li Item

Sunday, December 13, 2020

පතාගෙන ඇවිත්... -පස්වෙනි කොටස

උත්තරීතර දෙවියන් වහන්සේත් කෙනෙකු මියයන තුරුම එයාව විනිශ්චය කරන්නෙ නැහැල්ලුනේ....

මගේ අමනකම් හංගාගෙන ඉන්නා පුරුද්දක් මට නැති නිසා පෙළක් වෙලාවට මමම ඒවා මතු කරන්නෙමි. එහෙම කරන්නේ මා කොතරම් වෙනස්වී ඇත්දැයි කියා නොකියා කියන්නටය. “නෙවිල් අයියා නිසා ලොකාත් ඉස්සරට වැඩිය හොඳ වෙලා! සැර අඩු වෙලා.” කියලා දැන් කියන්නේත් අපේ ගෙදර අයයි!

 ඇත්තය! ඒ ප්‍රශංසාව නෙවිල්ට හිමිය.

මගෙනුත් ඒ මනුස්සයාට ආදර්ශයක් ලැබිලාද, නැද්ද- නැතිනං අරගෙන නැද්ද කියන ප්‍රශ්නයට නං, මටවත් තවම උත්තර දිය නොහැකිය. මට වඩා උත්තරීතර දෙවියන් වහන්සේත්, කෙනෙකු මියයන තුරුම එයාව විනිශ්චය කරන්නෙ නැහැල්ලුනේ....

“අයියෙ ඔයාලගේ කට්ටිය අර භද්දවග්ගිය කුමාරවරු වගේ... හැබැයි වෙනස්... ඒත් නියමෙට ගැලපෙනවා... එක විදිහේ දෙන්නෙක් නෑ. ඒ හින්දම වෙන්නැති ඔයාලගේ යාළුකං මෙච්චර දිගට පැවතිලා තියෙන්නේ...” අපේ සුනිල් කියන්නේ එහෙමය!

අපේ අම්මා, නංගිලා-මල්ලිලා වගේම එයාලාගේ පවුල්වල දූ-දරුවන් පවා මර්වින්-පීරිස්-නෙවිල් තුන්දෙනාට සමීපය. වැඩියෙන්ම නෙවිල්ට. එහෙම වෙලා තියෙන්නේ නම් මේ මනුස්සයාට තියෙන හොඳකම විතරක් නිසා නොවේ, ඔලමොට්ටලකමත් හින්දාය!!

ඒ ඔලමොට්ටල හොඳකමට හොඳම සාක්කිය....

ඒ ඔලමොට්ටල හොඳකමට අර මුලින් කියන්නට හැදූ චැලියෙ කතාවම හොඳ උදාහරණයකි.

ඒක වුණේ අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේදීය. ආචාර්ය නලින් ද සිල්වා, ගෙවිඳු කුමාරතුංග කට්ටිය අපේ press එකෙන් ‘කාලය’ සඟරාව අච්චු ගස්වන සමයේ දවසකය. Press එකේ මොකක්දෝ උවමනාවකට ඊයම්පෝරුවේ පන්සල කිට්ටුව තැනකට පණිවිඩයක් යවන්නට මට සිදුවී තිබිණි. “නෙවිල්... මේ වැඩේ හදිසියි... ඔයා තරහ නැතිව අරයත්තෙක්ක ගිහින් මේ පණිවිඩේ කියලා එනවද?” මම ඇසුවෙමි. 

එක එල්ලේම කෙනෙකුට නෑ- බෑ කියන්නට නෙවිල්ට බැරි බව හිතාදර පාඨක ඔබ දැනටමත් දනියි.

දෙදෙනා නික්ම ගියෝය. හිතුවාට වඩා ගොඩ වෙලාවක් ගියත් දෙන්නාම ආවේ නැත. ‘ඇක්සිඩන්ට් එකක්වත් වෙලාද?’ මං හිටියේ දෙලොව රත් වෙලාය.

හරිය....! අනතුරක් නොවේ, අකරතැබ්බයක් වෙලාය. යන අතරමඟදී නෙවිල්ගේ චැලිය ගිනි අරගෙනය. අනෙක් හාදයා අකුරක් නෑර ‘සජීවී ප්‍රචාරයක් තරමටම’ මට විස්තර සැපයුවේය. “නිමල් අයියේ, පාර අයිනේ තිබ්බ පඳුරු වගයකින් අතු කඩ-කඩා දාලා සයිකලේ වහලයි ගින්න නිවා ගත්තේ.... අර xxxxගේ ගෙවල් හරියේ....”

“තමුසෙලා කොහෙද එහෙ ගියේ? ඒ පාරේ කොහෙන්ද ඊයම්පෝරුව පන්සලක්?”  එතකොටම මම නෙවිල්ගේ ඇඟට කඩා පැන්නෙමි. මේ හාදයා උත්තර නොදී හිටියේය. උත්තරය දුන්නේ අනෙකාය.

පිස්සුද හලෝ? ඌයි මාව ඇන්දුවේ! (ඒ දවස්වල නෙවිල්.)

“නෙවිල් අයියව රවට්ටලා මේ ගිනිගන්න ලඩිය විකුණපු යාළුවා ඉන්නෙත් අපිට යන්න තිබ්බ පාරේලු. ඒ හින්දා ඒ පාරෙන් යන්නේ නැතිව අපි වටෙන් ගියේ. මං ඒත් නෙවිල් අයියට කිව්වා අපරාදේ නේද එච්චර වටයක් ගහලා යන්නේ කියලත්...”

“ඒත් ගියා....! දැන්වත් කියනවකො මනුස්සයො, මොකද එහෙම යාළුවව මඟාරින්න වටේකින් ගියේ... තමුසෙ මිනිහට පොල්ලක් තිබ්බද?”

“පිස්සුද හලෝ? ඌයි මාව ඇන්දුවේ!”

ඉතිං, මෙයා ඒ යාළුවාගේ ගෙදර ඉදිරිපිටින් නොගිහිං තියෙන්නේ එයාට ලජ්ජා හිතෙයි කියලා අනුකම්පාවෙනි. “දැන් පොර දන්නවා මම ඇත්ත දන්නවයි කියලා. උගෙ ගේ ඉස්සරහින් ගියාම ඌ හිතයි ඌට ලජ්ජ කරන්නම ඒ පැත්තේ ආවයි කියලා....”

මං කලින් කිව්වේ ඒකය. සිල් ගත්තා වුණත් උවමනා වෙලාවේදීවත් නයා පෙණය පිප්පිය යුතුය. එහෙම නොකිරීම ඔලමොට්ටලකමක් නෙවෙයිද? 

මං මේ හාදයාට අනන්තවත් ඒ බණේ දෙසලා තිබේ! මොන? ඒත් ඒකා ඉගෙනගෙන නැත!!

හැබැයි ඉඳහිට වෙලාවක මා වැනි ‘පට්ට අහිංසක බෝ පැළයකට’ නං මිනිහා චණ්ඩි talk ඉෂූ කරයි. ඉතා ළඟදීම එහෙම කළේ මේ දෙසැම්බර් 2 වෙනිදාය! අපේ සුමිතුරු WAL ප්‍රියන්තගේ; බිරින්දෑගේ ආච්චි අම්මාගේ අවමඟුලට මේ හාදයා ගිහින්ය. කොරෝනා නිසා හදිසියේ, ඉතා චාම්ව පැවැත්වුණු ඒ අවමංගල්‍යය ගැන කවුරුන්වත් මට කීවේ නැතිය. ඒ මොකුත්ම නොකියා නෙවිල් foto එකක් විතරක් මැසේජ් කරලා තිබ්බේය. කෙටි වැකියකුත් එක්කම.....

... foto එකක් විතරක් මැසේජ් කරලා තිබ්බේය. කෙටි වැකියකුත් එක්කම..... ‘මේ වගේ යන්නද ආස.....?’

(මේ දවස්වල ඒ හාදයා ඉන්නේ මගෙත් එක්කලා හිත හොඳින් නොවේ- මං එයාගේ පටි රෝල් වෙන දේවල් ප්‍රසිද්ධ කරනවාලු!) මෙන්න අර පණිවිඩය:

‘මේ වගේ යන්නද ආස.....?’

මනුස්සයා ඔහොම ඇවිස්සෙන්නට ඇත්තේ Pra Jay උන්නැහේ, කට්ටකාඩුවේ ලොකු මල්ලී එහෙම ‘පතාගෙන ඇවිත්- ...’ පෝස්ටුවට දාලා තිබුණු comments හින්දා වෙන්නටත් පුළුවන්ය. 

‘නෙවිල් තාම මේවා කියවන්නේ නැත්ද?’- Pra Jay

‘ඔය නෙවිල් ළමයට ගම රටවල් දාල යන්ඩ උනේ උන්නැහෙගෙ නිමල් කියල යාලුවෙක් ගමේ ඇවිල්ලා කරපු දහ පදුරා වැඩ වගේකට පස්සෙ කියලත් කතාවක් මම අහල තියෙනව ලොකා... ඔයා දන්නවද ඒ නිමල්ව?’- කට්ටකාඩුවේ ලොකු මල්ලි

කතාවට කවුරුන් මොනවා කිව්වත් නෙවිල්ට වෙන්නට ඇත්තේ මේකය. අම්මලා ඉඩම තුනට බෙදලා පුතාලා තුන්දෙනාට ලියා දුන්හ. ලොකු අයියාත් පොඩි අයියාත් එයාලාගේ කොටස් විකිණූහ. නෙවිල්ට ලැබුණේ ඉඩමේ මැද කොටසය. මහගෙදර තිබ්බෙත් ඒකෙය. දෙපැත්තේ ඉඩම් කොටස් දෙක වටේම තාප්ප ඉදි වුණේය; ගෙවල් ඉදි වුණේය. නෙවිල්ව නිකම්ම හිර කෙටුණේය. අවහිරයක් නැතිව බලන්නට ඉතිරි වුණේ ‘උඩ ආකාසේ’ විතරය.

සංවර්ධනය හින්දා අප කාටත් අත්වෙන ඉරණම එකය!

ඉතිං ඒ තරමටම කතන්දර මැවූ නිදහස් පාරිසරික උද්‍යානයක් තනාගෙන හිටි නෙවිල්ට ‘අර කොටු වීම’...

නෙවිල්ලාගේ මහ ගෙදර පරණ තාලයේ එකකි. සාලයක්, කාමර තුනක්, කෑම කන කාමරයක් හා කුස්සියකින්ය ඒ ගෙදර සමන්විත වුණේ.

නිතර නිතරම වනගත සංචාරවල යෙදෙන්නට පටන් ගත්තාම හතර වටෙන්ම කොටුවී; සීමාවී ඉඳිල්ල එපාම වෙලා යයි. අම්මලාගෙත් අවසරය ඇතිව නෙවිල් ගෙය වෙනස් කළේය. වහලය රැඳවී තියෙන්නට කණු කිහිපයක් යොදා, සාලයේ එක බිත්තියක් අයින්ම කරලා දැම්මේය. එයින් වුණේ කාමර දෙකක්ම පිටස්තර එව්වා වගේ වීමය. හැබැයි ගෙදරත් වත්තත් එකක්ම වගෙය.

“අපේ චූටිට පිස්සු නිමල්.... මේ කාමරේ නිඳාගෙන ඉඳලා රෑට එළියට යන වෙලාවක හොරෙක් එහෙම ආවොත්.... ඇයි, දැන් මේක හායි ගාලා වත්තටම ඇරලා දාලා වගෙයිනෙ....”

අම්මා එහෙම කිව්වත්, විවෘත සාලය අයිනෙන් පුංචි ගල් කන්දකුත් ඉදි වුණේය. කන්ද මුඳුනෙන් ගලා වැටෙන දිය දහරාවකි. දිය දහරාව ගලාගෙන යන තැන පිහිනමින් සිටින මාළු අහිනකි. ඒ මාළුන් අතර හිටි එක වර්ගයක මාළුවෙකු ඉතා කුඩා පැටවුන් රොත්තක් රැකගත්තේ උගෙ මුව තුළ රඳවා ගෙනයි.

අවට පරිසරය නිසලව තිබියදී වුණත් කුඩා මාළු පැටවු පියාගේ අසලම පිහිනති. යන්තම් හෝ කලබල ගතියක් දැනුණු වහාම ලොකු මාළුවා කට අයාගනී; කුඩා පැටවු එසැණින්ම ඒ මුව තුළට වදිති.

මගේ ළඟ ඉන්නවා පැටියෙක්... නැද්ද ඌව කටේ තියාගෙන හදාගන්න පුළුවන්.....

“අම්මප මරු වැඩේනේ ඕයි! බලනවකො ඒකෙත් හැටි. මිනිස්සුන්ටත් වැඩිය මේ සත්තු හොඳයිනෙ හලෝ....!” නිතරෝම නෙවිල්ලගේ ගෙදරටත් යනෙන අපේ හිතවතෙක් ඒ මාළුන් ගැන තදින්ම impress වුණේය. (ඔන්න දැන්මම කිව්වා- යාළුවාගේ නම කීම-විමසීම තහනම්ය!) තමන්ගේම කියා ව්‍යාපාරයක් කරගෙන දැහැමෙන්-සෙමෙන් හිටි ඒ මිතුරා දවසකට හතර-පස් වතාවක් මේ මාළුන්ට අනිමිස ලෝචන පූජාවක් කරන්නට පුරුදු වුණේය. කෑම ගෙනවිත් දමන්නටත්...

හිටි ගමන් දවසක මහ රෑ දොළහට විතර ඒ හාදයාට දුරකථන ඇමතුමක් ආවේය!

“අර ..... මහත්තයට කතා කරන්න පුළුවන්ද?”

“ඔව් කතා කරනවා... කවුද හලෝ මේ?” ඒ කොණෙන් නිඳි මරගාතේ විමසනු ලැබිණි.

“අනේ ලොකු උදව්වක් ඉල්ල ගන්නයි....... මගේ ළඟ ඉන්නවා පැටියෙක්... නැද්ද ඌව කටේ තියාගෙන හදාගන්න පුළුවන්.....”

“කවුද xත්තො? කැx xසිගේ පුතා.... තොගේ අම්මට *%$###*^#.....” විනාඩි දහයක් විතරම nonstop කුණුහරුප වැස්සක් වැස්සේය. ඊළඟ සති කිහිපයේම විටින්-විට අර හාදයාට දුරකථන ඇමතුම් වැලක්ම ආවාලු. “ඔන්න නිමල් අයියේ, අර xරියා... නෙවිලා හැම පරයටම ‘කටේ තියාගෙන හදන කතාවක්’ කියලා මට දැන් නිඳාගන්නත් නෑ.... ඔන්න නෙවිලට කියන්න, මං ළඟදිම උගෙ හොම්බ කට සමතලා කරනවය කියලා...”

කවුද xත්තො? කැx xසිගේ පුතා.... තොගේ අම්මට *%$###*^#.....” විනාඩි දහයක් විතරම nonstop කුණුහරුප වැස්සක් වැස්සේය....

ඒ දිනවල මා සේවය කළ ආයතනයේ මිතුරියකටත් මම මේ කතාව කිව්වෙමි. “මාත් call එකක් දෙන්නං xxxxxට” මිතුරාව දැනගෙන හිටි කෙල්ල ඇසුවාය.

“මගෙ මොකෝ? හැබැයි කුණුහරුප තමයි අහගන්න වෙන්නේ....” මම මිතුරාගේ දුරකථන අංකය ඇයට දුන්නෙමි. “අම්මෝ නිමල් අයියේ.... ජීවිතේට අහපු නැති කුණුහරුප ටිකක් අහගත්තා!” අන්තිමට ඇය කීවාය.

ඉතිං ඒ තරමටම කතන්දර මැවූ නිදහස් පාරිසරික උද්‍යානයක් තනාගෙන හිටි නෙවිල්ට ‘අර කොටු වීම’ දරා ගන්නට අමාරු වෙන්නැති. ‘වෙලක් අද්දර ගෙයක් හදාගෙන....’ සංකල්පය පුතාගෙන් කියවෙද්දී නෙවිල්ලගේ අම්මාත් උඩගෙඩි දුන්නාය.

“කොට්ටාව පැත්තට යමු... මානෙල්ල ගෙවල් කිට්ටුවට... උදේ හවා මේ ඉඩම අතුගාන්නයි, තණකොළ පැලයක්වත් පැලවෙන්න නොදී තියාගන්නයි ගියාම මගේ හොඳ පණ යනවා ළමයෝ. මෙයා සල්ලි දීලා පැල ගෙනත් හිටවනවා විතරයි. මං එපාය වතුර දාන්න, සාත්තු කරන්න ඕනි. ඒ මදිවට කුරුල්ලොත් ඇවිත් මේ මාළු පැටවුන්ව ගිලින්න පුරුදු වෙලා.... අලි ජරමරේ උන්ව පරෙස්සන් කිරිල්ල....”

එකම එක මෝටර් සයිකලයක්වත් නැතිව හෙල්මට් හය හතක් ගන්නට ඇති මෙලොව එකම පිලියන රයිඩරයා; නිමල් දිසානායක ඒ දවස්වල හැම ඉරිදාම කොට්ටාවට හෝ බෝකුන්දරට ගියේ නෙවිල්ගේ චැලියේය. කුමුදුලාලුත් ඒ ගමන්වලට ආවේය. ඒ නිසාම මානෙල් නංගිගේ හා සුනිල් මල්ලිගේ දූදරුවන් හැමෝටමත් ඒ දෙදෙනා හිතාදර මාමලා වූහ. 

පයින් වට දෙක-තුනක් පාගලා start කළ යුතු ඒ හුටු-හුටු ‘මදුරුවා’ බයිසිකලයෙන් double දාලා....

“හැමදාම අනුන්ගේ පස්සේ එල්ලිලා යන්නේ, ගන්නවකො බයිසිකලයක්... තමුසෙට සල්ලි නැත්තං විදේශාධාර හරි දෙයිනෙ....” දවසක් නෙවිල් යෝජනාවක් ගෙනාවේය.

“ඊට ඉස්සෙල්ලා මම පුරුදුවෙලා ඉන්න එපැයි!”

“බලපංකො මචං මේ මනුස්සයගෙ තියෙන මොට්ටකම. හලෝ.... මං මෝටර් සයිකල් පදින්න පුරුදු වුණේ අනුන්ගෙන් ඉල්ලගෙන.... kumudu, කියපං මචං උඹත් පුරුදු වුණේ කොහොමද කියලා....”

“හරි, හරි... කතන්දර පැත්තකින් තියලා දෙන්නත් එක්කම මට පුරුදු කරවනලකො!” මම ප්‍රතිඋත්තර දුන්නෙමි. “පාර්ලිමේන්තුවට මෙහා මාදිවෙල පැත්තේ පාර  පාළුවටමයි තියෙන්නේ. ඒකෙදි දවසින් පුරුදු කරවන්නං... යමුද මචං?” නෙවිල් ඇහුවාම කුමුදුත් කැමැත්ත දුන්නේය. ඒ ගමන සූදානම් වුණේ අප තුන්දෙනා වුණත්, අන්තිමේ හයක් වුණේය.

අප එහෙම learning යන්නට හදන බව මගෙන් ඉන්දිරාටත් කියැවිණි. “අනේ මචං, මාත් එන්නං.... ‘ම’ටත් කිව්වොත් උගෙ සයිකලෙත් අරන් එයිනෙ නිමලෝ....” ඉන්දිරා ඇහුවාය. 

‘ම’ කිව්වේ මර්වින්ටය. ඒ දවස්වල මර්වින්ටත් පොඩි මෝටර් සයිකලයක් තිබුණේය. පයින් වට දෙක-තුනක් පාගලා start කළ යුතු ඒ හුටු-හුටු ‘මදුරුවා’ බයිසිකලයෙන් double දාලා කඳුවල යනවා බොරුය. කන්දකදී පස්ස බරයි නං මදුරුවාගේ ඉස්සරහ ඉස්සෙයි!

මර්විනුත්, නෙවිලුත් උපරිමයෙන් උපදෙස් දෙන කෙළවරේය.

“අර පාමංකඩ ඉඳලා බර්නාඩ් බොතේජු එක ගාව මර්වියල ගෙදරට එන්න තියෙන කන්දවත් අද්දන්නේ නැති එකේ?” එතැන හිටි තවත් එකෙක් ඇහුවේය. “තමුසෙලා හඳහන් බලන්නැතිව ඉන්නවා. අපි ඒක කරගන්නං....” කවදත්; කාටත් උදව්වක් කරන්නට තියෙනවා නං තමුන්ගේ වැඩ වුණත් පාඩු කරගන්නා මර්වින් බොතේජුත් කැමැත්ත දුන්නේය.

(මල්වතු ඔයේදී කිරිල්ලීගේ පිහිටෙන් මගේ පණ බේරුණු ගමනට ගිය උපාලි ජයරත්නත් අපට එකතු වුණාමය පිරිසේ හය සපිරුණේ.)

වෙලාව උදේ දහයට විතරය. පුරුදු වෙන්නට හිටියේ දෙන්නෙකි; ඉන්දිරාත් මාත්ය. පුරුදු කරවන්නට හතර දෙනෙකි. අඩුම උපදෙස් දෙන්නා වුණේ කුමුදුලාල්ය. උපාලි මැද්දේය. මර්විනුත්, නෙවිලුත් උපරිමයෙන් උපදෙස් දෙන කෙළවරේය.

මෙච්චර දේවල් මතක හිටින මට ඒ උපදෙස්වලින් ටිකාක්ක්ක්වත් මතක නැති හැටි..... පුදුමෙකුත් නැත. එදාත් ඒවා මගේ ඔළුවට ගිහින් තිබුණේ නැතිකොට අද කොහොම මතක් වෙන්නද.... මතක තියෙන්නේ එයාලා මෝටර් සයිකලය අල්ලාගෙන හිටිද්දී ඊ ගහක වේගයෙන් චැලිය ඉගිල්ලෙන්නට හැදූ බව විතරය. ඉන්දිරාටත් වුණේ ඒ සන්තෑසියමය. ගුරු දිසාපාමොක්තුමන්ලාගේ හොඳකම නිසා හෝ මොට්ට තකතිරු ගෝලයන් දෙන්නාගේ දක්ෂකම නිසා හෝ එදායින්ම driving lessons ගැනිල්ල නැවතුණේය.

මන්දාරම් නුවරදී අපේ නඩයටම ඒ හැන්ද පිහිටටත් ආවේය!

ඉන්දිරා නං පස්සේ කාලෙක කාරයක් මිලදී ගෙන රියදුරු පුහුණුවත් ලබා ගත්තාය. “බලනවා... තමුසෙත් ඉන්දිරා වගේ ඩ්‍රයිවින් පුරුදු වෙලා හිටියා නං මටත් බය නැතිව කාලා-බීලා ඕනි තැනක යන්න තිබුණනේ...” නෙවිල් කාලයක්ම කෙඳිරි ගෑවේය!

දැන් නම් එහෙම කරන්නේ නැත. ලොකු වේදනාවක් දෙමින් අත-පයේ මස් පිඬු පෙරළෙන; හිටි ගමන් ඇඟිලි ඇඹරී අත්වල ඇඟිලි එක පිට එක යන මට (රියදුරු පුහුණුවක් ලබා තිබ්බත්) දැන් වාහනයක් දෙන්නට බැරි නිසාය. දැන් කෑම කන්නට වුණත් අතේ ඇඟිලි නිසියාකාරව මෙහෙයවීමට බැරිවෙන වෙලාවල් මතුවෙන නිසා මගේ ‘ගමන් මල්ලේ’ ජාතික හැඳුනුම් පතට අමතරව තේ හැන්දකුත් තිබේ. මන්දාරම් නුවරදී ඒ හැන්ද අපේ නඩයටම පිහිටටත් ආවේය! 

මෝටර් සයිකල් ගැන කියද්දී නෙවිල්ගේ ‘බලු වෛරය’ ගැනත් නොකියාම බැරිය.

අප කොහේ-කොතැනක ගියත් පාර අද්දරක මොන ජාතියේ බල්ලකු හිටියත්, ඒකාට නිකං ඉන්නට මේ යක්ෂයා ඉඩ නොදුන්නේය. එහෙම වෙලාවක නෙවිල්, බයිසිකලය අර අහිංසක බල්ලාගේ ඇඟට කපයි. ඌ බුරාගෙන පස්සෙන් පන්නන්නට වෙයි. ‘ඔන්න කෑවා - මෙන්න කෑවා’ වගේ බිල්ලට යන්නේ පිලියනයේ වාඩිවී ඉන්නා මාය.

අලුත් අවුරුද්දක් ලැබුවා විතරය. නොනගතය හමාරවීමෙන් පස්සේ....

“තමුසෙට පිස්සුද ඕයි? අහක ඉන්න බල්ලොන්ව කුලප්පු කරන්න... පන්නගෙන ඇවිත් කෑවොත් ඌට අහුවෙන්නෙ මගේ කකුලනේ....” අනන්තවත් කිව්වාට මේ හාදයා ඇහුවේ නැත.

“තමුසෙට පෙනුන්නැද්ද ඌ බලපු ඔරොප්පු බැල්ම? වලි නං වලි කියනවා වගේ.... ඒව කොහෙද මේ අනුරසිරි එක්ක... ඌ දන්නෑ මං කවුද කියලා...” එහෙම උත්තර දෙමින් මාව අවුස්සන්නට පටන් ගත් නිසා, කාලයක් ගත වෙද්දී මම බැනිල්ල අතහැර දැම්මෙමි. ඒත් නෙවිල් චැලියෙන් RZ මෝටර් සයිකලයට මාරු වෙද්දීත්, අහල ගං හතේම බල්ලෝ නම් මේ මනුස්සයාට බුරා පනින්නට සැදී-පැහැදී උන්නාහ.

හැබැයි, එහෙම පැනලත් මේ මනුස්සයා අනතුරක් කරගත් බවක් මට මතක නැතිය. බල්ලෙකු ගෑවිලාවත් නැතිව කරගත් එකම එකෙනුත්.... වැඩියත්ම රිදුණේ මටය!

සිංහල අලුත් අවුරුද්දක් ලැබුවා විතරය. නොනගතය හමාරවීමෙන් පස්සේ නෙවිලුත් මමත් අවුරුදු ගමන් යන්නට පිටත් වීමු. ඉස්සෙල්ලාම මානෙල් නංගිලාගේ ගෙදරට. එහෙන් දවාල සප්පායම්වී, පුංචි අවුරුදු උත්සවයකටත් සහභාගිවී අවසානයේ බෝකුන්දරට.... අපේ route එක මාලබේ පාරේ ඇවිත්, හතරමං හන්දියෙන් ‘පෝර ගොඩැල්ල’ පසුකර මොරකැටිය හන්දියට. එතැනින් ඇරැව්වල හරහා බෝකුන්දරට.

ඔයාලත් ඒ පාරේ ගිහින් තියෙනවාද?

ආරුක්කු නවයේ පාලම වගේම ඇරැව්වල පාරේ ඒ වංගු දෙකත් මට අමතක නොවේ!

මතකයිද, ඇරැව්වලට කලින් පල්ලමේ වෙල්යායක් හරහා තියෙන කොටස.... ඒ වෙල මැද හරියේ ලොකු බෝක්කුවක් එහෙම තියෙන්නේ... ඉතිං...

මොරකැටිය හන්දියෙන් හැරුණාට පස්සේ නෙවිල් ඉගිල්ලෙන්නට ගත්තේ පාර පාළු හින්දාය... රත්මල්දෙණිය හරියේදී මගේ මොළය හරහා විදුලියක් කෙටුවේය. ඒ ගැන නම් තවමත් මටම පුදුමය. අමුතුම අසහනකාරී අමුත්තකින් මම ආතුර වීමි.

ඒ පාර අපට පුරුදුය. අප හිටියේ උස හරියකය. තව ටිකකින් පල්ලමය.... ඒ එක්කම දකුණට හැරෙන්නට වෙයි. විනාඩියකින් ආයෙමත් වමට හැරෙන්නේ, වෙල මැද තියෙන හරියෙන් යන්නටය.      

‘හදිස්සියක් නැහැනෙ නෙවිල්.... අපි නිතර යන පාරකුත් නෙවෙයි නේද?’ මම නොකියා කීවෙමි.

මොන? මේ හාදයා වේගය අඩු කළේ නැත. පල්ලම ගියේය. දකුණට හැරෙව්වේය. ඒ එක්කම වමටත් හරවන්නට ඕනෑ වුණත් එය කෙරුණේ නැති ගණනය. (අංශක 90 හැරවෙන්නට ඕනෑ තැනදී හැරවිලා තිබුණේ අංශක 45 විතරය.) RZ සයිකලය ඉගිල්ලුණේය.... ඉගිලී ගිහින් වෙල මැද්දේ කෙළින් අතටම බිම ඇනී වැටිලා, පෙරළුණේය. එතකොට පිලියනයේ ඉඳගෙන හිටි rider; නිමල් ගොයියාට මොකද වුණේ?

අජානේය තුරඟා වගේ බයිසිකලය පිම්ම පටන් ගන්නවාත් එක්කම ඒ ගොබිලා ගැස්සී ඉස්සුණේය...

අජානේය තුරඟා වගේ බයිසිකලය පිම්ම පටන් ගන්නවාත් එක්කම ඒ ගොබිලා ගැස්සී ඉස්සුණේය... ඒ එක්කම අහස දෙසට ඇද්දුණේය... ගුරුත්වාකර්ෂණ බලය හින්දාදෝ ආයෙම පහත් වුණේය. හරියටම පපු පෙදෙස නෙවිල්ගේ හෙල්මට් එකේ වදින විදිහටය...... වැදිලා bump වී ඒකා තවත් ටිකක් ඉස්සරහට වීසි වුණේ කුඹුරු ලියැද්දකට ඇද වැටෙන විදිහටය.

“මම කිව්වා නේද මචං.... ලයිට් එළියෙ විදිහෙන්ම.... වෙලේ තමයි කියලා...”

“ඒ speed එකෙන් ඇවිත් කොහොමද බං...”

අර වෙල මැද බෝක්කුව උඩ, අලස සුවය විඳිමින්; ත්‍රෛලෝක විජය පත්‍ර ධූමයෙන් සන්තර්පණය වෙමින් හිටි තරුණ කැළ අපේ ළඟට දුවගෙන ආවෝය. අර විදිහේ පසු විමර්ශනාත්මක විශ්ලේෂණ මතවාදත් පළ කරමින් අපට සහයත් දුන්හ..

අපේ වාසනාවට වෙල් යායේම ගොයම් කපා අහවරවී තිබිණි. පෑවිල්ල නිසා පැළිවළන් පැළිලාය. නෙවිල් නැඟිට්ටේය; බයිසිකලය කෙළින් කර ගන්නට අර තරුණයොත් උදව් කළහ. මමත් නැඟිට්ටෙමි. “මචංලා මොකෝ.... ඉන්ජරීස් නෑ නේද?” එයාලා අහන අතරේ මම ‘සුනිල්ලා ගෙදර’ට ගෙන යන්නට තිබුණු මල්ලේ බඩු අහුලන්නට වීමි. අප දෙන්නාටම තිබුණේ ඉක්මනින්ම එතැනින් පිටවීමේ උවමනාවයි.

අප අකරතැබ්බයේ වංහුං හොයා බැලුවේ සුනිල්ලගේ ගෙදරදීය. අපේ හතර හන්දි- අතපය බිඳිලා තිබ්බේ නැතිය. සීරුම්- තැලීම් විතරය. එව්වාත් වැඩියෙන් තිබ්බේ මටය!

අපේ එකෙකුට නම කියලා කතා කරනකොට හැරිලා නොබැලුවත් ‘අඩෝ xත්තො’ හරි ‘xකයො’ හරි කිව්ව ගමන්ම... (ඒ කාලේ අජන්ත හා තුවාන්)

“අම්මට හිxx speed එකකින් තමයි මේ xත්තා යන්න ඇත්තේ... ඇති ඔයින් ගියා....” අපේ කතාව අහගෙන හිටි නෙවිල්ගේ යාළුවෙක් කිව්වේය.

මගෙත් එක්ක කතාබහේදී වෙනස් වුණත් ඒ මිතුරන් හුඟදෙනා ඒ කාලයේ කතාබහ කරගත්තේ ‘සුද්ද සිංහල’ත් මුසු කර ගනිමිනි. මුලදී නම් මටත් ඒක odd විදිහටය දැනුණේ.

“ඇයි තුවාන් ඔයාලා කතා කරද්දී හුඟ වෙලාවට කුණුහරුපෙන්ම කතා කරගන්නේ?”

අපේ ගෙදර හදන කාලයේ- අවුරුදු 30කට විතර ඉස්සර දවසක මම තුවාන් මිස්කින්ගෙන් ඇසුවෙමි. ඒ වෙද්දී මා දැන සිටි බොහෝ දෙනෙකු අසැබි වචනයකින් කෙනෙකුට කතා කළේ තරහ ගිය වෙලාවක මිස හිතවත්කම පෙන්වන විටෙක නොවේ. 

“අපි පුරුදු වෙලා ඉන්න හැටි වෙන්නැති. මේකනෙ නිමල් අයියෙ, අපි කවුරුවත් ඔයාට කුණුහරුපෙන් කතා කරන්නෙ නැහැනෙ... අඩු ගානේ මචං කියලවත් කියනවද? නැහැනෙ... හැබැයි අපේ එකෙකුට නම කියලා කතා කරනකොට හැරිලා නොබැලුවත් ‘අඩෝ xත්තො’ හරි ‘xකයො’ හරි කිව්ව ගමන්ම බලනවා. එහෙම කියාගන්නෙ තරහකට නෙවෙයි... fit එකට.”

සමහරවිට ඒ වයසේ හැටි වෙන්නටත් ඉඩ තිබේ.

මේ ලිපිවලදීම මේ නඩයේ අයට මිතුරන් යැයි කියන්නට බැරි බව මම කීවෙමි. ඒ එකල තිබුණු තත්ත්වය මට පෙනුණු විදිහ අනුවය; එහෙත් දැන් දසක තුන-හතරකට ආසන්න කාලයක් තිස්සේ.....

16 comments:


  1. ඒ කියන්නෙ නෙවිල් දැන් කියවනව මේක?


    https://www.sciencedaily.com/releases/2016/02/160210111907.htm

    ReplyDelete
    Replies
    1. ඊයේ පෙර්දාවක වුනු දෙයක් කියන්නම්කො Pra jay මහත්තයෝ.
      මේ දවස්වල අපි හතරදෙනෙක් වාදෙක පැටලිලා ඉන්නේ. fb එකේ මැසේජෙස් හරහා.

      ඒකෙදි මගෙන් කියවුණා 'වැදී ගෑනු මැණික් මාල වුණත් අහක දමලා ඉදුණු ගොරකා මදවලින් හදාගත් මාල දානවනේ' කියලා. මේ විද්වතා එතකොට අහල එවනවා කවුද එහෙම මාල දාන්නේ කියලා. පණිවිඩේ කියවලා වුණාට මුල් වචන දෙක ඔළුවට ගිහින් නෑ වගෙයි, නේද?

      ඉතිං, කවුරු හරි පෙන්නුවත් මේ හාදයා කොහොම ලිපිය කියවා ගන්නවද කියලා නං මට සැකයි.... මම දන්නා කාලේ ඉඳලම නෙවිල්ට පොතක් අතට ගත්තම නින්ද යනවා.

      අර වාදයේදී වුණත් මේ යක්ෂයා කරන්නේ අනුපාන එකතු කරන වැඩේ.

      Delete
  2. ගැටව් කාලේ වේග සීමා, වංගු හැරවිලි නෑ හිතේ
    අපත් ඔය හැටියටම ඇලවල් වෙල් ලියදි හෙම හා ඇතේ
    නැගී අහසට බිම පතිත වී වෙලේ මඩගොඩ නෑවෙතේ
    බයික් එකකිං වැටිල නැත්තං මොටද උගෙ ඒ ජීවිතේ

    විස්සාසෙට ගන්ඩ නිදි, මේ කයිය ලිව්වෙ අග ඉඳං මුලට...

    ReplyDelete
    Replies
    1. අග සිට පටන් ගත්තත් කිසි දොසක් නැත
      ඩ්රැකී, තරුණ කල කාටත් විසේ ඇත
      දඬු මොනරෙට නැඟී වේගෙන් ඉගිල්ලෙත
      හොණ්ඩා වාට්ටුත් තිබු බව මතකෙ ඇත!

      Delete
  3. //ඒ පාරේ ගිහින් තියෙනවාද
    නිදි, ඔය පාර රජ කාලේ රයිගම ඉඳන් කෝට්ටේ යන්න පාවිච්චිවුනා කියල නං අහලා තියනවා

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයා හද්දා පරණ දුර්ලභ සිතියම් පොතක් ගෙනත් පෙන්නුවා මහරගම කියලා ගමක්වත් ඉස්සරෝම නොතිබුණු බව. එතකොට පන්නිපිටිය, බෝකුන්දර හෙමත් තියෙද්දියි හික්ගස් හන්දිය කියලවත් සඳහනක් නැත්තේ.

      අපරාදේ කියන්න බෑ... Pra Jay මහත්තයා ඔහොමයි මාව තල්ලු කරමින් ඉන්නේ, මහරගම ඉතිහාසය ලියන තැනටම.

      Delete
    2. ඒ තල්ලුවට නං මාත් සපෝර්ට්.නිදි කියෙව්වද නුගේගොඩ ඉතිහාසය ගැන මර්වින් P හේරත් මහත්තයා ලීව පොත.

      Delete
    3. අනේ නෑ සිරිබිරිස් උන්නැහේ. එහෙම පොතක් ගැන අහලවත් නැහැ.

      Delete
  4. තුවාන් බෝට බක්තියක් තිබ්බ නිසා හොඳයි.නැත්නං උත්තර හම්බු වෙන්නේ කවුද xත්තො කුණුහරප කියන්නේ කියල.

    ReplyDelete
    Replies
    1. තුවානුත් දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. පවුල පිටින්ම. සිරිබිරිස් උන්නැහේටත් හමුවෙලා තියෙනවද මන්දා...

      ඇත්තමයි, තුවාන් විතරක් නෙවෙයි, ඒ හැමෝම මට සලකන්නේ ගොඩක් භක්තියෙන්. එකෝම එක දවසක් විතරක්- නිල්ගල ගිහින් කඳවුරු බ්මක ඉන්දදී සමහරෙකුට වැඩි වුණා.... ජාති කවලම් වෙලා. හොඳටම හැදිච්චි විදිහට ඉන්න කෙනෙක් නම් ඒ වෙලාවේ ප්‍රශ්නයක් ඇහුවා. තවමත් මතක් වුණාම 'අනේ සමාවෙන්න නිමල් අයියේ' කියනවා.

      ඇහුවේ මෙච්චරයි, පාන්දර දෙකහමාරට විතර. "කෝ අර නිමල් xත්තා, මොකද ඌ සිංදු කියන එක නැවැත්තුවේ?"

      Delete
  5. කූඹියෙකු පිට අලියෙක් යන සේ පෙනිලා
    මිතුරා යනවලු ලදරං චැලියක නැගලා
    වංගුව කෙලින් කරනට නෙවිලට හිතිලා
    වෙලේ මඩ කෑව නිමලට හොදට රිදිලා..

    ReplyDelete
    Replies
    1. චැලියෙ ගිහිං කොහෙ පන්නන්නද එහෙම
      ආර් ඉසෙඩ් එකකිය එතකොට උරුම
      රිදුනට කමක් නෑ, සුව වෙනවා රිදුම
      තවම ලජ්ජ සිහි වෙද්දියි ඒ පිම්ම

      Delete
  6. ඔයත් කොට්ටාව පැත්තේ හොඳට කරක් ගහලා (කරක් ගහලා විතරක් නොවෙයි, පිනුම් ගහලාත්) තියනවා වගෙයි. පෝරගොඩැල්ල කියන හරිය (ඒ නම හැදුනේ "පෝරගේ' කියන වාසගම ඇති අය ඒ හරියේ හිටපු නිසායි) 60/70 දශක වලදී තියා 80 දශකයේ මැදක් විතර වෙනකලුත් හොර මැර කම් වලට බොහොම ප්‍රසිද්ධයි. දවාලක ඔය පාරේ ගියොත් මිසක්, රෑ බෝ උනාම නම් කොහොමවත් ඔය පැත්තේ කවුරුවත් යන්නේ නැහැ.
    ඇරැව්වල පාරෙත් දෙවෙනි වංගුව මිස් වෙලා වෙලට වැටිලා බේරුනාට පලවෙනි වංගුව මිස් උනා නං පිං ළිඳේ !

    ReplyDelete
    Replies
    1. ඔයාත් කොට්ටාවෙනේ සෑම් මහත්තයෝ. ළඟදී ගිහින් නැද්ද පෝරගොඩැල්ල පාරේ. දැන් ගොඩක් දියුණුයි. අපේ නංගිලා ඉන්නේ විද්‍යාල හන්දියට මෙහා හොරහේන පාරේ. දැන් නෙවිල් ගේ හදාගෙන තියෙන දිහාට යන්න කිට්ටුමත් පෝරගොඩැල්ල පාර දිගේ ගියාම. හතරමං හන්දියේ ඉඳලා එනවාට වඩා.

      හැබැයි, තවමත් පෝරගොඩැල්ල හරියේ ඉන්න අයගේ ඩයල් නං වෙනසක් නෑ වගෙයි පෙනෙන්නේ.

      ඔය සේරටම වඩා සතුටුයි, ඔයා පාර හරියටම නිනව් ඇතිව හිටීම ගැන. පිං ලිඳ ගැන මගෙන් නොකියවුනේ ඒ පාරෙන් කවදාවත් පයින් ගිහින් නැති නිසයි. ගොඩක් ස්තුතියි ඒ සඳහනට.

      Delete
  7. තුවාන් මිස්කින් ජර්මන් ටෙක් එකේ ඉගෙන ගත්, බ්‍රිස්බේන් ඉන්න එක්කෙනාද?

    ReplyDelete
    Replies
    1. තුවාන් මිස්කින් ජර්මන් ටෙක් ඉගෙන ගත් කෙනා තමයි. ඕස්ට්‍රේලියාවේ මිස බ්‍රිස්බේන්ද කියලා නම් දන්නෙ නැහැ.
      කුමාර, මම හිතන්නේ ඔයා අහන්නෙත් මේ තුවාන් ගැනම තමයි. මේ පොස්ටුවේම -රතුපාටින් තියෙන 'මම තුවාන් මිස්කින්ගෙන්' කියන වචන උඩ ක්ලික් කලාම එන පොස්ටුවේ එයාගේ පවුලේ foto එකක් තියෙනවා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්