙන්න හම්බ වෙන්නෙත්.... ඒකත් රෑකට විතරයි... ඕනිවට වඩා දිග්ගස්ස ගත්තොත් තමයි වැරදි සිද්ද වෙන්නේ. මං කලිනුත් කිව්වේ...”

ඇත්තම කිව්වොත් සිංදු ලියනවායි කියලා ලියන්නට තරම් දෙයක් තිබ්බෙත් නැති තරම්ය.
අපේ ගමනේ විස්තර; යන එන තැන් ලියාගන්නට ගෙනිහින් තිබුණු එක්සයිස් පොතේ, එක පිටුවකුත් ඒකට ලොකු වැඩි වුණේය. (ඉස්සර එහෙමය. වැඩිහිටි උදවියත් ඔවුන්ගේ වැදගත් දේවල් පවා ලියා තිබ්බේ අභ්‍යාස පොත්වලය.

අහවල් වැඩේ’ කරන්නට ඕනා විදිහ ගැන, අතින් පිටපත් කර ලියා තිබ්බාය කියූ..
-මතකයි නේද, අලුත විවාහප්‍රාප්ත වෙන උදවියට ‘අහවල් වැඩේ’ කරන්නට ඕනා විදිහ ගැන, අතින් පිටපත් කර ලියා තිබ්බාය කියූ -අර පොත-
දැනුත් ඒක මතක් කරන්නේ තවමත් සිරිබිරිස් උන්නැහෙටවත්, මටවත් ඒ ගැන මොකුත්ම හොයා ගන්නට බැරි වුණු හින්දාය. අලුතෙන් ‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළන කෙනෙකු හෝ දන්නවාදැයි දැන ගන්නටය.)

එහෙම විස්තර ඇතිව නාට්‍ය පිටපත නොලිව්වත්, ‘විජය-කුවේණි’ නම් පියවරෙන්- පියවර මගේ ඔළුව ඇතුළේ දිගටම රඟ දක්වෙමින් තිබිණි.

නාට්‍යයෙදී මුලින්ම කරන්නට තිබුණේ විජය කුමාරයා තෝරා ගන්නා එකය.
අනේ, දීඝායුව විජය කුමාරයා කර ගන්නට තිබ්බා නම් කොච්චර එකක්ද?
ඒ තරමටම දීඝායු මගේ හිත පුරාම විරාජමාන කුමාරයෙකු ලෙස වැජඹෙමින් සිටියේය; මගේ සිහිනවලත් රැඟුවේය.
එහෙත් මගේ හිතේ ඒ ළබැඳි හැඟීම තිබ්බාටම- මගේ සිහිනවල රැඟුවාටම මදිය.
වේදිකාව උඩදීත් දීඝායුට කුමාර ලීලාවෙන් රඟන්නට ඇහැකිද?

යාළු-මිත්තරකම්වලට, පරණකමට, අරවාට-මේවාට නොව සුදුසු අයට; ගැළපෙන අයට; හැකියාව තියෙන අයට තැන දෙන්නටය අපේ තාත්තා නාට්‍ය කෙරුවාවෙදී, මට පුරුදු කරලා තිබ්බේ.
(එයාට ඒ ටික කර ගන්නට බැරිව ගියේත් එකම එක විඩයක විතරය.
මරු සිරාගේ දෝණියන්දෑව ‘මාරක හී පහර’ට එක්කං ආවාමය.) 

නිමල්ට තාත්තා ගැන soft spot එකක් තියෙනවා වගේ දැන්නම්.....

තියරියක් විදිහට ගත්තොත් ඒකමය විය යුත්තේත්... සුදුස්සාට සුදුසු තැන දීම. හැම තාත්තලාම තම-තමන්ගේ දරුවන්ට එහෙම කරන්නට උගන්නල තියෙනවා නං!
එවැනි යහපත් දේවල් ගොඩාරියක්ම මට ඉගැන්නුවේ අපේ තාත්තාය.

එහෙම කියද්දීය, පහුගිය කොටසට comment එකක් එවමින්  Lotus කියා තිබුණු කතන්දරයක් මතක් වෙන්නේ.

‘නිමල්ට තාත්තා ගැන soft spot එකක් තියෙනවා වගේ දැන්නම්. කලින් පෝස්ට්වල තාත්තා ගැන මේ වගේ tone එකකින් ලියලා නෑ නේද?’

ඒ ප්‍රශ්නයට මං දුන්නු උත්තරයත්, හිතාදර ඔයාලගේ අවධානයට ලක් කිරීම හොඳය කියලා හිතෙයි. එහෙම හිතුණේ සැබවින්ම එය ‘blog ලිවීම වෙනුවෙනුත්’, පාඨක ඔබේ බ්ලොග් කියවීම වෙනුවෙනුත් මගේ ඇති කෘතවේදීත්වය කියා පෑමක්ද වන බැවිනි.

‘අම්මපා Lotus, ඔයා මනෝ විශ්ලේෂක කෙනෙක්ද?
ඔයා හරි.
හිත ඇතුළට හැරිලා බලද්දී දැන්-දැන් මං ඩිපොසිට් වේගෙන එනවද කියලත් හිතෙනවා.
බ්ලොගය ලිවීමෙන් එක්තරා විදිහක භාව විරේචනයක් සිදු වෙන පාටයි. මගේ හිත ඇතුළේ තෙරපෙමින් තිබුණු හුඟක් දේවල් දැනටමත් කියල ඉවර නිසා දැනෙන සහනය වැඩියි.
හැබැයි
, මගේ තියුණුය කියලා මට හිතෙන මතකය නිසා තාත්තා ගැන වුණත් තියෙන විවේචනය නං එහෙමමයි. ඒත් කවදත් මම එයාට දිය යුතු ගෞරවය දුන්නා.... හැබැයි මදි වෙන්නැති!
දැන්
tone එක ටිකක් soft වෙන්න 'ස්තුති භාවනාව'ත් හේතුවක්! ම්... Hey Jude බැලුවා. Queen බාගත්තා, බලන්න තියෙන්නේ. ස්තුතියි! ඒකත් හොඳ පාටයි!’

නාට්‍ය රංගනයට සුදුස්සන් සොයන්නට වෙලා තිබුණේ ඉස්කෝල තුනකින් ආ සිසුන් 18ක් අතරින්...

ඉතිං නාට්‍යයේ කතාවට ආයෙමත් යනවා නං....

18 දෙනෙකුගෙන් අපේ නාටකයේ චරිතවලට ඔබින නළු-නිළියන් (නිළියන් කොහෙන්ද, සිසුවන් විතරයිනේ එතැන හිටියේ.) තෝරා ගන්නට ගියාමය තේරුණේ, එය සෙල්ලමක් නොවන වග!

ඔව්වා කල්පනාවට ගනිද්දීය කල්පනා වෙන්නේ, ‘ඇමති මණ්ඩලය’තෝරද්දී ලොක්කන් කොහොම අමාරුවක වැටෙනවා ඇතිද?
මට තේරීමක් කරන්නට වෙලා තිබුණේ ඉස්කෝල තුනකින් ආ සිසුන් 18ක් අතරින්ය.

අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය තෝරාගන්නට වෙන්නෙත් ඡන්දයෙන් දිනූ අය අතරෙනි. වගකිව යුතු පුරවැසියන් හැටියට අප- අපගේ උත්තරීතර ඡන්ද බලය පාවිච්චියට ගෙන, පාර්ලිමේන්තුවට තෝරා පත් කොට යවන්නේ නියම සුදුස්සන්ද?

“නිමලෝ, උඹ ඔහොම කිව්වට මචං, අපිට තියෙන්නේ ඉල්ලන එවුන්ගෙන් එකෙකුට මනාපේ දෙන්න විතරයිනේ. ඔය කොයි පක්ෂෙනුත් ඡන්දෙට ඉල්ලන්න ඉදිරිපත් කරන්නේ සුදුසුම එවුන්ද?” ළඟදී දවසක ඔය ගැන කතා වෙද්දී, මගේ හිතවතෙක් ඇසුවේය.
මම නිරුත්තර වීමි.

ඡන්දාපේක්ෂකයන් ලෙස බූරුවන් ඉදිරිපත් කළාම දියවන්නා මන්දිරේට අශ්වයන්ව යවන්නටත් විදිහක් නැතිය. එහෙම බලද්දී වැරැද්ද ඇත්තේ කොතැනද...

එයාලා ගැළපුණේ ඉඳිකටු පැංචා- කෝටුකිතයියා හෝ පිනෝකියෝ වගේ චරිතවලටය.

ඉතින්, විනාඩි පහක විතර රැඟුමකට දහ අට දෙනෙකුගෙන් සුදුස්සන් තෝරන නළුවරණ රාජකාරිය මම පටන් ගත්තෙමි.

දෙකක් නැතිවම, විජය කුමාරයාගේ චරිතයට ඔබින කෙනෙකුට ඒ 18 දෙනාගේ ගොඩේ හිටියේ එක්කෙනෙකි. ඒ පෙනුම පැත්තෙන්ය.
රාජකීය පෙනුමක්; වැඩි පෞරුෂවත් බවක් පෙන්නූ, බුවෙනකබා විදුහලේ රාජා ‘විජය කුමරුට’ වඩාත්ම ගැළපුණේය. නමුත් ඒ හාදයාට නැටුම් බැරිය.... නමුදු අනිත් අයත් ඒ පලේමය.
නැටුමක් නටනවා නම්, ගීයක් ගයනවා නම් එය කරන්නට වෙන්නේ රිද්මය නොබිඳය; තාලයකටය.
අපේ දහ අට දෙනාගෙන් තාලය ඇඟේම තියෙන දෙන්නා වුණේ වසන්තත්, මවුත්ඕර්ගනය වැයූ වසන්තගේ යහළුවාත්ය.
හැබැයි ඒ දෙන්නාගෙම ළඟ රාජකීය පෙනුමක් නැත. එයාලා ගැළපුණේ ඉඳිකටු පැංචා- කෝටුකිතයියා හෝ පිනෝකියෝ වගේ චරිතවලටය.

ඊටත්, නාට්‍යයට සංගීතය සපයන්නට ඒ හිටියෙත් ඒ දෙන්නා විතරක්කොට, එයාලාව නටවන්නට අරගෙන බැරිය.
ඒ දෙන්නා අත ඇරියාම දාසය දෙනෙක් ඉතිරිය. ඒ මාත් එක්කමය.

කුවේණිය වෙන්නට හිටියෙත් මං විතරය. අජාසත්ත නාට්‍යයේ’ බිම්බිසාර දේවියවී,
විධුර ජාතක නාට්‍යයේ
‘එරන්දතිය’ වී තිබුණු රංගන පළපුරුද්දත්- මගේ නොමේරු ස්ත්‍රීමය පෙනුමත් නිසා ඒ චරිතයට වඩාත් ගැළපුණේ මේ ලියන්නාය. 

ප්‍රශ්නයක් විසඳන වෙලාවට අනිත් අයගෙන් ප්‍රශ්නයක් නොවෙන්නේ....

මං කුවේණිය වී- විජයට රාජා ගත්තාම, තව 14ක් සිටිති.

‘Stage එකේ පැත්තකින් හිටගෙන සිංදු කියන්න හය දෙනෙක්ව ගත්තත් විජයගේ පිරිවරට අට දෙනෙක්ව අරගෙන බෑ.... ඒ ගාණ හොඳටම වැඩියි.....’ මට කල්පනා විණි.

ප්‍රශ්නයක් විසඳන වෙලාවට අනිත් අයගෙන් ප්‍රශ්නයක් නොවෙන්නේ එහි බරපතළකම; වගකීම ඔවුන්ටත් දැනෙන විටදීය.

“මෙහෙමයි. රාජා, ඔයාට විජය කුමාරයා වෙන්නම වෙනවා. ඔයා තමයි පෙනුමෙන් ඒකට ගැළපෙන්නෙ. අපේ ඉස්කෝල තුනම වෙනුවෙන් ඔයාට ඒ වැඩේ කරන්නම වෙනවා.
මේ දෙන්නා සංගීතෙට... දැන් ඔයාලා 14 දෙනාගෙන් කවුද කැමති විජය කුමාරයාගේ පිරිවර විදිහට ඉන්න.....” (කල් තබාම ඒ ඒ අය ගැන ඇති කරගත් දළ අදහසක් මට තිබුණු බවත් දැන් හෙළි කළ යුතුය. එහෙත් එදා මගේ තීරණය එක එල්ලේ නොකියා, අදහස නාඟවා සිටින්නට පරෙස්සම් වීමි.)

දෙතුන් දෙනෙක් කැමැත්ත කීහ.
“තව මොනවටද කට්ටිය ඕනේ?” ඒ රණවක.

“ගායක කණ්ඩායමට. හයක්-හතක් විතර.... මම නම් කැමතියි කට්ටිය වැඩි වෙන තරමට. ඒත් අපි ඇඳුම් ගැනත් හිතන්න ඕනිනේ....”

‘ඇඳුම්?’ එයාලා කාටවත් ඒ බව හිතිලා තිබ්බේ නැති පාටය.
“කලබල වෙන්න එපා. ඒ ප්‍රශ්නේ විසඳගන්න ක්‍රමයක් මම හොයා ගන්නං. ඉස්සෙල්ලා කට්ටිය තෝරාගෙන ඉඳිමුකො.... රණවක. ඔයාට පුළුවනි නේද විජයගේ රජ කුමාර පිරිවරේ පළමුවෙනියා වෙනවා නං.”

මේ ඒ සඳහා සුදුසුම කාලයයි; නිදොස් කොට නිදහස් කෙරෙන කාලයයි!

මානසික අල්ලස් දෙන්නේ එහෙමය!

පුරාකතාවල හැටියට විජය දාමරිකයෙකි, මං පහරන දාමරික කල්ලියක leader කෙනෙකි; රටටම එපා වුණු එකෙකි. එයාගේ පිරිවර ඊටත් හපන්ය. ලොක්කාටම ගැළපෙන තගාලාය.
විජය කුමාරයාගෙන් පැවතගෙන එන උදාර සිංහලයන් වන අපි හරිම අභිමානවත් ජාතියක් වෙමු. ඒත් තවමත් (අතීතයටත් බලපාන පරිදි) සුදුසු නඩු විභාගයක් පවත්වා, විජය ඇතුළු පිරිවර ‘හොර නාමයෙන්’ නිදොස් කර ගන්නට අපට අමතක වෙලාය.
මේ ඒ සඳහා සුදුසුම කාලයයි; නිදොස් කොට නිදහස් කෙරෙන කාලයයි!

1968 සමයේ මේ විපිරියාස නොතිබුණු නිසා... ‘හොරු කට්ටියට හොරුන්ය’ නොකියා; ‘රජ කුමාර පිරිවරේ’ යෙදුම පාවිච්චි කළාම, ගතියක් ආවේය!
ඕවා නිදිගෙ ‘සම්‍යක් ප්‍රයෝග’ය. ඒවා මගෙත් එක්කම වැළලී යන්නට පෙරාතුව හෙළි කරන්නේ, තවත් කෙනෙකුට වැඩක් වෙයි කියලා හිතාගෙනය.

රණවක පොඩි හිනාවකුත් දාලා, ඔළුව වැනුවේය. තව කීප දෙනෙක්, ස්වේච්ඡාවෙන්.......

“ගායක කණ්ඩායම ගැනත් අමතක කරන්න එපා! ඒකටත් හැකියාව තියෙන අය ඕනි!”
තව පාරක්- මානසික අල්ලස්! ‘හැකියාව තියෙන අය’.

හතර-පස් දෙනෙකුම නාට්‍යයට සහභාගී වීමට ‘බැරි බව’ කියමින් පස්ස ගැසීම නිසා ප්‍රශ්නය විසඳීම මට පහසු වුණේය.
“එහෙනං... මේ කට්ටිය නාට්‍යයෙදී පේන්න හිටියි, හැබැයි ඔයාලටත් කර ඇරලා ඉන්න හම්බ වෙන්නේ නෑ. හරිද? තිරෙන් පිටි පස්සේ ඉඳගෙන මතක් කරන්න තියෙනවා.....
නියම වෙලාවට අපිව ස්ටේජ් එකට එවන්න තියෙනවා....
ඕනි කරන විදිහට ලයිට් තිබ්බොත්, එව්වා කරවාගන්න තියෙනවා.
ඒවා කරවන වැඩේ නාට්‍යයට act නොකරන අයට බාර ගන්න වෙනවා.... අපි හැමෝම එකතු වෙලා අපේ වැඩේ හොඳම අයිටම් එක කර ගන්න සටනක් දෙමු!”

පසුවදා අපට යන්නට තිබුණේ තේ කර්මාන්ත ශාලාවක් බලන්නටය.

දීඝායුත් ‘විජය පිරිවරේ’ කෙනෙකු වෙන්නට ඉදිරිපත් වුණේ මගේ හිතට සතුටක් ගෙන දෙමිනි.

“නිමල් දන්නවද? මාත් ඔය නටන jobවලට ආස නෑ. ඒත් ඔයාගේ වැඩේනේ... ඒකයි හා කිව්වේ.” එදා රෑ නින්දට යන්නට කලින් දීඝායු මට කිව්වේය. “... ඒකෙන් වුණේ රණවක පළමුවෙනියා වෙලා මං සෙකන්ඩ් වෙච්චි එක නේද.”

“ඔයා second වෙන්නේ නාට්‍යයේදී විතරයිනේ...” මට කියැවුණේ නොහිතාමය.

පසුවදා අපට යන්නට තිබුණේ තේ කර්මාන්ත ශාලාවක් බලන්නටය.

“වසන්ත, ඔයාලගේ ඉස්කෝලේ වගේම මරදානේ මුස්ලිම් ඉස්කෝලෙකින් ආපු ගෑනු ළමයි ගොඩක් ඉන්නවා නේද?” බස් එකේදීය, මං ඇහුවේ.

“ඇයි? එයාලවත් නාට්‍යයට ගන්නද.... ඒ වැඩේ නං කෙරෙන්නෙ නැති වෙයි නිමල්!” වසන්ත එක එල්ලේම කීවේය.
“කවුද මිනිහෝ එහෙම එකක් කිව්වේ...”
“එහෙනං?”

Trip එකට ඇවිත් හිටි සිසුවියන් අතර හිටි, මුසල්මානු ගැහැනු ළමයින් හැම විටම ‘ෂෝල්’ එකකින් හිස වසාගෙනය හිටියේ. පාට ඇඳුම් ඇඳගෙන හිටි වෙලාවලදී ඔවුහු එක-එක පාටින් යුතු, දුහුල් රෙදි කඩවල්වලින් හිස වසාගෙන සිටියහ.
“වසන්ත, අපිට ඒවායින් ටිකක් ඉල්ලා ගන්න පුළුවනි නං.....” කියලා මගේ අදහස, කිව්වාමය එයාටත් වැටහුණේ.

අපි ඔයාව නියමම කුමාරියක් කරවලා ගන්නං... හා නේද?

“ඕකට මං ඕනි නැහැ නිමල්. ඒ ළමයි ඔක්කොමලා දැන් මටත් වැඩිය හොඳට ඔයාව නෝටිස් කරගෙන ඉන්නේ...”

“ඒකට කමක් නෑ. ඔයා දන්නා දෙතුන්-දෙනෙක්ව ඉස්සෙල්ලා අල්ලා ගනිමුකෝ!”

ඒ වෑයම ටක්කෙටම හරි ගියේය.
“අයියෝ! අරී ෂෝක්.... නිමාල්... ඔයා princess කෙනෙක් වෙන්න යනවා..... අරි ලස්සනට හිටියි..... අපි full සපෝර්ට් දෙනවා.... අපේ ඔක්කොම ෂෝල්ස් දෙන්නං....” මුස්ලිම් සිසුවියෝ රොත්තක්ම කීහ.
“එච්චර විතරක් නෙවෙයි නිමාල්.... ඔයාලගේ ලන්ග make-up බඩු මොකුත් නැහැනෙ... කමාක් නැද්ද අපි එදාට ඔයාලව මේකප් කරල්ලා දුන්නට?” තවත් එකියක් ඇසුවාය.

“අපි ඔයාව නියමම කුමාරියක් කරවලා ගන්නං... හා නේද?”

ගොරක යකාගෙන් ‘මල්ලට දෙමල්ලක් දෙන්නද’ කියලා ඇහුවා වගේ වැඩකි ඒ.
“කවුද දන්නෙ, ඔයාලා ඒවා මෙහාටත් ගෙනත් තියනවයි කියලා.... කොච්චර එකක්ද, එහෙම උදව්වක් හම්බ වෙනවා නං.... එහෙනං, ඔන්න ඔයාලට බාරයි, අපිට මේකප් දාන ජොබ් එක!”

ඒ සිසුවියන් අත්පොඩිත් තලලාය, මගේ උත්තරය බාර ගත්තේ!
තේ ෆැක්ටරිය බලන අතරෙත් ඒ කෙල්ලන්
අප ළඟම දැවටෙමින්, තොරතෝංචියක් නැතිව ඇහුවේ කරන්නට සැරසෙන නාට්‍යය ගැන විස්තරය; නළු-නිළියන් ගැන විස්තරය......

62 comments:

  1. අද කතාව වෙනදටත් වැඩිය, මට නං අල්ලලා ගියා. මේකෙන් ඉතිහාසෙ එක යුගයක් ගැන කියවෙනවා.

    අම්මපා අපිට නෑනෙ ඔහොම චෑන්ස් වැදුනෙ? ඔහොම චීස් බෝල ටිකකට කියලා "මේ-කප්" දාගන්න ලැබුනා නං කුවේනිගෙ අම්මගෙ පාට් එක වුනත් කාරි නෑ, දොරේ.

    ReplyDelete
    Replies
    1. අඹතලේ චරිතගෙ අයියලගෙන් බේරුනේ බස්තුමා මේක්අප් දාලා නරිවෙස් අරගෙන නෙමෙයිද ?

      Delete
    2. බසු හොටේ කොණත් පොඩ්ඩක් විතර කපාගන්න තිවුනා නේ ද එහෙනං?

      Delete
    3. මොන? ඒ කාලෙ බස්සෙක් හිටියෙ නෑ, ඕං ආඳා නං හිටියා.

      @බුරා
      හුටා! එහෙමත් එකක් තියනව නේද? එතකොට නිදිගෙ කැපුවෙ කොයි කොනද?

      Delete
    4. මළ සමයං!

      අපි බෝ පැල.
      ඒ දවස්වල හිතුවේ කරන දෙයක් හරියටම කරන එක ගැන විතරයි. One at a time.... කියලා නේද කියන්නෝනි...

      Delete
    5. එයින් මෙයින් ඔයාලට ස්තුති කරන්නත් අමතක වුණා. ස්තුතියි හොඳේ!

      Delete
    6. අපේ ඩ්‍රැකියා, කාර් එකක් ගත්ත මුල්ම දවස්වල, පළවෙනි ගමන ගියෙ ගමේ පන්සලට. ගිහිං බෝධි පූජාවක් එහෙම තියලා, හිතවත් හාමුදුරුවො කෙනෙක් ඉන්නව, උන්නාන්සෙව හම්බුණා. උන්නාන්සෙ දුන්නා පිරිත් පැන් පොඩි බෝතලයක්, පිරිත් නූලකුත් එක්ක. පිරිත් නූල ඩ්‍රැකා ගැටගැහුවා ගියර් ලීවර් එකේ. පිරිත් පැන් ටික දැම්ම රේඩියේටරේට.

      ඊළඟට ගියා අල්ලපු ගමේ තියෙනව පල්ලියක්. එතනදි ෆාදර් කාර් එක ගාවට ඇවිත් කුරුසෙ මාක් කරල, පැන් ඉහල ආශිර්වාද කළා.

      ඊළඟට ගියා යාලු කපු මහත්තයෙක් ඉන්නව දේවාලෙ, එයා ළඟට. ගිහිං දෙහිගෙඩි මිරිස් කරල් ටිකක් එල්ලගත්ත.

      ඊළඟපාර කොළඹ යද්දි ගියා මුස්ලිම් පල්ලියකට. ගිහිං එතන හිටපු මවුලවිට කිව්ව කාර් එකක් ගත්ත, ඒකට ආශිර්වාද කරව ගන්න ආවෙ කියල.

      ඒපාර මවුලවි පල්ලිය ඇතුලට ගිහිං, යකඩ කපන කියලක් අරගෙන එළියට ආව. එයා ඒකත් අරගෙන කාර් එකේ පිටිපස්ස පැත්තෙන් යටට රිංගුව. ඩ්‍රැකා බයවෙලා පාත් වෙලා බලනකොට, මවුලවි කාර් එකේ සයිලන්සරේ බටේ අගිස්ස කපනව.

      Delete
    7. සමාන කතාව

      ඩ්‍රැකියා මුස්ලිම් කෙල්ලෙක් එක්ක යාළු උනාලු. කෙල්ලගෙ තාත්තලා අම්මලා කොච්චර එපා කිව්වත් මුං නැවැත්තුවෙත් නෑලු. අන්තිමේ කෙල්ලගෙ තාත්තා ඒ පැත්තෙ මැරයො ටිකක් එකතු කරගෙන ඩ්‍රැකියව උස්සලා අරං ගිහිං හිර කළාලු, අත් ඇර දාපු මුස්ලිම් පල්ලියක. සතියක් විතර මූට කන්න බොන්න නොදී තිබ්බලු. සතියකට පස්සෙ මැර සෙට් එක ගිහිං පල්ලියෙ දොර ඇරලා බැලුවලු, මූ දැං වත් පාඩමක් ඉගෙනගෙනද කියල බලන්න. බලනකොට ඩ්‍රැකියා ඉන්නවලු කලිං හිටිය වගේම ෆිට් එකේ.

      මැරයො ඇහුවලු කැමාගෙං, “අපි උඹට කන්න බොන්න තිබ්බෙ නෑනෙ. කොහොමද උඹ ඔය තරං ෆිට් එකේ ඉන්නෙ?“

      ඩ්‍රැකිය ට හිනාලු. “තොපි දැක්කෙ නැද්ද අර පිටිපස්සෙ කාමරේ තිබ්බෙ ගෝණි තුනක් පුරෝල වේලිච්ච මිදි?“

      “ඈ...! මිදි?“ මැරයන්ට පුදුමයිලු. උං රොත්තම ගිහිං බලනකොට, ගෝණි තුනක් තියෙනවලු. දෙකක් හොඳටම හිස් ලු. අනිකෙ බාගෙයක් විතර පිරිල තියෙනවලු, මොනවද?

      කොණ කපපු හං කෑලි වේලිච්චා...

      Delete
    8. ඔය චර්ම ඡේදනය තියෙනව බෛබලේ පරණ කොටසෙත්, සමහරවිට යුදෙව් ආගමෙත් තියෙන දෙයක් වෙන්න පුළුවන්

      Delete
    9. අර උඩ කිව්ව අඹතලේ සිද්ධිය තමයි පොඩ්ඩක් වෙනස් කරල කුමාරොදය පොතේ තිබුණෙ, “නිල් සායම් හැලියට වැටිච්ච බකමූණා“ කියල

      Delete
    10. කමෙන්ට් හොරු වැහිවැහැලා... අර මුද්දරප්පලම් කතාව මං මෙතන දාපු කමෙන්ට් එක.

      Delete
    11. ඕකට තමයි මල්ලි කියන්නෙ, “මගෙ අරක්කු මටම ගහනව“ කියල

      Delete
    12. අරක්කු මතක් කරන්ඩෙපා... හික්!

      Delete
    13. https://app.ckbk.com/recipe/biot65571c03s001ss003r020/young-pine-duck-and-sun-dried-grape

      Delete
  2. අද නං මයෙ පොටෝවකුත් දාලා තියෙන්නෙ පෝස්ට් එකට. :)

    ReplyDelete
    Replies
    1. එතකොට අර නහය උඩ ඉන්නෙ?

      Delete
    2. නාහේ උඩ ඉන්නේ බකුසු ආදා

      Delete
    3. foto එක හොඳයි නේද?
      හම්බ වුණේ එච්චරයිනෙ.

      Delete
    4. බුරතීනොයි පිනෝකියොයි දෙන්නම එකෙක්ද? පිනෝකියෝ නං අඳින්නෙ තොං

      Delete
    5. ඊඊඊඊඊ... බුරෝ. චික් විතරක්. (එලියෙ වැලේ දාපු ඇඳුම් තකහණියක් ගෙට ගනිමින්...)

      Delete
  3. දයාරත්න රණතුංග නාලනී රණසිංහ සමග කියන ඒ සිංදුව මං අහලා නෑනේ අය්යේ

    ReplyDelete
    Replies
    1. අහන්නට විතරක් නෙවෙයි, බලන්නටත් වටිනා හින්දයි You Tube එකෙන් ඉක්මනටම බලන්න ඇහැකි වෙන්න link එකත් හොයලා, 'ගීතය අති සුමධුර එකක්' උඩින් ක්ලික් කරන්න හරි ගැස්සුවේ.
      එහෙම කරලා බලන්නකො 'දේවිකා කරුණාරත්න' කුවේණිට නටන අපූරුව.

      Delete
    2. ඇත්තට ම ඒක ලස්සන සිංදුවක්. ස්තූතියි නිදි මාමේ...

      Delete
    3. එතන නර්තන ශිල්පියාගෙ තිබුණු ලාස්‍ය... අරෙ වාහ්!

      Delete
  4. කෝ මේ තාරා නගයි ඇඩම් මලයයි?

    ReplyDelete
    Replies
    1. යකඩෝ, මටත් වඩා උන් දෙන්න හිට් වෙලානෙ

      Delete
    2. එහෙම නේන්නං ඩ්රැකී.
      'අලුත් කොස්ස අතු ගෑවෙනවා හොඳට' කියන්නේ නිකංද?

      Delete
    3. වම්හත් එක්ක එකගෙයි කනවා ඇති, ඕක පුරාණ උඩරට චාලිත්තරයක් නෙව?

      Delete
    4. උඹ අලුතෙන් ටෝච් එකක් ගනිං ඩ්‍රැකියො. හැක්..

      Delete
    5. දවල්ට බස්සොයි, වවුලොයි ඔක්කොම නිදිද කොහෙද.

      සැ.යු.: නිදි යනු නි.දි. නොවෙන බව.

      Delete
    6. දැනුයි ඇහැරුණේ යකෝ...

      බස්සො, මගෙ නෑනෙව ඔය හවුලෙ කැඳ බොන සිරිත...

      ඩ්‍රැකෝ, උඹට දැන් පෙන්ෂන් ගන්ඩ කාලෙ හරි. අපි මේක කරගෙන යන්නං.

      Delete
    7. ඔව් ඩ්‍රැකෝ උඹ පෙන්ෂන් ගනිං. මදැයි ඔය ලිව්ව. උඹ ලියනක් බලං ඉඳල මයෙ කෙල්ලත් මැරුණා... මට නං ඉඳල වැඩක් නෑ... බුහෑ...ව්!!!

      Delete
    8. ඩ්‍රේක්... එනව එළියට බාත් රූම් එකෙන්. දැන් පැය කීයක් තිස්සෙ නානවද?

      Delete
    9. කොච්චර නෑවත් අරක්කු ගඳ යන්නෑ ඩෝ.

      Delete
  5. අප්පට සිරි, මුස්ලිං කෙල්ලො ටික නිදිව නියමෙට අන්දල ගන්න ඇති කියල මට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. හිතෙනවා වගේම තමයි ප්‍රසන්න, නියමෙට ඇන්දුවා!

      Delete
    2. දැන් නං නිමල්ව අන්දන්න අමාරුවෙයි කාටවත්.
      ඒත් එහෙම සැකයක් එහෙම තියනවනං ඩි.ජී.එම්.බී කන්සල්ටන්සි සර්විසස්ලගෙ ඔන්ලයින් ක්ලාස් එකකට යන්න. ඇඳුම් ලිස්සල යන්නෙ

      Delete
    3. ඔය ක්ලාස් තියෙන්නෙ රෑට වෙන්න ඇති නේද?

      Delete
    4. බස්ස රෑට කරන්නෙ ක්ලාස් විතරක් නෙවෙයි...

      තාරා, ඔය බුරා නෙවෙයි හොරා, බස්ස තමයි රූට රූට පියාඹලා ඇවිත් උස්සං යන්නෙ. බෙණේ පුරෝල තියෙන්නෙ බඩු.

      Delete
    5. හරියට කියහං, බස්ස රූටනවද, පියාඹනවද?

      Delete
  6. ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම නිමල් 'less is more' කියන මූලධර්මය දැනගෙන ඉඳලනෙ.

    ඔවු තාත්තා ගැන එහෙම හිතන්න බ්ලොග් එක කියවන අය විනිශ්චය කිරීමක් නැතුව කියවලා ගිය එකත් උදව්වක් වෙන්න ඇති. ස්තුතියි කියන කොට මතක් වුනේ Queen ෆිල්ම් එකේ ගෑනු ලමයා අන්තිමට තමන්ව ප්‍රතික්ශේප කල පෙම්වතාට ඉතාම හර්දයාංගමව ස්තුතියි කියනවා.

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපි එහෙන්-මෙහෙන් යන්තම් දැනගෙන හිටිය සමහර දේවල්, අද විශ්ලේෂණය කරමින් -න්‍යාය වශයෙන් වෙනම උගන්වන තරමට ලෝකය දියුණු වෙලා තියෙන හැටි!

      Lotus, ඔයාටත් 'හෘදයාංගමව ස්තුතියි!' Queen ගැන කිව්වටත් එක්ක.

      Delete
  7. එන්න ටිකක් පමා වුණා. මේ ඇඩමයි ඉස්කුරුප්පුවයි එක්ක බීලා බීලා, හොඳට ම නින්ද ගියා.

    ReplyDelete
    Replies
    1. පල පල ඩෝ... අපට බොන්ඩ දීලා... ටෝ සුදන වෙන්ඩ යනව...

      Delete
    2. යකෝ මේක නිදිගෙ පංච තන්තරේද, භාරත ගී වින්දන ද?

      Delete
    3. තව තියෙනවද බේබදු ගීත?

      Delete
  8. ඊළඟ කොටසෙ, ඔය මුස්ලිං කෙල්ලො සෙට් එක නිදියගෙ දතුත් ගලෝලා, කෙස් ටිකත් සිඳල තිබ්බෙ නැත්තං මේං කැට! හික්! (තාම වෙරි වගේ යකො)

    ReplyDelete
    Replies
    1. එව්වත් හිත රිද්දන මතක තමයි

      Delete
    2. හිත නොරිද්දුවත්, දත රිද්දපු, හිස රිද්දපු මතක...

      Delete
    3. https://www.fieldandstream.com/blogs/the-wild-chef/two-ways-to-pluck-a-duck/

      Delete
    4. ඔයාලගේ කමෙන්ට්ස් කියවන්නයි, හින්දි ගීත අහන්නයි ගිහින් වෙලාව ගියා.... ඇයි රෙසිපිය..
      හෙට උදේට අලුත් පොස්ට් එකක් දාන්න ලැහැස්ති වෙන නිසා වෙන වෙනම උත්තර නොලියා ඔක්කොම්ලටම ස්තුතියි කියන්නං... රෑත් වෙලානේ... දහයට ලඟයි. හිතකින් නෙවෙයි වැඩේට යන්නේ....

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්