ඔයාලා පුනරුත්පත්තිය විශ්වාස කරනවද? මං නං විශ්වාස කරනවා. ඒ පදනමේ ඉඳන් බලනකොටයි හිතෙන්නේ නිමල් දිසානායක ගිය ආත්මෙදි චිත්‍රපටිවලට යාන්තමින් හරි ගෑවිච්ච කෙනෙක් වෙන්නැති කියලා.
![]() |
දැන් නං චිත්‍රපටි ප්‍රචාරණය කෙරෙන්නෙ
අලුත්ම ක්‍රම සහ විධි අනුගමනය කරමින්... |
“වෙන ළමයි කරුවලට
බයයි... චිත්‍රපටියක් බලන්න ගියත් අඬනවනෙ. ඒකටත් එක්ක අපේ රංජියා! හ්ම් සද්දයක්
නොකර පිචර් හෝල් එක වටේටම ඇස්දෙක යව-යවා හිටියා. පිචර් එක පටං ගත්ත වෙලාවේ ඉඳල
මීක් සද්දයක්වත් නැතුව හොඳට බලාගෙන හිටියා- හරියට තේරෙන එකෙක් වගේ...”
ප්‍රශංසා කරන්නට ටිකාක් විතර මසුරු අපේ අම්මා ඒ දවස්වල මං ගැන කිව්වේ ආඩම්බරෙන්.
‘මම එහෙම පුතෙකුගේ අම්ම කෙනෙක්.’ කියල කෙලින්ම නොකියා.
ඒ විත්තිය මෙතැනදී
කිව්වේ මගේ තියෙන චිත්‍රපට ලෝලීත්වය ඔප්පු කරන්නයි, ඒක සංසාරික පුරුද්දක් වෙන්න
ඇති කියන කතන්දරේ සනාථ කරන්නයි දෙකටම.
හැබැයි- ඔය කාරණා දෙකටම හපන් කාරණයකුත් කියතෑකි. ‘තමන්ගේ තාත්තගේ භූමදාන කටයුතු අවසන් වෙච්චි දවසේ රෑ 9.30ට මහරගම
අනුෂා හෝල් එකේදී ‘ගංගා’ film එක බලපු නසරානි පුතෙක් තමයි මං වහන්සේ. (එහෙම කිව්වට
මොකෝ- අදටවත් මං ඒකෙ වැරද්දක් දකින්නෙ නෑ.)
මං හීන් එකා
සංදියේ චිත්‍රපටි ගැන ප්‍රචාරේ කෙරුණේ දැනට වඩා වෙනස් ක්‍රම කීපෙකින්.
1. ගුවන් විදුලියේ
වෙළෙඳ සේවයෙන්- ජින්ගල්ස් මඟින්.
2. පත්තරවල පළ කෙරුණු දැන්වීම් මඟින්. (ඒ කාලේ දිනපතා පත්තරවල ‘දවසේ චිත්‍රපටි /
දැන් පෙන්වනවා’ වගේ තීරුත් පළ කෙරුණා. ලංකාවේ ඈත ගම්-දනව්වල තිබ්බ ෆිල්ම් හෝල්වල /
ටකරන් හෝල්වල / කූඩාරම්වල / ටෝකීස්වල පෙන්වන චිත්‍රපටි මොනවද කියලයි ඒ තීරුවල පළ
වුණේ.)
3. තාප්ප, බිත්ති සරසපු වර්ණවත් පෝස්ටර් මඟින්.
4. දෙපැත්තේ චිත්‍රපටියේ
යෝධ ප්රචාරක පුවරු දෙකක් හයි කරගත්ත ගොන් කරත්ත මඟින්. (ඒ
කරත්තවලම නැඟගෙන උන්නු මෝලම්කාරයෝ ගමටම ඇහෙන්න සංගීත වාදනේ කරමින් මිනිස්සුන්ගේ
අවධානය දිනා ගත්තා. ඒ සද්දෙට කරත්ත අසලට රොක් වුණු හැමෝටම ෆිල්ම් එක ගැන විස්තර
තියෙන ‘හෑන්ඩ් බිල්ස්’සුත් බෙදල දුන්නා. සමහර වෙලාවට ඒ කරත්තවල ලවුඩ්ස්පීකර් බැඳගෙනත් ආවා.)
5. සිනමාහල්වල චිත්‍රපට
පෙන්වන අතරේ විවේක කාලයෙන් පස්සේ පෙන්නපු ‘ට්‍රේලර්ස්’ මඟින්. මගේ දැනීමේ හැටියට
වඩාත්ම ආකර්ෂණීය වුණේ මේ ‘ළඟදීම එනවා’ කියන පන්නයේ film ට්‍රේලර්ස්! (ඒවා දැකල
තමයි මං වහන්සේ හොඳටෝම පිස්සු වැටුණේ. කොච්චරද කියනවා නං ‘හදිසියෙවත් මං මැරුණොත්
ඒ එන්න තියෙන ෆිල්ම්ස් බලාගන්න බැරි වෙනවනෙ!’ කියන මහ විසාල දුක තමයි ඒ කාලෙ මට
තිබ්බ ලොකුම දුක වුණෙත්!)
ඒ යුගය ඉවර වෙලත්
දැන් සෑහෙන කල්!
දැන් නං චිත්‍රපටි
ප්‍රචාරණය කෙරෙන්නෙ අලුත්ම ක්‍රම සහ විධි අනුගමනය කරමින් නෙව.
![]() |
‘ඉතිං අපට පාන්ද’ කියල නොහිතා, ඒකා ඒ
post එකට රතු හාර්ට් එකක් දැම්මා. |
ගාල කඩා ගත්තු
ගොන්නු වගේ නැතිව, ඒකත් හොඳ සැලකිල්ලකින්- කලාවක් ඇතිව කෙරෙන්න ඕනි කාරියක් නෙව.
මෑත කාලේ මං දැක්ක හොඳම ප්රචාරක කැම්පේන් එකක් තමයි ‘එදා රෑ’ ෆිලුමට කෙරෙන්නේ...
ෆිල්ම් එක රිලීස්
කෙරෙන දවසේ; සැප්තැම්බර් 18 වෙනිදා fb එකේ පළ කෙරුණු post එක තමයි- අද පෝස්ටුවේ
ඉහළින්ම තියෙන්නේ. ඒකෙ මෙහෙමයි කියැවුණේ...
‘එදා රෑ
අද සිට - උදෑසන
10.00 සිට - දිවයින පුරා සිනමා ශාලා 75+
තිරගත වීමට පෙර
තැබූ වාර්තා
1. තිරගත වීමට පෙර වැඩිම රටවල් ගණනක ප්‍රදර්ශන ගිවිසුම් අත්සන් තැබීම. -රටවල් 27
2. තිරගත වීමට පෙර ලංකාව තුළ Pre-Booking වැඩිම ආදායම. -රුපියල් ලක්ෂ 46+
3. තිරගත වීමට පෙර විදේශ රටවල Pre-Booking වැඩිම ආදායම. -රුපියල් ලක්ෂ 362+
4. තිරගත වීමට පෙර Pre-Booking මඟින් ලොව පුරා වැඩිම House Full දර්ශන
වාර ගණන. -17’
ඒක දැක්ක ගමන් නිදි
පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා. ‘අඩේ අප්පා, කොහොමද ගැම්ම! මේ ෆිලුම නං මිස් නොකර
බලන්න ඕනි’ කියලත් ධාරණය කර ගත්තා.
ඊළඟට මගේ බොක්කටම වැදුණේ මේකයි.
‘අවුරුදු 80කට
ආසන්න ශ්‍රී ලාංකේය සිනමාවේ,
තිරගත වූ පළමු දින 10 තුළ අති දැවැන්තම වාර්තාවක්...
ශ්‍රී ලංකාව තුළ ආදායම - ලක්ෂ 953
විදෙස් රටවල ආදායම - ලක්ෂ 1,215
සම්පූර්ණ ආදායම - ලක්ෂ 2,168’ කියල දැක්කම... උපතින්ම film පිස්සෙක් වෙන නිමල්
දිසානායකයා සතුටු වෙච්ච තරං...
‘ඉතිං අපට පාන්ද’
කියල නොහිතා, ඒකා ඒ post එකට රතු හාර්ට් එකකුත් දැම්මා. ඒ මමනේ...
ගොඩක් fb වාසීන් ඊටත් එහා ගිහිං- ඒ වගේ posts ෂෙයාර් කරගෙනත් අර ප්රචාරක ව්‍යාපෘතියට
උදව් කරනවනේ!!!
ආන්න එතකොට; ඒ කියන්නෙ එහෙම ප්‍රතිචාර දක්වනකොට අපි කාට-කාටත්
හොරෙන්; අපට නොදැනී ඇල්ගොරිතමයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවලු!
දන්නවනෙ, නිදි
කම්පියුටරේ අකුරු කොටන්න පුරුදු වුණෙත් 2018 ‘නිදිගෙ පංච තන්තරේ’ ලියන්න පටන්
ගත්තමය කියලා. ඊට පස්සේ විඩෙන්-විඩේ ඔය අත්‍යවශ්‍ය දේවල් ටිකක් හිතවත් එක-එක්කෙනාගෙන්
අහගත්තා. (ඒවා කියා දුන්නු හැමටම ස්තුතියි!)
එහෙව් සීමිත
දැනුමැති මං අන්තර්ජාලයෙන් මොකක් හරි හෙව්වයි කියමුකෝ. ඊට පස්සේ ජාලෙට ගියාම තමයි
වැඩේ. මෙන්න බොලේ අර හොයපු ජාතියේ ඒවා වැස්සක් කඩා පාත් වෙනවා- නිකංම. එහෙම වෙන්නේ
ඇල්ගොරිතම් එක වැඩ කෙරෙන හින්දලු!
![]() |
සමාජ මාධ්‍යයේ සියල්ල හැසිරවෙන්නෙ Algorithm
එකටයි. ඇල්ගොරිතමය අවධානය ලබා දෙන්නෙ සාකච්ඡාවන්ට
නොවේ. එය Engagement මත පෝස්ටුව ග්රාහකයන්
වැඩි පිරිසක් අතරට යවයි! |
‘... සමාජ මාධ්‍යයේ සියල්ල
හැසිරවෙන්නෙ Algorithm
එකටයි. ඇල්ගොරිතමය අවධානය ලබා දෙන්නෙ සාකච්ඡාවන්ට නොවේ. එය Engagement මත පෝස්ටුව ග්රාහකයන් වැඩි
පිරිසක් අතරට යවයි.
ඒ නිසා එකම පොත පිළිබඳ වැඩි සටහන් පළවන තරමට එය තවත් පිරිසකට පෙනෙයි. එය තවත්
සාකච්ඡා ඇති කරයි. තවත් සාමාජිකයන් එයට සම්බන්ධ වෙයි. එවිට එය තවත් ජනප්‍රිය බව පෙනෙයි.
මෙය Feedback Loop එකකි.
පළමුව අවධානය නිර්මාණය වේ.
අවධානයෙන් Engagement ඇති වේ.
Engagement එකෙන් දෘශ්‍යතාව (Visibility) වැඩි වේ.
දෘශ්යතාවෙන් ජනප්‍රියත්වය පෙනෙයි.
ජනප්‍රියත්වය නැවතත් අවධානය නිර්මාණය කරයි.
මේ චක්‍රය තුළ පොතේ සැබෑ සාහිත්‍යමය වටිනාකමට වඩා එය වටා ඇති ඩිජිටල් ක්‍රියාකාරීත්වය ප්රමුඛ විය හැකිය.
විචාරය මිය ගිය
තැන ප්‍රශංසාව ජය ගනී...’
ඉතිං,
ඇල්ගොරිතමය නියමෙටම වැඩ කරන නිසාද මංදා, එදා ඉඳන් ‘එදා රෑ’ ගැන posts දිගටම මගේ
කොම්පියුටරේට ගැලුවා...
එතකොට මට මතක් වුණේ අපේ තාත්තා කියා දුන්නු දෙයක්. ‘ගොබෙල්ස්ගේ න්‍යාය’ය!
“... ගොබෙල්ස්
කියන්නේ බං හිට්ලර්ගේ අග සව්වෙක්. මිනිහා කියපු විදිහට ඕනිම බොරුවක් වුණත් නිතර-නිතර මිනිස්සුන්ට ඇහෙන්න සැලස්සුවොත්
මිනිස්සු ඒක විශ්වාස කරන්න ගන්නවලු... ඉතිං ඒ තියරියට වැඩ කෙරුණු හිංදා තමයි
හිට්ලර් දිනාගෙන දිනාගෙන ඇවිත් තියෙන්නෙ... ඒ විදිහට බලද්දී බොරුවත් නරකම නෑ...”
එදා එතැනින් එහාට ඒ ගැන වචනයක්වත් කතා කරන්න ඉඩක් අපේ තාත්තාට හම්බ වුණේ නෑ.
තාත්තගේ කතාව
ඇහෙන මානේ උන්නු අපේ මහරගම ආච්චි ගුගුරා හැලිච්ච නිසා. දන්නවනෙ ආලවකයාවවත්
මායිම් නොකරපු උන්දැගේ හැටි!
“මෙන්න මෙහෙ වරෙන් රංජි යන්න!
යකෝ ගුණේ, 😖😖😖තොට පිස්සුද දැන් තියාම මේ පොඩි එකාට බොරුව හොඳයි කියලා උගන්නන්නේ. උඹ
දන්නවද අපේ ගෞතම බුදු හාමුදුරුවෝ බෝධිසත්ව කාලේ නොකරපු එකම පාපය බොරු කියන එකය
කියලා. උඹටම තියා ගනිං උඹේ මහ ලොකු ගොබළු... අම්මගෙ රෙද්ද...” කියාගෙන ආච්චි මාව එයාලගෙ
ගෙදරට ඇදගෙන ගියා.
"අම්මගෙ රෙද්ද නේද ඔය අම්මා ඇඳගෙන ඉන්නේ!" කියලා අපේ තාත්තා එවෙලේ ආච්චිව ඇවිස්සුව හැටි මට තවම පෙනෙනවා...
![]() |
කියන දේ ඇත්ත වීමටත් වඩා
අපට බලපාන්නේ ඒක කියන විදිහ ආකර්ෂණීය එකක් වීම... |
(ඉතිරි ටික
ලියන්න කලින් මං වහන්සේ අන්තර්ජාලයෙන් හෙව්වා ගොබෙල්ස් ගැන. අපූරු විස්තරයක්
තිබුණා ‘ලාහිරු දහසක් දිලී...’ බ්ලොග්
අඩවියේ!)
ජනමාධ්‍යවලින්,
සමාජ මාධ්‍යවලින් එකම දේ පුන-පුනා අපිට කියද්දී අපිත් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි
එව්වට වහ වැටෙනවා නේද? කියන දේ ඇත්ත වීමටත් වඩා අපට බලපාන්නේ ඒක කියන විදිහ
ආකර්ෂණීය එකක් වීම නේද?
ඉතිං අපෙ හාමුදුරුවනේ, මටත් ඒ ටිකම වුණා. මොකද මාත් රහත් වෙච්චි කෙනෙක් නොවෙයිනෙ-
පුහුදුන් මානුස්පයෙක් නෙව...
හැබැයි, මගේ
තියෙන අන්දොස් ගතියයි, හිතුවක්කාරකමයි හිංදා මං රැල්ලට ගහගෙන යන්නේ බොහොම අඩුවෙන්!
ඒ වගේමයි ඕනෑම දෙයක් පිළිබඳව කෙරෙන සාධනීය වගේම නිෂේධනීය මත පළ කිරීම් වුණත්
ආසාවෙන් කියවනවා. ‘එදා රෑ’ ගැන මං දැක්ක පළමුවෙනි තදබල විවේචනය ‘සුජීව ප්‍රේමරත්න’ගේ.
‘එදා රෑ ගැන සිනමා ගෘප්වල බැක් ටු බෑක්
positive #review දැක්කම
ආස හිතුණා මෙච්චර හොඳ මූවී එකක්ද කියල. හැබැයි ඒ කලින් විචාර කරපු අයත් නෙමේ නිසා සැක
ඇති නොවුන නෙමෙයි.
ගායකයෙක් විදියට ක්ලැරන්ස්ටත් වැඩිය
මිල්ටන්ට ලව් කරපු මම කොහොමත් Eda Rae බලන්න
හිටියේ. ඉතින් ඊයේ රෑ පොඩි වෙලාවක් ලැබුන ගමන් ගියා,
Havelock city, Scope. බියර් එකකුත්
ගැහුවා වඩා හොඳට විඳින්න.
හැබැයි ඉතින් මුල පැයෙන් පස්සේ හිටියෙත්
ටිකක් අමාරුවෙන්. මෝඩ ජෝක් නිසා මැද්දෙ චූ දාන්නත් ගියා. ඒ සින්දුත් ගෙදර ඊට වැඩිය
ලස්සනට අහනවා. සින්දු කෑලි තමයි හැබැයි එච්චර වෙලා හරි අගටම බලන්න පෙළඹුවේ.
Cinematography නං කමකට
නෑ. Green screen පොඩි
එකෙකුට උනත් අහුවෙනවා. අහම්බෙන් දකින ටෙලි නාට්‍යය මීට වැඩිය හොඳයි. Roshan
මිල්ටන්ගේ තරුණ කාලෙට ගත්තු එකත් වැරැද්දක්. #Movie
vibe එක ඒකෙන් මුල ඉඳලම කැඩුණා.
ලෝ බජට් #එදා
රෑ නිසා මිල්ටන් මහා චරිතයක්, නමුත් නිශ්ශබ්ද චරිතයක් විදියට අපි මවාගෙන හිටපු ප්රතිරූප
පවා කැඩුණා. එයා එහෙම නොවෙන්න පුළුවන් නමුත් image, perception තිබුනේ
එහෙම.
![]() |
මිල්ටන් මල්ලවාරච්චිව නටවන්නත්
බෑනෙ. අන්තිම සින්දුවත් හොඳයි, හැබැයි ෆිල්ම් එක ඉවර වෙලා පැයක්වත්... |
තනි වචනෙන් කිව්වොත් dissapointed
🥲 හැබැයි
බලන්න එපා කියන්නෑ, කැමති
අයත් ඉන්නවා.
ක්ලැරන්ස් movie
දෙපාරක් බැලුව. හොඳට එන්ජෝයි කළා, මේක කොනකවත්
නෑ. ආයි ඉතින් #Biopic
ලංකාවේ ගොඩදාන්න අමාරු වෙයි.’
ඇත්තද මේ කියන කතාව? සුජීව නිකංම ආවට-ගියාට අදහස් පළ කරන
කෙනෙකුත් නෙවෙයි. ඒත් එයාගේ අදහස්වල ගත යුත්තක් තියේද කියල දැනගන්න වෙන්නෙත් film එක
බලලම තමයි.
එක එක්කෙනාගේ රසාස්වාදය එක එක විදිහයිනෙ. ගොඩක්
හොඳයි කියලා සෑහෙන දෙනෙකු කිව්ව සමහර films මට එච්චර ඇල්ලුවෙ නැති වෙලාවලුත්
තිබ්බේ...
ලෙස්ටර් මහත්තයාගේ ‘බැද්දෙගම’ එහෙම ෆිලුමක්. රේඛාව, සංදේශය, ගම් පෙරළිය, දෙලොවක්
අතර, නිධානය වගේ films නිසා ලෙස්ටර් මහත්තයා දිනාගත්ත ‘කීර්තිය’ නිසා වෙන්නැති කවුරුවත්
‘බැද්දෙගම’ට දොස් නොකිව්වේ. ‘ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගේ film එකක් නං
සම්භාව්‍යයයි’ කියලනෙ සමාජයේ තිබ්බ මතය!
ඒ වගේමයි, වැඩි දෙනෙක් හොඳ films විදිහට
නොදැක්ක ‘වාණිජ චිත්‍රපට ගොන්නට වැටිච්ච සමහර ඒවාට මම අදටත් කැමතියි. සිනමාස්
සමාගමේ ‘වනමෝහිනී’, සූර චෞරයා’, ‘අල්ලපු ගෙදර’, ‘ධීවරයෝ’, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ ‘බයිසිකල්
හොරා’, ‘දුලීකා’, නීල් රූපසිංහගේ ‘සරදියෙල්ගෙ පුතා’, යසපාලිත නානායක්කාරගේ ‘අංජානා’,
‘නැවත හමුවෙමු’, ලෙනින් මොරායස්ගේ ‘සූරයා සූරයාමයි’, සුනිල්සෝම පීරිස්ගේ ‘ඔබටයි ප්‍රියේ
ආදරේ’ වගේ. සමහරක්වා කොමර්ෂල් / කොපි චිත්‍රපට වුණත් ඒවා නියමෙට හිතට වැදෙන විදිහටයි හදල
තිබුණේ.
මගේ අදහස තමයි ‘කරන ඕනිම නිර්මාණයක් හරියට
කරන්න ඕනි- නිර්මාණයට අවංක වෙලා කරන්න ඕනි’ කියන එක.
මෙතැනදී තවත් එකක් කියන්නම වෙනවා... නැත්තං
සෝලි වැටෙන්නත් පුළුවනිනෙ. අනෙක නිදිගෙ රස වින්දනය මොන ලෙවල් එකේද තියෙන්නේ කියලා හිතාදර
පාඨක ඔයාලට ටක්කෙටම මැන ගන්න පුළුවන් වෙන්නෙත් එතකොටනෙ.
ඔයාල දන්නවද, මේ ලියන මට ‘මැද මාවතේ චිත්‍රපට’
වුණත් රස විඳින්න ඇහැකියි. ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘හංස විලක්’, ‘තුන්වෙනි යාමය’,
විජය ධර්ම ශ්‍රීගේ ‘දුහුළු මලක්’, ‘ගුරු ගෙදර’, ‘ආරාධනා’, එච්.ඩී. ප්‍රේමරත්නගේ ‘පරිත්‍යාග’,
‘මංගල තෑග්ග’, ‘විසිදැල’, ජයන්ත චන්ද්‍රසිරිගේ 'සමනල සංධ්වනිය', 'ඝරසරප', බෙනට් රත්නායකගේ ‘අස්වැසුම’ මං වහන්සේ උපරිමයෙන්ම රස
වින්ද ඒවගෙන් කීපයක්.
(මේ සඳහන් කරල තියෙන්නේ ලියාගෙන යනකොට එක සැරේම මතකයට ආව films ටිකක් විතරයි. සේරම
ලියන්න ගියොත් නං...)
![]() |
පහුගිය ඔක්තෝබර් 04
වෙනි ඉරිදා හවස ‘එදා රෑ’ බලන්න යන්න හිතා ගත්තා. |
සමහරුන්ට එහෙම බෑ- පළමුවෙනි දවසේ පළමුවෙනි show එකම බලන්න ඕනි. උමතු මාලනී ෆොන්සේකා රසිකයෙකු වෙච්ච
අපේ පොඩි මාමා එහෙම කෙනෙක්.
‘ඒත් දැන් ඔහෙගෙ ‘සෙනඟ අඩු
වුණහම ගිහිං films බලන ඒ තියරිය' වලංගු නෑ නිමලෝ. ඉස්සර නං හෝල් එහෙකට ෆිලුමක්
දැම්මම, එදා දවසේ තියෙන show times හතරෙම / 10.30, 2.30, 6.30, 9.30 වෙලාවලට
පෙන්නුවේ ඒක විතරයි. (ඒ කාලේ ගොඩාරියක් films පැය දෙකහමාරක් හෝ තුනක් හෝ දිගයිත්
එක්ක.)
දැන් එහෙමයැ?’
එක හෝල් එකේ දර්ශන වාර හයකට විතර ෆිලුම් තුන-හතරක් පෙන්වන වෙලාවලුත් තියෙනවා. අපිට
ඕනි වෙලාවට නෙවෙයි, තියෙන වෙලාවටයි අපි film එක බලන්න යන්න ඕනි.
ඉතිං පහුගිය ඔක්තෝබර් 04 වෙනි ඉරිදා හවස ‘එදා
රෑ’ බලන්න යන්න හිතා ගත්තා. දැන් ඉතිං මට තනියම
ඔහොම ගමන් යන්න බැහැනෙ... නෙවිලුයි, නමීයි දෙන්නගෙනුත් ඇහුවා යංද කියලා.
“මොකේද තියෙන්නෙ?”
“මහරගම සැවෝයි මෙට්‍රෝ -ඉස්සර නැෂනල් කිව්වේ- ඒකෙ තියෙනවා shows හතරක්. 10.15 / 4.00
/ 7.00 / 9.45 වෙලාවල්වල...” මං නෙවිල්ට කිව්වා.
“ඇයි, ඇමිටි ලයිට් එකේ නැද්ද?”
“තියෙනවා... දහයට, දෙකහමාරට, හතට, නවයයි හතලිස් පහට. ඒ වුණාට මං ඇමිටි එකත් එක්ක
තාම තරහෙන් ඉන්නේ. සැවෝයි එකට යමු...”
“😲😲😲ඒ මොකටද හලෝ ඇමිටි එකත් එක්ක තරහෙන්
ඉන්නේ...”
“ඇයි යකෝ, තමුසෙට මතක නැද්ද බඹරු ඇවිත් බලන්න ගිය දවසේ වෙච්ච දේ?”
නෙවිල් ඕවා හිතේ තියාගෙන ඉන්නා කුලකයේ කෙනෙක් නෙවෙයිනෙ.
මං නම් එහෙම නෑ. චූටි කෙනෙහිල්ලක් වුණත් මට අමතක නෙවෙයි; හිතේ පැසවයි. මං වහන්සේගේ
ඒ පොළොං ගතිය මා
හංගන්නේ නැත!
අගෝස්තු 16 වෙනි ඉරිදයි ඒ කෝන්තරය පටන් ගත්තේ.
එදා අපි ගියා ‘බඹරු ඇවිත්’ බලන්න. ඇමිටි එකෙන්ම fb එකේ දැම්ම පෝස්ටුවක් තිබුණා
දර්ශන වෙලාව හවස හතටයි කියලා. (පස්සේ එයාලම තව post එකක් දාලා ෆිලුමේ වෙලාව හතයි
කාලට කියලත්. නමී තමයි ඒක දැකල තිබ්බේ.)
“අපරාදෙ නෙවිල් අයියේ, මම ඒක නිදිට කිව්වේ...”
“ඒ මොකද නමියෝ?”
“මෙයාට ඒකටත් මළ පැනලා...”
![]() |
එදා රෑ කියන්නේ බලන්න යන්න
හොඳ ෆිල්ම් එකක් නෙමෙයි. මම ඇත්තටම හිතාගෙන ගියේ මේක සුපිරි ෆිල්ම් එකක් කියලා... |
“ඉතිං?”
“ඉතිං කියන්නෙ මෙතැන අපි තුන්දෙනාගෙම විනාඩි හතලිස් පහක් අපතේ ගිහිං නේද?” ඒ ගැන
නොරිස්සීමකිනි මං film හෝල් එකට ගියෙත්...
චිත්‍රපටය නරඹා වාහන අංගණයෙන් පිටවෙද්දී, කියැවුණේ
සාමාන්‍යයෙන් කියවෙනවාට වඩා වැඩි ගණනකි. “අහන්නකො නෙවිල් ඒ කොහොමද කියලා.”
නෙවිලුත් ඇහුවා.
“සර්ලා ඇවිත් තියෙන්නේ 4.45ට... එතකොට...”
Parking Yard එකේ නිලධාරියායි, එයාගේ හෙල්පරුයි ලැයිස්තුවක් දික් කෙරුවා.
“ඔය වෙලාව වැරැදියි. අපි ගෙදරින් ආවෙත් හයට විතර...” අපි කිව්වා.
බලි කුරුටු අකුරු ඉලක්කම්වලින් ලියාගත්තු සටහන
විතරක් සාක්කියට තියාගෙන එයාලා කියපි ‘අපි වැරදියි’ කියලා. පිටිපස්සෙන් තිබ්බ වාහන
නලා නාද කරවන්න ගත්තම අපි වාද කිරීම අතෑරලා දැම්මා; පැය පහකට වාහන නැවතුම් ගාස්තුව
ගෙවලා පිටත් වුණා.
තවමත් ඇමිටි වාහන අංගණයේ විධිමත්ව රිසිට් එකක්
නිකුත් කරන්නේ නැහැ. අපට වෙච්ච ඒ අසාධාරණය තවත් අයට සිද්ද වෙලත් ඇති... එයාලා
නොදන්නවා වුණාට; ප්‍රසිද්ධියේ නොකිව්වා වුණාට. ඒ ගැන දැන් මෙහෙම එළිදරව් කළාට පස්සේ
මට නං දැනෙන්නෙ ලොකු සහනයක්- හිතේ ඇනිල තියෙන කටුවක් ගලවල අයින් කෙරුව ගාණයි...
“දැන් එතකොට සැවෝයි එකේද අපි ‘එදා රෑ’ බලන්නේ?”
ඒ අස්සෙ නමී උන්නැහේ හොයලා බලපි, online බුකින් ගැන. “ලොක්කා- දැනටම සීට්ස් ඉවර
වෙන්න කිට්ටුයි. අපි තුන් දෙනාටම එක තැනකින් ඉඳ ගන්නත් බැරි වෙයි.”
“එහෙනං වෙන දවසක බලමු...” නෙවිල් තීන්දු කළා.
‘එදා රෑ කියන්නේ බලන්න
යන්න හොඳ ෆිල්ම් එකක් නෙමෙයි. මම ඇත්තටම හිතාගෙන ගියේ මේක සුපිරි ෆිල්ම් එකක් කියලා...’
පහුවදා උදෙන්ම මගේ ඇහැ ගැහුණේ රිද්මි පෙරේරා fb එකට ලියපු post එකක්. ඒකෙ මුල්
වැකි දෙක කියවන ඕනි කෙනෙක් ඉතිරියත් නොකියවා අත්
හරින්නේ නෑ.
‘... හැබැයි හිතුවටත්
වඩා පට්ට සුපිරි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක බලන්න නෙමෙයි අහන්න යන්න ඕන ෆිල්ම් එකක්.
ෆිල්ම් එක පටන් ගද්දීම ඇහෙන මිල්ටන් මල්ලවාරච්චි මහත්තයගේ ඒ වොයිස් එකට නිකන්ම ඇස්
පියවෙලා ඇඟ හිරිගඩු පිපෙන්න පටන් ගන්නවා.
අන්න ඒ නිසයි මම කිව්වේ මේක බලන්න යන්න හොඳ ෆිල්ම් එකක් නෙමෙයි කියලා- මේක ඔයාලා අහන්න
යන්නම ඕන ෆිල්ම් එකක්. හැම විනාඩියකටම සැරයක් වගේ ලස්සන සිංදුවක් පසුබිමින් ඇහෙනකොට...
![]() |
තමුසෙ මොකෙක් හරි දෙයියෙක්ට බාරයක්වත් වෙලාද තියෙන්නේ- එදා රෑ බලනවාමයි කියලා? |
පළවෙනි තප්පර කිහිපය තුළම ඔයාගේ හදවතේ ගැඹුරුම තැනක ඒ හඬ තැන්පත් වෙනවා... එතන ඉඳන්
ෆිල්ම් එක ඉවර වෙනකන් ඔයා ඒ හඬ ඇතුලේ ජීවත් වෙන්න පටන් ගන්නවා...’
ඒක කියෙව්වමත් ෆිලුම
බලන්න මට තිබ්බ ආසාව තවත් වැඩි වෙච්චි. (එහෙම වෙලාවට ‘තණ්හාය ජායතී සෝකෝ’ කැලේ!)
“ඔන්න එහෙනං සඳුදා හරි අඟහරුවාදා හරි එදා රෑ බලන්න යන්නම ඕනි.” මං නිශේධ බලය පාවිච්චි
කළා.
“ඇයි, තමුසෙ මොකෙක් හරි දෙයියෙක්ට බාරයක්වත් වෙලාද තියෙන්නේ- එදා රෑ
බලනවාමයි කියලා😟😟😟?” නෙවිල් කෝන්තර ඇහුවා.
“බාරයක් වෙලා නෙවෙයි මිනිහෝ... වැඩක් ඕනෑවට වැඩිය කල් දදා හිටියොත් ඒ වැඩේ වකූර්
වෙලා යනවා... ඒකයි! නමී මොකද කියන්නෙ?”
“මට ඔය දවස් දෙකේම පුළුවන්... හතට නේද යන්නෙ?”
"හතරට වුණත් යන්න පුළුවන්
යකෝ, උඹ මට නිවාඩු අරං දෙනව නං... හ..ත..ට නේද?” නෙවිල් නමීව අවුස්ස ගත්තා.
à දෙවෙනි කොටසට...








මම බලාගෙන හිටියෙ මේ අලුත් එක එනකං. තෑන්ක්ස් වෙලාවට පෝස්ට් කලාට.
ReplyDeleteතාම රෑට කෑවෙ නෑ. බැලුවට පස්සෙ ආයෙ කමෙන්ට් කරන්නම්.🫠
කමක් නැහැ බස්සා මහත්තයෝ...
Deleteනැති වුණු ගවයෙක් හොයන්න ගිහිං බඩගින්නේ බණ අහන්න ආව දුගියටත් කෑම කාල එන්න කියලනෙ බුදු හාමුදුරුවන් වහන්සේත් බණ දේශනා කළේ.
පැය දෙකයි නමියගෙ සින්ඩියටයි, සිංහල වියුණු සින්ඩියටයි දෙකටම ආවා. අපේ බ්ලොග්-රෝල් වල තාම නෑ. ගූගල්ට තාම සම්පූර්ණ සුව නැති වුනත්, ලොකු අවුලකුත් නෑ.
ReplyDeleteවිනාඩි තුනකින් රෑට කාල ඉවර කරන මනුස්සයෙක් දැක්කමයි.
Delete🐍... 🤣🤣🤣
Deleteමේක දැම්මෙ කෑමට පෙර - ඇපටයිසර් එක.😁
Deleteබස්සා, Praසන්ன හා නමී මහත්වරුන් තිදෙනාටම ගොඩාරියක් ස්තුතියි.
DeleteAL කරන කාලෙ රත්නපුරේ ඉම්පීරියල් එකේ ඇල්ඩස් ඔන්ලි ඒව බැලුව ඇරෙන්න ඔය චිත්‍රපටි කියල හෝල් එකකට ගිහිල්ල බලල තියෙන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් මම හිතන්නෙ.
ReplyDeleteඅතේ ඇඟිලි ගැන කිව්ව හින්දා මට සුනිල් ටී. කියපු කතාවකුත් මතක් වුණා. පොර කියනවා ඉස්සර ඇගේ වෛරය චිත්‍රපටිය පෙන්නුවට පස්සේ ෆිල්ම් හෝල්වල සීට් වෙනම හෝදන්නත් වුණාලු. 😂 ඇඟිලි ගැන කිව්ව හින්දයි ඔය කතාව මතක් වුණේ! 😄
Deleteඇයි ඇඟිලි සූප්පු කරන උංද ඒක බලන්න ගිහිල්ල තියෙන්නෙ. හැක්..
Deleteස්තුතියි මයියෝ!
Deleteබොහොම ජනප්‍රිය වුණු කතන්දරයක් මතක් කළාට.
Praසන්ன, ඇඟිලි සූප්පු කරන අය නෙවෙයි ඒ තේ ගහන අය...
චිත්‍රපටි ගැන නම් මම එච්චර ලොකුවට දන්න කෙනෙක් නෙමෙයි. හැබැයි චිත්‍රපටි ප්‍රචාරණය ගැන කතා කරනකොට මට මුලින්ම මතක් වෙන්නේ ඉස්සර මරදානේ ගහලා තිබුණු අතිවිශාල චිත්‍රපටි බිල්බෝඩ්.
ReplyDeleteඒවා නිකම්ම බිල්බෝඩ් නෙමෙයි, හරියට තොරණ් වගේ. සමහර නගරවලත් ඒ වගේ බිල්බෝඩ් තිබුණට මරදානේ ඒවා නම් අතිවිශාලයි. ඒවායේ තිබුණු ආකර්ෂණයත් පුදුමයි. බිල්බෝඩ් එක දැක්කම ඒ චිත්‍රපටිය බලන්නම ආස හිතෙනවා.
මට හොඳටම මතක තියෙන්නේ අපි ඉස්කෝලේ යන කාලේ ඇගේ වෛරය චිත්‍රපටිය වෙනුවෙන් ගහලා තිබුණු චන්දි රසිකාගේ රූපය සහිත දැවැන්ත බිල්බෝඩ් එක. ඒවාත් එක්ක බැඳුණු වෙනමම සිනමා සංස්කෘතියක් ඒ කාලේ තිබුණා. දැන් ඉතින් ඒවා දකින්න නැහැනේ.
ඒ වගේම නිදී කියලා තියෙනවා වගේ, චිත්‍රපටියක් අතරමැද ඊළඟට එන චිත්‍රපටිවල ට්‍රේලර් පෙන්නන එකත් මම හරිම ආස කරපු දෙයක්. ඒකත් වෙනමම රසයක්. සමහර වෙලාවට ඒ ට්‍රේලර් එක දැක්කම ඊළඟට බලන්න ඕන චිත්‍රපටියත් එතැනදීම තීරණය වෙනවා. ඒ ප්‍රචාරණ ක්‍රමය නම් පට්ට!
ඔය මරදානේ දැවැන්ත බිල්බෝඩ් එක ගැන තවත් රසවත් කතාවක් මෑතකදී මට අහන්න ලැබුණා. ළඟදී මම සුනිල් ටී. ප්‍රනාන්දුගේ YouTube සම්මුඛ සාකච්ඡාවක් ඇහුවා. එහිදී ඔහු කියන විදිහට, ඔය බිල්බෝඩ් එක සවි කරලා තියෙන්නේ ඔහු ඉඩම බදු අරගෙන, තොරණ් හදන ශිල්පියෙකු ලවායි.
ඒ කාලේ චිත්‍රපටි ප්‍රචාරණයට කොච්චර නිර්මාණශීලීත්වයක් සහ මහන්සියක් යොදවලා තියෙනවාද කියලා ඒ කතාවෙන්ම තේරෙනවා.
අද ඩිජිටල් ප්‍රචාරණය කොච්චර දියුණු වුණත්, ඉස්සර ඒ දැවැන්ත අතින් නිර්මාණය කළ බිල්බෝඩ් එක වෙනමම එකක්!
ස්තුතියි ස්තුතියි මයියෝ,
Deleteගොඩක් මහන්සි වෙලා මෙහෙම පරණ විස්තර ලියලා අපිව අතීතයට ගෙනියනවට.
මුලින් ජනප්‍රිය නළුවෙක්ව සිටි ප්‍රේම් ජයන්ත මහතා ඒ දැවැන්ත බිල් බෝර්ඩ්ස් නිර්මාණකරුවන්ගෙන් කෙනෙක්.
ඔය එදා රෑ චිත්‍රපටියෙත්, ක්ලැරන්ස්ගේ Rhythm of the Guitar චිත්‍රපටියෙත් සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ එකම පුද්ගලයා, සුරේෂ් මාලියද්ද. ඉතින් චිත්‍රපටි දෙකේම සංගීතය නම් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා කියලා මට හිතෙනවා.
ReplyDeleteදෙකම අපි ආදරය කරපු විශිෂ්ට ගායකයන් දෙදෙනෙක්ගේ ජීවිත සහ ගීත ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටි. ඒ ගීතවල තියෙන රසය ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.
හැබැයි හොඳ සංගීතයක් තියෙන එකයි, හොඳ සිනමා නිර්මාණයක් වෙන එකයි දෙකක්. සිනමාත්මක ගුණය ගැන නම් චිත්‍රපටි දෙකම බලන්නේ නැතුව මට ලොකුවට අදහස් දක්වන්න බැහැ.
නිදී කියපු විදිහට එදා රෑ චිත්‍රපටියේ සිනමාත්මක ගුණය එච්චර ඉහළ නැත්නම් ඒක නම් ටිකක් කනගාටුදායකයි. මොකද ට්‍රේලර් එක දැක්කම නම් මටත් චිත්‍රපටිය බලන්න ලොකු ආසාවක් ඇති වුණා. නිදීගේ විවේචනය වැරදි වෙන්න කියලා තමයි මමත් ප්‍රාර්ථනා කරන්නේ! 😄
සමාවෙන්න ඕනි, මට හිතෙන්නේ මගේ ලියන රටාව නිසා පොඩි අවුලක් වෙලා වගෙයි.
Deleteමම තවම ෆිල්ම් එක ගැන මගේ අදහස කියල නෑනෙ. film එක ගැන බලපු කිහිප දෙනෙකුගේ විවේචනයි උපුටා දක්වල තියෙන්නේ.
හිට්ලර් ගැනත් ඉතින් කියන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මේ ලිපියේ වැඩිපුර කතා කරන්නේ චිත්‍රපටි ගැන හින්දා ඒ ගැන වැඩිය මොකුත් නොකියා ඉන්නම්.
ReplyDeleteඒත් ඉතින් බොරුවේ පියා වගේ හිටපු හිට්ලර්ගේ ප්රචාරක ඇමති ආචාර්ය ගොබෙල්ස් ගැන නම් නොකියාම බැහැ. හිට්ලර්ගේ අන්තිම මොහොත දක්වාම ළඟ හිටපු මිනිහෙක්. අන්තිමට තමන්ගේ ළමයි හයදෙනාටත් වස පොවලා මරලා, බිරිඳත් එක්කම සියදිවි නසාගත්තු මනුස්සයෙක්.
ගොබෙල්ස්ගේ නමත් එක්ක ප්‍රසිද්ධ කියමනක් තියෙනවනේ, මිනිස්සුන්ට පොඩි පොඩි බොරු කියන්න එපා, කියනවා නම් දාර පචයක් ඇදබාන්න කියලා. .
ඔය ප්‍රචාරණ ක්‍රමය දේශපාලන ක්ෂේත්රයේ හොඳටම වැදගත් වුණා. ලංකාවේදී නම් මංගල සමරවීරත් ඔය වගේ දේශපාලන ප්‍රචාරණ ක්‍රම හොඳට පාවිච්චි කරපු කෙනෙක්.
දැන් ඉතින් ඔය ක්‍රමයෙන් වැඩියෙන්ම ප්‍රයෝජන ගන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. 😄
"ඉතිහාසය ලියවෙන්නේ ජයග්‍රාහකයන් අතිනි" කියල කතාවක් තියනවා. හිට්ලර්ගේ පක්ෂය "National Socialist German Workers' Party". සමහර සමාජවාදී ප්‍රතිපත්ති තිබ්බ කියලත් කියනවා. පැසිස්ට්වාදය ආයෙ හිස ඔසවනවා, වෙනත් නම් වලින්.
Deleteහෙටානිද්දා වෙනකොට හිට්ලර්, ගොබෙල්ස්, සමාජවාදී හා පැසිස්ට්වාදී ක්‍රම ගැන තව විස්තර අපේ ආදරණීය පාඨකයන් ඔයාලට comment කරාවි කියලයි මං හිතන්නේ- මයියා, බස්සා මහත්වරුනේ.
Deleteඑදා රෑ. චිතතර පටිය මාත් රසවින්ද.
ReplyDeleteමාතලන් එදා රෑ ගැන ලියාපු පෝස්ට් එකෙ කරැනු එක්ක මාත් ගොඩක් එකඟයි.
(අඩුපාඩු විදියට දැක්ක දේවල් කීපෙකුත් තියේ තමා) ඕන හුදී ජහමනයෙක්ට මේක අරම මෙහෙම උනානං කියල හිතෙන එකෙ පොඩි සාධාරණයකුත් තියෙ තමා හිටං.
ලංකාවේ විචාර. විචාර නෙමේ සමහර ඒව විකාර. එක සෙට් එකක් ඉන්නවා, දාර්ශනික ෆිල්ම් හදන සහ ඒව උඩ තියල විචාර කරන. තව සෙට් එකක් ඉන්නව මැද පංතියෙ චිත්තර පටි ගරහන්නම ඉන්න දාර්සනිකයො ටිකක්. පිට කසන විචාර සෙට් එහෙකුත් ඉන්නව ඒ අතර!
දැන් අපේ නිදිය වැටෙන්නෙ කොයි කැටගරියට ද? මම නං අර පිට කසන සෙට් එකේ.😋
Deleteනමියෝ, අපිත් එක්ක එදා රෑ බලල ආපහු එන අතරෙත් 'ෆිලුම කොහොමද?' ඇහුවමත් බ වහන්සේ ලිස්සල ගියා- කෙලින් උත්ත්තරයක් නොදී. ගඩු රජා!
Deleteසොරි, උඩින් comment එකේ 'බ වහන්සේ' 'ඔබ වහන්සේ' විය යුතුයි, අකුරු කොටද්දී මට වැරදීමක් වෙලා.
Deleteඒකට සමා වෙන්නෝනි හොඳේ!
අනේ අනේ බකුසුතුමෝ, හීනියට hint එකක් ගැහුවා නේද එහෙනං මටත්?
Deleteමගේ වංශේ තමයි 'මට දැනෙන - හැඟෙන දේ ගැන අවංකව කියන වංශේ'.
හෙහ් හෙහ් ගඩු රජා. නිකං නෙමෙයි ලිස්සලත් තියනවා 😋🤣😮
DeleteDrama , Music කියල හිතාන නරඹන්ට පුලුවං ලස්සන ෆිල්මක්.
DeleteBiopic විදියටම දකින්න ඕනැය. මළවිකාර 😁🤗
@නමී
Deleteබොගෙ කතාවෙත් ඇත්තක් තියනවා. වැරදි හොයන්න යන සෙට් එක ෆිලුමට වඩා ඒ "බ්ලේම් ගේම්" එක එන්ජෝයි කරනවා වෙන්ටෑ නේද? එතකොට උන්දලට ෆිලුම රසවිඳින්න අමතක වෙනවා.😮🤔
මෙහෙ බලපු කෙනෙක් කිව්වා වැඩක් නැහැ කියල . ඒ නිසා ගියේ නැහැ . නිදි කියන්නකෝ බලන්න . එහෙම වුනොත් යනවා . මගෙත් කැමතිම ගායකයෙක්
ReplyDeleteFilm එක බැලුව අයගෙ ප්‍රතිචාර විවිධයි- අජිත් ධර්ම මහත්තයෝ. එහෙම මතවලින් දෙකක් විතරයි මේ පෝස්ටුවට මං යොදල තියෙන්නේ. හැබැයි film එක බලන්න එපා කියපු විවේචන නං මම දැක්කේ නෑ.
Deleteමගේ අදහස ඊළඟ post එකේදී කියන්නංකො!
කියෙව්වා. නිදිගෙ විස්තරය නරකම නෑ කියල හිතෙනවා. හැමෝම විචාර ලියන්නේ තමන්ට සාපේක්ෂව නේද? ඒකෙ අවුලක් නෑ කියලයි හිතෙන්නෙ.
ReplyDelete//තිරගත වීමට පෙර තැබූ ආදායම් වාර්තා...ලක්ෂ 953.....
ලක්ෂ 1,215//
හ්ම්.... කතෘභාගෙ ගෙව්වද දන්නෑ නේද?🤔
කර්තෘ භාග ගැන අවුලක් නැහැ වගෙයි බකුසුතුමෝ. රනිල් පුතයි, පවන් මුණුපුරයි දෙන්නමත් ෆිලුමේ සිංදු ගොඩක් කියල තියෙන්නේ...
Deleteහැබැයි, ආදායම් බදු එකෙනුත් බලාගෙන ඇති!
මිල්ටන් මල්ලවාරච්චිගේ පුතා කියලා අපි වැඩිපුරම දැනගෙන හිටියේ රනිල් මල්ලවාරච්චිව නේ. හැබැයි මිල්ටන්ගේ තවත් පුතෙක් වන තාරක මල්ලවාරච්චි ගැන මමත් දැනගත්තේ මෑතකදී. ඔහු ඉන්නෙත් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර. ඔහුත් හරිම රහට සින්දු කියනවා. විශේෂයෙන්ම මිල්ටන්ගේ හඬට ලොකු සමානකමක් තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. ඔහු ගැන කරපු ලස්සන වැඩසටහන් කිහිපයකුත් මම දැකලා තියෙනවා.
Deleteමේ චිත්‍රපටයටත් තාරක ගීත ගායනා කරලා තිබුණත් අවසානයේ ඒවා ඇතුළත් කරලා නැහැ කියලා පොඩි චෝදනාවකුත් මට අහන්න ලැබුණා. ඒ කතාවේ ඇත්ත නැත්ත නම් මම හරියටම දන්නේ නැහැ. කොහොම වුණත් මිල්ටන්ගේ ඒ අපූරු ගායන උරුමය ඉදිරියට ගෙනියන්න තාරකටත් හොඳ හැකියාවක් තියෙන බව නම් ඔහුගේ ගීත අහනකොට පැහැදිලියි.
@ මයියා
Deleteහ්ම්....සල්ලි ඉස්සරහට ආවම ඕව වෙනවා. එතකොට සහෝදරකම් කැලෑ වදිනවා. 🤔
සල්ලි දෙයියන්ගේ මල්ලි කියලා ඉස්සර දැනමුත්තෝ කිව්වේ නිකන්ම නිකන්යැ?
Deleteඒක නෙවෙයි බකුසුතුමෝ, මං හිතන්නේ තමුන්නැහේ වාර්තාවක් තියලා තියෙනවා කියලයි.
ReplyDeleteවචන 158 ක පෝස්ටු හිච්චක් 'පාරට කිට්ටුව' ලියලා ඒකට දැනටමත් comments 189 ක් දිනාගෙන!
අපේ සුබ පැතුම්!
https://frozenlazyowl.blogspot.com/2026/10/blog-post.html?sc=1791636253204#c6727880007758071663
මොන ? ඒක මම තියපු එකක් නෙමෙයි. අපේ මිත්‍රයො තමයි ඒක නියාමනය කෙලේ. එයාල කැමති මාතෘකා යටතේ සාකච්චාව මෙහෙයෙව්වා. මම කලේ වැඩි හරියක් හූමිටි තියපු එක.
Deleteනිදි හැමදාම මට දක්වන සහයට මෙන්න මල් මිටක්.💐
මල් මිට ආදරෙන් බාරගත්තා, බස්සා මහත්තයෝ.
Deleteමගේ සිරිත පුළුවන් හැම වෙලාවේම හිතවතුන්ට වගේම නාඳුනන උදවියට වුණත් හැකි නං සහය වීමයි.
ඉතිං අපේ blog ලියන හිතවතුන්ටත් පුළුවන් විදිහට සහයෝගේ දක්වනවා.
දැනුත් මෙහාට; මගේ බ්ලොගයට ආවේ තමුන්නැහේලගේ අඩවිවලට ගිහිං.
තමන්ට බෙදාගන්න කලින් අනිත් අයට සංග්‍රහ කරලා ඉන්න එපැයි!
ෆිල්ම් එක ගැන නිමල්ගෙ අදහස ඊළඟ පෝස්ට් එකෙන් කියයිනෙ එහෙනම් 🥰.
ReplyDelete"ක්ලැරන්ස්" ෆිල්ම් එකටත් ඔය වගේ hype එකක් හැදුවනෙ. "කීප සැරයක්ම බැලුවා", "බලපු ලස්සණම ෆිල්ම් එක" වගේ අදහස් නිතරම YTවල තිබුණා. නමුත් මට නම් ඒ ෆිල්ම් එක (සිංදු ටික ඇරුණම) හරිම දුර්වල ෆිල්ම් එකක්. ක්ලැරන්ස්ගෙ චරිතය හරිම දුර්වල විදිහට ගොඩ නඟලා තිබුණෙ. අපි පොඩි කාලෙ ඉඳලා ටීවී එකේ දැකපු ක්ලැරන්ස්, පොඩි හිනාවක් ඇතුව ඔලුව පොඩ්ඩක් හොල්ල හොල්ල සිංදු කියන ක්ලැරන්ස් මමනම් හැමදාම දැක්කෙ එලියෙන් හිනාවෙලා හිටියත් හිත ඇතුලෙ අමුතු දුකක් තියාගෙන ඉන්න, ජීවිතේ ගැඹුරු දේවල් හරිම සරළ විදිහට වචනවලින් කියන්න පුලුවන් කෙනෙක් විදිහට-through his amazing musical abilities. නමුත් ඒ පෞරුශය ෆිල්ම් එකේ පෙනුනෙ නෑ. ෆිල්ම් එක ගත්තොත්, සිදුවීම් ටිකක් ඔහේ එකට අමුණලා මිසක් කිසිම flow එකක් තිබුණෙ නෑ. මමනම් සෙකන්ඩ් හාල්ෆ් එකේදි මේක කොයි වෙලේ ඉවර වෙයිද කියලා හිත හිත හිටියෙ. මට හිතෙන්නෙ අපේ රටවල ඔය වගේ biopics හදන්නෙ අදාළ කළාකරුවා හෝ කළාකාරිය ශාන්තුවරයට නැංවීමේ අදහසින්. ඊට වඩා දෙයක් ඔවුන්ගෙ ජීවිත ගැන අපිට දැනගන්න ලැබෙන්නෙ නෑ; and I do not mean gossip when I say that. උදාහරණයකට Elvis ෆිල්ම් එක ගත්තොත්, පොඩි කාලෙ ඔහු යම් යම් දේවල්වලින් inspire වුණු හැටි, පසු කාලෙක ඔහුගෙ මැනේජර් විසින් ඔහුව මැනිපියුලේට් කරපු හැටි ලස්සණට පෙන්වනවා (ඒ නම් Tom Hanksගෙ අති දක්ශ රඟපෑම නිසා). නමුත් අපේ biopicsවලින් කරන්නෙ සිංදු ටික පෙන්නලා ප්‍රේක්ශකයින් enchant කිරීම විතරයි 😁; ප්‍රේක්ශකයින්ට ඕනෙත් එච්චරයි 😊. නමුත් ඉතින් රස වින්දනය වෙනස් කියන අපි පිළිගන්න ඕනෙ. "එදා රෑ" ෆිල්ම් එක බලන්න මටනම් දැනට තියෙන එකම මෝටිවේශන් එක රොශාන් රවීන්ද්‍ර ප්‍රධාන චරිතය කිරීම විතරයි. බලමුකො නිමල් මොකද කියන්නෙ කියලා 😊
බලාගෙන ගියාම Lotus, ඔයත් අයිති වෙන්නේ හොඳ කලා රසික ගොන්නට!
Deleteඊළඟ කොටසට ලියන්නන්කො එහෙනං ෆිලුම ගැන මගේ අදහස.
This comment has been removed by the author.
ReplyDelete//සංගීතේ වාදනේ කරමින්
Deleteමේ මෝලම් තාලයට වයසක මිනිස්සු පොඩි එවුන්ට නක්කලේ දාල තින්නේ
''ගොන්නු වරෙව් සල්ලි දියව්" කියලයි ඒ ගහන්නේ කියලයි
හෙහ්, හෙහ් ''ගොන්නු වරෙව් සල්ලි දියව්". ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. 🤣😋😁👌
Deleteසිරිබිරිස් උන්නැහේ,
Deleteජින් ජිනකන් තප්පු තප්පු තාලෙට කියවෙන 'ගොන්නු වරෙව් සල්ලි දියව්' කතාව දැනගත්තේ අදයි.
ඒක කිව්වට ගොඩක් ස්තුතියි.
බකුසුතුමෝ,
Deleteමෙතනට නං කවියක් ලියන්නේ නැතුං බැරුවා- හිතට ආව එකක්...
ගොන්නු වරෙව් - සල්ලි ගනිව්
නුවර හිටං කොළඹ යමව්
නිඝණ්ට පාර්ශවෙට උදව්
දෙන්න හනික එකතු වෙයව්
ෆිලුම ගැන නිදිගේ විස්තරෙත් කියවලම බලනවා. දැනට තියන දේවල් වලින්නම් රොෂාන් රවින්ද්‍ර නිසා යම් උත්තේජනයක් ලැබුන බව තමයි කියවෙන්නේ. ඒ ඇරෙන්න මේක මිල්ටන්ගේ පවුලේ අය මිල්ටන්ව ඒ අය කැමති විදිහට හදලා ඔන්න ඔහොමයි මිල්ටන්ගේ විදිහ කියල අපිට පෙන්නවද කියලත් හිතෙනවා. ඒ ඇත්තම මිල්ටන්ද කියල දන්නේ ළගින්ම හිටපු මිත්‍රයෝ තමයි.
ReplyDelete//ඒ ඇත්තම මිල්ටන්ද කියල දන්නේ ළගින්ම හිටපු මිත්‍රයෝ තමයි.//
Deleteනිහඬපාල මහත්තයෝ, ඔය අදහසමයි අපිත් එක්ක එදා රෑ බලපු නෙවිලුත් කිව්වේ.
ආ..නේ...
ReplyDeleteමමත් ආසාවෙන් හිටියෙ එදා රෑ බලන්න. මෙහෙම යි මෙයාල ඇත්ත කතාවට තව අලුත් දේවල් එක් කරන්න ගිහිල්ලා තමයි සැබෑ චරිතයට හානි කරන්නේ.. ක්ලැරන්ස් බලද්දිත් සමහර තැන් තිබුනා " මෙහෙම දෙයක් අපි දැනගෙන හිටියෙ නෑනේ " කියලා මට හිතුන.
මොනා උනත් ඔබටම ආවේනික කතා විලාසය එක්ක මේක මම රසවන්දා.. හැබැයි කියන්න ලැජ්ජයි මම ඊයෙ ඉඳලාම තමයි මේක කියවන්නේ ටිකින් ටික.
කමක් නෑ, කමක් නෑ ලියෝනි, ඔයාට තියෙන රාජකාරිත් එක වෙන්නැතිනෙ එහෙම ටික ටික කියවන්නේ.
Deleteඑහෙම හරි එන එකටයි- ඔයාගේ බ්ලොග් එක ලියන එකටයි ගොඩක් ස්තුතියි.
// " මෙහෙම දෙයක් අපි දැනගෙන හිටියෙ නෑනේ " // කතාව එදා රෑ film එකේ සමහර දේවල්වලටත් වලංගුයි.
ඔව් නේද? මමත් මේක බලන්න ආසාවෙන් මයි ඉන්නේ ඒ සින්දු ටික නිසාම. මමත් හරීම ආසයි මිල්ටන් ගේ සින්දු වලට.
Deleteබලන්න, බලන්න ලියෝනි. Film එක බලන්න.
Deleteමං නං එහෙමයි, මොන දෙයියන්නාන්සේගේවත් මත අහන්නේ නෑ මගේ හිත 'හා' කිව්වොත්...
මධු මල ලෙස
ReplyDeleteඔබෙ නිල් නුවන්
මුව මදහාසේ
මියුරු පෙම්
සිතුම් පැතුම් පොදි
සිහිනෙන් දැකගන්න
සඳළු තලේ
පෙර එක දවසක
කීන දං මිටක්
කවුරුද පාවී
තනි වී සිටින්නයි
සිහිනෙන් ඔබ මට
පායා ආ සඳ
මට මෙන් ඔහුටද
සිනහව අතරින්
සඳෙන් එහා
සංසාර සෙවනැල්ල
අවසර නැත මට
පියාපත් සලා
ඉවුරු තලා
වීදි කොනේ
තරිඳ නැගෙන
සැදී රන් අබරණින්
රෑනේ ඉගිලෙන්න ඕනේ
කැන්දම් යන්නම්
සුළඟේ පාවී
රන්මසු නැහැ කියා
විකසිත පැතුමන්
රන්සලු පළදා
හද පතුලේ
පැරදීලා පලා ගියේ නෑ
ගමනේ ගිම් නිවූ
පෙම් රජ දහනේ
රනඹර ඉඳුදුනු
උපුල් නුවන්
නමී, මේ තියෙන්නේ එදා රෑ film එකේ තියෙන සිංදු ටික නේද?
Deleteනෑ නෑ 😁. ෆිල්ම් එකේ තිව්නෙ සිංදු 5ක් හෝ 6ක් නෙ.
Deleteමං මේ කස්ටියට මිල්ටන් ගොයියාගෙ සිංදු කීපයක් මතක් කරා හිටං
මොනවා... දෙයි හාමුදුරුවනේ, මූව දීයා කාපිය!
Deleteඈ නමියෝ- සිංදු පහ හයද ෆිලුමේ තිබ්බේ? තිහකට අඩුයි- විසි ගණනක් තිබ්බනේ.
Film එක බලන අතරෙ ඔබතුමාට නින්ද ගියැයි?
මිල්ටන් මල්ලවආරච්චි මගෙත් ප්‍රියතම ගායකයෙක්. ඔහුගෙ සමහර ගීතවල තිබ්බෙ අමුතුම ගතියක්. සංගීතයත්, පද මාලාවත් අපව වෙනම ලෝකයකට ගෙනිච්චා.
ReplyDeleteඔහුට තිබ්බෙ "පොෂ්" අසම-සම කටහඞත්. කොහොමද, ඒක කියන්නෙ? මේක මගේ පෞද්ගලික හැඟීමද මන්දා? සමහර ප්‍රසිද්ධ ගායකයො ලස්සන විරහ ගී කිව්වත්, මට බොහෝ ඒව ඇහුනේ විලාපයක්, අඞෝ-වැඩියාවක් ලෙසයි. මිල්ටන්ගෙත් වානිජ ගීත නොතිබුනාමත් නෙමෙයි. ඒත් ඔහු කියපු "නැවකට එකයි" ගීත මගේ මතකයෙ නොමැකී තියනවා.
ළයාන්විත- ආදරය වෑහෙන- හැංගුන විරහවක් උපද්දන අසමසම කටහඬක් කිව්වොත් හරිද බකුසුතුමෝ?
Deleteසුපුරුදු පරිදි, නිදියා මගේ ප්‍රියතම කොටස ලිපියේ මුල ලියල තියනවා.🙏. සිංහල සිනමා ප්‍රචාර ඉතිහාසෙ, රසවත් පැරණි රසාංග.
ReplyDeleteමට ඔය සිනමා විචාර, විච්චේදන, කරන්න තේරුමක් නම් නෑ. ඒත් ලිපියේ තිබ්බ අනිත් පරණ පිචෑර් කතා, නෙවිල් සමඟ ඒවා බලන්න ගිහින් වෙච්ච අකරතැබ්බ ටික නං ලෙසටම රසවින්ඳා. 😁
අපේ ගම් පලාත්වල තිබ්බෙ ඉතිං තුන්වෙනි පන්තියේ පිචෑර් හෝල් තමයි. ඒ කාලෙ සල්ලිත් නෑ නෙව? ගැලරියෙත් බලල තියනවා. අවාසනාවට ගැලරියෙ ඉස්සරහා කොනක සීට් එකක් ලැබුනාම, පිචෑර් එක ඉවර වෙලාත් වරු ගාණක් හැම දේම පෙන්නෙ රුයිතෙට. ඊට හපන් එව්ව බලන්න පෝලිමේ ඉන්න එක. පෝලිම් පනින නිසා, එව්වා හදලා තිබ්බෙ, සින්ගල්-ෆයිල් ක්‍රමේට,හිර ගෙදර වගේ. ඔය කොන්ක්‍රීට් උමග කෙරෝලෙ අග තිබ්බ කූඩුවක් හිටියා, විධායක ටිකට් කඩන ගොයියා. පෝලිමේ ඉන්න කොට, මාර්කට් එකේ "ගමේ චන්ඩි ස්ටැන්ලිලා" යන්නෙ අපේ කරවල් උඩින්. ඒ කාලෙත් අපි "පීඩිත පන්තිය" ආයිබෝ වන්ඩ! 😋😁
මහරගම අනුෂා සිනමාහලෙත් ඔයා කියන 'සිංගල්-ෆයිල්' ක්‍රමේට තමයි තිබ්බේ. සෙනඟ වැඩි නං ඉතිං මාර්කට් එකේ "ගමේ චන්ඩි ස්ටැන්ලිලා" විතරක් නෙවෙයි උන්ගේ හෙන්චයියාලත් ගියේ අපේ කරවල් උඩින් නෙව බකුසුතුමෝ.
Deleteමගෑරුණා නෙව වැදගත් කාරණයක්.
Deleteඅපිත් පීඩිත පන්තියේ අන්තිම අඩියේ උන්නු උදවිය.
කියවන්න ඇතිනෙ අවුරුදු 12දී කොළඹ පේව්මන්ට්වල රඟපාලා, ඊට පස්සේ ඉඳියාප්ප තම්බගෙන සත විසිපහේ මුල්වලට බැඳගෙන පාන්දරින් කොළඹ මහ ඉස්පිරිතාලේ වාට්ටුවල විකුණලා ඇවිත් ඉස්කෝලේ ගිය හැටි හෙම. ඒවා ලිව්වේ මුල් කාලීන posts වලයි.
හැබැයි, හරිම ආඩම්බරෙන් කියතහැකි අද කාටවත් අතනොපා ඉන්නවා.
ඒත් කවදාවත් කාගෙවත් දේ කඩාවඩාගෙන නෑ- හොරකම් කරල නෑ- අනුන්ට ගිනිගෙඩි දීලත් නෑ, ඔය කෝටි ගණන් තිබිලත් මදිව දඟලපු-දඟලන උදවිය වගේ.
ඒ ඉඳියාප්ප බිස්නස්, පේව්මන්ට් එකේ රජ වුන හරිය තමයි හොඳම. නිදිට "ස්ට්‍රීට්-වයිස්" පන්නරය ලැබෙන්න ඇත්තෙ ඒකෙන් වෙන්ටෑ?
Delete"One Helluva Ride"
මටම වෙලාවකට පුදුමයි බකුසුතුමෝ- මට මහුණ දෙන්න වුනු දේවල් ගැන. අවුරුදු හයේ ඉඳලා...
Deleteඉතා අසන්න කාලයේ සිද්ද වෙන සමහර දේවල් ගැන තවම ලියලත් නැහැ...
ඒත් ඒ හැම දෙයකින්ම මට එකේක වර්ගයේ පන්නර ලැබෙන එකම කොච්චර අගේද?
https://thenkiri.com/tv-series-list-by-updated-order/
ReplyDeleteTV සීරීස් බලන අයට ඔයා එවා තියෙන ලින්ක් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි Pra Jay මහත්තයෝ.
Deleteස්තුතියි!
++++++++++++++++++++++👌
Deleteමහරගම අනුෂා එකේ ඉස්සර ෆිල්ම් බලන්නගියාම ෆිල්ම් වලට වඩා වෙන වෙන ඒවා තමා බලන්න තියෙන්නේ
ReplyDeleteඔවු මචං ඒ වගේම රූබි එකට තමයි මරුම ඒවා ආවේ ඒ කාලේ, ෆිල්ම් එකේ එලියෙන් අපි ලයිව් ෂෝ එකත් බැලුවා ෆිල්ම් එකත් බැලුව ලයිව් ෂෝ එක ෆ්‍රී
Deleteසිරාවටම බං
Delete😊😊😊
Delete