li Item

Tuesday, April 1, 2025

අම්මාට පිං ඇත! - දෙවෙනි කොටස

“ලොක්කා, අපි ගෙදරට ආවා. මොකෝ? ඇස් ඇරගෙන නිදිද?”

“බර කල්පනාවක හිටියේ අරුණ.”
‘ඒකට කමක් නෑ බොසා. ආයේම පන්සලට එහෙම යන්න ඕනි වුණොත් මට කියන්න. Free of charge! මටත් පිනක්නේ...”
“කියන්නං, කියන්නං. මට හිතෙන්නේ වැඩේට කලින් සැරයක් දෙකක්වත් අපිට එහාට යන්න වෙයි!” මං වහන්සේ එවෙලේ අරුණට එහෙම උත්තර දුන්නත්- නැවත වතාවක් එහි යන්නට උවමනා වුණේ නැත.

YouTube එක මගේ අදහස වෙනස් කරන්නට මුල් වුණ නිසාය, ඒ . එම YouTube වීඩියෝවේ දැක්වුණේ බස් එකක් ඇතුළේ දර්ශනයි.

දරු උපතකින් පස්සේ ඒ අම්මා නිතිපතා දරුවාට මව්කිරි දෙනවා නං කාලයක් යනකල් තව දරුවෙකු පිළිසිඳ ගන්නැතිලු.

ඒ බසය කොහේදෝ දුර-බැහැර නගරයක සිට දිනපතාම පිළිකා රෝහල වෙත පැමිණෙන්නකි. අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට එන රෝගීන් හා රෝහලේ නේවාසිකව සිටින රෝගීන් බැලීමට පැමිණෙන ඥාතින් සඳහාය ඒ බසය යොදා තිබුණේ. එම බසයේ මඟියන්ගේ බස් ගාස්තුව ගෙවන ‘දානපති පිරිසකි’ ඒ වීඩියෝව YouTube වෙත මුදා හැර තිබ්බේ.

ඒ වීඩියෝව නරඹන වෙලාවේ මගේ සිත අතීතයට දිව්වේ නිතැතිනි.

ඒ 1960- 70 අතර කාලය වගෙය...
පිරිමියෙකුට පැදුර පෑගුණත් ගැබ්බර වෙන ජාතියේ පරම්පරාවකට අයිති අංගනාවක වුණු අපේ අම්මා 1953දී (වයසත් වැඩියෙන් දාලයි) කසාද බැන්දේ. ඊට පස්සේ ඉතිං- අවුරුදු දෙකෙන් දෙකට ‘දිසානායක clan’ එකට අලුත් සාමාජිකයෙක් හරි සාමාජිකාවක් හරි එකතු වුණා. අපේ පවුලේ දරුවන් දහ දෙනාගෙන් පස් දෙනෙකුම 1965 වෙද්දී ඉපදිලා ඉවරයි.
(තවමත් මං කල්පනා කරන කාරණයක් මේ. දරු උපතකින් පස්සේ, ඒ අම්මා නිතිපතා දරුවාට මව්කිරි දෙනවා නං කාලයක් යනකල් තව දරුවෙකු පිළිසිඳ ගන්නැතිලු. එහෙමයි තජකයෙ පවුල් සැලසුම් වැඩසටහන්වලදී හෙම කියැවුණේ. ඒ තියරියත් අපේ මව් යානයට ගැලපිලා නැති හැටි! දරුවාට කිරි දෙන අතරෙමයි, අපේ අම්මා ආයෙම ගැබ්බර වෙලා තියෙන්නෙ.)

ඉතිං, එතකොටත් තාත්තාට ත්‍රොම්බෝසිස් හැදිලා. තාත්තා නිසියාකාරව රාජකාරියට නොගිය නිසා රේල්ලුවේ ‘ගිනි භටයා’ job එකත් නැති වෙලා. ගෙදරත් හොඳටෝම හාඩප්!

ඔහොම තියෙද්දී අපේ ගෙදර කොහොමද තියෙන්න ඇත්තේ කියලා හිතා ගන්නකො. හදිසියේ හරි අපෙන් කෙනෙකුට උණක් හෙම්බිරිස්සාවක් හැදුණොතින් අම්මා පරල වෙනවා. “ඇයි යකෝ මේ ගෙදර තියෙන ජරමර මදිවටද තව ලෙඩත් හදා ගන්නේ? බඩ ගාපල්ලකෝ ඉතිං ඉස්පිරිතාල ගානෙ...” දෙස් දෙවොල් තිය-තියා තමයි අම්මා කුස්සියේ රාක්කය ගාවට යන්නේ.

ඒ අම්මා අපට අල්ලන්නවත් නොදී, හරිම පරෙස්සමෙන් ආරස්සා කරලා තියාගෙන ඉන්න ‘රුබාබ් වතුර’ බෝතලය ගන්න. එයා එයින් හැන්දක් ලෙඩාට දෙන්නෙත් බොහොම සීරුවෙන්. දවසකින් දෙකකින් උණ නොබැස්සොත් තමයි ලෙඩේ.
“ඉතිං පලයල්ලකො ඉස්පිරිතාලේ.” එහෙම කිව්වත් අම්මා ලෙඩාවත් උස්සගෙන කළුබෝවිල (දකුණු කොළඹ) ඉස්පිරිතාලෙට ගියේ නං හරිම කලාතුරකින්- නොගිහිං බැරිම තත්ත්වයක් උදා වුණොත් විතරයි. එහෙම නොගියේ වෙන මොකවත් නිසා නෙවෙයි; ඒ සොච්චම් සත ගණනේ බස් ගාස්තුව වුණත් දරා ගන්න බැරි මට්ටමක අපි උන්නු නිසා.

එදා බස් එකේ යන්න සත දහයක්- පහළොවක් නැතිව හිටි අපටත් කවුරුන් හරි බස් ගාස්තුව ගෙව්වා නම්! (පසු පෙළ වමේ සිට- නිදි, අම්මා -සමන්තිව වඩාගෙන- සුනිල්, (ඉදිරි පෙළ- ලොකු නංගි පුෂ්පා, මානෙල්, අජිත් හා අනිල්)

(දන්නව නේද, ඒ කාලෙ නුගේගොඩ ඉඳල කළුබෝවිලට බස් ගාස්තුව -full සත පහයි. Half සත තුනයි-). ඒකත් අපට නං ලොකු බරක්... ඒ බරෙනුත් නිදහස් වෙන්න අපි බෙහෙත් ගත්තේ පන්නිපිටියේ ආණ්ඩුවේ ඩිස්පැන්සරියෙන්. අපි එහාට ගියේ පයින්. (ඒකට කිව්ව නම මගේ මතකයේ තියෙන විදිහ හරිද මන්දා. හැබැයි පරණ පාර ඔස්සේ කොට්ටාව පැත්තට යන හැම දවසකම මගේ ඇස් ඒ ඉසව්වේදී දකුණු පැත්තට හැරෙනවා. දැන් එතැන ඒ බේත් ශාලාව නැතත්.)

පවුලේ වැඩුමල් දරුවා විදිහට නිමල් දිසානායක කොල්ලා අම්මත් එක්ක එතැනට යනවා තවමත් මගේ ඇස්වල... අම්මා ඇඳගෙන ඉන්න පරණ හම්පඩ වොයිල් සාරිය- නිදි ඇඳගෙන ඉන්න ජංගි කලිසම... එකම චීත්ත කමිසේ...

ජීවිතේ අපට විහිලු කරන හැටි!
(ඒ 1965 මනස් පින්තූරයක් නම්... මේ ඊට අවුරුදු හැටකට පස්සේ..) එදා බස් එකේ යන්න සත දහයක්- පහළොවක් නැතිව හිටි අපටත් කවුරුන් හරි බස් ගාස්තුව ගෙව්වා නම්!
පහුගිය කොටසට comment එකක් එවමින් Lotus රසිකාවිය කියල තිබ්බ විදිහට මං YouTube රසිකයෙක් තමයි. ඒත් ගණනකට. එහෙම වෙලාවක තමයි අර මුලින් කියපු වීඩියෝව දැක්කේ. ඒත් ඒ වෙලාවේම නං ඒක මගේ හිතට වැදුණේ නෑ!
ඒ වෙනකොටත් අර පන්සලට දානයක් පූජා කරන්නට පිඹුරුපත් අඳිමින් උන්නේ.

මතකයි නේද අපේ දයානන්ද බක්කරේ මුදලාලි මහත්තය. හඳුන්ගමුවෙ පංසලේ සුමන පොඩි සාදුට සූකර මාංශත් එක්ක රාත්තිරි දානේ පිරිනමපු උපාසක මහත්තයා...

දයා මට කියලයි තිබ්බේ එයා මට උදව් කරන විත්තිය. “සල්ලි දෙනවට වැඩිය හොඳයි නිමල් අයියේ දානේ වේලකට ඕනි කරන බඩු සේරම ගෙනිහින් දෙන එක. තමුසෙ ඕනේ කරන බඩු ලැයිස්තුව හරි ගස්සනවකෝ. වෙන කොහෙන්වත් ගන්න බැරි තරං අඩුවට මං ඒ බඩු සේරම ඔයාගේ ගෙදරටම ලැබෙන්න සලස්සන්නං. සේරම ට්‍රාන්ස්පෝට් මගෙන්... දානේ දවසටත්...”

“වැඩේ සූදානං කරගෙන අපටත් කියන්නකො...” කියමිනි, තවත් හිතවතුන් උන්නේ.

ඒ අතරේය අර YouTube වීඩියෝව මගේ කල්පනාවල උඩට උඩට මතු වෙන්නට ගත්තේ.
“මර්වින්, මං ළඟදී දවසක මෙහෙම වීඩියෝ එකක් දැක්කා. මට පිළිකා රෝහල ළඟට ගිහිං මේ බස්වල තොරතුරු හොයල බලන්න ඕනි. යමුද?”
“උඹට යන්න ඕනි දවසයි වෙලාවයි විතරක් තීරණේ කරලා කියපං බං... මං එක්ක යන්නං.”

දුර බැහැර සිට අපේක්ෂා රෝහලට එන බස් සියල්ලම දහවල් එකහමාරට කලින් ආපසු යන බවයි මා සොයා ගත්තේ. (එහෙම එන කුරුණෑගල බස් රියේ රියදුරු මහත්තයයි- කොන්දොස්තර මහත්තයයි තමා මේ.)

ආයෙමත් පුංචි සෝදිසියක්.

දුර බැහැර සිට අපේක්ෂා රෝහලට එන බස් සියල්ලම දහවල් එකහමාරට කලින් ආපසු යන බවයි මා සොයා ගත්තේ. “ඉස්පිරිතාලෙට එන බස් ඔක්කොම ඒ අවට තැන්-තැන්වල park කරල තියෙන විදිහයි පෙනෙන්නේ. අපි එකොළහමාරට එතෙන්ට යං.”

මර්විනුත් මාත් එතැනට යද්දී ඉස්පිරිතාලය පෙනෙන තෙක් මානයේ නවත්තල තිබ්බේ එක බස් එකක් විතරයි. “නිමලො, ඔයාට පුළුවන්නෙ තනියම අර බස් එකට ගිහිං විස්තර අහගන්න... මම ගිහිං බලන්නං අනිත් බස් නවත්තල තියෙන්නෙ කොහේද කියලා.”

අපේ අදහස කිව්වාම ඒ බස් එකේ ඩ්‍රයිවර්- කොන්දොස්තර මහත්වරුන් දෙන්නාම මට උදව් කළේ උපරිමෙන්.
“ලොකු පිංකමක් මහත්තයෝ ඔයාල කරන්ඩ හදන්නේ. සමහර ලෙඩ්ඩුන්ගේ ගෙදර අය මෙහාට එන්නේ කැටයක් කඩල බස් ගාස්තුව හොයාගෙන. ඒ තරමටම අසරණ මිනිස්සුත් සෑහෙන්න එනවා”
“ගෙදරක අම්මට හරි තාත්තට හරි පිළිකාවක් හැදුණයි කියන්නේ ඉතිං ඒ පවුලම ලොකු වළකට වැටුණා වගේ තමයි. දරුවන්ව තනියෙන් ගෙදර දාල ලෙඩාව බලන්න එන්නයැ? එක සැරයකට වුණත් පොඩි වියදමක්ද?”
“මෙහාට ලංකාවේ හතර වටෙන්ම බස් එනවා. අනුරාධපුර- පොළොන්නරුව- මොනරාගල- ඇඹිලිපිටිය- වව්නියාව- මහියංගනේ- නුවර... හැම තැනින්ම...”
“දැන් පිළිකාව කියන්නෙත් උණ හෙම්බිරිස්සාව වගේ ලෙඩක් වෙලා.”

ඇත්තය! ඇත්තම ඇත්තය!!
‘1985 දී ශ්‍රී ලංකාව තුළ අලුතින් සොයාගෙන තිබුණේ පිළිකා රෝගීන් 5,012ක් පමණයි. නමුත් ඒ ඒ වසර තුළ අලුතින් හඳුනාගන්නා පිළිකා රෝගීන් ප්‍රමාණය ක්‍රම- ක්‍රමයෙන් වැඩි වෙලා 2020 වසර වෙනවිට අලුතින් හඳුනාගත් පිළිකා රෝගීන් ප්‍රමාණය 37,648 දක්වා වැඩි වී තිබෙනවා. මෙම ප්‍රමාණය 1985 දී හඳුනාගත් ප්‍රමාණයට වඩා
හත් ගුණයකින් වැඩි වීමක් බව පැහැදිලියි.’

එහෙම වාර්තා වෙලා තිබ්බේ 2023 අවුරුද්දෙ. දැන් තත්ත්වය ඊට වඩා නරක් වෙලා විය යුතුයි.
ඒත් ඒ විත්තියක් මං අර කොන්දොස්තර මහත්තයාට කියන්න ගියේ නෑ.

මොකද, ඒ කොන්දොස්තර මහත්තයා ටිකට් කඩන්නෙක් විතරක් නෙවෙයි; තොරතුරුත් එකතු කරන; ඒවා පතුරුවන්නට පටන් ගත්තාම නොනවතින්නෙකු බව ඒ වෙද්දී හොඳටම පෙනෙමින් තිබ්බ නිසා... “මම අපේ මේ ඩ්‍රයිවර් අයියටත් කිව්වා මහත්තයෝ. කෑම... කෑම... අපි කන කෑම තමයි මේ ලෙඩේට මුල. ඉස්සරත් මෙච්චර පිළිකා ලෙඩ්ඩු හිටියැයි?” එයා හැදුවේ එයා දැනගෙන උන් ඒ සේරම විස්තර ටික එක දවසෙන්ම මට කියන්නයි.

“මල්ලී, මේ මහත්තයට වෙනින් වෙලාවක කියන්න ඔය විස්තර ඉතුරු කරලා තියා ගනිං. දැන් මහත්තයට ඕනේ කරන දේවල් කියා දියං, මිනිස්සු එන්න ඉස්සෙල්ලා.” එතැනදී මාව ගලවා ගත්තේ රියැදුරු මහත්තයා.

තෑගි බෝගත් අරගෙන- ෂෙහානි හා දරු දෙන්නාත් කැටුව ආ අකලංක...

“ඔක්කොම බස් මෙතැන park කරන්න ඉඩ නැහැනෙ මහත්තයෝ. ඒවා ඉඩ තියෙන  තියෙන තැනක නවත්තගෙන ඉඳලා දොළහමාර විතර වෙද්දී තමයි මෙහාට ගේන්නේ. එකහමාර විතර වෙද්දී බස් ඔක්කොම ලෝඩ් කරගෙන පිටත් වෙලත් ඉවරයි. ඉතිං, මහත්තයල සේරම බස්වලට බස් ගාස්තුව ගෙවන්න එනවා නං දෙතුන් දෙනෙක්ගේ කට්ටියක් විතරක් ඇවිල්ල මදි වෙයි නේද?”

පැන ගන්නට අමාරුම කඩුල්ල ඒක වාගේය.

දැන් මගේ හිත-මිතුරන්ගෙන් වැඩි දෙනෙකුම නිවාඩු අඩුම අයයි; ඉතාමත් කාර්ය බහුල අයයි. ‘කාවද ඉතිං වැඩේට අල්ල ගන්නේ? අල්ල ගත්තටමත් මදිනේ... වැඩේට ගැළපෙන අය වෙන්නත් එපැයි! මර්වින්... නමී... වෙන? ආ.. තමිරත් එයි.’

ඒ තුන් දෙනාම කැමැත්ත දුන්හ.
ඒත්... ඒත්... මගේ සැලැස්ම වුණේ එක බස් රථයකට තිදෙනෙකු බැගින් යවන්නටය. එහෙම ගණන් බැලුවම,  අඩුම තරමින් බස් හතරකටවත් පිරිස යවන්නට නං දොළොස් දෙනෙකුවත් උවමනාය...

“මහප්පේ... ඔයා අද දවසම ගෙදර ඉන්නවද?”
“අකලංක! ඔයා? කොහෙ ඉඳලද...”
“අපි හදිසියේ ලංකාවට ඇවිත් යන්න ආවා. අද මහප්පව බලන්න එන්නයි හදන්නේ.” අවුරුදු හතකට කලින්,
අකලංකය, මගේ blog අඩවිය සකසා දුන්නේ; ඊට ටික කාලයකට පස්සේ, ලංකාවේ තත්ත්වය ගැන කලකිරී දරුවන් දෙන්නාත් එක්කම සිංගප්පූරුවට ගියේ.

තෑගි බෝගත් අරගෙන- ෂෙහානි හා දරු දෙන්නාත් කැටුව ආ ඒ හාදයාටත් මට මතු වී තිබෙන ගැටලුව කිව්වා විතරය. “අපේ ෂෙහාන්ටත් කියන්නකෝ මහප්පේ... ප්‍රමෝද්‍යත් එයි. මමත් ඒ දෙන්නට කියන්නං...” අකලංක කිව්වේය.

ඒ විතරක් නොවේ, එවෙලේම රුපියල් 50,000/-කුත් මගේ අතේ තිබ්බේය.
“...මේක මහප්පලා
නැනා වෙනුවෙන් කරන්න හදන වැඩේට මගෙන්.”
“තවම plan කරනවා විතරයිනෙ මිනිහෝ.”
“කමක් නෑ... කමක් නෑ. අපි ඔක්කොම දන්නවනේ මහප්පගෙ හැටි. ඔයා කීයටවත් මේ සල්ලි වෙන වැඩකට නොගන්න බව. තව දවස් තුන හතරයි මහප්පේ අපි මෙහෙ ඉන්නේ. දන්නවනෙ, ඒ රටවල නිවාඩු නැහැනෙ මෙහෙ වගේ.”
   

අකලංකලා පිටත්ව ගිය සැණෙන්ම මං කළේ අර රුපියල් 50,000/- වෙනමම කවරයකට දමන එකයි; විස්තරයක් ලියූ කඩදාසියකුත් එක්ක. ‘අම්මාට පිං පිණිස කරන්න  හදන වැඩේට අකලංක දුන් සල්ලි- පනස් දාහයි’.
දැන් හරි. හදිසියේ මං මැරුණත් ගෙදර කට්ටිය දන්නවා මේ සල්ලි මොනවටද කියලා.

ඊට පස්සේ පෙනුණේ මං වහන්සේ මැරෙනකල්මත්; කූරියා ගහනකල්මත් ඒ පිංකම කරන්නට  නොලැබෙන විදිහකි. මගේ ලෙඩ ගතිය වැඩි වුණේය; රටේ දේශපාලන තත්ත්වය උණුසුම් වුණේය; එක දිගටම වගේ වහින්නටත් පටන් ගත්තේය!

ලොකු අයිය දන්නවද, අපේ ෂෝනා තමයි ඒ wedding එකේ දෙවෙනි මනමාලයා...

එහෙම නමුත් අර පනස්දාහට තව 25,000/-කුත් එකතු වුණේය. ඒ මෙහෙමය.

චූටි නංගිගේ සැමියා සුදිත්, ලොකු පුතා ෂෝනුත් එක්ක ලංකාවට ආවේය. ඒ සුදිත්ගේ ඥාති පුත්‍රයෙකුගේ විවාහ මංගල්‍යයකට සහභාගී වෙන්නටය. “ලොකු අයිය දන්නවද, අපේ ෂෝනා තමයි ඒ wedding එකේ දෙවෙනි මනමාලය...”
“මරුනෙ Sudith! කාලෙ ගෙවෙන ඉක්මන... මට තවම මතකයි
ඔයාලගේ වෙඩිම තිබ්බ හැටි... ෂෝන්ලා පොඩි දවස්වල ලංකාවට ආවාම දඹුල්ලේ trip එක ගිය හැටි, කණ්ඩලම වැවේ නෑව හැටි... එහෙව් පුතා දැන් මටත් වැඩිය උස ඉලන්දාරියෙක්!”

සුදිත්ලා මාව බලන්නට ඇවිත් තිබ්බෙත් බරටම කද මලු උස්සාගෙනය. ඒ මදිවාට වගේ රුපියල් 25,000/කුත් මගේ සාක්කුවට එබුවේය.
“එපා කියන්නෙපා ලොකු අයියේ. මහ ලොකු ගණනක් නෙවෙයිනෙ. ඔයාට බෙහෙත් ගන්න තියා ගන්නකො.”
”ඔයාලා ගෙනත් තියෙන තෑගි හොඳටම ඇති සුදිත්. මං මේ සල්ලිත් දානවා අපේ අම්මා වෙනුවෙන් කරන්න යන පිංකමකට.”

විස්තර ඇසුවාම සුදිත් upset වුණේය!
“ලොකු අය්යා ඕක තියාගන්න. මම දීපානිත් එක්ක කතා කරලා ඒ පිංකමට සල්ලි එවන්නං.”
“එපා, එපා. අම්මගේ මරණෙ වෙලාවෙයි- හත්දවසේ; තුන් මාසේ දානේ වෙලාවලයි ඔයයි චූටි නංගියි හවුල් වුණු තරම හොඳටම ඇති. මේ මදැයි...”

එහෙම තියෙද්දීය මං ෂෙහාන්ට (අකලංකගේ නැඟණිය සිඟිතිගේ හබියාට) ඇමතුවේ.
“මහප්පට කී දෙනෙක්ද ඕනි? මම යාළුවො කීප දෙනෙකුට කතා කරන්නං. හැබැයි මගේ ඔක්කොම යාළුවො ඉන්නේ වත්තල. පල්ලියේ චැරිටි වැඩ කරල තියෙන නිසා ඔයාගෙ වැඩේටත් නියමෙට match වෙයි. ප්‍රමෝද්‍යත් නිවාඩුවක් දාලා හරි එයි...
මහප්පගෙ යාළුවො තුන් දෙනෙක්නේ ඉන්නවයි කිව්වේ. එතකොට ඔයාත් එක්ක හතර දෙනයි...”
“පොඩ්ඩක් හෝව් ෂෙහාන්! මාව count කරන්න එපා. හරියට ඇවිද ගන්නවත් බැරුව ඉන්න මේ ලෙඩ මරගාතේ එතෙන්ට ගිහිං මොනව කරන්නද? මම එන්නෑ... ඒත් ගෙදර ඉඳලා ඔයාලට කෑම ටිකක් හදනවා- වැඩේ ඉවර වෙලා ආවාම කන්න.”

“පිස්සුද මහප්පේ? මං එයාලට අපේ ගෙදරදී සංග්‍රහ කරන්නං. ඔයා මහන්සි වෙන්න එපා.”
“Date එක ෆික්ස් කර ගත්තට පස්සේ, මම දවස් දෙක තුනකට කලින් ඉඳලයි එක එක කෑම හදන්නේ... එතකොට මහන්සියක් නෑ ෂෙහාන්.”
“එහෙනං මහප්පේ, මම අපේ එක්කෙනාටත් කියන්නං මොන-මොනවා හරි හදන්න. මොනවද අපි හදන්න ඕනි...”   

“ෂෙහාන්, ඔයාලටත් මොනා හරි හදන්නම ඕනි නං තක්කාලි සැලඩ් එකක් හදන්න.”
“Ok මහප්පේ!”

ඒ වැඩේ ලීඩ් කරන්න ෂෙහාන්ට පැවරුවා. (ෂෙහාන්, සිඟිති හා දරු දෙදෙනා)
“ලොකා, හිමන්‍යාගේ වැඩ අස්සේ මට නං ඔය වැඩේට එවෙන එකක් නෑ.” පෙබරවාරි 22 වෙනි සෙනසුරාදාට අපේ පිංකම යොදා ගන්නා විත්තිය කිව්වාම මානෙල් තැවුණාය.

“තමුසෙ ඇවිත් මොනව කරන්නද හලෝ... මාත් එහාට යන්නෑ... ඒ වැඩේ ලීඩ් කරන්න ෂෙහාන්ට පැවරුවා. එයා ඒක කරයි!”

“එහෙනං මේකත් ඒ වැඩේට ගන්න.” මානෙලුත් රුපියල් 5,000/- නෝට්ටු දෙකක් ගෙනවිත් දික් කළාය. “තමුසෙල පහුගිය ටිකේ කරපු පිං මදැයි. එකක් විතරක් හොඳටම ඇති! මේක ගත්තමත් ඔක්කොම අසූ දාහක් වෙනවා. තවම මං හිතාගෙන ඉන්න ගණන මේකට එකතු කළෙත් නැහැනෙ...”

“එහෙනං අපිට කරන්න දෙයක් නැහැනෙ ලොක්කා. 22 වෙනිදා ආවම හරිනේ. එදාටනෙ වැඩේ කෙරෙන්නේ. කීයටද මං එන්න ඕනි?” නමී ඇහුවේ එතකොටයි. (Blogs හරහා මිතුරු වුණු නමී දැන් මගේ මිතුරන්ගේ මිතුරෙකි; අපේ පවුලේත් හිතවතෙකි; විශේෂයෙන් හිමන්‍යා දෝණියන්දෑගේ.)  

“පිස්සුද මිනිහෝ? කවුද කිව්වේ ඔයාට කරන්න වැඩ කොටසක් නැහැ කියලා. ඔයාට වැඩ දෙක තුනක්ම තියෙනවා කරන්න.”
“උයනකොට උදව් වෙන්නද?
මානෙල් දන්නවද, ඔයාලගේ ලොකු අයියා හිටි ගමන් මට කියනවනෙ පොල් ගෙඩියක් ගාලා දෙන්නයි කියලා- නෙවිල් ලොක්කා එළවලු කපන අතරේ...”
“අපේ ලොකා එහෙම තමයි නමී. හාමුදුරු නමකට හරි කියලා වැඩ කරවාගන්න අපේ ලොකා දෙයියා!”

තෙවෙනි කොටසටà

21 comments:

  1. ශෝන් මල්ලි මං අන්තිමට දකිනකොට මගේ ලොකු පුතා තරම් වත් ලොකු නැහැ.කාලය කොච්චර ඉක්මනට ගෙවිලද.
    අර දාලා තියන පරණ පින්තූරෙ අපේ තාත්තා චූටි අයියාමයි.Photocopy එකක් වගේ එයා තාත්තගෙ.මගේ ඔෆිස් එකේම වැඩ කරන මිස් කෙනෙක් ඉන්නවා අපේ පාරෙ.මේ ළගදි මම ඉන්නෙ කොයි ගෙදරද ඇහුවම මම විස්තර කිව්ව.එතකොටම ඇහුවෙ බතික් ගෙදරද කියලා.ඒමිස් ලොකු තාත්තව බොහොම හොදින් දන්නවා.පුශ්පා නැන්දා ගැනත් ඇහුවා.තාත්තා ගැනත් ඇහුවා.නැනා ගැනත් ඇහුවා.ලොකු තාත්තගෙම වයස වගේ ඇති.මට වෙලාවකට පුදුම හිතෙනවා මේවා කියවනකොට.අද අපි ජීවත් වෙන මේ පුංචි බිම් කඩේ කොයිතරම් මතක සටහන් තියනවද කියලා.ඒගෙදර දිසානායක පවුල් කීයක් ජීවත් වුනාද.තව කොච්චර මතක සටහන් එකතු වෙයිද ඔතනට.💜️💙💜️💙💜️💙💜️💙

    ReplyDelete
    Replies
    1. ඒ පුංචි බිම් කඩේ සිද්ද වෙන අලුත් දේවල්වල මතක සටහන් ඔයාට තමයි ලේඛනගත කරන්න වෙන්නේ...
      අර මිස්ගේ නම මොකක්ද?

      Delete
  2. Replies
    1. ගොඩාක් ස්තුතියි Pra Jay මහත්තයෝ.

      Delete
  3. මේක නම් ගොඩක් හොඳ වැඩක්. නිමල් අනිත් කොටසත් ලිව්වම බලමු වැඩේ කොහොමද කළේ කියලා.

    "මං YouTube රසිකයෙක් තමයි. ඒත් ගණනකට". ඒක නම් හොඳයි. ඕනවට වඩා බලලා, මමත් ලංකාවෙ ඕප දූප
    ඔක්කොම ගැන අප්ඩේටඩ් 😁

    "ඊට පස්සේ පෙනුණේ මං වහන්සේ මැරෙනකල්මත්; කූරියා ගහනකල්මත් ඒ පිංකම කරන්නට නොලැබෙන විදිහකි" 😊. මැරෙන එකයි, කූරියා ගහන එකයි දෙකම එකයි නේද. එකම තේරුම තියෙන යෙදුම් දෙකක්ම එක වාක්‍යයෙ ලිව්වෙ මොකෝ.

    ReplyDelete
    Replies
    1. වැඩේ කෙරුණු විදිහ තමයි ඊළඟ කොටසෙ එන්නේ.

      YouTube එකේ තියෙන සේරම බලන්න නං Lotus දවසට පැය 72ක් තිබිලත් මදි නේද?
      එකම තේරුම තියෙන යෙදුම් දෙකක්ම එක වාක්‍යයෙ ලිවීමත් කලාවක්. කියන අදහස වඩාත් අවධාරණය කරන්නයි එහෙම කරන්නේ. ඒ වෙලාවට 'දෙතිත- :' නෙවෙයි 'තිත් කොමාව- ;' යොදා තියෙනවා ඔයා දකින්න ඇති නේද?

      Delete
  4. +++++++++++++++++++👌
    වැඩේ හොඳයි, හැමෝම දෙනකොට පැන-බර
    වැටක් ගහලා ලිස්සන්නට මට අවසර

    ReplyDelete
    Replies
    1. ලිස්සන වැඩේ නං බස්සන්හට තහනං
      ඉගිල්ලෙන්න නං අවසර ඕනි පදං!

      දැන් සනීපයි නේද මහත්තයෝ?

      Delete
    2. ලිස්සන වැඩේ නං බස්සන්හට තහනං
      ඉගිල්ලෙන්න නං අවසර ඕනි පදං!

      දැන් සනීපයි නේද මහත්තයෝ?

      Delete
    3. ස්තූතියි හොයනවාට මා ගැන
      ඉරිදා ගියා තැනකට මම යන එන
      ඇවිස්සුනා ලෙඩේ ටිකක් ඒ ගමන
      පෙති හතරකින් යාන්තමට වුනි සමන

      ලොකුවට අමාරුවක් නැතත්, ඉවරයක් නැති එකයි අවුල.

      Delete
    4. හමු වී තියෙනවද ඇහුවොත් කියමි 'නැති'
      'දන්නවද' පැනයටත් උත්තරය 'නැති'
      එනමුදු සුහදතාවය අඩු නැතිව ඇති
      බකුසාණෙනි, සුහදයන් තතු මම සොයමි නිති

      අවුල අවුල් කර ඉක්මනින් නිරෝගී වෙමු!

      Delete
    5. අපේ ගමන් මඟ කිසි දා "ක්‍රොස්" නොවෙතී
      ගම රට වෙනස්, දැන් බැඳීම අඩුව ඇතී
      නොදුටුවාට හිතවත්කම බොහොම වෙතී
      ඉස්සො වඩේ, ටේස්ට් කඩල හිතේ ඇතී

      Delete
  5. වැඩේට සහභාගී වෙන්න බැරි වුනා , අන්තිම මොහෙතෙ වගේ දැනගත් නිසා . හොඳින් ගියානේ . ඒ ගැන සතුටුයි .

    ReplyDelete
    Replies
    1. වැඩේ හොඳට කෙරුණා අජිත් මහත්තයෝ. ස්තුතියි!

      Delete
  6. මේ ලියන්නෙ දෙයක් මගේ දැණුන හිතට
    නිදිගෙ ලින්ක් දැමිල්ලත් වාගෙයි තරිකිට
    "අකලංකය, මගේ blog එක " බැලූ කලට
    "අජාසත්ත දෙවනි කොටස" දුන්නා හොම්බට

    ReplyDelete
    Replies
    1. මගේ විත්ති අවුරුදු ගණනක් මතක
      තියා ගන්නෙ කවුදැයි හිතෙනා විටෙක;
      නවක පාඨකයො ගැන සිහි වෙන විටෙක
      Link යොදමි වැදගත් තැන් ටික-ටිකක

      එයින් පලක් තියෙනා බව හොඳින් පෙනෙයි
      (ඉගැන්නුවේ කොළොම්පුරේ අසංගමයි)
      පංච තන්තරේ විදිහට අගෙයි; ඔබියි
      ලින්ක්ස්වලට යන්නේ ටික දෙනෙකු තමයි

      Delete
  7. වැඩේ පටන්ගත්තු හැටි දැනගත්තෙ මේක කියවල තමා හිටං 😁​👌​!

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ නමී, ලියාගෙන යනකොට තමයි මටත් තේරුණේ කා එක්කවත් කියන්න තරම් වැදගත්කමක් නැහැ කියල හිතපු- ඒත් අදාළ සිද්දි කොච්චර තියෙනවද කයලා.

      Delete
  8. "නිරෝගී කාලයේදී ඔබ ආහාර ගත යුත්තේ ඖෂධ ලෙසය. නැතහොත් රෝගී වූ විට ඔබට ඖෂධ ගැනීමට සිදු වන්නේ ආහාර ලෙසය" මෙහෙම FB post එකක් දැක්ක. ආයුර්වේද කියමනක් වෙන්ටත් පුලුහං. කියමන වටිනා හන්ද මෙතැන ගෙනත් ඇලෙව්ව

    ReplyDelete
    Replies
    1. ඉතාම වටිනා කතාවක්. ගොඩක් ස්තුතියි ගෙනත් ඇලෙව්වට.

      "නිරෝගී කාලයේදී ඔබ ආහාර ගත යුත්තේ ඖෂධ ලෙසය. නැතහොත් රෝගී වූ විට ඔබට ඖෂධ ගැනීමට සිදු වන්නේ ආහාර ලෙසය"

      Delete
    2. @ නමියා

      මේක බලන්න මේකේ සමන්ත බඩ්ඩ කියනවා සංකල්පයක් "ඖෂධ වෙනුවට ආහාර " කියලා

      https://www.youtube.com/watch?v=tQvP34TIQMc&pp=0gcJCWIABgo59PVc

      සමන්ත බඩුව කියන කතා ඇත්ත ද කියලා නම් දන්නේ නැත මූ මේකේ දෙන පොරටෝක් ඇත්ත වෙන්න පුළුවන්ද?

      https://youtu.be/tQvP34TIQMc?si=s6C8XvGztY4tmY99

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්