‘කතරගම දෙයියන්ට වගේ ඔයාටත් අත් ගොඩකුයි, මුහුණු ගොඩකුයි තියෙනවද?’
චඃ! මට අපේ සාකච්ඡාව පටන් ගන්න තිබ්බේ ඒ ප්‍රශ්නෙන්.
ඒ සාකච්ඡාව කෙරුණේ 2024 මැයි මාසේ දෙවෙනි සඳුදා; ඒ කිව්වේ 13 වෙනිදා. උදේ අටහමාරේ
සිට.
![]() |
‘විදර්ශන
සාහිත්‍ය ත්‍යාගය’ මරු වැඩක්! |
හෝඩියේ පන්තියට යන්නත් කලින් ‘ලංකාදීප’ පත්තරේ කියවපු, ඉස්කෝලේ අටේ
පන්තියට යන්නත් කලින් ‘ප්‍රංශ රස’, ‘මකුණා’ වගේ කුණුහරුප පොත් පවා කියවපු
නිමල් දිසානායකයාට අර විස්තරේ දැක්ක වෙලාවේ හිතුණා.
‘මේ වැඩේ ගැන post එකකුත් ලියහං’ කියලත් පොඩි කාලේ ඉඳලා පොත්
කාවෙක් වෙලා හිටිය මට එවෙලේ හිතුණා. ‘තමුසෙ printing කරන දවස්වල
කොච්චර පොත් ගහන්න සම්බන්ධ වුණාද?’ ඒ නිසා තමුසෙට යුතුකමක් තියෙනවා, මේ වගේ ‘හොඳ වැඩකට‘
යන්තමින් හරි උදව් වෙන්න.
‘ඒ ගමන්ම නිදි, ඔයාගෙ ජීවිත කතාවෙන් පොඩි කොටසකුත් කියතෑකිනෙ.’
හරි!
විදර්ශන එකට නං මගෙන් උදව් නැතිවට කමක් නෑ... පෙනෙන විදිහටයි, දන්න විදිහටයි-එයාල
සුපිරියටම වැඩේ කරන්නයි යන්නේ. දැනටම Well Organized! දැක්කනෙ ‘අනිද්දා’
පත්තරේට කියල තිබ්බ දේ.
‘ලංකාවේ සාහිත්‍ය
සමාජයට අලුතෙන්ම එකතුවෙන සාහිත්‍ය උත්සවය තමයි ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’. සාහිත්‍ය
ඇගයුම්වල සම්මාන වෙනුවට තියෙන්නේ සාහිත්‍ය ත්‍යාග. නොබෙල් ත්‍යාගය, බුකර් ත්‍යාගය වැනි ඇගයුම් උදාහරණ
ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඒ නිසා අපි මේක නම් කරන්නේ විදර්ශන සාහිත්‍ය ත්‍යාගය විදියට.
මේක ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රකාශන ආයතනයක් මගින් ආරම්භ කරන දෙවැනි සාහිත්‍ය උලෙළ.
විදර්ශන සාහිත්‍ය
ත්‍යාගය මුද්‍රිත පොත් වෙනුවෙන් නෙවෙයි පිරිනමන්නේ. අත්පිටපත් වෙනුවෙන් පිරිනමන්නේ.
අපි ක්ෂේත්‍ර
හතරක් වෙනුවෙන් සාහිත්‍ය ත්‍යාගය පිරිනමනවා. නවකතා අත්පිටපත් සඳහා, කාව්‍යමය අත්පිටපත් සඳහා, කෙටිකතා අත්පිටපත් සඳහා. මීට පෙර සිංහල
භාෂාවෙන් පළ වූ නවකතා හෝ කෙටිකතා කෘතියක් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තියෙනවා නම් එම
ඉංග්‍රීසියට පරිවර්තනය වූ අත්පිටපත් සඳහාත් අපි ත්‍යාගය පිරිනමනවා.
ඩී.ආර්. විජේවර්ධන සාහිත්‍ය සම්මානය පිරිනමපු අවස්ථාවේ අත්පිටපත් සඳහා තමයි සම්මානය
පිරිනැමුවේ. ආධුනික, ප්‍රවීණ කියලා
වෙනසක් නැතිව ලංකාවේ සාහිත්‍යකරණයේ නියැලෙන ඕනෑම කෙනෙකුට පුළුවන් මේ සඳහා ඉදිරිපත්
වෙන්න. යම් කිසි ලේඛකයෙකුට මේ ක්ෂේත්‍ර හතරටම වුණත් අත්පිටපත් ඉදිරිපත් කිරීමේ හැකියාව
තියෙනවා...
... ජනවාරි මාසයේ
12 සිට මැයි මාසයේ 15 දා දක්වා අත්පිටපත් භාරගන්නවා. අගෝස්තු මාසයේ පළවෙනි සතියේ දැනුවත්
කරනවා, අවසාන වටය සඳහා තෝරා ගැනෙන කෘතීන් එක් කාණ්ඩයකින් තුන බැගින්, ඒ මොනවාද කියලා. සැප්තැම්බර් මාසේ 1දා ආරාධිතයින්
150ක් පමණක් සහභාගි වෙන සුවිශේෂ උත්සවයේ දී විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සහ එක් ජයග්‍රාහකයෙක්ට
150,000ක මුදල් ත්‍යාගය බැගින් පිරිනමනවා. අවසන් වටයට තේරී පත්වන අනෙකුත් කෘතීන් දෙක
වෙනුවෙන් රුපියල් 25,000 බැගින් පිරිනමනවා...’
![]() |
කළුබෝවිල
විදර්ශන එක ළඟින් දාගෙන යන්න... |
ඒ අතරවාරේම විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉනිමංකඩ මහත්තයාව හමු වෙන්න වෙලාවක් යොදා
ගත්තා. අහන්න ඕනි ප්‍රශ්නත් හදා ගත්තා. ඉතා කෙටියෙන් ලියා ගත්තා.
“නෙවිල්,
ඔයා සඳුදා උදේ වැඩට යන ගමන් මාවයි, නමීවයි කළුබෝවිල විදර්ශන එක ළඟින් දාගෙන යන්න.”
මුලින්ම නෙවිල්ට කිව්වා.
“අනේ නමී, මෙහෙම වැඩක් කරන්න යනවා. අපේ
සාකච්ඡාව record කරගන්න ඕනි. ජනක මහත්තයා කියන්නෙත් අඳුනගන්න වටින මනුස්සයෙක්.
ඔයාට ඉඩක් තියෙනවද, වරුවක් හරි නිවාඩු දාලා...” දෙවෙනියට නමීට...
“මං එන්නං! මගේ වැඩ වගයකුත් තියෙන නිසා දවසම නිවාඩු දානවා.” නමීත් green light එක දැම්මා.
එදා උදේ 8.20 ට අපි ‘විදර්ශන පොත් ගෙදර’ ඔෆීසි කාමරයේ.
ජනක වෙලාවට
වැඩ!
“ඉස්සෙල්ලම කියල හිටින්නං ජනක මහත්තයෝ, මේ සාකච්ඡාව ලියද්දී, මම ලියන්නේ මගේ
ශෛලියට. අනෙක, මම අහන ප්‍රශ්නවලට අකැමති නං ඔයා උත්තර නොදී ඉන්න.”
“නිමල් අයියට ඕනෙ දෙයක් අහන්න... මට හංගන්න දේවල් නෑ...” ජනක හිනාවෙමින් කියයි. “...එහෙනං
අපි පටන් ගනිමු”
නමී
උන්නැහේ මොබයිලය on කරලා ජනකගේ අසලින් තිබ්බා. ගෙදර ඇවිත් බලනකොට ජනක කියපුවා
පටිගත වෙලා. ඈතින් ඉඳගෙන මං අහපුවා ඇහෙන්නේ නැතිම ගණනයි!
“දැනුත්
ජනකට වෙලාව තියෙනවද ඉස්සර තරමටම පොත් කියවන්නයි- ෆිල්ම්ස් බලන්නයි?”
“මම වැඩ
ගොඩක් කරන අතරේ වුණත්, දවසකට පිටු 200ක් විතර කියවනවා. උදේට, හවසට දෙකටම කියවනවා. ඒ
අස්සේ චිත්‍රපටිත් බලනවා.
-මගේ ෆේස් බුක් එකේ pages තුන-හතරක් වගේ තියෙනවා. ඒ පේජස්
ඔක්කොමගේ දේවල් මංම handle කරනවා. විදර්ශන පාඨක ජාලය පිටුව තියෙනවා... විදසුන්
කියලා චිත්‍ර කලාව ගැන තියෙන එකක් තියෙනවා... එතකොට සිනමාව ගැන සිනෙරූ කියලා එකක්
තියෙනවා... මගේ ප්‍රොෆයිල් එකත් තියෙනවනෙ. ඒවා ඔක්කොම හැන්ඩ්ල් කරනවා.
-ඒ හැන්ඩ්ල් කරන ගමන් දවසකට පැය එකහමාරක් විතර හවස් වරුවෙ Tik
Tok එකත් බලනවා. ඒ ඉන්න ගමන් හැන්දෑවරුවට IPL මැචුත් බලනවා. හරිද... IPL මැච්
බලන්නේ,
කියවන්න තියෙන සරල කියවීම් පොත් තියෙනවනේ; ඒවත් ළඟ තියාගෙන තමයි මැච් එක බලන්නේ.
මේ දවස්වල match බලනකොට මම කියවන්නේ වික්‍රමසිංහ මහත්තයාගේ ‘බණ කතා සාහිත්‍යය’ පොත.
මාර්ටින් වික්‍රමසිංහ මහත්තය ඒ පොත ලියන්නේ 1960 ගණන්වලනෙ. මට දැන් ‘බණ කතා සාහිත්‍යය’
පොත සීරියස්ලී බැහැලා කියවන්න ඕන එකක් නෙමෙයි. වික්‍රමසිංහ මහත්තයා කියන අදහස් ඒ
කාලෙට සාපේක්ෂව හොඳයි. නමුත් දැන් වෙනකොට... ඉතින්, මට ඒ පොත බොහොම වේගයෙන්
කියවගෙන යන්න පුළුවන්. අපිට ඒවා දැන් light reading වෙලා. එයා ලියලා තියෙන ‘ඇත්ත යුත්ත’
වගේ පොත් වුණත් එහෙමම කියලයි මට දැනෙන්නේ.
![]() |
මම ව්‍යාපාරිකයෙක්
නිසා වෙන්නැති, මගේ සේරම
දේවල් ගණන්වලින් තමයි හැදිල තියෙන්නෙ! |
“ඒ දවස්වල මම දැනගෙන හිටිය ජනක ඉනිමංකඩ මහත්තයට තිබුණා රූටින්
එකක්. උදේ පාන්දරම නැඟිටින... දවසේ පත්තර ඔක්කොම වගේ ගෙනත් කියවන... ගේ අතු ගාන...
ඒත් එක්කම එක දවසකදී එක එක තරාතිරමේ උදවිය ගොඩක් එක්ක විවිධ සමාජ කටයුතුවල යෙදෙන.
ඒවට වෙලාවක්...”
මා ඉදිරිපිට ඉතා ප්‍රබෝධවත්ව සැහැල්ලුවෙන් වාඩිවී ඉන්නා ‘මේ පුතයා’
මට ප්‍රශ්නය ඉවර කරන්නටවත් ඉඩක් දෙන්නේ නැත. උත්තර දීම අරඹයි!
ඒකත් සාර්ථක උපායකි. වෙලාව ඉතිරි කර ගැනීමකි!!
“තාමත් ඒ වැඩ ටික ඒ විදිහටම මගෙන් කෙරෙනවා.
නිමල් අයියේ, මම ඔයාට කියන්නං හොඳ උදාහරණයක්.
මම මේ ඊයේ පෙරේදා මගේ හිතවත් ඉන්දියාවේ ආචාර්යවරයෙකුට කෝල් එකක් දෙනකොට කියවෙච්ච
දෙයක්. සමහරවිට මම ව්‍යාපාරිකයෙක් නිසා වෙන්න ඇති, මං මේ විදිහට හැඩ ගැහිලා
තියෙන්නෙ.
හිතන්නකො මම අපේ ගේ මැද්දේ ඉන්නවයි කියල. මට වම් පැත්තෙ කොටසෙ වැඩක් තියෙනවා...
දකුණු පැත්තෙ කොටසෙත් වැඩක් තියෙනවා. එතකොට මගේ හිතේ ඔටෝ මැවෙනවා- කොයි පැත්තට ඉස්සෙල්ල
ගියොත්ද මට තත්පර කීපයක් ඉතුරු කරගන්න පුළුවන් කියලා. ඒ ක්‍රමයටයි මගේ ඔළුව හැඩ
ගැහිලා තියෙන්නෙ...”
කොහොමද ජනකගේ ටිකිරි මොළේ? එක විඩේම එහෙම හිතුණට මොකද, මේවා
නේද කාට-කාටත් ගුරුකම්... ඉනිමංකඩ මහත්තයා ‘ගුරු මුෂ්ටි’ තියාගන්නේ නැතුවම රහස්
එළිදරව් කරනව වගෙයි. අම්මපා!
“... එහෙම ක්‍රමයක් හදා ගත්තම වැඩ කරන්න ලේසියි. උදාහරණයකට මම
පොත් කියවන්නේ පිටු පහෙන් පහට. පොතක පිටු පහක් කියවල ඉවර වුණාම තප්පර කීපයක rest
එකක් ගන්නවා. ඊළඟට තව පහක්... එහෙම පිටු ගාණට තමයි කියවන්නේ. හරිද...
-මං හිතන්නේ, මම ව්‍යාපාරිකයෙක් නිසා වෙන්නැති, මගේ සේරම දේවල්
ගණන්වලින් තමයි හැදිල තියෙන්නෙ; ගණන්වලින් තමයි මගේ set එකම හැදිල තියෙන්නෙ.
-අරහෙම පිටු දහයක් කියෙව්වට පස්සෙ මම කරන්නෙ ඒ පොත පැත්තකින්
තියන එක. ඒ කරල ෆේස්බුක් එකේ comments එහෙම බලනවා... ඊළඟට ආපහු පොතට. එහෙම change
වෙනකොට ඇහැටත් විවේකයක් තියෙනවා. ඒ විදිහට කෙරුණාම, දවසේ අන්තිම වෙද්දී මම පිටු
එකසිය පනහක් දෙසීයක් විතර වගේ ප්‍රමාණයක් කියවලා.
මම විෂයයන් දොළහකට අදාළ දේවල් කියවනවනෙ. පුරා විද්‍යාව, ඉතිහාසය, චිත්‍ර කලාව,
සිනමාව, සාහිත්‍යය- කොටස් කීපයකින් කියවනවා. ඡායාරූප ශිල්පය... මේ වගේ විෂයන් දොළහක
පොත් කියවනවා.”
![]() |
ඕලෙවල් වෙනකල්ම
මම කියවල තිබ්බෙ හත් පෙති මලයි, මනුතාපයයි විතරයි... |
ඒ අතරේම මේ හාදයා ‘සම්භාව්‍ය ගණයේ, උසස්, කලාත්මක චිත්‍රපට’ත් නරඹයි. “මම ඉස්සර
දැකල තියෙන විදිහට ජනකගේ ළඟ ලොකු film කලෙක්ෂන් එකකුත් තියෙනවා, පොත් එකතුව
ඇරෙන්න... ඔයා මටත් හොඳ films ගොඩක් අඳුන්නල දීල- එව්වයේ CDසුත් දීල තියෙනවනේ...
හුඟක් සාහිත්‍යකාමියෝ ළඟ පොත් එකතුවක් මිස film collection එකක් නෑ.”
ජනක ඉනිමංකඩ ඔහුගේ කාර්යාල කාමරයේ තිබෙන ලොකු රාක්කයක් මට
පෙන්වයි.
“ඔය රාක්කයෙ පහත තට්ටුවේ තියෙන්නෙ films. එතැන හොඳ චිත්‍රපට
800කට වැඩිය තියෙනවා. එයින් වැඩි හරියක් දැනටම මම බලල තියෙන්නෙ.
-ඔය රාක්කෙ උඩ තට්ටුවේ තියෙන්නෙ පහුගිය අවුරුදු හතර තිස්සේ අපි
ගහපු පොත්වලින් තුන බැගින් අරං තියපුවා. විදර්ශන එකෙන් පළ කරන පොත්වලින් පොත්
තුනක් අපි අයින් කරන්නේ, හදිසියකට සමහර පොතකින් සාම්පල් කොපියක්වත් හොයා ගන්න නැතිවෙන
නිසා.
ඔයා දන්නවද, විදර්ශන එක පටන් ගනිද්දී මුලින්ම print කරපු පොත් දෙකින් එකක්; සයිමන්
නවගත්තේගම මහත්තයගෙ ‘සංසාරණ්‍යයේ දඩයක්කාරයා’ පිටපතක් මගේ ළඟ නෑ කියල. මම තාම ඒ
පොතක් හොයනවා.”
මුල්ම විදර්ශන ප්‍රකාශන ද්විත්වය පිළිබඳව කතා කළ ඒ මොහොත, මේ සාහිතකාමියාගේ ‘පළමු සාහිත්‍ය සේවනය’ ගැන විමසීමට සුදුසුම මොහොත
යැයි මට සිතිණි.
“ජනක ළමා කාලයේදි
කියවපු මුල්ම පොත මතකයිද?”
“අපි දෙකේ පන්තියට
ඉස්කෝලේ යනකොට අපිට තිබුණා කතන්දර පොතක් අරං යන්න. ඒ කාලෙ අපි හිටියේ පොඩි පොල් අතු
ගෙදරක... එතකොට අපේ තාත්තගේ ව්‍යාපාර කඩාගෙන වැටිලා තිබ්බේ. අපේ තාත්තට හැකියාව තිබුණේ
නෑ ගොඩක් වටිනා පොත් අරගෙන දෙන්න. ඒ කාලේ ලාබෙටම ගන්න තිබුණේ රුසියන් පොත් තමයි. එ..ත..කො..ට
අ..ර ඒවයෙ තිබුණනෙ පොතක්... මට දැන් ඒ පොතේ නම මතක් වෙන්නෙ නෑ. හැබැයි ඒ පොතේ තිබුණ
කතාවක් මතකයි! රතු කුහුඹුවාගේ කතාව. ඒක තමයි මට මුලින්ම ලැබුණු පොත.
-ඒකත් එක්ක
තාත්තා අපේ අයියට ගෙනාවා ‘හත් පෙති මල’. ඒක තමයි මම ඉස්සෙල්ලාම කියවපු පොත.
-මම ඕලෙවල්
වෙනකම් ගියේ කළුබෝවිල මහා විද්‍යාලයට. ළමයි හත්සිය පනහක් විතර තමයි ඒ ඉස්කෝලෙ හිටියෙ.
පාසල අවට ප්‍රදේශයේ හිටපු බොහොම දුප්පත්ම ළමයි තමා ඒ ඉස්කෝලෙට ආවෙත්. එයාලගෙන් සියයට
අසූවක් විතර ළමයි, දවල්ට වතුර තමයි බොන්නෙ. ඉන්ටවල් එකට
ටැප් එක ගාව සෑහෙන්න ළමයි පොර කකා ඉන්නවා වතුර බොන්න.
-ඉස්කොලේ එද්දී, ළමයින්ගෙන් සීයට හැත්තැ පහකට වැඩි ප්‍රමාණයක් ආවෙ සෙරෙප්පු දාගෙන.
ඉතිං ඔය වගේ පසුබිමක වුණත්, ඕලෙවල් කරනකල්ම මම ඒ පාසලේ හිටියා.
ඒ දුප්පත් ඉස්කෝලේ අපිට ප්‍රමාණවත් තරම් පුස්තකාලයක් තිබුණේ නෑ.
-හරියටම කියනවා
නං, ඕලෙවල් වෙනකල්ම මම කියවල තිබ්බෙ හත්
පෙති මලයි, මනුතාපයයි විතරයි. මොකද- මනුතාපය පොතත්
ඕලෙවල් විභාගයට නියමිත පොතක් වෙලා තිබුණනෙ.
![]() |
ඒ පොත තමයි-
මහාචාර්ය ඒ.වී. සුරවීර මහත්තයගෙ ‘නවකතා නිර්මාණය සහ අවබෝධය’. ඒක කියවන්න ගත්තම, මට මේක බොහොම
රසවත්... |
-ඒ දේවල් ඔක්කොම
මැද්දේ මම නිකං අතරමං වුණා වගෙයි.
ඒ කාලෙ අපි පොඩි ඉස්කෝලෙන් ආපු නිසා අපිට රැග් එක දුන්නා. ඒ රැග් එකෙන් බේරෙන්න මං
පුස්තකාලෙට ගියා.
-නාලන්ද විද්‍යාලයේ
තිබුණා විශාල පුස්තකාල හතරක්. Art සහ කොමස් සෙක්ෂන්
එකට වෙනම පුස්තකාලයක් තිබුණා. එතකොට අනිත් පැත්තේ ළමා පුස්තකාලයක් වෙනම තිබුණා. විද්‍යා
අංශෙට වෙනම පුස්තකාලයක් තිබුණා.
මලලසේකර පුස්තකාලය කියල ප්‍රධාන පුස්තකාලේ වෙනම තිබුණා. ඔක්කොම පුස්තකාල හතරක් තිබුණා.
-ඉතිං මම පුරුදු
වුණා ෆ්‍රී පීරියඩ්ස්වලදී පුස්තකාලෙට යන්න.
ඒකෙදි මෙහෙම දේකුත් වුණා...”
ඒ කොහොම
දෙයක්දැයි වෙන වෙලාවක නං අසන්නට ඉඩ තිබිණි. ඒත් එහෙම දෙයකින් ජනක ඉනිමංකඩ මහතා සමවැදී
සිටින ‘අතීතස්මරණ කථන සමාධිය’ට බාධා වෙයි. එබැවිනි, මා නිහඬවම අසාගෙන උන්නේ.
“... ෆ්‍රී
පීරියඩ්ස් වැටෙන්නෙ එකක් නෙවෙයි. දෙකක්නෙ. මොකද A/L පන්තිවලදී විෂයයන් හතරනේ තියෙන්නෙ. ඒ නිසා එක විෂයයක් පීරියඩ්ස්
දෙකක් තිස්සෙ උගන්නනවනෙ, ඒ කියන්නේ පැය එකහමාරක්.
-එතකොට ඉස්කෝලෙට
ගිය ගමන්, මම ඉස්සෙල්ලාම ගිහිල්ල බලන්නෙ එදා
ඇවිල්ල නැති සර්ලා කවුද ඉන්නේ කියලා. රෙජිස්ටරේ බලලයි ඒක හොයා ගන්නෙ. එහෙම හොයාගෙන
ඒ වෙලාවල්වලටත් මං කරන්නේ පුස්තකාලෙට ගිහිං පොත් කියවන එක.
-නාලන්දෙ වාණිජ
අංශයෙ පුස්තකාලේ හරි විශාල- බො..හො..ම පොහොසත් එකක්. ඒකෙ තිබුණා විශාල දිග මේසයක්.
මට තා..ම මතකයි නැදුන් ලීයෙන් හදපු ඒ විශාල මේසෙ...
දවසක් ඒ මේසේ උඩ කවුරු හරි කෙනෙක් දාලා ගිහිල්ලා තිබුණා පොතක්.
-මම එතන; ඒ මේසෙ; ඒ දිග මේසෙ වාඩි වුණා. මම විතරයි හිටියෙත්.
-කවුරු හරි
අරගෙන එතැන දාලා ගිහිං තිබුණු අර පොතත් අරගෙන මම ඒ මේසෙ ළඟින් වාඩි වුණා. වාඩි වෙලා, මං ඒ පොත කියෙව්වා. ඒ පොත තමයි- මහාචාර්ය ඒ.වී. සුරවීර මහත්තයගෙ
‘නවකතා නිර්මාණය සහ අවබෝධය’. ඒක කියවන්න ගත්තම,
මට මේක බොහොම
රසවත්...
සුරවීර සර්ගෙ පොත කියවල තියෙන අයට මතක ඇති- මේ පොතේ කියවෙන හැම දෙයකටම උදාහරණත් දීල
තියෙන බව.
-‘උත්තම පුරුෂ
දෘෂ්ටි කෝණය’ ගැන කිව්වොත් එහෙම, එයා උත්තම පුරුෂ
දෘෂ්ටි කෝණයෙන් ලියවෙච්ච ලෝක සාහිත්‍යයේ පොත් තුනකුත්, ලංකාවෙ ලියවිලා තියෙන පොත් තුනකුත් නිදසුන් හැටියට දෙනවා.
-එතකොට උත්තම
පුරුෂයෙන් ලියන්නෙ කොහොමද, ප්‍රථම පුරුෂයෙන් ලියන්නෙ කොහොමද, මධ්‍යම පුරුෂයෙන් නං කොහොමද... චරිත නිරූපණය කියන්නෙ මොකක්ද වගේ
දේවල් ඒ පොතේ තිබුණේ. පිටු එකසිය හැත්තෑ ගණනක්. 1971දි ප්‍රදීප ප්‍රකාශනයක් විදිහටයි
ඒ පොත පළ වෙලා තිබුණේ...”
![]() |
...
රන්රෝස -රන්සුණු පොත් දෙකත්... ඒ දෙක පරිවර්තනේ කරපු ආරියවංශ රණවීර මහත්තය ජනකගේ හොඳ
හිතවතෙක්නේ. |
මගේ අකීකරු හිත හතර අතේ යන බව නොදැන, ඉනිමංකඩ හිතවතා පාඩුවේ කියාගෙන යනවා.
“... මම මේ
පොත කියවලා මේකට බොහොම ආස වුණාට පස්සේ මේකේ උදාහරණවලට සඳහන් කරල තිබිච්ච පොත් හොයන්න
ගත්තා. ඒවලින් සීයට හැත්තෑපහක් විතර ඒ පුස්තකාලේම තිබුණා.
-‘යළි උපන්නෙමි’ වගේ පොත් ඇරුණකොට, සයිමන් සිල්වාගේ ‘මීනා’ නවකතාවේ සිට සයිමන් නවගත්තේගමගේ කෘතීන්
දක්වාම; ඒ කියන්නේ ‘සාගර ජලය’ වගේ ඒවා දක්වාම
පොත් ඔක්කොම එහෙ තිබුණා. පියදාස සිරිසේන,
ටී.ජී.ඩබ්ලිව්.
ද සිල්වා, ඩබ්ලිව් ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ,
එදිරිවීර සරච්චන්ද්‍ර
වගේ අයගෙ පොතුත්... බොහොම විශිෂ්ට පුස්තකාලයක්.
-මේ මෑතක නාලන්දා
විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ නම්බරේ අරගෙන මම එයාට කතා කරල කිව්වා ‘සර්, මම මෙහෙම මේවා කරපු කෙනෙක්. මම කැමතියි, මගේ දැනට තියෙන සියලුම විදර්ශන පොත්වලින් පිටපත් දෙක බැගින් ඉස්කෝලෙට
පරිත්‍යාග කරන්න’ කියල. එයා මගේ කතාව සත පහකටවත් ගණන් ගත්තෙ නෑ... ඉතිං මං පොත් ගෙනිහින්
දුන්නෙත් නෑ.’
“එහෙම බලනකොට
ඔයා ශිෂ්‍යයෙක් විදියට හිටි කාලෙ විදුහල්පතිතුමන්ලාට පින් දෙන්න වටිනවනෙ.”
“ඒ කාලයේ හිටපු
විදුහල්පතිතුමා තමයි (සිරි ගුණසිංහ මහත්තයාගේ මල්ලී) ධර්ම ගුණසිංහ. එතකොට ධර්ම ගුණසිංහ
මහත්තය ඉගෙනගෙන තිබුණේ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ. අපේ කළුබෝවිල මහා විද්‍යාලයේ ඒ කාලෙ
හිටපු විදුහල්පතිතුමාත් ඉගෙනගෙන තිබ්බේ මහින්දෙ.
-ඒ දෙන්නගේ
යාළුකමට තමයි, අපේ පාසලේ ළමයි හතර දෙනෙක්ව නාලන්දෙට
ගත්තේ. ඒ අවස්ථාවක් තමයි මට හම්බ වුණේ! මගේ වාසනාවට.
-එතකොට මම ඒලෙවල්
කොමස් කරන වැඩේ සාමාන්‍ය මට්ටමට කරමින්, මුළු අවුරුදු දෙකම- ඒ පුස්තකාලයෙ අර සුරවීර
සර්ගේ පොතේ සඳහන්කොට තිබුණු පොත් විශාල ප්‍රමාණයක් කියෙව්වා. ඒ අතරේම මම දෙහිවල මහජන
පුස්තකාලෙට බැඳිලා ඒකෙනුත් පොත් අරගෙන කියවන්න ගත්තා.
-එහෙම බලනකොට
මම පොත් කියවන්න පටන් ගත්තේ අවුරුදු 17- 18 විතර වයසෙදි. ඒ විදිහට මම කොච්චර කියවන්න
පෙළඹුණාද කියනවනම්, මට අවුරුදු දහනවය විස්ස විතර කාලයේ- අවුරුදු එකහමාරක් දෙකක් මම
දවසකට නිඳා ගත්තේ පැය හතරයි. ඉතුරු මුළු කාලෙම කියවන එක තමයි කළේ. නමයට දහයට විතර නිඳාගෙන, පාන්දර දෙකට ඇහැරෙනවා... දෙකේ ඉඳලා nonstop කියවනවා.
-මං හිතන්නෙ
මට අවුරුදු විසි එකේ වයසෙදි මං ලෝක සාහිත්‍යයේ සෑහෙන විශාල ප්‍රමාණයක් කියවල ඉවරයි.
ඒ වයසෙදී ‘ඇනා කැරනිනා’, ‘කරමසෝ බ්‍රදර්ස්’ එහෙමත් ඉංග්‍රීසි
භාෂාවෙන්ම තමයි මම කියෙව්වේ.
-ඒත් එක්කම
මගේ ගෙදරට ආසන්න ගෙවල් දෙකකම පෞද්ගලික පුස්තකාල දෙකක් තිබුණ, හොඳ වැඩිහිටි යාළුවො දෙන්නෙක්ගෙ. ඒ පුස්තකාල දෙකේ පොතුත් මං සෑහෙන්න
කියෙව්වා.
![]() |
එහාට ඇවිල්ලා
හිටියා චිත්‍ර ඇන්ද හාමුදුරුවෝ... කටුවන පියනන්ද හාමුදුරුවෝ! (එතුමන්ගේ නිර්මාණයකි .) |
-ඒ වගේමයි, අජන්තා රණසිංහ මහත්තයා කවදාවත් මට හම්බවෙලා නෑ. ඒත් එයා මට හැම
මාසෙකටම සැරයක්, ඒ මං ලියපු විචාර දෙකට රුපියල් 25/- චෙක් දෙකක් එවනවා. එක විචාරයකට
25 ගාණෙ.
-ඒ වගේම මම
පුරුදු වෙලා හිටියා, මේ මම කියවන පොත් ගැන මගේ විචාර දැනුමෙන්
මං ලියන ඒ විචාර ලිපි අදාළ ලේඛකයන්ටත් යවන්න. දයාසේන ගුණසිංහ, පියසේන කහඳගමගේ, ජයතිලක කම්මැල්ලවීර, අලවත්තාගොඩ ප්‍රේමදාස, ඒ.වී. සුරවීර, කේ. ජයතිලක
වගෙ අයට මම ලියලා අරිනවා- පිටු දහය, පහළොව, විස්ස තරමේ දිග ලිපි.
-මට මතක විදිහට, දයාසේන ගුණසිංහ මහත්තයාගේ ලිපිනය තිබුණේ, වත්තේගෙදර පාර කියලයි.
ඒ මහත්තයා මිය යනකම් මට එතුමාව හම්බ වුණේ නෑ. දයාසේන ගුණසිංහ මහත්තයාගේ ‘කැනල් පාරේ
නිශාචරයෝ’ කියන පොතට මම දිග විචාරයක් ඇරියාම, එයා හැරෙන තැපෑලෙන් ඉතා කෙටි ලිපියක් එව්වා.
-‘ඇත්තටම වයස
අවුරුදු දහනවයද?’
-හරිද?
ඊට පස්සේ මං මගේ අයිඩෙන්ටි කාඩ් එකේ කොපියක් යැව්වා. ඒ සැරේ දයාසේන මහත්තය මට එවල තිබුණා
පිටු අටක් දිග ලිපියක්. අවාසනාවට ඒ ලිපිය දැන් මගේ ළඟ නෑ. දයාසේන ගුණසිංහ මහත්තයා එයිට
පස්සෙත් මට ලිපි තුනක් විතර එවල තියෙනවා.
-අලවත්තාගොඩ
ප්‍රේමදාස, පියසේන කහඳගමගේ වගේ මහත්වරුත් මාව
ධෛර්යවත් කරල සෑහෙන්න ලියුම් එව්වා. මට ලොකුම ධෛර්යය දුන්නේ ජයතිලක කම්මැල්ලවීර මහත්තයා.
කම්මැල්ලවීර මහත්තයාගේ ‘කළු සපත්තු’ කෙටිකතා පොත ගැන මම ලියල යවපු විචාරයට එයා පිටු
16ක ලියුමක් එව්වා. මං සඳහන් කළ කරුණුවලින් පිළිගන්න තැන්- නොපිළිගන්න තැන් ඔක්කොම
විස්තර කරමින්...
-ඊට ටික දවසකට
පස්සෙ කම්මැල්ලවීර මහත්තය මට ලිපියක් එවනවා. ‘අපි ඉන්නවා විභවි කියල සංස්කෘතික මධ්‍යස්ථානයක.
ඔයා වගේ තරුණයො එතෙන්ට තමයි වටින්නෙ. ඔයා එහාට එන්න.’ කියමින්.
-‘කඩුල්ල ටෙලි
නාට්‍යයෙ සම්පූර්ණ කොටස් ටික පෙන්නනවා විභවියේ. ඊළඟට විචාර සාකච්ඡාවකුත් තියෙනවා. ඒකටත්
සහභාගි වෙන්න.’ කියලත් ඒ ලිපියේ තිබුණා. එහෙමයි කම්මැල්ලවීර මහතාව මුණ ගැහෙන්නේ.”
“එතකොට සුනිල්
විජේසිරිවර්ධන?”
“එයාව හම්බ වුණේ පසුව. මොකද, එයා තමයි විභවියේ ලොකු එක්කෙනා- අපි එයාට බයත් එක්ක ඒ
දවස්වල.
-මට මතකයි එතන
හිටියා ටැමිල් කෝඩිනේට කෙනෙක්. මම ගියපු පළවෙනි
දවසෙද කොහෙද.... එහාට ඇවිල්ලා හිටියා චිත්‍ර ඇන්ද හාමුදුරුවෝ... කටුවන පියනන්ද හාමුදුරුවෝ!
එතකොට එතන හිටිය දෙමළ සහෝදරයට තමයි හාමුදුරුවෝ කිව්වේ සුනිල් විජේසිරිවර්ධන මහත්තයව
හම්බ වෙන්න ඕනෙ කියල.
එතකොට අර ටැමිල් සහෝදරයා ගිහිං සුනිල්ට කිව්වා ‘ඔයාව හම්බ වෙන්න බුදු හාමුදුරුවෝ කෙනෙක්
ඇවිල්ල ඉන්නවා’ කියල...”
පළමුවෙනි කොටසට
ඔක්කොම ලියන්නයැ, අදට ලියපු හරිය හොඳටම ඇති වගේ. ඉතිරි කොටස ඊළඟට...














