ඔයාලට පුදුම හිතෙයි ‘1994 දෙසැම්බර් 25 වෙනිදා සවුත්හෝල් බස් නැවතුමේ පට්ට හීතලෙන් ගල් ගැහි-ගැහී උන්නු විත්තිය’ පළමුවෙනි වතාවට ඉතාම ලුහුඬින් මං කිව්වේ 2018 සැප්තැම්බර් 20 වෙනිදා publish කළ ‘රැජන Colombo එයි- 3 කොටසෙදි’ බව සඳහන් කෙරුවාම... පේනව නේද ඒක විස්තර ඇතුව කියන්න බලාගෙන ඉන්න වුණු කාලයක තරම!
මොකද-
කොයි දේටත් සුදුසු කාලයක් හා සුදුසු තැනක් තියෙන බව නොසලකා හරින්න බැහැනෙ.
යුද්දෙකටත් සුදුසු කාලයක් තියෙනවද? සුදුසු තැනක්... කලාපයක්...
![]() |
හැකිතාක් ඉක්මනින් යුද ගිනි
නිවිලා... |
හැම
දෙයක් දිහාම සුබවාදීව බලන්න පුරුදු වෙලා ඉන්න මං වහන්සේගේ හිතත් මේ දවස්වල නං චාන්
චඃ වෙලයි තියෙන්නේ. මොකද සුබවාදී නොවන අනාගත විග්‍රහ- විශ්ලේෂණ තමයි බලන බලන
පැත්තේ තියෙන්නේ. එහෙමත් එකක් තමයි සමබර විදිහට ඉදිරිපත් කෙරිලා තියෙනවයි කියලා මට
හිතෙන්නේ...
සාගර දියගම මහතා පළකොට තිබූ එවන් විග්‍රහයකින් අංශු මාත්‍රයක් මේ:
‘... "ඉරානය
වැනි රටක ජනතාව මෙවැනි ප්රහාර හමුවේ පලා නොයන්නේ ඇයි?"
ඓතිහාසිකව පර්සියානු ශිෂ්ටාචාරය විවිධ ආක්රමණ හමුවේ නොසැලී සිටි
ආකාරය සහ ඔවුන්ගේ සංස්කෘතික බැඳීම, බාහිර
බලපෑම් හමුවේ ජනතාව තවදුරටත් එක්සත් වීමට හේතු වී ඇත. ඇමරිකානු විදේශ ප්රතිපත්තියේ
ඇති විශාලතම ගැටළුව වන්නේ, ඔවුන්ගේ
අත්දැකීම් අනෙකුත් සංස්කෘතීන් මත බලහත්කාරයෙන් පැටවීමට උත්සාහ කිරීමයි. ඉරානය වැනි
රටක ජනතාව ඔවුන්ගේ නායකයාගේ මරණය දෙස බලන්නේ ඇමරිකාව ඒ දෙස බලන ආකාරයට නොවේ. ඔවුන්ට
ඔහු 'පූජනීය දිවි පිදූවෙක්' වේ.
මැක්ග්රෙගර් සඳහන් කරන පරිදි, බෝම්බ දමා ශිෂ්ටාචාරයන් යටපත් කළ නොහැක. ඊශ්රායලය 'පෙරමුණු හතක' සටන් කිරීමේ
උත්සාහය, යුක්රේන යුද්ධයේදී රුසියාවට මුහුණ
දීමට සිදු වූ අභියෝග වලට සමානය. සම්පත් ක්ෂය වීම සහ ජාත්යන්තර හුදකලාව තුළ, ඕනෑම රාජ්යයකට දිගු කාලීනව පැවතීම අපහසුය. ඉදිරි කාලසීමාව තුළ
මෙම යුද්ධය අවසන් කිරීමට ඇමරිකාව හෝ ඊශ්රායලය උත්සාහ කරනු ඇත. නමුත් එය ඉතා දුෂ්කර
කාර්යයක් වනු ඇත. මැක්ග්රෙගර්ගේ පුරෝකථනය අනුව, අවසානයේදී සිදුවිය හැකි වන්නේ ඇමරිකානු හමුදා වලට මැදපෙරදිගින්
ඉවත් වීමට සිදුවීමයි.
අවසාන වශයෙන් අප සිතිය යුත්තේ කුමක්ද? අප මේ දකින්නේ පැරණි ලෝක රටාව අවසන් වී නව ලෝක රටාවක් බිහිවීමේ
වේදනාකාරී ප්රසූතියයි. වොෂින්ටනය කේන්ද්ර කරගත් ලෝක පාලනය වෙනුවට ආසියාව සහ යුරේසියාව
කේන්ද්ර කරගත් බල තුලනයක් බිහි වෙමින් පවතී. ඉතිහාසය අපට කියා දෙන්නේ, කිසිම අධිරාජ්යයක් සදාකාලික නොවන බව. අද මැදපෙරදිග සිදුවන දේ
දෙස බැලීමේදී එය අපට දෙන පණිවිඩය වන්නේ, "ලෝකය වෙනස්
වෙමින් පවතී." එය වෙනස් වන්නේ අප බලාපොරොත්තු වූ ආකාරයට නොව, භූ-දේශපාලනික බලපෑම් සහ ශිෂ්ටාචාරවල නැගී සිටීම මතයි.’
![]() |
මැක්ග්රෙගර් සඳහන් කරන පරිදි, බෝම්බ දමා ශිෂ්ටාචාරයන් යටපත් කළ නොහැක. |
ඔයාලා
දන්නවද, මොන කරදර- හිරිහැර- හිත රිදවන සිදුවීම් සිද්ද වුණත් මං වහන්සේට නං ඇහැකියි
ඒවා විඳ දරා ගන්නත්. එහෙම වෙලාවට නිදි පුරුදු වෙලා ඉන්නේ මෙන්න මේවායින් එකක්
කරන්නයි:
1. නිඳා ගන්න. (ඇයි හිනා වෙන්නේ? මේ කියන්නේ මං ගැනනෙ. හුඟක් අයට කරදරයක් ආවාම
නිඳා ගන්න බැරිලු. මට නං එහෙම වෙලාවකත් හොඳට නින්ද යනවා.)
2. හොඳට කඳුළු වක්කරලා ඒ දුක්බර- කරදර හැඟීම් හෝදලා අරින්න.
3. හොඳ පොතක් කියවන්න. එහෙමත් නැත්තං හොඳ film එකක් බලන්න.
ඉතිං
1994 නත්තල් දවසේ හවස සවුත්හෝල් බස් නැවතුමට එනකොටත් මගේ හිත සවුත්තු වෙලයි
තිබුණේ.
බයයි
සැකයයි හිංදා මං ප්‍රසාද්ගේ බෝඩිම් කාමරයෙන් පැනලා ආව බව ඇත්ත. ඒත් මගෙ හිතේ එක
කොටසක් මං එහෙම පිට වෙලා ආව එක ගැන මැසිවිලි නඟමින් තිබ්බේ. ඇත්තම කියතොත්, ප්‍රසාද්ට
මාව ඕනි වුණා වගේම මටත් තදින්ම එයාව ඕනි වෙලයි තිබුණේ. අවුරුදු දොළහේ ඉඳලා
විඳින්නට පුරුදු වෙලා හිටි ‘පහස’ක් අත් නොවිඳ මාස පහක් ‘සිල් රකිමින්’ ඉන්න එක
වුණත් දුෂ්කර ක්‍රියාවක් නෙවෙයිද?
ඒ ගැන
කල්පනා වෙන එකෙන් බේරෙන්නයි මට එවෙලේ උවමනා වුණේ. ටිකකට කලින් මං කියපු කාරණා
තුනෙන් තෙවෙනි එක තමයි මට ඒ වෙලාවේ කළ හැකිව තිබ්බ එකම දේ. පොතක් කියවන එක!
හැමදාම
වැඩට යනකොට වුණත් bag එකට පොතක් දමාගෙන යන්නයි මං පුරුදු වෙලා උන්නේ. එතැනදී මට වාසියට
හිටියෙ අපේ ඩැඩාගෙ Reader’s Digest සඟරා. ඩැඩා රීඩර්ස් ඩයිජස්ට් දායකයෙක්. එයාගේ
ළඟ ඉතිරි වෙලා තිබුණු සඟරාවල් මට තමයි ගොඩාරියක් ප්‍රයෝජනවත් වුණේ.
ඉතිං, එදා බෑග් එකේ තිබුණු සඟරාවේ ලිපියක් තමයි බස් එක එනතුරු මං කියෙව්වේ.
එදා
ගැන මං නිදිගෙ පංච තන්තරේට 2018 අවුරුද්දෙදී ලිව්වත් එක්ක... මෙහෙම:
‘...1994 දෙසැම්බර් 25 වෙනිදා; නත්තල් දවස මට සදානුස්මරණීය දවසකි. එදා මා උන්නේ එංගලන්තයේ, සවුත්හෝල් පෙදෙසේ බස් නැවතුමක, ‘black ice’ මිදෙන සීතලෙන් ගල් වෙමිනි.
![]() |
හැම අත්දැකීමක්ම පසුව මතක්
කරද්දී මිහිරක් දනවයි. (Foto- මහේෂ් ජයරත්න) |
ඒ ලිපියේ අරටුව; හරය මට ජීවිත කාලයටම අමතක නොවන්නකි. එය එතරම්ම අරුත්බරය.
රසම කෑමක් ගන්න. නැරඹූ චිත්‍රපටයක්, තැනක් ගන්න. කියවූ පොතක්, බැලූ නාට්‍යයක්... ඒ හැම විටකම අපි යම් තෘප්තියක් ලබමු. එහෙත්
පසුව ඒ ගැන මෙනෙහි කිරීමේදී පළමු සතුටට වැඩි යමක් නොවිඳිමුද? හැම අත්දැකීමක්ම පසුව මතක් කරද්දී මිහිරක් දනවයි.
කොතරම් කටුක අත්දැකීමකදී වුණත් මේ ධර්මතාව පොදු බව ඒ ලිපියෙන්
කියැවිණි. ඒ අත්දැකීම කටුක නම්, දුෂ්කර
නම්, අමිහිරි නම් එය සිහි කිරීම වඩාත්
ආනන්දජනකය. මා ගැන නම් එය ඇත්තකි. අතීතය මෙනෙහි කිරීම කොතරම් චමත්කාරජනකද; විස්මිතද; සදානුස්මරණීයද? සතුට යනු එය නොවේද?...’
මගේ ‘ලේඛන
රටාව’ ගැන රහසක් හෙළිදරව් කරන්නටත් ඒ උපුටනය උදව් කර ගන්නයි මේ හදන්නේ. පහුගිය ටිකේ
‘හතලිහේදී’ posts ගණනාවකින් කියපු දේවල් එදා; (බ්ලොගය ලියන්න පටන් ගෙන මාස පහකින්)
මං කිව්වේ ‘සදානුස්මරණීය’ කියන තනි වචනයෙන්. (ඒ දවස්වල මේ දිසානායකයා හීන් සීරුවේ
එහෙන්- මෙහෙන් මුට්ටිය දදා බලමින් නෙව උන්නේ.) කොහොමද දිසානායකගෙ ටිකිරි මොළේ?
අනිවාර්යයෙන්ම
එහෙම උපායශීලී වෙන්නයි මට සිද්ද වෙලා තිබුණේ. ඒ, මේ සිදුවීම්වලට සම්බන්ධ අනෙක්
අයගේ අනන්‍යතාව හෙළි නොවෙන විදිහට පරෙස්සම් වෙමින් ‘මගේ කතන්දරය’ ආදරණීය ඔබලාට
කියන්නට සිදු වී තිබුණු නිසයි.
ඒ
ඇයිදැයි කියතොත්...
මේ සිද්දි ගොඩකට සම්බන්ධ උදවිය හොරෙන් එංගලන්තයට සංක්‍රමණය වෙලා උන්නු උදවියනෙ;
එහෙම නැත්තං සංචාරක වීසා යටතේ එහාට ආව උදවියනෙ- එයාලට work permit නැති නිසා ‘වැටුප්
ලබන රස්සාවල් විතරක් නෙවෙයි- වැටුප් නොලබන රස්සාවක් වුණත් කරන්න තහනම්’ වෙලයි
තිබ්බේ.
මාව වැටිලා තිබ්බෙත් ඒ ගොඩටමයි!
“ක්‍රිස්මස්
දවසේ උඹ හොඳටම බය වුණා නේද? අපේ බූරු රූමාට මම කියල තිබ්බේ හවස් වෙනකල් කාමරේට
එන්න එපැයි කියලා. ඌ ඇවිත් තියෙන්නේ මම කාවද room එකට එක්කරගෙන එන්නේ කියල බලා
ගන්න... රියලි සොරි friend...” නත්තලෙන් පස්සේ ප්‍රසාද් කිව්වා. “... අපරාදේ!
ඒකෙන් වුණේ අපි දෙන්නට හොඳ fun එකක් ගන්න තිබිච්ච chance එකක් මිස් වෙන එකයි...”
![]() |
ඔයා ආපහු ආවාම වරුවක්ම
කුරුලු තොරණ් ඉන්නයි මම බලාගෙන ඉන්නේ. |
‘ඔව් හලෝ.
මේ වෙලාවේ තරහ පෙන්නනවට වැඩිය නුවණක්කාරයි නිකං ඉන්න එක... තමුසෙ මෙහෙ ඉන්නෙත් තව
මාසයයිනේ... ඒ දවස් ටිකට නයා මරන්නෙත් නැතිව- පොල්ල කඩා ගන්නෙත් නැතිව ඉන්න තමුසෙට
ඇහැකියිනෙ...’
“හ්ම්!”
“මොකද හ්ම් කියන්නේ? උඹ තවම මාත් එක්ක upset එකෙන් නේද ඉන්නේ?”
”අප්සට් නොවී කොහොමද... මදැයි සති ගණනාවක් බලාගෙන ඉඳල ඉඳලා එහාට ගියා...” මං කිව්වේ
චාටු කතාවක්. මෙහෙම බොරුකාරයන්ට එහෙම තමයි සලකන්න ඕනේ.
“සොරි
friend! දන්නවද- උඹ වගේම මමත් ගොඩාක් ඩිසපොයින්ටඩ් වුණා වෙච්ච දෙයින්... ඉක්මනටම
මං ආයෙමත් දවසක් set කර ගන්නංකො, නිමල්.”
මං ඔළුව වැනුවා. එහෙම මූණිච්ඡාවට රඟන එක මට හරිම නුහුරු දෙයක්. ඒත් මං මාසයක විතර කාලයක්
ඒ කාරිය කළා- ප්‍රසාද්ගෙන් පළිගැනීමක් විදිහට!
ඒ
දවස්වල මං හිතාමතාම අමන් එක්ක වැඩිපුර කතාවට වැටුණා- බල්නූර් එක්කත්. (එහෙම කළේ
බන්ටිටත්, ප්‍රසාද්ටත් දැනෙන්නමයි.) හැබැයි අමන්, බල්නූර් දෙන්නටවත් කිව්වේ නෑ- මං
ආපහු ලංකාවට යන්න ලැහැස්ති වෙන බවක්.
“ඔයා
කවද්ද ආපහු එන්නේ?” නයනානන්ද ඒ අතරේ අහල එවලා තිබුණා. “... හරියටම ලංකාවට එන දවස
කවදද කියල මටවත් කියන්නැද්ද හලෝ. අනිත් අයට නොකිව්වට කමක් නෑ. මට විතරක්වත් ලියල
එවනවා. මම ඒක පත්තරේට දාන්නෑ. කාටවත් කියන්නෙත් නැතිව ඉන්නං.
එහෙම කියලත් මාව විශ්වාස නැත්තං කියන්න එපා. මම ඉතිං දන්නවනෙ කොල්ලගෙ හැටි. හැම තිස්සෙම තමුසෙ ළඟත් කොටහක් හංගගෙන ඉන්නනෙ පුරුදු
වෙලා තියෙන්නේ.
ඔයා එන දවස ඇහුවේ තොරණක් ගහන්න නෙවෙයි. හැබැයි ඔයා ආපහු ආවාම වරුවක්ම කුරුලු තොරණ්
ඉන්නයි මම බලාගෙන ඉන්නේ.
මං හිතන්නේ මේකෙන් පස්සේ ඔයා එවන ලියුමට උත්තර නොලියා ඉන්න. ඔයා ඔහෙන් ආවට පස්සේ මම
එවන ලියුමක් ගෙදර අයට හම්බ වුණොත් ඒක කඩල බලයිනෙ... එහෙම වුණොත් හෙණ ලෙඩක්නෙ...”
මටත්
ඒ විත්තිය කල්පනා වුණේ එතකොටයි!
1995
ජනවාරි 21 වෙනිදා ආපහු ලංකාවට එන විත්තිය මං නයනෙට ලියල ඇරියා. “... ඔයා වාහනයක්
අරගෙන එයාර්පෝට් එකට එනව නේද? 20 වෙනිදට කලින් මං ෆ්ලයිට් විස්තර කියන්නං...”
කියලත් ඒ ලියුමෙම ලිව්වා.
![]() |
ජීවිත කාලය තුළදී අපට කොච්චර දෙනෙකු නම් මුණ ගැහෙනවාද? |
“මට මිස්ටර් යසිරු කිව්වා නිමල් මේ මාසේ ආපහු ශ්‍රී ලංකාවට යන්න ලෑස්ති වෙන බව.
ඇත්තටම නිමල්- මට උඹ ගැන හරි පුදුමයි. මෙච්චර කාලෙකට මට මුණ ගැහිල නෑ උඹ වගේ හිතන
ඒසියන් මනුස්සයෙක්ව. Asian රටවල්වලින් මෙහෙට එන හැමෝම හදන්නේ මොන විදිහකින් හරි මේ
රටේම නැවතිලා ඉන්න. ඒකටත් එක්ක උඹ. කමක් නෑ... කමක් නෑ...” අහීර් මහත්තයා දිගටම
කියාගෙන ගියා. මං කළේ අහගෙන ඉන්න එක.
“...
උඹ හොඳ අවංක වැඩකාරයෙක්... අපේ රටවල්වලින් එන ගොඩක් අය වුණත් බලන්නේ නිකං ඉඳල පඩි
ගන්න. උඹ එහෙම කෙනෙක් නෙවෙයි. ඒකයි මම ගොඩක් කැමති උඹ මගේ ෆැක්ටරියේ දිගටම වැඩ කරනවා
නං. උඹ ලංකාවට ගියාට පස්සේ කවදා හරි ආපහු මෙහාට එන්න හිතුණොත් මිස්ටර් යසිරුට
කියපං. එතකොට එයා මට කියයි.
මම ජීවත් වෙලා ඉන්නකල් - මේ ෆැක්ටරිය තියෙනකල් නිමල්ට මෙහෙ රස්සාව තියෙනවා.
උඹ එහෙම ආපහු ආවොත් මං උඹට match වෙන ගර්ල් කෙනෙකුවත් හොයල දෙන්නං මැරි කරන්න.
එතකොට උඹට වීසා, work permit ප්‍රශ්න එන්නෙත් නැති වෙයි... මීට වැඩිය පඩියකුත්
ලැබෙයි...”
එහෙම
කියූ අහීර් මහත්තයා ලියුම් කවරයකුත් මගේ අතේ තිබ්බා. “... පොඩි gift එකක්. මේක මම
සතුටෙන් දෙන්නේ නිමල්ව ඇප්‍රිෂියෙට් කරලා... මේක මෙහෙ වෙන අය දැනගන්න ඕනි නෑ!
ඒ වගේමයි- උඹ මෙහෙ බල්නූර්ට එහෙම දිගටම කතා කරනව නං, ලියනවා නං පරෙස්සමෙන්...
නිමල්ට තේරෙනවනෙ මම කියන දේ- නේද?”
ජීවිත
කාලය තුළදී අපට කොච්චර දෙනෙකු නම් මුණ ගැහෙනවාද? එයාලාගෙන් සමු ගන්නට සිද්ද
වෙනවාද? නිමල් දිසානායකට නම් එහෙම හමු වූවන්- සමු ගත්තවුන් අපමණය. එයින් සමහරෙකු සමඟ
ඉන්පසු කිසිම ඇයි-හොඳයියක් පවත්වන්නට මේ අකෘතඥ ගොබිලාට අමතක වුණේය! (මේකා හොංකොං
ගමනේදී හඳුනාගත් ජෝට සැලකුවෙත්
ඒ විදිහටමය.)
ඒ මතක නැති කළ ගොඩටමය මේ ගාමන්ට් එකේ පිරිසත් අයත් වෙන්නේ!!
ඒත්...
ඒත්... අනෙක් කාගෙන් නැතත්- අමන්ගෙන් නිසියාකාරව සමු ගන්නට නොලැබීම ගැන නං අදටත් මට
ඇත්තේ ලොකු දුකකි. එහෙම වුණේ, හදිසි ඇඳුම් ඇණවුම ඉවර වෙනවාත් එක්කම අමන් පුරුදු
විදිහටම අතුරුදහන් වුණු නිසාය.
![]() |
ලංකාවට පැමිණියායින්
පස්සේ; අලුත් අලුත් හිත මිතුරන් හඳුනා ගත්තාට... |
ඒවා
සේරම කල්පනා වූයේ / කල්පනා වෙන්නේ කල් ඉකුත් වුණු පසුවය / දැන්ය.
ලංකාවට පැමිණියායින් පස්සේ; අලුත් අලුත් හිත මිතුරන් හඳුනා ගත්තාට පස්සේ මේ ලියන්නාට
විවේකයක් ඇත්තෙම නැති තරං වුණේය. එතකොට නිදිට 41කි; තෙල හොඳටම මෝරන කාලෙය... ඉතිං
කොහෙද විවේකයක්?
හතලිහහේදී
සීරීස් එකට ‘කුණ්ඩලි’ ලකුණු යොදන්නටය, දැන් මංතුමා සැරසෙන්නේ.
ඒත්
හතලිහේදී postsවලට සබැඳි කරුණු කිහිපයක් ලියන්නට යැයි සිත බල කරයි.
‘ඔව්, ඔව්... ‘අම්මව දෙනවයි කිව්වා නං තාත්තව ගස් බැඳල හරි ඒක කරපං!’ කියලනෙ අපේ තාත්තා අපට උගන්නල
තියෙන්නේ... ඉතිං අඩුම ගණනේ බකුසාණන්ට වෙච්ච පොරොන්දුව විතරක් හරි ඉෂ්ට කරන්න
එපැයි. හැබැයි ඒක කරන්නෙ වෙනින් posts කීපයක් ලියල ඉවර වුණාමයි. කමක් නැහැනේ...
ඕන්න
එහෙනං මේ සීරීස් පෙළේ සමාප්තිය සලකුණු කරමින් කුණ්ඩලි සලකුණු දානවා- හොඳේ ෴0෴






No comments:
Post a Comment