... එහෙත් න්‍යායයන් ගැන කතා කිරීම; පොදු කරුණු ගැන කතා කිරීම එකකි. පෞද්ගලික කරුණු නොවලහා හෙළිදරව් කිරීම ඊට හාත්පසින්ම වෙනස් එකකි; අසීරු දෙයකි.
මට එහෙම හිතෙද්දීය, ඩැඩා
තවත් කඩයිම් ප්‍රශ්නයක් ඇසුවේ. “උඹ හොඳටම සැටිස්ෆයිඩ්ද උඹේ
sex life එක
ගැන... ඒක ගැන උඹට කිසිම ළතැවිල්ලක්; කනගාටුවක් නෑ...?”
“No regret!” මට කියැවුණේ ඉබේමය. Dadaට වුණත් බොරුවක් කියන්නේ ඇයි? අපේ තාත්තා අපට
උගන්වා තියෙන්නේ ‘ඇත්ත කියන්නයි,
බිම ඉඳ ගන්නයි බය වෙන්න එපා’ කියලාය. ඉතිං...
![]() |
ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ ‘කොඩි ගහ යට’
ටෙලියේ ‘ෂා’ නොහොත්
‘ෂානි’ චරිතයට
පණ දෙන්නී රීනා ද සිල්වායි. රීනා සංක්‍රාන්ති ලිංගික සුරූපිනියකි! |
මගේ ජීවිත කාලය තුලදී කිසි විටෙක මා
බාලාපචාරවලට සම්බන්ධවී නැත... තෙවෙනි පාර්ශවයක් වී කිසිදු සබඳතාවක් කඩාකප්පල් කර
නැත. මගේ මොන අඩුපාඩු ඇතත්, දුර්වල තැන් ඇතත් මට කෙනෙකුගේ දෙස කෙලින්ම බැලිය
හැක්කේ එබැවිනි; ප්‍රෞඪ ලෙසින් මට හිස කෙලින් තියාගෙන සිටිත හැක්කේ එබැවිනි.
මෙතැනදී මට අත්වී තිබෙන විශේෂ වාසනාවක්
ගැනත් කියන්නටම වෙයි!
උපතේ සිටම, කොතරම් සුකුමාර ගතියක් තිබ්බත් මට තරමක අහංකාරකමකුත් හිමි වී තිබිණි. ‘අහංකාරකම’-
මෙතැනට ඔබින හරිම වචනය නොවෙන්නටත් පුළුවන්ය. නිමල් දිසානායකට අදාළව- ඒ වචනය වඩාත්
විස්තර සහිතව කියනවා නම්... ‘මුරණ්ඩුකමක්- ඍජු බවක්- දරදඬු ගතියක්... ඒවාට එකතු
වුණු මුඛරිකමක් හා අන්‍යයන් දමනය කරගත හැකි විදිහේ යම්කිසි හැකියාවක්...’
ඒ නිසාමදෝ මගේ ලිංගිකත්වය පිළිබඳව මට සමාජයෙන් අවමන් විඳින්නට සිදුවී නැත! (සමහර
විටෙක මගේ අනභිමුඛයේ සමාජය ඒ ගැන කතා කරනවා විය හැකිය. ඒවා ගනිච්චියකට ගන්නට තරම්
මේ නිදි බොළඳ නැත!)
1985 වසර ඉකුත්වී 38කට පස්සෙත් එවැනි ප්‍රශ්න පිළිබඳව ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය
එතරම් සතුටුදායක නොවේ!
මේ දිනවල විකාශය කෙරෙන ටෙලියකි ‘කොඩි ගහ යට’.
මෙතෙක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ටෙලි නාටකවලින් වැඩිම IMDB රේටින්ග්ස්; 9.6ක අගයක්
දිනාගෙන තියෙන්නේත් ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ, ඒ නාට්‍යයයි.
එහි ‘ෂා’ නොහොත් ‘ෂානි’ චරිතයට පණ දෙන්නී රීනා ද සිල්වායි. රීනා සංක්‍රාන්ති
ලිංගික සුරූපිනියකි!
තමා පිරිමියෙකු ලෙස උපත ලද බවත්, තමන්ගේ
ස්ත්‍රීමය ස්වභාවය හා ආකල්ප නිසා සමාජයෙන් අවමන් විඳින්නට සිදු වුණු අයුරුත් රීනා ජන
මාධ්‍යයන් කිහිපයකටම නොසඟවා හෙළිකොට තිබිණි. ඇයගේ පියා පවා, රීනාව නිවසෙන් පිටමං
කළේලු!
දරුවෙකු පිළිසිඳ ගැනීමේදී දරුවාගේ අනුදැනුමකින් තොරව සිදු වෙන ජාන සැකැස්මක් නිසා...
ඒ දරුවා සමාජයෙන් කොන් කිරීම හෝ නිවසෙන් පිටමං කිරීම හෝ කොතරම් සාධාරණද?
![]() |
සිද්ධාර්ථ කුමරුත් අවුරුදු 13ක කාලයක්
කාමභෝගී දිවියක් ගෙවා දමා, එයින් පසුව ගිහිගෙයින් නික්මුණු උතුමෙකි... |
මගේ ලිංගික ලැදියාවන්, ආකල්පයන් හා අවශ්‍යතාවන්
මා තුල ඇති වන්නේ මට වුවමනා පරිද්දෙන් නොවේ. ඒවා සිද්ද වෙන්නේ මගේ ශරීර කූඩුවේ
ලිංගික හෝමෝන ක්‍රියාකාරිත්වය
අනුවය. මගේ සිරුර අභ්‍යන්තරයේ සිද්ද වෙන
හෝමෝන ශ්‍රාවය වීම මට පාලනය කරගත හැකි දෙකක්ද? එයට මා වගකිව යුතුද...
ඇත්තය! ජන සමාජයක ජීවත් වෙද්දී තිරිසනුන් මෙන් වැඩ කරන්නට අපට බැරිය. යම්කිසි
හික්මීමක් ඇතිව- යම්කිසි පාලනයක් ඇතිව අපට වැඩ කරන්නට වෙන්නේ එහෙයිනි. ඒත්, ඒ
කියන්නේ තවුස් දම් රකිමින් හිටිල්ල නොවෙන බවයි, මා සිතන්නේ... (මගේ සිරුරේ ලිංගික
හෝමෝන නිෂ්පාදනය වැඩියි වගේය.) මම කෙළෙස්බර කෙනෙක්මි. මම රාගිකයෙක්මි; මට තපස
අසීරු දෙයක් වෙන්නේ එබැවිනි...
සිද්ධාර්ථ කුමරුත් අවුරුදු 13ක කාලයක්
කාමභෝගී දිවියක් ගෙවා දමා, එයින් පසුව ගිහිගෙයින් නික්මුණු උතුමෙකි!
මට වඩා හොඳින් ඒ ගැන ‘සිතක උපන් සිතුවිලි’
blog අඩවියේ ලියවිල්ලක ලියවී තිබුණා මට මතකය.
‘ලිංගිකත්වය පාපයක්ද?
... බුදු දහම කාමයෙහි හැසිරීම වරදක් ලෙස කිසිදු
තැනක කියන්නේ නැත. කාමභෝගී ගිහියාට කාමය සැපතක් ලෙස බුදු හිමියන් පෙන්වා දුන් තැන්
ඕනේ තරම් ත්‍රිපිටකයෙන් උපුටා දීමට හැකිය. ඉතින් මේ සැපය විඳීම බුදු හිමියන් කිසි
තැනක නිගරු කළේ නැත. අන්තඃපුර දැරූ රජුනට බහුභාර්‍යා සේවනයේ අවැඩක් ගැන බුදු
හිමියන් කියූ බවට සඳහනක් නැත. සිද්ධාර්ථ කුමරු කුමාර කාලයේ 500 ක් කුමරියන්
පිරිවරා රම්‍ය සුරම්‍ය සුභ මාලිගාවල උපරිම කම් සැප විඳි බව බෞද්ධ සාහිත්‍යය කියනවා
නම්,
සිද්ධාර්ථ
කුමරු වයස 16 දී සම වයස් සුරූපිණියක වූ යශෝදරාවන් හා විවාහ වූ බව කියනවා නම්, ඔවුන් සිය
කුළුඳුල් දරු උපත ලැබුවේ මහභිනික්මන දා එනම් මේ කුමරුන් හා කුමරිය 29 වැනි වියේදී
යැයි කියනවා නම්, වසර 13 ක සියලු සැපයෙන් සපිරි කුමාර ජීවිතය
තුල සිද්ධාර්ථ කුමරුන් ගත කළේ කුමනාකාර කාමභෝගී ජීවිතයක්දැයි ඕනෑම අයෙකුට වටහා ගත
හැකිය. බෝසතුන් කලකිරීමට පත් වන්නේද මේ අධික කම්සැප විඳීම නිසාම බව තමයි ධර්මයේ
කියැවෙන්නේ.
කාමභෝගී ගිහියෙකු ලෙස මේ අධික කම් සැප විඳීම
බුද්ධත්වයට කොතැනක හෝ බාධා වුනාදැයි විමසා බැලිය යුතුයි. එවැන්නක් කිසි තැනක
කියැවෙන්නේ නැහැ.’
![]() |
... කාටවත්ම
නොපෙනෙන; නොදැනෙන
අයුරෙන් අතිශයින්ම රහසිගතව පමණෙකැයි... |
තවමත් මගේ සිතේ ප්‍රතිරාව නංවන්නේ ඩැඩා කියූ ‘absurd affairs’ වචන දෙකයි! සමරිසිතාව සැබවින්ම විකෘතියක්ද...
රමණයේදී ඊට සහභාගී විය යුත්තේ ස්ත්‍රියක හා පුරුෂයෙකු
පමණෙකැයි ලෝකාරම්භයේදී කොතැනක හෝ සඳහන්ව තිබේද... සසඟෙහි යෙදිය යුත්තේ කාටවත්ම
නොපෙනෙන; නොදැනෙන අයුරෙන් අතිශයින්ම රහසිගතව පමණෙකැයි කියවෙන්නේද? ලෝකාස්වාද රතිය
වින්දනය කරන්නෝ සම වියේ අය විය යුතුද- නොඑසේව පිරිමියා ටිකක් හෝ වයසෙන් වැඩි
කෙනෙකු විය යුතුද- සම කුල විය යුතුද වැනි සේරම අටම්පහුරු විශ්ලේෂණ ජන සමාජයට එකතු
වෙන්නට ඇත්තේ කවරදා පටන්ද?
මිනිසා දඩයම් යුගයේ ගල් ගුහාවක දිවි ගෙවද්දීත් එවැනි සම්මතයන් තිබිණිද...
Absurd... අයුක්ති සහගත, විහිලු,
හාස්‍යජනක, න්‍යාය විරෝධී, මෝඩ?
මම සර්ව භක්ෂකයෙක්මි. මෙතෙක් මට රස විඳින්නට
ලැබුණු ආහාර වර්ග අතරින් එකම එකක් පමණකි- මගේ මුවගටවත් කිට්ටු කර ගන්නට බැරි වුණේ.
ඒ Oyster; බෙල්ලන්ය. ඒ බෙල්ලන්ගේ දියාරු ස්වභාවය දුටු ගමන්ම මට දැනුණු පිළිකුල...
එහෙත් ලොව පුරාම Oysters සැලකෙන්නේ මිල අධික; ජනප්‍රිය ආහාරයක් වශයෙනි. කොච්චර
ජනප්‍රිය වුණත් මට එය පිළිකුල් නම්...
ඒ එපා, දූරියන් ගනිමු! ඉතා රසවත් පළතුරක් වෙන දූරියන් සමහර දෙනෙකුට අරහංය.
ලෝක ස්වභාවය එහෙමය. කෙනෙකුට රස තවකෙකුට වසය!
ඒ නිසාම වෙන්නැති, සසඟෙහිදී සමහරුන් විවිධ
ඉරියව්, විවිධ සහකරුවන්- සහකාරියන් හා විවිධත්වය සොයන්නේ... එය වනචරකමක් නම් එසේ
වේවා; එය අශීලාචාරකමක් නම් එසේත් වේවා; එය පව්කාරකමක් නම් එසේත් වේවා. මමත්
එවැන්නෙක්මි.
“Nimal, උඹ මේ sex change කරන ඔපරේෂන් එක ගැන මොනවත්
study කළාද?” මගේ සිතුවිලි දැහැන බිඳිමින් ඩැඩා
ඇහුවාමයි, මටත් කල්පනා වුණේ.
‘මට වෙච්ච දේ’ පොතෙන් දැනගත්තු විස්තර ටිකක් විතරයි නේද මොට්ට මං දන්නේ!’
මං නිරුත්තර වුණාම, ඩැඩාම
ආයෙමත් කතා කළා.
“මෙහෙම දේවල් ගැන මගේ කිසිම උනන්දුවක් තිබ්බේ නෑ නිමොල්. මට මේ ගැන හොයල බලන්න
වෙනවා. ඒත්... වැඩිය බලාපොරොත්තු තියා ගන්න එපා. උඹලගෙ රටේ වගේ නෙවෙයි, මෙහෙ
නීති-රීති-රෙගුලාසි. Do you mind, මම මේ ගැන තව කෙනෙක් එක්ක කතා කළාට?”
මං එපැයි කියන්නද?
ළිඳට වැටුණු එකා ගොඩට එනවා නම් එලෙස ආ යුත්තේ ළිං කටෙන්මය. ඩැඩා
කතා කරන්නට යන්නෙ කවුරුන් එක්කදැයි මා හිතුවේ නැත; තැකුවේ නැත. ඒ කවුරුන් හෝ වේවා;
මෙතැනදී අපට උපකාරී වෙනවා නම්...
මට උවමනා කොක්කෙන් හරි- කෙක්කෙන් හරි ගෙඩිය
කඩා ගන්නටය!
![]() |
අනිල් අයියා නං කැමතියිලු දිගටම වුණත්
ඉංගලන්තේ ඉන්න. |
“Within couple of weeks. උඹට ටිකක් ඉවසලා ඉන්න වෙයි නිමොල්!” ඩැඩා කිව්වේය. “By
the way, ලීලයි මමයි කතා වුණේ උඹලා දෙන්නව තවත් මාස හයක් මෙහෙ නවත්ත ගන්න කියලා...”
“Us? අපට වීසා දුන්නේ මාස හයකටනෙ ඩැඩා.”
“ඒ වැඩේ කරන්නේ මමනෙ. You don’t have to worry about that. උඹලා කැමතියි නං මං ඉක්මනටම
Home Office එකට ලියන්නං. උඹ මොකද හිතන්නේ?”
“තවත් මොනවා හිතන්නද ලොකූ. කොච්චර ෂෝක්ද
ඔයාලට එහෙම ඉන්න පුළුවනි නං. අනේ හා කියන්න ලොකූ, please!” එදා රාත්තිරියේ අපේ
ගෙදරදී පැවැත්වුණු ‘වරිග සභා සාකච්ඡාව’ට ඩැඩාගේ යෝජනාව දැම්ම ගමන්ම, සමන්ති නංගී මගෙන් ඉල්ලා සිටියාය.
“Yeeeee ලොකූ හිනා වුණා Sam... ලොකූ හිනා වුණා. ඒ කියන්නේ ලොකයියාත් තව මාස හයක්
මෙහෙ ඉන්න කැමතියි. ඉතින් කියන්නකො, I beg you... I beg you... අනේ ලොකා, හා කියන්නකෝ.” චූටි
නංගී දීපානිත් මගේ ළඟින් දණ ගසාගෙන අයදියි.
“Give us the word ලොකූ.
අනිල් අයියා නං
කැමතියිලු දිගටම වුණත් ඉංගලන්තේ ඉන්න.” දීපාල් මල්ලියාත් සාකච්ඡාවට පොහොර දමයි!
“ඉන්න එක නෙවෙයි වැඩේ. අනිත් ප්‍රශ්න...
වියදම්?”
“මොන ප්‍රශ්නද රංජි. ඔයාලා දෙන්න හිටිය කියල
මහ වියදමක් යනව නෙවෙයිනේ. ප්ලේන් ටිකට්ස්වලට ගිය ගණන ගිහිං ඉවරයිනෙ රංජි. ඒ
වියදමෙන්ම තව මාස හයක් විතර මෙහෙ හිටියොත්... ඔයාලට තව කීයක් හරි හම්බ කර ගෙන-
ලංකාවට යද්දී අරං යන්නත් පුළුවන් වෙයිනෙ.” අම්මා කිව්වේ අවසන් තීන්දුව දෙන tone
එකකිනි.
“තව මාස හයකට වීසා හම්බ වුණත්, ජනවාරි මාසේ
අග වෙන්න කලින් මම නං ලංකාවට යන්න ඕනි. මානිට බබා හම්බ වෙන්න දින දීල තියෙන්නේ
පෙබරවාරි මුලලු. එතකොට මං එහාට ගිහිං ඉන්නම ඕනි... මම දැනටමත් මානෙල්ට ලියල යවලයි
තියෙන්නේ බබා ලැබෙන්න කලින් මම එන විත්තිය කියලා.”
“ඔව්, ඔව්... රංජි ඉතිං යන්නම එපැයි. ඔයාගේ
ෆේවරිට්ම නංගිනෙ...” එතකොට නම් අපේ අම්මා hint එකකුත් පාස් කළාය. (අම්මා දිගටම
හිතුවේ එහෙමය. මගේ දැනීමේ හැටියට නම් අම්මාගේ favourite ලැයිස්තුවේ මානෙල් උන්නේ
ලේලිලාටත් පහළ තැනකය. එහෙව් දෝණියන්දෑය, දැන් අපේ අම්මාව රැක-බලා ගනිමින්
ඇප-උපස්ථාන කරන්නේ. ස්තුතියි මානෙල්!)
![]() |
අම්මාගේ ‘නිල නොලත් බැංකුකරුවා’ වුණත්, මං
වහන්සේට පවා ඇයගේ Piggy Banks ගැන හරිහමං අවබෝධයක්... |
එතකොට අපේ ඩැඩා රස්සාවක් කළේ නැත. එයා රජයෙන්
යම් දීමනාවක් ලබමින් හිටි බවය පෙනුණේ. Sam, දීපාල්, දීපානි තුන් දෙනාම පාසල් යමිනි
උන්නේ. අම්මා පමණකි, අනිස්ථිර රැකියාවක නිරතව ආදායම් ඉපද්දුවේ. ඒකත් කෙරුණේ ඩැඩාගේ
අකැමැත්ත තියෙද්දීය. එහෙම වැඩ කරනවාට අපේ අම්මාට ලැබෙන්නේ සොච්චං වැටුපකැයි කියලාය
ඩැඩා සිතාගෙන හිටියේ. එයා විතරක් නෙවෙයි, මාත්...
“සැසිල්ට වුණත් ඇත්ත කිව්වොත් ඉහ ගහගෙන ඉන්න හරි අමාරුයි, රංජි.
මගේ ළඟ සල්ලි තියෙනවයි
කියලා ඒ මනුස්සයා දැනගන්න පරක්කුවෙන්, එයාට ඕනි වෙනවා කාර් එකක් ගන්න. තියෙන
කෙහෙල්මල් කාර් එක පාවිච්චියට ගන්නෙත් හාවා හඳ දකිනවා වගේකොට- නැහිල නැහිල හම්බ කර
ගන්න තුටු දෙකෙන් ගනිල්ලකෝ අලුත් කාර්!”
බදුල්ලේ, මයිලගස්තැන්නේ ගොවි පවුලක ඉපිද-
හැදී වැඩී විවාහය හරහා කොළඹටත්, එතැනින් එංගලන්තයටත් ගියා වුණත් අපේ අම්මාගේ ළඟ
‘බින්තැන්නේ ගති’ත් ටික-ටික ශේෂව තිබිණි. විශේෂයෙන් ‘මුදල් හදල්’ පැත්තේ
කටයුතුවලදී. (මතකයි නේද- යුවති කිරිල්ලී නවකතාවේ සිසිලියානාගේ ‘උණ ගහේ බැංකුව’.
මා ඒ අත්දැකීම ලද්දේ බදුල්ලෙනි.)
මුල්‍යමය වැඩවලදී අම්මා උවමනාටවටත් වඩා
සකසුරුවම් වුණා වගේය; කවුරුන් කෙරෙහිවත් පමණට වඩා විශ්වාසය නොතිබ්බා වගේය. අම්මාගේ
‘නිල නොලත් බැංකුකරුවා’ වුණත්, මං වහන්සේට පවා ඇයගේ Piggy Banks ගැන හරිහමං
අවබෝධයක් නොතිබිණි. මං හිතුවෙත් අම්මලා rim එකෙන් යනවා කියලාය.
එහෙම හිතුණු නිසා ඉඳහිට හරි, ගෙදරට මසක්-
එළවළුවක්- කිරි බෝතල් කිහිපයක් අපේ වියදමෙන් ගෙනෙනවටවත් අම්මා කැමති වුණේ නැත.
“ඔයයි, අනිලුයි හම්බ කරන කීය හරි ඉතිරි කර
ගන්නයි තියෙන්නේ. රංජි, ඩැඩාගේ
සල්ලි මල්ල හොළවන්නයි මං ටිකක් ඉච්චි වෙන්නේ. ඒ මනුස්සයටත් සෑහෙන ගාණක් හම්බ වෙනව මයේ
හිතේ.”
එයින්-මෙයින් වුණේ මා උපයන හැම පැන්සයක්ම පාහේ
පරෙස්සම් වීමයි. ඒත්, මට කරන්නට jobs ලැබුණේ අඩුවෙනි.
අපේ අනිල් නම් සතියේ දවස් හයේම නොකඩවා වැඩට ගියේය.
වැටුප්ද ලද්දේය. එයින් කොටසක් සිගරැට්වලටත්, මත්පැන්වලටත් වියදම් කළේය.
අනෙකුත් සියලු වැඩ කටයුතු මැද්දෙම, ඩැඩා
අපට තවත් මාස හයක් එංගලන්තයේම රැඳී ඉන්නට අවසර ඉල්ලා Home Office එකට ලිපි
යැව්වේය. අප දෙදෙනාව සම්මුඛ පරීක්ෂණයකටත් කැඳවනු ලැබිණි. එහිදී අපේ ගොඩ පෙරකදෝරුවා
වුණේ ඩැඩාය.
![]() |
මම උඹලව එක්ක යන්නං countryside පික්නික්
එකකට. හැබැයි හැමදාම වැඩට යන උඹලගෙ මදර් සුපීරියර්ව ඒකට... |
ඩැඩාගේ ඒ රංගන කුසලතාව නිසා හෝ එවක
නීති-රීති එතරම් දැඩි නොවුණු නිසා හෝ අපේ වීසා තවත් මාස හයකින් දීර්ඝ කෙරිණි.
“ඩැඩී, ඔයා හෝම් ඔෆිස් එකේදී කිව්වලු නේද-
ලොකාලට එංගලන්තේ පෙන්නන්න තියෙනවයි කියලා. කවද්ද ඒකට යන්නෙ?” එදායින් පස්සේ සමන්ති
නංගි කීප සැරයක්ම ඩැඩාට වදේ ගැහුවාය.
“නිකන් ඉන්න සෑම්, ඩැඩාට පාඩුවේ ඉන්න දීලා... දන්නවනෙ ඔහොම තැන්වලදී ඩැඩාගේ
tricks!”
“අනේ නිකං ඉන්න ලොකූ. ඔයාල මෙහාට ඇවිත් මාස
ගණනක් වුණා. කොච්චර අඩුවෙන්ද අපි කොහාටවත් ගියේ... කොහෙද අම්මා හැමදාම වැඩ වැඩ
වැඩ. ඩැඩාට කෝපි එකයි, රේඩියෝ එකයි තිබ්බම වෙන මොකුත් ඕනි නෑ. අඩුම ගාණෙ countryside trip එකක්වත්...”
“Yeeeeee... That’s a great idea.. කන්ට්‍රිසයිඩ් trip... කන්ට්‍රිසයිඩ්
trip...” චූටි නංගි එකම වචන පේළියක් මහ සද්දෙන්- තාලයට ගායනා කරමින් පෙළපාලියක්
යද්දී, ඩැඩා අත් දෙකින්මයි කන්දෙක වහගත්තේ.
“Oh my God, Keep quiet Deepani. Next Sunday මම
උඹලව එක්ක යන්නං countryside පික්නික් එකකට. හැබැයි හැමදාම වැඩට යන උඹලගෙ මදර්
සුපීරියර්ව ඒකට ජොයින් කරගන්න duty එක නං උඹලගෙන් කාට හරි කරන්න වෙයි.”
“හුරේ!!!” කියමින්, බඩා මල්ලා ගේ මැද්දෙම ඔළුවෙන් හිටගෙනය- එතකොට සතුට පෙන්නුවේ.
à ඊළඟ
කොටසට...











