li Item

Tuesday, December 6, 2022

අබ්ලික් snack - පළමුවෙනි කොටස

ඔන්න මහත්තුරුනේ, නෝනා මහත්තුරුනේ full සීක්රට්- සෑහෙන කාලයකට ඉස්සෙල්ල සිද්ධ වුණු කතාවකුයි, අද මම කියන්න යන්නෙ. නම්- ගම් කියන්නෑ; හොඳ ළමයි වගේ අහන්නත් එපා, හොඳේ!

ඒකට ගැලපෙන්නයි, ලියන- කියවන දෙකම වඩා පහසු වෙන්නයි තමා කතන්දරේ පාත්‍ර වර්ගයාව හඳුන්වන්න ආදේශක නම් ටිකක් තෝරා ගන්නෙත්. එහෙම කෙරුවම, ඒ ඒ අයව මගෙ මතකෙ තියාගෙන මේ post එක ලියන එක හරි ලේසියි. මේං එයාලා:

සොක්‍රටීස්, බැලසන්ත, නීරෝ, ඇට්ලස්, රයිගමයා, ගම්පොළයා, ඉඳිකටු පැංචා, බූබම්බා, මහෝදර, ඕල්කොට්, කිරිහාමි, යසලාලකතිස්ස, ආතබූත. 13 යි!

නියරක් උඩින් ගියපු, ඇලක දොලක නාපු, කිරිබතක්- ලුණුමිරිසක් කාපු අයට නං, රයිගමයයි- ගම්පොළයයි දෙන්නා ගැන... 

මෙන්න ඒ නම්වල මුල් අයිතිකාරයන් ගැන පොඩි හැඳින්වීමක්:

සොක්‍රටීස් හිටියේ ග්‍රීසියේ. හෙණ උගතා!

බැලසන්ත හිටියේ නාඩගමක. හෙණ පරණ නාඩගමක්! වී. ක්‍රිස්තියන් පෙරේරා මහත්තයා ලියූ ‘ඔරිසොන් හා පාලෙන්තන් හෙවත් බැලසන්ත’ නාඩගම කිව්වට ඔයාලට මතක් වෙයිද මන්දා. ‘ගම්භිර තෙදැති කොන්ස්තන්තීනු පුරේ’ සින්දුව කිව්වම නං ටිකක් මතක් වෙයි. ඒ සින්දුව තිබ්බේ, මේ ‘බැලසන්ත නාඩගමේ’.

... එතකොට, නීරෝ හිටියේ රෝමයේ. රෝමය ගිනි ගනිද්දී වීණා වැයුවයි කියන කතාව කියවෙන්නෙත් මනුස්සයා ගැනයි...
ඇට්ලස් යෝධයෙක්- දත කාගෙන; full ඩම් දාගෙන පෘථිවිය උස්සගෙන ඉන්නේ උන්නැහෙලු.

ඊළඟ දෙන්නා 100%ක්ම දේශීයයි.
නියරක් උඩින් ගියපු, ඇලක දොලක නාපු, කිරිබතක්- ලුණුමිරිසක් කාපු අයට නං, රයිගමයයි- ගම්පොළයයි දෙන්නා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේද?

ඉඳිකටු පැංචා හිටියෙත් ඉල්ලන්-කා රටේ මහදැනමුත්තත් එක්කය කියන එකත් ප්‍රසිද්ධ රහසක්...

ඔයාලා නොදන්නවානං නොදැන ඉන්න ඉඩ තියෙන චරිතේ තමා බූබම්බා. එයා හිටියේ 1974 හදපු සිංහල film එහෙක. වෙනින් කවුරුන්වත් නොවේ ලෙනින් මොරායස්ගේ ෆිලුමක.
ෆිලුම මතකද, ‘
ඔන්න මාමෙ කෙල්ල පැනපි’. ඒකෙ බූබම්බාට රඟපෑවේ පියදාස විජේකෝන්. බූබම්බාත් එළියට එන්නෙ පහනකින්, ඇලඩින්ගේ පුදුම පහන වගේ එහෙකින්. මට තවම මතකයි ‘කසුක්කා කුබුක්කා බූබම්බා හඃ හඃ හා!’ කියාගෙන බූබම්බා රිදී තිරයට ආව හැටි.

මහෝදර හිටියේ කැළණියේ. චූලෝදරගේ සහෝදරයා. වැඩි විස්තර අවශ්‍ය නැත්තේ මේකයි. නාග ලෝකේ ඉඳලා චීන කරඬුවක නයි පටවපු කතන්දරේ කෙරිලා මහ දවසක්යැ? ඒ දවස්වල ඔය ‘උදර සොහොයුරන්’ ගැනත් නිතර කියවුණානෙ.

සර් හෙන්රි ස්ටීල් ඕල්කොට්- බෞද්ධ පුනරුදයේ ලොකු කොටහකට වග කියන්නේ, 1880 ලංකාවට ආව උන්නැහේ.

උන්නැහේට වෙලාවක්- කලාවක් නෑ; කිසිම ඉස්පාසුවක් නෑ... ලෝකෙම කරදර තියෙන්නේ...

කිරිහාමි අහිංසකයාව ඉපැද්දුවේ කුමරතුඟු පඬිතුමා; හත් පණ කතාවේ.

රජකමටත් වැඩියෙන් මධු කුසලානයටයි, උවමනා නැති විහිළුවලටයි තිබුණු කැමැත්ත නිසා ඔළුව ගහල ගිය රජාව මතකයි නේද? යසලාලකතිස්ස රජතුමා තමයි ඒ.

ආතබූත- ඒ නම කොහොම මගෙ ඔළුවට රිංගා ගත්තද කියන්න මංවත් දන්නේ නෑ. උන්නැහේට වෙලාවක්- කලාවක් නෑ; කිසිම ඉස්පාසුවක් නෑ... ලෝකෙම කරදර තියෙන්නේ එයාගේ හිස පිට වගෙයි. කවුරුන්වත් පටවල හෙම නෙවෙයි; විහින්ම තියාගෙන.
එයයි, ඇට්ලසුයි දුරින් නෑයෝ වෙනවද කියලත් වෙලාවකට හිතෙනවා...

දැන් මේ කියාගෙන යන කතන්දරේට 14ක් ඉන්නවා. මෙච්චෙල්ලා කිව්වේ 13 දෙනෙකු ගැන විතරයි. තව එක්කෙනෙක් අඩුයි. මේ කතාව කියන මොට්ටයා; මං වහන්සේවත් ඒ ගොඩට එකතු කර ගත්තම 14 දෙනා සම්පූර්ණ වෙනවා නේද.

(මමත් චණ්ඩියා වගේ ඉඳන් මේ කතන්දරේ ලියන්න ගත්තට මොකෝ... ලියන මහන්සියත් වතුරේ යයිද මංදා.
මොකද මං හිතාගෙන ඉන්නේ, මේ ලියවිල්ල ලියලා අහක වෙලා හිට- ගෙඩිය පිටින්ම කියවන්න දෙන්නයි කතාවට සම්බන්ධ වුණු තුන්-හතර දෙනෙකුට. Three Yellow Cats හින්දවත්, හතර දෙනාම සූරයෝ හින්දාවත් නිසා නෙවෙයි; එයාලා මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් ඉපදිච්ච අය හින්දත් නෙවෙයි.)
අපේ 14 දෙනාව නියෝජනය වෙනවා- ඒ හතර දෙනාගෙන්. ඒ මට හිතුණු විදිහ. ගණන වැඩි වෙන්න වෙන්න වැඩක් කෙරෙන්න තියෙන සම්භාවිතාව අඩු වෙනවනේ. හතරකුත් වැඩි තරම්!
ඒක ඔත්තේ ගණනක් කරමුද- තුන් දෙනෙකුට අඩු කරලා.

මේ වැඩේ වුණේ කවදද- කොහෙදිද- හැබෑ චරිත මොනවද කියලා දැනෙන්න ඇරලත් බැහැ නෙව... මට අයිතියක් නැහැනේ, අනිත් කෙනෙකුට අගතියක් කරන්න.

ඔන්න මේකයිනේ. මම trips යන නඩ ගොඩක් තියෙනවා. සමහරුන් එහෙම ගමන්වලට එකතු වෙනවා; හැලෙනවා; ආයෙත් ඉඩක් තිබ්බොත් එකතු වෙනවා. ඉඩකඩ ඉස්පාසු තියෙන විදිහට. (මේ ගමනට ආව සමහරුන් ඊට පස්සේ අපිත්තෙක්ක තවම වෙනින් ගමනකට සහභාගී වෙලා නෑ. එතකොට හිතා ගන්න ඇහැකියි නේද- කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලපු දවසේ හැටි!)
එදා... අවුරුදු ගණනාවකින් වැඩි දෙනෙක් ගමනට ඇවිත් හිටියා. ගියේ සීත කඳුකර පළාතකට. පුංචි නවාතැන් පොළකට. එතැන පොඩි පොඩි කූඩාරම් කීපයක් තියෙන්නේ. එයින් එකක තුන්-හතර දෙනෙකුට ඉඳිතැකි. පොදු කෑම ශාලාව තමයි ටිකක් හරි ලොකුවට තිබ්බේ.

වෙනදා මං වහන්සේට ගෝරි දාන නීරෝත් අද වයින් කරපු බෝනික්කෙකු වගෙය.

මෙතන ඉඳල කතාව- හොඳේ. ඕනිම වුණොත් විතරක් අර චරිතත් කතා කරයිනෙ!

එතකොට වෙලාව රෑ හතහමාරට ඇති. අපි හිටියේ මධු සාදයක. මමත් සිංදු කියමින්...
ඒ වුණත් ටික වෙලාවක හිට මට අමුත්තක් දැනෙමින් තිබුණේ.
මොකක්ද බොලේ මේ වෙවිලිල්ල? මට හිතුණා. මගෙ කකුල් දෙකට හීනි කරන්ට් එකක් වැදිල වගෙයි. වෙවුලනවා; වෙවුලනවා; වෙවුලනවා! හෙමීට බැලුව වටපිට. අනිත් කාටවත් මේ වෙවිලිල්ල දැනෙන්නෑ වගේ.

“හා හා නිමල් අයියේ, ඔහොම කට වහගෙන ඉඳල බෑ. සද්දෙට සිංදු කියන්න ඕනි." ඒ අස්සේ කිරිහාමි කියනවා.
මේ සිංදු කියනව නේන්නං මිනිහෝ!

යකඩෝ!!!
වෙවුලන්නේ පොළොව නේද? මළ කෙළියයි...

ලංකාවෙත් තැනින් තැන භූ කම්පන වෙන්න පටන් අරං. News එහෙකුත් තිබුණා මතකයි- ඊයේ පෙරේදාවක.
ඒත්... එහෙම එකක් නං අනිත් අයටත් නොදැනී තියෙන්න විදිහක් නෑනෙ. දැනෙයියැ... දැනටම සෑහෙන්න බීල ඉන්න එකේ...
‘නිමලෝ, තමුසෙට අලුතින් දැනෙන්න ගත්ත side ඉෆෙක්ට් එකක් වෙන්න බැරිද ඔය? කාලෙක හිට කොහොමත් කකුල් හිරි දෙකම හිරි වැටිලනේ තමුසෙ ඉන්නේ.’ මම මගෙන්ම අහගත්තා.

නීරෝත්, බූබම්බාත් පරල වෙලා වගෙය. එක දිගට වයති; ගයති; අද උන්දැලට සිංදු මතක් කර දෙන්නටවත් උවමනා නැති හැටියකි. ඒ අස්සේ ඇට්ලසුත්, ආතබූතත් dance කරති. කිරිහාමි අත්පොඩි ගහමින් යසලාලකතිස්සවත් නටන තැනට තල්ලු කරයි.

‘යකෝ... තමුසෙ නොබිව්වට කමක් නෑ. අපිට බොන්නත් ඉඩක් දෙනවා- එක දිගටම සිංදු මතක් කරන්නේ. මොකද මේව දිගටම play කරනවට තමුසෙ සල්ලි ගෙවන්නැහැනෙ.’ වෙනදාට එහෙම කියමින් මං වහන්සේට ගෝරි දාන නීරෝත් අද වයින් කරපු බෝනික්කෙකු වගෙය.

ඒ මේ සේරම මැද්දේ වුණත් මගෙ කකුල් දෙකට දැනෙන කම්පනයත් තවම; දිගටම දැනෙයි.

නවයත් පහු වුණේය.
කෑම මේසය සූදානම් කෙරෙන්නට ගත්තා වගෙය. ‘කෑම සීතල වෙයිලු’ ඇට්ලස්ට ඔත්තුවකුත් ඇවිදින්.
“අපි ගෙදරදීත් කන්නේ සීතල වුණාම තමයි... නැද්ද මචං?” ඔත්තුව ප්‍රසිද්ධියේ නිවේදනයක් වුණාම, ඉඳිකටු පැංචා නටමින්ම අහයි. “මොනවද කියන්නේ?” යසලාලකතිස්ස හූමිටි තියයි. එයාලටත් හොඳටම චූන්ය.

මටත් එහෙම දෙයක් ලාවට දැනෙද්දී මම නොකියා හිටියේ. අම්මප!
“මචං. මෙහෙට කරන්ට් නෑ. දහය විතර වෙද්දී ජෙනිය නවතින්න ඉඩ තියෙනවලු” සොක්‍රටීස් කිව්වේ, සේවකයෙකු ඇවිත් මතක් කළාට පස්සෙයි. “අපි කාලා හිටිමු!”

“කන එක කවදත් කනවනෙ, නේද මල්ලිලා.” රයිගමයා රාත්‍රී භෝජනයටත් උදැල්ල දාන්නටය හදන්නේ.
“අන්න හරි අයියා...” ඕල්කොටුත් උඩගෙඩි දෙයි. “මුන්ට ඕව තේරෙන්නෑ, අයියා. සම්මා සතිය නෑ!”
“එහෙම නෙවෙයි යකෝ... අපි කාලා ඉවර වෙලා, අපේ ආතල් එක ගනිමු!”

වැඩේ කෙරෙන්නට නං කවුරුන් හෝ ඉස්සර වෙන්නට ඕනෑය. මමවත් නැඟිටින්න...

දෙයි හාමුදුරුවනේ... තව ඩිංගෙන් මාව වැටෙනවාය.
දඩිබිඩියේ පුටු ඇන්දක් අල්ලා ගැනීමේ වාසනාව මට ලැබිණි. දැන් අඩියක් තියලා අනිත් අඩිය උස්සන්නත් මට බය හිතෙයි... දෙකකුලේ වෙවිලීම දැන් හොඳටම වැඩිය. ඒක මෙච්චර වෙලා හංගගෙන සද්ද නොකර හිටියෙත්, අනිත් අය කලබල වෙන නිසාය.

කෑම බෙදා ගන්නට යන සූදානමින්, මගෙ ළඟින්ම හිටියේ ඇට්ලස්ය.
“තරහ නැතුව මට උදව්වක් කරන්න ඇට්ලස්.”
“ඇයි ඇයි නිමල් අයියේ... මොනවද කෙරෙන්න ඕනි?”

“කලබල කරන්නෙපා. මං කෑම බෙදා ගත්තම ඔයා මට ඒ පිඟාන ගෙනත් දෙන්න ඕනි පුටුව ළඟට... සෑහෙන වෙලාවක ඉඳලා මගෙ කකුල් දෙක....” රහස කියාගෙන යන්න පටන් ගත්තා විතරකි.

“හ්ඈ? ඔයාටත් එහෙම දැනෙනවද? මටත් එහෙම දෙයක් ලාවට දැනෙද්දී මම නොකියා හිටියේ. අම්මප! මාර වැඩක්නේ.” ඇට්ලස් කිව්වා. “මං එච්චර බිව්වෙත් නෑ... කො..හො..ම..ද එහෙම වෙන්නේ?”
“ඒක නේන්නං. හැබැයි මේ ළඟකදි මම news එකක දැක්කා මේ හරියෙත් භූමි කම්පා අවදානම තියෙනවයි කියලා.”
“ඇයි නිමල්?” සොක්‍රටීස්ටත් අපි දෙන්නාගේ කතාව ඇහිලාය.

ඉතිං භූමි කම්පා කතාව එහාට- මෙහාට ගියේය.

“හරි වැඩේ. මටත් ඔහොම එකක් යන්තමට දැනුණා. මම හිතුවේ ජෙනිය දාලා තියෙන නිසා කියලා...”
දැන් සිංදු කීල්ල නිකම්ම නැවතිලාය. කම්පනය වීම තව කිහිප දෙනෙකුටත් දැනිලාය. සමහරුන්ට නැත!
“බිව්ව අප්..ප්..ප..ට න්නෙවෙයි වෙරි... නි..මල්ට මචං. හ්..හ්හ්...හූඌ..ඌ.ඌ...”
“ඇත්තද නිමල් අයියෙ මේකා කියන්නේ... හඃ හඃ හා!!”

කොයිකටත් චුට්ටක් ඉන්න සර්. අපි ඉටිපන්දම් දෙක තුනක් පත්තු කරල...
එකේක යෝජනා- එකේක ප්‍රතිචාර- එකේක විශ්ලේෂණ ගලා එයි. අන්තිමට හොඳම ප්‍රකාශය කෙරිණි- සොක්‍රටීස්ගෙන්.

“මෙතන හදල තියෙන්නේ පොළොවට උඩින්නෙ. ලෑලි තට්ටුවක් උඩ ඉන්න හින්දයි, අපිට මේ වයිබ්රේට් එක මෙච්චර දැනෙන්නේ...”

“හරි මචං. එහෙම නම් මම කියන්නං වැඩක්. අපි කියමුද ජෙනිය off කරන්නයි කියලා විනාඩි පහකට.” යෝජනාව ඕල්කොට්ගෙන්...

“සර්ල කියනව නං අපි එහෙම කරලා බලමු! හැබැයි සර්, අපේ staff එකේ කාටවත් ඔහොම වයිබ්රේට් වීමක් දැනිල නෑ! ජෙනිය තියෙන්නෙත් ළඟම නෙවෙයි සර්. කොයිකටත් චුට්ටක් ඉන්න සර්... අපි ඉටිපන්දම් දෙක තුනක් පත්තු කරල ඉවර වෙලා....” ස්ථාන භාර නිලධාරි මහතා කිව්වේ ඉතාම ආචාරශීලීව වුණත්, මට පෙනුණේ එයා හිනාවක් හංගාගෙන ඉන්නවා වගෙය.

ඉතිං ජෙනිය off කෙරිණි.
“නිමල්ට වයිබ්‍රේට් ගතිය තාම දැනෙනවද?”
“මට නම් ඒ ගතිය දැනීම නැවතුණේ නැත! ඔයාලටත් එහෙමනෙ” ඇට්ලස්ගෙන් ප්‍රකාශයක්. අනිත් අයගෙන් කියැවුණේත් ඒ අදහසමය.

“ජෙනිය ආපහු දාන්නද සර්?”
“හරි මල්ලී. එතැන නෙවෙයි වැඩේ! ... කට්ටිය, අපි කොයිකටත් කාල හිටිමුකො.”
“එහෙම බෑ. අපිට තව සිංදු කියන්න ඕනෑ!” කිරිහාමි විරුද්ධ වුණේය. එතකොට නං කිරිහාමිට එල්ල වුණේ දැඩි ප්‍රහාරයකි.
“xකන්නෙ නැතුව ඇවිත් කාපං යකෝ.”
“හූ හූ තොට හො..ඳ වැඩේ පිස්සු xත්තට, උඹ කවද ඉඳලද මචං ගා..ය..ක.යෙ.ක් වුණේ....”
“අඩො අඩෝා්ා්ා්ා්. එහෙම කියන්නත් එපා.... ඌනෙ අප්පුඩි ගහලා නග්ගලා ගන්නෙ.”

“ මේ, උඹල කියන මඟුලක් කියා ගනිල්ලා, කාලා ඉවර වෙලා. නැත්තං උඹලට කරුවලේ කන්නයි වෙන්නෙ! ඒ මිනිස්සු මේවා අස්පස් කර ගන්නත් එපැයි.”
“හරි! අපි කාලා එළි වෙනකම්ම සිංදු කියමු මචං...” නීරෝ කිරිහාමිවත් කෑම මේසයට කැන්දාගෙන ආවේය.

ඒ වෙලාව ගැන නීරෝ පසුව කිව්වේ මෙහෙමය.
“මං හිටියේ මාර වෙනස් feeling එකක. සිංදු කිව්වා නෙවෙයි, නිකංම කියවෙනව වගේ. වෙනද වගේත් නෙවෙයි, එකක් ඉවර වෙනකොට එකක් මතක් වුණත් එක්ක. කොංගෝ එක ගැහුවේ මමමද කියලවත් මට මතක නෑ.”
“අම්මපා! ඔහෙලට කියන්න, මමත් හිටියේ පුදුම සැහැල්ලු මූඩ් එකක.” ඒ ගම්පොළයා පැවසූ අදහසයි.

තවමත් ඒ මූණත් තහඩුවේ තියෙන්නේ බය බිරාන්ත ගතියක් නොවේ. හිනාවකි.

කොහොමෙන් වුණත්, කෑමෙන් පස්සේ සමහරු නිඳා ගන්නට ගියහ. කිහිප දෙනෙක් එතැනම නැවතී දිගටම කතා කරමින් සිටියාහ... හදිසියේ...

දෙතුන් දෙනෙකු සොක්‍රටීස්ව වත්තන් කරගෙන එනවා පෙනිණි.
“මොකද? මොකද මචං.”
“මුගේ පපුව රිදෙනවලු.”
“මළ කෙළියයි. දැන් මොකද කරන්නේ?” නිඳා ගන්නට ගිය අයගෙනුත් ගොඩ දෙනෙක් ආපහු ඇවිත්ය.

ඊළඟට තිබ්බේ අදහස් හා යෝජනා වාරයයි.

ලෙඩාව ඔය කාමරේට ගෙනියපල්ලා / හුළං වදින්න දෙන්න එපා, දැනුත් සීතල වැඩියි!
ඒ ප්‍රඥාවන්ත යෝජනාව විවාද රහිතව ඒකච්ඡන්දයෙන් සභා සම්මත විණි. දැන් සොක්‍රටීස් කුඩා කුස්සි කාමරයේය. යහළුවන් පිරිස වටේටම රොක් වීගෙනය. ‘මිනිහගෙ ලෙඩ වැඩි වෙනව යකෝ හුස්ම ගන්ඩ බැරිව- උඹලා කියන මඟුලක් ඈතට වෙලා කියපල්ලකො!’

ඊළඟ අදහස් හා යෝජනා කෙරෙන්නේ සොක්‍රටීස්ගෙන් චුට්ටක් ඈතට වීගෙනය.

බලා ඉඳල බෑ, දොස්තර කෙනෙක් ළඟට එක්ක යමු / මං හිතන්නේ මිනිහට ටිකක් නිඳා ගන්න ඇරිය නං හරි යයි / යකෝ, ඩොක්ටර්ස්ලා හොයන්න යන්නෙ මොන xත්තකටද. දොස්තරලා දෙන්නෙක්ම ඉන්නේ. උන්ට කතා කරපල්ලකෝ / ඒ දෙන්නම බුදිද කොහෙද / හිටපං බං. මම කතා කරන්නං.

ඔන්න, දූතයාගෙන් හදිසි තත්ත්වය දැනගත් එක ඩොකෙක් (තැනට නොගැලපෙන විදිහට) හිනා වීගෙන seen එකට enter වුණේය. ලෙඩාත්, වටේට ඉන්නා උදවියත් කියන දේට කන් දුන්නේය. හිස කැසුවේය. තවමත් ඒ මූණත් තහඩුවේ තියෙන්නේ බය බිරාන්ත ගතියක් නොවේ. හිනාවකි.
හදිසියේම දොස්තර මහත්තයාගේ ඔළුවට උකුණන් ඇවිත් වගෙය.
“අඩෝ අර xත්තා දිගටම ඔළුව කහ කහ ඉන්නේ. ඌ අහගෙන නෙවෙයිද ඉන්නේ? ඌට කියපංකො ඉස්සෙල්ලම නාඩිවත් බලල ඉන්න.” චූලෝදර කිව්වාම කවුදෝ ඒ විත්තිය දොස්තර මහතාට කිව්වේය.

“ආ හරි හරි. නාඩි නේද? නාඩි... නාඩි.” ඔන්න ලෙඩාගේ නාඩි බැලුණේය.
“නා...ඩි නා.ඩි නං වැ..ටෙ..න..වා. වැඩි අ.වු.ල.ක් න්නෑ වගේ. කෝ අරූ?”
“කවුද?”
“ඇයි xකයිනේ, මගෙන් වි.ත..ර.ක්ද අහන්නේ. කතා කරපියව්...කො අනිත් ඩොකා..ටත්... ඌත් කොන්දොස්තර නෙවෙයි, ඩොක්ටර්!”

කලබලකාරයන්ට එයාව මතක් වුණෙත් එතකොටයි. එක්කෙනෙක් නොපමාව ඒ දොස්තර මහතා ඉන්නා කූඩාරමට... / ඒ සැණෙන්ම ආපසුත්. “නැඟිට්ටේ නැද්ද මචං?”
“ඌ නිඳි නෑ මචං. Lap එක දාගෙන සිංදු අහනවා... එන්නං කිව්වා.”

ඒ මදිවට මලකුත් ඇදලා!
දෙවෙනි දොස්තර මහතාත් ආවේය; හැබැයි ටිකකට පසු, කිසි කලබලයකින් තොරව- හීන් සීරුවේය.

මං හිටියේ කෑම ශාලාවේ අයිනේ පුටුවක වාඩිගත් ගමන්ය. තව විදිහකට කියනවා නං කූඩාරම්, කුඩා කුස්සි කාමරය වගේ තැන් ඔක්කොටම හරි මැදින් වගෙය. ඒ දොස්තර මහත්තයාත් එන්නේ හිනා වීගෙනය. සගයෝ එයාටත් ලෙඩාව පෙන්වූහ; විස්තර කියූහ. අප හැමෝම බයෙන් හිටියත් දොස්තරලා දෙන්නාම චුට්ටක්වත් බියවී නැත. මුමුණා ගනිමින් ඉඳිති.

“මොකද මහත්තයෝ?” ඇහුවේ මංය. උත්තරය කියවෙන්ටත් කලින්ම කුස්සි කාමරය පැත්තේ කලබලය වැඩි වෙලාය.

“ලොක්ක මැරෙයිද කියලත් ඇහුව මචං. ඉස්පිරිතාලෙකට යමුලු!”
“යන්න බැරියැ. කව්ද මේ කළුවරේ මේ ඉලව් පාරේ drive කරන්නේ. අනෙක මචං, වාහන එළවන්න පුළුවන් ඔක්කොම එවුන් බීලා නේද ඉන්නේ?”

“ඒ මදිවට සමහරු මලකුත් ඇදලා!”

වැඩි කලබලයකින් තොරව, සේරම අලකලංචි දිහා බලාගෙන හිටි නවාතැන භාර නිලධාරියා මුවගුලු හැරියේ එතකොටය.
“සර්ලට ඒ මහත්තයාව hospital ගෙනියන්න නං ඕනි, මම drive කරන්නං. හැබැයි හොස්පිටල් එකක් තියෙන්නේ කිලෝ මීටර් හැටකටත් වැඩිය දුරින්. කඳුකර පාරවල්නේ සර්. එහාට යන්න පැය දෙකහමාරකට වැඩිය යනවා.... යනකොට තියෙන අමාරුව... සර්ලටම පෙනෙන්න ඇතිනෙ එද්දි මෙහෙ පාරවල්වල තත්ත්වේ.”

ඔහු කිව්වේ ඇත්ත තත්ත්වයයි. ඉතිං මොකද කරන්නේ?
.....
à ඊළඟ කොටසට.

31 comments:

  1. පලවෙනි කොටසක් හින්ද දැක්ක ගමන් ඇවිල්ල කියෙව්වා. අනවර්ථ නම් 13ක් එක්ක කතාවක් කියවල ඉවර වෙද්දී අපිට මොනවා වෙයි ද හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පැතුම්, ඊළඟ කොටසේදී තේරෙයි ඇයි අන්වර්ථ නම් යෙදුවේ කියලා.

      Delete
  2. https://www.ekathimerini.com/news/1199417/heart-attack-link-found/

    ReplyDelete
    Replies
    1. දෙයියෝ සාක්කි!
      මාර link එකක් ගැන කියවෙන link එකක් නෙව Pra Jay මහත්තයෝ, ඔබතුමාත් එවල තියෙන්නේ.

      Delete
  3. මට ආව පස්නේ.......... ඩොකලත් මලක් ගහලද?

    ReplyDelete
    Replies
    1. මොකද ලලිත් එහෙම හිතන්නේ? එයාලත් සාමාන්‍ය මිනිස්සුනේ.... හැබැයි මෙතනදී වුණේ හෙණ අබ්ලික් වැඩක්. ඊළඟ කොටසේදී තමයි ඒක කියවෙන්නේ.

      Delete
  4. හුම්... අලුත් කතාවක්. හොඳයි හොඳයි.

    ReplyDelete
  5. නිමල් වෙන නම් දාලා කතාව ලිව්වට මේ එක්කෙනෙක් දෙන්නෙක්වත් නිමල්ගෙ පාඨකයින් අඳුරනවා නේද. නීරෝව නම් හොඳට දන්නවා. නිමල්ගෙ පාද යාත්‍රා බත්තලංගුඩු පෝස්ට්ස් එහෙම හොඳට කියවලා ආවොත් තව එක්කෙනෙක් දෙන්නෙක් අඳුරගන්න පුලුවන්.

    දෙවෙනි ෆොටෝ එකේ කතාව නම් වැදගත් 'All things, arise, suffer, change and pass away.

    කෝ තිස් එක!!

    ReplyDelete
    Replies
    1. Lotus, වෙන නම් දැම්මත් විශේෂයෙන්ම මට හංගන්න ඕනි වුණේ දෙන්නෙක්ගේ නම් විතරයි. ලියලා ඉවර වෙලා ඔය 13 දෙනාගෙන් තුන් දෙනෙකුටම පෙන්නුවාම දෙන්නෙක්ම මට කිව්වේ ඕනි නං නම් දැම්මත් කමක් නැහැ කියලයි- මං එහෙම නොකළාට.

      ඔයා වගේ නොකඩවා මගෙ posts සූක්ෂ්ම විමසිල්ලකින් කියවන; හොඳ මතකයක් තියෙන කෙනෙකුට හව දෙතුන් දෙනෙක් අඳුනාගන්න පුළුවන් තමයි

      තිස් එක ලියන්න ගත්තේ නැත්තේ, මේ මාසේ ගමන් ගොඩක් යෙදෙන නිසා විවේකය හොඳටම අඩු බැවින්. ඒ සීරීස් එක ලියන්න වෙන්නේ මතකය එක එක දෙයින් තහවුරු කර ගනිමින් හින්දා ටිකක් වෙලාව ගත වෙනවනෙ. ඒකයි.

      Delete
  6. හෙක්... රටේ වෙද්දු 13 ක් එක්ක යන මේ කතන්දරේ මොකකිං මොකක් වෙයිද මන්ද.

    දැං අර වයිබ්‍රේට් වෙන කකුළට මොකෑ උනේ.

    ReplyDelete
    Replies
    1. එදා රාත්තිරියේ නින්දට යනකලුත් එකක් නෙවෙයි ප්‍රසෝ, දෙකම කකුල් වයිබ්රේට් වෙවී හිටියේ.

      Delete
  7. වැඩිපුර මල් ගැහුවම හෘද ස්පන්දනය එක පාරටම වැඩි වෙලා ඊට පස්සේ අඩු වේගෙන අඩු වේගෙන යනව කියල නම් දන්නවා ? හෘද රෝග හැදෙන සම්භාවිතාව වැඩියි කියල තමා කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් හරියටම කියන්න මම දන්නේ නැහැනෙ මහත්තයෝ.

      Delete
  8. නෙදකිං දෙවනි කොටසකට ගියානේ ... තෝව මරන්ඩ වටිනවා .... සෙට් එකටම ගංජ ගහල වැඩිවෙලාද කොහෙද .... මේක ලියන කොටත් නිමල ගහලද කොහෙද නැත්තං මෙහෙම එකපාරට නවත්තයිද

    ReplyDelete
    Replies
    1. පෝෆයිල් එකෙන් කමෙන්ට් වැටෙන්නේ නැත්තෙ ඇයිබං

      Delete
    2. තව කොටසකට ගියේ එක post එකකට වැඩිය ගොඩක් කියන්න තියෙන නිසයි. දෙවෙනි කොටස කියෙව්වම තේරෙයිනේ.

      Delete
    3. ලක්මාල්, ඔයාත් මගෙන් ඔහොම ප්‍රශ්න අහන එකනෙ පුදුම. ඔයා දන්නවනෙ මං ඔය තාක්ෂණ දැනුම නැති හරකෙක් කියලා.

      Delete
  9. ඔය පියදාස විජේකෝන් මට හොඳට ම මතක හිටියෙ ඇර සොයියා ෆිල්ම් එකෙන්...
    මං මේ දවස් ගාණක් තිස්සෙ හොයනව යූ ටියුබ් එකේ ඒ ෆිල්ම් එකේ තිබුණු සිංදුවක්...
    "මේ අහපං කාන්ති - මට දැන් කේන්ති - මේකව අතහැර - මා හා වර වර - ප්‍රේම සාගරේ දියබුං ගසන්නටා..."

    ReplyDelete
    Replies
    1. නමුත් ඩ්‍රැකී, පියදාස විජේකෝන් පුරුෂ රත්නය film එකෙත් රඟපාපු කෙනෙක්. එතැන හිට දිගටම......

      Delete
  10. https://www.youtube.com/watch?v=2_BwhA8M9-w

    ReplyDelete
  11. අඩෙහ්! මේකට කමෙන්ට් කරන අතරෙ තව එකක් දාල නෙව. මේං යනව ඒක කියවන්ඩ

    ReplyDelete
    Replies
    1. ඒක ෂෙඩූල් කරලා trip එකක් ගියා. රිවර්ස්ටන්.

      Delete
    2. හෑ! මාත් ගියානෙ සෙනසුරාදා

      Delete
    3. දන්නවා නම් හම්බ වෙන්නත් තිබ්බා. අපරාදේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්