li Item

Tuesday, August 9, 2022

හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස

“තේ නෙවෙයි මිනිහෝ. මට කල්පනා වෙන්නෙම මර්වින් ගැන. මර්වින් තනියමනෙ... මොනවා කර ගනියිද දන්නෑ.”

“එයා එයි. මර්වින් බබෙක්යැ?” නෙවිලුත් කියයි. එහෙම කිව්වත් මගේ හිතට හරි නැත. එකට ඇවිදිනුත්, උදේ පාන්දර කුමන පිවිසුම ළඟ මර්වින්ව නවතා දමා එන්නටය අපට සිදු වුණේ!

එයා එයි. මර්වින් බබෙක්යැ?” (මර්වින්, ලලිතා, පුතු මාධව හා ලේලිය එරංගා)

අපේ නඩයේ අයගේ යහපත තකා මර්වින් එතැන නැවතුණේ කැමැත්තෙනි. ඒ... විස්තරයත් කියන්නම වටිනා එකකි.

“මටත් හිතෙනවා අලුතින් ඉස්කෝලේ ගිහිල්ලා, දොස්තර කෙනෙක් වෙන්න. බලපංකො මචං දොස්තර මහත්තයට තියෙන සැලකිල්ල. පීරා අඳුරන්නෙ නැති කෙනෙක් ඉන්න පලාතක් ලංකාවේ නං තියෙන්න බෑ බං.” වතාවක් නෙවිල් කිව්වේය. “... කොහෙට ගියත් මොකෙක්ම හරි ඉන්නවනේ මිනිහට උදව් කරන්න!”

“එව්වට කියන්නේ ‘මේ ආත්මෙදීම පටිසන් දෙන පිං’ කියලා. නෙවිල් අයියලත් පිනක් කරලා තියෙනව එව්වයින් කොටසක් බුක්ති විඳින්න. සාදර අනුග්‍රහය: ටිං ටිං, අයස්මන්ත පීරිස්ගෙන්!” එදා පීරිස් රඟමින් කිව්වේය. “මර්වින්ලා, ගවියල, තමිරල එහෙමත් ඒකට වාසනාව තියෙන අය. සංසාරේ හැටි තමයි මචං.”
“යකෝ, එතකොට මෙයා?”
“ඒඒඒඒඒ....ක වෙනයි මචං. නිමල් ගොබිලට යුෂ්මතාලයි, මමයි ලොකු ණයක් වෙලා ඇති ගිය ආත්මේ!” (අප කොයි කාටත්
බේරා ගන්නට පහුගිය ආත්මවල හිට එන ගනුදෙනු තිබෙයි!)

ඉතිං, අරහෙම කිව්වත් පීරිස් හැකි හැම කෙනෙකුටමත් බොක්කෙන්ම උදව් කරයි. එහෙම උදව් ලබන අයත් ඉඩක් ලැබුණු වහාම පෙරළා, දොස්තර මහතාට උදව් කරති! මේ වතාවෙත් ඒ බව ඔප්පු වුණු කතන්දරේ ‘විස්තරය’ මෙහෙමය.

“නිමල් අයියේ, xxx මහත්තයා කියනවා, ඕනි නං අපේ bags ටික සේරම මඩමේතොටට ගෙනිහින් දෙන්නම් කියලා. ට්‍රැක්ටරේක... ටිකක් දවල් වෙනකොට එයාලගෙ ට්‍රැක්ටරයක් කුඩා කැබලිත්තට යන්න තියෙනවලු.” අයස්මන්ත පීරිස් අරගෙන ආවේ හිතට පවන් සලන- ගතට සතුට දනවන ආරංචියකි.
“මරුනේ ඩොක්ටර්! ඒ කියන්නේ ගඟ ළඟට නේද?” අපේ චූටි පුතා ජයශංඛත් ඉස්සරහට පැන්නේ එතකොටය.
“හ්ම්! එතනට තමයි. කුඩා කැබලිත්ත දේවාලේ ළඟට. යවමු නේද අයියේ...”

“එහෙනං තේ බඩු තියෙන bag එකයි, ළිප- සාස්පාන් එහෙම තියෙන bag එකයි තියා ගනිමු. බාගුරේ කලපුව ගාවදී අපි නැවතිලා, තේ හදා ගන්න එපැයි...” මමත් අනුමැතිය දුන්නෙමි.

බාගුරේ කලපුව ගාවදී අපි නැවතිලා, තේ හදා ගන්නවනේ... (Foto- පසිඳු බණ්ඩාර)

තනියම බුදු වෙන පුරුද්දක් නැති දොස්තර  මහත්තයා හිච්චිලාටත් ඒ සුබාරංචිය කිව්වේය. කියන පරක්කුවෙන්ම බෑග් වැස්සක් ඇද වැටෙන්නට පටන් ගත්තේය.

“ඔය වැඩෙන් bags නැති වෙන්නත් පුළුවනි. ළමයි... කවුරු හරි අපේ බෑග්ස් ගණන් කරලා වෙනමම ගොඩ ගහනවලා. හිච්චිලා එව්වත් වෙනම තැනකට ගොඩ ගහන්නැයි කියන්න, ගණන් කරල.” සමහර වෙලාවට මං වහන්සේ සාධාරණ ඒකාධිපතියෙකු වෙනවනෙ. එවේලෙත් එහෙමය.
මා විසින්ම, මගේ අතටම ඒකාධිපති බලතල පවරා ගනිමිනි, අපේ දෙන්නෙකුටම ගණනය කිරීම් පැවරුවේ.

“අපේ බෑග්ස් 16යි. වතුර බෝතල්- බාල්දි තුනයි!”

අපේ නඩයේ දහ දෙනෙකුගේ ‘bag අස්වැන්නයි’ ඒ. (හම්බන්තොට අසංගත් ගමනට එනවයි කිව්වත් ආවේ නැත. ඒකත් ජය සිරි මංගලම්ය. එයාත් ආවා නං van එකේ තවත් හිර වෙන්නටය අපට වෙන්නේ. එහෙනං තව bags දෙකක්වත් වැඩි වෙන්නටත් ඉඩ තිබුණේය.)
හිච්චිලාගේ නඩේ 13 දෙනෙකි. එයාලගේ bags කන්ද සමනල කන්දට වඩා චුට්ටක් කුඩාය. අපේ බෑග්ස් කන්දට වඩා ලොකුය.

“මචං! මෙච්චර තොගයක් පටවාගෙන ගිහිල්ල, කුඩා කැබලිත්ත දේවාලේ ළඟින් බාන වැඩේත් කරන්න කියල පිට කෙනෙකුට කියතෑකිද බං?” පීරිස්ට කියැවුණේ ඒ බෑග් කඳු දෙක දැක්කාමය. “අපෙන් කාට හරි ට්‍රැක්ටරේ එනකල් ඉඳලා බෑගුත් පටවාගෙන මඩමේතොටට යන්න වෙයි.”
ස්ව කැමැත්තෙන්ම ඒ කෝච්චියට බෙල්ල දුන්නේ මර්වින්ය. එනිසාය මර්වින්ව තනියම එතැන නවත්තලා අප පිටත් වුණේ!

මේ වතාවේ අපේ චාරිකාවේ foto ගත යුතුය කියලා හැඟීමක් කාටවත් තිබ්බේ නැත. “අපේ පසිඳු කැමරාව ගෙනෙන්නයි හදන්නේ.” දවස්  කීපයක් ඇවිදලා පුරුදු වුණාම, පීරිස් කිව්වේය.

ගෑනු- පිරිමිතීරුවලට අයිති ෆොටෝ තිබුණේ අල්පයකි. (කොට උඩට ගිය ගවීන්, තමීර, නෙවිල්, ප්‍රියන්ත, පසිඳු හා නමී)
“නිදි, මාත් අහන්නමයි හිටියේ. මගේ කැමරාවත් අරං ආවට කමක් නැද්ද?” නමිනං උන්නැහෙත් ඇහුවේ එතකොටය. “උස්සගෙන යන්නෙ මම නෙවෙයිනෙ. තමුන්ගෙ කැමැත්තක්!” මම කීවෙමි.

ඒ උත්තරය අපේ කැමරාකාරයන් දෙන්නාටම වැදිලා වගේය.
කැමරාවලින් සන්නද්ධව පැමිණි නමීත්, පසිඳුත් දෙන්නාම කැමරාවෙන් ‘ගෑනු- පිරිමි- මල්- පලතුරු- සත්තු’ සෙල්ලම කරලාය. ඒකෙනුත් මුල් දෙක; ‘ගෑනු- පිරිමි’ තීරුවලට අයිති ෆොටෝ තිබුණේ අල්පයකි. මල්- කොළ- සත්තු කුලකයේ foto ගොඩකි.

තට්ටය ගාලා- කුඩා රතු රෙද්දක් අන්දවා- නළලෙත්- පපුවෙත් තුන්නූරු සලකුණුවලින් සරසා හිටි (අවුරුදු දෙකක විතර) පුංචි පැංචෙක් ඔකඳ ගල මුඳුනේදී මගේ ඇස් පැහැර ගත්තේය. මං ඒ බට්ටාව නමීට පෙන්නුවේ ‘Foto එකකට හොඳ නේද’ කියා නොකියා කියමිනි. ම්හු!
ඒ හාදයාගේ කැමරාව එවෙලේ වැඩ කළේ නැත.

ගමන ගැන ලියන්නට හිතේ නොතිබුණු හින්දා, මං වහන්සේ ඊට පස්සේ foto ගැනීම ගැන ඒ දෙන්න එක්කම අවාචික සන්නිවේදනයකවත් යෙදුණේ නැත!

ඒත් ඒ ‘නොලියන අදහස’ වෙනස් කරගෙන පෝස්ටුවක්- දෙකක් ලියන්නට කරුණු යෙදුණේය. සුපුරුදු විදිහටම ඒ posts හැඩ කරන්නට foto හොයන්න ගියාමය, අපේ ෆොටෝ සක්විත්තන් දෙන්නාගේ රුචිය, මගේ රුචියට සමපාත නොවන බව මට හරියටම තේරුණේ.

මගේ foto ටේස්ට් එක වෙනස්ය!

ගමනකදී වුණත් මට ඕනෑ කරන්නේ සිදුවීම් වාර්තා කෙරෙන ඒවායි. Post එකේ පළමු කොටස සැරසුවේ ජංගමයන් දෙක-තුනක් අස්සේ හිරවී තිබුණු එවැනි දර්ශන උදව්වට අරංය. ඒත් ඒ චුට්ට ඇතිද?

යෝධ ළිපත් පහු වුණා. මර්වින්ලා තාම නැහැනේ. (Foto- අනුර පල්ලිමුල්ල)

ගුණ යහපත් මිනිස්සුන්ට කරදරයක් වුණාම ශක්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය රත් වෙනවාලු; එහි දසුන් එතුමාගේ දිවැසටත් පෙනෙනවාලු. බෝ පැලයක්සේ ගුණ යහපත් මගේ කරදරයත්  Praසන් දිවැසින් දැකලද කොහෙදය. පළමු කොටසට comment එකක් එවමින් ‘නයා’ මෙහෙම කියා තිබිණි.

‘... බුකියෙ අනුර පල්ලෙමුල්ල පාද යාත්‍රාව ගැන දාල තිබ්බ ෆොටෝ ටික බලල මෙතෙන්ට එනකොට මේක. මටත් ඔය ගමන යන්න ආසාවක් තියෙනව නිදිගෙ විස්තර කියෝල, ෆොටෝස් බලල.
ලොකු උනාමවත් යන්න ලැබෙන්නැතැයි. හැක්...’

මට ඒ ඔත්තුව හොඳටෝම ඇතිය. Fb එකට ගියේ ඒ ඇසිල්ලේමය...
මේ තියෙන්නේ!

නාඳුනනවා වුණත්, අනුර පල්ලිමුල්ලලාත් පාද යාත්‍රාවේ ගියේ අපත් එක්කම වගෙය. ඒත් ඒ කැමරාවලට ගොඩක් දේවල් අහුවෙලාය. Posts දෙකක සටහනකුත් එක්කම- ෆොටෝස් සියයකට කිට්ටු ගණනකි. ඒවායින් මගේ රුචියට ගැලපෙන ඒවා මෙහිදීත් දැකීමේ වාසනාව ඔබටත් හිමිය.
ස්තුතියි අනුර පල්ලිමුල්ල සහෘදයාණෙනි!

“යෝධ ළිපත් පහු වුණා. මර්වින්ලා තාම නැහැනේ.” පැයකට වඩා ඇවිදගෙන ගිහිං නැවතුණාම මට කියැවිණි. ඒ නැවතුණේ ෆොටෝ ගහන්නට නෙවේ. පළමු විවේකය ගන්නටය.
“ඌ එයි හලෝ!”
බාගුරේ කලපුව අසල ඉවුරේ නැවතී තේ හදද්දීත් ඒ යක්ෂයා නැත.

චූටි පුතා, ජුලි 22 උදෙන්ම පොල් ගෙඩියක් ගාලා දුන්නාම මං කළේ අග්ගලාවලට පිටි අනා ගැනීමයි.
“දැන්ම නෙවෙයි හලෝ, බාගුරේට ගියාම කමු නේද!” යෝජනාව නෙවිල්ගෙනි.
ඒ අවස්ථාවේ, තුනෙන් දෙහෙක වැඩි කැමැත්තටත් ඉඩ දෙන්නට වුණෙන්, මං බාගුරේදී අග්ගලා ගුලි කළේ තේවලට වතුර උණු වෙන අතරේය.

“නෙවිල්, ඔය තේ බඩු තියෙන බෑග් එකේ සීනි, තේ කොළ, ඉඟුරු, කෝප්ප ඔක්කොම තියෙනවා. ගන්න බලන්න ඉඟුරු කෑල්ලක්....”
“අම්මට සිරි! බලපංකො මචං මෙයාගේ අලුත්ම ක්‍රමේ අපිට පෙන්නන්න තියෙන ආඩම්බරේ! එතකොට මොනවද අනිත් අයගෙ බෑග්වල තියෙන්නේ?”

බරෙන් අඩුයි වුණාට ලොකු ඉඩක් අල්ලනවනේ...

මගේ කාර්ගිල්ස් bag යෝජනාවට කැමැත්ත නොලැබුණත් මං කළේ බෑග්ස් දහයක් අරගෙන ඒමය; ඒවා අංකනය කොට සූදානම් කර ගැනීමය. 19 වෙනිදා සවස බඩු බෙදා- අසුරා තියන්නට නෙවිල් ආවාම වැඩේ වඩාත් පහසු වුණේ එබැවිනි.

“එක එක අංක තියෙන bagවලට දැම්මේ මොනවද කියලා දැන් මට කියන්න.”
“ඒ මොකටද? එහෙම කරන්න නං ආයිත් මේවා එක එක එළියට අදින්න වෙනවනෙ...” නෙවිල් ඇහුවේ පුදුම වෙමිනි.

“දැන් පොඩ්ඩක් කරදර වුණත් නෙවිල්, එහෙම ලියා ගත්තම මං දන්නවා ඒ ඒ බඩු තියෙන්නේ කාගෙ ළඟද කියලා.”
“ඉතිං දැන් එක එක්කෙනාට බෑග්ස් දෙන්නෑනෙ. දෙනකොටම...” නෙවිල් හරස් කපයි.
“මිනිහෝ, ඒවා දෙන වෙලාවට මේ ලැයිස්තුවේ අංකයට ඉස්සරහින් නම ලියා ගන්න විතරයිනෙ තියෙන්නේ.”   

අපේ බෑග 10 ලැයිස්තුවත් මෙතනට ඔබන්නේ කාට හරි පහසුවෙන් වැඩක් ගැනීමට හිතුණොතින් කියලාය.
1- බී ළූණු/ සුදු ළූණු/ පපඩම් බැදුම/ මදුරු කොයිල් පැකට්ටුව
2- වේලකට හාල්/ කොහිල/ වම්බටු/ හීන් නාරං
3- සීනි/ කුරක්කන් පිටි/ අර්තාපල්/ සෝයා මීට්
4- හාල්/ අර්තාපල්/ පිටි කළ පොල් කිරි
5- පාන් පිටි/ පරිප්පු/ අර්තාපල්/ හාල්
6- සුදු හාල්/ පරිප්පු/ ලුණු කැට හා කුඩු
7- හාල්/ පරිප්පු/ මිරිස් තුනපහ/ සබන් හා දත් බෙහෙත්
8- බිමට එලන රෙද්ද/ පොල් තෙල්/ විම්
9- තේ බඩු/ පිඟන් කෝප්ප/ අග්ගලා පිටි/ බිස්කට් ජාති/ මැලේ අච්චාරු 
10- ළිප/ වළන්/ හැඳි/ පිහි/ එළවලු කපන ලෑලි/ හිරමණය/ රම්පෙ කරපිංච/ දැලි රෙදි කෑලි

අපේ දේශපාලකයන්ගෙන් ‘සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදය’ ඉගෙන නොගන්නා අප මුල් බෑග හතම pack කළේ සමාන බරකින් හිටින්නටය. “අට බරෙන් අඩුයි වුණාට ලොකු ඉඩක් අල්ලනවනේ...”

එහෙව් මනුස්සයා දැන් තනියෙන්. (Foto- නමී)
“නවයත් එහෙමයි. නෙවිල් ඒක ගෙනියනවනේ ගිය සැරේ වගේ...”

“එතකොට මේ සැරෙත් තමුසෙමද වළන් බෑග් එක ගෙනියන්න ගන්නෙ?”
“ඔව්!” මම ජයග්‍රාහී ලීලාවෙන් කිව්වෙමි.
“ඔව්? ආඩම්බරේට ඔව් කිව්වට හලෝ, තමුසෙගෙ ඇඳුම් bag එකත් උස්සන් යන්න වෙන්නෙ අපි කාට හරිනෙ... මහ ලොකුවට බෙදනවා. තමුසෙගෙත් පඩ ෂෝ තමා!”

එහෙම වෙලාවට නං මං තුමා කට ගහගෙන ගිහින් පුරාජේරු කතන්දර කියන්නේ නැත. උජාරුවෙන්  කියන්නට ඕනැන්නේ කරන්නට පුළුවන් දේවල් විතරය.

අතුරු පාරකට හැරුණු නිසා ටිකක් වෙලා ගියත් තවම වතුර රත්වී නැත.

තිස්සමහාරාමයෙන් අපේ ගමනට එක්වුණු ප්‍රියන්ත ඉඟුරු කැබැල්ල පිරිසිදු කළේය. ෂොපින් බෑගයකට දමා තැලුවේය. වතුර සාස්පානටම ඒවා දාන්නදැයි ඇහුවේය. ප්‍රියන්ත ගෙදරක- ගමනක වැඩ කෙරෙන හැටි දන්න පාටය. හොඳ ඉවකින් කටයුතු කරන පාටය.
ප්‍රියන්ත මේ මුළු ගමනේදීම නියම ගමන් සගයෙකු වෙනවාට කිසිම සැකයක් නැත.

පොලිසියේ රාජකාරී කරන වැඩි දෙනෙකු ළඟ තියෙන බොරු රැස්පොට්; රාජ ඌෂ්ණ එහෙමත් ප්‍රියන්ත ළඟ නැත. පොලිසියේ හැමෝම මෙහෙම අය වෙනවා නං...

“මේ ගමන්ම රොටිත් කමු නේද?”
“මර්වින් කිව්වා රොටි විස්සක් ඇති කියලා... ඒ කඩේ ගෑනු එක්කෙනා තේ හැදිල්ලත් නවත්තලාලු රොටි විස්ස පුච්චල දුන්නේ.”
“එහෙව් මනුස්සයා දැන් තනියෙන් ට්‍රැක්ටරේ එනකල්... බඩගින්නේ ඇත්තේ. මතක ඇතිව එයාට රොටි දෙකක් ලුණුමිරිසත් මැදටම දාලා අරන් තියනවල. මේ අග්ගලා තුනත් එක්කම.”

ඔවුන්ගේ එකම අභිලාෂය දෙවියන්ට ප්‍රණාමය පුදමින්; මේ දුෂ්කර ක්‍රියාවේ යෙදීමය. (Foto- අනුර පල්ලිමුල්ල)

අප බාගුරෙන් පිටත් වෙන තුරුමත් මර්වින්ගෙ ලකුණක් දර්ශනය වුණේ නැත. තුන්මුල්ල බංගලාව, ඉටිකළ කලපුව, යාකල කලපුව හා කුමන විල්ලුව ආදිය පසු කරන තුරුමවත් ඒ ලකුණ දර්ශනය වුණේ නැත.

“කුඩා කැබලිත්තට යනකල්මත් ට්‍රැක්ටරේ ආවේ නැත්තං තමයි කෙළිය වෙන්නේ. මදැයි ගිය ගමන්ම උයාගන්න නේද ලොකූ, ඔයා plan කරං ආවෙ?”

“හා හා කට. මෙහෙදී ඔය වගේ කතා තහනම් කියල කිව්ව මතකද?”

එක අතකින් බලද්දී අපිදු මහ නසරානියෝ වන්නෙමු!
අප පය ඉක්මන් කර යන්නේ ‘හොඳ තැනක් අල්ලා ගන්නට’ය. බලන්නේ අඩුම මහන්සියකින් පාද යාත්‍රාවේ යෙදෙන්නටය. වඩා පහසුව සලසා ගන්නටය.
හැබෑ බැතිමතුන් එහෙම නොවේ. ඔවුන්ගේ එකම අභිලාෂය ‘දෙවියන්ට ප්‍රණාමය පුදමින්; මේ දුෂ්කර ක්‍රියාවේ යෙදීම’ය.

මගේ නිරීක්ෂණය වැරදි වන්නට ඉඩ තිබෙතත්, මගේ අවංක හැඟීම මෙතන ලියා තැබිය යුතුය. බොහෝ සිංහල පාද යාත්‍රාකරුවනට මෙය තවත් challenge එකකි; adventures trip එකකි.

අපේ කෝඩුකාරයාගේ කට වැරැද්ද නොතැකුවා වගේ ලොකු ට්‍රැක්ටරයක් තිතක් සයිස් එකට, සිතිජය හරියෙන් මතු වුණේය. ගොඩැලි පාරේ පිම්මේ එන ට්‍රැක්ටරයේ සද්දේ නම් පොඩි නැත. ටිකෙන් ටික අර තිත ලොකු වෙයි. දෙවියන්ට පිං අයිති වේවා! මර්විනුත් ඒකෙ එනවා පෙනෙයි. “ඔහොමම ඉතිරි ටිකත් යන්න කියන්න.”
ජයා, ගවීන් හෙම පාර අද්දරට දුවගෙන ගියේ ඒ බව මර්වින්ට කියන්නය.

මට හමුවූ ගොඩාක් දත්තයන්ට අනුව කුමන පිවිසුමේ සිට කුඩා කැබලිත්ත දේවාලයට දුර කිලෝ මීටර් 23කියි කියැවිණි. (ඒ වුණත් මෙදා සැරේ අපේ තමිර හිතවතා අතේ බැඳගෙන ගිය ඔරලෝසුව කියන්නේ එදින අපි කිලෝ මීටර් 26ක් ඇවිදලා තිබණු විත්තියයි.) මර්වින් ඒ දුර ගෙව්වේ ට්‍රැක්ටරයක නැඟීගෙන අප දෙගොල්ලගෙම බඩු මලු පරෙස්සම් කරගෙන එමින්ය.
“... ඔව් බං, ට්‍රැක්ටරේ එලෙව්වේ ට්‍රැකර් කෙනෙක්. ආයි අපිත් පිටිපස්සේ ඉන්නවයි කියලා කිසි ගාණක් නෑ. පිඹගෙන ආවා! මාත් පයින්ම ආව නං සැපයි කියල හිතුණා මචං.” මර්වින් රොටි දෙක කන අතරේය; කිව්වේ.

තට්ටයාමහතා මව්බිම වටා සයිකලයෙන් ගිය විස්තරේ...
ඒ විදිහට අපේ බඩු මලු පරෙස්සමෙන් කුඩා කැබිලිත්ත තෙක් ගෙනෙන්නට උදව් වීමෙන් මර්වින්ට ගමනේ මුල් කිලෝ මීටර් 23/ 26, අපි කට්ටියත් එක්ක එන්නට බැරි වුණේය. ඒත් ඒ හාදයා අපේ නඩය වෙනුවෙන්; අප දහ දෙනා වෙනුවෙන් කළේ විශිෂ්ට කැප කිරීමකි.

අවුරුදු 44කට කිට්ටු කාලයක් තිස්සේ ඇසුරු කරන මගේ ඒ සහෝදර හිතවතාගෙ කැප කිරීම ගැන ලියද්දී මට මතක් වුණේ තට්ටයාගේ කොළම blog අඩවියයි.

දෙන්නෙකුගෙ නඩයක චාරිකාවක් ගැනය, මේ දවස්වල ‘තට්ටයා’ මහතා ‘මව්බිම වටා සයිකලයෙන්’ පෝස්ටුවල ලියන්නේ. ඒකෙ 3 කොටසේ comments තීරුවේ තිබ්බ දෙයක් මේ.

Anonymous August 1, 2022 at 10:54 PM

කතාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම ආශාවෙන් කියවුවා, මටත් යන්න ආශාව ඇති වුණා, ඊර්ෂ්‍යාවක් ද ඇති වුණා ඔබ ගැන, මා සමඟ පාපැදියෙන් ගමන් කිරීමට ඔබේ මිතුරා මෙන් මිතුරෙක් මාහට නොසිටීම දුකක් නමුත් මා තනියම ගමනේ යාමට තීරණය කලා, හැමදාම පරිස්සමෙන් ඔබගේ ගමන යන්න හැකි වේවා යැයි පතමි.

ලක්ශාන් - විල්වත්ත’ගෙ ඒ රසික අදහසට තට්ටයා මහත්තයා මෙහෙමයි උත්තර දීලා තිබ්බේ.

Thattayaa August 2, 2022 at 5:55 AM

"තමා හට හොඳ මිතුරෙකු ලබා ගැනීමේ පහසුම මග වනුයේ; තමා වෙනත් අයෙකු හට හොඳ මිතුරෙකු වීමය!' කියා මා අසා ඇත! ඒ නිසා ඔබට හොඳ මිතුරෙකු සොයා ගැනීම එතරම් අපහසු කාරනයක් නොවනු ඇතැයි මා සිතමි.

ඔබ මගේ "ගඟක් දිගේ ගිය ගමනක්" ලිපි පෙල කියෙව්වා නම් ඔබට තේරේවි අප අපගේ අරමුණ කරා යාමට සූදානම් වූ විට ඊට ගැලපෙන අය ලැබෙන බවත්, ලැබුනු අය සීයට සීයක්ම නොගැලපුනත් අවම එකඟත්වය මත තමාගේ අරමුණ පොදු අරමුණ කරගෙන එය සාක්ෂාත් කරගත හැකි බවත්.

මම ඕනෑම ගමනක් පිටත් වීමට පෙර මාගේ කණ්ඩායමේ අන් සාමාජිකයින්හට පවසන අවසාන වැකිය වනුයේ "මම මග මැරුණත් ඔයාලා ගමන යන්නෝන!" කියලා. ඉන් වි‍යංගාර්ථයෙන් කියැවෙන්නේ "මචං උඹ මලත් මම මගේ ගමන යනවා!" කියන එක ඒ අයටත් තේරෙණවා ඇති.

ගමන අවසාන වන විට එක්කෝ ඔබට හොඳ යාළුවෙක් ලැබී තියේවි. නැතිනම්... (සංජය රණවකගේ නිර්මාණයකි) 

මෙවන් ගමන්වලදී ගමන පිටත් වීමට පෙර තියෙන සුහදත්වය ඒ ආකාරයෙන්ම මුළු ගමන පුරාම තියේවි හෝ තිබේ කියා ඔබ සිතන්න එපා. (විශේෂයෙන් මාත් සමග ගමන් ගිය බොහෝ අය දන්නවා මම ඉක්මන් කේන්ති කාරයෙකු හා ඉක්මණින් තීන්දු තීරණ ගන්නා අයෙක් බව!)

මහවැළියේ කිලෝමීටර 72ක් දින දෙකක් පුරා මහවනය මැද යාත්‍රා කරන්නේ මමත් මගේ පුත්‍රයාත් හැරුණු කොට ගෙන පසු කාලීනව හඳුන ගන්නා තෙශාන්ත, "ලක්දසුන්" ෆෝරම් එකෙන් හඳුන ගන්නා පසිඳු, ඊට පෙර දින දෙකකට වඩා මුණ ගැසී නොමැති ධම්මික, ගමන පිටත් වන දින උදෑසන වනතෙක් කිසි දිනෙක නමවත් අසා නොමැති වනජීවියේ මෛත්‍රීත්!

ඒ නිසා ගමනක් යන්න හොඳ යාළුවෙක් හොයන්නට මහන්සි වෙන්න එපා!
වැඩේට කැමති එකෙක් හොයා ගන්න!
ඌට වැඩේ කරන්න පුළුවන්ද කියලා සොයා බලන්න!!
ගමන පිටත් වෙන්න!!!

ගමන අවසාන වන විට එක්කෝ ඔබට හොඳ යාළුවෙක් ලැබී තියේවි. නැතිනම් ජීවිත කාලයටම හොඳ පාඩමක් ලැබී තියේවි....’

තට්ටයා මහත්තයෝ, තමුන්නාන්සේට තවමත් හොඳ පාඩමක් ඉගෙන ගන්නට ලැබිලා නැති පාටය. අපට නම් හොඳ-හොඳ අප්‍රසන්න පාඩම් රැසක්ම ඉගෙන ගන්නට ලැබී තිබේ. එනිසාම පාද යාත්‍රා වැනි දුෂ්කර; දිගු ගමනක් යන කණ්ඩායමකට සගයන් තෝරා ගැනීමේදී risks ගන්නට අකැමතිය! එකම වළට දෙපාර වැටෙන්න ඕනිය?
ඒත් ඔබේ සියලු අදහස් චාරිකාවල යෙදෙන්නන්ට පලදායී වන බැවිනි, මෙලෙස උපුටා දැක්වූයේ.

මර්වින් රොටි වළඳන අතරේ වතුර පැහුණේය. “තේද කෝපිද?” වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙමින් මම ඇසුවෙමි. එහෙම නැතුව හොඳ නැත.
ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වෙන්නට බැරි වුණු දේශපාලන නායකයෙක්- අනුන්ගේ අරගලයකට පිං සිදු වෙන්නට රටේ පළමු පුරවැසියා බවට පත්වී, දැන් රටේ පරජාතන්තරේ ආරස්සා කරන කාලයේ, අපිත් එහෙම නොවී බැහැ නෙව...

හිච්චිලගේ පාද යාත්‍රා නඩය...

තේ- කෝපි ප්‍රශ්නවලදී හැම විටම ඉස්සරහට පැනලා උත්තර දෙන්නෙ අයස්මන්තයි. “තේ!”

හිච්චිලා නඩය හිටියෙත් අපට ගොඩක් කිට්ටුවෙනි. “ඉන්දික, ලොකු ජෝගුවක් එවනවා නං මම ඔයාලටත් තේ ටිකක් එවන්නං.”

“නියමයි මාමේ! හිරූ, ඉක්මන් කරලා මේ ජෝගුව මාමට ගෙනිහිං දීපං... මාමේ, අපි මාමලටත් එක්ක මෑ කරල් උයලා පපඩම් බදිනවා.”
“එහෙනං මම අල කරියකුයි, පොල් සම්බෝලෙකුයි හදන්නං ඔයාලටත් එක්ක.”

ඒ අතරේම කවුරුන්දෝ සද්දෙන් පණිවිඩයක් කියාගෙන යයි. ‘අද මෙහෙට්ට ලයිට් නැතිලු!’
අම්මට සිරි. එහෙනං අඳුරු වැටෙන්නට කලින් උයා ගන්නත්, කන්නත් සිද්ද වෙයි.

“මිස්ටර් අනුරසිරි, එහෙනං උයන වැඩේට දෙතුන් දෙනෙක් උදව් වෙන්න නැවතිලා, අනිත් අයට ගිහින් නාල එන්න කියන්න. නැත්තං අපි උයල ඉවර වෙනකල් ඔයාලත් මෙතැනම හිටියොත් රිලවුන්ගෙන් කෑම ටික පරෙස්සම් කර ගන්න කවුරුවත් නැතිව යයි.”
විනාඩි පහක් යන්නටත් කලින්- ප්‍රියන්තත්, ජයාත්, නමීත් ඉතිරි වෙද්දී අනිත් හයදෙනා වතුරට බහින්නට සූදානම්ය! ඒ අස්සේ...

“නිමල් අංකල්... මොකක්ද ටොයිලට් එකට වතුර ගෙනියන්න ගන්නෙ?”
මම හිනාව වසං කරගෙනය කතා කළේ. “ඇයි, කෝ අර ලීටර් විස්සේ ප්ලාස්ටික් බකට් එක?”

උවමනා කරන දේවලින් කුඩා ප්ලාස්ටික් බාල්දි දෙකක් විතරය කාට හරි ගෙනෙන්නැයි පැවරුවේ. 20 වෙනිදා උදේ වෙනකල්වත් කාගෙන්වත් උත්තර ලැබුණේ නැත. දවාලේ මගෙන් රතු නිවේදනයක්! ඒකට පළමු හා එකම පිළිතුර නෙවිල්ගෙන්. ‘මං ගේන්නං’.
ඒ යක්ෂ පැටියා අරං ඇවිත් තිබ්බේ ලීටර් විස්සේ ලොකු bucket එකකි.

“මොකාද හලෝ ඕකට වතුර පුරෝගෙන උස්සං යන්නෙ?”
“කැලේට යනකොට තව දෙන්නෙක්ව එක්කං යන්න වෙයි. එතකොට සත්තු එන්නෙත් නැහැනෙ.”
“නෑ යකෝ, ටොයිලට් ගිය ගමන්ම නාගෙනත් එන්න කියමු!” එවෙලේ කියැවුණු සමහර කතන්දර උපද්දන්නේ ‘බීභත්ස්‍ය රසය’ නිසා ඒවා මෙතැන නොලියන්නෙමි!

ඔයේ කිඹුල්ලුය. බැතිමතුන්ට ස්නානය කරන්නට ආරක්‍ෂිත කොටහක් නාවික හමුදාවෙන් කණු සිටුවා- ලණු ඇද...

විහිළුවලින් ප්‍රශ්න විසඳෙන්නේ නැත. මේ ප්‍රශ්නය මතුවෙන බව දන්නා නිසාමය, ප්‍රියන්තලගෙ ගෙදරින් ඊයේ දවල්ට කෑම දමාගෙන ආ බකට්ස් තුනම ආපහු නොයැව්වේ. දැන් තවත් ප්‍රශ්නයකි. ඒ බකට්ස් දෙකක්ම එක පාටය; එකම sizeය.

“අරයට හදිසියි මිස්ටර් දිසානායක. පේනවද ඇඹරෙන ලස්සන.”
“එහෙනං මිස්ටර් බෝගහවත්ත, ඔය කැලේට ගෙනියන බකට් එකේ අණ්ඩට මෙන්න මේ රෙදි පටි කෑල්ල ගැට ගහන්න. ගැට ගහලා විතරක් මදි. කට්ටියටම ඒක කියන්නත් වෙයි.” අපරාදේ කියන්නට බැරිය. තමීර නියමාකාරයෙන්ම ඒ රාජකාරිය ඉටු කළේය.

‘අරයා’ගෙ නම අවශ්‍ය නැත.
ඒත් ඒ හාදයාට පාද යාත්‍රාවේදී තිබුණු ලොකුම ප්‍රශ්නය ඒකය. ගෙදරදී කොහොමද මන්දා, මේ ගමනෙදී නම් සැරෙන් සැරේ අකුලකට රිංගන්නට සූදානම් පිටය, ඒ හාදයා ගමනේ යෙදුණේ...

කොහොමෙන් හරි උයා-පිහා ඉවරවී කුඹුක්කන් ඔයට බහින්නට ලැහැස්ති වුණාමය, නෑම එපා වුණේ.

හිතෙන හිතෙන තැනින් ඔයට බහින්නට කිසිවෙකුටත් අවසර නැත. ඔයේ කිඹුල්ලුය. බැතිමතුන්ට ස්නානය කරන්නට ආරක්‍ෂිත කොටහක් නාවික හමුදාවෙන් කණු සිටුවා- ලණු ඇද වෙන්කොට තිබේ. නාවික සෙබළුන් කීප දෙනෙකුත් ඉවුරේ සෝදිසියෙන් සිටින්නේ අපේ ආරක්ෂාවටය.
ඔයට බහින්නටත්- ආපහු ගොඩ එන්නටත් වෙන්නේ අඩි බාගයක් විතර මඩේ එරෙමිනි. ඒ මඩත් මිනිරන් පාටය; මෘදුය; ලිස්සන සුලුය!

ස්කන්ධ ස්වාමිස්වච්චානන්ද, ස්වාමිනාථ, ස්වාමු, සනත් කුමාර, සරවනභවන්, සරවනභව, සරවනමුත්තුසවදක්, සිංහ, සුභ, සුභ්‍රමණ්‍ය, සුභ්‍රහ්මාණ්‍ය සවත් වගේ නම් 84කින් හැඳින්වෙන කතරගම දෙයි හාමුදුරුවොත් අපේ පාලකයන් වගෙය. තමන්ගේ අනුගාමිකයන් විඳින ගැහැට; එයාලා විඳින කරදර උන්නාන්සේගෙ දිව්‍ය නේත්තරාවලටත් නොපෙනෙනවාවත්ද?

ඔවුන්ගේ එකම අභිප්‍රාව මෙතැනින්ම ඔයෙන් එගොඩ වීමයි. ඒ කතරගම දෙවියන් වහන්සේත් ඔයෙන් එගොඩ වූයේ මෙතැනින් බව...

“ඇත්තමයි නිමල් අයියේ, එක එක දේවල්වලට මෙච්චර සල්ලි වියදම් කරන රටේ මේ ඉවුරු දෙකට වැලි කොට්ට ටිකක් දම්මවන්නෙ නැති හැටි...” පීරිස් කියන්නේ පංකාදු අදහසකි. “එතකොට ගෑනු අයටත් කරදරයක් නැතිව ඔයට බැහැලා නාගන්න පුළුවන් වෙනවා. අනෙක මෙතැනින්ම එගොඩ වෙන්නත් පුළුවන් වෙනවා.”

ඇත්තය! එයින් දමිළ බැතිමතුන්ගේ දැවෙන ප්‍රශ්නයකට විසඳුමකුත් ලැබෙයි.

ඔවුන්ගේ එකම අභිප්‍රාව මෙතැනින්ම ඔයෙන් එගොඩ වීමයි.

ඒ කතරගම දෙවියන් වහන්සේත් ඔයෙන් එගොඩ වූයේ මෙතැනින් බව ඔවුන් අදහන නිසාවෙනි. රන් ඔරුවකින් ඔකඳ වෙරළ දක්වා පැමිණි එතුමන්, එතන සිට කතරගම දක්වා ගමන් කළ මාර්ගය ඔස්සේ තමනුත් ගමන් කරන බවයි, තොරතුරු දන්නා මේ බැතිමතුන් කියන්නේ.

අප වැන්නවුන් නම් මෙතැනින්ම එගොඩ වෙන්නට බලන්නේ, එයින් කිලෝ මීටර් 3ක්- තුනහමාරක් දුර අඩු වෙන බැවිනි. ළූණු බිකත් බඩටය කියන්නේ ඔහොම දේවල්වලටය.

ඒ කොයි හැටි වෙතත් මට වතුරට බහින්නටත්, ගොඩ එන්නටත් යුද්ධයක් කරන්නට වුණේය. අනේ, එතැනදී සද් භාවයෙන්ම මට උදව් කරන්නට ආවේ නමීය. “නිදි, අත දෙන්න... මම අල්ල ගන්නං!”

දැන් ඒ හාදයා නැති තැන හින්දා කියන්නට පුළුවනිය. මගේ උසටම වගේ ඉන්න; කඳ-බඩෙන් මටත් වඩා කේඩෑරි එහෙව් පඟර නැට්ටෙකුට මාව වත්තං කර ගත හැකි වෙයියෑ?

මං උදව් ගත්තේ (උස හරි තියෙන) ප්‍රියන්තගෙන් හා හරි හතර රියන් දෙතුන් දෙනෙකුගෙනි.
නෑවාට පස්සේ ඇඟට අලුත් පණක් එයි.

රෑට කාලා ඉවර කරන්නටත් කලින් ඉන්දික මාව හොයාගෙන එයි.
“මාමේ, උදේ හතරටවත් නැඟිටින්න ඕනි.”

“හතරට?”
“ඔව්වොව්! එ..හෙ..ම නැතිව බෑ. අපේ බානි ගිහිං නේවි එකේ මහත්තයෙක් එක්ක කතා කරගෙන ආවා. හෙට උදේට මෙතැනින් එගොඩ වෙන්න දෙන්නෑලු. අපි පාන්දර පහ වෙද්දී පිටත් වෙන්න කතා කර ගත්තා. මාමලාගේ බෑගුත් එගොඩට දමා ගමු එකතු වෙලා. මං මාමවත් මෙතැනින්ම එගොඩ කරන්නං...” ඉන්දික කියාගෙන යයි.

ඔහොම වෙලාවට කළ යුතු ගුරුකමක් මට මතක් වුණේ... (Foto- නමී)
“අනේ මංදා...”
“අනේ මංදා කියන්නෙ මාමේ?”

කලින් දවසේ රාත්තිරියේත් මං වහන්සේ නින්දට ගියේ නොමනාපයෙනි. උදෙන් පිබිදෙන්නට තිබියදීත් ඊයේ රෑ නෙවිල්ලා ඕමි ගහන්නට ගත්තෝය. ඒ යක්කු නිඳි මරන්නට කැමතිය. පාන්දරින් ඇහැරෙන්නට අකැමතිය. ඉතිං, ජාමයක් වෙනකල් නින්දට නොගිය නෙවිල් අද උදෙත් නැඟිට්ටේ අන්තිමටය. ඒවා දැක්කම රත් වෙන ලේ වර්ගයකි මට තියෙන්නේ....

පහුගිය තුන් වතාවෙමත් අපේ කට්ටියට කරන්නට බැරි වුණේ හිමිදිරියේම ගමන පටන් ගැන්මයි. පළමු ගමනේදී එයාලා පරක්කු වුණු නිසා, කේන්තියෙන් පිපිරෙමින් මං විතරක් තනියෙන් පිටත්වී පැය ගණනාවක්ම ගමනේ යෙදුණු හැටිත් මතක නිසා....

ඔහොම වෙලාවට කළ යුතු ගුරුකමක් මට මතක් වුණේ එතකොටය. සමහර වෙලාවට ‘ප්‍රශ්නය විසඳීම’ වෙනින් කෙනෙකුට පැවරිය යුතුය!

“ඉන්දික... තරහ නැතුව ඔය විත්තිය දොස්තර මහත්තයට කියන්නකො!”

මා කර දුන් ගුරුකමක් වැරැදුණේ නැත! පෙනුණේ නං එහෙමය.
“ළමයි, අපි උදේ පහ වෙද්දී පිටත් වෙන්න ලෑස්ති වෙලා ඉන්න වෙනවා. පහට!” දොස්තර මහත්තයා ඇලවී හිටින ගමන්ම නිවේදනය කළේය.

“එතකොට අද අපේ ඕමිය?”

“ඇයි යකෝ, ගිනි ගොඩේ එළියෙන්ද තමුසෙලා ඕමි ගහන්නේ...” දෙවියන්ගේ අඩවියක වුණත් යකාටත් තැනක් තිබේ....

33 comments:

  1. ටැට්ටරේ නැගලා 23km ගැස්සි ගැස්සී ආපූ මැරවින් ලොක්කාගේ සරීර කූඩුවේ ඇටපංචරේ ජොන්ට් බොල් ජොයින්ට් එකට ගැටිලා කලවම්වෙලා බිමට බහින කොට පිස්සූ හැදිලා ඉන්න ඇති. අනේ අසරනයා ඔහේලාට තිබුනේ එයාට තේ දෙන්න නොවෙයි හොදවයින් වෙනිවැල්ගැට කෑල්ලක් තම්බලා දෙන්න.

    ReplyDelete
    Replies
    1. අසංග, ඔයාගේ කතාව නං සැටිපිකෙට් ඇත්තයි. ඒත් දැනුයි කල්පනා වෙන්නේ, දොස්තර මහත්තයා කිලෝ ගාණක් බර බෙහෙත් ගෙනිහින් තිබ්බට ඒ අතරේ සිංහල බේත් තිබ්බේ නෑනේ කියලා.
      හැබැයි, මර්වින් ලොක්කට පොඩි වාසියක් තියෙනවා, අපට වැඩිය.
      එයාගේ ආදරණීය අම්මගේ ජානවලින් දායාද වෙච්චි, හත්
      දෙනෙකුට වාඩි වෙලා බූරුවා ගහන්න තරමට ඉඩ තියෙන මර්වින්ගේ ලෑටි රාජ පස්ස ට්‍රැක්ටරේ ගැස්සිල්ලට ඔරොත්තු දෙන්නැති!

      Delete
  2. යාලුවො කියල උං හිටපු හින්ද ඉස්සර ඔය වගේ ගමන් ගියත් දැන්නං යාලුවෙක් හොයාගන්න සෑහෙන අමාරුයි. තට්ට මහත්තැං කියල තියෙනව වගේ යාලුවො හින්ද ජීවිතේට අමතක නොවෙන පාඩංනං ඉගෙනගෙන තියෙනව.

    ලීටර් විස්සක් උස්සං ගියානං අරය ට මගදිම වැඩේ වෙන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. රහසක් කියන්නං ප්‍රසෝ! ලීටර් විස්සේ බාල්දිය ගෙනාව මහදැනමුත්තාට තියෙන්නේ 3% බුද්ධිය!

      Delete
  3. අපි 2018 දි යෝධ ලිප ගාව දැක්ක ලොකු කොටියව මතක් වුනා. පාදයාත්‍රා කාලෙට සත්තුන්ගෙ ජීවිතය සෑහෙන්න disrupt වෙනව ඇති.

    අපි මහලේනමට ඇවිද්ද වෙලාවෙ ( පාද යාත්‍රාවට මාස එකහමාරකට විතර පස්සෙ ) ඇවිදින්න පටන් ගත්තෙම උදේ දහයට විතර සත්තු මුණ ගැහෙන්න තියන අවස්ථා අඩු කරගන්න. ඒ නිසා කිලෝමීටර් 13ක් (රවුන්ඩ් ට්‍රෙක් එක ) විතර ඇවිදින්න වුනේ හුඟක් අමාරු අව්වෙ.

    පාදයාත්‍රාවෙනම් සද්දෙයි මිනිස්සු සංඛ්‍යාවයි නිසා සත්තු තමන්ගෙ හැසිරීම වෙනස් කරගන්නවනෙ

    ReplyDelete
    Replies
    1. ඔව් Pra Jay මහත්තයෝ. සාමාන්යෙන් සත්තු මිනිස් කුයිලට කැමති නැති බව කියනවනේ.
      පාද යාත්‍රාවේ යන උදවිය සති කිහිපයක් පේ වෙලා, නිර්මාංශික වෙලා යන එකෙනුත් වාසියක් තියෙනවා.... බැතිමතුන් අතරේ කියවෙනවා -කතරගම පෙරහරට කප් හිටවනකොටම සතුන්ගෙ මුඛ බන්ධනයකුත් සිදු වෙන බව කියවෙන. මේ විස්තර කලින් වතාවේ 'හරෝහරා' postsවලදී මං ලිව්වා.

      Delete
    2. ඒවුනාට ඉස්සර කාලෙ ( 1940/50ට ඉස්සර) නම් කොටි පාදයාත්‍රා මිනිස්සුන්ව මරපු අවස්ථා වාර්තාවෙලා තියනව

      Delete
    3. මට මතක හැටියට නං 2013 දීත් පාද යාත්‍රාවේ ගිය දමිළ කාන්තාවක් කොටියෙකුට ගොදුරු වුණා Pra Jay මහත්තයෝ.
      යාල සංචාර සංවිධාන කරන ආයතනයක්, විදේශීය සංචාරකයන්ට පහසුවෙන් පෙන්නීම සඳහා කොටි ලඟටම ගෙන්වා ගැනීමට අමු මස් කුට්ටි දැමීමට පුරුදුව සිටියාලු. ඒවා කෑමට ආ කොටියෙක් අර බැතිමතිය ගොදුරු කරගත් බවයි එකල හෙළි වුණේ. ඔවුන්ට දී තිබුණු බලපත්‍රය අහෝසි කල බවාත් කියවුණා.. එච්චරයි.

      Delete
  4. Replies
    1. ස්තුතියි මෙන්ඩො, මොන කරුමෙකටද මන්දා මට ඔයාව මතක හිටලා තියෙන්නේ පට්ට බොරු කාරයෙක් විදියටනේ !

      Delete
  5. හපොයි! ඔය මර්වින් අයිය වගේ ගමනක් අපිත් ගියා දවසක. පදවි ශ්‍රී පුර ඉඳන් පුල්මුඩේ වෙරළට ගියා සටන් විරාම කාලෙ අත් ට්‍රැක්ටරේක. තාර පාර කැඩිල තිබුණෙ වලවල් හැම තැනම. බේරන්ඩ බෑ. පුල්මුඩේ වෙරළෙදි අත් ට්‍රැක්ටරෙන් බැස්සට පස්සෙත් පැයක් විතර යනකල් අපි ගැස්සි ගැස්සි හිටියෙ.

    තව සැරයක් අරසිමලේ වෙරළට ගියා. ඒ දවසෙ හොඳට ම රැල්ල සැරයි. අපු දුවගෙන ගිහිං මුහුදට පැන්නහම, ඊළඟ තප්පරේ පැන්නටත් වඩා වේගෙන් වෙරළට ගොඩ ගහනව.

    ReplyDelete
    Replies
    1. පුල්මුඩේ වෙරලෙ බැස්සට පස්සෙ කට්ටිය පොල්මුඩු ගහගෙන හිටිය කියල තමයි ලෝකයා නං කියන්නෙ.

      Delete
    2. ඩ්රැකී, ඔයා මාව ලස්සනම ලස්සන පරිසරයක මතක ගොන්නකට ඇදගෙන ගියා. පුල්මුඩේ, යාන් ඔය, අරිසිමලේ පැත්තෙ දවස් කීපයක ගමනක් අපිත් ගියා. ඒ කාලෙ එහෙ පාරවල් නං අන්තිමයි තමා.

      ප්‍රසන්න මහත්තයෝ, ඔයාට විතරයි කියන්නේ. පොල් මුඩු එක්ක සහසම්බන්ධයක් තියෙද කියල කොළොම්පුරේ අසංග මාත්තයාගෙන් අහන්නකො.

      Delete
    3. ප්‍රසන්න,

      පලෑං යන්ඩ! පතෑංං!!

      නිදි,

      ඇත්ත අරිසිමලේ වෙරළ දැක්කම මට මැවිල පේන්නෙ, මොන්තක්‍රිස්තෝ දූපත. ඛාදනය වුණු දුඹුරු පාට ගල්, කුරු ගස්...

      Delete
    4. ඇයි ඩ්රැකී, අරිසිමලේ නමෙන්ම කියවෙන විදිහට ඒ වෙරළේ තියෙන අනෙක පාටින් බබලන බත් ඇට සයිස් එකේ වැලි කැට!

      Delete
  6. "තමා හට හොඳ මිතුරෙකු ලබා ගැනීමේ පහසුම මග වනුයේ; තමා වෙනත් අයෙකු හට හොඳ මිතුරෙකු වීමය!' - මාද තරයේ අදහන අදහසකි. මිතුරෙක් හමුවුණත් නැතත්... මිනිස් ගුණාංග හරි තමන් තුල වැඩිල තියෙන්නෙ නැතෑ අන්තිමේදි

    වැඩිය කේන්ති ගිය නැති ගමන්වලින් එකක් නේද නිදිතුමෝ... මේක ඔහෙගෙ

    ReplyDelete
    Replies
    1. මතක ඇති කාලෙකින් නප්පියටම තද වුණු වෙලාවල් දෙකක් තිබ්බා, නමී. එකකදී නං ගොළු වෙලා උන්න. අනික ගැන ලියවෙයි.

      Delete
  7. “මටත් හිතෙනවා අලුතින් ඉස්කෝලේ ගිහිල්ලා, දොස්තර කෙනෙක් වෙන්න. බලපංකො මචං දොස්තර මහත්තයට තියෙන සැලකිල්ල" දොස්තර කෙනෙක් වීමටත් වඩා අයස්මන්තගෙ interpersonal skills නෙවෙයිද එතන වඩා වැදගත්.

    "මං ඒ බට්ටාව නමීට පෙන්නුවේ ‘Foto එකකට හොඳ නේද’ කියා නොකියා කියමිනි. ම්හු! ඒ හාදයාගේ කැමරාව එවෙලේ වැඩ කළේ නැත". ඒක හොඳයි. ෆොටො ගත්තනම් ඒ පොඩි බබාගෙ privacy නැතිවෙන්න ඉඩ තියෙනවා- වෙන අය ඒවා කොපි කරගෙන එහෙම. ලංකාවෙ අයට පොඩි අය off limits කියලා හැඟීමක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ගිඅ වතාවේ ඔයාගේ කමෙන්ටුව කියවල අයස්මන්ත මගෙන් ඇහුවත් එක්ක- කවුද අයියේ lotus කියන්නේ කියලා.

      බට්ටාගේ ෆොටෝ ගැන, මම හිතුවේ නැති පැත්තක් පෙන්නලා දුන්නාට ස්තුතියි Lotus, ඔයා කොහොමත් වෙනත් කෝණවලින් යමක් දිහා බලන්න හපනියක් නෙව!
      දන්නවද? දැන් නමියා උඩ යයි, ඔයාගේ comment එකෙන්!

      Delete
    2. මං උඩ යයි// - විකාර
      Lotus... සමහර වෙලාවට දෙයක් දක්කටම හොඳ පොටෝ එකක් තලාගන්ට බැහැ. ආලෝකය, object එක වේගයෙන් සෙලවෙන වගේ කරුණු නිසා.
      අනික දැන් ඉන්න දෙමව්පියන්ට පොඩි දරුවන්ගෙ privacy දෙයක් ගැන වගේ වගක් නෑ. ජනප්‍රිය වෙනවනම් එච්චරයි

      Delete
    3. නමියා කියන එකත් ඇත්ත තමයි. නමුත් ඉතිං දෙමව්පියන්ට එහෙම වුනාට තුන් වෙනි පාර්ශව පරිස්සම් වෙන එක හොඳයි.

      "අයස්මන්ත මගෙන් ඇහුවත් එක්ක- කවුද අයියේ lotus කියන්නේ කියලා" කලින් පෝස්ට් එකක quote එක ගැන මම කමෙන්ට් කලා නේද, ඒක වෙන්න ඇති.

      Delete
  8. ආාා... නිදි රාලෙ. නන්ස්ටොප් ලියනව නේ?

    ReplyDelete
  9. හෙක්! සෑහෙන කාලෙකින් ආවෙ. ඉතිං කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඉතිං? ආවනං පල! ගිහිං බයිට් මොනවහරි අරං වර!

      Delete
    2. අනේ වාසනාවන්, තමුන්නැහැලව ආයේ ඇවිදින්... Adventures කතාවකුත් ළඟ එනවැයි?

      Delete
    3. මගෙ ඇඩ්වෙන්චර් නං කොච්චර තියෙනවද? අර ලියනඅප්පුවා ලියන්නැතුව මිසක්...

      Delete
    4. ඒක නේන්නං ඇඩම්, ඔය මැල්ලුම් ලියන රාජකාරිය නං බලහත්කාරෙන් හරි කරවතෑකි. විස්තර ලියන එක එහෙම කරවන්නය?
      අපි එහෙම කිව්වත් ලියන අප්පුහාමි ලියයි වගේ දැනෙනවා!

      Delete
    5. හොරට නිදාගෙන ඉන්න උං නැගිට්ටවන්න පුළුවන්ය?

      Delete
  10. Replies
    1. ඊයේ ඔය post එක කියෙව්වා, මගේ අදහසත් ලිව්වා මම්මලේ.

      Delete
  11. Thanks...................

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්