කෝපි
mug එක ඩැඩාට ගෙනිච්චේ අම්මාමය.
පැය
බාගයකට විතර පස්සේ, ඩැඩා පිජාමාව පිටින්ම
තරප්පු
පෙළ පහළට බැසගෙන ආවේ පිම්මේය!
ඒ
වෙලාවේ ඩැඩාගේ මුහුණ ඔප කරමින් තිබුණු තෘප්තිමත් හිනාව මට තවමත් මතකය.
“Thank
God! අඩුම ගණනේ මාස හයක්වත් මට ඕනි කරන කොලිටියටම මගෙ කෝපි එක හම්බ වෙන්නයි යන්නෙ!
ස්තුතියි නිමොල්! ලීලා මට දැනුයි කිව්වේ, මේ කෝපි එක හැදුවේ උඹයි කියලා. ප්ලීස්,
උඹට පුළුවන්ද මට තව coffee එකක් හදන්න?”
![]() |
ඒ
සතුට; ඒ ආඩම්බරය මට ලබාදුන් ‘නිදිගෙ පංච තන්තරේ’ට
ළබැඳි පාඨක රසික- රසිකාවියනි, ඔබ හැමටම ගොඩාරියක් ස්තුතියි! |
එහෙම වෙන්නට ඇත්තේ එතකොට අපේ ඩැඩා වයසට ගිහිං හිටි නිසාවත්ද? එතකොට ඩැඩාට හැට
පැනලාය. එහෙම වියපත් වෙද්දී බොහෝ මිනිස්සු පරිණත තත්ත්වයට පත් වෙති.
ඒත් හැට නෙවෙයි එකසිය හැට පැන්නත් මේ රටේ සමහරුන් නම් පරිණත වෙන පාටක් නැත; තණ්හාව
අඩු වෙන පාටක් නැත; ජීවිතයෙන් පාඩම් ඉගෙන ගන්නා පාටකුත් නැත. විශේෂයෙන් මේ
කොදෙව්වේ... එහෙම වෙන්නේ ඇයි?
මේ
බ්ලොගය ලියන්නට පටන් ගත්තාට පස්සේ, මං වහන්සේ නම් කලින්ටත් වඩා හිතන්නට; විමසන්නට; විග්‍රහ
කරන්නට පුරුදු වුණු බව මට වැටහෙයි. මං එහෙම කරන්නට පටන් ගෙන දැන් අවුරුදු පහකි.
එහෙම
වහෙන් ඔරෝ බාසාවෙන් කිව්වේ ‘නිදිගෙ පංච තන්තරේ’ blog එකටත් අවුරුදු පහක් පිරෙනවා
කියන විත්තියයි. 2018 අප්‍රේල් පළමු වෙනිදාය, මේ blog අඩවියේ පළමු posts පහ
publish කෙරුණේ.
එදා; මෝඩයාගේ දවසේ පටන් ගත්ත වැඩේ, නුවණැත්තන්ටත් අල්ලලා ගිය බවයි- මට හැඟෙන්නේ. එහෙම
හිතෙන්නේ මේ පෝස්ටුව ලියැවෙන 2023 මාර්තු 21 වෙනිදා වනවිට මේ බ්ලොගයේ Hit Counter
එක 2,44,402 ඉලක්කමට සේන්දු වී තියෙන නිසාය!
ඇත්තෙන්ම
මට ඒ ගැන සතුටුය; හීනියට ආඩම්බරය.
ඒ සතුට; ඒ ආඩම්බරය මට ලබාදුන් ‘නිදිගෙ පංච තන්තරේ’ට ළබැඳි පාඨක රසික- රසිකාවියනි,
ඔබ හැමටම ගොඩාක් පිං! ගොඩාරියක් ස්තුතියි!!
(නිමල්
දිසානායකයෝ, මෙහෙම වැඩක් දිගටම කරගෙන ආවාට හා තව දුරටත් කරගෙන යනවාට නසරානි
තමුන්නැහෙටත් තමුන්ම ස්තුති කර ගත්තාට කමක් නැත!)
පසුගිය
කොටස කියවූ නමී හා Lotus දෙන්නාම ‘කිරි ගහට ඇන්නා වාගේ’ ඊළඟට ලියවෙන දේ අනුමාන කර
තිබිණි.
එහෙම comments දකිනකොට මගෙ නැණැස පෑදෙයි. මෙවන් posts ලිවීමේදී; සත්‍යයම ලිවීමේදී
මා කොතරම් අවධානයකින් ඒ රාජකාරිය කළ යුතුද කියලා එවන් ප්‍රතිචාර මට පෙන්නා දෙයි.
තම කාලය හා මුදල් වැය කරමින් මේ ලිපි නොකඩවා; නිබඳව කියවන එබඳු පාඨකයන් එකතු කර
ගන්නේ ‘මා ගැන නිකම්ම- නිකම් තොරතුරු’ විතරක් නොවේ. ඒ ඒ සිදුවීම්වලට සම්බන්ධ
වන්නන්ගේ හා නිදිගේ චරිත ස්වභාව හා චින්තන රටා ගැනත් ඒ බුද්ධිමත් පාඨකයෝ දැන ගනිති!
ඒ කාල වකවනුවේ- පසුබිම් වෙන ස්ථානයේ- තොරතුරුත් හිතාදර පාඨක ඔවුහු උකහා ගනිති.
ඒ
මා කරුණු තේරුම් ගන්නා ආකාරයයි. ඒ අවබෝධය මට කියන්නේ මා වඩාත් කැපවීමෙන් ලියන දේ ලිවිය
යුතු බවයි!
වෙහෙසවී, මතකය අවුස්සා කරුණු ගොනු කළ යුතු බවයි!!
මං වහන්සේ මේ කරන්නේ ඒ job එකය. හැකි උපරිමයෙන් වෙහෙසී මේ 572 වෙනි පෝස්ටුවත් ලියන
එකය!!!
![]() |
මෙයා යුද්ධ කාලේ ලංකාවෙත් රාජකාරි කළයි කියනව නේද? |
එයා 100%ක්ම බ්‍රිටිෂ්ය. හැම දෙයක්ම වාගේ නීතියටය; පිළිවෙලටය. ඒ සමහර දේවල් නං ටිකක්
විතර ඕනෑවට වඩා වැඩිත් වගෙය; විකාරත් වගෙය.
අපි
එහාට ගිහිං පළමුවෙනි දවස් දෙක තුන ඇතුළතය, මේ කියන වැඩේ සිද්ද වුණේ.
TV
එකේ හොඳ වැඩ සටහනක් යද්දී, බත් පිඟානත් අරගෙන සාලයට ගිය මං වහන්සේ පුටුවකට බර දුන්නේ,
එය නරඹන්නටය. එතකොටත් අනිල් මල්ලී එතැනම බිම වාඩිවී රූපවාහිනිය බලමින් සිටියේය.
අතරමඟ වෙළෙඳ දැන්වීම් යන අතරේ කුස්සියට ගිය අන්නා, වතුර කෝප්පයක් ගෙනවිත් මගේ
ළඟින් තිබ්බේය. (මොන වැරදි තිබුණත් අන්නා මැරෙන තුරුමත් මට ගෞරව කළේ එවන් දේවල්
කරමිනි.) එතකොට ඩැඩාගේ ඇස් දෙක උඩ යනවා දැක්කත්, ඒ ඇයිදැයි මට වැටහුණේ නැත.
ඊළඟ මොහොතෙම ඩැඩා නැඟිට්ටේය. මගේ ළඟට ඇවිත්, අර වතුර කෝප්පයත් උස්සාගෙන කුස්සියට
ගියේය. වතුර වීදුරුවක් අරං ඇවිත් මගෙ ළඟින් තියලා, මොනවාදෝ මුමුණමින් උඩ තට්ටුවට
නැංගේය.
“ඩැඩාට
පෙන්නන්න බෑ කෝප්පෙකින් වතුර බොනවා. වතුර බොන්න ඕනි වීදුරුවකින්. කෝප්ප තියෙන්නේ
තේ කෝපි වගේ ඒවා බොනකොට ගන්නලු.” එතැනම හිටි අම්මා පූර්වාපර සන්ධි ගලපමින් අපට
කිව්වාය. “සුද්දො අපි වගේ නෙවෙයිනෙ, අනිල්...”
තවත්
දවසක, මං පැන්සලක් උල් කරන්නට ගත්තා විතරය. ඩැඩා භ්‍රාන්ත වුණේය; ඒ බිරාන්ත වීම
මාවත් බය කරන තරමේ එකකි.
“වීසි කරපං, වීසි කරපං. Throw it away! අහකට වීසි කරපං නිමොල්!”
ඩැඩා කියන්නේ මොකක්දැයි විපිළිසරවී බලා ඉඳිද්දී, ඒ මනුස්සයාම මගේ ළඟට ආවේය. බෝම්බ
නිෂ්ක්‍රීය අංශයේ රාජකාරී කරන්නෙකු තරම් සීරුවෙන් මගේ අතේ තිබුණු බ්ලේඩ් තලය අල්ලා
ඉවතට ගත්තේය.
“උඹ
දන්නවද මේක කොච්චර ඩේන්ජරස්ද කියල. Use a pencil sharpener. වැඩක් කරනකොට හරියටම
ඒකට ගැලපෙන tool එක ගන්න පුරුදු වෙයං, නිමොල්.” කියා කීවේය. බ්ලේඩ් තලය ඉතා
පරෙස්සමින් අල්ලාගෙන ගිහිං dust bin එකට දමලා, එයාම පැන්සල් කටර් එකකුත් හොයා
ගෙනවිත් මට දුන්නේය.
එහෙම
වෙලාවට අපේ අන්නාට නං මළ පනියි.
“මෙයා යුද්ධ කාලේ ලංකාවෙත් රාජකාරි කළයි කියනව නේද, අම්මෙ? පුදුමයි, මෙයාට හාර්ට්
ඇටැක් එකක් හැදුන්නැති එක අපේ මිනිස්සුන්ගෙ වැඩ දැකලා.” සමහර වෙලාවට අන්නා කටුක
විග්‍රහයනුත් කරයි.
“මේ අනිල්, ඒ මනුස්සයට සිංහල බැරි වුණාට මොකද- අපි කියන විදිහෙන් හොඳට
තේරුම් ගන්නවා අපි මොනවද කතා වෙන්නේ කියලා.” අම්මා අනතුරු ඇඟෙව්වත්, අනිලා ඒවා
කණකට ගත්තේ නැත; Don’t care ලීලාව හැංගුවෙත් නැත.
ඒවායේ
අවසන් ප්‍රතිඵලය වගේ මට පෙනුණේ, ‘ඩැඩාගේ සිතේ අන්නා කෙරෙහි සියුම් නොරිස්සීමක් හට
ගැනීම’ය!
![]() |
පිරිමි
ප්‍රධානයා වශයෙන් තමන්ට තිබුණු තත්ත්වය අහිමි වෙතැයි... |
අම්මාගේ කතාවෙන් මට තේරුම් ගියේ එකකි.
‘පවුලේ
ගෘහ මූලික පිරිමි ප්‍රධානයා වශයෙන් තමන්ට තිබුණු තත්ත්වය අහිමි වෙතැයි’ ඩැඩා කලබල
වී ඇත. ඒ වෙද්දී මල්ලියාගේත් කරදඬු උස්-මහත් වෙමින්ය තිබ්බේ. ඒකාත් අන්නා වගේම Mr.
Handsome කෙනෙකු වෙන බවයි, පහළවී තිබ්බේ.
ඉතිං, ඩැඩාට අරහෙම චකිතයක් ඇතිවීමත් පුදුමයක් නොවේ. ඊටත් ඒ දෙන්නාම දිසානායකලාය.
Schroederලාත් නෙවෙයිනෙ.
නොදන්නා
කෙනෙකු වුණත්, එයාගේ නම ලියද්දී ‘ශ්‍රෝඩර් එකේ c අකුරවත් අඩුකොට ලියනවා දකින්න’ට ඩැඩා
කැමති වුණේ නැත! එයා ඒ තරම් මමත්වයක් තිබුණු කෙනෙකි!!
“අම්ම
ඔන්නොහෙ සද්ද නැතිව ඉන්න. හැබැයි, අනිල්ට කියන්න ඒ මනුස්සයට ටිකක් ගරුසරුව
සලකන්නයි කියලා.”
“අන්නා එහෙම කරනවනේ, ඉතිං.”
“අම්මෙ,
මහ ලොකු දේවල් නෙවෙයි කරන්න ඕනේ. සමහර පුංචි දේවල් මිනිස්සුන්ට ලොකුවට දැනෙන
වෙලාවල් තියෙනවා.
දැන් අනිල් සිගරැට් බොනවයි කියලා අපි හැමෝම දන්නවනෙ. ඒත්, අන්නා තවම නං කොයිම
වෙලාවකවත් මගෙ ඉස්සරහ සිගරට් එකක් පත්තු කර ගන්නෙ නෑ.
හැබැයි, මමම දැකල තියෙනවා- අනිල් ඩැඩා ඉස්සරහදි සිගරැට් උරනවා... ඩැඩා ඔව්වා
notice කරගෙනයි ඇත්තේ. එහෙම වෙලාවට එයාටත් දැනෙනව ඇතිනේ...”
අපේ
අම්මා එහෙම දේවල් තකන්නියක් නොවේ. “ඊඩිපස් සංකීර්ණය කියල දෙයක් තියෙනව අම්මෙ.
ඒකෙත් තිබ්බ වගෙයි මට මතක ‘පුත්තු ලොකු මහත් වෙලා එනකොට තාත්තලගේ හිත රිදෙන’
කතන්දරයකුත්”.
ඔහොම
ඉන්න අතරේය, හදිසියේම ‘රෝයි අංකල්’ එහාට කඩා පාත් වුණේ. තනිවමත් නොවේ. සුමිත්‍රා
ආන්ටිත් එක්කමය.
රෝයි
අංකල් තැනකට ආවාම, සේනාංකයක්ම ආවා වගේය. එතැන පිරෙයි; ජීවයෙන් උතුරා යන්නට වෙයි.
ඒ තරමටම රෝයි අංකල්ගේ කට සද්දය- හැසිරීම කලබලය.
“ඔන්න සැසිල් අපි ආවා! උඹ කී පාරක් මට ෆෝන් කර කර ඇහුවද උඹේ Step Sonsලව බලන්න
එන්නැද්ද කියලා. දැන් ඉතිං එයාලව අපිට ඉන්ට්‍රඩියුස් කරලා දියං.”
එතකොට
නං ඩැඩා ආඩම්බරෙන් උද්දාමයට පත් වුණේ, අපේ තාත්තා එයා වගෙය!
![]() |
හෝමෝසේපියන්ස්ලාම
වුණත් ලංසි උදවිය ටිකක් වැඩියෙන් සමාජශීලීය; කෙළිලොල්ය; විනෝදකාමීය. |
එහෙනං ඒක තමයි මේ! හෝමෝසේපියන්ස්ලාම වුණත් ලංසි උදවිය ටිකක් වැඩියෙන් සමාජශීලීය;
කෙළිලොල්ය; විනෝදකාමීය. “... සුමිත්‍රා නං දෙමළ. දැන් ඔය කියන්නවත් බැරි තරමට
සිංහල වෙලා හිටියට.” අපේ අම්මා රෝයි අංකල්ලගෙ තෝම්බුව දිගෑරියේ කුස්සියේදීය.
අම්මාට
උත්තරයක් දෙන්නටවත් මට ඉඩක් නොලැබුණේ, සුමිත්‍රා ආන්ටිත් එතැනටම ආ නිසාය.
“ලීලෝ,
ලීලෝ... අපිට කේක් ඕනි නෑ අනේ. තේ එකක් විතරක් හොඳටම ඇති. යං යං රෝයිල ඉන්න
තැනටම... මේ week end එකේදිම ඔයාලා අපේ ගෙදර එන්න ඕනි, ඔන්න. පුතාල දෙන්නත් ආව එකේ
කෑමක්වත් දෙන්න ඕනිනෙ ලීලා.
මෙයා නිමල් කියලා නේද කිව්වේ. කවුද එතකොට රංජි?”
“මෙයාටම තමයි අනේ, අපි ගෙදරට රංජි කියලා කියන්නේ.” අම්මා තේරුම් කළාය.
“රංජි
දන්නෙ නෑ, මෙහෙදී ලීලා ඔයා ගැන ඔක්කොම විස්තර අපිට කියලයි තියෙන්නේ. ලීලා ලංකාව
ගැන වචන දහයක් කිව්වොත් එකක් දෙකක්වත් ඉතිං රංජි ගැන තමයි...
ඒක නෙවෙයි ලීලෝ, මේ පුතා නං ඔයා වගේමයි.”
රෝයි
අංකල්ලා ආපසු යන්නට කලින්, අනිල්ට තාවකාලික රස්සාවක් පට්ටල් කරන බවට පොරොන්දුවක්
දුන්නේය. “හැබැයි කොල්ලෝ, ඔන්න දැන්මම කියනවා. උඹට හොයල දෙන්න වෙන්නේ white collar
job එකක් නං නෙවෙයි. අනෙක බං, මෙහෙදි ටොයිලට් හේදුවත් කමක් නෑ. පවුම්වලින්නේ
ගෙවන්නේ...
ඔය ලංකාවෙන් එන බැල්ලිගෙ පුතාල වැඩි දෙනෙක් කරන්නෙත් ඒ වගේ odd jobs තමයි. මොකද පවුම්
නෝට්ටුවල ගහල නැහැනේ, කරන job එක මොකක්ද කියලා.” රෝයි අංකල් හංගන්නේ නැතිවම
කිව්වේය.
ඊළඟට
ටිකක් හෙමින්...
“උඹලගෙ සුදු බාප්පා නීතියටම වැඩ කරනව කිව්වට මොකද- උඹ රස්සාවක් කරනවට අකමැති
වෙනේකක් නෑ නේද, අනිල්?” කියලත් ඇහුවේය. ඒ ඔලොක්කුවට වාගේ හොරෙන්ම ඩැඩාගේ පැත්තට
ඉඟි මරමිනි. “අන්තිමට මිනිහා මගෙ ඇඟට ගොඩ වෙයිද දන්නෙත් නෑ!”
![]() |
උඹලගෙ
Ceylon ගවර්මන්ට් එක වගේ නෙවෙයිනෙ... |
“අනිල්ටයි,
නිමල්ටයි දෙන්නටම මේ කියන්නේ. ලංකාවේදි උඹලට මාව හම්බ වුණොත් නං මට අංකල්
කියල කියපල්ලා. මෙහෙදී එපා! එංගලන්තෙදි ඔය
ඕනි නැති අංකල් කෑලි ඕනෑ නෑ කොල්ලනේ... නම විතරක් කිවම ඇති. නැද්ද ඩාර්ලින්?” එහෙම
අහන ගමන්ම රෝයි අංකල්, එයාගේ ළඟින්ම වාඩිවී හිටි සුමිත්‍රා ආන්ටිව තුරුලු කරගෙන
හාදුවක් දුන්නේය.
මම
බිම බලා ගත්තෙමි!
“ඔව්,
ඔව්. නිමල් නං එහෙම කිව්වත් කමක් නෑ. පුංචි එකෙක් වගේ හින්දා. රෝයිටත් වැඩියෙන්
ලොකුවට පේන අනිල් මට ආන්ටි කිව්වොත්... නේද රෝයි?” සුමිත්‍රා ආන්ටිත් මහ හයියෙන්
හිනාවෙලා උත්තර බැන්දාය.
“එහෙනං,
මම හෙට අනිද්දම උඹට ජොබක් set කරලා දෙන්න බලනවා, අනිල්. නිමල්- බලමුකෝ ඔයාටත්...”
සමු ගන්නා වෙලාවේ රෝයි අංකල් කිව්වේය.
එහෙම කියූ රෝයි අංකල් පහුවදා උදේ දහයට විතර ආයෙමත් අපේ ගෙදරට ආවේය. “වැඩක් තියෙනවා
අනිල්. ඇවිල්ල උඹෙන් අහලම තමයි set කරන්න ඕනි කියලා හිතුණා. උඹ කැමතියි නං
විතරයි.”
“මොකක්ද
රෝයි?”
“කැරියර් සර්විස් එහෙක ලේබර් වැඩක්. බර උස්සන්න වෙනවා. එහෙම තැනකට හම්බ වෙන වැඩ
ඉතිං ටිකක් අමාරු jobs තමයි කොල්ලෝ... උඹ
මොකද කියන්නේ සැසිල්. මට පෙනෙන විදිහට නං ඒක අනිල්ට හරි යයි!”
“රෝයි!
මගේ ඔපීනියන් එක නෙවෙයි, මෙයාලගේ අම්ම මදර් සුපීරියර්ගෙන්ම අහගනිං.
එයානෙ උඹට ඔය contract එක දුන්නේ, මටත් හොරෙන්.” ඩැඩා කිව්වේ නියුට්‍රල් විදිහටය.
“Job එකක් කළා වගෙ නෙවෙයි. අහු වුණොත් බනානා බෝට්ටුවට දාලා එක දවසෙන්ම ලංකාවට
යවයි. උඹ දන්නවනෙ රෝයි, British ගවර්මන්ට් එක කොච්චර නීතිගරුක විදිහටද වැඩ කරන්නෙ
කියලා. උඹලගෙ Ceylon ගවර්මන්ට් එක වගේ නෙවෙයිනෙ...”
“ඔන්න
ඔන්න සුද්දගෙ ආණ්ඩුවේ පම්පෝරිය ගැහුවා.” Tone එකෙන් මොකුත්ම නොහැඟෙන විදිහටය, රෝයි
ඒ ටික කිව්වේ. “මිනිහට ඉතිං මේ ලබ්බට වැඩිය දෙයක් මුළු ලෝකෙම නෑ.” ඒ එක්කම කතාවේ
ස්වරය වෙනස් කරලා, රෝයි අංකල්
ඩැඩාගේ පැත්තට හැරුණේය.
“මොකක්ද සැසිල්, උඹ අද මට drink එකක් offer කරන්නැද්ද?”
![]() |
Mini බාර් එක ළඟට යයි. ඒ මිනි bar එක තිබුණේ… |
ඒ
ප්‍රශ්නය නැඟුණු හැම විටෙකම, කට කොණකට නැඟුණු සිනාවක් එක්ක අපේ ඩැඩා නැඟිටියි; ටයි
පටිය සකසා ගනියි; Mini බාර් එක ළඟට යයි. ඒ මිනි bar එක තිබුණේ, අම්මලාගේ කවුන්සිල්
ගෙදර පුංචි සාලයේ කොණකට වෙන්නටය.
Council
Flat එකක ඉන්නවාය කියන්නේ එංගලන්තයේ හැටියට නම් ආඩම්බර වෙන්නට දෙයක් නොවේ. ඒ නිවාස
ඒකකයත් එච්චර ලොකු ඉඩකඩක් තියෙන එකක් නොවේ. ඒ නිවාස සංකීර්ණයේ ගෙවල් සිය ගණනක් තියෙනවා
විය යුතුය. හැම ගෙදරක්ම එකම plan එකකටය, සාදා තිබෙන්නේත්.
එතැනදී මට පෙනුණු විශේෂ කාරණයකි මේ. ඒ හැම නිවසකටම වෙන් කෙරුණු ඉතා කුඩා බිම් කඩක්
බැගිනුත් ලබාදී තිබිණි. බිම් මහලේ අයට නම්, ගෙයි පිටුපස දොර විවර කිරීමෙන් ඒ පුංචි
බිම් කඩට ඇතුළු විය හැකි විණි. උඩු මහලක නිවසක් හිමි අයට ඒ වාසිය නැත. එයාලා
තමන්ගේ බිම් කඩට වෙනමම එන්න-යන්න ඕනෑය. (ඒ ගැන තවත් දේවල් පසුව කියන්නට තිබෙයි.)
අම්මලාට
ලැබී තිබ්බේ බිම් මහලේ ගෙදරකි. එය තට්ටු දෙකේ එකකි. එහි බිම් මහලේය, කුස්සිය- සාලය
හා එක වැසිකිළියක් තිබුණේ.
ඉතිං,
(එංගලන්තයේ මිම්මෙන් දුප්පත්) අපේ ගෙදර සාලයට ඇතුළු වෙනකොටම අර මිනි bar එක
කෙනෙකුට පෙනෙයි. ඒක හදලා තිබුණෙත් බීම බැරල් එකක හැඩයටය. ඒ මත නා-නා පන්නයේ
මත්පැන් බෝතල්ය. ඇතුළෙත්...
අපේ සමහර ගෙවල්වල උජාරුවෙන් ප්‍රදර්ශනයට තබා තියෙනවා වගේ, ඒ විස්කි- බ්‍රැන්ඩි-
වයින් බෝතල් එකක්වත් හිස් ඒවා නොවේ.
එහෙම
ගෙදරම මිනි බාර් එකක් තියාගෙන සිටින ගොඩ දෙනා වගේම, අපේ ඩැඩාත් බේබද්දෙක් නොවේ.
අහම්බෙන් hot drink එකක් ගන්නවා විතරකි. ඒකත් අමුත්තන් හා යහළුවන් සමඟිනි.
ඉතිං,
එදාත් ඩැඩා රෝයි අංකල්ට බීම වීදුරුවක් වත්කොට දුන්නේය.
“හිටපංකෝ. මම දැන්මම අර boss යාළුවට කතා කරන්න.” එවෙලේම රෝයි කාටදෝ ෆෝන් කළේය.
“... එක්කගෙන එන්න? මේ දැන්...? පොඩ්ඩක් හිටපං... (අනිල්, විනාඩියට ලැහැස්ති වෙයං.
අපි දැන්ම යන්න ඕනි... ඔය ඉන්න විදිහ හොඳයි බං.) හරි. පැය බාගෙන් අපි එනවා. Thank
you very much...”
![]() |
ඒ
බොන විදිහ දකිනකොට… |
“යමු, යමු. අර බොසා උගේ office එකෙන් යන්න කලින් යමු, අනිල්. අපිට දැන්මම එන්න කිව්වා. සැසිල්, drink එකට තෑන්ක්ස්! Second ෂොට් එකකුත් දියං, අපි ආපහු ආවම.”
ඩැඩා බීම
වීදුරුව හෝදලා, පිස දාලා අර කුඩා බාරයේ ඇතුළෙන් තැන්පත් කළේය.
“නිමොල්, උඹ දැක්කද රෝයි drink එක බීපු විදිහ. ඒ බොන විදිහ දකිනකොට මට හරි හිනහයි.
උඹලගෙ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙම ඉල්ලීගල් ලිකර් බොන්න. ඒ තැන්වලදී හොරෙන් බොන
විදිහම තමයි රෝයිටත් පුරුදු. උඹ මොකද හිතන්නේ...”
වෙනමම
මොනවා හිතන්නද, ඉබේම හිතුණුකොට. ඇත්තටම මට ඒ වෙලාවේ ඇති වුණේ තරහකි. ලංකාවේ
මිනිසුන් එක්කත්, රෝයි එක්කත්, ඩැඩා එක්කත්.
එතකොටත්
මං වහන්සේ දැක පුරුදු විදිහට ලංකාවේ මිනිස්සු වැඩිම දෙනෙක් බීමට පෙරේතයෝ වෙති.
ඇත්ත ඒකය. රෝයි අංකලුත් ඒ ගොඩේම වගෙය. ඒත්... උගත් මිනිහෙකු වෙලත් ඩැඩා ‘දුප්පත්
රටක මිනිසුන්ව මෙතරම්ම පාච්චල් කරන්නේ ඇයි?’ / මාත් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු බව ඩැඩාට
අමතකද... / කාටත් අභිමානයක් තියෙන බව එයාට අමතකද?
එහෙම
කෙනෙකුගෙන් මගේ සඟවා ගත් යටි අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා උදව් ඉල්ලන්නට
පුළුවනිද... මේ posts මාලාවේ හතර වැන්නේදීත්
මේ
ගැන මම මෙලෙසින් කීවෙමි.
‘එහෙම වුණත් දත කාගෙන ඉවසන්නට ඕනෑය. නිමල් දිසානායක එංගලන්තයට එන්නට කැමැති
වුණේ නිකංම නිකං නොවේ; යටි අරමුණකුත් තියා ගෙනය. ඒ සඳහා පසුබිම
සකස් කරගත යුතුය; ඉවසිය
යුතුය; ජය
ගත හැක්කේ එවිටය! මම මටම මතක් කර දුන්නෙමි.’
ඔව්!
ඒ යටි අරමුණ තව දුරටත් පාඨක ඔබට සැඟවීම අසාධාරණය. එබැවින් කියන්නෙමි; තරමක
විළියකින් යුතුව වුවද එය ඔබට හෙළි කරන්නෙමි!
à
ඊළඟ කොටසට...