මං පොලියානාව හඳුනා ගත්තේ මීට වසර 22කට කලින්. 2003 අවුරුද්දේ. එදා ඉඳල අවුරුදු 22 ඉකුත්ව ගිහිං. ඒත් පොලියනාගේ සොඳුරු බව අදත් එදා වගේමය; ළගන්නා බව අදත් එහෙමමය; ඒවා බිංදුවක්වත් වෙනස් වෙලා නෑ. එයාගේ රූ සිරියත්- ප්‍රභාවත්- ළගන්නා ගතියත් තවම එහෙමමය!
එහෙම වෙන්නේ පොතක එන චරිතයක් කිසිම දිනෙක වෙනස් නොවෙන හින්දයි.
![]() |
මා ළඟ සුරැකිව තිබෙන්නේ ජනක ඉනිමංකඩ මහත්මා ‘Baby Bee Classies’
ප්‍රකාශනයක් ලෙසින් පළ කෙරූ ‘පොලියානා’ පොතේ පිටපතයි. එය කත්‍යානා අමරසිංහගේ පරිවර්තනයකි.
(ස්තුතියි ජනක- ස්තුතියි කත්‍යානා!) |
1913දී Eleanor H. Porterගේ පන්හිඳෙන් උපත ලැබූ
Polliyana අදටත් සුවහසක් පාඨකයන් සනසයි. මා කියවා ඇති පොත්වලින් ‘හොඳම සුබවාදී’ පොතකි
මේ. එබැවිනි මේ කෘතිය මගේ සිත් ගන්නේ.
දන්නවද- ලෝකේ ඉන්න මිනිසුන්ගෙන් සමහරුන් වසංගත වගේ.
එයාලා ඉන්න තැනක තියෙන්නේ අසතුට. එයාලා කරන ඕනිම දෙයකින් කෙරෙන්නේ තව කෙනෙකුන්ව දුකට-
අසහනයකට පත් කිරීම.
ඒ වගේමයි- ඊට එහෙම පිටින්ම පටහැනි ‘පොලියානා’ වගෙ උදවියත් ඕනි තරම් ලෝකෙ ඉන්නවා.
ඔව්! සිරියාව උතුරණ- සතුට පතුරන- දැක්කත් හිත
පිරෙන උදවිය!
මං ලියපු මුල්ම blog post එකකිනුත් එහෙම සිරියාවන්ත අත්තම්මා කෙනෙකු
ගැන ඔයාලට කිව්වා මතකයි. එයා මඩ වගුරක පිපුණු පද්මයක්...
ඒ අත්තම්මගේ පුතා ෆ්‍රෑන්ක්
මහරගම, පමුණුවේ ගංජා විකුණපු කෙනෙක්ලු. එයාගේ බිරිය දරුවනුත්, සැමියත් අත හැරලා
ගිහිං හිටියේ. අර අත්තම්ම තමයි කැපවීමෙන් මුනුපුරු මිනිපිරියන් සේරම රැකබලා ගත්තේ.
ඒකයි ඒ අත්තම්මා තවමත් මගේ හිතේ ජීවත් වෙන්නේ.
සුභාෂිතයේ එන මේ කවිය කියවෙන්න ඇත්තේ මේ
අත්තම්මා වගෙ ගුණ යහපත්- පරාර්ථකාමී උදවිය ගැන වෙන්නැති!
අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ
අනත වෙහෙස ලදුවත් නොම වෙති දුහද
දියත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ
සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ
මං ඔය පෙරවදන කිව්වේ ‘නපුරු දුදනන්’ ගැන කියන්න
නෙවෙයි.
එයාලා ඉන්න අහක එයාලගෙ පාඩුවේ උන්නාවේ. අද මං කියන්න යන්නෙ ‘සතුට බෙදන පොලියානා’
වගෙ කිහිප දෙනෙකු ගැනයි.
මොකුත් අහිතක් හිතන්න එපා හොඳේ... මේ කතන්දරේට අපේ
අම්මත්, නෑදෑ හිත මිත්‍රයින් ගොඩකුත්, මාත් සම්බන්ධයි. ඒ හිංදා විස්තර කියද්දී (යාන්තමින්
හරි) අපේ පුරප්පට්ටුව අපිම ගහනව කියලත් ඔයාලට හිතෙන්න ඉඩ තියෙනවා.
![]() |
වෙනස්ම විදිහේ... (කැලිෆෝනියාවේ පිපෙන Darwin's Slipper මල්) |
අම්මා වෙනුවෙන් කෙරුණු පිංකම් අතරේ, වෙනස්ම
විදිහේ පින්කමක් කරන්න මං වහන්සේට ඕනි වුණා; මේ අවුරුද්දේ පෙබරවාරි 22 වෙනිදා ඒ පිංකම
කළා. ඒ ගැන විස්තර නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය පාඨක ඔයාලටත් කිව්වා. Posts
තුනකින්.
අම්මාට පිං ඇත! - පළමුවෙනි කොටස
අම්මාට පිං ඇත! - දෙවෙනි කොටස
අම්මාට පිං ඇත! - තෙවෙනි කොටස
හැබැයි, ඒ පිංකම වෙනුවෙන් අපි වෙන් කරලා තියාගෙන උන්නු සල්ලිවලින් 40%ක් විතරයි වියදම් වුණේ!
ඒ අතරේ අපේ පිංකමේ විස්තර කියවපු මහත්තයෙකුත් මට
කතා කළා. ඒ කරුණාවන්ත මහත්තයාටත් අපේ පිංකම නැවත වතාවක් කරවන්නට හිතිලා. හැබැයි නම
ගම නොකියා නිර්නාමිකව හිඳිමින්.
ඒ පිංකමත් කෙරුණා- 2025 අප්‍රේල් 24 වෙනිදා. ඒ විස්තරත් මං ඔයාලට වාර්තා කළා,
පෝස්ටුවකින්.
පිං බෝ වේවා!
නිදි ඒ post එක අවසන් කළේ මෙහෙමයි:
‘... කරුණාරත්න මහතාත් මාත් අතර කෙරුණු කතාබහ සියල්ල නොලියමි. එකක් විතරක්
ලියන්නෙමි.
එතුමා එවා තිබුණු මුදලින් ඉතිරියත්, පසුව
(කෑමවලට) එවූ මුදලුත් සමඟ දැනටමත් රුපියල් 25,000/-කට
ටිකක් වැඩි මුදලක් මගේ ළඟය! “ඔයා ඔය සල්ලිවලින් කීයක්වත් නොගන්න බව මම දන්නවා.
ඊළඟට කවද හරි ඔයාල ආයෙමත් ඔය පිංකම කරනකොට ඔව්වා ගන්න. මතක ඇතිව එතකොටත් මට
කියන්න...”
ඊට විනාඩි දහයකට පස්සේ තවත්
හිතවතෙක් මට කතා කළේය. එයාත් blog අඩවිය නිසාම දැන-හඳුනාගත්
(විදෙස්ගත) සහෘදයෙකි. “ඉතිං කොහොමද නිමල් අයියේ? ඊයේ
වැඩේ සාර්ථකයිද?”
අපේ කතාවත් පැය බාගයකට වඩා ඇදුණි.
මගේ කියවිල්ලේ වැඩියෙන් තිබුණේ උද්දාමයද? ඒකෙන් අර
හිතවතාට මොනවා හිතෙන්නට ඇතිද?
![]() |
එයාලට මේ සැරේ grand ලන්ච් එකක් දෙමු. ඔන්න එපැයි කියන්න එපා! |
දුරම ඉඳල ඔතැනට එන්නේ මුලතිව් බස් එකනෙ.
වැඩිය නෙවෙයි- මගේ ගණනේ මුලතිව් බස් එකේ පැසෙන්ජර්ස්ලගේ බස් ගාස්තුව ගෙවන්න ඕනි...
මම එවනවා තිස් දාහක්. හැබැයි ගොයියෝ, මගෙත් නං-ගං විස්තර කීම තහංචියි.
හරිද?”
ඒ හිතවතාත් කිසිම පරක්කුවක් නැතිව රුපියල් 30,000/-ක්
එව්වේය.
නිදිගෙ පංච තන්තරේ කියවන සහෘද විජේබාහු මහත්මයාටත් මේ පින්කමට දායක වීමට අවශ්‍ය
වුණේ මේ අතරතුරේය. එතුමාත් රුපියල් 20,000/-ක් එව්වේය.
කලින් ඉතිරිව තිබුණු රුපියල් 27,940/-ත් එකතු වුණු
විට රුපියල් 77,940/-ක් දැන් ෂෙහාන් (අපේ නොනිල භාණ්ඩාගාරික) අතේ තිබෙයි. ‘පිළිකා
රෝගීන් බලන්නට දුර බැහැර සිට එන ඥාතීන්ගේ බස් වියදම් ගෙවීමේ කාර්යය’ තවත් වතාවක්
කරන්නට යන විත්තිය මම කරුණාරත්න මහතාටත් දැන්වීමි.
“නිමල්, මේ සැරෙත් මාත් දායක වෙනවා. මං සල්ලි
ටිකක් එවන්නං. මටත් සතුටක්.”
“එපා, එපා. මහත්තයෝ. තියෙන සල්ලි ඇති වේවි.” මං ඉක්මනින්ම කළේ දළ ඇස්තමේන්තුවකුත් එතුමාට ඉදිරිපත්
කිරීමයි.
“මෙහෙමයි නිමල්. අපි මේ වතාවෙත් බස්වල කොන්දොස්තර- ඩ්‍රයිවර්
මහත්තුරුන්ට සල්ලි දෙමු. එයාලා කරන වැලියුබල් සර්විස් එක ගැන ඔයාමනෙ අපිට කිව්වේ.
අනෙක ඔයාලගෙ ටීම් එකේ උදවිය... එයාලට මේ සැරේ grand ලන්ච් එකක් දෙමු. ඔන්න එපැයි
කියන්න එපා. ඒක මගේ සතුට! ඒ විතරක් නෙවෙයි- මට ආසයි එයාල කට්ටියව මුණ ගැහෙන්නත්...
එයාල එක්ක කතා කරන්නත්... ඔයාට කරදරයක් නෙවෙයිනෙ ඒක ඇරෙන්ජ් කරන එක! එදාට කෑම- බීම
සේරමත් මගේ ගණනේ...” කරුණාරත්න මහතා කීවේ, මට කතා කරන්නට ඉඩක් නොතබමිනි.
![]() |
දාහතර වෙනිදා බස්වල මඟීන් අතරේ බෙදා දුන්නු කුඩා slip එකක පිංකමේ
විස්තර සටහන් කරලා තිබුණේ මෙහෙමයි: |
“මං එපැයි කිව්වත් එක්ක ෂෙහාන්... එයාට ඕනිලු ඔයාල කට්ටියව හම්බ වෙන්නත්. පොඩි chat
එකක් දාන්නත් එක්ක. පෙනෙන විදිහට ලොකු treat එකකුත් දෙන්නයි යන්නෙ...”
“එළනේ මහප්පේ! කරුණාරත්න මහත්තයත් එනවා නේද? ආසයි, ඒ මහත්තයව බලා ගන්නත්...”
බස් ගාස්තු ගෙවීමේ කාර්යය අගෝස්තු 14
වෙනිදාටත්, සුහද හමුවීමේ කාර්යය අගෝස්තු 15 වෙනිදාටත් යොදා ගැනුණේ එහෙමයි!
දාහතර
වෙනිදා බස්වල මඟීන් අතරේ බෙදා දුන්නු කුඩා slip එකක පිංකමේ විස්තර සටහන් කරලා
තිබුණේ මෙහෙමයි:
‘බඩවැල්වල
පිළිකාවකින් රෝගීව මියැදුණු අම්මාට පිං පිණිස අපි පිං අතේ වැඩක් කළා. මහරගම
අපේක්ෂා රෝහලේ නැවතිලා ප්‍රතිකාර ගන්නා ඥාති හිතවතුන් බලන්නට ලංකාවේ ඈත දුර බැහැර
ඉඳලා පැමිණෙන උදවියගේ බස් ගාස්තුව ගෙවීමයි ඒ.
ඒ ගැන විස්තර ‘නිදිගෙ පංච තන්තරේ’ අන්තර්ජාල blog අඩවියේ පළ වුණා. (අවශ්‍ය නම්
විස්තර මෙතැනින්.)
https://nidigepanchathanthare.blogspot.com/2025/03/blog-post_24.html
ඒ විස්තර දැක්ක කරුණාවන්ත කරුණාරත්න (නියම නම නොවේ)
මහත්මයාට හිතුණා අපි ලවා ඒ පිංකම නැවතත් කරවන්න- මුල් වතාවටත් වඩා සරු විදිහට. ඒ
විස්තරත් අර බ්ලොගයේ පළ කෙරුණා.
https://nidigepanchathanthare.blogspot.com/2025/04/blog-post_25.html
එව්වා දැක්ක නිදිගෙ පංච තන්තරේ නොකඩවා කියවන තවත් හිතවතුන්
දෙන්නෙකුටත් අර වගෙම පිං සිතුවිලි පහළ වෙලා. පුදුමේ කියන්නේ- ඒ දෙන්නමත් කැමති නෑ
එයාලගේ නම් ගම් විස්තර එළිදරව් කරනවට. එක්කෙනෙකු නම් ‘විජේබාහු’ නමින් පෙනී ඉන්නවා.
අනිත් කෙනා එහෙමවත් නෑ...
තවත් වතාවක් මේ පිං අතේ කාරිය කරන බව දැනගත්තු කරුණාරත්න
මහත්තයාට ඕනෑ වුණා එයාටත් දායක වෙන්න. එයින් අපට පුළුවන් වුණා තුන්වෙනි වතාවටත්- අද; 2025 අගෝස්තු 14 වෙනිදා
මේ පිංකම කරන්න.
මේ විස්තරත් නිදිගෙ පංච තන්තරේ පළ වේවි!
https://nidigepanchathanthare.blogspot.com
හැම දෙනාටම යහපතක්ම වේවා! නිරෝගී සම්පත ලැබේවා!’
![]() |
| මේ පිංකම සැලසුම් කරද්දීම අපි තීරණේ කළා |
පමා වෙන්න ප්‍රධාන හේතුවත් දැන්මම කියල ඉන්නංකො. අපි ඇස්තමේන්තු කළාට වැඩියෙන්
චුට්ටක් ඒ වැඩවලට වියදම් වුණා. (ඒ වියදම මට දරා ගන්න ඇහැකි තරමේ එකක්. උණු උණුවේ ඒ
විත්තිය ප්‍රසිද්ධියේ නොකියන එක වඩා හොඳයි කියලයි මට හිතුණේ.)
අගෝස්තු
15 වෙනිදා හැන්දෑවේ අපේ කට්ටියව මුණ ගැහෙන්න කරුණාරත්න මහත්තයත් ආවා. තොරතුරු කතා
කළා. ඛජ්ජ භොජ්ජවලිනුත් සප්පායම් වුණා. සාදය හමාර වුණේ පාන්දර එකට විතර.
හිතට
දුක හිතුණු කාරණය තමයි- සිහිවටනයක් විදිහටවත් එකම එක foto එකක්වත් නොගැනීම. ඒ
තහංචිය දැම්මෙත් මං වහන්සේමයි. කරුණාරත්න මහත්තයාගේ සැබෑ අනන්‍යතාව හෙළි වෙන්න
දෙන්න බැහැනෙ! ඒකයි එහෙම කළේ.
මේ පිංකම සැලසුම් කරද්දීම අපි තීරණේ කළා ‘කිසිම බස් මඟියෙකුගේත් foto නොගන්න.’
ඒකෙන් පෝස්ට්ස්වල විචිත්‍රත්වය ටිකක් විතර අඩු වුණා තමයි- ඒත්... ඊට වැඩිය වටිනවා
නෙව ‘ආධාර ලැබූ බස් මඟීන්ගේ පෞද්ගලිකත්වය සුරැකීම’.
ඉතිං...
කරුණාරත්න, විජේබාහු හා නම නොකියන අනෙක් හිතවත් මහත්මා ඇතුළු තුන්දෙනාටම බොහොම
පිං! ගොඩාරියක් ස්තුතියි!!
තවත් පිරිසකට සතුට බෙදීම වෙනුවෙන්.
ඔයාලට
කියන්න- අගෝස්තු 16 වෙනිදා උදේම කරුණාරත්න මහත්තයා ටෙලිෆෝන් එකෙන් කතා කළා.
“නිමල්... ඔයාට කට්ටිය එකතු කර ගන්නයි- එයාලව handle කරන්නයි හොඳට පුළුවන්නේ. ඒ
වගේමයි, ඔයාගේ අලුත් අලුත් අයිඩියාස්... බැරිද කවුරු හරි අවශ්‍ය කරන කට්ටියකට කෑම
ටිකක් දෙන වැඩක් ඔර්ගනයිස් කරන්න. මට හරි ආසයි, එහෙම වැඩකට දායක වෙන්න...”
“මට
ටික දවසක් දෙන්නකො මහත්තයෝ!” මං ඒ වෙලාවේ එතුමන්ට කිව්වා මතකය. ඒ ගැන පූර්ව සොයා
බැලීම් ටිකකුත් පසුගිය ටික දොහේ නිහඬවම කෙරිණි.
දියවින්නේ දහම් පාසලට කෙරුණු පරිත්‍යාගය සේ, එක්ගල්ඔය පන්සලේ ධර්ම ශාලාවේ ඉදිකිරීම් වැඩ කර දුන්නා
සේ දුර පළාතක නොයා- කෙරෙන දෙයකි, දැන් මට කළ හැක්කේ...
එසේ වුවත් මට හිතෙන්නේ තවත් පිරිසකට ‘සතුට බෙදා දීමට අවස්ථාවක්’ ඉක්මනින්ම අපට
උදාවෙනු ඇත යනුවෙනි෴0෴





No comments:
Post a Comment