li Item

Monday, September 21, 2020

ආදර පූජාසනේ - හයවෙනි කොටස

ඉඳා..... මෙයාට උප්පැන්න සහතිකේමනෙ දෙන්න වෙ...ලා ති..යෙ..න්..නෙ!කොඳුරන හඬකින්, කල්වේලා අරගෙන, නැවතිල්ලේ කියන අතරේ මං හිතුවෙ අජන්ත කොහොම කෙනෙකු විය හැකිද කියලාය.

කෙනෙකු කතා කරවන්නට නම්....

අජන්තට ඉස්සෙල්ලාම ඕනෑ වුණේ මගේ නම දැනගන්නටය. සමහර විට එහෙම ඇහුවේ, කතාවට පොටක් පාදාගන්නටත් වෙන්නැති. කවුද දන්නෙ මහී මාවත් අන්දන්න හිතාගෙන අජන්තට මොන-මොනවා කියලා තියෙනවද කියල?’ මට සැකයකුත් තිබිණි. ඒ හින්දම ඉස්සරටත් වැඩිය පරෙස්සම් වෙන්නට වෙයි.

මතකයි නේද, පසුගිය කොටසේදී මං එහෙම කිව්වා.

“ඇයි අජන්ත මහත්....ත්....තයෝ , මහී ඔ...යා...ට කියන්න ඇතිනේ විස්තර......?” ඊළඟට මම අජන්තට තවත් ප්‍රශ්නයකින්ම උත්තර දුන්නෙමි. සංවාදයක් දිගට පවත්වාගෙන යන්නට නම් කිව යුත්තේ එහෙමය.

ඒ ප්‍රශ්නයම මෙහෙමත් අහන්නට පුළුවනිය. ‘මහී ඔයාට කිව්වේ නැද්ද විස්තර?’. ප්‍රශ්න දෙකම එක වගෙය. එහෙත් දෙවෙනි ප්‍රශ්නයට තනි වචනයෙන් උත්තර දිය හැකිය, ඔව් හෝ නෑ හෝ කියලා. පළමුවෙනි ක්‍රමයට අහන ප්‍රශ්නය ඊට වඩා වැඩි විස්තරයක් කරන්නට පිළිතුරු දෙන්නා පොළඹවයි!

ලෝකේ ඉන්න තරම් උදවියගේ අවධානයට ලක්වෙන්නට අකමැති කවුද?

මනෝ විද්‍යාඥයන් කියන්නේ අප කවුරුනුත් අන්‍යයන් අප ගැන සැලකිලිමත් වෙනවාට, අපට සවන් දෙනවාට කැමති බවයි. අපට ගෞරව කරනවාට- අප ගැන වෙසෙසක් කරනවාට කැමති බවයි. අපේ නමින් අපට අමතනවා අහන්නට ඉතාමත් ප්‍රිය කරන බවයි. මාත් එහෙමය. අදටත්, මා හඳුනා ගන්නා; මගේ ඇසුරට පත්වෙන කාටත් මා සලකන්නේ ඒ න්‍යායයන් සිහියේ තබාගෙනය. ‘අත්තානං උපමං කත්වා - තමන් උපමා කොට සිතා (අන්‍යයන් ගැනත්)....!’ මමත්වයෙන් පමණක් පිම්බී සමාජ ඇසුරක් පවත්වාගෙන යා හැකිද?

පසුගිය සතියකදී ඉතාම දක්ෂ ග්‍රන්ථ කතුවරයෙක් මට ඇමතුවේය. ඒ වසර ගණනාවකට පසුවය. “නිමල්ට මම කතා කළා කිහිප දවසක්ම.... එක දවසක්වත් ඔයා ටෙලිෆෝන් එක ඉස්සුවේ නැහැනේ!”

උන්නැහේ පටන් ගන්නා විටම කීවේ අසද්ද බොරුවකි! මට cli පහසුකම තිබෙන බව එතුමා නොදනී.

නමෝ විත්තියෙන්ම ඒ බව කියා එතුමාව දුර්මුඛ කරන්නට මට හිතුණේ නැත. “අනේ මහත්තයෝ, තනි මමනේ ගෙදර ඉන්නේ.... මං ඔය කඩේට, ටවුමට, ඉස්පිරිතාලෙට එහෙම ගිය වෙලාවක වෙන්න ඇති ඔයා කතා කරන්න ඇත්තේ.” එතුමාට ගැඹුර දෙමින්ය, මා කීවේ.

ඉක්මනින්ම එතුමාගේ අභිප්‍රාව එළියට ආවේය. එක්තරා ග්‍රන්ථ ප්‍රකාශක මහත්තයෙක් එතුමා එක්ක අමනාප වෙලාය.... “නිමල්ට තවමත් xxx මහත්තයව හම්බ වෙනවා ඇතිනේ? බලන්නකො... එයා මාත් එක්ක අමනාප වෙලානේ. ඒකත් නිමල්, අර xxxxx හින්දා. එයයි මායි දවසක් කතා කර-කර ඉන්න අතරේ මගෙන් කියවුණා xxx මහත්තයා පොත්වලට රෝයල්ටිය ගෙවන්න හොර බව. (රෝයල්ටිය කියන්නේ කර්තෘ භාගයටය. පොතක කතුවරයාට ප්‍රකාශක විසින් ගෙවනු ලබන මුදලටය. ලංකාවේදී මෙය -බොහෝවිට- 10%කි.) එවෙලේ xxxxxයාත් කිව්වා එයාට වුණත් එහෙමම තමයි සල්ලි ගෙවන්නේ කියලා. එහෙමත් කියලා xxxxxයා ඒ කතාව xxxගෙ කණේ තියලා වගෙයි!”

මනුස්සයාට ඕනෑ වුණේ එයාත්, පොත් ප්‍රකාශක මහත්තයාත් අතර විරසකයට....

ඉතිං, ඒ මහත්තයාට ඕනෑ වෙලා තිබුණේ මගෙන් මැදිහත් වීමකි. ප්‍රකාශක මහතා එක්ක සමථයක් කරගන්නට..... ඒකත් කිව්වේ වහෙන් ඔරෝවෙනි.

ඇත්තම කිව්වොත්, මම එවිට ‘බබා හුකුම් පෑමක්’ කළෙමි; නොවැටහුණු ගණනට සිටියෙමි.

එහෙම කළේ ‘යාත්’ හා ‘යා’ නිසාය! ඒ දෙකම අර ‘දක්ෂ කතුවරයාගෙන්’ අවමන් සහගත tone එකකින් කියවුණු ඒවාය; xxxxx කතුවරයා ගැන කියද්දී, නමේ අගට එකතු කරමිනි. පොඩි සැකයක් හින්දා කෙනෙකුට කෙළහන මනුස්සයෙක් මහත්මයෙකු නොවේ. උන්නැහේ මට වුණත් කරනවා ඇත්තේ ඒ ටිකමය.

මේවා කියන්නට හිතුණේ කරුණු දෙකක් නිසාවෙනි. එක: නිදිගෙ පංච තන්තරේ බ්ලොගය කියවා පළමුවෙන්ම මා හා මිතුරු වුණු ‘කොළොම්පුරේ’ අසංග රණසිංහ ආරච්චි හිතවතා ලොකු අදහසක් වචන කිහිපයකින් කියා තිබුණේය. එහෙම කියා තිබුණේ ‘ආදර පූජාසනේ- 5’ පෝස්ටුවට ප්‍රතිචාර එවමිනි. 

(නිමල් අයියා අනුන්ගේ කතාබහ පවා විශ්ලේෂණය කරන නිසා) දැන් නම් කතා කරන්නත් බයයි!

අර ප්‍රවීණ කර්තෘ මහත්තයා හා කෙරුණු දීර්ඝ සංවාදය අතරතුරදී එතුමා ඇසූ ප්‍රශ්නය දෙවැන්නයි. ‘නිමල්ට කොහෙන්ද ඔච්චර හොඳ යාළුවො ගොඩක් හම්බ වෙන්නේ?”

බොක්කෙන් මල් නොකඩා කෙක්කෙන් පොල් කැඩුවා නම්...

මට හිතෙන්නේ වාසනාවට කියලාය! ඊට අමතරව මා ඔවුනට හොඳ අවධානයක් දෙන නිසාය!! විශේෂයෙන්ම ඔවුනගේ නම්- තොරතුරු ආදිය මතක තබා ගන්නා නිසාය!!! හැකි උපරිමයෙන්ම අවංක වෙන නිසාය!!!! ඔය මොනවා කරන අතරෙත් මා අමතක නොකරන කියමනකුත් තිබේ. ‘ඔබ කෙනෙකුට සැබෑ මිතුරෙකු නොවන්නේ නම් ඔබට හමුවන්නෙත් සැබෑ මිතුරෙක් නොවේ.’

එව්වා කොහොම වුණත්, මට ඉක්මනින්ම වැටහුණේ මහී අජන්තට වැඩියෙන් මා විශ්වාස කර තිබෙන බවයි; මා ගැන ඇත්ත අජන්තට නොකියා තිබෙන බවයි.

අහම්බ අනතුරකින් වලිගය කඩාගත් නරියාටත් ඕනෑ වුණේ රැහේ අනෙක් නරින්ගේත් වලිග නැතිව යනවා දකින්නටයි!

මහීගේ ලණුව ගිලගත් අජන්තත් මා යුවතියකැයි හිතාගෙන, රැයක්- දවාලක් නොතකා මල් කැඩුවේය. ඒ බොක්කෙන්ම වගෙය. කුමාර සිරිවර්ධනගේ ‘සසංකාර’ නවකතාවේ 169 පිටුවේ යෙදුමක් ණයට ඉල්ලා ගෙන කියනවා නම් ‘බොක්කෙන් මල් නොකඩා කෙක්කෙන් පොල් කැඩුවා නම් මම අද කෝටිපතියෙක්’ කියලා කියන්නට අජන්තටත් පුළුවන් වෙන තරමටම.....

‘ඔයාට මාව එපා වෙලාද?’අජන්ත ඇහුවේය.

එහෙත් ඒ මල් කැඩිල්ලත් මට ඉක්මනින්ම එපා වුණේය. පැය ගණන් කතා කළත් අන්තිමේදී පුස්ස බින්දා වගෙය.

ඒ දවස්වලම සුනන්ද එක්ක කෙරුණු සංවාදවලින් ලෝකය- සමාජය- සාහිත්‍යය වගේ ගොඩක් දේවල් දැන ගන්නට හැකිවීම නිසා ‘අනෙක් නොදුටු හිතවතාගේ’ අඩුපාඩු මට වැඩි-වැඩියෙන් දැනෙන්නට ගත්තේය. එච්චර විතරක් නොවේ. සුනන්ද එවන දීර්ඝ කවි ලිපිවලට කවියෙන්ම උත්තර ලියන්නට වුණු නිසා මගේ පද්‍ය රචනා හැකියාවත් සෑහෙන තරමකින් දියුණු වීමෙන්, අජන්තගේ හරසුන් කතන්දරවල බොල් බව ඉලිප්පී පෙනෙන්නට ගත්තේය. මගේ කෙඩෙත්තු ගතිය අජන්තටත් දැනුණාවත්ද?

“ඔයාට මාව එපා වෙලාද?” දවසක් අජන්ත ඇහුවේය.

“එපා වෙන්න ඕනෙ වෙලා තිබුණේත් නැහැනේ....” මම කැත්තට පොල්ල වගේ කීවෙමි. ඒත් සෙනෙහස වෑහෙන රිද්මයානුකූල හඬකිනි.

“ඇත්තටම ඔයාට මාත් එක්ක කතා කරන්න ඕනි නැද්ද?”

“පිස්සා. ඕනිකමක් නැති කෙනෙක් මෙහෙම කතා කරන්න එනවද?”

එයාව එපාවෙලා තියෙද්දීත්, එහෙම උත්තරවලින් ඒ හාදයාව දිගටම රඳවාගෙන ඉන්නටත් මං මහන්සි ගත්තා නේද? ඒ ඇයි? මට හිතෙන්නේ දැන්ය. තුරුණු වයසේදී අපෙන් කෙරෙන හැම දෙයක්ම අර්ථාන්විත; කමක්-පලක් ඇති දේවල්ම නොවේ.

අපි ලියුම් ලියා ගන්නවා... කතා කරනවා.... ඒත්...

“අපි දෙන්නා දැන් සෑහෙන කාලයක් තිස්සේ කතා කරනවා... ලියුම් ලියා ගන්නවා....” ඔය අතරේ දවසක් සුනන්දගෙන් කියවුණේය.

“ඇයි.... කවිත් කියවා ගන්නේ?” මා කීවේ ඇත්තටමය.

සටනකදී තමන් සතු හොඳම ආයුධ පාවිච්චි කරන්නට ඕනෑ නේද? මගේ කවි ගායනා මිහිරට කෙරෙන බව දැනුණාම ඒ ඇමත් සුනන්ද අරභයා පාවිච්චි කරන්නට මම පසුබට නොවීමි.

“මට හිතෙනවා ඔයාට සිංදු කියන්නත් පුළුවන්ය කියලා....” දවසක් සුනන්දගෙන් කියවෙන පමාවෙන් මගෙන් පිළිතුරු කියවුණේය. “මොකද බැරි....”

“එහෙනං කියන්නකො එකක්....”

“දැන්?”

“නැතිව?”

“සිංදුවක් නෙවෙයි කවියක් කියන්නං.”

“එහෙනං කවියක් කියලා සිංදුවකුත් කියන්න.” එදා පාර සුනන්ද කිව්වේය.

පෙර-පෙර කඳුළු කැටි දැන-දැන තියෙන සෙනේ....

‘දෙයියනේ රටේ’ මතකයිද? නවකතාව නොවේ; චිත්‍රපටිය. ඒකෙ තියෙන ගීතයක් මට මතක් වුණේ සුනන්දගේ ඉල්ලීම නිසාමය. (කළු අක්කලාගේ ගෙදරට ගියාමත්, සමහර දාට ඒ ගීය ගයන්නැයි ඇය ඉල්ලයි.) “නිමල් මල්ලී, කවියත් කියලා....” කළු අක්කා කිව්වේ එහෙමය.

   ‘පෙර පෙර කඳුළු කැටි දැන දැන තියෙන සෙනේ

    තිරසර ගතිය ගැන මම සිහි කරමි             පණේ

    ජය පැරදුම දෙකම ඔබහට එකද               අනේ

    මහමෙර සෙලවෙතත් නොසැලෙයි සුදන ගුණේ’

ඉන්ද්‍රානි විජේබණ්ඩාර ඒ කවියට පසුවය ගීතය ගයන්නේ. ‘කුලුණු ගුණේ සුදන සෙනේ -හිත උණු වෙන තරම දැනේ...’ මමත් එය ගැයුවෙමි. එදායින් පස්සේ දවස් දෙක-තුනකට වතාවක්, මහරගම පිරිමි ළමා නිවාසයේ ටෙලිෆෝනයෙන් xxxxx තැපැල් කන්තෝරුවේ ටෙලිෆෝනයට කවි- සිංදු ගායනාවලුත් ගලාගෙන ගියේය.

ඉතින්, “ඇයි කවිත් කියවා ගන්නේ?” කියලා මගෙන් කියවෙනවාත් එක්කම සුනන්දට හීල්ලුණේය. ඒක එසේ-එසේ හීල්ලීමක් නොවීය. ඒ සුසුම්වල බර මටත් හොඳටම දැනුණි.

“ඇයි මේ? ඔයාට මොකක් හරි කරදරයක්ද?”

“එහෙමට කරදරයක් නෙවෙයි මාලි....” දහනායක සර් සුනන්දට මා හඳුන්වා දුන්නේ ‘නිමාලි’ නමෙන්ය. අපේ පලහිලව්ව පටන් අරගෙන ටික දවසකින්ම සුනන්දට එය ‘මාලි’ වුණේය. මට හිතෙන විදිහට නම් ඒ කවි ප්‍රබන්ධයෙදී යෙදීමට වඩාත් පහසු නිසාය.

එදාට ඔයාට මාව එපා වෙයි!

“තව කොච්චර දවසක් ඔයා මෙහෙම මට ඇහෙන්න කවි කියාවිද? කතා කර-කර ඉඳීවිද?”

ඇත්තටම ඒ පරාජිත; අසරණ හඬ තානය මටත් දුක දැනෙව් බව මට හොඳටම මතකය. “අනේ! මම නම් එහෙම දෙයක් ගැන  හීනෙකින්වත් හිතලා නෑ ම...හ...ත්තයෝ!” මම කීවෙමි.

“ඒ ඔයාගේ වයස නිසා....”

“හිතවත්කමකට වයසත් බලපානවද?” මං කිව්වේ එයාට සහනයක් වෙන්නටය; කතාව පීලි පන්නවන්නටය.

“කවදා හරි ඔයා මාව දැක්කම- මගේ වයස දැක්කම- මගේ විදිහ දැක්කම මගෙත් එක්ක කතා කරන එකක් නැහැ, මාලි....”

සුනන්ද මැදි වයස අග්ගිස්සේ ඉන්නා බව දහනායක සර් මුලින්ම මට කියා තිබුණා, හිතාදර රසික ඔබට මතක ඇති. ලොකු මහත් වුණු දරුවනුත් එයාට සිටින බවත් ඒ introduction එකේදීම කියැවිණි. ඒත් ‘මං ඔය විස්තර දන්නවා’ කියලා සුනන්දට කියන්නද?

“ඉස්සරහට මොනවා වේවිද කියලා කාටද කියන්න පුළුවන්? අද ඔහොම කිව්වට, අපි දෙන්නා හම්බ වුණු දවසක ඔයාම මට කතා කරන එක නවත්තන්නත් පුළුවන්, සමහර විට.” මා කීවේ හොඳින් හිතා-මතාය.

‘නවත්තන්න මේ මං?’ සුනන්ද කඩා පැන්නේය.

“නවත්තන්න, මේ මං?” සුනන්ද කඩා පැන්නේය. “ඒක නං ජීවිතේට සිද්ද වෙන එකක් නෑ මාලි..... ඒ තරමටම මම ඔයාට බැඳිලයි ඉන්නේ.... සත්තයි... මේක හරියට පෙර සංසාරේ හිට එන බැඳීමක් වගේ....”

එහෙම හිතුණු වෙලාවල් හිතාදර පාඨක ඔයාලටත් තියෙනවාද? මට නම් තියෙනවාය. එකක් දෙකක් නෙවෙයි, ගොඩාරියක්. අන්තිමටම එහෙම දෙයක් වුණේ මාස දෙකකට කලින්ය! හීනෙකින්වත් හිතාගෙන නොහිටි විදිහටය!!

‘.... ඉතින්මගේ ලදරු සංගීත දැනුම ඉවසා පුලුවන් තරම් නිවරැදි කරන අතරේමෙහි එන සමරකෝන් ගීත ගායනා කර; මෙතෙක් නොදුටු රස පෙන්වූ, වලස්මුල්ල මහ විද්‍යාලයේ සංගීතාචාර්ය ධූරන්දර, මා කල්‍යාන මිත්‍ර ප්‍රියංකර කනක්කහේවාගේ මහතාටත්ඔහුගේ සොඳුරු නිවසේ සංගීතකාමී බිරිඳ, අම්මා, සොයුරියෝ සහ බෑනාටත් මගෙ හද පිරි ස්තූතිය.

ඇත්තටම මම සෑහෙන කලක් හිතාන හිටියේ ‘රම්‍ය වන මලේ ගීතයේ සංගීතය භෛරව රාගයෙන් කියල. මට ඒ ගීතය ඇහෙද්දි දස්තයෙවස්කිගේ The Gentle Creature ශෝකාන්ත නවකතාව මතක් වෙන්න ඒක ප්‍රබල හේතුවක් වෙන්න ඇති!

මොකද, භෛරව රාගය යොදාගන්නෙ බැරෑරුම් සංකීර්න හැඟීම් විස්තර කරන්න. ඒක ශිව දෙවියන්ගෙ මුවින් ගිලිහුන රාගයක් කියනවනෙ. ඒත් ප්‍රියංකර සොයුරා මෑත දවසක මට ‘රම්‍ය වන මලේ වාදනය කරලාම පෙන්නුවා; ඒකෙ රාගය භෛරව නෙමේ භෛරවී. ඉතින් ඔන්න බලන්න මගේ සංගීත දැනුමේ තරම!’

හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටසේ’ අන්තිමටම අපේ දොස්තර අයස්මන්ත මහත්තයා ලියා තිබුණා, මතකයි නේද? ඒත් එදා එයා ලියලා නොතිබුණු හරියකුත් තිබුණා.  

සංගීතයෙන්, සුහද කතා ලතාවෙන්, රසබර ආහාර පානයෙන් එදා සවස....

“ප්‍රියංකර සර්වයි, ගෙදර කට්ටියවයි ඔයාලට අඳුන්නල දෙන්න වටිනවා නිමල් අයියේ.... හැබැයි xකයලා ඊට පස්සේ මටත් වැඩිය එයාලට යාළුකම් පවත්තන්න යයිද කියලයි බය..... ඒ තරම් හිතවත් මිනිස්සු මචං. අඩෝ නිමා කොලුවා, නෙවිලාවතී. එහාට ගිය දවසක තොපි දෙන්නා ප්‍රියංකර සර් එක්ක මට වැඩියෙන් යාළු වෙනවා එහෙම නෙවෙයි.....”

‘හැඟුම්’ පෝස්ටුව ගැන කතා කරද්දී අයස්මන්ත මහත්තයා කිව්වේය.

එදා අයස්මන්ත කියූ හැටියට, කනක්කහේවාගේ ක්‍රිෂාන්ත ප්‍රියංකර හිතවතා; වීරකැටිය මැදි විදුහලේ සංගීත ආචාර්යවරයා නිවසන්නේ වලස්මුල්ලේ- කිරමය. අගෝස්තු හයවෙනිදා, හම්බන්තොට රෝහලේදී මාසික සායනයට සහභාගිවී ආපසු එමින් ගමන අපි කිරමට ගියෙමු.

“අනේ ඩොක්ටර්.... කොච්චර එකක්ද මෙහෙම එන්න හිතුණු එක? එන්න, එන්න.... එන්න නිමල් අයියේ... ඉතින් නෙවිල් අයියේ.... කෝ, ගවීන් මර්වින් දෙන්නා ආවේ නැද්ද?” ප්‍රියංකර මහත්තයා පිළිගැනීමේ කතාව කරනකොටම මට තේරුණේ, අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයාත්- නිදිගෙ පංච තන්තරෙත් කොයි තරම් දුරට ‘අනුන්ගේ පෞද්ගලිකත්වය කෙළෙසනවාද’ කියලාය.

එදා සංගීතයෙන්- ගීතයෙන්- කවට විකට කතාවලින් පැය කිහිපයක් ගෙවුණේ කාටවත්ම නොදැනීය. එය ඒ තරම්ම සොඳුරු හැන්දෑවක් විණි; සොඳුරු භීෂණයකුත් එක්කම.

ඒ පෙම්බර භීෂණය මවමින්, කෑම මේසයේදී සතියකට සෑහෙන තරමේ කෑම, බලහත්කාරයෙන්ම පිඟන්වලට බෙදුවේ ප්‍රියංකර සර්ගේ පේමවතී අම්මාය! ඒ ආක්‍රමණයෙන් බේරෙන්නට හැකියාව ලැබුණේ මට විතරය. (මං වාඩිවී හිටියේ වෙනත් අයට ළං වෙන්නට බැරි තැනකය.)

වමේ සිට (පිටුපසින්) ජානකී, සන්ධ්‍යා, මාලා, මර්වින්, නෙවිල්, (වාඩිවී) සවිඳු, ප්‍රියංකර, පේමවතී මාතාව, අයස්මන්ත හා නිදි 

පසුවදා දවල්ම ඒ පේමවතී මාතාව මට ටෙලිෆෝන් කළාය. “අනේ දරුවෝ... ඊයේ රාත්තිරියේ ඔයාලා ගිය වෙලාවේ ඉඳලා අපේ ගෙදර හැමෝම ඉන්නේ හරිම පාළුවෙන්..... ඔයාලා ගැනමයි කතාව.... ළඟම නෑදෑයෝ කට්ටියක් සුමානයක් විතර අපේ ගෙදර ඉඳලා ගියා වගෙයි දැනෙන්නේ.... ලබන මාසෙත් බෙහෙත් ගන්න ආවම නොවැරදීම මෙහාටත් ගොඩවෙලා යන්න දරුවෝ.”

ඒ අම්මා කීවාය. ඒ ඉල්ලීම ඉටු කරන්නට ඉඩ ලැබිණි. මේ වතාවෙත් අපි එහි ගියෙමු. ඒ අපටත් නොනෑකම නොදැනී ගිහින් සමීපස්ථ නෑකමක් දැනෙමින් තිබුණු බැවිනි!

.... ඒ විස්තර සේරම ලියන්නට තැන මෙතැන නොවේ.

එහෙත් එකක් නම් නොකියා බැරිය. මේ පෝස්ටුවේ ඉහළින්ම ඇති කොටසකදී කියූ පරිදි කෙනෙකුගේ නම මතක තියා ගැනීම- එයින් ඇමතීම කොතරම් හොඳ ඉනා බෙහෙතක්දැයි මේ ගමනෙනුත් හොඳාකාරවම අත්දකින්නට හැකි විය.

ප්‍රියංකර සර් හා පවුලේ අය, අප ගැන වෙන-වෙනම මතකයේ තබාගෙන සිටීම අපට තදින්ම වැදුණු කාරණයකි.

එහෙම කරන මගේ පුරුද්ද සර්ගේ ලොකු අක්කා මාලාගේත් හිතට වැදිලාය. ඇයගේ පුතණු සවිඳුගේත්, ප්‍රියංකර සර්ගේ බිරිය ජානකීගේත් නම් මගෙන් කියවෙන විටමය මාලක්කාට මෙහෙම කියවුණේ. “නිමල් මල්ලිට අපේ අයගේ නමුත් මතකයිනේ!”

සසරේ කොහේදී හෝ හමුවී... (foto- රංගන කණ්ඩම්බි)

අප සසරේ හමුවී පුරුදු වගේ යැයි සුනන්ද කියූ තැනින්ය මා පීල්ල මාරු කළේ. ඔන්න ආපහු සුනන්ද ළඟට....

“ඔය ඔක්කොම වෙන්නේ පතාගෙන ආව විදිහටනේ.....” මම කීවෙමි.

සුනන්ද උත්තර දුන්නේ බැරෑරුම් ස්වරයකිනි. “ එහෙමද? ළඟදීම මම කොළඹ එන්නයි ඉන්නේ... එතකොට මට ඔයාවත් හම්බ වෙන්න ඕනිමයි! එහෙම වෙන්න ඇති මම පතාගෙන ඇවිත් තියෙන්නේ....”

.....?

18 comments:

  1. //නිමල් අයියා අනුන්ගේ කතාබහ පවා විශ්ලේෂණය කරන නිසා) දැන් නම් කතා කරන්නත් බයයි! //
    අසංග/ ඩ්‍රැකී සංවාදත් පරිස්සමෙන් කරන්න වෙයි.
    "යා" ත් ඇලර්ජික් !

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියා එක්ක මරාගත්තාට ඔබතුමා වාගෙම අපි හොද මිතුරෝ...

      Delete
    2. කියන tone එකයි ඇක්සන්ට් එකයි දෙකත් වැදගත්නේ! නිකමට try කරලා බලන්නකෝ 'අනේ මහත්තයෝ මේ' වචන තුන විස්මය, තරහ, හිතවත්කම, උපහාසය වගේ හැඟීම් කොච්චරක් ඇති කරවන විදිහට කියන්න ඇහැකිද කියලා.

      Delete
    3. Pra Jay මහත්තයෝ, අර කතුවරයා නම් 'යා' 'යාත්' දෙකම උච්චාරණය කළේ හෙලා දකින tone එකෙන්, මට තේරුම් ගිය විදිහට.

      Delete
    4. ඇත්ත... මුන්දැගෙ පාතාල ගෝලයොත් එක්ක ඉහ ගහගෙන ඉන්නෙ බොහොම අමාරුවෙං... හැක්!

      Delete
    5. මං කිව්වෙ අසංග ගැන.

      Delete
  2. ‘ඔබ කෙනෙකුට සැබෑ මිතුරෙකු නොවන්නේ නම් ඔබට හමුවන්නෙත් සැබෑ මිතුරෙක් නොවේ.’// ඇත්ත.බොක්කේ එක දෙයකුයි හක්කේ තව දෙයක් තියාගෙන සැබෑ මිතුරුකම් පවත්වන්න බෑ.
    බ්ලොග් හින්දා නිමල් අයියා හොද මිතුරෙක් උනා. එවාගෙම ඔහුගේ මිතුරන්ද හමු උනා.

    ReplyDelete
    Replies
    1. ඇයි දරුවෝ, ඔයා මුල් වෙලා මට ඇතිවුණු එහෙම මිතුරුදම්? කී දෙනෙක්ද?

      Delete
  3. ඔය කියන කාලේ ටෙලිෆෝන් එකෙන් පැය ගණන් පැණි හලන්න පුළුවන් වෙන්නේ සුනන්ද වගේ තැපැල් කන්තෝරුවක වැඩ කරන කෙනෙකුට විතරයි. එහෙම නැතිනම් හම්බ කරන ඔක්කොම තැපැල් කන්තෝරුවට ගෙවන්න වෙනවා සිකුරුයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සෑම්! ඊළඟ කොටසේදී ඒ ගැනත් ලියවෙයි.....

      Delete
  4. ඔය කියන කාලේ; ලෝකෙට තුවක්කුව හොයාගෙන තිබිලා නෑ මං හිතන්නේ!

    ReplyDelete
    Replies
    1. අපොයි තිබ්බා! බෝම්බත්.... ගල් කටස් එහෙමත්....
      ඉතින්, ගොඩ දවසකින්!

      Delete
  5. ඔය කියන කාලේ - එක්කෝ ඕනේ නැහැ.

    ReplyDelete
  6. දැන් මාර කෙලිය , සුනන්ද එනකොට විග් එකක් දාගෙන ගියාද දන්නේ නැහැ මෙයා

    ReplyDelete
    Replies
    1. අමතක වුනා කොන්ඩේ වවලානේ හිටියේ නේද, අවුලක් නැහැ

      Delete
    2. ඔන්න අජිත් ඔයා මතක් කළා වගේම, සුනන්ද එද්දී මම කොණ්ඩේ කපලා තමයි හිටියේ! බලන්නකෝ වෙච්චිදේ... ඉක්මනින්ම.

      Delete
  7. කෙනෙකුගෙ නම කෙනෙකුට කොයිතරම් වටිනවද කියන එක මට අත්දකින්න ලැබුණෙ මගෙ ආදරබර භාර්යාවගෙන්...

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්