“නමී, අපි මේ පාරට හරවපු තැන තිබ්බ බෝඩ් එක හරි නේද?”
“බෝඩ් එක නං හරි... ඒත් කවුද දන්නෙ ගමේ මදාවි කොල්ලෝ ඒ බෝඩ් එක ගලවලා වැරදි තැනකින්
හිටවලද කියලා...”
![]() |
මේ මනුස්සය අලි- කොටි- වලස්සුන්ටවත් නැති බයක්නේ මේ පුංචි කූඩැල්ලන්ට
තියෙන්නේ... |
“අපොයි ඔව් රවි. බොරලැස්ගමුවේ ඉන්නෙම එහෙම එවුන්. මේකා තමයිලු උන්ගේ ලීඩර්!”
නෙවිල්ට තව ටිකක් පෝර දාන්නට ඉඩක් නොලැබුණේ අමිල හති හලමින් අපේ දර්ශන පථයට ඇතුළු වුණු
හින්දයි.
“අම්මෝ, ගව්වක් විතර
ගියාම පොඩි ගෙයක් තිබුණා. ඒ මිනිස්සු කිව්වා උඩ පාරේ යන්න කියලා. ඇති යන්තං ඒ මිනිස්සුවත්
හිටියා එහෙම දෙයක් අහගන්න...”
“අනේ අමිල, හොඳට බලන්න කකුල්වල කූඩැල්ලෝ හෙම එල්ලිලා ඉන්නවද කියලා. මට පේන විදිහට
නං මේ පැත්තෙ කූඩැල්ලෝ ඉන්න විදිහයි.”
“ඔන්න පටන් ගත්තා...
මේ දිසානායක, කූඩැල්ලෙක් ලේ ටිකක් බිව්වට මොකද වෙන්නේ? උනුත් ජීවත් වෙන්න එපැයි.” නෙවිල්ගේ
කතාවට මුක්කුවක් ගැහුවේ Pra Jay.
“ඇත්තටම නිමල් කූඩැල්ලන්ට ඔච්චර බය ඇයි?”
“ඒකනෙ කියන්නෙ ප්‍රදීප්. මේ මනුස්සය අලි- කොටි- වලස්සුන්ටවත් නැති බයක්නේ මේ පුංචි
කූඩැල්ලන්ට තියෙන්නේ...”
ඔහොම කතා-බතාවලින්
ගෙවුණු විනාඩි ගණනාවකට පස්සේ අපි ගිය ඩබල් කැබ් එක පාරෙ කෙළවරකට සේන්දු වුණා.
“අර මනුස්සයා මට කියපු විදිහට නං මෙතැන වාහනේ නවත්තලා ඉතිරි ටික අපිට පයින් යන්න
වෙනවා.”
“කොච්චර විතර?”
“ඇයි, දුර වැඩි නං උඹ නොයා ඉන්නද? 😠😠 #%^**
ප්‍රශ්න අහනවා මෙතන. යමං යමං ඉස්සර වෙලා. බලපංකො මචං, මූ අහන ප්‍රශ්න.”
“අමිල, තව වාහනයක්
ඇවිත් නැවැත්තුවොත් එහෙම... කොයිකටත් මම කැබ් එක හරවලම park කරන්නං.”
“ඔව් ඔව් ප්‍රදීප්. ඒක ඇඟට ගුණයි. දන්නවනෙ අපේ අයියලාගේ හැටි...” ප්‍රදීප්ගේ
යෝජනාව ස්ථිර කළේ රවී. ඒත් එක්කම අතුරු යෝජනාවකුත්. “මචංලා, පල්ලෙහාට යන්න කලින් බොයිල් වෙලා තියෙන නිසා...”
“මාත් මේ නොකිය හිටියට...” හැමෝම ඒ රැලියට එකතු වුණේ ඊට පස්සේ...
එතැන ඉඳලා තද
පල්ලමක්!
“නමී, පොඩ්ඩක් මගේ ළඟින් යමු. මගෙ කකුල් දෙකම හිරි වැටිලා... වැටෙන්න ගියොත් අල්ල
ගන්නවත්...”
“බය වෙන්න එපා ලොක්කා... ඔයාට පුළුවන්... හදිසියක් නැහැනේ. හෙමින් හෙමින් යං. නේද
නෙවිල් අයියේ.”
“ඔයාට කියපං නමියෝ
නියුට්‍රල් එකේ පල්ලම බහින්නේ නැතුව ජියර් එක දාගෙන බහින්නයි කියලා. එතකොට
හදිස්සියේ බ්‍රේක් ගහගන්නවත් පුළුවනිනෙ...”
“පේනවනේ නමී... ඔය කිව්වේ පණ්ඩිතයා මට හරියටම හරි යන උපදේසේ. නෙවිල්ට අමතකයි මං
මෝටර් බයික් එකක්වත් පදින්න දන්න එකෙක් නෙවෙයි කියලා.”
“කොයිකටත් නිදි හෙමින් සීරුවේ පල්ලම් බහිමු!”
![]() |
ඒ ෆොටෝ එක ගන්නකොට අපි උන්නේ රූස්ස
දෙල් ගහක් යට. Foto එකේ දකුණු කෙලවරේ ඉහළින්ම පේනවා දෙල් අතු ටිකක්. |
“ඇයි හලෝ, අපි එනවයි කියලා ඒ මිනිස්සු එයාලගෙ වැඩ සේරම නවත්තලා අපට පේන්න ඉඳියි
කියලද හිතුවේ. අන්න අරය නං තමුසෙ එනකල්ද කොහෙද තමයි බලාගෙන ඉන්නේ. 😋😋😋” නඩේ කවුරු
කවුරුනුත් නෙවිල් පෙන්නපු දිහාව බැලුවා.
“අම්මප ලොක්කා, ඌ
නං බලාගෙන ඉන්නේ එහෙම තමයි කියනවා වගේ.” අමිල කිව්වේ බෝමුරේ වෙල් යාය මැද්දේ උන්නු සද්දන්ත මී
හරකාව පෙන්වමින්.
“ඌ ඉන්නේ -මගේ ෆොටෝ එකක් ගනිං ගනිං- කියන තාලෙට... හොඳ නැහැනෙ foto එකක් නොගෙන.”
ප්‍රදීප් ෆෝන් එක මෑනුවා. ඒ සැරේ ඒ ලෙඩේ රවීටත් බෝ වුණා.
ඒ ඔක්කොම වෙද්දිත්
මී හරකා හරිම උදාරම් ලීලාවෙන් නොසෙල්වී බලං උන්නේ අපිව පයිසෙකටවත් මායිම්
නොකරමින්. ඒ අස්සේ නෙවිල් අපිව foto එකක හිර කරගෙන.
ඒ ෆොටෝ එක ගන්නකොට
අපි උන්නේ රූස්ස දෙල් ගහක් යට. Foto එකේ දකුණු කෙලවරේ ඉහළින්ම පේනවා දෙල් අතු
ටිකක්.
මට එවෙලේ
ඉස්සෙල්ලම මතක් වුණේ නෙවිල් ලොක්කට දෙල් ගහක් නිසා සිද්ද වෙච්ච ඇබැද්දියක්.
එදා අපි හිටියෙ හම්බන්තොට- මට බෙහෙත් ගන්න ගිහින්. නෙවිල්ට කෝල් එකක් ආවා
අසල්වැසියෙකුගෙන්. “මහත්තයලගෙ වත්තේ දෙල් ගහ මහ වැස්සට කඩා වැටිලා. වත්තට යන්නත්
බෑ. මොකද කරන්නේ?”
“හරි වැඩේනේ...
අපි එන්නේ හෙට. බැරිද අයියේ කාව හරි අල්ලලා දෙල් ගහ කප්පල අරං දම්මවන්න. කීයක්
ගියත් කමක් නෑ.”
ටෙලිෆෝන් කෝල්ස් ගණනාවක් හුවමාරු වුණා, තීන්දුවකට එළඹෙන්න කලින්.
පරුවත දෙල් ගහ
කපලා- කුට්ටි කරලා අතු-ඉති සේරම පටවාගෙන යන්න රුපියල් 35,000/-ක්ද කොහෙද වියදම් වෙලා.
“ඒ වියදම නෙවෙයි හලෝ, වැඩේ. ලොරිකාරයෝ දෙල් ගහ පටවාගෙන ගියේ නිකංම- කීයක්වත් නොදී
කියලා අපෙ අම්මා බැනගෙන රණ්ඩුවට ගිහිල්ලනෙ. අම්මා දන්නව නං හෙම, මං ඒ මිනිස්සුන්ට සල්ලිත්
ගෙව්වා කියලා... මළ කෙළියක් වෙන්නේ.”
ඊළඟට මතක් වුණේ
අපේ මහරගම ආච්චිලාගේ ‘අන්ජිසාම් පැකට්’ වියාපාරේ. දෙල් ලාබ කාලෙට ආච්චිලා කොස්-
මඤ්ඤොක්කා- බතල වෙනුවට හීනි පෙති කපලා, ගැඹුරු තෙලේ බැදලා සීනි දාන්න ගත්තේ දෙල්.
ඊටත් පස්සේ මගේ
මතකය දිව්වේ ගොඩක්ම; ගොඩාක්ම ඈතටයි.
![]() |
උඩින් තියෙන foto එකේ දෙල් ගෙඩිවලට
ඉහළින් ළා තැඹිලි- දුඹුරු පාටට තියෙන්නේ ඒ කොපු තමයි. |
Google AI එකෙන් කියන විදිහට ‘දෙල්වල පිරිමි පුෂ්ප මංජරිය’ හඳුන්වන්නේ ‘දෙල් විලක්කු’නමින්. එව්වට ‘දෙල් කොට්ට’ / ‘දෙල් මට්ට’ / ‘දෙල් බල්ලෝ’ වගේ නමුත් කියනවලු.
දෙල් මල් කොපුවලට කියපු
නම නං මටත් දැන් අමතකයි. (දෙල් සවරන් කියන්නේ එව්වටද?)
ඒත් ඒවායින් අපි ගත්තු පොරෝජනේ නං හොඳට මතකයි. අපි කිව්වට අපිම නෙවෙයි- අපේ පලෝලේ
ගෑල්ළමයි...
ඒ දවස්වල; ඒ
කිව්වේ අවුරුදු හැටකට විතර එහා පැත්තෙ කාලයේ- ෂැම්පු, ලිප්ස්ටික්, කියුටෙක්ස්, නේල්
පොලිෂ්, නේල් වාර්නිෂ් වගේ දේවල් තිබ්බද මංදා... තියෙන්න ඇති, ඒත් අපි ඒවා ගැන අහලවත් තිබ්බේ නෑ. හැබැයි,
ඒවා වෙනුවට රූප සොබාව ගැන උනන්දු වුණු යව්වනියන්ට ගමෙන්ම හොයා ගන්න හැකි වුණු ආදේශක වර්ග නං ගොඩාරියක් තිබ්බා.
ගොඩපර... නාන්න පැය
බාගෙකට විතර කලින් ගොඩපර ගෙඩි තලලා ගත්තු ඉස්ම ඔලුවේ ගාන්න අපේ ලොකු නංගි පුෂ්පාත්
පුරුදු වෙලා හිටියා. ඒ හින්දද මංදා එයාගේ කේෂ කලාපය දණහිස්වලිනුත් පහතට දිගට- ඝණට
තිබුණේ.
එයාගෙන් අපි
හැමෝටම වගේ පුරුදු වුණු දෙයක් තමයි- දෙල් මල්වල කොපුවලින් නියපොතු මදින එක. ඒකට
ගත්තේ වේලිච්ච කොපු. ඔයාලත් ඒවා දැකල තියෙනවැයි?
චුට්ටක් උඩින්
තියෙන foto එකේ දෙල් ගෙඩිවලට ඉහළින් ළා තැඹිලි- දුඹුරු පාටට තියෙන්නේ ඒ කොපු තමයි.
ඒවායේ එක පැත්තක දැනෙන-නොදැනෙන තරමේ බූවක් තියෙනවා. සොබාවික වැලි කඩදාසියක්...
එව්වයෙන් නියපොතු මැද්දම නියපොතුවල කහට පැල්ලම් ඔක්කොම යවා ගන්න ඇහැකියි.
එහෙව් මතකයන් අතරින් සීරුවට පිය තබමින් තමයි අපි පල්ලම් බැස්සේ. ඒ පුංචි අඩි පාරේ
කොටහකට කොන්ක්‍රීට් දාලා තිබ්බ එකත් මගේ වාසියට හිටියා.
පල්ලම බහින අතරෙ
මගේ ඇස්දෙක හොරෙන් දිව්වේ මගේ අත්වල නියපොතු දිහාවට. ඒවා ලෙඩ පාටයි; කිසිම දීප්තියක්
නෑ. වේලිච්ච මාලු කොරපොතු වගේ... මතක ඇතිනේ- මිනිස්සු ලෙඩ වෙනකොටම නියපොතුවලිනුත්
ඒ ගතිය පේන්න ගන්නවයි කියන කතාව.
ඒ විදිහට බලද්දී පුදුමයක්යැ නිමලෝ, ඔහොම වෙන එක... තමුසෙට තියෙන අසනීපවල හැටියට...
අනෙක දැන් තමුසෙ ඉලන්දාරියෙකුත් නෙවෙයිනෙ, සේරම බහු රූ කෝලම් දාපු වයස පැනලනෙ!
මතකයි නේද ලෝ වැඩ සඟරාවේ කවියකිනුත් කියනවා එව්වයෙ නිසරුකම ගැන...
කාලා රස මුසු භෝජන කර පෙම්
ගාලා
සුවඳැති සඳුනුත් මනරම්
ලාලා අබරණ
රිසි ලෙස සැරසුම්
පාලා ගිය වැනි බහු රූ කෝලම්
![]() |
නමී, මේ පුතාලගෙ ෆොටෝ
එකක් ගන්නකො... |
“නිදි
ලොක්කා, මොකෝ සද්ද වහගෙන... හතිද?” නමී ඇහුවා.
“නිමල් අයියට මහන්සියි නං අපි ටිකක් නැවතිලා ඉඳල යං!” අමිලත් කිව්වා.
“නෑ
නෑ , තව ටිකයිනෙ... එහාටම ගියාට පස්සේ
rest කරමු.”
“මචං, එයා දැන් නං කීයටවත් මේ හරියේ නවතින්නෙ නෑ. පාර තෙතයි... තණකොළත් තියෙනවනෙ...
කූඩැල්ලන් ඉඳියි කියල බයේ තමයි පොර ඔය දුවන්නෙ...” නෙවිල් තමයි හරියටම මගේ ගමන්
වේගයේ රහස හෙළිදරවු කළේ.
“අනේ...”
මට හීල්ලුණේ මටත් හොරෙන්.
පුංචි පුතෙක් එයාගේ පොඩි නංගිව ෆුට් සයිකලයක වාඩි කරවගෙන පරක් කර ගන්නවා. පුංචි පැටික්කි
උනහපුළු පැටියෙක් වගේ අයියණ්ඩිගෙ බෙල්ලේ එල්ලිලා ‘කවුද මේ අමුත්තෝ’ කියල විපරමින්.
නමී උන්නැහෙටත් ඒ පැටව් දෙන්නව හිතට අල්ලලා... බර කතාවක්.
‘චූටි පුතාගේ නංගිද මේ? / ඔයාද නංගිව බලා ගන්නේ?’ පුතු පැටියා මුලදි මුලදී නං ටිකාක්
විතර පැකිළුණත් ටිකෙන් ටික දොඩමළු වුණා 😍. එයාගේ නමයි, නංගිගේ නමයි දෙකම නමී මාමට
කිව්වත් එක්ක.
“ගොඩක්
කට්ටිය එනවද මෙතන බලන්න?”
“වැඩිය නෑ... නිවාඩු දවස්වලට නං ටික දෙනෙක් එනවා.”
“නමී,
මේ පුතාලගෙ ෆොටෝ එකක් ගන්නකො...” මං එහෙම කිව්වම තමයි නමී ඒ දරුවන් දෙන්නගෙ foto
එකක් ගත්තේ. (උඩින් තියෙන්නේ ඒක.)
“අර... Pra Jayයි, රවීයි කුලුන ළඟට ගිහිනුත් ඉවරයි නමී. අපිත් යං... ආපහු එනකොට
බැරියැ තව විස්තර අහගන්න. යමු නෙවිල්...”
![]() |
‘Bomure Memorial’ ළඟට යනකොටත් රවියි, ප්‍රදීපුයි
දෙන්නා අනිමිස ලෝචන පූජාවක... ඊට පස්සේ ඡායාරූප ගැනිල්ලක... |
අපි
තුන් දෙනා ‘බෝමුරේ ස්මාරක කුලුන - Bomure Memorial’ ළඟට යනකොටත් රවියි, ප්‍රදීපුයි
දෙන්නා අනිමිස ලෝචන පූජාවක... ඊට පස්සේ ඡායාරූප ගැනිල්ලක...
“සිහිවටන කුලුනක් කිව්වට ඒක මහ විශාල එකක් නෙවෙයිනෙ අමිල.“
“ඒ
වුණත් නෙවිල් අයියේ මේත් මදිද? 1815 ඉඳලම මෙතන නිකංම නිකං යට ගිහිල්ලනෙ තිබිල තියෙන්නේ.
ජෝන් ලුවිස් කියන සුද්දා තමයි ඊට අවුරුදු 93කට පස්සෙ ආයෙමත් මේ තැන හොයාගෙන ඇවිත්
තියෙන්නේ. අපරාදේ කියන්න බෑ, සුද්දෝ ඉතිහාසයට ආසයි. අපි අදටත් හරි ආඩම්බරයෙන් පෙන්නන;
කතා කරන ගොඩක් තැන් මෙහෙමවත් ආරක්ෂා වෙලා තියෙනවට අපි උන්ට ණයයි කියලයි මම
හිතන්නේ.”
“අපේ මිනිස්සු නං කළේ චෛත්‍ය- වෙහෙර- විහාර හිටං කඩ-කඩා නිදන් හාරන එකනෙ.”
![]() |
රවුම් ගොඩනැඟිල්ල ඇතුළේ... |
“ආන්න
හොඳ වැඩක්... එතෙන්ට ගිහින් වාඩි වෙලා ගහමු අපේ අඹ කයිය...”
අපි එතෙන්ට යනකොටත් ප්‍රදීප් රවීත් එක්ක හරබර සාකච්ඡාවක. ප්‍රස්තුතය වුණේ දෝලාව. රවුම්
ගොඩනැඟිල්ලේ වහලයේ පැත්තකින් අපූරු ලී දෝලාවක් එල්ලලා තියෙනවා. ඒක දැක්කම තමයි
එයාලා සාකච්ඡාව පටන් ගන්න ඇත්තේ.
“මේක හරි පුංචියි වගෙනෙ. මේක ඇතුළේ අතපය නවාගෙන වාඩි වෙලා යන එකත් හෙණ අමාරු වැඩක්
වෙන්නැතිනෙ රවි.”
“මම හිතන්නේ ප්‍රදීප්, පිටින් පේනවට වැඩිය දෝලාව ඇතුළේ ඉඩකඩ තියෙනවා කියලයි.”
![]() |
අපේ අවධානය එහෙම පිටින්ම යොමු වෙලා තිබ්බේ අර වහලයේ පැත්තකින්
එල්ලෙමින් තිබ්බ දෝලාවෙ... |
ඒකෙ ඒ හැටි අඩුවක් අපිට දැනුනෙත් නෑ. ඇයි දන්නවද- අපේ අවධානය එහෙම පිටින්ම යොමු
වෙලා තිබ්බේ අර වහලයේ පැත්තකින් එල්ලෙමින් තිබ්බ දෝලාවෙ සිරි නරඹන්න නිසා.
ඒත්
එතනදී, විඩෙන් විඩේ; කඩින් කඩ කියැවුණු අපූරු ඉතිහාස විස්තර ටික නං කාට- කාටත්
දැනගන්න වටින තරං.
‘ජෝන්
ලුවිස් උන්නැහෙගෙ උනන්දුව හින්දා වෙන්නැති මේ ඉඩම ආණ්ඩුවට පවරාගෙන මෙහෙම ස්මාරකයක්
හදන්න ඇත්තේ, 1908දී.’
‘සිහිවටන කුලුන කප්පගෙන තියෙන්නේ තනි කළු ගලකින්ලු... ඒ කළු ගල තිබිල තියෙන්නෙත්
මේ ළඟම දොළ පාරක.’
‘කොහොමද ඉතිං එතැන ඉඳලා කුලුන මෙතෙන්ට ගෙනැත් තියෙන්නේ?’
‘ඇතෙක් ලව්වා ගෙනාවයි කියල තමයි ප්‍රසිද්ධ.’
‘ලස්සන
වැඩේ කියන්නේ, ලෝකෙ සිද්ද වෙලා තියෙන හුඟක් හුටප්පරවලට ගෑනු කෙනෙකුත් යාන්තමට හරි ගෑවිලා
තියෙන එකනෙ. ක්ලියෝ පැට්‍රා- සැලොමි- සීතා දේවි- කුවේණි- අනුලා බිසව වගේ මේ කේස්
එකේදිත් ඇහැලේපොළ කුමාරිහාමි...’
‘ඒ වගේමයි බලයට තියෙන කෑදරකම...’
‘අම්මපා,
කොයි රටේ හිටියත් මිනිහගෙ තණ්හාවයි- පෙරේතකමයි- දුර්වලකමුයි එක වගෙනෙ.’
‘ඔයාල
දන්නවද, ඒ දවස්වල අපේ අයිය කෙනෙක් කරන්න හදල තියෙන මරු වැඩක්.’
‘කවුද අයියා?’
‘වෙන කවුද ඉතිං... උඩරට නිලමේ කෙනෙක්. ඇහැලේපොල උන්නැහෙම තමයි. ඌ නං අදහන්න වටින
රට කපටියෙක්. රජ්ජුරුවො අල්ල ගත්තේ ජෝන් ඩොයිලිගේ කාලෙදිනේ. ඊට පස්සෙ අපේ එකා
ආණ්ඩුකාරයාට ලියුමක් ලියලා. ‘කරුණාකරලා ඔබතුමාගේ ආර්යාවටයි- ඔබතුමාටයි-
අම්මේ, තාත්තේ කියලා කතා කරන්න මට අවසර දෙන්න’ කියලා. සුද්දව කොහෙද තම්බන්නේ
එහෙම ලුණු ගොරකාවලින්... ආණ්ඩුකාරයට නිකංම තේරෙන්න ඇති ඌ නං තඹේකටවත් විශ්වාස
කරන්න පුළුවන් එකෙක් නෙවෙයි කියලා.”
![]() |
ඒ ස්මාරකය වල් බිහිවෙමින් තියෙනවා වගෙය කියලයි මට හිතුණේ. |
‘ඕනිවට වැඩියෙන් හිතන්න එපා මොට්ටයෝ... එතකොට අමාරුව ඩබල් වෙනවා.’ මං මටම කියා ගත්තා.
පොඩි
වැහි කළුවකුත් මෝදු වෙවී තිබ්බ හිංදා අපේ නඩේ කවුරුත් පය ඉක්මන් කළේ එකා වගේ...
“නාරංපනාව
පැත්තටත් වහිනවද දන්නෑ.”
“ඔය පොඩ්ඩක් තෙමුණට තමුසෙව දිය වෙලා යන්නෑ මිනිහෝ! මොකෝ තමුසේ සූකිරි කැටයක්යැ?”
එතැනදී
නම් වාසනාව අපේ පැත්තේය. විමලරත්න කුමාරගම කවීන්ද්‍රයාණන්ගේ ස්මාරකය පැත්තට හොඳින්
ඉර පායලාය.
ඒත්
අනේ, ඒ ස්මාරකය වල් බිහිවෙමින් තියෙනවා වගෙය කියලයි මට හිතුණේ. සිමෙන්තියෙන් හදල
තියෙන; කුමාරගම මහත්තයාගෙ කවියකුත් කොටලා තියෙන ස්මාරකය තරමකට හේදිලා ගිහින්. ‘මා උරුමයකි
මගෙ නාරම්පනාවට’ කවිය පැහැදිලිව කියවගන්නත් අසීරුයි.
අපි
ආපහු ආවට පස්සේ අමිලයි, මායි දෙන්නම ඒ කවිය තියෙන කවි පන්තිය හොයන්න ගත්තා. අමාරුවෙන්
සොයා ගත්තු, හරිම අපූරු ඒ කවි පංතියම මෙතෙන්ට නොදා කොහොමෙයි?
කුකවියෙකු
වෙන මට නං කුමාරගම මහත්තයා අදහන්න වටින අව්‍යාජ කවියෙක් විදිහටයි පෙනෙන්නේ.
නිතරම
නිවෙස් වූ හුදු වාසනාවට
කඳු වැටි වලින් මා දිනු ගම උනා වට
මෙලෙසින් ඔබෙන් පිට පියවර ගෙනාවට
මා උරුමයකි මගෙ නාරම්පනාවට
වැස්සෙන්
නියඟයෙන් දුක් වැළඳෙනු බොරුය
තිස්සෙම සමාදානය හැමට ම හුරුය
සස් වග සුලබ මගෙ ගම පොළොව ද සරුය
උස් කඳු මුදුන් මිටියාවත් පියකරුය
විසිතුරු
නදිය යන ගම එක් කොනක ගලා
සෙවණලු කුසුම් රොන් සැතපෙන පුලින තලා
මීදුම් රිදීමය කඳුරැළි ධවල වලා
මේ හැම මගේ ළය තුළ රස පුබුදු කළා
කොඳුරන
නදී මත පෙණ මල් පලු රොක්වේ
ගඟබඩ ලිහිණි ගී කෙඳිරිල්ලට එක්වේ
සිහිනෙන් පෙනී යටගිය දින අද එක්වේ
කාලය අමතකව බිම සෙවණැලි දික්වේ
දඩයම්
කතා පැවසුව මගෙ ලොකු අත්තා
එදවස ගමේ සිටි ඉහළම දැනමුත්තා
අද නැති නමුත් ඒ නිල බල ගුණ ඇත්තා
මුළු ගම එදා ඔහු ළඟ කට වහගත්තා
![]() |
නුවර පාර වහලලු. කඩුගන්නාවේ නායක් ගිහිං! |
කොහොමද නොසිතුයෙමි වූයේ පසේ රත
සිහි වෙයි ඉබේ තවමත් නැඟ ඇසේ තෙත
මගෙ නැඟනියගෙ සොහොන ද ඔබ කුසේ ඇත
වෙනසට
පත් වුවත් අද ඔබෙ මුහුණුවර
සැනසුම ලබමි නම සිහිවෙන සියලු වර
ඔබ හැර මෙසේ අද පසුවෙන නමුදු දුර
රැකගනු මැනවි මගෙ ඇටකටු තුරුලු කර
වෙන්වී
ඔබෙන් නැත පල සනහස දානෙන්
තෙල් පොද සිඳි සිඳී යයි ජීවිත පානෙන්
ගෝ කුරයක රැඳුණු දිය දිනි දෙස සෝනෙන්
වියැළුණු දිවේ විත් තැවරේවා සීනෙන්
ඔන්න
ඔය අතරේ ඒ ළඟම තිබුණු ගෙදරින් එළියට ආව පුරුෂ රත්නයක් රවීගේ ළඟට කිට්ටු කළා.
පුදුමයකුත් නෑ, ඒ මනුස්සයා රවීගේ ළඟටම සේන්දු වීම. රවීගෙ හයයි හතරේ සිරුරයි,
වියපත් පෙනුමයි හින්ද පේන්නේ නඩේ ගුරුන්නාන්සේ එයා වගෙයිනෙ.
“මහත්තයල
අපේ අත්තගේ සොහොන බලන්න ආවැයි? කොහේ ඉඳලද... අපි තමයි අත්තගෙ සොහොන බලා ගන්නේ...”
එයා වගතුග කිව්වේ කිසිම ලෝබකමකින් තොරවයි.
එයාට
අනුව කුමාරගම මහත්තයා තනිකඩයෙකු විදිහටයි ජීවත් වෙලා තියෙන්නේ.
“අත්තා තද විස්වාසෙකින් ඉඳල තියෙන්නේ අඩු වයසෙන්ම මැරෙයි කියලා. ඒකයිලු නොබැන්දෙත්... ඒක එහෙම්ම වුණත්
එක්කනෙ. අපේ අත්තා අවුරුදු 43යිනෙ හිටියෙ...” එහෙම කියලා ටිකකින්ම එයා යමක් මතක්
වුණා වගේ මෙහෙම ඇහුවා.
“මහත්තයල
කොළඹ ඉඳල නේද ආවයි කිව්වේ. අදම ආපහු යනව
නං ටිකක් කරදර වෙයි වගේ.”
“ඒ මොකෝ?”
“ඇයි මහත්තයල දන්නැද්ද? නුවර පාර වහලලු. කඩුගන්නාවේ නායක් ගිහිං...”
“ංඈ?😡😡😡” / “අම්මට සිරි!”
එතැන ඉඳලා විස්තරේ
ඊළඟ කොටසෙන්...









හම්මේ ඇති යන්තං පෝස්ට් එක දාලා. මම ඒත් බැලුවෙ ඇයි පරක්කු කියලයි. තාම අප්ඩේට් වෙලා නං නෑ.
ReplyDeleteතාම ටිකයි කියෙව්වෙ. ලියල තියන විදිහ හොඳයි. ආයෙ එන්නම් පස්සෙ. 👌
සුබ උදෑසනක් බකුසාණෙනි!
DeletePost එක ටිකක් පරක්කු වුණේ මේ දවස්වල චාරයක් වාරයක් නැතිව වහින වැස්ස නිසයි.
උදෙන්ම ආපහු මෙහාට ඇවිත් බැලුවෙ කවි ටික හරියට ඇවිත්ද කියලයි. ප්රීවිව් එකේ හරියට පෙනුණත් සමහර පේළි වෙනස් වෙලා නෙව.
ඒ බලනකොටත් මෙන්න තමුන්නාන්සේ ඇවිත්! ගොඩක් ස්තුතියි!!
අප්ඩේට් වෙන එක තාම අවුල් තමයි. ලකයකට නෑ!
අපට තාම මෙහෙ රෑ කෑම වෙලාව.
Deleteහෙහ්,හෙහ් සෙනසුරාදා නොවරදවාම එන පෝස්ට් එකෙනුයි, ඔබතුමාගෙ පිලිතුරු වලිනුයි තමයි දැණගන්නෙ හොඳින් ඉන්නවා කියලා. ඔය මම ඉඳ-හිට කම්ප්ලේන් කලාට, ඇත්තටම මේ පැරණි කතා ලිපි වලට දැන් ඇබ්බැහිවෙලා කියල හිතෙනවා. ජයවේවා!