1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස

Tuesday, November 6, 2018

මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස

ලවුඩ්ස්පීකරය හඬ දෙමින් කිව්වේ මහරගම පවත්වන්නට යන unp රැස්වීමක් ගැනය. එහිදී වැඩියෙන්ම උලුප්පා කියැවුණේ කථිකයන්ගේ නම් නොවේ. ගායක ගායිකාවන්ගේ නම්ය. නළු-නිළියන්ගේ නම්ය.
ලවුඩ්ස්පීකරයෙන් හඬ දෙමින් කිව්වේ.......
“පේනවා නේද මිනිස්සුන්ට දේශපාලන කතා එපාවෙලා තියෙන හැටි. මෙහෙම ගියොත් මිනිස්සුන්ට දේශපාලනෙත් එපා වෙයි. මිනිස්සු එන්න ඕනේ සින්දු අහන්නද, නැතිනම් චන්දෙ දෙන්න යන පක්ෂේ කරන වැඩ ගැන අහන්නද?” මං නියෝජිතයන්ගෙන් ඇහුවේ ඇත්තටම කනගාටුවෙනි.

“දිසා, ඔය මිනිස්සුන්ට තේරෙන තරම තමයි.” පියදාස අයියා උත්තර දුන්නේ සිරිකොතේ දෙන්නාට ඉඩක් නොතියාය. “මිනිස්සුන්ව අපේ පැත්තට නම්මවා ගන්න ඉස්සෙල්ලා රැස්වීම්වලට ගෙන්න ගන්න එපැයි දිසා.”

“ඒක හරි පියදාස අයියේ. ඒත් ගිය වතාවේ රැස්වීම්වල සිංදු තිබුණේ අන්තිමට. කතා ඉවර වුණාම. දැන් එක කතාවකට පස්සේ සිංදුවක්. එහෙම කරන්නේ මිනිස්සු රඳවාගන තියාගන්නනේ. ඒකෙන් පේන්නේ.....” මිනිසුන්ට දේශපාලන කතා කිඩාරම් මල් වෙමින් ගියේ එහෙමය. මල ලස්සන වුණාට සුවඳ නැත. විහිදෙන්නේ ගඳකි!

මට මතක හැටියට නම් මෙසේ කතාවකට පසු ගීතයක් බැගින් කියවන පුරුද්ද ඇති වුණේ 77 මැතිවරණ වේදිකාවලදීය. 

අන්තිමේදී ප්‍රධාන පක්ෂවල මැයි රැලිවලට පවා ඉන්දීය ගායක-ගායිකාවන් ගෙන්වන්නට විණි. (එහෙම පැමිණි වැඩි දෙනෙකුට තවත් වැඩි කාලයක් ගී ගැයීමට නොලැබෙන මර යෝග එළඹුණු බවකුත් මට මතකය. එකල පැතිරුණු මේ ප්‍රවාදය ඉතිහාසය කලඹන්නෝ සොයත්වා!)

කිඩාරම් මලේ............
ශ්‍රී ලංකේය දේශපාලන භූමිය ගඳ ගහන්නට ගත්තේ සෙමිනි. රටවැසි ජහමන අපේ කරුමයට ඒ ගඳ ගැහීම එන්න-එන්නම වේගවත් වුණේය. දැන් එය යන්නේ රොකට්ටුවක වේගයෙනි.

සිරිමාවෝ ඩයස් බණ්ඩාරනායක අගමැතිනියගේ සහකාර ලේකම් කෙනෙකුව සිටි ධර්මසිරි පීරිස් මහතා කියා තිබුණු අපූරු කතාවක් මෙතැනදී මට මතක් වෙයි. “ඒ කාලේ හිටපු ගමන් ඔන්න මට තරමක ලිපි කවරයක් දෙනවා. ඒකේ කාසි ගොඩක් එක්ක නෝට්ටු කිහිපයක් තියෙනවා. ‘ඔන්න ධර්මසිරි අරලිය මන්දිරේ පත්තර වික්ක සල්ලි.ඕවා ටික යවන්න’ කියලා. මැතිනියගේ වැඩ එහෙම තමයි.”

ඩඩ්ලි සේනානායක මහත්තයා මිය යනවිට ඔහුගේ බැංකු ගිණුමේ ශේෂය තිබී ඇත්තේ රුපියල් තුන්සීයකටත් අඩුවෙනි. ඒ එදාය.

“ඔයා කියන දේවල් බොරු නෙවෙයි නිමල්. ඒත් අපිට සේරම දේවල් වෙනස් කරන්න බැහැනේ. අපි පුළුවන් දේ කරමුකෝ. කොහොම හරි රට බේරාගන්න ඕනිනේ. නැද්ද පියදාස මහත්තයා.” බැරිම තැන නියෝජිතයෙකුත් මැදිහත් වුණේ එහෙමය.

ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස මහත්වරු........
ඒ නියෝජිත මහත්තයාත් කාට හෝ කඩේ යන කෙනෙකු වන්නට ඇත. ඒ වනවිට දේශපාලන පක්ෂවල වැඩ ගැන, කඩේ යැවීම් ගැන  තරමක අවබෝධයක් මට ලැබී තිබිණි. 

වරක් පක්ෂයේ බලය අල්ලන්නට ජේ.ආර්.ගේ පිල සිරිකොතට රොක්වෙන බව මට කිව්වේ mpm මාමාය. “එයාලගෙ කට්ටියට සබ්බුව දෙනවා අපිත්. රංජිත් අපි එක්ක රැස්වීමට යං. නියතපාල මහත්තයා කිව්වා මහරගමිනුත් කට්ටිය ගෙනෙන්න. හැබැයි වැඩේ සීරියස් වෙන්න එනවනං ඔයා එතන ඉන්න එපා. පාරට දුවලා බස් එකේ ගෙදර යන්න ඕනේ. තේරුණා නේද?” mpm මාමා මගේ පරෙස්සම ගැන හිතුවේ එහෙමය.

එතකොට සිරිකොත තිබුණේ කොල්ලුපිටියේය. ප්‍රේමදාස මහත්තයාගේ මැද කොළඹ කට්ටියත්, තව තව පිරිසුත් එතැනට එද්දීම mpm මාමා මාව හොයාගෙන ආවේය. ලකීත් ඔහු සමඟ විය. “රංජි. ලකී ඔයාව 112 බස් එකකට දායි. දැන්ම යන්න. දැන්ම යන්න.”

එදත් අදත් මං අතපය වනන්නට දක්ෂ කෙනෙක් නොවේ. සේරම හයිකාරකම් කටින් විතරය. ලකී මුනු-මුනු ගාමින් මාව ඇදගෙන ගියේය. “ඉක්මනට එනව රංජි මල්ලී. තමුසේ හිංදා මටත් සීන් එක මිස් වෙන්නයි යන්නේ.” එතකොට ලකී අතින් සල්ලි දීලා හරි වලි ඇදගන්නට හපනෙකි!

හරකා හැරෙන විටම ‘පොල් පැළය කන්නට සැරසෙන බව’ මව් කිරි බිව් උදවිය දනිති. එය නොතේරෙන්නේ මදු කිරි බීපු අයටය. ඒ තත්වය නම් අදත් එදා වගේමය. මේ යන විදියට නම් ආයෙමත් තව පරම්පරාවක් බිල්ලට යන්නට; විනාශ වෙන්නට හොඳටම ඉඩ තිබෙනවා යයි මට හිතෙයි. අනේ, එසේ නොවේවා!
මේ යන විදියට නම්.............
පියදාස අයියා බොක්කෙන්ම unpකාරයෙකු නිසා කවුරු පක්ෂයේ බලය අල්ලා ගත්තත්, ඒ අනුව ප්‍රතිපත්ති- වැඩ පිළිවෙල ආදිය වෙනස් වුණත් ගණන් ගත්තේ නැත. ඒ විදියේ අනුගාමිකයෙකු වුණු නිසාම ඔහුට, 77 මැතිවරණයෙන් මහරගමට තේරුණු ප්‍රේමරත්න ගුණසේකර මන්ත්‍රීතුමාගේ ලේකම් පට්ටමක්ද කොහෙදත් ලැබී තිබිණි.

දෛවය පුදුමාකාරය. විශේෂයෙන්ම මට. දැන් ප්‍රේමරත්න ගුණසේකර මහත්තයාත් මාත් නෑදෑකමට දෙමස්සිනාලාය. නෑකම ඇති වුණේ නම් අපේ උවමනාවට නොවේ. වෙනින් දෙන්නෙකු නිසාය. අපේ චූටි නංගී ‘දීපානි සුනේත්‍රා’ හා ‘සුදිත් චන්ද්‍රලාල්’ දෙදෙනාගේ ඕනෑකමටය.

එතකොට සුදිත් උන්නේ ඕස්ට්‍රේලියාවේය. දීපානි උන්නේ එංගලන්තයේය. එංගලන්තයේම උන් සුදිත්ගේ මල්ලීත්, අපේ අම්මාත් එක්ව කපුකම කළහ. 

සුදිත්ලාගේ මහ ගෙවල් තියෙන්නෙත් පමුණුව පාරේමය. එකම ගමකින් මහාද්වීප දෙකකට සංක්‍රමණයවී හිටි දෙන්නෙක් skype හරහා දැකගෙන, අඳුනාගෙන, 2006 ජනවාරි 28 වෙනිදා ගෝල්ෆේස් හෝටලයේදී ජයටම මඟුල් කෑවෝය.


සුදිත් හා දීපානි..........
ඊට අවුරුදු 38-39ක් විතර ඉස්සර මේ ලියන්නා පේව්මන්ට් එකේ රජ වෙන කාලයේ කිහිප වතාවක්ම ගෝල්ෆේස් පිට්ටනියේ කොන්වලත් රජ වුණේය. එතකොට එයාගේ බාලම නැඟණියගෙ විවාහ මංගල්‍යොත්සවය අර අභිමානවත්, ප්‍රෞඪ හෝටලයේ පවත්වන්නට ලැබෙතැයි ඔහු සිතුවේ නැත. කොහොම හිතන්නද? එතකොට දීපානි ඉපදිලාවත් නැතිකොට.

1976 අවුරුද්දේ සිද්ධ වුණේ අනෙක් අනපේක්ෂිත සිදුවීමයි. මහරගම unp අපේක්ෂකයා වුණේ ප්‍රේමරත්න මහතාය. පමුණුව, එක්සත් සුබසාධක මාවතේ unp සමිති ශාඛාවට සම්බන්ධවී උදව් කළා විනා, ඊට වසර තිහකට පස්සේ එකම කසාදයක සාක්ෂ්‍යකරුවන් ලෙස අත්සන් කර, දෙමස්සිනාලාවී නව යුවළ මංගල පෝරුවෙන් බස්සන්නට උදව් වෙන අදහසක් මගේ හීනයකවත් තිබ්බේ නැත.


විවාහයේ සාක්ෂ්‍යකරුවන් වුණේ............
එහෙම වුණේ  සුදිත්ගේ අක්කා කෙනෙක්, ගුණසේකර මහත්තයාගේ පුතා සමඟ විවාහවී හිටින බැවිනි. (ගස්සලා යවමුද පෝස්ට් එකේදී ‘දරුවන් දහයක් හදන්නට ලැහැස්ති බව’ කියැවුණේ මේ චූටි නංගී දීපානි ගැනය.)

කියාගෙන ආ කතාවෙන් පීලි පැන, තඩි පම්පෝරියකුත් ගැහුවා කියා දයාබර ඔබ හිතුවා වෙන්නටත් පුළුවන්ය. ඒත් කරන්නට දෙයක් නැත. මේ එකක්වත් අතින් දමා කියන ඒවා නොවේ! ජීවිතයේ වුණු දේවල්ය. 

හැබැයි එහෙම නෑයෝ වුණා කියා මා ඔය ලොක්කන් එක්කලා ගැන්නෙන්නට ගිහින් නැත. ඒ මගේ මාන්නය හිංදා වෙන්නට හැකිය. දැක්කොත් ඇයි හොඳයි කීමකි, මා පවත්වාගෙන යන්නේ. ‘77 එතුමා මන්ත්‍රී වුණාම මා කියූ පොල්කටු මාල දමන කතාවක්’ කළ අලකලංචිය ගැන එහෙමත් කියන්නට ඇති නිසා ඔන්න ආයෙමත් 77 පූර්ව මැතිවරණ සමයට යනවා. හරිනේ. සැරසෙන්, එලවේන්, යා!


නව යුවළ පෝරුවෙන් බැස්සෙව්වෙත් දෙමස්සිනාලා වුණු අප.............
පියදාස අයියා ශේප් න්‍යායෙන් මාව නම්මා ගන්නට තැත් කළේය.“ඔය මහත්තුරු දන්නවද දන්නෙත් නැහැ. හැත්තෑවේදී  දිසානායකට ශිෂ්‍යත්වයක් දෙනවයි කියලා .... ටිම්බර් හෝල් මහත්තයා කියලා කර ඇරියා. තලගුණේ මහත්තයා එහෙමත් පුළුවන් උදව්වක්වත් කළේ නැහැ. අන්තිමට දිසාගෙ තනි මහන්සියෙන් කරන බතික් ෆැක්ටරියට රෙදි කෝටා එකක්වත් ගන්න බැරිවුණා දේශපාලනේ හිංදා.... ඒකයි දිසාට තරහ.”

“තරහමත් නෙවෙයි පියදාස අයියේ. පොඩි මිනිස්සු වුණාට අපට ප්‍රතිපත්තියක් තියෙනවා. දැන් බලන්න. ගිය සැරේ මං අත්තනගල්ලේ රැස්වීම්වලට ගිහින් සූරියප්පෙරුම මහත්තයාට ඡන්දේ දෙන්නය කියලා කිව්වා. එතකොට unp එකේ කැන්ඩිඩෙට් වෙලා හිටිය මනුස්සයා මේ සැරේ ශ්‍රී ලංකාකාරයෙක් වෙලා කියනවා අතට ඡන්දේ දෙන්න කියලා. අපිත් පිල් මාරු කරන්නද එයාලා වගේ.... මට නම් තේරෙන්නේ නැහැ මේ දේශපාලනේ. හරි. මං රැස්වීම්වලට එන්නම්! හැබැයි එක කොන්දේසියක් උඩ.” මා තීරණය කළේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ගෙන්නා ගන්නටය.

“ගිය වතාවෙනේ ඉලෙක්ෂන් එකෙන් පස්සේ මට හුප්පේ වුණේ. එයාලා දිනන්න යන්නේ අපට ආදරේටනේ, මං එහෙම නෑ. මං ආදරේ මටයි. මං ස්ටේජ් එකට නඟිනවා නම් මේ සැරේ මට මොකක්ද හම්බ වෙන කුට්ටිය?” 

මට හොඳටම මතකය. මා පාවිච්චි කළේ ‘කුට්ටිය’ යන වචනයයි.


මොකක්ද මට හම්බ වෙන...........
“දිසා බය වෙන්න එපා. මං ඇප වෙනවා.” පියදාස අයියාට වැඩිපුර කතා කරන්නට ඉඩ නොදීම වඩා හොඳය. “මට පියදාස අයියාව විශ්වාසයි. ඒත් පක්ෂේ ලොකු අය කාවවත් විශ්වාස නැහැ. මං මට දෙන කුට්ටිය බලනවා. මට ඒක ඇති නම්, ස්ටේජ් නඟින්න පටන් ගන්න ඉස්සෙල්ලා ඒක දෙනවා නම් විතරක් මං එන එක එනවාමයි.”

ඒ සිරිකොත නියෝජිතයන් දෙන්නා එහෙම තනි තීරණ ගන්නට හැකි අය නොවිණි.  ඔවුන් වැටී හිටි වළෙන් ගොඩ එන්නට අත දුන්නේ පියදාස අයියාමය. “මල්ලිලා ගිහින් බොසාලට කියන්න. ඒ එක්කම කියන්න මේ දිසානායක මල්ලී ස්ටේජ් එකට නැංගොත් අපිට සෑහෙන්න වාසි බවත්. දැන් මෙයාගේ බතික් වැඩ පළේත් ගෑනු ළමයි 75ක් විතර වැඩ කරනවා. ඒ පවුලේවල ඡන්ද ටික වුණත්.....”

කරුණු යෙදුණේ මා හිතූ ලෙසටමය. දේශපාලකයොත්, වෙන්නට ඉන්නෝත් අපට දෙන්නේ අපෙන්ම කඩා-වඩාගෙනය. පක්ෂ අරමුදල්වලට කියා හැකිතාක් දෙනාගෙන්, හැකිතාක් කුට්ටි කඩාගන්නවා මිස එව්වයින් 10%ක්වත් වියදම් කරන්නේ කවුරුන්ද? ඔව්වා අත යට කෙරනවා මිස ලැයිස්තු ගත කරලා විනිවිද පෙනෙන ලෙස කරන්නේ මොන ගොබිලාද?


පක්ෂ අරමුදල්වලටය කියා......
“නිමලෝ, අද හවසට special මිෂන් එකකට යනවා. යමුද?” මුද්‍රණාලයට වැඩ ගෙනෙන හිතවතෙක් මගෙන් ඇහුවේය. ඒකත් මහ මැතිවරණ සමයකදීය.

“ම්ම්.... ඕකට මොකක්ද මගෙන් ඇති වැඩේ?”

“මං උඹව දන්නවානේ බං. උඹ එනවා නං මටත් පාළු නෑ.වරෙන් බං, මං උඹව ඩ්‍රොප් කරවන්නං ගෙදරටම. මේක මරු එක්ස්පීරියන්ස් එකක්. උන් දෙන්නම මට ප්‍රින්ටින් කොන්ත්‍රාත් දෙන අය. තව බිස්නස්කාරයෙකුත් ඉන්නවා. මේ පරයෝ තුන්දෙනාටම ඕනේ unp එකාටයි, slfp එකාටයි දෙන්නාටම උදව් කරන්න. දෙපිටකාට්ටුවෝ. මට මොකද බං? මටත් සම්තින් එකක් දෙනවනේ. උඹ ලියන-කියන එකා නිසා මෙව්වා දවසක ඕනේ වෙන්නත් පුළුවනි. හැබයි මචෝ, නං-ගං කියන්න නං බැහැ.”

එදා හවස අපි මුලින්ම ගියේ කැස්බෑවට තරග කරන අපේක්ෂකයාගේ ගෙදරටය. අර මුදලාලිලා තුන් දෙනාම සකසාගෙන ආ ලක්ෂයෙන් බැඳි කවර අර අපේක්ෂකයාට දුන්නෝය. 

ඊළඟට හෝමාගමට. ඒ අපේක්ෂකයාටත් කවර තුනක්, තිදෙනාගෙන්. ලස්සනම වැඩේ ඒ අපේක්ෂකයන් දෙන්නා සහමුලින්ම විරුද්ධ පක්ෂ දෙකක අය වීමයි. මැතිවරණයෙන් දිනන බව ෂුවර්ම ජොකියන්ය අපේ මැදිහත්කරුවා තෝරාගෙන තිබුණේ. ඒ silection එක හරියටම වැඩ කළේය; දෙන්නාම දිනූහ. මුදලාලිලා තුන්දෙනාමත් දිනූහ. මැදිහත්කරුවාත් දින්නේය. පැරදුණේ ඔබ මා වැන්නවුන්ය!

ලෝකෙන් උතුම් රටේ, ධර්මද්වීපයේ දේශපාලනය ඔය වගේය!

ලොක්කෝ දිනති. පොඩ්ඩෝ කෙළවාගනිති; ස්වේච්ඡාවෙන්ම.....නැවත නැවතත්....
සත්තෙන්ම මේවා දැනගන්නට ලැබීමත් එක විදියක අවාසනාවකි. මෙව්වා ඊයේ සිදු විණි. අදත් සිදු වෙයි. හෙටත් සිදු වෙනු ඇත!

රුහිරු කැකෑරෙමින් තිබියදී තවත් ලියනවාට වඩා මට නම් විරාමයක් ගැනීම හොඳය! එහෙනම්........  


පසු සටහන: 2018 .11.6 රාත්‍රී 8.49 ට ටෙලිෆෝනය නාද විණි. “නිමල් දිසානායක මහත්තයාද ඔය.... මං මේ කතා කරන්නේ ........ගෙ දුව. තාත්තාගේ යාළුවෝ හැමෝටම තාත්තගේ මරණය ගැන දන්වන ගමන්. අද දවල් තාත්තා අන්තරා වුණා. ෆියුනරල් එක අනිද්දා.....” කාන්තා කටහඬකින් කියැවිණි. ඉහතින් ඇති පෝස්ටුව ලියන්නට වටිනා අත්දැකීමක් මට එකතු කරදෙමින්, ‘මැදිහත්කරුවා’ ලෙස කටයුතු කළ ඔහුට කෘතවේදීව මෙසේ පතන්නෙමි! “............,   ඔබට නිවන් සුව අත් වේවා!”