ඊළඟ පැය දෙක තුනේ මගේ ප්රධාන රාජකාරිය වුණේ අපේ අම්මා සමීපයෙන්ම ගැවසෙන එකය; එයා අමුත්තන් හා කතාවකට මුල පුරනකොටම එතැනට හොම්බ දමන එකය; හැකිතාක් ඉක්මනින්ම අම්මාව නිස්සද්ද කරවන එකය!
ඒක ‘පොකුටු මයිල් ගහක් කෙලින් කරන්නැයි
යකෙකුට පැවරුණු රාජකාරිය’ට
වඩා අමාරු එකකි! එහෙම කියමිනි, මං වහන්සේ පසුගිය post
එක හමාර කළේ.
![]() |
බිමල් සහ සමන්ති දෙදෙනා එකතුව- දීපාල්ට, නිදිට, අජිත්ට හා අම්මාට
වෙඩින් කේක් කවද්දී... |
පැයක් විතර යද්දී අම්මාට ‘මගේ පලිහ ඇල්ලීමේ රාජකාරිය හෙවත් මුවා කිරීමේ රාජකාරිය’
ගැන ඉව වැටිණි.
“ඔයා මොකද රංජි, කවදාවත් නැතුව වලිගෙ වගෙ මගේ
පස්සෙන්ම කැරකෙන්නේ?” අන්තිමේදී අම්මා කෙලින්ම ඇහුවාය.
“අම්මට පිස්සුද...”
“මට ඇති පිස්සුවක් නෑ. හැබැයි ඔයාල හිතාගෙන ඉන්නේ නං එහෙමයි කියල. මං දැක්කා... මං
දැක්කෙ නැහැයි කියලද ඔයා හිතන්නේ... මං ගිහිං බිමල්ලගෙ නෑදෑයෝ එක්ක කතා කරනකොට සමන්තිගේ
මූණ නරක් වෙනවා. මගේ ඉංග්රීසි හොඳ නැති එකට ඔයාලට ලජ්ජයිද... ඒකද ඔයාත් ඔත්තු බල
බලා මගේ පස්සෙන් එන්නේ... එව්වට නං එන්න එපා, පුතේ. මට හිතුණොත් මං ගිහිල්ලා අර මයික්
එකක් ඉල්ලගෙන ඔක්කොමලටම ඉන්ග්රීසිවලින් ස්තුති කතාවක් කරලයි පස්ස බලන්නේ.”
ඇත්තම කියන්න එපැයි. අම්මා එහෙම කියද්දී නං මං
තක්බීර් වුණා. අපේ අම්මා එහෙව් දෙයක් වුණත් කරන්නට බැරි අම්මණ්ඩියෙක් නොවේ. මට
කරන්නට ඉතිරි වී තිබ්බේ ‘සාර්ථකව පසු බැසිල්ල’ය. එහෙම කරලා වැඩි වෙලාවක් යන්නට කලින්
‘නව යුවතිපති යුවල’ මංගල භෝජනය භුක්ති විඳින්නට සැරසෙන බැව් පෙනිණි.
![]() |
අම්මාගෙන් හා ඩැඩාගෙන් නව යුවලට ආසිරි සුපැතුම් සමඟ... |
එතකොට අපේ ඩැඩායි මායි හිටියේ අතරමඟින් නවත්තන්න
වෙච්ච සංවාදේ ආපහු පටන් අරං. ‘සද්දෙටත් වැඩිය නරක දෙයක් තව ටිකකින් you
can see!’ කියලා
ඩැඩා මට කිව්ව කතාවෙ අගමුල දැනගන්නයි මට වැඩියත්ම ඕනි වෙලා තිබ්බේ.
“That is nothing නිමොල්. But for me it’s a
really horrible thing. උඹ මීට කලින් ඉන්දියන් වෙඩින් එකකට ගිහිං තියෙනවද? නෑ...
එහෙනං අද උඹටම බලා ගන්න පුළුවන් වෙයි. උඹේ අලුත් ඉන්දියන් රිලටිව්ස්ල ඔක්කොම
එන්ජෝයි කරන්නෙ food නෙවෙයි. Ghee!” ඩැඩා පැහැදිලි කළේ උපහාසාත්මකවය.
“ගිතෙල්! ඒ වුණාට ඩැඩී, Sam වුණත් cooking කරද්දී වැඩිය ඔයිල් use කරන්නේ නැහැනෙ.”
“එහෙමද? ඒත් නිමොල්- අද මෙහෙ කෑම උයල තියෙන්නේ
සෑම් නෙවෙයිනෙ!”
“සැසිල්... අපිත් අරහෙට යමුද, කන්න දෙයක් බෙදා
ගන්න... මට නං බඩගිනිත් එක්ක.”
දෙවෙනි වතාවටත් ඩැඩාගේත් මගේත් කතාවට ‘උදැල්ල’ වැටුණේ අපේ අම්මාගෙනි.
“උඹට බඩගිනි වෙන එක පුදුමයක්යැ ලීලා. Samලට වැඩිය අද බිසි වෙලා ඉන්නේ උඹනෙ. එක
වැඩක්ද. අමුත්තන්ට කතා කරන්නයි- Dance කරන්නයි... උඹනෙ ඉතිං මෙතන මදර් සුපීරියර්!
හඃ හඃ හඃ!!”
![]() |
රජවරුන් ගොඩ දෙනෙකු රටම කන අතරේ අනේකවිධ කෑමවලිනුත් මොනොවට සංතර්පණය
වී තිබෙයි! |
පව්!
කවර දවසක- කවුරුන්- මේ පූච්ඡානං ‘රැජන කතන්දරේ’ අපේ අම්මාගේ ඔළුවට දැම්මාදැයි අපි
නොදත්තෙමු. එහෙත් අප ස්ථිරවම දැනගෙන උන්නේ අම්මා මිය යන තුරුමත් ‘ඒ බොරුව අදහාගෙන
සිටි විත්තිය’යි.
එක අතකට අපේ අම්මා වැනි ‘නූගත්’ අංගනාවක එහෙම
වීමේ පුදුමයකුත් නැත.
එවන් බොරු වර්ණණා අසන්නට රුචි කරන; ඒවා අදහන; ඒවායින් තමනුත් රැවටී මුලාවේ වැටී
සිටින උද්ධච්ඡ උගතුන්- නායකයන් පවා මේ සිරි ලංකාවේ අදත් අඩු නැති බැවිනි!
ඉතිං අපේ අම්මාට තිබුණු ඒ අධිමානය නිසාම එයා
කිසි විටෙකත් දෙවෙනි වෙන්නට අකැමැති වූවාය.
“අපි මොකටද පරක්කු වෙන්නේ... යමු, යමු සැසිල්. නැත්තං මම ඔයාට කෑම එකක්
බෙදාගෙන එන්නද?”
“මොකද්ද ලීලා උඹට මේ තියෙන හදිස්සිය... Can’t you see. There are plenty of foods!
කෑම මදි වෙයි කියල බය වෙන්න එපා.”
ඇත්තය. ඩැඩා කියන්නේ ඇත්තය.
කෑම මේස පොඩි නැත. යායක් දිගට ඒ මේස විහිදී තියෙයි. ඒ මේස මත දුම් දමමින් තියෙන්නේ
පත ආහාර කන්දරාවක් අඩංගු බඳුන්ය; රාජ භෝජනයක් පරදවන තරමේ ආහාර වර්ග රාශියක් එතැන
වෙයි.
එතකොටය මතක් වෙන්නේ...
රජවරුන් ගොඩ දෙනෙකු රටම කන අතරේ අනේකවිධ කෑමවලිනුත් මොනොවට සංතර්පණය වී තිබෙන බව. (ඒ
ගැන අපූරු සඳහනක් fb පිටුවක තිබිණි.)
‘... බත්වඩන නිළමේ නොහොත් මුලුතැන්ගෙයි ප්රධානියා බෙහෙත්ගෙයි මුහන්දිරම්ගේ පණිවුඩයට
පසුව රජුගේ දිවා භෝජනය ගැන සැලකිලිමත්ව ඊට සුදුසු නුසුදුසු ආහාර වට්ටෝරු සකසයි. බොහෝවිට
දෛනිකව උදෑසන හය හෝ ඊට ආසන්න වේලාවක සිට දිවා ආහාරය සැකසීම අරඹයි. බත් වර්ග හතක්,
මස් මාළු වර්ග තිහක් සහ කොළ එළවළු වර්ග තිහක් ද, කැවිලි වර්ග පනස් පහක් ද, ගිතෙල්
වෙඬරු හෝ කිරි ආශ්රිත ආහාර ද, ඖෂධීය ශාක වර්ග ඇසුරින් සකසන ලෙය්ය වර්ග ද, හීනටි හාල්
අතුරුපස ද, කිරි පැණි ද, බුලත් විට ද ඇතුළත්ව රාජ්ය දිවා භෝජන වට්ටෝරුව සැකසේ.’
![]() |
කඩේ පුංචිගේ මඟුල් පෝරුව හදල තියෙන්නෙත් ඔයාලගේ තාත්තාලු. |
ගිතෙලින් නහවා; යහමින් කුළුබඩු එකතුකොට සකස් කර
තිබූ නමුදු ඒ කෑම ප්රනීත බව නං නොකියා බැරිය.
ඩැඩා නම් බෙදා ගත්තේ කුකුළු මස් කැබැල්ලකුත්, සැලඩ් ටිකකුත් වගෙය මට මතක.
මතකය...!
මතකය පහුරු ගාමින්; අවුස්සමින් මේ posts ලියද්දී හැංගිලා තිබුණු අපේ පවුලේ තොරතුරු
සමහරකුත් එළියට එයි. ඒවාත් ලියා තියන්නට හිතෙයි. නිමල් දිසානායකයාගේ පවුලේ විස්තර
ලියන්නට වෙනින් කවුරුන්වත් නැති බැවිනි ඒ.
අම්මාගේත්, සෝමා පුංචිගෙත් මංගල මල් කලබවල්වලට
පාවිච්චි කර තිබුණු මැඩෝනා ලිලී මල් ගැන වැඩි විස්තර මට කිව්වේ අනෝමා නංගිය.
‘නොදෙන්න හිටි රන් පදක්කම’ පෝස්ටුවෙදී
කියූ ලෙසින් අපේ තාත්තා උපායශීලී අයිඩියානන්ද කෙනෙකු වූවාට අමතරව දක්ෂ කලාකාරයෙකුත්
වුණු විත්තිය මට අවධාරණය වූයේ අනෝමා නංගිගේ හෙළිදරව්වෙනි.
“රංජි අයියා, ලොකු තාත්තා නියම වැඩකාරයෙක්
කියලා අපේ අම්මා කිව්වා. අම්මලගේ වෙඩින් බොකේ එක විතරක් නෙවෙයිලු රංජි අයියලගෙ
තාත්තා හැදුවේ. ගමේ පිරිත් ගෙයක් තියෙනකොට පිරිත් මණ්ඩපේ හැදුවෙත් එයාලු. මඟුල්
ගෙදරක් තියෙනකොට පෝරුව හැදුවෙත් එයාලු. ඔයා දන්නවද? කඩේ පුංචිගේ මඟුල් පෝරුව හදල
තියෙන්නෙත් ඔයාලගේ තාත්තාලු.”
![]() |
එකේක්කෙනාගේ ඔළුවලින් කොණ්ඩ කටු හා net ගලවා එකතු කරගෙන මනාලියගේ
කොණ්ඩා මෝස්තරය දමන්නට සිද්ද වුණේ. |
මේ කඩේ සීයාගේ ලොකු පුතණ්ඩියා විවාහ වෙන දවසේය;
මට කිසිම සූදානමක් නැතිව- එකේක්කෙනාගේ ඔළුවලින් කොණ්ඩ කටු හා net ගලවා එකතු කරගෙන
මනාලියගේ කොණ්ඩා මෝස්තරය දමන්නට සිද්ද
වුණේ.)
“ඔව් රංජි පුතා! කඩේ නංගිගේ පෝරුව හරිම
ලස්සනයි. බදුල්ලේ ඒ වගෙ පෝරුවක් අපි නං දැකල තිබ්බේ නෑ පුතා. මඟුල් ගෙදරට ආව
මිනිස්සුන්ගේ ඇස්වහ වැදිලද කොහෙද ගුණපාල අයියට සහලවල උණ ගත්තයි කියමුකෝ. ඒ සන්දියේ
කඩේ බාප්පා තමයි මතුරලා තෙල් සාත්තුවක් කරලා උණ බැස්සුවේ.” සෝමා පුංචිත් අපේ කතාවට
සම්මාදම් වුණාය.
”අනෝමා නංගි. මට මතකයි කඩේ පුංචිලගේ ගෙදර
එයාලගේ මඟුල් ෆොටෝ එක තවම තියෙනවා. ඔයාට බැරිද ඒකෙන් කොපියක් ගහල එවන්න.”
දවසක් යන්නත් කලින් ෆොටෝ එකේ පිටපතක් මගේ ළඟය!
ස්තුතියි අනෝමා නංගි. ඒත් එක්කම නමීටත් ගොඩක් ස්තුතියි!
නමීට ස්තුති කරන්නේ මේ හිංදාය: එයාගේ වැඩ
රාජකාරි දාහක් මැද්දේ- අපේ කඩේ පුංචිලගේ මංගල ඡායාරූපය AI තාක්ෂණයෙන් කලඑළි කර
දුන්නේ නමී උන්නැහෙය.
මංගල සාදේ ඉවර වෙලා අපි ගෙදර ආවේ රෑ මැද්දේ. එතකොට 1994 අගෝස්තු පළමු වෙනිදත් වෙලා. හරියට නින්ද ගියාද කියලවත් නොදැන හීනලන්තයේ අතරමංව ඉඳිද්දී... මහ හයියෙන් කවුද දොරට තඩි බාන සද්දේ ඇහුණා.
“ලොකූ!” දීපාල්ගේ
සද්දේ...
“ලොකූ... ලොකූ. Call for you!”
නිඳි මරල ඉන්න දවසේ කව්ද යකඩො ටිකක් දවල් වෙනකල් නිඳා ගන්නවත් නොදෙන්නේ...
ඉතිරි හරිය ඊළඟ කොටසින්...
'94 අගෝස්තු මමත් ලන්ඩන් වල කෙන්සින්ටන් පැත්තේ නතර වෙලා හිටියේ . දන්නේ නැහැනේ ඉතින් . ඔය වෙඩිම ගත්තේ පාම් ඔලිව් එකේ ,(වෙම්බ්ලි වල ඒ කාලේ තිබ්බ ටැමිල් රෙටුරන්ට් එකේ නෙම්යිනේ )
ReplyDelete