li Item

Tuesday, September 8, 2020

ආදර පූජාසනේ - පස්වෙනි කොටස

“ඔව් කිව්වොත් කිව්වම තමයි සුදෝ! හැබැයි එවන්නෙ අවුරුදු කීපෙකට කලින් ගත්තු එකක්!! ඒක දැක්කම නං ඔයාට මගෙත් එක්ක කතාව එපා වෙයි!!!”

ජන කවියක් ටිකාක් විතර මොඩිෆයි කරගෙන.....
නිමල් දිසානායක; නිමාලි; එහෙමත් නැත්තං ‘නිදි’ සුනන්දට එහෙම කියද්දී හිතේ තිබ්බේ 1973 විතර ගත්තු ඡායාරූපයක් ගැනයි. තවමත් යන්තමින්වත් විස්තර ලියා නැති නාට්‍යයක් වෙනුවෙන් ඒ ඡායාරූපය ගන්නා දවස්වල මං හිටියේ කොණ්ඩය වවාගෙනය. ඒ කේශ කලාපයත් විහිදාගෙන නුගේගොඩ නිමල් Studio එකෙන්ය, ඒ foto එක අරගෙන තිබ්බේ!

එයින් එකක් සුනන්දට ගියේ කවි කීපයකුත් එක්කය. මහීට ගිය ෆොටෝ එකේ නම් කවි ලියවුණේ නැතිවා විය යුතුය.

    ‘ඉරුගල් නුවර ඉරුගල පවතිනා    තුරු

    සඳගල් නුවර සඳගල පවතිනා       තුරු

    මැද මහනුවර රන්කොත පවතිනා  තුරු

    හිමියනි ඔබ පතමි සසරෙහි වසන තුරු’

මතකද? ඒ ජන කවියක් ටිකාක් විතර modify කර හදාගත්තකි. එහෙම කිරීමේ ගෞරවය යන්නට ඕනේ ‘ධර්ම ශ්‍රී මුණසිංහ’ ගුවන් විදුලි නාට්‍ය රචකයාටය. ඔහු වෙනස් කර තිබ්බේ කවියේ අන්තිම පදයයි.

‘කෙළලා යන්ට නොදෙමුව දිවි තිබෙන තුරු’ යනුවෙනි original කවියේ අන්තිම පදය තිබුණේ. ධර්ම ශ්‍රී අතිදක්ෂ විදිහට, ඔහොම කවිය වෙනස් කළේ ‘ගජමුතු’ ගුවන් විදුලි නාට්‍යයටයි. නාට්‍යයේදී කවිය කියන්නී ‘මුතූ’ය. යළි-යළිත් ඒ කවිය ගයන්නැයි මුතූට කියන්නේ ‘ගලබොඩ අප්පෝ’යි.

ආනන්ද, අසෝක කපුරුගේලගෙ ගෙදරට ගිය ඉස්සර දවස්වල ‘ඉරුගල් නුවර...
කුලහීන මුතූගේ චරිතයට නිරංජලා සරෝජිනී පීරිසුත්, වංශවත් ගලබොඩ අප්පෝ (නිලමේ) චරිතයට කරුණාරත්න අමරසිංහත් අපූරුවට හඬ දුන්නෝය! ඒ ගුවන් විදුලි නාට්‍යය ‘මුවන් පැලැස්ස’ටත් වැඩියෙන් ජනප්‍රිය වුණා කියලාය මට හිතෙන්නේ.

 කලවැද්දෙක් කොස් ගහකට නැඟලා වැල ගෙඩි බරු ගහතෙයි

 තෙ තෙයි තෙයි වැල ගෙඩි බරු ගහතෙයි//

 ඌගේ පැටියෝ ඒවා කාලා - අතු උඩ දුව පනිතෙයි

 තෙ තෙයි තෙයි අතු උඩ දුව පනිතෙයි//

 ‘කලවැදි සවුදමේ’ එන ඒ කවියත් මුතූ සමහර දවසක ගැයුවාය.

ඊට අවුරුදු කීපයකට පස්සේ පනාගොඩ, අසෝක කපුරුගේ (තරුණ ජනගහන කමිටුවේ) මිත්‍රයාගේ ගෙදරට ගොඩවැදෙන වාරයක් ගණනේ මට අර කවි දෙක නොකියා එන්නට ඉඩක් ලැබුණේම නැත! ඒ අසෝකලාගේ තාත්තාගෙනි. මං හිතන්නේ ‘නිරංජලා’ තරම්ම නැතත් මා ඒවා මිහිරට ගායනා කරන්නට ඇතිවා විය යුතුය. 

ඊයේ හැන්දෑවේ මම ‘Project Power’ චිත්‍රපටය බැලුවෙමි. (ඒකත් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ තිබුණු එකකි. සිංහල සබ්ස් දීලා තියෙන්නේ ‘යුරාන් ධනුක’ (ධනුවා) විසිනි. 

යුරාන් ධනුක සිංහල සබ්ස් සැපැයූ ඒ film එකේ දුගී බවේ අගාධයෙන් .....
ඉදිරි අනාගතයේ දිනෙක වෙනස්ම ගණයේ, බිහිසුණු මත් ද්‍රව්‍යයක් ‘නිව් ඔර්ලියන්ස්’ නගරයට සැපයෙයි. දිළිඳු බව නිසාම ඒවා බෙදා හරින්නට සහාය වෙන ගැටවරියක වන රොබින්, විශ්‍රාමික හමුදා සාමාජික ‘ආර්ට්/මේජර්’ට කොටුවෙයි. ඇඟ හිරි වට්ටන සිදුවීම් රැසකින් පසු චිත්‍රපටය මැදදී - හරියටම කියනවා නම් මිනිත්තු 51 තත්පර 13 දී ආර්ට් හා රොබින් අතර සංවාදයක් ගොඩනැඟෙයි.

“ඔයා අනිත් අයට වඩා හොඳින්ම කරන්නේ මොකක්ද කියලා හොයාගන්න ඕන.”

දුගී බවෙන් මිදෙන්නට උපදෙස් දෙමින්, ආර්ට් රොබින්ට කියයි. අහිංසක, දුප්පත්, කළු ජාතික රොබින් දන්නේ ‘රැප්’ කරන්නට විතරය.

‘ඔයා හොඳයි! ගොඩක් හොඳයි. ඒ තමයි ඔයාගෙ බලය. ඔයා ඒක ගන්න.... ඔයාගෙ බලය යොදාගෙන මේ පද්ධතිය වට්ටලා දාන්න.....”

ආර්ට් රොබින්ට කියාදෙන උපදේශය, එයයි. කෙනෙකු තමන්වම විශ්ලේෂණය කළ යුතුය; තමන්ගේ අඩුපාඩු-හැකියා නොහැකියාවන් වටහාගත යුතුය; දුර්වලතා දන්නවා නම් ඒවා අවම කරගත යුතුය; දක්ෂතාවන් උපරිමයෙන්ම පාවිච්චියට ගත යුතුය! ඒවා මට කියා දෙන්නට ‘ආර්ට්’ කෙනෙක් හිටියේ නැත. ගෙදරට සීනි- පරිප්පු ඔතාගෙන එන පත්තර කෑල්ලෙන්, අතට අහුවෙන පොත-පතින්, ඇහෙන-දකින දේවලින්ය මා ඒවා උගත්තේ.... අභ්‍යාස කළේ!

සුනන්ද, මහී එක්ක දුරකථන සංවාදවලදී ඔවුන්ගේ හිත් පැහැරගන්නට මට හැකි වුණේ එබැවිනි.

හැබෑම රජ කෙනෙකුගේ වැනි ප්‍රතාපවත් හඬක් තිබුණු මහී....
විශේෂයෙන් සුනන්ද! ඇත්තම කියනවා නම් මහී එක්කලා කෙරුණු කතාබහ නම් ටික දවසක් යද්දීම මට එපා වුණේය. එහෙම වුණේ ඒවායෙන් උගත යුත්තක් නැතිම තරම් වුණු හින්දාය. එච්චර දවසක් හරි, ඒ කටයුත්ත අල්ලලා ගියේ මහීගේ ප්‍රතාපවත් කටහඬ මගේ හිත බැඳගෙන තිබුණු බැවිනි. එහෙම රුචියක් වුණත් දිගටම නොපවතින ගතියකුත් මේ නසරානි මා සතුව ඇති බව, ඒ දිනවල මටම පසක් වෙමින් තිබිණි.

සුනන්ද එහෙම නොවේ. දැනුමෙන් සපිරි, පොතපත කියවන, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකි; කවියෙකි!

කවිවලට නොවුණත් මා යැවූ foto එකට නං ඒ දෙන්නාම..... හොල්මන් වෙන්නට ඇත.

දැන් එක කාරණයක් ගැන නම් මම හිත හදාගෙන සිටිමි! මේ පෝස්ටුව publish කළ වහාම, එය කියවන රසික-රසිකාවන්ගෙන් අම්බානක බැණුම් අහගන්නට වෙයි. අහිංසක පිරිමින් දෙන්නෙකු ගොනාට ඇන්දුවාට...... කුරිරු ලෙස රැවට්ටුවාට.... පසුගිය කොටස කියවූ කිහිප දෙනෙකුම කියා තිබුණෙත් මේ ‘ඇන්දවීම’ පලේ-පල්; පව්කාර වැඩක් කියලාය.

කවුද නැහැයි කියන්නේ? කට්ටකාඩුවේ ලොකූ කියන විදිහටම ඒ ඇන්දිල්ල ‘කක්කි වැඩකි’.

මමත් අද පිළිගනිමි; බොක්කෙන්ම පිළිගනිමි. එදාත් ඉඳහිට නම් මටත් වරදකාරී හැඟීමක් දැනුණු බව ඇත්තය. ඒත් එය එච්චරටම හිතට වැදුණේ නැත. අනෙක් අතට සුනන්ද නම් කරමින් හිටියේ නොහොබිනා වැඩක්ය කියලාය මගේ පිළිගැනීම වුණෙත්. ‘කසාදත් බැඳලා දරුවොත් ඉන්න එයාට වටිනවද හොරා වගේ කෙල්ලෝ එක්ක වරු ගණන් කතා කරමින් ඉන්න?’ එවක මගේ සදාචාර කෝදුවේ දිග වුණේ එච්චරය!

මගේ foto එක දැක්කාම නං සුනන්දත්, මහීත් හොල්මන් වෙන්නට ඇති!
“ඔයා හරි ලස්සනයිනෙ කෙල්ලේ!” foto එක ලැබුණායින් පස්සේ මහී කිව්වේය. “... ළඟපාතක ඉන්නවා නං අම්මපා බලෙන්ම හරි kiss එකක් දෙනවා!”

‘එනපොට නං හොඳ මදි නිමලෝ.’ මගේ හිත කිව්වේය. ‘ඇති නේද?’ මගේ හිත ඇහුවේය. මහී එක්ක කතාබහෙන් මා fed up වී හිටි නිසාත් වෙන්නැති, නොහිතූ දෙයක් හරිම ලේසියෙන් මගේ මුවෙන් පැන්නේ.

“එහෙනං ඔයාගේ මූණෙත් රැවුල් කටු ඇනෙයි!”

“ඔයාගෙ මූණෙ රැවුල් කටු ඇනෙන එක ගැන බය වෙන්න එපා. මම හොඳට shave කරලා ඉන්නේ...”

“මම නං නෑ......”

ඒ එක්කම “ම් ම් මොක්කාක්?”යැයි මහී ඇහුවේ බෝම්බයක් පිපිරුණ වෙලාවක වගේ කලබලයෙනි. මගේ කතාව ඒ මනුස්සයාට හරියටම වැටහී තියෙන්නේ දැන්ද? ඒත් මගෙන් මොකුත් නොකියවෙන විට, මුකුළු හිනාවක් විතරක් පිටවෙන විට දෙවෙනි ප්‍රශ්නයත් ඇසුවේය. “ඇයි මට බොරු කියන්නේ?”

“මම මෙච්චර දවසක් ඔයාට බොරු කියලත් නෑ.... ඉස්සරහට කියන්නෙත් නෑ....”

“ඉතින් එහෙනං ඔයා රැවුල කපලා නැහැයි කියන්නේ..... කෙල්ලො රැවුල කපනවද?”

එතකොටය මා බෝම්බය අතෑරියේ! “කෙල්ලො රැවුල කපනවද නැද්ද කියල මම දන්නෙ කොහොමද? මම නම් රැවුල කපනවා දවසක් ඇර දවසක්....”.

ඔයා ඉතින් සේරම විහිළුවට ගන්නවනෙ!
“ඔයා ඉතින් සේරම විහිලුවට ගන්නවනෙ.... මේ ෆොටෝ එකේ ඔයාට රැවුලක් තියෙනවය....”

මට එපා වෙමින් තිබිණි; ඇති වෙමින් තිබිණි. “හරි මහත්තයෝ.... එදාත් මම හොඳට shave කරලා හිටියා වෙන්නැති... සරතුත් එක්ක foto ගන්න යද්දී රැවුල කපලා යන්නැති.”

“කවුද සරත්.... එයා ඔයාගෙ boy ෆ්‍රෙන්ඩ්ද?”

“එයා තමයි අපේ නාට්‍යයේ main role එක කරන්නේ.....”

ඉතින් මම සේරම මහීට කිව්වෙමි. මහීත් සේරම හාර-හාරා අහගත්තේය. නාට්‍යයක් වෙනුවෙන් මා කොණ්ඩය වවාගෙන හිටි බව... දෙමටගොඩ කැන්ටිම කළ බව... ටියුඩර් හඳුනාගත්තේ එහිදී බව.... ටියුඩර් ‘වස්තුව’ වචනය භාවිත කරන බව....

“ඉතින්, එහෙනං.... ඔයා කොල්ලෙක්නෙ?”

අන්තිමට මහින්ද කිව්වේය. “කවුද නැහැයි කිව්වේ?” මම ඇසීමි.

“ඔයා කෙල්ලෙක් කියලනෙ මම හිතාගෙන හිටියේ...”

“මම මොකටද කවුරුවත් හිතන ඒවාට එපැයි කියන්නේ?”

“ඒ වුණාට.... මේ foto එක.... ඇත්තටම මේක ඔයාගෙද?”

“කිව්වම අහන්න ළමයො.... ඔයා හිතාගෙන හිටි දේවල්වලට මම පළි නැහැනෙ. ඒත් ඔය ෆොටෝ එක නං මගේම තමයි.”

මහී හූල්ලනවා ඇහුණේය; කල්පනා කරනවාත් දැනුණේය. ඊළඟට ඒ හාදයා කිව්වේ මං හීනෙකින්වත් නොහිතූ දේකි.

මාත් එක්ක වැඩ කරන තව යාළුවෙක්ව ඔයාට අඳුන්නල දෙන්නං!
“මාත් එක්කම මෙහෙ වැඩ කරන තව කීප දෙනෙක්ම ඉන්නවා. මං ආසයි ඔයාට ඒ එක්කෙනෙක්ව අඳුන්නලා දෙන්න...”

“ඒ මොකටද?”

“...මං එක්ක වගේම කතා කරන්න... මම මිනිහට කියන්නෙත් නෑ ඔයා කොල්ලෙක් කියලා. ටෙලිෆෝන් එකෙන්ම යාළු වෙච්ච එක්කෙනෙක්ය කියනවා. ඔයාත් ටිකක් කතා කරලා බලන්නකො.....”

එකම සෙල්ලමක් එකම එක්කෙනෙකු එක්ක කරද්දී හති වැටෙනවා වැඩිය; ඒකාකාරී වෙනවා වැඩිය; ඉක්මනටම එපා වෙනවාත් එක්කය. ඔයාලට කොහොමද මන්දා? මට නං එහෙමය! දැන් එකම සෙල්ලම අලුත් හාදයෙක් එක්ක කරන්නට ලැබෙයි. ‘බලමුකො, කොහොම එක්කෙනෙක්ද කියලා. එයාලමනෙ කතා කරන්නෙ... අතින්-මිටින් යනවයැ.’ හිත කිව්වේය.

මිනිහා නම් පුදුමම පුදුම සතෙකි. ඌට එකක් හිතලා වෙනින් දෙයක් කියන්නට පුළුවනිය; එහෙම දෙයක් කියන ගමන්ම ඊට හාත්පසින් වෙනස් දෙයක් කරන්නටත් පුළුවනිය. මාත් ඒ ගොඩටම වැටෙන සත්ත්වයෙක්මි. ‘එක්කො එපා’ යයි හිත කියද්දී ‘මුව’.....

මුව කිව්වේ ‘හ්ම්!’ කියලාය. මහීගේම මැදිහත් වීමෙන් අජන්ත රඟමඬලට සම්ප්‍රාප්ත වුණේ එයින් පසුවය.

සංගීතයේදී Soprano කියන්නේ ඉහළම ස්වරවලින් ගායනා වෙන කොටසකි. ඒ සොප්‍රාණෝ ගායනයන් ස්ත්‍රීමය ස්වභාවයක් ගනියි. 16, 17, 18 වැනි ඈත සියවස් ගණන්වලදීත් නම් දැරූ සොප්‍රාණෝ ගායකයෝ සිටියහ. ඒ බොහෝ දෙනෙක් උත්පත්තියෙන් නොව, තවත් මිනිස් කොට්ඨාශයකගේ අවැසියාවන් මත අවාසනාවන්තයෝ වූහයි ඉතිහාසය කියයි.

කැස්ට්‍රේට් කිරීමෙන් සොප්‍රාණෝ ගායකයෙකුවී, ලෝක ප්‍රසිද්ධ වුණු Farinelli... (රතු කබාය හැඳ)

රජ-මැති-ඇමති ප්‍රභූවරුන් හා ආගමික ස්ථානවල පූජක පැලැන්තියේ අයවලුන් උදෙසාය ඔවුන් කුමර අවදියේදීම, පුහු කිරීමට; castrate කිරීමට බඳුන් වුණේ.

එහෙම කෙරුණාය කියන්නේ කරුණු දෙකක් නිසාවෙනි. පළමුවැන්න රාජ-රාජ මහාමාත්‍යවරුන්ගේ අන්තඃපුරවල සේවාවට විශ්වාසවන්ත සේවකයන් හදා ගන්නටය. කුඩා අවදියේදීම ‘වෘෂණ’ ඉවත් කිරීමෙන් හෝ තළා විනාශ කර දැමීමෙන් පස්සේ එවැනි පිරිමි ළමයෙක් පරිපූර්ණ පිරිමියෙකු බවට පත් නොවෙයි. එවැන්නන් අන්තඃපුරවලට වද්දා ගත්තත් බිසෝවරුන්ගේ පතිවතට මොකුත් වෙන්නේ නැහැල්ලු!

(ඒ කතන්දර සයිමන් නවගත්තේගම මහත්තයා ඉතාම අපූරුවට ‘සාපේක්ෂනී’ පොතේ ලියා තිබ්බේ අවුරුදු විස්සකට විතර ඉස්සරය!)

දැන් දෙවෙනි කණ්ඩායම. එයට අයත් වන්නේ කුඩා පිරිමි ළමුන්ය. ඔවුන් අතරින් ගායන කුසලතා ඇත්තවුන් තෝරාගෙන, එයාලාවත් අර ‘ඇට තළා දැමීමේ’ දඬුවමට ලක් කළාම ඔවුන්ගේ කටහඬ පුරුෂ ස්වභාවයක් නොගෙන නතර වෙන අතර, උච්ච ස්වරවලින් ගායනා කරන්නට හැකි වෙයි.

මගේ පුරුද්ද යමක් වෙන්නේ ඇයිදැයි කියලා හොයා බැලිල්ලය. ‘කොහොමද මගේ කටහඬ වෙනස් වෙලා තියෙන්නේ?”

සුනන්දලා මගෙ හඬ අසා කෙල්ලකැයි රැවටුණා වුවද, මා දන්නා තරමින් නම් කොයි කවරදාවත් මාව ‘පුහු කරලා’ නැත. අනෙක් අතට ස්ත්‍රීමය නාසික්‍ය ස්වරයක් බඳු යමක් මට තිබෙතත්, මගේ ටෙස්ටස්ටරෝන් හෝමෝනය වහනය වීමේ කිසිම අඩුපාඩුවකුත් නැත. (හුඟාක් පිරිමින්ටවත් නැති තරමට මගේ පපුවේ මයිල් පිරී තිබෙන බව කියන්නේ කාටත් පැහැදිලිවම පෙනෙන සාක්කියක් හැටියටය....)

අනංග වාදය අවසන් කරමින් ජෝති-මිල්ටන් ගැයූ ....

එතකොටය මතක් වුණේ, ජෝතිපාලත්- මිල්ටන් පෙරේරාත් එකතුව කෙරුණු ‘අනංග වාදය’ නිමාකළ ගීය!

 ‘අපෙ හිත්වල නෑ ක්‍රෝධේ - විහිළුවටයි විවාදේ’ මිල්ටන් ගයයි.

 ‘අනුනට නෑ ඔරවන්නේ - අවිහිංසක ලෙස ඉන්නේ’ ජෝතිපාල ගයයි.

ඉන්පසුව දෙදෙනාම එක්ව ගයති.

  ‘සැපතේ විපතේ වේවා - එක්වී එකටම ආවා

   අයියා මල්ලී වාගේ - අයියා මල්ලී//’

ඒ ගීයට සවන් දුන් කෙනෙකුට මෙන්න මේ ‘අයියා මල්ලී වාගේ - අයියා මල්ලී’ කොටස ගැයෙන හැටි අමතක වෙන්නට බැරිය. ජෝති ගයනවාට වඩා වෙනස්වයි; මිල්ටන් ඒ කොටස ගායනා කරන්නේ. ‘මිල්ටන් නියමෙට ඔක්ටේව් කියනවා’ කියලාය සංගීතකාරයන් එයට කියන්නේ. එතැනදී මිල්ටන් octave කියනකොටත් හඬේ පුරුෂමය ගතිය අඩුයි නේද?

ඇයි, පහුගිය කාලයේ පිරිමි ගායකයනුත් female හඬවල්වලින් ගායිකාවන්ගේ ගීත ගායනා කළේ?

මම තවත් සොයන්නට වීමි! එහෙම තොරතුරු ගොඩාරියක්ම හොයාගන්නට හැකි වුණේ දිගු කාලයකට පස්සේය!!

එව්වාට වඩා වැදගත් වෙන්නේ අපේ ප්‍රධාන කතන්දරේ ඉතිරි ටිකකුත් කියලා ඉන්න එකය. තවම කොහෙවත් ලියවිලා නැත්තෙ ඒ විස්තරනෙ..........

“මේ, ඔයාගෙ නම මොකද්ද?”

අජන්තට ඉස්සෙල්ලාම ඕනෑ වුණේ මගේ නම දැනගන්නටය. සමහර විට එහෙම ඇහුවේ කතාවට පොටක් පාදාගන්නටත් වෙන්නැති. ‘කවුද දන්නෙ මහී මාවත් අන්දන්න හිතාගෙන අජන්තට මොන-මොනවා කියලා තියෙනවද කියල?’ මට සැකයකුත් තිබිණි. ඒ හින්දම ඉස්සරටත් වැඩිය පරෙස්සම් වෙන්නට වෙයි.

පූසෙකුට වැඩි සතුටක් දැනෙන්නේ ගොදුරත් එක්ක සෙල්ලමෙනි
දැකලා තියෙනවද? මීයෙකුව මරා ගත්තාට පස්සෙත් බළලෙකු සෙල්ලම නවත්තන්නේ නැත. එහාට පනියි; මෙහාට පනියි; මී කුණට කකුලකින් ගහයි; එහා-මෙහා පෙරළයි. ඌට වැඩි සොමියක් දැනෙනවා ඇත්තේ එතකොට වගේ නේද?

බිළාල ගණයේ සතෙකු නොවුණත් මටත් වැඩි සතුටක්; තෘප්තියක් දැනෙමින් තිබිණි. යමක් වඩාත් රසවත් වෙන්නේ ලෙහෙසියෙන්ම කරද්දී නොවේ, වැට-කඩුලු ගැන කල්පනාවෙන්; අතුරු-අන්තරාවලින් පරෙස්සම් වෙමින්; දහ පාරක් හිතා-මතා අහු නොවෙන්නට කරන විටෙකය. ‘ඔහොම යංකො, ඔයාද මමද කියලා බලාගන්න.’ මම සිතුවෙමි.

“ඉඳා..... මෙයාට උප්පැන්න සහතිකේමනෙ දෙන්න වෙ...ලා ති..යෙ..න්..නෙ!” කොඳුරන හඬකින්, කල්වේලා අරගෙන, නැවතිල්ලේ කියන අතරේ මං හිතුවෙ අජන්ත කොහොම කෙනෙකු විය හැකිද කියලාය.

අජන්තගේ voice එක මහීගේ තරම් ප්‍රතාපවත් නොවිණි; සුනන්දගේ තරම් තැන්පත් එකකුත් නොවිණි. එහෙනම්.... ඇත්තම කියනවා නම්, ඒ හඬේ කියන්නට තරම් විශේෂත්වයක් එදා මට දැනුණේ නැත. ඒත් මම දිගටම කතා කළෙමි..... කතා කළා කිව්වාට කෙරෙන්නේ උත්තර දීමය. අනෙක් පැත්තෙන් නම් විටින්-විට දාහක් ප්‍රශ්න ඇහුණේ සුපුරුදු විදිහටමය.

ඒ කාරිය මගෙන් නම් වැඩිපුර නොකෙරෙන්නකි.

ඇම කාපු මාළුවාට පොඩි දුරක් යන්න දීලා....
අදටත් මා ඇසුරු කරන අයගෙන්, මා අලුතෙන් හඳුනා ගන්නා අයගෙන් පවා මා ප්‍රශ්න අහන්නේ නැතිය. විශේෂයෙන්ම පෞද්ගලික තොරතුරු.....
මා කරන්නේ ඔවුනට වැඩිපුර කතා කරන්නට ඉඩ සැලසීමය; ඒවාට හූමිටි තැබීමය. ඒ අතරේම ඔවුන් කියන කරුණුවලින් ‘මනුස්සයා’ මොන වගේදැයි විශ්ලේෂණය කර ගැනීමය.

ඇත්ත! එක සැරෙන්ම ඒක කරන්නට බැරිය. හරි හැටියට ඒ ටික කරගන්නට නම් ටික දොහක් යයි; ඒ ඒ වතාවේදී කියන-කියවෙන දේවල් හොඳින් මතකයේ ගබඩා කරගෙන තියාගන්නටත් වෙයි!

‘මාළුවා ඇම කෑවාට පස්සේ ටික දුරක් යන්න බුරුල දුන්නාම හරි. කලබල වෙලා අදින්න හොඳ නැහැ. බිලිය ඇමිණෙන්න ඇරලයි ගස්සලා අදින්න ඕනි!’......
          

25 comments:

  1. ඇති යාන්තම් කොම්පුටරේ හදාගෙන...
    අර පොටොව දකින ඕනැම කෙනෙක් රැවටෙනවා / වශී වෙනවා කෙල්ලගේ ලස්සනට.
    //මා කරන්නේ ඔවුනට වැඩිපුර කතා කරන්නට ඉඩ සැලසීමය; ඒවාට හූමිටි තැබීමය. ඒ අතරේම ඔවුන් කියන කරුණුවලින් ‘මනුස්සයා’ මොන වගේදැයි විශ්ලේෂණය කර ගැනීමය//
    දැන්නම් කතාකරන්නත් බයයි.

    ReplyDelete
    Replies
    1. කතා කරන්න මොකටද බය වෙන්නේ? සමා සතියෙන් යුක්තව කතා කරන්න ගත්තම සේරම හරි නෙවේද අසංග.

      Delete
  2. අපායට ගියත් වෙලාසනින් පලයන් ඩ්‍රැකීයෝ ......

    ReplyDelete
    Replies
    1. මේ මොන කෝළමක්ද? මං යනව පොලිසි...!

      Delete
    2. පොලිසි යන්නේ බලාගෙනයි ඩ්රැකී මහත්තයෝ. දැන් පොලිසිවලටත් ගහන කාලෙනේ!

      Delete
    3. ටිපර් එහෙක යන්නෙ...

      Delete
  3. Ane apoi another victim

    I am surprised someone did not castrate you for doing this Kakki work

    Photo look familiar, maru knode
    Wijebahu

    ReplyDelete
    Replies
    1. ඒකනේ විජේබාහු මහත්තයෝ, ඒ කාලේ එහෙම තිබ්බ ඔලුවේ දැන් බාගයක් තට්ටේ!

      Delete
  4. //මගේ foto එක දැක්කාම නං සුනන්දත්, මහීත් හොල්මන් වෙන්නට ඇති!//

    ඒ දෙන්නා විතරක් නොවෙයි, වෙන ඕනෑම කෙනෙක්වත් හොල්මන් කරවන්න පුළුවන්කමක් මේ පින්තුරයට තියනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් මාර ප්‍රශංසාවක් සෑම්! ස්තුතියි!!

      Delete
  5. https://maanawa.blogspot.com/2020/05/blog-post.html

    ReplyDelete
  6. https://en.wikipedia.org/wiki/Zheng_He

    https://multimedia.scmp.com/culture/article/2155959/forbidden-city/life/chapter_02.html

    https://www.reuters.com/article/us-china-eunuch/chinas-last-eunuch-spills-sex-secrets-idUSTRE52E06H20090316

    https://www.christianity.com/wiki/people/what-is-a-eunuch-in-the-bible-definition-and-examples.html

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, ගොඩක් ස්තුතියි තොරතුරු මූලාශ්‍රවලට!

      Delete
  7. ඇත්තට අර පොටෝ එක...! ඒ ගැන කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. කොණ්ඩෙත් හරි. පෙනුමත් ටිකක් හරි. ඔක්කොටමත් වැඩිය, ඒ ඉන්න භාව භාව විලාසය හරියටම හරි.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම මම නොදැනම භාවයන් කළඹන පෝස් එකක ඉඳලා නේ!

      Delete
    2. ඒක තමයි. සිරාවටම ඒ පෝස් එක නං කොල්ලෙක්ගෙ නෙමෙයි මයි...

      Delete
  8. අසංග අර මිටිය තාම තියනවා නේද ඩ්‍රැකීයාගේ නෙවේ තලන්න ඕනි මේං මේ ගල් ඉබ්බාගේ.
    චිහ් කරලා තියන පසික්කාඩු වැඩ.

    ReplyDelete
    Replies
    1. අනේ එච්චරට තරහ ගත්තද සිරිබිරිස් උන්නැහේ?

      Delete
  9. මේක කෙල්ලෙක් ගේ ෆොටෝ එකක්ම වගේ . නිදි කොහෙද හිටියේ හරියටම 83-84 කාලේ, වැරදිලා වත් දැකල තියනවද කියල බැලුවේ? :)

    ReplyDelete
    Replies
    1. 83-84 කාලේ නම් මහරගමමයි හිටියේ, 85 එංගලන්තේ, අජිත් මහත්තයෝ.

      Delete
    2. මම මහරගම ආව ඒ කාලේ යාළුවෙක් හම්බ වෙන්න රන්ජිත් විතානගේ කියල. 85 මම රුසියාවේ. හැබැයි ලන්ඩන් ආව ජූලි , අගෝස්තු වල . ඔය තැන දෙකෙන් එහෙක දකින්න ඇති

      Delete
  10. ෆුහ්...හෙන කෑල්ල නේ ඒ කාලේ...මට මතක් උනේ දැක්කොත් පත්මාවතී සිංදුව...අනික අර කවිය ඇත්ත නේද කියල මතක් උනා...මැද මහනුවර කොහෙද දළදාව?!! ඒ කියන්නෙ කෙලලා යන්ට ඉඩ දෙන්ඩ වෙනවා....

    ReplyDelete
    Replies
    1. ලොකූ, දුක හිතෙන කතා කියන්න එපා. ඒ කාලෙට යන්න හිතෙනවා ඔහොම කියද්දී............

      Delete
  11. //මැද මහනුවර කොහෙද දළදාව
    සුට්ටක් හෙව්වා නිදි,
    ඔරිජිනල් කවියේ අන්තිම පදේ "දින ලා යන්ට නොදෙනෙමි දිවි තිබෙන තුරු"වෙන්න ඕනි
    වගේ.දුර්වල රජෙක් වෙච්චි සෙනරත් රජුගේ කාලයේ පෘතුගීසි ගහනකොට මැදමහනුවර රජමහා විහාරයේ දළදාව තැම්පත් කර තබා තියේ.

    http://www.budusarana.lk/budusarana/2007/08/28/news.asp?ID=fea05
    https://roar.media/sinhala/main/travel/beautiful-places-in-madamahanuwara

    ReplyDelete
    Replies
    1. කවිය තිබුණේ ජන සම්මත කවි ගී =පොතේ. ගුණසේන එකෙන් ගහපු පොතක්. ඒත් පාප මිත්‍රයෙක් ඉලාගෙන ගිහින් ඒ පොත ආපහු දුන්නේ නැහැ.
      එහෙම වුණත් සිරිබිරිස් උන්නැහේ, ස්තුතියි.ඔයා දීලා තියෙන ලින්ක්ස්වලට යනවා තව ටිකකින්.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්