කම් නැත!
තමන්ගේ අඹු සිඟිත්ත දික්තලා, අතරමඟදී හාද වුණු දික්පිටියා
හා එක්ව තුටු පහටුව ඔයෙන් එතෙරව යද්දී, දියේ ගිලෙතියි බියෙන්
ගැහි-ගැහී දියට නොබැස කල් මරමින් හුන් කාළගෝලයා අන්තිමේදී ‘මියෙම්වා රැකෙම්වා’ කියා
එඩි වඩා දියට බට ලෙසින්...
මමත් මොවුනට මුහුණ දෙන්නෙමි!
![]() |
ආයෙත් ඒ නීල වර්ණය හිස ඔසවන්නේ...
(foto- Priyantha
Bandara Travel Photography) |
අපි කතා වෙලා
තිබුණේ විසි දෙවෙනිදා උදෙන්ම ගමනට පිටත් වෙන්නයි. අපරාදේ කියන්න බෑ- ඒ කතාවෙච්ච
විදිහටම අපි මහරගමින් පිටත් වුණා. Pra Jay මහත්තයාගේ ඩබල් කැබ් රථයෙන්.
පැහැදිලි ආකාසේ පැත්තක ළා නිල් පාටින් හැඩ වෙලා තිබුණත්, සමනල කන්ද දිහාවෙන් තැඹිලි-
රතු- රන්වන් පාටක් මෝදු වෙමින් තිබුණා. පැතිරෙමින් තිබුණු ඒ රන්වන් රතු පාටට ඉඩ
දෙමින් නිල් පැහැය හීන් සීරුවේ පසු බසිමින් තිබ්බේ සිකුරු පරාජය බාර ගනිමින්.
ආයෙත් ඒ නීල වර්ණය හිස ඔසවනවා නං ඔසවන්නේ
ගොම්මනත් එක්ක නෙව!
“නිමල්, අද ඔයා අර
ලොකු ඉඹුල් කිරිබත් ගෙඩි හදාගෙන ආවෙ නැද්ද?” වාහනේ පදවාගෙන යන අතරේම ප්‍රදීප්
ඇහුවා.
“... එදා නමී ආවේ
නැහැනේ. අපි හඟුරන්කෙත යන දවසේ නිමල් හදාගෙන ආවා ජයන්ට් ඉඹුල් කිරිබත් ගෙඩි ටිකක්.
එක්කෙනෙකුට එකක් කන්න බැරි තරං ලොකුයි. ඒවා හින්දා රවීට ලොකු කරදරයකුත් වෙලා- නේද
අමිල.”
අමිලත් හිනා වෙවී
ප්‍රාට උඩගෙඩි දුන්නා.
“ඒක නේන්නං. අපි හඟුරන්කෙත ගිහිං එනකොට රවීල ගෙදරට ගියානේ. එතකොට රවී අයියා ඉතිරි
වෙලා තිබ්බ අර ඉඹුල් කිරිබත් ගෙඩි ටික එයාලගේ ෆ්‍රිජ් එකට දැම්මා අපරාදෙනේ කියල. පොරට
ඒක මතක නැති වෙලා...”
“අම්මට සිරි!” නමී
වැලමිටෙන් මගේ ඉලයට ඇන්නා. “... ඉතිං ඉතිං බොසා?”
“ඉතිං තමයි...
දවස් ගාණකට පස්සේ ෆ්‍රිජ් එකෙන් කුණු ගඳක් එනකොට රවි අයියලා හොයන්න පටන් අරං. 😟😟එතකොට තමයි කුණු වෙලා තිබිච්ච ඉඹුල් කිරිබත් ටික අහුවෙලා තියෙන්නේ.“
(සභාවේ තද සිනා!)
“මොකද දිසානායක කතා නැත්තේ...” නෙවිලුත් ඇහුවේ ඔච්චම් ස්වරයකින්. “... අද මොනවද හලෝ
උදේට කන්නේ? දැන් නං බඩගිනිත් එක්ක.”
“බඩගිනි නං කනවා
දත්මිටි!” දත්මිටි කන සෙය්‍යාවෙන් රඟලයි මං කිව්වේ.
“ඇත්තටම නිමල් අද මොනවත් හදාගෙන ආවේ නැද්ද?” ප්‍රා ඇහුවේ යටපත් කරගත්තු හීන්
හිනාවකුත් එක්ක බව මං දැක්කා.
“නෑ මහත්තයෝ- හදාගෙන ආවෙ නෑ! 😉😉😉මොකටද නිකං මහන්සිත් වෙලා, කතන්දරත් අහන්නේ...”
“ආතල් එකටනෙ ලොක්කා...
ගණන් ගන්න එපා.” නමී කෙඳිරුවේ මට.
“මොනාද බොසා ඔය නමියා කෙඳිරි ගාන්නේ? බඩගිනිලුද...” අමිල ඇහුවේ මගෙන් වුණත්, උත්තර
දුන්නේ නෙවිල්. “ඒකනේ අමිල, මිනිහට කලන්තේ දායිලු...”
![]() |
ඒ අත්දැකීම්වලට පණ පොවා- රස කවා-
කියන්නටත්; ලියන්නටත්... (Pra Jay, ධම්මිකා චාන්දනී හා රවී) |
“කමක් නෑ, කමක් නෑ.
මටත් බඩගිනියි. පස්යාලෙන් හරවලා කුරුණෑගල හයිවේ එකට දාන්න කලින් හොඳ තැනකින් උදේට
කාල යමු නේද ප්‍රදීප්.”
ඊළඟට ක්‍රියාත්මක වුණේ ඒ යෝජනාවයි.
“මොනවද නමියෝ- ඔය
වයසට ඔය තරමට චුට්ටක් කාල ඇතිද බං? බලපංකො මචං මේකගෙ ඇඟේ මස් කලඳක්වත් නැති හැටි...
ඇටයි හමයි විතරයි! හම නැත්තං ඇටත් බිම...”
“මේකා ඔහොමම තමයි මචං. කන්දක් තරං කෑම තිබ්බත් කන් හැන්දකට වැඩියෙන් කන්න පින නෑ!
පූරුවේ පව්...”
“ඕන්න ඒකටත් එක්ක මෙයා.
අපි බලෙන් නවත්තන්න කිව්වත් එයා කන එක නවත්තන්නෙ නෑ... 😃😃😃”
“ඇයි මිනිහෝ, ආයෙ තව තැනකින් කන්නද?” මං නෙවිල්ට උත්තර බැන්දේ වතුර උගුරක් බීල ඉවර
වෙලා. ”... නැතිව ඉතිං, බාගෙට කාලා දවසම බඩගින්නේ ඉන්නයැ.”
“නිමල් අයියා මුගේ කතන්දරවලට ඇවිස්සෙන්න එපා. අපිට හදිසියක් නැහැනේ...”
“ඒක නෙවෙයි අමිල,
රවීව ගන්න අපි පැණිදෙනියට යන්න ඕනිද?”
“නෑ ප්‍රදීප්, පොර මට කිව්වේ එයා කටුගස්තොටට එන්නං කියලයි. අපි ආපහු යන ගමන් රවී
අයියලාගේ ගෙදරට යමු. කොයිකටත් මම පොරට call එකක් දීලා බලන්නංකො...”
යොදාගෙන තිබුණු
විදිහටම රවී සහෘදයා කටුගස්තොටට ඇවිත් උන්නේය. “කොහොමද මචංලා?”යි අසාගෙන රවී වාහනයට
ගොඩනැඟුණු මොහොතේ සිටම ආගිය රසබර තොරතුරු ප්‍රවාහයකට මැදි වෙන්නටය, අප කාටත් සිද්ද
වුණේ. එහෙම වුණේ රවී පුළුල් අත්දැකීම් බහුල රසවතෙකු වූ බැවිනි; ඒ අත්දැකීම්වලට පණ පොවා-
රස කවා- කියන්නටත්; ලියන්නටත් සමතෙකු වූ බැවිනි.
ඒ හපන්කම ඇතිව රවී
blog විජිතයට සම්ප්‍රාප්තවී තිබෙන්නේ 2010 වසරේදීය.
‘තිලක සිත’ බ්ලොග්
අඩවියේ පළවී තිබුණු ‘රවී වීරසිංහ නම් පඳුරු තලන්නා හා
සිංහල බ්ලොග් ලෝකය’ ලිපිය blog ඉතිහාසය පිළිබඳවත්, රවී පිළිබඳවත් ඉතා වැදගත්
තොරතුරු රැසක්ම අපට හෙළිදරව් කරයි!
‘... රවී ඒ වන විටත්
සිංහල බ්ලොග් අවකාශය තුළ අතිශය ජනප්රිය “පඳුරු තළන්නකු” වී සිටි වගයි!
අන්තර්ජාලය හරහා අදහස්
හුවමාරු කරගන්නා ඉතිහාසය දෙස හැරී බැලීමේදී, බ්ලොග්කරණය යනු ලෝක
සන්නිවේදන රටාව උඩුයටිකුරු කළ සුවිශේෂී සන්ධිස්ථානයකි. අද වන විට කෙටි සමාජ මාධ්ය සටහන්
සහ ක්ෂණික වීඩියෝ දර්ශන ඉදිරියට පැමිණ තිබුණද, ගැඹුරු
සංවාදයන් සහ නිර්මාණශීලී සාහිත්යයක් සයිබර් අවකාශය තුළ බිහිවීමට පදනම වැටුණේ බ්ලොග්
අඩවි හරහාය.
![]() |
මම ඈත අතීත මතක මන්දිර- මංපෙත් හා
දසුන් ඔස්සේ සැරි සරන්නට වීමි. |
බ්ලොග් කලාව තාක්ෂණික
ප්රවීණයන්ගෙන් මිදී සාමාන්ය ජනතාව අතට පත් වීමට ප්රධානතම හේතුව වූයේ 1999 අගෝස්තු මාසයේදී
ඉවන් විලියම්ස් සහ මෙග් හවුරිහන් විසින් Pyra
Labs සමාගම හරහා Blogger.com වේදිකාව හඳුන්වා දීමයි. පරිශීලකයාට කිසිදු කේතකරණ
දැනුමකින් තොරව, වෙබ් පෝරමයක් පිරවීමෙන් පමණක් සිය අදහස් ක්ෂණිකව
අන්තර්ජාලයට මුදාහැරීමේ පහසුකම ලැබුණු අතර, 2003 වසරේදී Google සමාගම විසින් Blogger සේවාව මිලදී ගැනීමෙන් පසු එහි බොහෝ සේවාවන් නොමිලේ
ලබාදෙමින් බ්ලොග්කරණය ලොව පුරා සාමාන්ය ජනතාව අතර තවත් ජනප්රිය කළේය.
මෙම තාක්ෂණික විප්ලවය
ලංකාවට පැමිණ සිංහල යුනිකෝඩ් තාක්ෂණය සමඟ මුසු වීමත් සමඟ, මාගේ
නිරීක්ෂණයට අනුව 2010 පමණ සිට 2018 දක්වා කාලය ලාංකේය බ්ලොග් අවකාශයේ ස්වර්ණමය යුගය
ලෙස හැඳින්විය හැකිය...’
තිලකෙගේ ඒ කියමන
අනුව නම් මං වහන්සේ ‘නිදිගෙ පංච තන්තරේ’ ලියන්නට පටන්ගෙන තිබෙන්නේ ‘ලාංකේය බ්ලොග් අවකාශයේ
ස්වර්ණමය යුගය’ අවසන් වෙන වකවනුවේදී; 2018දීය.
“මොනවා වුණත් රවී,
ඔයාත් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි බ්ලොග්ස්වලින් ඈත් වෙවී- අන්තිමට ෆේස් බුක් එකට
සින්න වෙච්ච එක නං හෙණ අපරාධයක්.” අපේ කතාබහ අතරේදී මට කියැවිණි.
“මේකයිනෙ නිමල්. ලියන ප්ලැට්ෆෝම් එකයි, ලියන දේවලුයි තීරණය වෙන්නේ ලියන කෙනාට
කැමති විදිහටනේ මචං. කාටවත් බැහැනෙ මචං, ඒක කරන්න ඕනි මෙහෙමයි කියල වැටවල් ගහල නීති
දාන්න.” රවී කිව්වේ විවාදාපන්න ස්වරයකින් නොවේ. “... මට හිතෙන්නේ එහෙමයි!”
“මේ... කවුරු හරි
මට directions දෙන්න වෙයි. අපි කොහාටද ඉස්සෙල්ලම යන්නේ? බෝමුරේද නාරංපනාවේද?” ප්‍රදීප්
ඇහුවේ එතකොට.
“ඉස්සෙල්ලම ගිහින්
ඉමු ප්‍රදීප් බෝමුරේට. එන ගමන් යමු කුමාරගම මහත්තයාගේ සොහොන බලන්න.”
“අමිල, ඔයා ගූගල් map එක දාගෙන නේද තියෙන්නේ?”
“හ්ම්! නුවර ඉඳලම බෝමුරේට කිලෝ මීටර් තිස් පහක් කියලයි පෙන්නුවෙ...”
එයාලා පාර ගැන
විමසිල්ලෙන් යද්දී මම ඈත අතීත මතක මන්දිර- මංපෙත් හා දසුන් ඔස්සේ සැරි සරන්නට
වීමි.
![]() |
අපේ ආච්චිගේ කෝණයෙන් බලද්දී ශ්‍රී වික්‍රම
කියන්නේ නොසන්ඩාල රජෙකි. |
දසනායක රත්නවතී; අපේ මහරගම ආච්චීය ‘ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ පැටිකිරිය’ ඉස්සෙල්ලාම මට කියා දුන්නේ.
“ශ්‍රී වික්‍රම කියලා රජ වුණාට මොකද- එයා රජ වෙන්න හිටපු උරුමක්කාරයෙක් නෙවෙයිනේ.
එතකොට එයා නිකංම නිකං කන්නසාමි... තම්පලා කොරටුවක වැඩ කර-කර හිටිද්දී තමයි පිළිමතලව්වේ
අධිකාරම එයාව ඇදගෙන ඇවිත් සිංහාසනයේ වාඩි කෙරෙව්වේ. රජ වුණත් තියෙන බලු ගති
ඇරෙනවයැ? වඩුග රජාත් හුඟක් මෝඩ රජවරු වගේ කේලම් අහන්න පුරුදු වුණා... බේබද්දෙක් වුණා.
ඇහැලේපොල කුමාරිහාමිව දැක්කා විතරයි, කාම තෘෂ්ණාව ඉහට ගැහුවා. අන්තිමට මොකද වුණේ?
අහිංසක දරු පවුලක්ම විනාශ වෙලා, රජ්ජුරුවන්ට රජකමත් නැති වුණා...”
අපේ ආච්චිගේ
කෝණයෙන් බලද්දී ශ්‍රී වික්‍රම කියන්නේ නොසන්ඩාල රජෙකි. මාත් මුලදී හිතාගෙන උන්නේ ඒ
විදිහටමය!
ඊට ටික කාලයකට
පස්සේ ඒ කතන්දරය ‘දිනපතා ලංකාදීප’ පත්තරයේ තීරු චිත්‍රකතාවක් විදිහට පළ වෙන්නට
පටන් ගත්තේය. මගේ මතකය හරි නම් කතාව ලිව්වේ ධර්ම ශ්‍රී කල්දේරා මහතාණන්ය; චිත්‍ර
ඇන්දේ පුරවිජය ෆොන්සේකා ශිල්පියාණන්ය.
ඒ කතාවේ ආ එක
සිදුවීමක් මගේ හිත තදින්ම සොරා ගත්තා මට මතකය. ඒ ගැන අපේ ආච්චීත් දැනගෙන සිටියාය.
“ඉස්සර රජවරු කොයිකටත් කියල තිස්සෙම සූදානං සරීරෙන් උන්නේ. හදිස්සියෙවත් හතුරෝ පහර
දුන්නොත්, පණ බේරාගෙන පැනල යන්න විදිහවලුත් ලැහැස්ති කරගෙන.
එහෙම තැනක්; උමඟක් තිබ්බලු උඩදුම්බර පැත්තෙ දිය ඇල්ලක් පිටිපස්සේ. එතෙන්ට ගිහින් වතුර
පාරට තල් අත්තක් ඇල්ලුවහම අර වතුර පාර දෙබෑ වෙලා උමඟේ දොර ඇරෙනවලු...
-ඉතිං අර වඩුග රජා
ඇහැලේපොල පවුලම විනාශ කළාට පස්සෙ දැනගත්තලු අදිකාරම්ලත් ඉංගිරිස්කාරයන්ට හවුල්
වෙන්න යනවය කියල. එතකොට රජ්ජුරුවො බිසෝවරුයි, හිතවත්ම කිහිප දෙනෙකුයි එක්ක පැනල
යන්න ගත්තා.
-ඇහැලේපොල පවුලට අර
සහගහන අපරාදේ කෙරෙව්ව හින්දා දෙවියොත් රජ්ජුරුවො එක්ක කෝප වෙලාලු හිටියෙ. ඉතිං තල්
අත්ත ඇල්ලුවට වතුර පාර නැවතිලත් නෑ; උමඟේ දොර ඇරිලත් නෑ...
ඒ පාර තමයි රංජි පුතේ, රජ්ජුරුවෝ කට්ටියත් එක්කම මැද මහනුවර බෝමුරේට ගිහිං
තියෙන්නේ...”
ඒ වයසේදී ඒ
කතන්දරවල තිබුණු කතා රසය වින්දා විනා ඒවායේ තිබුණු එෛතිහාසික අගය මං වහන්සේ පවා තේරුම්
නොගත් හැටි...
![]() |
බෝමුරේ වෙල් යාය... |
ගොනෙක් පිටේ හකුරු
ගෝනි ගණනාවක් පැටෙව්වත් ගොනාට පැණි රහ දැනෙන එකක්යැ?
2003 දී D.B. කුරුප්පු මහත්තයා පියසිරියට ආවේ ඉංග්‍රීසි පොත් පිංචක් මුද්‍රණය කරවා ගන්නටය. පොත ‘Surrender or Betrayal – Sri Lanka Gives up Last King’ය.
“ඔය ළමයා ගිහිං
තියෙනවද ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ව සුද්දන්ට අහු වෙච්ච තැන බලන්න?”
“නැහැනේ කුරුප්පු මහත්තයෝ...”
“බලන්න යන්නම වටින තැනක්. ටික දවසකට කලින් මම ගියා. එතැන තවමත් තියෙනවා රූස්ස සියඹලා
ගහක්. 1815 පෙබරවාරි 18 වෙනිදා රජ්ජුරුවන්ව අත්අඩංගුවට ගන්නවා දැකපු ගහක්...”
කුරුප්පු මහතා කිව්වේ කනගාටුවෙන් වගේ.
“... වැලි අංගා
වගේ මිනිස්සුන්ගෙ දුෂ්ටකම් දැකපු ගහක්...”
“කවුද කුරුප්පු
මහත්තයෝ ඔය වැලි අංගා?”
“නිමල් අහල නැද්ද ඒ මනුස්සයා ගැන... මාලිගාවෙන් පැනල ගිය රජ්ජුරුවො බෝමුරේ හිටපු
උඩුපිටිය ආරච්චිගේ ගෙදරයි හැංගුණේ. එක්නැලිගොඩ නිලමෙයි සබරගමුවේ හේවා පන්නෙයි
රජ්ජුරුවන්ව හොයාගෙන බෝමුරේට ආවලු. ඒ පිරිස දැකලා බයවෙච්ච කොලු ගැටයෙක් දුවන්න
ගත්තම- හේවායෝ පැනල කොල්ලව අල්ලගෙන.
-හොඳටම බය වෙච්ච ඒ
කොල්ලා රජ්ජුරුවො හැංගිලා ඉන්න තැන කට්ටියට කිව්වලු. උන් ගිහිල්ලා උඩුපිටියේ
ආරච්චිලවත් මරල දාලා රජතුමාව අල්ලගෙන.
ඒ වෙලාවේ එතැන හිටියලු අර කියපු වැලි අංගා... මිනිහව අඳුරගත්තු රජ්ජුරුවෝ කිව්වලු ‘ආ,
මේ අපේ වැලි අංගානෙ’ කියලා...
-එතකොට වැලි අංගා
රජ්ජුරුවන්ගේ කතාව තඹේකටවත් ගණන් නොගෙන කිව්වලු ‘එදා එහෙමයි- අද මෙහෙමයි’ කියලා. ඒ
මදිවට ඒ යකා රජ්ජුරුවන්ට පයිනුත් ගැහුවලු...”
“අනේ!”
“ඔය කතන්දරේ දැනගත්තම මටත් හිතුණෙ අනේ කියල තමයි... හැබැයි ළමයෝ, ඕව කාට-කාටත් හොඳ
පාඩම්!”
එදා කුරුප්පු මහතා
කියූ විදිහට නම් ‘ඒ වැලි අංගාගෙ පාදයකට ටික දිනකින්ම සුව නොවෙන කුෂ්ටයක් බෝ වී
තිබේ’.
“ඒ ගමේ තාමත් ඉන්නවලු ඒ මිනිහගෙ පරම්පරාවේ අය. ඒ මිනිස්සුන්ටත් අර කුෂ්ටේ තියෙනවයි
කියල තමයි බෝමුරේ මිනිස්සු කියන්නේ.”
“අන්න අන්න, බෝඩ්
එකක්... තව ඩිංගෙන් මිස් වෙනවා...”
ඒ කලබැගෑනිය නිසාය, මං වහන්සේ අතීත මනෝ ලෝකයෙන් පිටතට ආවේ.
“එච්චර ලොකු පාරක් නෙවෙයිනෙ...”
“පාර පුංචි වුණාට නං කමක් නෑ. හරවගන්න තැන් තිබුණොත්...”
“මේ හරියට සිග්නල් නැති නිසා...”
![]() |
මුන්ගෙ ආච්චිලට හාල් ගරන්න එපැයි... මෙහෙම
තැනක… |
“අමිල කියනව නං...”
පාරේ එක පැත්තක
කන්දය. අනිත් පැත්තේ පල්ලමය. ඒ මදිවාට පොඩ්ඩෙන් පොඩ්ඩට වංගුය.
ඒත් අපට එහෙම යන්නට
ලැබුණේ ටික දුරක් විතරකි!
“අඩේ, පාර දෙකට බෙදෙනවා නේද? කොයි පාරෙන්ද යන්නේ... උඩහට තියෙන එකෙන්ද- පල්ලමට තියෙන එකෙන්ද?”
“මුන්ගෙ ආච්චිලට හාල් ගරන්න එපැයි... 😞😞 මෙහෙම තැනක පොඩි බෝඩ් කෑල්ලක් ගැහුවම හෙණද
යකෝ...”
“**&** #^+ ^$#!”
“හීනි පොදයකුත්
ගහනවා මචං.” අමිල වාහනයෙන් බහින්නට හදද්දී රවි කිව්වේය.
“ගාණක් නෑ රවී අයියේ... මම පල්ලෙහාට තියෙන පාර දිගේ ගිහිං බලන්නං. පාරක් අහගන්නවත්
මෙලෝ යකෙක් නැති පැත්තක්නෙ. මචං ප්‍රදීප්, ඔයා වාහනේ ඔහොමම තියාගෙන ඉන්න, මං
එනකල්...”
හිරිපොද වැස්ස ගැන
වගක්වත් නැතිව අමිල පාරේ ඈතට නොපෙනී ගියේය.
“මේ පාරවල්වල වැඩිය කවුරුවත් වාහනවල යන්නෙ නෑ වගේ. පාර දෙපැත්තෙම වල් වැවිලා
හොඳටම.”
“පව් වැඩේ අමිල අයියට... දැන් විනාඩි දහයකටත් කිට්ටුයිනෙ...”
“වෙලාව ගියා වගේ නෙවෙයිනේ, නමියෝ. ගෙයක් හරි, මිනිහෙක් හරි හම්බ වෙලා පාර අහගෙන
මිසක් අමිල ආපහු එන එකක් නෑ...”
“නමී, අපි මේ පාරට
හරවපු තැන තිබ්බ බෝඩ් එක හරි නේද?”
එතැන ඉඳලා විස්තරේ
ඊළඟ කොටසෙන්...






No comments:
Post a Comment