li Item

Wednesday, April 16, 2025

මෙදා සැරේ අවුරුද්දේ...

නිදිගෙ පංච තන්තරේ කියවන  ආදරණීය රසික-රසිකාවියන් සැම දෙනාටත්, ඔවුනගේ ඥාති හිත-මිත්‍රාදීන් සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

ඔබ සැමට වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!

සුබ පැතුම නං අකුරු කළේ ඊයේ; අප්‍රේල් 14 වෙනිදා. වැඩ අල්ලන නැකත පහු වෙලා ටිකකින්.

ඒ නැකත යෙදිලා තිබුණේ අප්‍රේල් 14 සඳුදා, පූර්ව භාග 06.44ටයි. ‘මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුුදෙනුු කොට ආහාර අනුභවය මැනවි.’ කියලයි අවුරුදු නැකත් සීට්ටුවෙන් කියැවුණේ.

අපි පුංචි කාලෙ ඈත අතීතේ අපේ ගෙදරත් ඒ දවස්වල නං ජයටම අවුරුදු කෑවා. හැබැයි තිතටම නෙවෙයි.
මෑත අතීතේ උන්නු ඔය සමහර අතිදක්ෂ දේශපාලුවන් හොරා කාලා තියෙන විදිහට 😢... ටික වෙන්න නීතිය නවාගෙන.

පුණ්‍ය කාලය ලබනකොට හැම ගෙදරකම වගේ ළිප නිවලා- ළිපේ අළු අයින් කරලත් ඉවරයි. ගෙවල්වල වැඩ කටයුතුවලටත් විරාමයක් දීලා ඉවරයි. මේ සැරේ ඒ ගැන කියැවිල තිබ්බේ මෙහෙමයි.
‘අප්‍රේල් මස 13 වන ඉරිදා අපර භාග 08.57 සිට පසුදා එනම් 14 වන සඳුදා පූර්ව භාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් 13 වන ඉරිදා දින අපර භාග 08.57 ට පළමුව ආහාර පාන ගෙන සියලුු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.’

මේ වතාවේ වගේ නෙවෙයි. සමහර අවුරුදුවල නොනගතේ යෙදෙන්නේ දවල්ට. එතකොට තමයි ‘ආහාර පාන ගෙන’ කියන ටික රකින්න වැඩියත්ම අමාරු.
“ලීලා, මේ කිරි සප්පයන්ට තේරෙන නොනගතයක් තියෙනවැයි බං. ඔන්න ඔහේ උන්ට කන්න මොකුත් හදල තියහං. නොනගතේ ලබන්න කලින් මොනව හරි උයල-පිහල තිබ්බම ඉවරයිනෙ... අවුරුදු කුමාරයා නොරොක් වෙන එකක් නෑ, උඹ එහෙම කෙරුවය කියලා.”
දසනායක රත්නවතී; මහරගම ආච්චී අපි වෙනුවෙන් පෙනී හිටියෙ එහෙම කියමින්.

අපේ මව්තුමී නැන්දම්මාගේ උපදේසේ පිළිපදින්නේ ටිකක් කනු-කුනු ගගා, නහයෙන් අඬමින්. “කියන එක නං මොකෝ, කරන එකනේ වැඩේ!”

ඒකත් ඇත්ත. ආච්චි කියන විදිහට නං දෙපාරක් උයන්න වෙන්නේ අම්මටමනේ.

අම්මගෙ කංකෙඳිරිය නෑසුණු හිංදා තාත්තත් ආච්චිගෙ කතාවට බර දානවා.
“ඔව් ලීලා. නැකත් කියලා බඩගින්නේ ඉන්න පුළුවන් කාටද?” (එතකොට නං අම්මට ඩෝං යනවා.)

ඒත්, අඩුම ගණනේ  බතක්- කිරි හොද්දක්- පොල් සම්බෝලයක් හරි හැදෙනවා. සමහර සැරවලට ඒක කෙරෙන්නේ කුස්සියෙන් එළියේ පිළිකන්න පැත්තේ කෙළවරක හදා ගන්න තාවකාලික ළිපක. නොනගතේ වෙලාවේ තේ ටිකක් හදා ගන්න ඕනි වුණාමත් උදව් වෙන්නේ ඒ ළිපම තමයි.

ඒක කෙරෙන්නේ කුස්සියෙන් එළියේ පිළිකන්න පැත්තේ කෙළවරක හදා ගන්න තාවකාලික ළිපක.

සමහර ගෙවල්වල නං නොනගතේ වෙලාවට වතුර උගුරක්වත් නොබී ඉන්න උදවියත් හිටියා. අපේ සුනිල් මල්ලිගේ පළමුවෙනි බිරිය මල්ලිකාලගේ අම්මා (සෝමක්කා) එහෙම කෙනෙක්. වැඩ අල්ලන නැකතට ‘එයාගේ විශේෂ ආරාධිතයා ඇවිත්- ගේ ඉඳුල් කරනකල්’ සක්‍ර දේවේන්ද්‍රයා ගෙදරට ආවත්, ‘හුප්පෙ’ම තමා. සෝමක්කා වතුර උගුරක්වත් දෙන්නෑ.

ගෙදරට සිරිකත වඩින්නේ එහෙම කරනකොටලු.

හුඟක් ගෙවල්වලට අරහෙම විශේෂ ආරාධිතයෙක් උන්නා. නිතරෝම වාගේ එයා ඇති-පැති පුළුවන්කාරයෙක්.  

අපේ ගෙදරට එහෙම කෙනකු උන්නේ නෑ. 1960 ගණන්වල අපේ අවුරුදු මේසය ඉඳුල් කළේ අපේ අයිඩියානන්ද සීයා; ඩී.එච්. චාර්ල්ස් හෙවත් ජලා හුකා - හුකා පරියා’ හෙවත් ‘අන්ජිසාම් පැකට්’.
එකම මිදුලේ තිබ්බ අපේ ගෙවල් දෙකේ පිළියෙළ වුණේ එක අවුරුදු කෑම මේසයයි.
කැවුම් ජාති ආච්චිගෙන්. එයා පමුණුව ඒරියා
එකේ නං දරාපු කොණ්ඩ කැවුම් හදන්නියක්නේ. (අම්මා එහෙම සමතියක් නෙවෙයි.) සුනිලුයි, අජිතුයි, මායි තුන් දෙනා තමයි කාලෙන් කාලෙට ආච්චිගෙ උදව්වට හිටියෙ. ඒකෙන් වුණේ අපි තුන් දෙනාමත් කොණ්ඩ කැවුම් හදන්න දන්නවුන් වීම. ඇයි මුං කැවුම්...

කොකිස් හැදිල්ල නං අමාරු දෙයක් නෙවෙයිනෙ, සීරුවට කරන්න ඉවසිල්ල තමයි  ඕනි.

ඒ කාලේ  ළිප මොළවන නැකත අපට කියන්නේ පන්සලේ ඝන්ටාරයයි; රේඩියෝවයි: පුළුවන් උදවිය පත්තු කරන රතිඤ්ඤා සද්දෙයි. ඒ කියන නැකතට දල්වන ළිපේ කිරිබත ඉදෙනවා.

ඔන්න ඔන්න නිමල් දිසානායකට පුරසාරමක් කියන්න ඇහැකි වෙලාවක් ආවා. කිරිබත!
මතක ඇති දවසක මං වහන්සේ උයාපු කිරිබතකට
ලුණු මදි වෙලා නෑ. අඩුවෙන් තැම්බිච්ච (ඇටකුණා වෙච්ච) බත් ඇට තිබිලා නෑ. දන්කුඩ හිටලත් නෑ.

මං හාල් ටික සෝදලා, ගරලා පැයක් දෙකක් පෙඟන්න තියලයි උයන්න ගන්නේ. උතුරණ වතුරටයි පෙඟුණු හාල් දාන්නේ. ඒ එක්කම පදමට ලුණුත් දමනවා. (බතට වතුර මදි වගෙයි නම් ගන්න උණුවතුර කේතලේ ළිප අයිනෙ තියාගෙනයි ඉන්නේ.) බත (බෙරි වෙන්න ඔන්න-මෙන්න තරමට) ඉදුණාම ළිපේ ගින්දර හොඳටම අඩු කරලා උකු පොල්කිරි එකතු කරල කූරු ගානවා. ළිප නිවලා, බතේ රස්නෙන්ම කිරි ටික (ටිකක්) තැම්බෙන්න ඇරලා කිරිබත වඩා ගන්නවා. වඩා ගත්ත කිරිබතට උඩින් මිටිකිරි චුට්ටක් ඉහ ගත්තම තෙත ගතිය හිටිනවත් එක්ක.

කිරිබතට පොල්කිරි එකතු කළාට පස්සේ ගොඩ වෙලාවක් තැම්බෙන්න ඇරියොත් කිරි රහ අඩු වෙනවා. අඩිය අල්ලලා රොස් වෙන්න බලනවා. (එහෙම වුණොත්... පොල් බෑවක් කිරිබතට උඩින්  මුනින් අතට නවල තියන ගුරුකම මතකයි නේද?)

හිමන්‍යාත් අවුරුදු ගනුදෙනු කළාද ලොකූ?

ඔහොම හැදෙන කිරිබත තමයි අපේ අවුරුදු කෑම මේසයේ වැඩි ඉඩක් ගන්නේ.

“අන්න අන්න, ඝන්ටාරේ වදිනවා. සීයේ... පහන පත්තු කරන්න.” අපි කට්ටියම සීයාව උනන්දු කරනවා. ගිනි පෙට්ටිය අතට අරගෙනත් සීයා හැරෙන්නේ අපේ තාත්තගේ පැත්තට. “උඹනෙ ගුණේ මේ ගෙදර ප්‍රධානියා. උඹ පහන පත්තු කරපං බං, මම කවන්නං.”

“පිස්සුද තාත්තේ? මේ ලෙඩ මම පහන පත්තු කළොත් හැමෝන්ටම ලෙඩ ගාණේ තමයි ඉන්න වෙන්නේ.” එතකොටත් ත්‍රොම්බෝසිස් ලෙඩේට ගොදුරු වෙලා උන්නු තාත්තා නෙවෙයි සීයාට කන් දෙන්නේ.

සීයත් එයාගේ එකම පුතණ්ඩියට පෙරැත්ත කරන්න යන්නෙ නෑ. පහන පත්තු කරලා, කිරිබත් කට කට අපි හැමෝටම කවාගෙන කවාගෙන යනවා.
(අපේ ගෙදරින් නිරෝගීවම හිටියෙ සීයා වගෙයි. ආච්චී නං ඒ ගැන කිව්වේ වෙනිං කතන්දරයක්. ‘උඹලගෙ සීයා ලෙඩ නොවෙන්නේ අබිං කන හිංදා. ඒක නැති වුණොත් නං උන්දා නිකංම ලෙඩ වෙයි!’)

1970 වෙනකොට සීයාගෙ ‘කිරිබත් කවන රාජකාරිය’ මට පැවරුණා. (එතකොටත් අපේ තාත්තගේ කීම පිට ඉස්සෙල්ලාම බත් බෙදුවේ මගේ පිඟානට.)

කවන එකට- කන එකට නෙවෙයි අපේ නංගිලා මල්ලිලා ඉවසිල්ලක් නැතිව බලා උන්නේ. ගනුදෙනු කරන චාරිත්තරේ කෙරෙනකල්. ඊයෙ සමන්ති නංගි එංගලන්තෙ ඉඳලත් ඒ ගැන ඇහුවා.
“හිමන්‍යාත් අවුරුදු ගනුදෙනු කළාද ලොකූ? මානෙල් අක්කේ... ඔයාට මතකද ඉස්සර අපි ලොකා එක්ක ගනුදෙනු කරපු හැටි...”

“මතකයි මතකයි සෑම්!” මානෙල් හිනා කයි!
“ඔච්චර හිනා වෙන්න මොනවද අම්මේ ඔයාල කළේ?”
“කළේද... කළේ මේකයි රෝසි. ගනුදෙනු කරන වෙලාවට අපි සේරම සත පහක් හරි සත දහයක් හරි බුලත් කොළයක ඔතලා ලොකාට දීලා වඳිනවා. ඉස්සෙල්ලම පොඩා, ඊළඟට නෝනා, ඊට පස්සේ අනිල් අයිය... වැඩිමල් පිළිවෙලට... ලොකා අපිට රුපියලක් හරි දෙකක් හරි බුලත් කොළේක ඔතලා අපිට දෙනවා. පොඩාලට තමයි වාසි. එයාල ලොකුයිනේ...”

“අම්මල ඒ සල්ලිවලින් මොනවද කළේ?” රෝසි ඔහොම කතන්දර අවුස්සන්න හරි කැමැතියි.
“පංච දැම්මා... කැට ගැහුවා... පරාද වෙනකොට ඇඬුවා...”

කැට ගහන සෙල්ලමට මං එකතු වුණේ කලාතුරකින්. ඔත්තේද ඉරට්ටේද අසමින් කෙරුණු පංච දැමිල්ලටත් මං ගියේ ඉඳහිට. ඒකටත් හේතු කීපයක් තිබුණා.
1. සූදුවකින් වුණත් පරාජය බාර ගන්න මගේ තිබුණු අකැමැත්ත.
2. පරදිනකොට ඔට්ටුවේ අගය වැඩි කරමින් නොකඩවාම සූදුවේ යෙදීමට පෙළඹීමේ පුරුද්ද. ඒ විත්තිය දැකපු තාත්ත මට අවවාද කළේ ‘රංජි, උඹ නං කවදාවත් සල්ලිවලට කෙරෙන සූදුවකට යන්න එපා! උඹට තියෙන්නේ
සූදු අන්තුවෙකුගේ ගති!’ කියලයි.

ප්‍රියන්ත අයියා කිව්වේ කෝබට්ස් gapවල නියම තැනක් book කළා කියලයි. (Foto- සෙරාන් එච්. ගමගේ)

අනෙක් අතට මං වැඩියත්ම ආසා කළේ ‘මොළේ පාවිච්චි කරන්න වෙන’ සෙල්ලම්වලට. ඇඟත් වෙහෙසවමින් මොළයෙනුත් වැඩ ගත යුතු ‘තාච්චි පැනිල්ල’ තමයි මං වහන්සේ කරපු එකම එළිමහන් ක්‍රීඩාව.

මෙහෙ අවුරුදු ක්‍රීඩා වගේ නෙවෙයි, ඒ දවස්වල බදුල්ලේ අවුරුදු කෙළි! එහෙ ලොකුවටම කෙරුණේ බූරුවා ගැහිල්ලයි, කැට ගැහිල්ලයි.
ඒ සාවියේ බූරුවා ගැහිල්ල ඉතිං හැමදාම වගේ කෙරිච්ච දෙයක්නෙ. (කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා අපේ අම්මාව බදුල්ලේ ඉස්පිරිතාලෙට ඇතුළු කරනකොටත් අපේ තාත්ත ඉඳල තියෙන්නෙ සරු බූරු පිටියක. ඒ නිසයිලු මගේ
නමෙන් ‘රංජිත්’ කෑල්ල හැලුණේ.)

කැට ගැහිල්ල එහෙම නෙවෙයි. අවුරුද්දට දවස් කීපෙකට කලින් ඉඳලම ප්‍රචාරය කෙරෙනවා ‘අහවල් තැන ලොකු කැට පොළක් තියෙනව’ය කියල. ප්‍රචාරේ කෙරෙන්නේ ‘ද්වි පුද්ගල සන්නිවේදනය’ මාර්ගයෙන්- කටින්-කට...

“ඔව් රංජි පුතා... අපි හැමෝම එදා වෙනකල් ඉවසිල්ලක් නැතිව උන්නේ. වැඩියෙන් උන්නේ ගෑනු කට්ටිය. කැට ගහන්නේ බඩුවලට. පිත්තල කළගෙඩි- හෙප්පු- පහන්- ඇලුමිනියන් සාස්පාන්- පිඟන් කෝප්ප සෙට්ස් වගේ එව්වා තමයි තෑගිවලට තිබුණේ...”
බදුල්ලේදී විතරය, මට එහෙව් කැට පොළවල් දකින්නට ලැබුණේ.

අවුරුදු පනහක හැටක අතීතයට ගිහිං මේ විස්‌තර; පුරාජේරු; වරුණවල් කිව්වත් පහුගිය අවුරුදු හතළිහකට ආසන්න කාලයේ නිමල් දිසානායකයා අවුරුදු කෑවේ වනචර වෙලාය. ඒ WAL ප්‍රියන්ත ඇතුළු පිරිවරක් එක්කය.

“නිමල් එනවනේ? පහුගිය trip දෙක තුනකටම නෑවිත් හිටිය වගේ කරන්න එපා. යමු!” හිතවත් ප්‍රියන්ත කිහිප වතාවක්ම කිව්වේ සති ගණනාවක් තිස්සේය. ඒ මදිවාට වගේ එයා සිය පවුල පිටින්ම අපේ ගෙදරටමත් ආවේය. Trip එක යමුයි කීවේය.
“අනේ ප්‍රියන්ත, අපි ගිහිං තියෙන ට්‍රිප්ස් මදැයි අවුරුදු හතලිහක් විතර තිස්සේ. මට මතක හැටියට මම නෑවිත් හිටියේ අවුරුදු ට්‍රිප්ස්වලින් තුනකට නැත්තං 
හතරකට විතරයිනෙ...”

“ඒකම නේන්නං මාත් කියන්නේ. ඒ ගණන වැඩි වෙන්න නොදී මේකත් යමු!”

මම මට හැඟෙන සියලුම දේ ප්‍රියන්තට කීවෙමි. “ඔයා දන්නවනෙ, දැන් මං කාටවත් පෙනෙන්න කෑම ගන්න කැමති නෑ... මගේ යටි තොල හරිය හිරි වැටිලා තියෙන අස්සේ හැන්දෙන් කන්න වෙලා තියෙන හින්දා. දත් වහල්ල දිරල ගිහිං හින්දා කෑම කන්නත් වරුවක් යනවා.”
“හරි! ඔයාට කාමරේට කෑම ගෙන්නල දෙන්නං. එතකොට හරිනේ.”

“මට දැන් දවල්ටත් තුන් හතර පාරක් නිඳිමත හැදෙනවා. එතකොට නිඳා නොගත්තොත් මට මත් වෙලා වගෙයි.”
“Simpleනෙ නිමල්. ඔයාට හිතුණු වෙලාවක නිඳා ගන්න ඉඩ දෙන්නයි කියල මං හැමෝටම කියන්නම්.”
“ඔව් නිමල් අයියේ ඔන්නොහෙ ගමන යං!” ප්‍රියන්තගේ බිරිය; රසිකා නංගිත් කීවාය.

ගමන යමුයි කියලා ටෙලිෆෝන් කෝල්ස්තුත් බර ගණනක් ආවේය. මගේ උත්තරය වුණේ ‘බලමු’ යන්නයි.

අපිට සතුටු වෙන්න පුළුවන් කොච්චර දේවල් තියෙනවද... (Foto- සෙරාන් එච්. ගමගේ)

“මොනව බලන්නද හලෝ... එනවා. ගෙදර හිටියත් වැඩක් කරන එකක්යැ?” නෙවිලුත් ඔලොක්කුවෙන් කිව්වේය.

“ඇයි මේ ගෙදර තියෙන වැඩ ටික ඔයාද කරල දෙන්නේ?”
“මොකද කියන්නේ? සෑම්ලා මගෙන් අහපු වැඩේ ලැහැස්ති කරන්නද? මෙහෙ ගෙදර වැඩට සර්වන්ට් කෙනෙක් ගනිමුද? නැත්තං සුනිල්ල ගෙදරට හරි මානෙල්ල ගෙදරට හරි යමුද...”
“පිස්සුද ඕයි? මම තවම ඒ තරමට දුර්වල වෙලා නෑ මනුස්සයෝ.”

එහෙම කියලා නෙවිල්ගෙන් බේරුණාට පස්සේ අයස්මන්ත යුවලත් මර්විනුත් දොළොස්වෙනිදා හැන්දෑවේ අපේ නිවහනට සම්ප්‍රාප්ත වූහ.

“ඔන්න නිමල් අයියේ, මාත් ආව ඔයාට විශේෂ පණිවුඩයක් කියල යන්න.”
“ඒ මොකක්ද ප්‍රීතිකා නංගි?”
“14වෙනිදා උදේට ඔයාව ගැට ගහලා- අතපය බැඳලා හරි ට්‍රිප් එකට එක්කං යනවයි කියන්න.”

ප්‍රීතිකා නංගිලාටත් මං නිදහසට කරුණු කිව්වා. “මගේ ශරීරෙ දුර්වල වෙලා නිසාද මංදා දැන් මගේ හිතත් එක විදිහක් වෙලා.”
“ඒක තමයි යකෝ අපි ඔක්කොම එකතු වෙලා උඹව හුඹහෙන් එළියට ඇදල ගන්න හදන්නේ.” මර්වින් මැද්දට පැන්නා. “තෝ දැන් අන්තිම කම්මැලියෙක් වෙලා. ඔහොමම හිටියොත්  නං කොල්ලෝ උඹටම උඹව එපා වෙයි!”

“ඔයාලා හිතන්නේ මම කලකිරිලා ඉන්නවයි කියලද? නෑ මර්වින්. මං ඇත්තට මුහුණ දෙන්න හැඩ ගැහෙනවා. බය නැතිව යථාර්ථයට මුහුණ දෙනවා.”
“මොකක්ද ඇත්ත?”
“මට දැන් ටිකක් වයසයි. පිළිකාව නිසා තව ටිකක් දුර්වල වුණත් එක්ක. ඉස්සර වගේ හැම ගමනක්ම යන්න මගේ සරීරෙ ඔබින්නේ නෑ. හැබැයි, ඒ නිසා මං චුට්ටක්වත් කලකිරිලා නං නෑ. අපි ලංකාව පුරා කොච්චර ඇවිදලා තියෙනවද? එව්වා මතක් කරලා සතුටු වෙන්න මට පුළුවන්.”

“ඒත් නිමල් අයියේ, ඔයා නොගිය තැනුත් තියෙනවනේ... ඒයි, අපි මේ සැරේ යන්නෙත් එහෙම තැනකට නේද?” ප්‍රීතිකා නංගි එහෙම ඇහුවමයි, මුනිවත රකිමින් හිටිය අයස්මන්ත මහතා කතාවට මැදිහත් වුණේ.

“ප්‍රියන්ත අයියා කිව්වේ කෝබට්ස් gapවල නියම තැනක් book කළා කියලයි. අපි කලින් නැවතිච්ච තැනක් නෙවෙයි. හැබැයි, අපි ටික නකල්ස් වටේ තියෙන හැම පැත්තකින්ම එහාට ගිහිං තියෙනවා. යන්න හදන තැන ගැනත් මම මෙයාට කිව්වා. වැඩක් නෑ! මෙයා ඉතිං කිව්වොත් කිව්වනේ.
xකෝරිස්, අපි කියන නිසාවත් උඹේ ඔය ආඩම්බරේ පැත්තකින් තියල ට්‍රිප් එක යමං.”

“අනේ සොරි මහත්තයෝ. ආඩම්බරයකට නෙවෙයි.
නොගිය තැනකට වුණත් යන්නම ඕනයි කියන තණ්හාවක් දැන් මට හිතෙන්නෙ නෑ, ප්‍රීතිකා නංගි... ඒ වෙනුවට මට කල්පනා වෙන්නෙම අපි කොච්චර තැන්වලට ගිහිල්ල තියෙනවද, කොච්චර සන්තෝස වෙලා තියෙනවද කියන එක.”
ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් කොච්චර දේවල් තියෙනවද... සමහරුන් නං සතුටු වෙන්න දාහක් දේවල් තිබ්බත් කල්පනා කරන්නෙම නෙගටිව් දේවල් ගැනනෙ.

ඒ බලාපොරොත්තු නිසා ඔවුන් සතුටට පත් වෙනවා නම්... ආතතියට අතෘප්තියට පත් නොවෙනවා නම්...

සත්තකින්ම, මගේ සමහර හිත-මිතුරන් ගැන මටම දුකය. එයාල ජීවත් වෙන්නේ වර්තමානයේ නොවේ. එක්කෝ අතීතයේය. නැත්තං අනාගතයේය. ඔවුන්ට තිබෙන්නේත් පොඩි පහේ බලාපොරොත්තු හෙම නොවේ. ඉරට-හඳටත් උඩින් යන තරමේ බලාපොරොත්තුය.

ඒත් කමක් නැත. ඒ බලාපොරොත්තු නිසා ඔවුන් සතුටට පත් වෙනවා නම්... ආතතියට අතෘප්තියට පත් නොවෙනවා නම්...

අද්‍යතන සමාජයේ එසේ අතෘප්තියට පත් වන්නවුන් ගණනින් වැඩිය. මෙතැනදී ඉතා මෑත දිනයෙක කියවන්නට ලැබුණු ප්‍රවෘත්තියක් මට මතක් වෙයි.

‘සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව, වයස අවුරුදු 13 සිට 17 දක්වා පාසල් දරුවන්ගෙන් සියයට 15.4ක් සියදිවි නසා ගැනීමට කල්පනා කර ඇති අතර, සියයට 9.6ක් සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව හෙළි වී තිබේ.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය චිරන්තිකා විතාන මහත්මිය මෙම සංඛ්‍යා ලේඛන මාධ්‍ය වෙත හෙළි කරමින්, නව යොවුන් වියේ පසුවන දරුවන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කළාය.

සමීක්ෂණය මගින් අනාවරණය වූ තවත් කලබල කරවන තොරතුරක් වන්නේ, සමීක්ෂණයට ලක් වූ පාසල් දරුවන්ගෙන් සියයට 18ක් විශාදයෙන් පෙළෙන බවයි. මෙය රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ ප්‍රජාව අතර පවතින මානසික සෞඛ්‍ය අර්බුදයේ බරපතලකම පෙන්නුම් කරයි.

"සමීක්ෂණයේදී අපට දැකගත හැකි වූ තවත් අවදානම් සහගත තත්ත්වයක් නම්, මේ දරුවන්ගෙන් බොහෝ දෙනෙකුට සමීප මිතුරන් නොමැති වීමයි. සමීක්ෂණයට සහභාගී වූ දරුවන්ගෙන් සියයට 7.5කට පමණක් සමීප මිතුරන් සිටින බව අනාවරණය වී තිබෙනවා." යැයි වෛද්‍ය විතාන මහත්මිය පැවසුවාය.

මෙම කරුණු දෙස බැලීමේදී පැහැදිලි වන්නේ, බොහෝ දරුවන් සමාජ හුදෙකලාවකින් පසුවන බවත්, ඔවුන්ට තම හැඟීම් සහ ගැටලු බෙදා ගැනීමට කෙනෙකු නොමැති වීම, සියදිවි නසා ගැනීමට තැත් කිරීම වැනි අවදානම් හැසිරීම්වලට ඔවුන් යොමු කිරීමට හේතු විය හැකි බවත්ය...’

ඒ අතින් මා කොතරම් වාසනාවන්තද? මට හැමදාම අවුරුදුය!
මා කොතෙක් අබල-දුබල වුවත් මගේ නෑ හිත මිතුරු සැවොම සවිමත් පවුරක් ලෙසින් මගේ වටා නිබඳව රැඳී සිටිති. (නෑදෑ හිත මිතුරනි, ඔබ හැම දෙනාටම පිං!)

ඒ සතුට මැද්දෙම අවුරුදු සමයේදී; අප්‍රේල් 17 වෙනිදාට ශෝකී මතකයකුත් මා කළඹාලයි. (අපේ තාත්තාත්- ලොකු නංගීත් දෙදෙනාම සියදිවි නසා ගත්තවුන්ගේ ගොඩට වැටෙති. තාත්තාගේ වියෝව සිදු වුණේ 1976 අප්‍රේල් 17 වෙනිදාය; අදින් 50 වසරකට පෙරාතුවය.)
ඒ දෙදෙනාටම නිවන් සුව අත් වේවා! කිසිවෙක් සමාජ හුදෙකලා භාවයට ගොදුරු නොවේවා!! ධනාත්මකව, සුබවාදීව ජීවිතය දෙස බැලීමේ හැකියාව සැම දෙනාටම ලැබේවා!!!෴0෴

42 comments:

  1. අපිත් පොඩිකාලේ නොනගතේ හරියටම රැක්කා. වතුර ටිකක්වත් බිව්වෙ නෑ. එලියෙවත් ගින්දර පත්තු කරෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Litseeker!
      ඉක්මන් සංවර්ධනයත් එක්ක සිරිත් විරිත් අවතැන් වෙලා වගෙයි නේද?

      Delete
  2. https://drhappy.com.au/2023/10/13/living-in-the-past-isnt-all-or-always-bad/

    ReplyDelete
    Replies
    1. කියවන්නට වටිනා ලිපියක්.
      ස්තුතියි Pra Jay මහත්තයෝ.

      Delete
  3. ඒ කාලේ වැට ගහලා අපි හිටෙව්වෙ මල්
    දැන් කාලේ ලින්ක් තමා, මොකටද වැටවල්
    ලින්ක් හෙව්වා පනේ මගේ හොඳ පණ යන කල්
    වැටක් ගහල සුරුස් ගාලා ලිස්සුව අජපල්?

    ++++++++++++++++++++👌

    ReplyDelete
    Replies
    1. මක්කටද වැටවල්
      තියෙ නං link මනකල්
      'හත්පණ' ඇති 'අවුල්'-
      තුමා වැජඹේවා දිගා කල්!

      Delete
  4. අවුරුදු විස්තරය හොඳයි. ලියල තියන විදිහ නිසාද මන්දා කියවන්න ටිකක් විතර වෙහෙසයි. දැන් අපි කම්මැලි වෙලා නිසාද මන්දා දිග විස්තර කියවන්න කැමති නෑ. හොම්බට ඇන්නා වගේ, කෙලින්ම පොයින්ට් එකට එන බ්ලොග් ෂෝර්ට්ස් වලට මයි හිත යන්නෙ. වැරදිය බාර ගන්න එපා, ධනාත්මික විවේචනයක් කියල හිතන්න, ඈ?

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා බකුසුතුමෝ!
      පොඩි වයසට ඔහොම තමා... තව ටිකක් කල් ගෙවිලා අපි වයසට යනකොට ඔව්වා හරි යනවා.

      පෝස්ටු කියෙව්වාම අපට දැනෙන දේ ලියන එක නේද වඩා හොඳ? මගේ මතය ඒකයි මහත්තයෝ!

      Delete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා !
    னයා.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ප්‍රසන්න මහත්තයෝ!
      ටික දවසකින් නේද කම්පියුටරය ඔයාට ලැබුණේ?

      Delete
    2. පසා බොසාගෙ කොම්පීතරේ අවුරුදු කටේ ඩාම් ඩූම් වෙලාද 🤔​

      Delete
    3. නමීට මතක නැද්ද, වංගියක් කියල තිබ්බා ප්‍රසන්න මහත්තයයි පුතණ්ඩියායි එක කොම්පියුටරේ පාවිච්චි කරන විත්තියක්..

      Delete
  6. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ට්‍රිප් එක යන්න බෑ කිය කිය ඉඳලා අන්තිමට ගියාද 😍. කට්ටිය එක්ක ඉන්නකොට අමාරුකම් අමතක වෙලත් යනවනෙ.

    පෝස්ට් එකේ තාත්තා ගැන කියලා, පෝස්ට් එක ඉවර කරලා තියෙන්නෙත් තාත්තගෙන් නිසා අහන්න හිතුනෙ; නිමල් James Bluntගෙ Monsters සිංදුව අහලා තියෙනවද. Original මියුසික් විඩියෝ එකේ එයාගෙ තාත්තත් එක්කමයි ඉන්නෙ. ඒ සිංදුව 2023 American Idol auditionsවලදි අවුරුදු 18ක Hawaiian boy කෙනෙක් කියනවා. (ඔහුගෙ නම Iam Tongi, ඔහු තමයි ඒ අවුරුද්දෙ තරඟය දිනන්නෙ). ඒ තරඟ වේදිකාවෙම James සහ Iam එකතුවෙලත් ඒ සිංදුව කියනවා. කලින් බලලා නැත්නම් ඒ එක විඩියෝ එකක් බලන්නකො.

    ReplyDelete
    Replies
    1. මම trip එක ගියේ නෑ Lotus. ඒත් ගිය අයගෙන් කෝල්ස් ආවා විස්තරත් එක්ක. Fotos ගෙන්නා ගත්තා සෙරාන් පුතාගෙන්.
      Iam Tongiගේ වීඩියෝ බලල තිබ්බේ නැහැ. James Bluntගෙ Monsters සිංදුවත් බලල නෑ. ඒත් ඔයා කිව්වම ඒ දෙකම බලලයි අද උදේ comment කරන්න පටන් ගත්තේ. ඇත්තමයි- මටත් හෝ ගාලා ඇඬුණා ඒක බලද්දී. ගොඩාරියක් ස්තුතියි, ඒවා ගැන අපට කීම වෙනුවෙන්.

      Delete
    2. ජේම්ස්ගෙ වීඩියෝ එක බලනකොට වඩා දෙතුන් ගුණයක් Iamගෙ audition එක බලද්දි ඇඬෙනවා නේද. දුක හිතෙනම කොටස තමයි වීඩියෝ එකේ අන්තිම හරියෙදි Iam කියනවා "මම අඬන්නෙ තාත්තව මිස් වෙන නිසා කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්, නමුත් මම අඬන්නෙ මම සිංදුව කියද්දි තාත්තා මාත් එක්ක harmonize කරනවා මට ඇහෙන නිසා" කියලා.

      කොහොමද ඒ සිංදුවෙ තියෙන වචනවල ප්‍රබල කම. I'm not your son, you're not my father-
      We're just two grown men saying goodbye
      No need to forgive, no need to forget-
      I know your mistakes and you know mine" මම දන්නෙ නෑ James Blunt බෞද්ධ දර්ශණය දන්නවද කොහොම කෙනෙක්ද කියලා; නමුත් සරළ වචනවලින් ජීවිතේ යථාර්තය පෙන්වන හැටි මට නම් හරි ලස්සණයි .

      Delete
    3. ඔයාට ආයෙමත් පිං Lotus අපට Iam ගැන කිව්වාට.

      Delete
  7. නිදුක් නිරෝගී වේවා. ජයවේවා - සුබ වේවා!

    ඇත්ත. ගොඩක් අය නැති දේ ගැන හෝ අතීතය- අනාගතය ගැන හිත හිතා තැවෙනනව. ඉතිං එහෙම උන්දලාගෙ ඉදිරි පරම්පරාව අරෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද.
    තව news එහෙක දැක්ක ළමයින්ගෙ කොච්චරක්ද මන්දා ගණනකට පෝෂණ ඌනතාව තියෙනව කියල. මේවා කියවද්දී... රටේ අනාගතය ගැන ඇති වෙන්නෙ බයක් 🥺!

    ReplyDelete
    Replies
    1. සුබම සුබ වේවා නමී!

      කොච්චර කටුක අතීතයක් වුණත් සිහි කරද්දී එයින් අපට යම් යම් දේවල් ඉගෙනගන්න හැකියි නේද නමී. මං කරන්නේ ඒක. අනාගතය ගැන හිතමින් එක්තරා සීමාවකට බලාපොරොත්තු ඇති කරගැනීමත් මට අනුව නං වරදක් නෙවෙයි.
      හැබැයි- ඒ ඕනිම දෙයක් කරන්න ඕනි සුබවාදීව හිතමින්- දන්නවනේ, මගේ විදිහට නං හිනාවෙවී.

      Delete
  8. පාසල් යන වයසේ දරුවන් ගැන භය හිතෙන හෙළිදරව්වක් 👉

    https://www.youtube.com/watch?v=71tpBwXYnsg

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නමී.
      ඔයා දාලා තිබෙන ලින්ක් එකෙන් කියවෙන සමීක්ෂණය ගැනම තමයි මගේ අද පෝස්ටුවේ /පාසල් දරුවන්ගෙන් සියයට 15.4ක්/ ලින්ක් එකෙනුත් කියන්නේ.
      හැබැයි මට හමුවෙලා තියෙන්නෙ ප්‍රවෘත්ති වාර්තාව- ඔයාට හමුවෙලා තියෙන්නෙ වීඩියෝවක්. ඒක වඩාත් ප්‍රබලයි!

      Delete
  9. බත වඩා ගත්තම මූණේ ගෑවෙන්නේ නැත්ද ? මම ඔය ඇහුවමයි එහෙම යෙදුමක් . අපේ කිරිබත් හරියන්නේ නැති හේතුවත් හොයාගත්ත . කිර දාලත් තව තැම්බෙන්න අරින එක . තාත්තයි අක්කයි ගැන වැඩිය හිතන්නෙපා. දැන් මිනිස්සු ජිවත් වෙන් වේදනා වැඩි නම් ස්විට්සර්ලන්තේ ගිහින් ජිවිතේ ඉවර කර ගන්නවනේ . ඒකත් එක්තරා විධිහක සිය දිවි නසා ගැනීමක් තමයි .

    ReplyDelete
    Replies
    1. පුදුමයි අජිත් මහත්තයෝ, ඔයා 'කිරිබත වඩා ගන්නවා' යෙදුම අහල නැතෙයි කිව්වම. මට හිතෙන්නේ ඔයා වැඩිය කුස්සිය පැත්තේ කරක් ගහන්න නැතිව ඇති.
      බතක්- කිරිබතක් සම්බන්ධයෙන් ගොඩක් යෙදුම් තියෙනවනේ. ඇටකුණා; ඇට්ටකුණා වෙනවා / කූරූ ගානවා / තැප්පෙනවා / රොස් වෙනවා / බෝ වෙනවා; බෝ කරනවා... වගේ.
      හරි විදිහට කිරිබතක් උයල බැලුවද?
      මර්සි කිලින් එංගලන්තයේත් අනුමතයි නේද?

      Delete
    2. ට්‍රයි එකක් දෙන්න ඕනේ . බිරින්දෑ කිරි බතට ලුණු දානවට කැමති නැහැ . කට්ටිය ස්විට්සර්ලන්තයේ යනවා නේද -Both euthanasia and assisted suicide are illegal under English law. Assisted suicide
      Assisted suicide is illegal under the terms of the Suicide Act (1961) and is punishable by up to 14 years' imprisonment. Trying to kill yourself is not a criminal act.

      Euthanasia
      Depending on the circumstances, euthanasia is regarded as either manslaughter or murder. The maximum penalty is life imprisonment.

      Delete
    3. විස්තරවලට ස්තුතියි අජිත් මහත්තයෝ!

      Delete
  10. සිංහල අව්රුද්ද ගැන මතක ඉතා මිහිරයි. අපිට මතක කාලේ ඉදන් අපේ ගෙදර අවරුදු චාරිත්‍ර අකුරටම කරා මතකයි. පුණ්‍ය කාලයේ බඩගින්න දරගෙන හිටියා, හොරෙන් කැවද මතක නෑ. කැවිලි හදන වෙලාවට බලාගෙන හිටියට කන්න දුන්නේ නෑ. කෑම වෙලාවට ගෙදර සිටි හැම කෙනාටම තත්තා පිඟානට කෑම බෙදලා අත් දෙකෙන් දුන්නා. වැඩ අල්ලන වෙලාවට අපිට පොත් කියවන්න කියලා තත්තා ගහක් හිටෙව්වා මතකයි, බැංකුවටත් ගියා. අම්මා අව්රුද්ද පුරා කබඩ් එකේ තිබුන වතුර බෝතලය අරන් ලිදට ගිහින් කිරිබත් ගුලියක් ලිදට දාල, බෝතලයට අලුත් වතුර එකක් ගෙනාව. නිදි කියපු සෙල්ලම් වලට අමතරව ඉඩෝක් කියලා දෙයක් අපේ ගමේ තිබුණා.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ගෙදරක අම්මා ගනුදෙනු කරන නැකතට ගනුදෙනු කළේ ළිඳත් එක්ක. ලුණු කැට අහුරකුයි, කහ කෑලි ටිකකුයි දාලා ගැට ගහපු පුංචි පොට්ටනියක් ළිඳට දාලා තමයි වතුර කළගෙඩිය පුරෝ ගන්නේ.

      Delete
    2. ඉඩොක්? මම මේ ඇහුවමයි විජේබාහු මහත්තයෝ. මතකයි නම් ඒ සෙල්ලම ගැන අපට කියන්නකෝ හොඳ ළමයා වගේ.

      Delete
    3. විජේබාහු මහත්තයෝ, පහුගිය පොස්ටුවේ ඔයාගේ comment එකට දෙවෙනි උත්තරයකුත් දැම්මා. දැක්කද?

      Delete
    4. ඉඩෝක් කියන්නේ ලොකු අය කල සුදුවක්, අපි හොරෙන් තමයි බලන්නේ. මට මතක විදියට යොදාගෙන තිබුනේ අමුතු හැඩයක සතෙක්ගේ අස්ථියක්, සමතලා වැලි මිදුලක එක විසිකරනවා දාදුකැටේ වගේ. එක වැටෙන පැත්ත අනුව දිනුම්/පැරදුම්.

      දෙවෙනි උත්තරය දැන් බැලුව, මට නිදි ගේ ෆෝන් නොම්බරේ එවන්න, තට්ටයා මහත්තයා ගාව මගේ ෆෝන් නොම්බරේ ඇති (මේකේ ඒවා දාන එක හරි නැනේ)
      මම විජේබාහු

      Delete
    5. ගොඩක් ස්තුතියි විජේබාහු මහත්තයෝ.
      ඉඩොක් සෙල්ලම ලංකාවෙදීද කෙරුණේ?

      Delete
    6. හරි, දැන් අයින් කරන්න

      Delete
    7. අන්න ඇහුවා ප්‍රශ්නයක්? ඔව් මම ඉඩෝක් දැක්කේ අපේ අම්මගේ ගම වන ගිං ගඟ ඉව්රේ ඇති නයාපාමුල බද්දේගම.

      Delete
    8. බද්දේගම (මතක හැටියට) ගඟසිරි හෝටලය හා බේකරියේ කෙනෙක්ව අවුරුදු 50 කට විතර කලින් මම දැනගෙන හිටියා, විජේබාහු මහත්තයෝ.

      ඉඩොක් ගැන කිව්වට ස්තුතියි.
      ඒවා ගැන විස්තර හොයන කෙනෙක්ට කියන්න ඕනි- තව හොයන්නට.

      Delete
    9. හෝටලයේ නම ගඟබඩ, ඒකාලේ ටව්මේ හොඳම හෝටලය, ඉතා පිරිසිදු පුටු මේස තිබුණා මතකයි, බිත්තිවල රාමුකරපු ලොකු අකුරෙන් ආදර්ශපාට එල්ලා තිබුණා. පාසල් කාලයෙන් පසු බද්දේගම රස්තියාදු නැති උනා. අදිවේගේ නිසා ගොඩක් වෙනස් වෙලා

      Delete
    10. ඔන්න බලමු වැඩේ ගිය දුර, දැන් ඉතින් අපි නොදන්න ඉඩෝක් කියන්න පුළුවන්

      Delete
    11. ඉඩොක් ගැන ඊයෙම සිරිබිරිස් හිතවතාට කිව්වා. එයා (ඕස්ට්‍රේලියාවේ හිටියත් හිත තියෙන්නෙ ලංකාවේ) එයාගේ උනන්දුව කොච්චරද කියනවා නං- ඊයෙම ඉඩොක් ගැන විස්තර හොයල එව්වා.

      එළු ඇටයකින් (අස්ථි කොටසකින්) හදාගන්න ඉඩොක් කැටයේ 'කිරිනිස්' 'කුප්පෙ' පැති ගැනත්, සෙල්ලම කෙරෙන හැටි ගැනත් විස්තර ගොඩක් සිරිබිරිස් හිතවතා හොයාගෙන. මේ එයින් එකකට යන පාර.
      https://www.facebook.com/photo/?fbid=756691353230516&set=a519049500328037

      Delete
  11. රජතුමා සියතින් ගිළිහුන මුද්ද ගැනීමට බිමට පහත් විය.
    එවිට පිටුපසින් ආ මහඇමති රජ්ජුරුවන්ගේ පශ්චාත් භාගය මිරිකුවේ ය.
    මහත් කෝපයට පත් රජු,
    "වහාම මොහුගේ ගෙළ සිඳ ලනු!" යි,
    අණ කළේ ය.
    තම සියළු කාර්යයන් හිදී අනලස්ව සේවය සපයන
    මහඇමතිට උන මේ විපරියාසය ගැන
    කෝපය සිඳුනු පසුරජු කල්පනා කළේය.
    දඟ ගෙයි දමාසිටි මහඇමති ගෙන්වීය.
    "මඇමතිය,තොප මේ කළ අවිනීත ක්‍රියාව ගැන
    නිදහසට කරුනු ඇත්නම් කියව!" යි කීය.
    "පස්වාන් දහසකට බුදුවන්ඩ.
    මම හිතුවෙ නෑ ඒ ඔබ තුමා කියලා..
    මම හිතුවෙ ඒ බිසවුන්නාන්සේ කියලා!"

    ReplyDelete
  12. රජ්ජුරුවො "වහාම මොහුගේ ගෙළ සිඳ ලනු!"යි කිව්වා නං කොහොමද මහ ඇමතියා හිරේ හිටියෙ?

    ReplyDelete
  13. අපේ ගෙදරත් ඔහොමයි.මොනවා කරත් අම්මා කන්න් දෙන්නෙ නෑ.නැකත් එනකම් අයියලා දෙන්නයි මමයි ඉතිම් එහෙට කැරකෙනවා, මෙහෙට කැරකෙනවා.ඒකාලෙ නම් හරිම සුන්දරයි.😍

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඔයාලගේ ලොකු අයියත් අම්මට උදව් වෙන්න ඇති- ඔයාලව ආන්බාන් කරගන්න. නේද?

      අපි කාගේත් ළමා කාලෙ තමයි හරිම සුන්දර, S.G.!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්