නිමල් දිසානායක කියන්නේ මාර- පුදුමාකාර වාසනාවන්තයෙක්!
නැත්තං හතරපස් වතාවක්ම මාරයාව මුණ ගැහෙන්න ඔන්න මෙන්න කියල තිබුණු අවස්ථාවන්
ඒකාට මඟ හැරෙයිද? එහෙම බේරි බේරී ඉන්න වාසනාවන්ත වෙච්ච මං වහන්සේගේ තවත් උපන්
දිනයක් දවසේ උදේ පාන්දරින්මයි මේ post එක පළ කෙරෙන්නේ.
මේකත් මට කල් ඇතිවම ලැබුණු උපන් දින තිළිණයක්.
![]() |
කතා කළේ අපේ අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයා... |
දෙවෙනි තෑග්ග හම්බ වුණේ 2025 සැප්තැම්බර් 25 උදේ පාන්දර හයට.
ටෙලිෆෝන් එක වැදෙන්න ගත්තාම මට පුදුමත් හිතුණා. ‘කවුද බොලේ මේ පාන්දරම?’
කතා කළේ අපේ අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයා.
“අයියා නැඟිටලා නේද ඉන්නේ?”
“අපොයි ඔව් පීරිස් මහත්තයෝ! මෙදා සැරේ බෙහෙත් සැර පිට දාන්නේ මට හරියට නිඳා ගන්න
නොදී. මේ ටිකේම රෑ මැද්දේ ඇහැරෙනවා. ඉතිං... ඉතිං... මොකෝ අවේලාවේ.”
“ගිය සුමානෙ අපේ ඩිස්කෂන් එකෙන් පස්සේ නිමල් අයියා දිගටම මට බල කරල
කිව්ව නේද, ඒ ගැන ලියන්නයි කියලා. මේවා ලෝකෙටම කියන්න වටිනවයි කියලා. (යුෂ්මතාගෙන්
මළ වදේ හලෝ!) වැඩ කෝටියක් අස්සේ ඔන්න මම ඒක draft කළා. දැන් ඊමේල් කළත් එක්ක. ඒක
මගෙන් ඔයාට දෙන උපන් දින තෑග්ගක්!”
“මම දැන්මම බලන්නං. උදේ ඊමේල් බලද්දී ඒක තිබ්බේ නැහැනේ.”
“මම දැනුයි අයියේ ඒක එව්වේ.”
එවෙලෙම මං ඒක කියෙව්වා!
මං දැකල තියෙන හුඟක් බොන මිනිසුන්ට තියෙන පුරුද්දක් මටත් තියෙනවා. එයාලට තනිවම බොනවට
වැඩිය සොමියක් තියෙනවලු කට්ටිය එක්ක බොද්දී. ඒ වගේමයි මටත්.
හොඳ පොතක් කියෙව්වම- හොඳ කලා නිර්මාණයක් රස වින්දම- හොඳ සාකච්ඡාවක නිරත වුණාම ඒ අත්දැකීම
හැකිතාක් අය එක්ක බෙදා ගන්නයි මං කැමති.
අයස්මන්ත හිතවතා සතියකට දෙවතාවක්වත් අපේ ගෙදරට ගොඩ වැදෙනවාම නෙව. ඒ
ආවාම සීනි නොදැමූ කෝපි මග් එකක් තොල ගාමින් (සමහර වෙලාවට කෝපි mugs දෙකක්- තුනක්
දක්වාත් ඒ ගණන ඉහළ යනවා) උන්නැහේ ලෝකේ වටේ යනවා. මාවත් කැන්දාගෙන.
ඒකෙන් ලොකුම වාසිය ලැබෙන්නේ මටයි! මට කරන්න තියෙන්නේ සාවධානව අසා සිටිල්ල
විතරයි. සමහර වෙලාවට පුංචි අතුරු ප්‍රශ්නයක් හෙමත් දාන්න වෙනවා; මං එච්චර
විදග්ධයෙකු නොවෙන නිසා.
කොච්චර වැඩ තිබ්බත් නිතිපතාම ‘දැනුම යාවත්කාලීන කර ගන්න මේ ත්‍රිභාෂා
උගතා’ පැය ගණන් මහන්සිවෙලා උකහා ගන්න දැනුමෙන් කොටහක් ඒ විදිහට මටත් බෙදල දීලයි
ගෙදර යන්නේ!
ඉතිං... අයස්මන්ත හිතවතා
එවූ ඊමේල් එක කිසිම වෙනසක් නොකරම ඔයාලට ඉදිරිපත් කරන්නයි මං හදන්නෙ. එයාගේ අක්ෂර
වින්‍යාසවලට- ව්‍යාකරණ නීති රීතිවලට අනුකූලව ලියන එව්වා වෙනස් කරනවාට ඒ යක්ෂ
පැටියා කැමති නෑ. ඒකයි, ඒවා edit නොකරන්නේ...
![]() |
ඔයාගෙ මේ සැරේ උපන් දිනයට දින හතරකට කලින් දුන් සර්ප්‍රයිස්
පාටියෙදී... |
සෑම්ගේ ලංකාගමනය දීපානිටවත් කියල නැති එකයි ලොකුම දේ!
අපේ චූටි නංගි දීපානිත් මගේ උපන් දිනය වෙනුවෙන්ම
දවස් තුනකට ලංකාවට එන්න සූදානමින් ඉන්නේ. එයාගේ දුවෙකුයි පුතෙකුයි එක්ක.
හිතාගෙන ඉන්න දේවල් සේරම යථා පරිදි සිද්ද වුණොත්- ඔක්තෝබර් 3
වෙනිදා පාන්දර මේ post එක publish වෙද්දී, අපි කට්ටියම බලංගොඩ, සීතගල අපේ සුනිල්
ගෝඨාභය දිසානායකලගේ ගෙදර ඉඳියි; තේ මේසෙට වාඩි වෙලා. උපන් දින කේක් එක කපන්න
සූදානමින්.
B’day කේක් එක කපන්න හදන්නේ සුනිලුයි මායි දෙන්නම එකතු වෙලා.
සුනිලා මගේ මල්ලී වුණාට මොකෝ, එයා මට වැඩිය සුමානයක් වැඩිමල්! එයාගේ උපන් දිනේ
සැප්තැම්බර් 26 වෙනිදනෙ.
ඔය මදැයි නේද නිදිගෙ පට්ටන්දරේ දිගෑරියා. මෙන්න, මෙන්න අයස්මන්ත
පීරිස් මහත්තයාගෙන් මෙදා සැරේ මට ලැබුණු සුවිශේෂ උපන් දින තෑග්ග:
‘නිමල් අයියේ,
ආමන්ත්‍රනය 'දයාබර නිමල් අයියේ' කියල දාන්න හදලත්, ඒක වෙනස් කලේ
තරහ ගිහින් ‘ඔයාගේ කෝප දීප්ත නේත්‍ර වලින් ගිනි පිට කරල මිනිස්සු පුලුස්සන එක’ මහරගම
සෙට් එකේ අපි හොඳින් දැකල තියන නිසා.
ඉතින් මේ අගක් මුලක් නැති වැල්වටාරම ඔයාගෙ උපන්දිනේ
වෙනුවෙනුයි එවන්නේ. ජීවිත කාලයක් මේ ගෙන්දගම් පොලව එක්ක හැපිලා ඔට්ටු වෙවී, ඔයාගෙ නංගිලා
මල්ලිලාට අම්මා+ තාත්තා වී, මෙරට
සහ එංගලන්තයේ උසස් ජීවන තත්ව ලබා දෙන්න ඔයා කල මහන්සිය, කැප කිරීම් මම
හොඳටම දන්නවා අයියේ. ඒ වගේම ඔයා ඔයාට තියෙන ආදරය අඩු කර නොගත්ත බවත්, නිසි පාසල් අධ්‍යාපනයක්
ඉවරයක් කරගන්න බැරි උනත් මේ ජීවන විශ්ව විද්‍යාලයේ ඔයා සම්මානිත මහාචාර්යවරයෙක්
වුණු බවත් අපි දන්නවා.
ගංගොඩවිල පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් හි ඔයා වැඩ කරන කාලේ සුනිල් ආරියරත්න, සුචරිත ගම්ලත්, කේ. ජයතිලක, නලින් ද සිල්වා වැනි කෘතහස්ත, අග්‍ර ගන්‍ය මහාචාර්යවරුන් පවා සිය පොත් මුද්‍රනයේදී ඔයාගෙ සෝදුපත් බැලීම, එහි සදොස් තැන් පෙන්වාදීම් ආදියෙදි එතුමන්ලත් ඔයාගෙ වචනෙට උඩින් ගියේ නැහැ වගෙයිනෙ.
2013දි, ඔයාට වයස අවුරුදු 59දි නේද ඔයාගෙ මල්ටිපල් මයෙලොමා (මගේ? අනේ මල්ටිපල් මයෙලොමාව මගේ නං නෙවෙයි!) පිලිකාව හඳුනා ගත්තේ? (එතකොට අපි ජීවිතේ ප්‍රථම වතාවට කතරගම පාදයාත්‍රා වන්දනාවෙ කිලෝමීටර් එකසිය ගනන දවස් 4න්, හින්දු පුද සත්කාර අනුයමින්, පාගමනින් ගිහින් අවසන් කරලා වැඩි කාලයක් නෑ.)ලැබුණු ආරංචියෙන් ඔයාට වඩා මහරගම ගැන්සියේ අපි දරුනුවටම
මානසිකව වැටුනා. මේක රුධිර සෛල වල පිලිකාවක්; බෙහෙත් වලින් පාලනය කරන්න පුලුවන් මුත් ඒ සෛල මරන්න
බෑනෙ.
මම සිහි කැඳෙව්වා වගෙ එතකොට ඔයාගෙ වයස අවුරුදු
59යි; දැන්
මට 55 වේගන එනවා... එනයින් ආයෙත් වංගියක් එහෙ බලලා මෙහෙ බලද්දි මට…?
ඉතින්, මම ඔයාට උපන්දින තෑග්ග වශයෙන් අවුරුදු
35 තිස්සෙ දිග ඇරෙන කතාවක් කියන්නම්.
ජීව විද්‍යා අංශයෙන් මම අධ්‍යයන පොදු සහතික /
උසස් පෙලට ඉඳගන්නෙ 1989 වසරෙදි. මරනයේ දේශයක් උන කාලයක, දෙපාරක් මරනය
දැක දැක විබාගෙට ඉඳගත්තා.
මම ඇතුලු ලංකාවේ 54(?) දෙනෙක් ඒ වසරෙදි විශය
4ටම විශිශ්ඨ සම්මාන අරගෙන තිබුනා. ජීව විද්‍යාව, ගනිතය, වානිජ්‍ය සහ ගිනුම්, කලා ආදී සියලු
විශය ධාරා වලින්! ඒ කාලෙ ඒ හින්දා දැනුන සතුට ගැන කියන්න වෙනම ලියන්න වෙන නිසා ඒවා
පසු දිනයකට තියන්නම්.
විශ්ව විද්‍යාල ආරම්බ කරන තුරු අපි මොකද කරන්නේ
යැයි එකෙල මෙකෙල වෙමින් ඉන්නකොට, එවක හැටියට
අපි වැනි මානවකයින්ට ලැබෙන රුපියල් 7,000ක පමන වැටුපකට කොහේ හෝ රස්සාවකට හේත්තු වෙලා
සල්ලි ටිකක් රැස් කරමු දැයි හිතමින් ඉන්නකොට පුදුම වැඩක් උනා.
ඒ වැඩෙන් අපිට වෙන්න යන දේ හීනෙන්වත් හිතුවෙ නෑ
අපි.
අංකුර අපි පා වෙවී ඉන්නකොට අපිව මකවලා විද්‍යාත්මකව
හිතන, පර්යේශන
වලට නැමියාවක් ඇති, එයින්
සමාජයට මෙහෙවරක් කරන, එනයින්
පර්යේශනකාමී උප සංස්කෘතියක් ශ්‍රී ලාංකීය සංස්කෘතිකයට ඈඳෙනවා දකින්න හීන බලපු ඇමෙරිකානු
මහාචාර්ය වරයෙක් මේ වෙද්දි අපිව රැහැනට ගන්න හදන බව අප දැන උන්නෙ නෑ.
ඔහු එසේමෙසේ මහාචාර්ය වරයෙක් නෙමෙයි නිමල් අයියේ.
නාසා ආයතනයෙන් නීල් ආම්ස්ට්‍රෝංලා හඳට යවද්දි එහි විශාල කාර්යබාරයක් කල,
චන්ද්‍ර පාශාන වල පර්යේශන බාරව හිටි, පෘථිවියෙ ජීවය ආරම්බය රසායනිකව විග්‍රහ කල, න්‍යුක්ලියෝසයිඩ
සහ ATP සම්බන්ධ
පර්යේශන නිසා නොබෙල් ත්‍යාගයට නම් කරන ලද, ඇමෙරිකානු විශ්ව විද්‍යාල වල ඉගැන්නූ, මොරටුව විශ්ව
විද්‍යාලයේ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ස්ථාපනය කරන්න මුල් වූ, ඒ ශ්‍රී ලාංකික-
ඇමෙරිකානුවා නමින් සිරිල් පොන්නම්පෙරුම.
![]() |
ඒ වෙනුවෙන් ආරම්බ කල විද්‍යා මහගෙදර තමා හන්තානේ පිහිටි 'මූලික අධ්‍යයන ආයතනය- Institute of
Fundamental Studies (IFS); දැන් මේක ජාතික මූලික අධ්‍යයන ආයතනය-
NIFS. |
(එවකට එතුමා ජනාධිපතිතුමාගෙ විද්‍යා උපදේශක; එතුමාගෙන් විද්‍යාලෝකයට
උන මහත් දායකත්වය වෙනුවෙන්, විද්‍යාජෝති
යන ලංකාවේ විද්‍යාඥයෙක්ට දිය හැකි උසස්ම ගෞරව නාමයෙන් 1990 දි එතුමාව පුදනු ලැබුවා.)
එතුමා ඒ වෙනුවෙන් ආරම්බ කල විද්‍යා මහගෙදර තමා හන්තානේ
පිහිටි 'මූලික
අධ්‍යයන ආයතනය- Institute
of Fundamental Studies (IFS); දැන් මේක ජාතික
මූලික අධ්‍යයන ආයතනය- NIFS.
A 4 ගත්ත
අපි හැමෝටම ලිපියක් ආවා IFS එකෙන්; අපේ අධ්‍යාපන
පිම්ම, ජයග්‍රහනය
සමරන්න! ඉතින් 1990 වසන්තයේ දවසක යාපනයේ, පුත්තලම, කොලඹ, ඇඹිලිපිටිය, මාතර, මඩකලපුව ආදී හැම පැත්තකින්ම අපි කන්ද උඩරට හන්තානට
රොක් උනා.
මහනුවර බෝගම්බර පිටිය අසලින් හන්තාන කන්දේ හැතැප්මයක්
නැඟ, IFS වෙත හැරෙද්දි
හදවත ගැහුනා මොකද්දෝ ප්‍රීතියකින්. ඉතාම මනරම් කඳු ගැටයක මුදුනේ කවාකාරව හිටින්න නිර්මානය
උන, හැත්තෑව
දශකයේ පරසිදු හන්තාන හෝටලය තමයි IFS උනේ. මුර කුටිය
පසු කර යද්දි දැනුනෙ මීදුම් පාවාඩ මතින් අහසින් කැන්දවාගෙන යන සෙයක්, වටේටම ඈතිනුත්
ඈතට විහිදෙන කඳු අංගනාවො ආදරයෙන් බලා ඉන්දැද්දි.
![]() |
මහාචාර්ය පොන්නම්පෙරුම අපව හැඳින්නුවෙ cream of the society ලෙස! |
මහාචාර්ය පොන්නම්පෙරුම අපව හැඳින්නුවෙ cream of the society ලෙස!
මට ඒ දවස විස්තර කරන්න අමාරුයි අයියේ.
සුන්දර හන්තානේ වරින්වර වැසී යන මීදුම අතරින් ඈත
නිද්‍රාශීලි කඳු ශිඛර භාවනානුයෝගීව සිටිද්දී... අපිව මෙච්චර පිලිගැනීමකට කවදාවත් ලක්
වෙලා නැති (ලමා වියේ අග හිටි) අපි ඉතා සැප පහසු, හිත නිමී යන IFS ශ්‍රවනාගාරයේ
පිටුපස අසුන්ගෙන උන්නා, අපි හා සමානව හැම දිස්ත්‍රික්කයෙන්ම ආ අය සමඟ කෝලයෙන් කුලුපග
වෙමින්. ඉදිරි වේදිකාවේ අර මං කිව්ව දැවැන්තයෝ. එතුමන්ලා අපිට ප්‍රශංසා කලා. ඉතා රසවත්
අන්නපානාදියෙන් සන්තර්පනය කලා. අවසන තෑග්ගකුත් දුන්නා: මොකද්ද දන්නවද තෑග්ග?
අපිට IFS හි පූර්ව විශ්ව විද්‍යාල පර්යේශන සහකාර තනතුරු පිරිනැමීම; Pre- university Research Associate- PRA.
අපි මේක තෝරගත්තොත් අර දැවැන්තයෝ සෙවනේ විද්‍යා
පර්යේශන කරමින් ඉගෙන ගන්න පුලුවන්. සෑහෙන්න වැඩ කරන්න වෙනවා. නුමුත් පඩිය නම් දවස්
පඩි; දවසට
රුපියල් 60 හෝ 65! ඒ කියන්නෙ මාසෙටම රුපියල් 1,500- 1,800 වගේ.
මේ අතරෙ හැම දිස්ත්‍රික්කයකම පලමුවෙනියා වූ අය දසදෙනෙක්ට ඔස්ට්‍රේලියා- ශ්‍රී ලංකා
ආන්ඩු වල මැදිහත් වීමෙන් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන චාරිකාවක් ලැබුන අතර A 4 ගත් හැමටම වාගේ
ඔස්ට්‍රේලියාවේ ඉහල ප්‍රමිතියක් ඇති විශ්ව විද්‍යාල වල සම්පූර්න ශිශ්‍යත්ව ලබා ගැනීමේ
හැකියාවද තිබුනා.
අපි වැඩි දෙනෙක් IFS තෝරගත්තා.
IFS උන්නු
අපේ දක්ශ ජ්‍යේශ්ට PRA ලා ඒ
වෙද්දි විද්‍යා ලෝකය කලඹලා තිබුනේ.
ඉන් නලින් කරුනාසිංහ කොන්ඩෙයි රැවුලයි වැවුනු බමුනෙක්මයි!
ඒත් මේ වෙනකොටත් ලංකාවේ ප්‍රථම සිංහල voice synthesiser ඇති, සිංහලෙන්
කතා කරන පරිගනකයක් නිර්මානය කලෙත්, IEEE
BUS Controller නිර්මානය කලෙත්, පලමු
වරට ලංකාවේ පරිගනකයක් interphase කලෙත්, එතකොටත්
මොරටු විශ්ව විද්‍යාලයට යන්න හිටි මේ නාඹර කොලු ගැටයා. (නලින්ගේ පුතා ඒ කාලෙ
තාත්තා වගෙමයි.)
තව කොලු ගැටයෙක් උන්නා- ඔහුගෙ අනවරත කතා කවි ගීතාවලිය හරිම පුලුල්, රස ලෝකයක්. නමින් ශවීන්ද්‍ර ඩයස්. ඔහු ඉන්න තැන පාලු නෑ. ඔහුගෙ තේරවිලි කවියක් හිතේ කා වැදුනා ඒ දවස් වල…
දීපාල් අයියා electron microscope එකේ පර්යේශන
කලේ. මට ඔහුගෙන් ඉගෙන ගන්න විධාන ලැබුනා. අබය අයියා, අසේල අයියා මයික්‍රෝ කම්පියුටර්
පද්ධතියෙ ඉන්නවා මතක අතර, මට dos භාශාව
උගන්නන්න උත්සාහ කලා- ඒ කාලෙත් මට පරිගනක අරහං!!
ඉහල බැච් වල ටොලූශා, හර්ශ ගමගේ, උදය, සංජීව, නිර්මලා ඉක්මනින්ම
වෛද්‍ය පීඨයට යන්න පොරොත්තුවෙන් උන්නා.
අපේ බැච් එකේ කලා විශයෙන් ආ ස්වාමීන් වහන්සේ කෙනෙකුත්
උන්නා; මාවතගම
පේමානන්ද තෙරුන් වහන්සේ. උන් වහන්සේ පැරනි අනුරාධපුරය ගැන පුරා විද්‍යා පර්යේශන වලට
සහබාගී උනා. නාලක, රසික ගනිත අංශයෙන්
ආ අතර බෝඩිමේ අපි තිදෙනා එකට උන්නේ.
යාපනයෙන් පැමිනි දුශ්‍යන්තන්, කංගා, සුබා (සුබනේසන්
නඩේසපිල්ලෛ- 1989 Bio island
first, සහ සුරේශ්ට අපි සිංහල කියා දෙන්නත්, ඔවුන් අපිට
දමිල උගන්නන්නත් උනා;
එහෙම කියා දුන්නේ සබාවක
ප්‍රසිද්දියේ කියන්න පුලුවන් වදන් නම් නෙමේ!) දුශී සහ මම අතර නිතර දාර්ශනික කතා බහ
ඇවිලුනා; ඔහු කුශාග්‍ර
බුද්ධිමතෙක් අයියේ.
දිල්රුක්ශි පල්ලියගුරු, උදයංගනී රාමදාස
(උදයංගනීගේ නෑනා සුජීවාත් අපි එක්ක), ප්‍රසාද් කටුලන්ද, නිශාන්ත විජේසිංහ, යසස් අබේවික්‍රම, සෙනරත් එදිරිමාන්න, මනුප්‍රභා, අනුරුද්ධ, ගයා විජේසිංහ, වින්ධ්‍යා කුමාරපේලි, ප්‍රියංකා අබේගුනසේකර, රෝහන මාරසිංහ, මනෝජ් පෙරේරා, නෙලුම්දෙනිය, සමන්ත සමරවික්‍රම, සමිත කවදහරි මගේ
වෛද්‍ය විද්‍යා බැච් මේට්ලා වෙන්න නියමිතව උන්නු අය.
වරුන මහසිංහ හා මම 1978 සිට කොලඹ නාලන්දා විද්‍යාලයේ
බොහෝවිට එකම පන්තියේ උන්නු අඹ යාලුවෝ. 1989 අපි දෙන්නා පාසලින් ඉහලම ලකුනු ගත් දෙන්නා
උන අතර අපි දෙන්නටම තිබුනේ එකම ලකුනු. සිසුන් තිදෙනා බැගින් ඉන්න ඩෙස්ක් පේලියේ අපි
දෙන්නාට මැදිව උන් දර්ශන් ද සිල්වා අද කොතලාවල ආරක්ශක වෛද්‍ය විද්‍යාලයේ ප්‍රතිශක්තිකරනය
පිලිබඳ මහාචාර්ය තුමා අයියේ. ලංකාවට පිතෘත්වය බලන ජාන පරීක්ශා ඉදිරිපත් කල පුරෝගාමියා
ඔහුයි-
ගනන් ගන්න එපා; මේ.....
නාලන්දේ අපේ පන්තිය ගැන පොර ටෝකක්... මෙම ලිපියේ සාදර අනුග්‍රාහකගෙන්!
එකල PRA හැටියට මම දඹල ප්‍රවර්ධනය සම්බන්ධ ජාන විද්‍යා පර්යේශන
වල නිරත උනා. මගේ අධීක්ශකයින් උනේ ආචාර්ය නිශ්ශංක ඉද්දගොඩ සහ මහාචාර්ය ඒරීස් කොවූර්; ඒබ්‍රහම් ටී.
කොවූර්ගෙ පුතා.
![]() |
පේරාදෙනි විශ්ව විද්‍යාලයට මම ගියේ මනමේ/ සිංහබාහු සිද්ධ උන ඇත්ත වනාන්තරයට
යනව වගේ. |
IFS එන්න
කලින් මනමෙ බලා මට පිස්සු වැටුනා. අවසිහියෙන් වගේ මම මනමේ, සිංහබාහු, පේමතෝ ජායතී සෝකෝ, රඟදක්වන තැන්
හොය හොයා ගිහින් ඒවා බලන්නත්, මලගිය
ඇත්තෝ- මලවුන්ගෙ අවුරුදු දා නැවත නැවතත් පදාස පිටින් කටපාඩම් වෙනකම් කියවන්නත් උනා.
ඒවා කොච්චර බලපෑවද කීවොත් හන්තානෙ සිට අපගේ වැඩ වලට නිතර පේරාදෙනි විශ්ව විද්‍යාලයට
මම ගියේ මනමේ/ සිංහබාහු සිද්ධ උන ඇත්ත වනාන්තරයට යනව වගේ. පේරාදෙනි විශ්ව විද්‍යාල
සිසුන්ට වඩා මම එහි ඇවිදල ඇති,
කොයි මොහොතේ හරි මනමේ කුමරු- දුලා කුමරිය ආවාහ කරගෙන යද්දී වැද්දා සමග සර්ගයෙදි එන:-
මුලු දඹදිවටම තොප මහරජ වුව
මාගෙ විජිතය මෙය වෙමි මම අගරජ!
යැයි ගර්ජනා කරන වැදි රජ එන හැටි, එහෙම නැත්නම්-
නොලසව ඇවිදිමින් බුදින්නට තැන් තැන් වල රැඳි සන්නන් මුවන් රැල දඩයම් කරමින් වන්නෙත්
අඳුන් බඳු දූ පුත් රුවන් වෙනුවෙන් ගල්ලෙනට යන සිංහයා:-
දස දෙස ඉන්ද්‍රා//
වෙමි මම සිංහ රාජ මෘගේන්ද්‍රා,
යයි තේජාන්විතව සබයට පිවිසෙන හැටි දකින්නට බලාපොරොත්තුව... අතරමං වූ දරුවෙක්
වගෙ සම්මත පාර වලින් පැන කැලෑ වල ඇවිද ගිය වාර අනන්තයි අයියේ.
මම සරච්චන්ද්‍රයන්ට ප්ලේටෝනිකව පෙම් කලා. මිනීමරු
භීශන සමයෙ අවසන වූ මෙකල, මහවැලි
ගඟ අසබඩ, දනහිස
උසට වල් වැදී ඈලියාවට ගිය සරච්චන්ද්‍ර එලිමහන් රංග පීඨය- සරච්චන්ද්‍ර වල- ට වැද සෝකාකූලව
බලා හිටියා මම අනේක වරක්. ඊට මෙහා ටික කලකට පෙර මනරම් අල්විස් පොකුන වටා තරුනයන් මරා
ඔවුන්ගේ හිස් දහ අටක්* (හිස් දහ අටක්! අයස්මන්ත
මහත්තයෝ, මට කල්පනා වෙන්නේ මේකයි. ඒ හිස්ගෙඩිවල අයිතිකාරයන් අතරේ කොච්චර අනාගත විද්‍යාඥයන්-
මහාචාර්යවරුන්- නායකයන් ඉන්නට ඇද්ද?) රවුමට තබලා තිබුනා, කාට කාටත් පාඩමක්
වෙන්න.
මතකද මලගිය ඇත්තෝ නවකතාවෙ නොරිකො සං ගෙ පවුලෙ සුසාන
භූමියට ගිය දා හිඟන්නෙක් ගායනා කරනවා…
මලවුන්ගේ අවුරුදු දා
තමයි මගේ අන්තිම දා
අවුරුදු දා ගෙවී යත්ම
මම මෙතනින් තුරන් වෙනව
ඉක්මනින්ම නැවත එතොත්
මලවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්ට ඇහැකි
මලගිය ඇත්තන් කැටුව ම…
හොඳින්ට වඩා නරකින් ඉවර කල ඒ භීශන සමය තුනී වෙත්ම, ජනී ජනයා මහත්
උනන්දුවෙන් නාට්‍යශාලා චිත්‍රපටශාලා වෙත ඇදෙන්න උනා, ඒ කාලය අමතක කරන්නත්, ඒ හරහා නැගි බරපතල, සමාජයක් ලෙස සාමූහිකව
උත්තර සෙවිය යුතු වූ, සාංදෘශ්ටික
ප්‍රශ්න අමතක කරන්නත් වගේ. විශේශයෙන් සරච්චන්ද්‍ර නාට්‍යයන් රටපුරා කවදාවත් නැති විදියට
රඟ දැක්වෙන්න උනා. පේරාදෙනියේ ශාස්ත්‍ර පීඨයට සරච්චන්ද්‍රයන් ගෙන්වා එතුමා සම්බන්ධ
චිත්‍රපටයක් වැනි දෙයක් කරන්න උනා මතකයි.
![]() |
මතකද නිමල් අයියේ පීටර් වයිස්ගේ මරාසාද් නාට්‍යය... |
අද දක්වාත් මට මනමෙ, සිංහබාහු නාට්‍ය කලාවෙ දේව
වාක්‍ය වගේ. කී පාරක් නම් බලලා ඇද්ද! රඟපෑම් වල ගැටලු තැනක් පැන නැංගොත් නේපත්‍යාගාරයට
ගිහින් වාද වල පැටලිලා ඇද්ද- නලු නිලියන් හා ලලිතා සරච්චන්ද්‍ර මැතිනිය එක්ක!!
සතියේ දිවා කාලයේ IFS හි දඹල හා සම්බන්ධ
පර්යේශන කරන්නත්, හවසට
අපි ඉන්නා අය හැකි විදියට රැස් වී දලදා මාලිගාවට යන්නත් නැත්නම් හෝටලයකින් ප්ලේන්ටියක්
සමග ආප්පයක් දෙකක් කා තොරතෝංචියක් නැතිව අල්ලාප සල්ලාපයේ යෙදෙමින් හෙමීට හන්තානට ඇති
හැතැප්මයක දුර නගින්නත්, මුකුත්ම
නැත්නම් IFS හි සුන්දර
බරාඳයේ එකිනෙකාගෙ ඇසුර විඳින්නත් වූ අතර, සති අන්තයේ නම් එකල කොලඹ එල්ෆින්ස්ටන් චිත්‍රපට
ශාලාවේ චිත්‍රපට සංස්ථාව විසින් පෙන්නූ හංසවිලක්, නිධානය, සත් සමුදුර ආදී චිත්‍රපට
බලන්නත් ජෝන් ද සිල්වා හෝ ලයනල් වෙන්ඩ්ට් රඟහල්
වල නාට්‍ය බලන්නත් ඒ තැන්හි එහෙම නැත්නම් කොලඹ මහජන පුස්තකාලෙ තිස්ස අබේසේකර, ජයලත් මනෝරත්න, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි, ඩබ්ලිව්.
ජයසිරි, සුගතපාල
ද සිල්වා, ඈශ්ලි
රත්නවිභූශන... ආදී දැවැන්තයන් එකිනෙකා සමග, වඩයක් කමින් ප්ලේන්ටියක් බිබී කරන පිලිසඳරවල් කටත්
ඇරගෙන අහගන සිට පුලුවන් තරම් උකහාගෙන ඉගෙන ගන්න කාලයක් උනා මේක.
මතකද නිමල් අයියේ පීටර් වයිස්ගේ මරාසාද් නාට්‍යය...’
(නමී, ගොඩක් ස්තුතියි පරණ ෆොටෝස්වලට කඩිනමින් නව පෙනුමක් ලබා
දුන්නාට!)
ඊළඟ කොටසින් හමු වෙමු!