නෙවිල් අනුරසිරිගේ තරුණ නායකත්වය යටතේ හරි ගස්සපු බඩු ලයිස්තුවේ තිබ්බේ හාල් කිලෝ දෙකයි, පරිප්පු 750යි, පාන් පිටි කිලෝ 1 ½ යි වගේ හින්නිකිතර දේවල් ටිකක්.
“මට නං ලජ්ජාවේ බෑ. හදිස්සියෙවත් වෙන නඩේක මනුස්සයෙකුට බත් කටක් දෙන්න වුණොත් කොහොමද හලෝ දෙන්නේ මෙහෙම බඩු ගෙනිහිං?” මම නහයෙන්
ඇඬුවෙමි...
![]() |
දමිළ පාද
යාත්‍රාකරුවන් විශ්වාස කරන්නේ ඔවුන් ඔසවාගෙන යන බෑගයට වැඩියෙන් බඩු-මුට්ටු එකතු වෙන්නේ
එකිනෙකාගේ පව්වල බරට සාපේක්ෂව බවයි. |
එහෙම වෙලාවට නමිනං උන්නැහේ ගොඩින්ම ෂේප් වෙයි. “ඕගොල්ලෝ පරණ යාළුවොනේ. මම ඔය ගෝරි දන්නවයැ. ඉතිං කොහොමද කාගෙවත්
පැත්තක් ගන්නේ?”
“අපොයි ඔව්! උඹ බබා... පැත්තක් ගන්න ඕන්නෑ නමී, උඹට තේරෙන දේවත් කියපංකො!” නෙවිල්
නමීගේ ඇඟට ගොඩ වුණේය.
එයා හැදූ list එකේ දේවල්වල බර ගණනය කිරීම පටන් ගත්තේ ඊට පස්සෙය. ඊටත් ටිකකට
පස්සේ...
“... පාද යාත්‍රාවේ යෙදෙන්නට එකතු වෙන පින්වතුන් වෙත ‘තරුණ නායකත්වය’ ඉතා සතුටින්
නිවේදනය කරන්නේ- මේ වතාවේ එක සාමාජිකයෙකුට උස්සාගෙන යන්නට වෙන්නේ කිලෝ දෙකහමාරකට
කිට්ටු බරක් බවයි!”
“අසව් අසව්...”
“සව් නෙවෙයි බාර්ලි! කිලෝ දෙකහමාරක්?”
“ ඔව් හලෝ. එකතු කරලා බලනවකො වැරදිද කියලා. බඩු list එකේ බර එකතු කරලා හයට බෙදුවම
එන්නේ එහෙම තමයි.”
“එතකොට වළන් පිඟන්... බිමට එළන රෙද්ද... ටූත් පේස්ට්- සබන්... චුට්ට චුට්ට
තමයි යක්ෂයො බර එකතු වෙන්නේ. ඒත් ඒවාත් ඔය බරටම එකතු කරල ගණන් හදන්න වෙයි!”
“අම්ම.ට සි..රි!”
“ඇයි, තමුසෙලට කන්න ගෙනියනවයි කියාපු උයපු කෑම... වැකුම් පැක් කරුවට පස්සේ එව්වයේ
බර නැති වෙලා යනවද? පොඩ්ඩක්ය... පොළොස්, අඹ, පොල් සම්බෝල, කෙහෙල් මුව... තව
ලබ්බවල් ගොඩක් තියෙනව නේද?”
දමිළ පාද යාත්‍රාකරුවන් විශ්වාස කරන්නේ ඔවුන් ඔසවාගෙන යන බෑගයට වැඩියෙන් බඩු-මුට්ටු
එකතු වෙන්නේ එකිනෙකාගේ පව්වල බරට සාපේක්ෂව බවයි. ඒ නිසාම ඔවුහු ඒ බෑගයට ‘පව් මල්ල’
කියාත් වහරති; කිසිම කන්-කෙඳිරියකින් තොරව කැමැත්තෙන්ම ඒ ‘පව් මුට්ට’ උස්සාගෙනත්
යති!
එහෙමත් ඇදහීමක් තිබියදී, එදා ‘තව ලබ්බවල් ගොඩක්’ යැයි මං කට කැඩුණු කතාවක්
කිව්වාම (දෙමළ බසත් දන්නා) අයස්මන්ත හිතවතාගේ හිත රිදෙන්නට ඇතිවා නිසැකය!
“මචං, අපි මෙච්චර මහන්සියෙන් කරන කීටෝ ඩයටින් වැඩේට මේ නිමල් දිසානායක
ගොබිලාගෙන් නං කිසිම අනුග්‍රහයක් ලැබෙන්නෙ නෑ වගෙයි නේද... මං අහන්නේ එහෙම අපිව
සවුත්තු කරන්න හොඳද නිමල් අයියේ... අපි පව්නේ!
මේ ඒක නෙවෙයි, දිසානායක මැතිතුමා... ඉල්ලනවට තරහ වෙන්න එපා. අසරණ අපිට තව කෝපි
එකක් හදනවද?” අයස්මන්ත පීරිස්ට කෝපි නැතිවම බැරිය. “නෙවිල් අයියේ- ඔය ලැයිස්තුවේ
කෝපි එහෙම තියෙනවා නේද?”
“නෑනේ පීරා! දිසානායක නම් සාර්ථකව අපේ වැඩේ දෙල් කරන්න හදනවා වගේ...”
![]() |
‘හිච්චි’
මේ ගමන වෙනුවෙන් පේ වෙන්නට පටන් ගෙන තිබ්බේ වෙසක් පොහෝ දවසේ සිටයි! |
“මෙයාට ඕනි පීරා, පුළුවා..න් තරං දේවල් අපි ලවා..ම කරවා ගන්න.”
“හරි, හරි මචං- දැන් නිමල් අයියට කෝපි එක හදන්න ඇරපංකො බං... බඩගින්නක් එනවා...
කෝපි එකක් ගැහුවම හරි!”
Fasting කරද්දී කෝපිවලින් ලොකු පිරිමැහීමක් කෙරෙන විත්තිය මං වහන්සේ තේරුම්
ගත්තේ අත්දැකීමෙන්මය.
“කීටෝ ඩයටින් කරද්දීත් එහෙමමයි අයියේ. මම තමිරට කිව්වා මේ ගමනට ප්ලාස්ක් එකක්
අරගෙන යමුයි කියලා. අපි තුන් දෙනාට ඕනි වෙච්ච වෙලාවට වතුර උණු කර කර ඉන්නෙ නැතිව
කෝපි එකක් බොන්න පුළුවන්නෙ එතකොට.”
(ඒ කීමට අවනතවී තමිර උණුවතුර බෝතලයක් ගෙනාවේය. තුන්වෙනි දවසෙ හැන්දෑවේ
බලද්දී, ඒ ප්ලාස්ක් එක කැඩිලාය! “මෙහෙම හාඩි ගමනකට ඔය වගේ දේවල් හරි යන්නේ නෑ.”
කියමිනි, එයාලා හිත සනසා ගත්තේ.)
අපි අරහෙම ලැයිස්තු හදද්දී අපට ආරංචි වෙලා තිබ්බේ ’කුමනින් පාද යාත්‍රාකරුවන්
සඳහා ගේට්ටුව ඇරෙන්නේ ජුලි 2 වෙනිදා’ විත්තියයි.
“ඒක වැඩියත්ම හොඳයි. ප්‍රියන්ත අයියලාගේ අම්මගෙ; චිත්තම්මගේ තුන් අවුරුද්දේ බණ තියෙන්නෙ ජුනි
28 රෑ. 29 දවල් දානේ වෙලාවටත් ගිහිං ආවට පස්සේ 30 උදේ ඔය ලයිස්තුවේ බඩු ටික ගනිමු.
ජුලි 1 උදේ මහරගමින් පිටත් වෙමු.”
“ප්‍රියන්ත මගෙනුත් තුන් හතර පාරක්ම ඇහුවත් එක්ක. බණ ගෙදරටයි, දානේ
වෙලාවටයි දෙකටම එනවා නේද කියලා.” මර්වින් මතක් කළේ එතකොටය. “හැබැයි, ගියාට නං කමක්
නෑ. පේ වෙලා ඉන්න නිසා අපිට නොකාම වගේ තමයි ඉන්න වෙන්නේ.”
“ඔව්, ඔව්. නෙවිල් අයියේ. ඔයා තමයි විශේෂයෙන්... දිසානායක ප්‍රේතයා ඊළඟට...”
අවුරුදු තුනකට ඉස්සර පාද යාත්‍රා ගමනකදීම අප හා හිතවත් වුණු ‘හිච්චි’ මේ ගමන වෙනුවෙන් පේ වෙන්නට පටන් ගෙන තිබ්බේ වෙසක් පොහෝ
දවසේ සිටයි! ඒ කියන්නේ එයාලා දවස් හැටක් විතර පේ වෙන බවයි.
“එහෙම නොකර කොහොමද මාමේ? උන්නාන්සෙ හින්දනේ අපි අවුරුද්ද තිස්සෙම කාල-ඇඳල ඉන්නේ.
මෙහෙම දෙයක් කරලා හරි අපි කතරගම දෙයි හාමුදුරුවන් වහන්සෙට ඒ කෙළෙහිගුණේ ඔප්පු
කරන්න එපැයි.”
![]() |
කතරගම මල්
කඩයක් පවත්වාගෙන යන... |
ගිය වතාවේ මේ ගමන යන්නට සූදානමින් පේ වෙවී හිටි ඒ නඩයේ හිරූ ‘මරණ කිල්ලකට’
හසු වුණු නිසා- අවසන් මොහොතේ ගෙදර නැවතිලාය. “මරණ කිල්ල කියන්නේ හරි ලොකු එකක්
මාමේ! එකයි හිරූ ආවේ නැත්තේ...” කියලය හිරූගේ මිතුරු දෙනෙත් මට කිව්වේ.
එයාලත් එක්කලා සසඳා බලද්දී, (ඒ පැත්තෙන් නම්) මගේ හැදියාව අන්තිමය. ඒ
විත්තිය අයෙමත් වතාවක් ඔප්පු වුණේ ජුනි 28 වෙනිදාය.
එදා දවල් අයස්මන්ත මහත්තයා අපේ නඩේ උදවියට විශේෂ පණිවිඩයක් එවා තිබිණි. ‘හදිසි
තීරණයක් ගන්න වෙනවා. කුමනින් ගේට්ටුව අරින එක දවස් දෙකක් ඉස්සරහ දිනේකට අරං. පාද
යාත්‍රාව පටන් ගන්නෙ ජුනි 30. ඒ ගැන අද හවස 5 ට කතා කරල තීරණයක් ගනිමු.’
“ප්‍රියන්තලගේ බණට වඩම්මන්නේ වතුරුවිල සුජාත හාමුදුරුවන්වනෙ. මම ඒ වැඩේට
යන්න ඕනි. මං නැතිවට කමක් නෑ. වැඩි දෙනාගේ කැමැත්තට- ඔයාලා ඕනි තීරණයක් ගන්න. යන
ඕනි වෙලාවක යන්න මට පුළුවන්.” මර්වින් බොතේජු කල්තියාම පීරිස්ට කියලය.
“මචං පීරා. මට නං හෙට උදේ යන්න බැරි වෙයි!” එදා සවස නෙවිල් ඉස්සෙල්ලාම
නිශේධනාත්මක උත්තරයක් දුන්නේය. “හෙටයි අපේ site එකේ කට්ටියට පඩි දෙන්න තියෙන්නෙ. ඒ
මදිවට චිත්තම්මගේ දානෙත් හෙට දවල්ට... ඒ අස්සෙ ප්‍රියන්තට පුළුවන්ය හෙට උදේ පඩි
දෙන්න එන්නවත්. මම දවස් හයක්ම නැති නිසා අපේ සයිට් එක සතියකට වහනවයි කියලයි එයා
කිය-කියා ඉන්නේ...”
“හරි- මම ප්‍රියන්ත අයියට අද බණ ගෙදරදී කතා කරන්නං. උඹේ පැත්තෙන් කෙරෙන්න
තියෙන රාජකාරි ටික ඉවර කරන්න පුළුවන්ද කියපන්කො උදේ දහයට කලින්? ප්‍රියන්ත අයියා
හෙට ඉඳලා උඹට නිවාඩු දෙන්න කැමැතියි නං...” අයස්මන්තගේ ප්‍රශ්නයට නෙවිල් උත්තර
දුන්නේ කට පුර හිනා පාමිණි.
“No problem!”
“එතකොට නමී?”
“මටත් ෂේප් කර ගන්න පුළුවන් ඩොක්ටර්!”
![]() |
අපේ කීටෝ
ඩයට් එකට හදවාගෙන යන ජාති අද රෑම හදව ගන්න වෙනවා. හෙට උදේට ඒවා එකතු කරගෙන වැකුම් pack කරවා ගන්නත් වෙනවා... |
“ශානිලයි සිස්ටරුයි හදනවයි කිව්ව ජාතිත් අදම ඕනි කියලා මම කියන්නං.
රත්නපුරේ අය හදල දෙන ජාති දැනටත් මගේ වාහනේ. අපි හෙට දවල්ටම පිටත් වෙනවද එතකොට?”
“පීරිස් මහත්තයෝ, තවම අපේ ලැයිස්තුවේ බඩු මොනවත් අරගෙන නෑ. අදම ඒවා ගන්නවා නං මට බණ
ගෙදර නොගිහින් ඉන්න වෙනවා. හෙට උදේට ඒවා ගන්න තියා ගත්තොත් උදේ දහය එකොළහවත් වෙයි-
මටත්.”
“නිමල් අයියා දන්නවද, ලොකුම ප්‍රශ්නෙ තවම මම ඔයාලට කිව්වේ නෑ. හම්බන්තොට
ඉඳලා ඔකඳට යනකල් අපිව එක්කගෙන ගිහිං බස්සන van එක ලෑස්ති කරගෙන තිබ්බේ ජුලි පළවෙනිදට.
දැන් හදිසියේ දවස වෙනස් වුණාම ඒක තියෙනවද මංදා... යන වෙලාව හරියටම තීරණේ වෙනකල් ඒ
ගැන අහන එකේ තේරුමකුත් නැහැනෙ.”
ඒ සේරම තීරණ ගන්නට වෙන්නේ WAL Constructions අධිපති ප්‍රියන්තගේ තීරණය
දැනගත් පසුවයි.
“අපි කොයිකටත් possitive විදිහට වැඩේ වෙයි කියල හිතමු. බණ ගෙදර කලබල ඉවර
වෙච්ච ගමන්ම මම ප්‍රියන්ත අයියගෙන් තීරණේ අහලා ගමන පටත් වෙන වෙලාව තමිරටයි නමීටයි
කියන්නං. හම්බන්තොටටත් call කරලා නසාර් එක්කත් කතා කරන්නං.”
“එතකොට තිස්සමහාරාමේ ප්‍රියන්තටත් කියන්න වෙයි නේද?”
“නැතුව නැතුව. මේ සැරෙත් කොඩි මිසී අපිට උදේ කෑම හදනවය කිව්වා. ප්‍රියන්ත
දවල් කෑම හදන්න ready පිට ඉන්නේ... පීරිස් වාර්තා කරද්දීය, නෙවිල්ටත් මතක් වුණේ.
“පීරා, ප්‍රියන්ත කිව්වා එයා අපට ගෙනියන්නත් වම්බටු- අච්චාරු- පොළොස්- බැදුම් වගේ
මොන-මොනවද හදනවයි කියලා.”
“බලපං මචං, එක තීරණයක් ගන්න බැරිව වැනෙන xත්තලා නිසා අපි වගේ කී දෙනෙක්
අමාරුවේ වැටෙනවද කියලා. හැබෑටම ඔය ලොකු පුටුවල ඉන්න එවුන්ට තේරෙන්නෙ නැද්ද මෙහෙම
වුණාම මිනිස්සුන්ට වෙන කරදර?”
හැබෑය!
ලොකු ලොකු තනතුරු ලැබෙනවාත් එක්කම අපේ රටේ හුඟක් උදවියට ‘පොදු ජනතාවගේ දුක්ඛ
දෝමනස්සයන් තේරුම් ගැනීමේ හැකියාව’ නැති වී යයි! සමහරුන්ට එහෙම වෙන්නේ පොහොසත්කම
ළඟා වෙද්දීය.
![]() |
කතරගම
දෙයි හාමුදුරුවෝ අපි දිහා දිවැසින් බලලා අපට පිහිට වෙයි. අවුලක් වෙන එකක් නෑ මචං! |
“අනේ සර්! Van එක ගන්න වෙන්නෙ හවස් වෙද්දී. ඒක වෙන හයර් එකක් යනවලු. මම කොහොම හරි
වෑන් එක තිස්සමහාරාමේ කොඩි මිසීලගේ ගෙදරට අරගෙන එන්නං හවස හතර වෙද්දී.” නසාරුත්
කියා තිබිණි.
“කොඩි මිසීලගේ ගෙදරට යනකල් මගේ වාහනේ යමු. එකම ප්‍රශ්නෙ ගෙනියන බඩුයි,
ඇඳුම් බෑග්ස්සුයි පටව ගත්තම අපි හය දෙනෙක් යන එක. හිර වෙලා තමයි යන්න වෙන්නේ.”
“ඔව් පීරා, එහෙම කරමු. උපරිම පැය දෙකහමාරක්නේ අපිට හිර වෙලා යන්න වෙන්නෙ.”
“ඔයාගේ වාහනේ තියෙන නිසාම හොඳයි. කොළඹ ඉඳලම නිඳි මරාගෙන රෑ බස් එකේ පානමට යන පාද
යාත්‍රාකාරයෝ... ඒ මිනිස්සු එතැන ඉඳන් කිලෝ මීටර් 20 ක් ඔකඳට යන්නත් කන පරිප්පුව...”
“අපේ හාමිනේ ඒත් කිව්වා මගේ වාහනේ ඉඩ මදි නං, එයාගේ වාහනෙත් අරගෙන අපි
එක්කම හම්බන්තොටට එන්නං කියලා බඩු ටික පටෝගෙන.”
“පිස්සුද පීරා? කොච්චර කරදරයක්ද මච...”
“පීරිස්! ප්‍රීතිකා නංගිට කියන්න ගොඩක් ස්තුතියි කියලා. පොඩි කරදරයක්ද- ඒ වගේමයිනේ
වියදමත්. අපි ඔන්නොහෙ ටිකක් හිර වෙලා යමු!”
“හැබැයි යක්ෂයිනේ, ඔන්න දැන්මම කිව්වා. අපි ඔකඳ දේවාලේ ගාවට යද්දී හෙට රෑ
දොළහවත් වෙයි. කීයට එහාට යැවුණත් ඔන්න පාන්දර පූජාවට යන්න බලාගෙන අපිට උදෙන්
නැඟිටින්න වෙයි.”
“අපි හොඳ ගමනක්නෙ යන්න හදන්නේ, පීරා- හොඳ චේතනාවෙන්. කතරගම දෙයි හාමුදුරුවෝ අපි
දිහා දිවැසින් බලලා අපට පිහිට වෙයි. අවුලක් වෙන එකක් නෑ මචං.” අපේ දේවාල මාමා
කිව්වේය.
අවුල ඇති වුණේ මර්වින් එහෙම කියලා පැය බාගයක්වත් යන්නට පෙරාතුවය!
බණ ගෙදරට සහභාගි වී සිටි වැඩි දෙනෙකු මුලින්ම ‘ධර්ම දානයෙනුත්’ දෙවනුව ආහාර-පානවලිනුත්
සංතෘප්ත වෙලා නික්ම ගිහිංය. කලකින් හමුවී නොතිබුණු හිත-මිතුරන් විතරකි, අල්ලාප-සල්ලාපයෙන්
පසු වුණේ.
“නිමල් අයියේ, මටත් බඩගිනියි. කෑම මේසවල rush එකකුත් නෑ... අපි කන්න යමුද?”
“ඔයාට කොහොම වෙතත් ප්‍රීතිකා නංගි- අපි හතර දෙනාට නං කන්න පුළුවන් දේවල් තියේවිද
දන්නෑ.”
“තියෙනවා අයියේ තියෙනවා. බඩු have! ඉස්සෙල්ලා අපි ඔයාල ගැන කතා වුණා. ඔයාලා
පේ වෙවී ඉන්න එක ගැන... යමුකෝ බලන්න. අඩුම තරමින් ඉඳියාප්පයි පරිප්පුයි විතරක් හරි
තියෙනවනෙ කියල අපේ එක්කෙනත් කලින්ම කිව්වා. හෙට ඉඳලත් පරිප්පු කන එකේ අදම පටන් ගත්තම
මොකද වෙන්නේ? හඃ හඃ හඃ!”
![]() |
(වමේ සිට) දහනායක, සරත්, නිදි, නෙවිල්, මර්වින්,
වෙනුජ, සාන්ත හා පීරිස් |
“මේ පැටිස් එළවළුද”
“නෑ සර්!”
ඊළඟටත් අපට තහංචි ජාති කිහිපයකි. මං වහන්සේ එහෙම කෑම වර්ගවල ජාතකය සොයමින්
ඉඳිද්දී, ප්‍රීතිකා නංගි නං කෑම බෙදාගෙන පුටුවකට ගිහිනුත් ඉවරය.
“නිමල්, මේ මොකද මේ... ඔයාගේ පිඟානේ මොකුත් නැහැනේ. පොල් මැල්ලුම්- සීනි
සම්බෝල ටික ටික බෙදන්නං. හරිම ර..ස..යි.” ඒ හිතවතියට එපා කියන්නත් කලින්ම ඒ
දෙජාතියම මගේ පිඟානේය. “බිත්තර ආප්පෙකුත්?”
“තැන්ක්ස් ... ප්ලේන් ආප්පයක් අරං දෙන්නකෝ එහෙනං....”
මං වහන්සේ දැන් කෑම කන්නේ පුළුවන් තරං හැංගීගෙනය. කලක සිටම යටි තොලේ දකුණු
කොටස හිරි වැටී තිබෙන නිසාය ඒ.
මගේ ඇඟිලි ටිකත් මට ටිකාක් විතර අකීකරු නිසා, හැන්දක උදව්වත් අරගෙන කෑම ටිකක් කටට
දමා ගනිද්දීත් බොහෝ විට කට වටේ ඉඳුල් සුඟක් තැවරෙයි.
මට වුණත් ඒක ලස්සන දර්ශනයක් නොවේ. වෙන කෙනෙකුට වුණත් එහෙමය!
ඒ අප්‍රසන්න දර්ශනය අනුන්ගෙන් වසං කරන්නටය, දැන් මගේ මුලු ගැන්වීම සිද්ද
වෙන්නේ.
මර්විනුත් කෑම බෙදාගෙන ඇවිත් මගේ පිටුපස පුටුවකට බර දුන්නේය. එතකොටම අපේ ප්‍රියන්ත
හිතවතාගේ පොඩි මස්සිනා; මැණිකේ නංගිගේ සැමියා සරතුත් එතැනට ආවේය.
“මොකද නිමල් අයියේ හැංගිලා කන්නේ... මොනවද තව බෙදන්නේ?”
එතකොටත් අර ප්ලේන් ආප්පය මගේ කුසේය. “අනේ සරත්, එහෙනං හොඳ ළමය වගේ මට ඔය
ආප්පයක් අරං දෙන්නකො. ආප්ප නං හරිම රසයි...”
“ඔව්, ඔව්. ආප්ප නං රසයි තමා.” මර්විනුත් මගේ කතාවට අලගු තිබ්බේය.
සරත් ආප්පයක් අරගෙන මගේ පිඟානෙන් තියා මොනවාදෝ කියන්නටත් හැදුවේය. සරත්ට ඒක
නවත්තා ගන්නට වුණේ හිතවතෙකු ඔහුගේ පිටට තට්ටුකොට කතා කළ නිසාය. ඒ දෙන්නාගේ සල්ලාපය
අස්සේ දෙවෙනි ආප්පයත් මගේ ආමාශයට...
සරත්ගේ හිතවතා නික්ම ගියා විතරය. එයා නැවත්තූ කතාව ආයෙමත් පටන් ගෙන කියාගෙන ගියේය.
“නිමල් අයිය දන්නවද ආප්ප රස වෙලා තියෙන්න හේතුව? හාල් පිටි කිලෝ විසිපහට
නෙස්ටමෝල්ට් පැකට්ස් දෙකක්ද කොහෙදයි, ටිකිරි මාරි පැකට් එකකුයි, බිත්තර විසිපහකුයි
දාලනෙ ආප්පවලට පිටි ඇනුවේ.”
![]() |
කතරගම
දෙයි හාමුදුරුවනේ..... |
හිතුණු කිසිවක් නොකියා මං බැලුවේ අපේ ‘දේවාල මාමා’ දිහාවය. එයාට සරත්ගේ කතාව ඇහිලා නැතුවා වගෙය.
“නිමලෝ- සීනි සම්බෝලවලට උම්බලකඩ දාල වගේද?” මර්වින්ගෙනුත් ප්‍රශ්නයක්.
“නැති පාටයි මර්වින්. මං දැනුයි චුට්ටක් කෑවේ.”
“කේටරින් සර්විස් එකේ කොල්ලා නැහැයි කිව්වට මොකද පොල් මැල්ලුමටත් කූනිස්සෝ දාලා
වගෙයි. කොයිකටත් මං ඒ දෙජාතියම අයින් කරලයි කන්නේ...”
අයස්මන්ත මහත්තයා කෑම පිඟානත් උස්සාගෙන ආවේ එතකොටය. මම නොදන්නා සෙයියාවෙන්
ඒ පිඟානට එබුණෙමි. උන්නැහෙගෙ පේ වීමට බාධාවක් වෙලා නැත. එයා බෙදාගෙන තිබුණේ ඉඳියාප්පත්
පරිප්පුත් විතරය.
‘අනේ කතරගම දෙයි හාමුදුරුවනේ! හිතට එකඟව මේ අසරණයා දවස් ගණනාවක් පේ වෙවී
හිටිය විත්තිය තමුන්නාන්සේට පෙනෙන්න ඇතිනෙ. නොදැන ඒ සීලේ කැඩුණා තමයි. දැන් ඉතිං පිඟානට
බෙදාගෙන තියෙන සීනි සම්බෝලයි, පොල් මැල්ලුමයි අහක දාන්නැයි... පිඟානට බෙදාගෙන කෑම අහක
නොදාන මගේ පුරුද්ද අදත් රකිනවාට තමුන්නාන්සේ මට සමා වෙන්න ඕනෑ.’ කියලා හිතෙන්
හිතාගෙනය, මං වහන්සේගේ දකුණතත්- මුඛයත් ඊළඟ විනාඩි දහය-පහළොව තිස්සේ නොකඩවා වැඩෙහි
යෙදුණේ!
à ඉතිරිය තෙවෙනි කොටසට...












