ඒ දවස්වල මං වැඩ කරලා තියෙන්නේ මරණයේ දේවතාවා අනුබිස් වගෙය. රාස්සයන් කන පරාස්සයා වගෙය....... |
ඒක නෙවෙයි! කොරෝනා හින්දා මේ පෝස්ටුව ගොඩාරියක් පරක්කුවීලාය, පළ කෙරෙන්නේ. ඉතින් පසුගිය පෝස්ටු 5 කියවනවා නම් එය පහසු වීමටය මේ පිවිසුම් යොදන්නේ; පළමු කොටස, දෙවෙනි කොටස, තෙවෙනි කොටස, සිව්වෙනි කොටස, පස්වෙනි කොටස.
තාත්තාගේ මළගිය ආත්මය ගෙන්වාගන්නා තුරු මේ පරාස්සයා කියන විදිහටම කීකරුව ඉන්නට අපේ ආච්චීත්, සීයාත්, අම්මාත් වගබලා ගත්හ. අප හතර දෙනා හිටියේ නන්නාඳුනන්නන් වගෙය. එකාට-එකා හිනා නොවී, කතා නොවී බුකවාගෙනය. නොම්මරත් දෙකක්ම අරගෙනය. අම්මලා ළඟින්ම සිටි අම්මණ්ඩියෙකු මොනවාදෝ ඇහුවත් අපේ අම්මා කට ඇරියේ නැතිය. අඬන්නට වගේ මුහුණ හදාගෙන සාරි පොටෙන්ම නහය පිසගත්තාම......
එහෙම අඬන
part එකට නම් අපේ අම්මා superය. ඔස්කාර් සම්මානලාභී නිළියන් වුණත් පරදවන ප්‍රතිභාවක්
එහිදී අපේ මව් යානය සතුය.
“ඊළඟට ඔය
මහත්තුරු නේද?” ආවතේවකරුවෙක් ඇවිත් ඇහුවේය. අපට අඬ ගැසුවාය කියා හිතලාදෝ, පුටු දෙක-තුනකට
එහායින් හිටි අපේ අම්මාත් නැඟිටගත් නිසා ඔහු
මගේ දිහාව හොඳින් බැලුවේය. “අම්මාද?”
1990 රිදී තිරයට පැමිණි භූතයා- අවතාරය, නැතිනම් 'Ghost' චිත්‍රපටයෙත්........... |
මගෙන් පිට
වුණේ එලොවටත් නැති- මෙලොවටත් නැති ගොබ්බ හිනාවක් විතරය. මිනිහා දුර්මුඛ වෙනවා
පෙනුණත් නිශ්ශබ්ද වුණේ නැත. “කාව ගෙන්වන්නද ආවේ?”
“මැරිච්ච
කෙනෙක්!”
දැන් ඉන්නා
ගොඩාරියක් වැදගත්ය කියාගන්න මහත්වරුන්ට වඩා ලජ්ජාවක් ඒ මනුස්සයාට තිබුණු නිසා
මිනිහා ඊට එහා වෙනින් මොකුත් ඇහුවේ නැත.
මොලී - සෑම්
දෙන්නා ආදරවන්ත යුවලකි. හදිසියේ ඉතා දුක්බර ලෙසින් සෑම් ජීවිතයෙන් සමුගනී. සෑම්ගේ
ආත්මය ගෙන්වා දෙන්නට ඉදිරිපත් වෙන්නේ Odaය. එපමණක් නොව සෑම්ගේ ආත්මයට තාවකාලිකව
සිය සිරුරට පිවිසී මොලීව සනසන්නටත් ඔඩා ඉඩ දෙයි.
1990 රිදී
තිරයට ආ ‘Ghost’ චිත්‍රපටය ළතෙත් හදැති ප්‍රේක්ෂක කවුරුනුත් හැඬවූවකි. එහි තේමාව
වුණෙත් මළවුන් ගෙන්වීමකි. පැට්‍රික් ස්වේස්, ඩෙමී මුවර්, වූපී ගෝල්ඩ්බර්ග් තුන්
දෙනා හරි-හරියට රඟපෑ ඒ ෆිලුම කොල්ලුපිටියේ ලිබර්ටියේ පැල් බැඳගෙන දිවූ බවය, මට
මතක. (එය මේ ලියන්නාගේ හිත කොතරම් පැහැරගත්තාද කිව්වොත් ‘බයිස්කෝප් සිංහලෙන්’
අඩවියේ එය තිබෙනු දැක නැවත වතාවකුත් නැරඹුවේය!)
වූපී යක්දෙස්සියගේ චරිතය නියමෙට කළත් මළවුන් ගෙන්වන තලාහේනේ යුවතියගේ රංගනය නම් ..... |
වූපී
හොලිවුඩ් නිළියෙකු නිසා යක්දෙස්සියගේ කැරැක්ටර් එක නියමෙට රඟපෑවත්, තලාහේනේ
යුවතියගේ රංගනය නම් අජපල්ය.
“ආ.... දැන්
මහත්තයා ඇතුළට යන්න.... නෑ, නෑ. ඔහෙලා නෙවෙයි.... ඔහේලාගේ නොම්මරේ තව පස්සේ.”
ආච්චිලාත් නැඟිටින විටම ආවතේවකාරයා කඩා පැන්නේය.
“ඒකට කමක්
නැහැ... අපේ කට්ටිය. එයාලා තව කෙනෙක්ව ගෙන්වන්න තියෙන හින්දයි තව නොම්මරයක්
ගත්තේ.....” මගේ මැදිහත්වීමත් ඒ මනුස්සයාව හොල්මන් කළ එකක් විණි. අපි ඇතුළට
ගියෙමු.
හොල්මන්
ගුහාවක් වැනි ඒ අඳුරු කුටියට ඇතුළුවෙන කාටත් පොඩි තිගැස්සීමක් ඇතිවෙන විදිහටය,
එතැන වාතාවරණය නම් තිබුණේ.
කුටිය කුඩාය.
ආලෝකවත් වුණේ පොල්තෙල් පහන් වැටි දෙකකින් විතරය. තිස්සෙම කට්ටකුමංජල් දුම් නංවන
දුම්කබල එතැනට ගෙනාවේ එක්තරා විදිහක මෝහනීයත්වයකි. මළවුන් ගෙන්වන යුවතිය හිටියෙත්
අඳුරු මුල්ලක මුවාවේය; එකවරම නොපෙනෙන තරමට වසංවෙලා වගෙය. ඇයට ඉදිරියෙන් තරමක
මේසයක් මත දේව රූප කිහිපයක්, පහනක්, මොනර පිල් කිහිපයක් හා වතුර වීදුරුවක්
තිබුණේය.
ජාතියක් ලෙසින්ම අපි 'වන්දෝ' වෙන්නෙමු. ඕනෑ-එපා හැම තැනදීම අපි වඳින්නෙමු, ඒ ලකුණු දාගන්නට නෙවෙයි නම් ... |
අම්මාත්,
ආච්චීත් දෙන්නාම, දැන්මම වැඳගෙනය!
ජාතියක්
වශයෙන්ම මදිය නොකියන්නටම වඳින ‘වන්දෝ’ය අපි! අපි සංඝයා වහන්සේලාට වඳිමු; පූජ්‍යයන්
වහන්සේලාට වඳිමු; තව හැට-හුටාමාරකට වඳින්නෙමු.
කොටින්ම මාස
ගණනක් වෙන රජ මුනුබුරු පැටියෙකුට වුණත් වඳින්නෙමු!! නාම යෝජනාවලට අත්සන් කරන
වෙලාවේ ‘තෝරු-මෝරු-පොකිරිස්සෝ-කකුළුවෝ’ වඳින දස-වැඳුම් මේ දවස්වල ඔයාලාත් දකින්න
ඇති නේද?
අහේතුකව;
විශේෂයක් නැතිව දකින-දකින වාරයක් ගණනේ අපේ අම්මාට වුණත් නොවඳින තරමේ මාන්නයක් මේ
මොට්ටයාට තිබේ. එංගලන්තයේ සිට ආවාම වුව, අපේ අම්මාට මගෙන් ලැබෙන්නේ වැඳුම් දෙකක්
විතරකි. එන දවසේ හා යන දවසේ.... අමතර ඕනේ නම් රුපියල් 500/ බැගින් දෙන්නැයි මා
කියා තිබෙන බවත් ඔබට නොරහසකි.
මා වැන්දෙත්
නැත. මොකුත්ම කිව්වේ-කළෙත් නැත. බලාගෙන හිටියා විතරය.
මරණයට මුහුණදී සිටින රෝගී දැරියගේ හැඟුම් සපිරි ඒ මුහුණ............ |
එතකොටය, අර
යුවතිය කාමරයේ අඳුරු මුල්ලෙන් මෑත්වී හිටගත්තේ. ඒ පින්තූරයත් තවම මගේ දෙනෙතේ තිබේ.
ඊට අවුරුදු ගණනාවකට පසුව මම එය නැවත දුටුවෙමි. දෙහිවල කොන්කෝඩ් සිනමා ශාලාවේදී.
පසුබිම
අඳුරුය. ඒ මැදින් මතුවන දැරියගේ පොකුටු කොණ්ඩය.... පනාවක් දැකලාවත් නැති පාටය....
හැඟුම්බර මුහුණ... තලාහේනේ යුවතියගේ මුහුණේ නම් හැඟීම් තියා මෙලෝ දෙයක් මට
පැහැදිලිව පෙනුණේ නැත.
“මැරිච්ච
ඥාතියාව සිහිපත් කරගෙන ඔය මේසෙ උඩ තියෙන පහන පත්තු කරන්න.” නිහඬතාව බින්දේ අර
ආවතේවකරුවාය. මම කීකරු වීමි. දිසානායක හේවගේ ගුණපාලව- අපේ තාත්තාව සිහිපත් කරගෙන
පොල්තෙල් පහන් වැටිය දැල්වීමි. අඳුරු කුටිය ටිකාක් විතර ආලෝකවත් වුණේය. ඒත්
සද්දයක්-බද්දයක් නැත.
අර... අර....
යුවතිය යාන්තමින් චලනය වෙයි.... හිස දෙපැත්තට වැනෙන්නට වෙයි. හෙමින්- හෙමින්
කෙඳිරියකුත් ඇසෙයි. .... ඇස් දෙක උඩ ගිහිල්ලාද කොහෙදය.
මහත්තයා, තාත්තා එන්න අමාරු තැනක ඉන්නවද දන්නෙත් නැහැනේ.... මළවුන් ගෙන්වන තැන ආවතේවයා.... |
ආච්චීගේ
ඇසුත් දිලිසෙනවා පෙනෙයි. ආච්චීත් අම්මාත් හිටියේ මගේ දෙපැත්තේය. සීයා පිටුපසිනි. ඒ
නිසාය සීයාගේ ප්‍රතිචාර එකක්වත් මා නොදැක්කේ.
“කතා
කරන්න...” ඒ ආවතේවකරුවාය.
දෙවෙනි වරටත්
ඒකම කියවුණාමය මා කතා කළේ. “කාටද?”
“ගෙන්නාගන්න
ඕනේ කෙනාට කතා කරන්න.” එතකොට අපේ ආච්චිත් මගේ දිහාවට හැරුණාය. ඒ මගේ උපදෙස්
සහමුලින්ම අමතක කර දමලාය. “අනේ, කතා කරහංකො පුතේ!”
මම ‘තාත්තේ’
යැයි පැවසීමි.
අප ඔවුනට
රුකුල් පදයක් දුන්නේ එසේය. “මහත්තයා.... තාත්තා එන්න අමාරු තැනක ඉන්නවද දන්නේ
නැහැ.... කොයිකටත් අර වතුර වීදුරුව අරං මහත්තයලා තාත්තය කියලා හිතාගෙන උගුරක්
මෑණියන්ට පොවන්න.” ඔහු කීවේ මටය. ඉස්සෙල්ලාම එයට ප්‍රතිචාර දැක්වූවේ යුවතියය. ඇය
මඳක් ඉස්සරහට ආවේ මට ලෙහෙසි වෙන්නටය.
වැඩේ එහෙම පිටින්ම රංගනයක් වගෙය. පුහුණුවී කෙරෙන්නකි.......... |
මම වතුර උගුරක් පෙව්වෙමි. ඇය ආපස්සට වුණාය; වැනුණාය; අව්‍යක්ත හඬක් නිකුත් කළාය...
“හරි... හරි. මහත්තයල තාත්තා එනවා....” ආවතේවයා කිව්වේය. දෙකක් නැත, කෙලි පොඩිත්තිය රඟන්නේ ඒ මනුස්සයාගේ පදේටය.
වැඩේ එහෙම
පිටින්ම නාට්‍යයක් බව ඊළඟ වචනයෙන්ම මට තේරුණේය. “පුතේ....” අර මෑණි කෙල්ල එහෙම
කිව්වේ බැරැන්ඩි හඬිනි; ගොතයකුත් එකතු කරමිනි. තාත්තා ඇවිදින්ය. හැබැයි එහෙම ඇවිත්
තියෙන්නේ අපේ තාත්තා වෙන්නට නම් විදිහක් නැත.
මා සිටියේ
හොඳ සිහියෙනි. සම්මා සතියෙන් යුක්තවය; එළඹ සිටි සිහියෙන් යුක්තවය. ‘ඉන්ධන මිල අඩු
කළොත්, මිනිස්සු වාහනවලට තෙල් ගහගෙන නිකරුණේ රස්තියාදු වෙනවා. ඒකයි තෙල් මිල අඩු
නොකරන්නේ.’ වැනි මඤ්ඤං කතා කියවෙන මානසිකත්වයක නොවේ.
මේ කෙරෙන්නේ
පට්ට ප්‍රෝඩාවකි!!!
දූගේ කොණ්ඩයත් ගොතන මේ හිපි තාත්තා වගේ පුතයෙක් නොවේ අපේ තාත්තා. එයා කවදාවත් මට පුතේ කියා නැත. |
අපේ තාත්තා
මට ‘පුතේ’ කියාපු කෙනෙක් නොවේ. මට විතරක් නොවේ, අපේ කිසිම නංගියෙකුට- මල්ලියෙකුට
දුවේ- පුතේ කියලා නොකිව්වේය. නොකිව්වාමත් නොවේ; කිව්වේය. වැඩිම වෙලාවක කිව්වේ
‘xත්තිගේ පුතෝ’ හෝ xත්තිගේ කෙල්ල’ කියලාය. ඒ තරහ ගියාමය.
ඊට වෙනස් මනෝ
භාවයක හිඳිද්දී නම්; මඳ පමණට- අසෝක වීදුරුවෙන් කාලක්ක්‍රියා කොට සුරාමේරය සිල් පදය
කඩලා තියෙද්දී.... ‘රංජි, මෙහාට වරෙන් පුතේ’ කියලාත් ආදරයෙන් කිව්වේය.
අනෙක් හැම
වෙලාවකම තාත්තා අප ඇමතුවේ උප්පැන්න සහතිකවල තිබෙන නම්වලිනි. ඒවායේත් කෙටි
යෙදුම්වලිනි. වෙනසක් වුණේ ලොකු නංගීටත්, මටත් විතරය. එයාට පුෂ්පා කීවේ නැත; කිව්වේ
‘නෝනා’ කියලාමය! ‘මා රංජි’ය!!
“නිමල්
අයියේ, මරු වැඩක් වුනාණේ, අද තියටර් එකේදී.” අක්ෂි වෛද්‍ය විශේෂඥ අයස්මන්ත පීරිස්
මහත්තයා සති දෙකකට විතර කලින් දවසක කිව්වේය. “අද හොස්පිට්ල් එකට ගෙනාව පත්තු කරපු
හඳුන්කූරක් ඇහේ ඇනගත්තු පොඩි ළමයෙක්.... කෑලි සේරම අයින් නොකළොත් ඇහැ ඉවරයිනේ....
ඉක්මනට තියටර් එකට අරගෙන හඳුන්කූරු කෑලි අයින් කරන්න පටන් ගත්ත... ඔයා දන්නවද අර
පොඩි එකා.... අවුරුදු තුනක්වත් නැති ළමයා කෑගහපු හැටි?”
මුළු ඔපරේෂන් එක වෙලාවේම අවුරුදු තුනක්වත් නැති ඒ දරුවා 'xත්තෝ.... xත්තෝ.... නිකං හිටපං....' කිය-කියා..... |
“ඔයාටද?”
“මටද කාටද
මන්දා. දිගටම මන්තරයක් වගෙයි කිව්වේ.... xත්තෝ.... xත්තෝ.... නිකං හිටපං xත්තෝ.
ඒකම දිගටම කියා-කියා තමයි කොල්ලා කෑගැහුවේ. අම්මවයි, තාත්තවයි දෙන්නාම තියටර් එකට
අරගෙන හිටියේ පොඩි එකාව මේච්චල් කරගන්න ඕනේ නිසා. ඒකා අම්මයි තාත්තටයි කතා කළෙත්
අරකම කියලා. නර්ස්ලටත් ලජ්ජාවේ හිටියේ මගේ මූණ බලන්න....”
“ඉතින්?”
“ඉතින්
මොනාද? වැඩේ ඉවර කරලා තමයි මම අම්මලාට කතා කළේ. -ඔයාලා තවම දරුවාට කියා දීලා
තියෙන්නේ එක වචනයක් විතරයිනේ. ඒකේ අනිත් වචන තුන-හතරත් ඉක්මනටම උගන්නන්නයි
තියන්නේ- මං කිව්වා. ඇයි අයියේ, එහෙම තරහ යන වෙලාවට වුණත් A ෆොර් Apple, B for Bat
වගේ දෙයක් කියනවා නම් පොඩි එකෙක් වුණත් අලුත් වචනයක් හරි ඉගෙන ගන්නවනේ.”
දොස්තර
මහත්තයා හිතන්නේ හැමෝම එයා වගේ උගතුන් කියලා වෙන්නට ඇතිය. ඒ අම්මල- තාත්තලත් අපේ
තාත්තා වගෙයි නම්......
ඉංග්‍රීසිත්
ඉගෙනගෙන තිබුණු අපේ තාත්තා බ්රේක් නැතිව; ‘යෝනියේ දූපුතුන්’ය කියලා සහතික ඇත්තකින්
අපට බැණ අඬ-ගැසුවත් ඒවා වහරන්නට අපට ඉඩ නොදුන්නේය. කොටින්ම අපෙන් කිසිවකු හෝ
‘උඹ-බං’ කියා කීමත් සැලකුණේ වැරැද්දක් ලෙසිනි!
එච්චරට අපට නීති-රීති උගැන්වීම අමතක නොකළ අපේ තාත්තාට, මියගිය පසු වුණත් පුරුදු අමතක වේද? |
එච්චරට
නීති-රීති අපට ඇබ්බැහි කළ තාත්තාට ‘රංජි’ කියන පුරුද්ද අමතකව යාවිද, මැරුණාට පස්සේ
වුණත්? එහෙම වෙනවා නම් ඒ අපේ තාත්තා වෙන්නට බැරිය!
මළගිය
තාත්තාව ගෙන්වා ගන්නට හැකිවෙතියි අල්ප මාත්‍රවූ බලාපොරොත්තුවක් මටත් තිබුණු බව
‘පණ්ඩිතමානී’ මා සඟවන්නේ නැත. එකම-එක වදනකින්ම ඒ කෙරුවාව අමු බොරුවක් බව මට තහවුරු
වුණත්, අපේ ආච්චිට, අම්මාට නම් එහෙම වුණේ නැත.
“ඇයි ළමයෝ,
ඔයාට ඇහුණේ නැද්ද ඒ මෑණියන් කතා කරපු සද්දේ... අපේ ගුණේගේ වගේමයිනෙ. එච්චරද? ඇත්තම
කියවුණේ.”
“හරි. දැන් මොකක්ද
ඔය කියවෙච්ච ඇත්ත?”
“හුස්ම හිර
වුණයි කිව්වේ.... වතුර උගුරක් බොන්න හිතුණයි කිව්වේ... ඒවා බොරුද?”
මිය යන
මොහොතේ හුස්ම හිරවීමක් වෙන්නේ නැතිද? විශේෂයෙන්ම අපේ තාත්තා වගේ ගෙල වැළලාගෙන සියදිවි නසාගන්නා කෙනෙකුට. පිපාසය... දැනුණත් නැතත් වෙනසක්
තියෙනවාද?
යමක් වෙනුවෙන් ජීවිතයක්ම කැප කොට; වෙහෙසී ඉගෙනගන්නා ශාස්ත්‍රවන්තයෝ එදා සිටියහ......... |
එච්චර දෙයක්
සිදු වෙලාත් යන්තර- මන්තර ගැන යම් තරමක් හෝ විශ්වාසයක් මේ ‘නිදි’ට තිබේ. ඒවායේ
ඇත්තක් තිබෙන බවත්, පරහ තිබෙන්නේ වෙනින් තැනක බවත්ය, මට හිතෙන්නේ. එදා නම් යම්කිසි
ශිල්පයක් පරතෙරට දැනගත්; දැනගන්නට ජීවිතයම කැප කළ ශාස්ත්‍රාභිලාෂීහු සිටියහ. ඔවුන්
මුල් තැන දුන්නේ කරන කටයුත්තට මිස මිල-මුදලට නොවේ. අද නැත්තේ එවන් උදවියයි. අද
ඉන්න තරමක් ඉන්නේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි ජාම ගොඩ දමාගන්නට කැප වුණු; විලි
ලජ්ජාවක් කියා දෙයක් නැති ඇත්තන්ය.
නිසි
විමංසනාක්ෂියකින් යුතුව ඒවා බලන්නට තරමේ ඉවසිල්ලක් හෝ දැනීමක් හෝ ස්වාධීනත්වයක්
අපට නැත. අපට කිව්වේ මටය!
ඊට් පස්සෙත්
තවත් ගුරුන්නාන්සේලා, කට්ටඩියන් හා සාස්තරකාරයන්ට සල්ලි පූජා කරන්නට මේ මැට්ටාට
සිදු වුණේය. එයින් වැඩිම හරියක් සිදු වුණේ ගෙදර අයගේ වදේ හින්දාය. දෙක තුනක් ‘සත්ත
බලාගන්නට ගිය වෙලාවල’ය.
ඉතිං එව්වා
සේරමත් හිතාදර ඔබට කියන්නට මට හිතෙන්නේ නැත.
'අම්මේ, මෙහෙ ගෙදරදී ඔය පිරිත කියන්න එපා. ඕකට පවුල් කැඩෙනවා...' ඈන් සීතගලදී අපේ අම්මාට.. |
එහෙත්
පොස්ටුව අවසන් කරන්නට කලින් තවත් චුට්ටක් කියා හිටින්නම වෙයි!
මාස කිහිපයකට
කලින් ලංකාවට ආ වෙලාවේ අපේ අම්මා සතියකට විතර නවතින්නට සුනිල්ලාගේ ගෙදර ගියාය.
සුනිල්ලා ඉන්නේ බලංගොඩ, රාස්සගල සීතගල පුංචි තේ වත්තකය. එහෙම ගියාම
සුනිලුත්, ඈනුත් අම්මාට විතරක් නොවේ අපටත් උපරිම ආගන්තුක සත්කාර කරති. අම්මා ආපහු
ආවට පස්සේ, අපේ මානෙල් නංගී මට කේලමක් කිව්වාය.
“හරි වැඩේනේ
ලොකා. දැන් අම්මා හැමදාම හවසට වැඳලා පිරිත් කියනවනේ. එහෙම වෙලාවක අපේ ඈන් අම්මට
කියලනේ එක පිරිතක් නම් කියන්න එපැයි කියලා....”
“ඒ මොන
කතාවක්ද හලෝ? ඈන් බුද්ධාගමේයැ... එයා මොනවද පිරිත් ගැන දන්නේ? ඒ මදිවට අම්මා! එංගලන්තේදී ජීසස්ට ප්‍රේ කරන්නැයි මට කියපු මනුස්සයා ලංකාවේදී පිරිතුත් කියනවද දැන්?” මට
කියවුණේ නිකම්මය. එහෙම කිව්වත් රසබර විත්තියක් හින්දා මම එහි සුලමුල සෙව්වෙමි.
අම්මාගෙන් ඇහුවෙමි.
ඒ අපූරු පිරිත මොකක්ද කියලා හොයාගෙන යද්දී ලස්සන කතාවක්........... |
“පිරිතේ නම
නම් මම බැලුවේ නැහැ රංජි. මං පොතක් බලාගෙනනෙ පිරිත් කියන්නේ... එතකොට තමයි ඈන්
කිව්වේ -ඒ පිරිත ගෙදරක කිව්වාම පවුල කැඩෙනවයි- කියලා.”
එහෙම පිරිතක්
තියෙනවාය කියලා නම් මට හීනෙකින්වත් හිතුණේ නැතිය! අනේ ඇත්තය!! ඒත් හත්ඉලව්වේ
තියෙනවානේ.......... එහෙම එකක් තියෙනවානේ.....
‘ගාථා හතකින් යුතු ජලනන්දන පිරිතේ ගාථා දෙකක සඳහන් වෙනවා
‘සර්ව බන්ධන ඡේදනං’ කියලා. තවත් තැනක ‘සයනේ බන්ධන විද්වන්සනං’ කියල සඳහන් වෙනවා. සර්ව
බන්ධන කියන්නෙ සියලු බැඳීම් කියන එකයි. සියලු බැඳීම් කිව්වම අඹු සැමි බැඳීම්,
මාපිය දූදරු බැඳීම්, ඥාති බැඳීම් සියල්ල අයත් වෙනවා. මේ අනුව සියලු ආකාරයේ බැඳීම්
තමයි දුරු වෙන්න කියන්නේ. ඒක ලෞකික ජීවිතයක් ගත කරන අයට ගැටළුවක් වෙනවා.
-මේ ගාථා හතකින් යුතු ජලනන්දන පිරිත
නිතර භාවිත කළ බොහෝ දෙනෙකුට විවාහ ගැටළු, දූදරු ප්‍රශ්න
පමණක් නෙමෙයි ආර්ථික ගැටළු පවා මතුවෙලා තියෙනවා.
-ඒ සම්බන්ධයෙන් මම අවුරුදු දහයකට
වැඩි කාලයක් තිස්සෙ හොයල බැලුවා. සියලු බැඳීම්වලින් ඈත් වෙලා ඉන්න අය තමන්ගේ
ආරක්ෂාවට මේ පිරිත භාවිත කළාට ගැටළුවක් නෑ.....’
එහෙම කියා තිබ්බේ ජ්‍යෝතිෂවේදී, ගුප්ත වෛද්‍ය, දේශමාන්‍ය,
ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර මහත්මයායි!
මට තියෙනවා එක ප්‍රශ්නයක්.
සියලු බැඳීම්වලින් ඈත්වුණු; නිවන් අවබෝධයට වැඩ කරන අයට මොන බම්බුවකටද පිරිත්වලින් අමතර ආරස්සාවක්? |
සියලු බැඳීම්වලින් ඈත් වෙලා ඉන්න
කෙනෙකු මොන බම්බුවකින් ආරක්ෂා වෙන්නද පිරිත් සජ්ජායනා කර-කර ඉන්නේ? මේ පොඩ්ඩත්
කියාවලාම ඉන්නකෝ...
“ජලනන්දන පිරිත දෙපැත්ත කැපෙන අවියක්
වෙන්නෙ හැමෝටම නෙවෙයි. නිසි ප්‍රතිපත්තියක් නැති පාපකාරී අයට මේක දෙපැත්ත කැපෙන
අවියක් බවට පත්වෙන්න පුළුවන්. බුදුන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාගේ නාමයන් ඇතුළත්
කර ඇති බලසම්පන්න පිරිතකින් හැමෝටම වැඩ ගන්න අමාරුයි. පස් පවින් වැළකිලා, සියලු
සත්වයින්ට මෙත් සිත පතුරාගෙන භාවිත කළොත් තමන්ට කිසිම හානියක් වෙන්නෙ නෑ....”
පස් පවින් වැළකිලා.... සියලු සතුන්ට
මෛත්‍රී කරමින්.... ඉන්නවා නම් තව විශේෂ ආරස්සා මොටද දෙයියෙනේ?
අජරාමර වෙනවය කිව්වත් මට නම් සෙත්
පිරිත් - සෙත් කවි වගේ දේවල්වල පිහිට පතාගෙන මහන්සි වෙන්න හිතෙන්නේ නෑ.
මං දන්නවා; තදින්ම විශ්වාස කරනවා මගේ
හිත තමා ඒ සේරමටම වඩා බලවත් කියලා. අනෙක මට තේරෙන තරමට මගේ ළඟ හුඟක් දුර්ගුණ-
අනුන්ට අවැඩක් වෙන වැඩ ඇත්තෙත් නැහැ. හැබැයි, මට වැරද්දක් කරන කෙනෙකු කෙරේ මෛත්‍රී
කරමින් ඉන්න නැතිව බොරුවට හරි පෙණයත් පුප්පන එකයි, මගේ විදිය!
Monkey face ඕකිඩ් වගේ සොබාදහමේ නිර්මාණ දකිද්දී මට හිතෙන්නේ හැමදේටම වඩා බලවත් සොබාදහම කියලයි! එතකොට හිත? හිත තමයි ඒ වගේම ......... |
ඒ නිසා වෙන්න ඇති මට ‘යන්ත්‍ර මන්ත්‍ර
හරං කත්වා’ නෙවෙයි ‘යන්ත්‍ර මන්ත්‍ර අරහං’෴
මම පියා ගෙන්වන්න කළා. හැබැයි එතැන් නම් තවමත් මගේ හිතේ අවිශ්වාසයට වඩා මොකක්ද වුනේ කියන හැඟීම තියෙන්නේ . ගෙනාපු කෙනා තවමත් මගේ යාලුවෙක්. දැන් යුටියුබි ඉන්නේ.
ReplyDeleteමේ මම ලිව්ව්ව ඒවා .
https://kolambagamaya.blogspot.com/2016/09/materialist-paranormal-1.html
ඉතා රසවත්, හරවත් වගේම නන්නත්තාර කරවනසුලුයි අජිත්. වෙනම බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්නයි තියෙන්නේ ඒ ගැන විතරක්.........
Deleteපෑනට මලගිය කෙනා ගෙනවිත් තමන් සිතන දේ හෝ අසන ප්‍රශ්න වලට පිලිතුරු කොලයක ලියවෙන වැඩකට මාත් සහභාගි උනා. මගේ මියගිය සීයා පැනට ගෙන්වාගත්තාට පිලිතුරු ලියවූනේ සිංහලෙන්.පුදුම වැඩේ කියන්නේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගෙන තිබූ සීයා මැරෙන තෙක්ම සිංහල අකුරක් ලියන්නට දන්නේ නෑ.
ReplyDeleteඑහෙම බලද්දී අසංග, අපේ තාත්තගේ ආත්මය මට 'පුතේ' කිව්වා එක මහා ලොකු කජ්ජක් නෙවෙයි වගේ.
DeleteTry Pick Me or Uber.
ReplyDeleteඒ කාලේ තිබ්බේ මොරිස් මයිනර් ටැක්සි විතරයිනේ Pra Jay! කොරෝනාවලින් මැරෙන අය ගෙන්නවන්න නම් ඔය සර්විස් දෙකේම වාහන මදි වෙයි......
Delete