Wednesday, July 11, 2018

ආවොත් නොයා බැරිය - තෙවෙනි කොටස


පද්මා ලාලනී කුරුප්පු. 
අද එතන ඉඳලාය.


අපරාදේ කියන්නට බැරිය. රංජිත් කුමාර මහතා අනුන්ගේ දරුවනුත් තමන්ගේ කියා 
උප්පැන්න ලියාගන්නා වරිගයේ නොවේ! මුලින් කී ලිපියේත්, "ජීවිතයෙන් සමුගත් 
'සරසවිය' මිතුරියගේ මව එනම් 'ගොළු හදවතේ' ඇත්ත දම්මි" ලිපියේත් මගේ නම හංගා තිබුණේ නැත. 2018 මැයි 31 'සරසවිය' පුවත්පතේ 12,17 පිටු දෙක පුරා ඒ ලිපිය පළවී තිබුණේ පද්මා ලාලනී මහත්මියගේ අභාවය නිමිත්තෙනි.

ආපහු කුරුප්පු මහත්තයා ළඟට යන්නට කලින් කරුණාසේන ජයලත් නවකතා රචකයාණන්ගේ කෘති ගැන පොදු සාධකයක් පිළිබඳව කිව යුතුය. මා මෙය කියෙව්වේ 
කොහි තිබීදැයි යන්න නම් මතක නැත.

ඔහුගේ හැම පොතකටම ඇත්තේ අකුරු හයක නමකි!


කුරුප්පු මහතාට දූලාත් පුතාලාය. 2016 අප්‍රේල් 16 වෙනිදා ඔහු දෙවෙනි දියණිය සුභාෂිනීත් සමඟ ලංකාවට ආවේය. නැවතී හිටියේ ගල්කිස්සේ මැඳුරකය. දින හතර-පහක්ම ඒ දෙන්නාට ගමේ; මව් බිමේ කෑමත් හදාගෙන මා එහි ගිය විටදී, එකම වතාවක්වත් සුභාෂිනීට 'දුවේ' කියනවා ඇහුණේ නැත. පොඩි පුතා කියනවා මිස. හැබැයි ඔහු ඉතා ආදරය කළ දරුවන් රැසක්ම ඔහුට විය. අර්බත් දරුවෝ හත් දෙනාත් එක්කම නම් 50 ටත් වැඩිය. 

දෑවුරුද්දකට කලින් එද්දී ඔහු ටයිප් සෙටින් කරගෙන ආ පොත් අටකුත් තවම මා ළඟය. බාගෙට වැඩ කෙරුණු 'පරණ ගමට යමු' කොහාට යාවිද කියා හිතා ගන්නටවත් බැරිය.

2009 කාලය වන විටය 'ආවොත් නොයා බැරිය - 1' පෝස්ටුවේ මුලදී කෙටූ ලෙස කිත්සිරි හෙට්ටිහේවා මහතා කඩා පාත් වුණේ. "ඔන්න නිමල් මම දන්නේ නෑ. මට නම් දොස් කියන්න එපා. මට ක‍රන්න දෙයක් නෑ. මිස්ටර් කුරුප්පු කිව්වා මං ආයේ ඕස්ට්‍රේලියාවට එන්න කලින් ඔයාට කම්පියුටර් එකක් අරන් දීලම එන්න කියලා."

"ඉතින් කිත්සිරි මහත්තයා, මං කම්පියුටරයක් ඕනෙයි කිව්වේ නැහැනේ."

"එව්වා මං දන්නේ නැහැ. මිස්ටර් කුරුප්පු කියනවා ඔයාට දැන් කම්පියුටරයක් ඕනේ නැති වුණාට ගෙනාවාට පස්සේ ඒකේ වටිනාකම තේරෙයි කියලා. මිස්ටර් කුරුප්පු ගොඩක් ඇප්රිෂියෙට් කරනවා නිමල් එයාට කරල තියෙන උදව්. ඒකයි එයාට ඕනේ මෙහෙම උදව්වක් හරි නිමල්ට කරන්න."

කිත්සිරි මහත්තයා මට බුරුලක් දුන්නේම නැත. "නිමලුත් දන්නවනේ මිස්ටර් කුරුප්පු කොච්චර ස්ටබර්න්ද කියලා.... මට පුළුවන් මොකක් හරි කම්පියුටරයක් අරන් එන්න. ඊට වැඩිය හොඳ නැද්ද නිමල්ම එකක් බලලා ගන්න එක." කිත්සිරි මහත්තයා හරියටම නූලට මිෂන් එක කළේය. අන්තිමේදී මම මංජු (රවීන්ද්‍ර ප්‍රසාද් පෙරේරා) ගේ පිහිට පැතුවෙමි. (මංජු ගැන 'අජාසත්ත -2 පෝස්ටුවෙදීත් කිව්වේ මගේ මුල්ම පරිගණක ගුරුතුමා ඔහු බැවිනි.)  ඔහු මා කැටුව ගොස් මට වඩා පලදායි විය හැකි පරිගණකයක් හා අවශ්‍ය මෙවලම් තෝරා දුන්නේය.
   
මංජුගේ කුටුම්බයයි ශෙරානුයි         

මුලදී මා කළේ නරඹන ටෙලි නාටක දෙක-තුන අන්තර්ජාලය හරහා බැලීමයි. අතොරක් නැති වෙළඳ දැන්වීම්වල කරදරයෙන් බේරෙන්නට එමඟින් හැකි විය. ඊළඟට ට්‍රිප් එකක් යන අතරේ ඇඹිලිපිටියේ නන්ද කුමාරලා ගෙදරදී සාන්තත්, ෂෙරානුත් බලන නිසා 'ප්‍රිස්න් බ්‍රේක්' එපිසෝඩ් එකක් බැලුවා විතරය. ඊට වහ වැටුණේ පුදුම විදියටය. මගේ කොම්පියුටර් ඇබ්බැහිය ඔහොම දිගට-දිගට ඇදිණි......


බ්ලොග් එකක අදහස මගේ ඔළුවට ආවේ 2017 ඔක්තෝබර් 24 වෙනිදාය. එය කොටාගෙන යද්දී එපා විණි. ඒ ලියන්න හැදුවෙත් මෙවන් දේවල් නොවේ! ..... හැබැයි මම ටිකාක් ඉස්සර වුණා නම් කුරුප්පු මහත්තයා කොතරම් සතුටු වෙන්න තිබුණාද? මා කම්මැළියෙකි, එක දිගට ලියාගෙන යද්දී ඒ අසනීපය තවත් වැඩි වෙයි. මොන හේතුවකින් හෝ පංච තන්ත්‍ර ආකෘතිය හින්දා මට කම්මැළි නැත. දැනට මා ලියා ඇති දිගම පෝස්ටු මාලාවටත් ඇත්තේ කොටස් පහකි. අනෙක් අයගේ බ්ලොග්ස්වල කොටස් තොග ගණන් දකිද්දී නම් මට පුදුමත් හිතෙයි.

කුරුප්පු මහත්තයාත් අතිශය ඉහළ වේගයකින් නිර්මාණ කළ කෙනෙකි.




හිතුවෙවත් නැති විදියට මගෙන් මේ සේරම කෙරෙන්නේ කුරුප්පු මහත්තයා බලහත්කාරයෙන්ම මට පරිගණකයක් අරං දුන් හින්දාය. මේ ඔහු දුන් පගාවක්ද?

මා රස්සාව කරන කාලයේ කවදාවත් පගා අරන් නැත. කොමිස් අරගෙන නැත. ඉස්සෙල්ලාම මා කුරුප්පු මහතාට දුන් පගාව ගැනත් කියලා අහවරවී තවත් පගා රහසක් හෙළි කරන්නං!

2016 අප්‍රේල්වල ලංකාවට ආ කුරුප්පු මහත්තයාට යම්කිසි සිහිවටනයක් දිය යුතු යැයි මට හිතුණේය. කොහේ යතත් මගේ උරයේ එල්ලී, මා එක්කම එන 'හචා බෑගයේ' මගේ 'අයි පෑඩ්' එකත් තිබෙයි. ඒක තියෙන්නේ අතීතය පින්තූරවලින්, වීඩියෝවලින් හිර කර ගන්නටය. 

එතකොටත් නෙවිලුත් එක්කම කුරුප්පු මහතා බලන්නට ගිහින් පැරැණි රසාංග ටිකක් ගායනා කළ හැටි ඒකේ හිරවෙලාය. (කුරුප්පු මහතා සිංදු මතක් කළා මිස කිව්වේ නැත.) ඒ.ඩී. රංජිත් කුමාර මහතා තව ඡායාරූප ශිල්පියෙකුත් කැටුව එහි ආ දවසත් ඒකෙ හිරවෙලාය. මා කළේ එව්වායින් පුංචි වීඩියෝ එකක් නිමවා DVD එකකට ගෙන ඩී.වී.ඩී. ස්ටෑන්ඩ් එකකුත් එක්කම එය ඔහුට දීමයි. 

(පාලිත සමන් කුමාර මිත්‍රයා 'DVD stand එක කාටදැයි අසා 'එහෙනම් ඒක මගෙන් නිමල් අයියට දෙන තෑග්ගක් හියලා හිතන්නකෝ!' යි කියා සල්ලි ගත්තෙත් නැත! ස්තුතියි පාලිත.)


එහෙම දෙන ගමන් මා ඔහුට කිව්වේ ඔහු මට දුන් පරිගණකය දැන් මා කොතරම් දේවලට යොදා ගන්නවාද කියාය. හිනා මලකින් මූණ පුරවාගෙන කුරුප්පු මහත්තයා කිව්වේ වචන තුනකි. "ඒකනේ මං කිව්වේ."

DVD එකත් එක විදියක පගාවකි. එහෙම බැලුවොත් නම්, නොදැන හෝ ඔහු අවසන් වරට මවුබිමෙන් සමුගත් දිනයේ ඔවුන් කටුනායක ගුවන් තොටුපළට හැරලීමත් පගාවකි. අනේ මන්දා.... දැන් මට ලැබුණු එකම පගාවේ කතන්දරයට ඉඩ දෙන්නෙමි.

ඒ දවස්වල අපේ ප්‍රෙස් එකට එන තරුණයෙක් සහතික වගයක් මුද්‍රණය කරගෙන යයි. ඔහු එනවිටම පෙරමඟට ගිහින් පිළිගන්නා කෙනෙකුත් හිටි නිසා මං ඒ ගැන හොයා බැලුවෙම නැත. දවසක් අර තරුණයා ආවත් "රිෂෙප්ෂනිස්ට්" නිවාඩුය. අපේ බොස් අර තරුණයාගේ වැඩය කරවලා දෙන්නැයි මට පැවරුවේය. 

රහස එළි වුණේ එවිටය. ඒක මහා භයානක ජොබ් එකකි. ගහන්නේ හොර සහතික වගයකි. ජොබ් එක කරනාතරේ තොරතුරු එකතු කරගැනිල්ල මට අසීරු වුණේ නැත.

ඒ සහතික ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හැදෑරූ බව සහතික කරමින් දෙන එව්වාය. පිටරට යන්නට වීසා ගන්නා මගඩියකි. ජොබ් එක හමාර වෙන්නේ කිසිදු සලකුණක් ඉතිරි නොකර, ඒ සඳහා පාවිච්චි වුණු සියලු දේත් අර තරුණයාගේ වාහනයටම පැටෙව්වාට පසුවය. ඒකට බොස් නොසෑහෙන ගාණක් කපාගන්නටත් ඇත. 

පිටත් වන්නට සූදානම්වී අර තරුණයා මා ළඟට ආවේය. "තෑන්ක්ස් මිස්ටර් නිමල්, මගෙ ජොබ් එක හොඳට කරවලා දුන්නා.....'' යැයි කියමින් ඔහු මගේ අතට යමක් ගුලි කළේය.

"No, No... තෑන්ක්ස්! මං කළේ බොස් පවරපු ජොබ් එකනේ." පිළිකුල හංගාගෙන මා ඔහුට කිව්වත්, ඔහු නික්ම ගියේ බලෙන්ම අර මුදල් මගේ කමිස සාක්කුවට ඔබලාය. එතැන රුපියල් දෙසිය පනහක් තිබිණි.

ඒ දවස්වල ප්‍රෙස් එකේ තේ හදන්නේ ඉන්ද්‍රජිත්ය. ඔහු ගෙන්නාගෙන මම අර සල්ලි ඔහුට දුන්නෙමි. "බිස්කට් පෙට්ටියක් ගෙනල්ලා තේත් එක්ක හැමෝටම බෙදනවා." 

විස්කෝතු ගෙනෙන්නට ගිය ඉන්ද්‍රජිත් ආපහු ආවේ තව රුපියල් තිහ-හතළිහක් මදිය කියාගෙනය. ඒකත් ගියේ මගේ සාක්කුවෙනි. මා තේ බොන්නට යද්දී මේසය උඩ තිබුණේ මගේ තේ එක පමණි. බිස්කට් නැත. බොස්ගේ මේසය තිබුණෙත් මගේ මේසය අසලින්ම නිසා ඒකට එබී බලද්දී  එතැනත් තියෙන්නේ තේ එක විතරය. මම ඉන්ද්‍රජිත් ගෙන්නුවෙමි, විමසුවෙමි.

"නිමල් අයියලට ගේන්න ඉස්සෙල්ලා බිස්කට් ඉවර වුණා!"


එහෙම අතීතයක් හිමි මටය, කුරුප්පු මහත්තයා ඔහුගේ වියදමින් පරිගණකයක් ඇඟේ ගැහුවේ! ඒක දිවැසින් බලලා කළ දෙයක් වාගෙය. කවදාවත් මට එය පගාවක්; අයුතු ත්‍යාගයක් ලෙස හැඟුණේ නැත. ඒ මට කුරුප්පු මහත්තයාව මගේම කෙනෙක්; තාත්තෙක් ලෙස දැනුණු නිසාවෙනි.

අද මගේ කාලයෙන් වැඩි හරියක් ගෙවෙන්නේ එහෙම දුන් කොම්පියුටරය එක්කය. දැන් මා නිවසින් බැහැර යන්නේ එහෙමත් වෙලාවකය. මගේ දෙකකුල් හිරි වැටිලාය. සෙරෙප්පු දෙකක් දාගෙන නම් යාම බොරුය. සෙරෙප්පු පටිය ඇඟිලිවලට හිර වෙන්නේ නැත. සෙරෙප්පු දෙක දෙපයේ තියෙනවාදැයි මට දැනෙන්නේත් නැත. සමහර වෙලාවට මේ විදියට මගේ අදහස් කොටා ගන්නටත් බැරිය. ඇඟිලි එක උඩ එක යයි. මස් පිඬු පෙරළේ. එහෙම වුණත් එව්වාට මා නැවැත්විය නොහැකිය. මගේ දැක්ම මේකය.

'කෙනෙකු මරා දැමිය හැකිය. එහෙත් පරාජය කළ නොහැකිය!' ඒ සත්‍යය මාරාන්තික රෝගයකට ගොදුරු වූවෙකු සම්බන්ධයෙන් වුවද වලංගුය!!

පනස් පහක් උන්නාම හොඳටම ඇති යැයි හිතාගෙන උන් මට දෛවය 'බෝනස් එකක්සේ ආයු දිගුවක්' දී තිබේ. එය කොච්චර දිගදැයි කියලා නම් දැන ගන්නට ක්‍රමයක් නැත. කුරුප්පු මහත්තයා මට කොම්පියුටරය දුන්නේ 2009 වසරේය.

ඊට වසර හතරකට පස්සේ 2013 දී මගේ 'ඉරණම' මට ලෙඩක් දැම්මේය; 'මල්ටිපල් මයෙලෝමා' දුන්නේය..... ඒත් කුරුප්පු මහතා දුන් කොම්පියුටරය දැන් ලෝකය පුරාම මාව අරන් යයි!

ඒවා වෙනම ලියන තෙක්, සැඳෑ තරු එළියේ කිමිදුණු කුරුප්පු මහතාණෙනි  
"ඔබට සදා සතුට, සැනසුම, සමාදානය හිමි වේවා!" 
කියා පතන්නෙමි.



පසුවදනකි: ඩී. බී. කුරුප්පු මහත්මාට සැබෑ ලෙසම හිතවත් කරුණාවන්ත අයට හෙළි කිරීමට රහසකුත් මට තිබේ. ඔහුගේ මුද්‍රිත පොත්වලින් සිය ගණනක් තවමත් අපේ ගෙදර ගබඩාවී ඇත. ඒවා අලෙවි කරවීමේ යෙදෙන්නට කලක්, ඉඩක් හෝ හයියක් දැන් මටත් නැත. ඔහුගේ දියණිය සුභාෂිනීටත් ඒවාට මැදිහත් වෙන්නට හැකියාවක් ඇතැයි නොසිතමි. ඉතින් කවුරුන් හෝ මැදිහත්වී මේ පොත් රැසට උපරිම යහපත කරන්නේ නම් එයම කුරුප්පු මහතාට කරන උපහාරයකුත් වනු නිසැකය!