![]() |
පණ
තියෙන නයෙක්, වඳුරෙක් - පණ නැති කොටියෙක් එක්ක එකම stage එකකට.... |
-සර්පයාත් බය වෙලා ඉන්න ඇත්තේ. අහිගුණ්ටිකයාට නයාව ආපහු ඇතුළට ඇදගන්න බැරි වුණේ ඒකයි.... ඒකෙන් වැඩේ දෙක වුණා. වඳුරා තමයි හොඳටම කලබල වුණේ. මෙහෙන් නයා.... එහෙන් කොටියා.... ඌ එලොවක්-මෙලොවක් නැතිව අයිලේ පදින අස්සේ....”
විපත්තියේ
පශ්චාද් පරීක්ෂණයෙදී සාක්ෂි දෙමින් අපේ තාත්තා කීවේ එහෙමය.
“....
අරූ අයිලේ පදිනවා. නයා ගහ උඩටම ඇදෙනවා. එහෙම ඇදෙනකොට ඌව අල්ලා ගන්න අහිගුණ්ටිකයා
නැඟිට්ටා. එතකොටම තමයි මං තිරේ...තිරේ කියලා කෑගැහුවේ! ඌවත් මිනිසුන්ට පෙනෙයි
කියලා....”
![]() |
තිරේ
වහගෙන අවුල ළෙහා ගන්නට.... |
“ඒකට
මක් කරන්නද නිහාල්.... නාට්‍යයක්නේ... ඔහොම දේවල් වෙන්න ඉඩ තියෙනවනේ!” අපේ තාත්තා
නිහාල් ලියනගේ අයියාට කිව්වේය.
එදා
නම් තිරය වහගෙන අවුල ළෙහාගන්නට ටික වෙලාවක් ගියේය. දැනුත් එහෙමය. බලය අඩු නම්,
අවුලක් තිබේ නම් තිරය වැහෙයි. නඩු අනඩු වෙයි; පක්ෂ මාරු වෙයි; වරදාන- පට්ටම්-
තානාන්තර පූජා කෙරෙයි. බලය වැඩි වෙයි....
එව්වාට අකමැති නම්- දිගටම ලෙඩ දමනවා නම්, ඒ උදවිය සීන් එකෙන් අයින් කෙරෙයි;
සමහරවිට ටිකකට- සමහරුන්ව සදහටම.
ඉතින්,
වහාම ක්‍රියාත්මක වෙන පරිදි වඳුරාවත් අපේ නාට්‍යයෙන් ඉවත් කරන ලදී! ගෙදර යවන ලදී!!
අහිගුණ්ටිකයාට බැනුම් කෝටියක් අසාගෙන ඉන්නට වුණේය. ඒ නයාව අල්ලා ගන්නට කලබලයෙන්
නැඟිටින අතරේ මිනිහාගේ අරක්කු බාග බෝතලයක් බිමට වැටිලා හින්දාය.
“මම
තමුසෙට කිව්ව නේද ඕයි, නාට්‍ය ඉවර වෙනකල් බොන්න එපා කියලා.... කාලකන්නියා.... බීලා
ආවා මදිවට, බෝතලයක් ඉනේ ගහගෙනත් ඇවිත්.... ඉතින් තමුසෙට නයාගේ වලිගෙ අතෑරෙන්නෙ
නැතිව තියෙයිද ඕයි?”
හිතේ
තරහ නිසා ඒ මනුස්සයාට බැන්නත්, තාත්තා හිටියේ අහිගුණ්ටික මනුස්සයාට ඇහැ ගහගෙනමය. “ඇයි
බං... බැන්නට තරහ වෙලා ඌ නයාවත් අරගෙන හොරෙන්ම යන්න ගියොත්. වඳුරා මදිවට නයාවත්
නාට්‍යයට නැති වෙනවනෙ!”
![]() |
ඇති
යන්තං! අපේ තාත්තා කිව්වේ... |
“ඇති
යන්තං, ගිරහෙක් මාරු වුණා වගෙයි!” පළමුවෙනි දර්ශනය අවසානයේ තාත්තා කිව්වේය.
“මම
අහන්නම හිටියේ.... කොහොමද මගෙ ඇක්ටිං?” සිරි අයියා තාත්තාගෙනුත්, මගෙනුත් වෙන-වෙනම
ඇසුවේය. “ඔය යසට කළේ... දෙවෙනි ෂෝ එකේදී තමුසේත් වචනයක් දෙකක් දානවා.... අර
ෆිල්ම්ස්වලදී ඇන්තනි, ක්‍රිස්ටි ලෙනාඩ් එහෙම කරනවා වගේ....” අපේ තාත්තා සිරි
අයියාට කිව්වේය. කියලා විතරක් නතර නොවී, උසස් වීමකුත් දුන්නේය.
“සිරී,
පිළියක් රජ්ජ්රුවන්ගේ ඊතල කොපුව එල්ලා ගන්නවා තමුසෙගෙ පිටේ. කොහෙද? තමුසේ අන්තිම
වෙනකල් හිටියයින් මාලයක්- අත් පටියක්වත් හදාගන්න බැරි වුණානෙ...”
“කමක්
නෑ ගුණපාලයියේ. මේ මදැයි...” සිරි අයියා නිරුවත් පපුව හරහා ගැට ගසා තිබුණු නූල
පෙන්නුවේය.
![]() |
පූන
නූලක් විදිහට ටුවයින් පොටවල් කීපයක්.... |
“එතකොට
ගුණපාලයියේ මට විදින්න ඊතල?” රංජිත් ගුණසේකර අයියා ඇහුවේය.
“ඔව්වත්
ප්‍රශ්නද අයිසේ? මුව දඩයමේ ගිහින් එක ඊතලයයිනෙ තමුසෙට විදින්න තියෙන්නෙ. එතකොට
අලුතෙන් කෑල්ලක් කියනවා සිරීට ‘වහාම මට ඊතලයක් දෙව’ කියලා!”
ඔහොම
කිව්වාට ඒ මහ ලොකු ඊතල හදාගෙන තිබුණෙත් හීනි ලාඩප්පා කෝටු ටිකකට silver පේන්ට්
ගාගෙනය! (එක-එක පළාත්වලදී ලාඩප්පා එක-එක නම්වලින් හැඳින්වෙයි. මා දන්නා විදිහට
ගිනිසීරියා, නංචිමරන්, වැටිමාර කියන්නේ ඒ නම් කීපයකි. මකුලත, වැටහිරියා, ඇල්බීසියා
නම්වලින්ද, දමිල බසින් සිමෙයි කිලුවෙයි හා කොන්නමරම් යන නම්වලින්ද හඳුන්වන්නේ මේ Gliricidia
sepium ශාකයමය.)
“අඩෝ
රංජියා, ස්ටේජ් එකේදී උඹ රජ්ජුරුවෝ වෙලානේ ඉන්නේ. ඉල්ලපංකො ඊතල.... දෙන්නං උඹට
ඊතලයක්.... ඒ වෙලාවට මට වැඳලා ඉල්ලුවොත් විතරයි මචං, උඹට ඊතලයක් දෙන්නෙ! ඔන්න මචං
දැන්මම කිව්වා!” සිරි අයියා උඩ පනිමින් කිව්වේ අප කවුරුනුත් හිනස්සමිනි.
![]() |
මේ සිරෝ, අලුතින්
කෑලි එකතු කළාට ඔහොම මඟුල් නං.... |
අප්පුඩියක්වත්
ගහන්නටත් නොවේ. හාල්පාරුවෙකු වගේ ඒ කට්ටියට හේත්තු වෙලාය. වැඩක් කෙරෙන වෙලාවට එහෙම
හේත්තු වෙන අය කොහෙත් ඉන්නවානේ?
දෙවෙනි
සැරේටත් ‘මාරක හී පහර’ පෙන්වලා ඉවර වුණත් සෙනඟ පිට්ටනියෙන් ගියේ නැත. “තව පාරක්
නාට්‍යය පෙන්නන්නයි වෙන්නේ!” අපේ තාත්තා තීන්දුව ප්‍රකාශ කළේය. “හැබැයි, ඊට
ඉස්සෙල්ලා කට්ටියටම කන්න දීලා ඉන්න වෙයි. මේ පොඩි එවුන් ටික බඩගින්නෙනේ.”
අජාසත්ත
නටද්දී වගේ නොවේ. අපට කාගෙ-කාගෙනුත් වැඩියෙන් ආධාර ලැබී තිබිණි. ඒ නිසාම, ඇති
වෙන්නට බත් මාළුපිණි උයාගෙන ඇවිදින්ය. ඒවා කෙරුණේ (මරු සිරාට පිහියෙන් ඇන්න
චුට්ටෙගේ සොයුරියන් වූ) සිරිමා, ජයන්ති අක්කලාත් අපේ අම්මාත් ප්‍රධාන කට්ටියකිනි.
සංගීත
ශිල්පීන් එක්ක කෑමත් කාලා අත සෝදාගත් උපාලි අපේ අම්මාගේ සාරියෙන් අත පිහදාගෙනය!
![]() |
තාත්තාට
එතැන ඩෙඟා නටන්නට නොදුන්නේ... |
“පොඩ්ඩක්
ඉවසමු ගුණපාලයියේ.... මං ඌව දැන්මම ගෙදර යවනවා... ඕනි නම් පස්සේ ගෙදරටම හරි ගිහින්
දෙකක් ඇනලා එමු!” සිරී අයියා තාත්තාව අල්ලාගෙන ඉඳිද්දී, රංජිත් ගුණසේකර අයියා
කිව්වේය. ඒ කීම අහලා ටිකාක් මෝදු වුණත් අපේ තාත්තගේ කේන්තියට පඤ්ඤං වුණේ අම්මාය. “මේ
ලීලා, මාව මිනීමරුවෙක් නොකර හොඳ හිතින් ගෙදර පලයන්... මේ දැන්ම! කිව්වම අහලා පලයං
ඉතින්.”
වැරැද්ද කළේ කවුරුන්වත්ය. දඬුවම් වින්දේ අම්මාය. (ඊට පස්සේ කෙරුණු කිසිම නාට්‍යයකදී අපේ අම්මා වේදිකාවක පැත්ත-පළාතේ ආවේ නැත! උපාලිත් එහෙමය.... එදායින් පස්සේ අපෙන් කිසිවෙකු හෝ එනවා දැක්කත් පාරෙන් එහා පැත්තට පැනලා නොදැක්ක ගණනට ගියේය.)
ජාතක කතාවේ විදිහට නම්, අඳ මව්පියන් පෝෂණය කරන්නට පලවැල සොයා වන වදින සාම කුමාරයාගේ පිරිවර වෙන්නේ මුව රංචුවකි. දඩ කෙළියේ යන පිළියක් රජතුමා ඊතලය විදින්නේ මුව රංචුව මැදින් යන දරුවා කවුදැයි බලා ගන්නටය; කරුමෙට වගේ ඊතලය වදින්නේ සාම කුමාරයාගෙ මරු නිලයකටය. එතකොටය, බහුසෝදරී දෙව්දුව පෙනී හිටින්නේ. ජාතක පොතේ විදිහට නම්, ඊට ජාති හතකට පෙර බෝසතුන්ගේ මව ලෙස උපත ලබා සිටි එකියකි; මේ බහුසෝදරී දෙවඟන.
![]() |
සාම
ජාතකේ විදිහට නම් බහුසෝදරී දේවතා දූ........... |
ඔය
විස්තර ඔහොම උලුප්පලා කිව්වේ නිකම්ම නොවේ.
මේ
පෝස්ටු කිහිපය ලියන්නට කලින් සාම ජාතකය ආපහු සැරයක් කියවා බැලූ හින්දාය. හුඟාක් ජාතක
ගැන හරියටම නොදන්නා නිසා අපට; ශ්‍රී ලාංකික අපට කොච්චර කෙළවෙනවාද? කොච්චර වරද්දා
ගන්නවාද? අප සුජාත පුතුන්ය කියලා හිතාගෙන පජාත පුතුන් කොච්චරක් නම් උඩටම යවලා
තියෙනවාද?
ඉතින්
‘මාරක හී පහර’ නාට්ටියෙදී රජ්ජුරුවන්ට, අන්ධ දෙමව්පියන්ගේ වගතුග කියන්නේ සාම
කුමාරයාමය. ඒ දෙමවුපියෝ එතැනට විත් අඬා-දොඩා සත්‍යක්‍රියාවක් කරති. ඒ
සත්තක්කිරියාවේ ආනුභාවයෙන් සාම කුමාරයාට ජීවයත්, දෙමවුපියන්ට පෙනීමත් යළි ලැබෙයි!
ඒ
සීන් එකේදී නම් හුඟාක් කාන්තාවන් අඬවන්නට රමණී නංගි සමර්ථ වෙලා තිබිණි.
“අර දැරිවි සාම කුමාරයාමයි..... පිට්ටනියේ හිටපු ගොඩක් ගෑනු ඇඬුවා ගුණපාලයියේ!” විස්තර ඇතිවම රමණී නංගිගේ රඟපෑම ගැන අපට වාර්තා කළේ ‘ටැයියා’ගෙ අම්මා නුගේගොඩ ඇන්ටිය.
![]() |
සතුන්
මැරීමේ ආදීනව ගැන කෙටි දහම් දෙසුමක්......... |
සිරි
අයියා අර පිස්සුව කෙළියේ නාට්‍යයේ ඒ කෑල්ල; සාම කුමරුගේ යළි ඉපදීම තිබෙන තැනදීය. තුන්වෙනි
වතාවට නාට්‍යය පෙන්වන වෙලාවේදීය.
සාම
කුමාරයා යළි පණ ලබා නැඟිටියි. දූකුල-පාරිකා දෙන්නාට පෙනීම ලැබෙයි. කාටත් පුදුමය;
සතුටුය. ඒ වෙලාවේ දූකුල තාපසයා පිළියක් රජතුමාට සතුන් මැරීමේ ආදීනව ගැන කෙටි දහම්
දෙසීමක් කරයි!
හරියටම,
මරණ දණ්ඩනයට නියමවී හිටින කෙනෙකු උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙකු ලෙස
දිවුරුම් දෙන කලබගෑනියෙ ප්‍රවෘත්තිය යට ගහන්නට, හරක් මැරීම තහනම් කළා කිව්වා වගෙය!
එදා කෙරුණු තහනමක් විණිද? එහෙම නීතියක් සම්මත වෙන්නටත් ඕනෑ නේද?
ඒ
විත්තිය ඇහුණු ගමන් ශ්‍රී ලංකාවාසී සමහරක් ප්‍රීතියෙන් පිනා ගියා වගේ, සිරි
අයියාත් යළි පණ ලැබූ සාම කුමාරයා වටේ නැටුවේය. එහෙම කරන්නැයි කියලා කවුරුන්වත් ඒ
හාදයාට කියාදී තිබුණේ නැත. ඒ නළුවෙකුගේ රංග කුසලතාවයයි. ඒ නැටිල්ල දැක්ක ගමන්ම, ජාලරයක්
අයිනේ මුවාවී හිටි අපේ තාත්තාටත් චූන් වුණේය! පොඩ්ඩක් හෙම නොවේ. මාරෙටම!!
![]() |
මේ
දවස්වල ‘සත්‍යා’ ටෙලිය බලද්දීත් ප්‍රදීප්, අකලංක වැනියන්ගේ රැඟුම් දකිද්දී අර චූන්
එක.... |
නාමල්
ජයසිංහ පිටපතේදී ලියලා තිබෙනවාට වැඩි දෙයක්; අධ්‍යක්ෂ චරිත් අබේසිංහ ඉල්ලා
තිබෙනවාට වැඩි දෙයක් ප්‍රවීනයන්ගෙන් ‘සත්‍යා’ට එකතු වෙන බව මට විශ්වාසය. එතනදී ප්‍රදීප්,
අකලංක දෙන්නාත් පුරුදු අය හා කරට-කර හිටිමින් ප්‍රේක්ෂක අපව ‘චූන්’ කරති. එහෙම
කොතරම් ඔකඳ වුණත් අප වැඩි දෙනෙකු රූපවාහිනිය ඉදිරිපිට හිඳගෙන ඉන්නවා විතරය. පසුව අපේ ප්‍රතිචාර ඔවුනට යොමු කරනවා වුණත් ඒවා
ඔවුනට දැන ගැනීමට ලැබෙන්නෙත් ටිකක් පමා වෙලාය.
එදා
නවක නළු සිරි අයියාගේ රැඟුමෙන් අපේ තාත්තා චූන් වෙන්නට ඇත්තෙත්, මෙදා අප වගේමය.
ඒත් තාත්තා ප්‍රතිචාර දැක්වුවේ අපට වඩා ඉක්මනින්මය; වේදිකාවේ ජාලරයක මුවාවේ හිටගෙන
ඉන්නා ගමන් අලුත්ම විධානයක් දෙමිනි.
“වඳිනව...
වඳිනවා... කතරගම.... කතරගම...වගේ.”
![]() |
ඉස්තරම්
කතරගම බැතිමතෙකු වුණු සිරී අයියා බිම පෙරළී.... |
තැන-නොතැන
නොබලා, නිසි-නොනිසිකම් නොබලා වඳින්නං වාලේ වඳින උදවියට වඳින මිනිසුන්ය එදත්-අදත්
මේ කොදෙව්වේ ඉන්නේ. ඉතින්, සිරී අයියාගේ කතරගම වැඳිල්ල කෙරුණාම පිට්ටනියෙන්
අත්පුඩියකුත් නැඟුණේය- ඒ මදිවාට විසිල් පාරවල් කිහිපයකුත් ඇහුණේය.
දැන්
සිරී අයියාත් තව චූන් වෙලාය.
මිනිහා
ඉද්ද ගැහුවා වගේ කෙලින් වුණේය! ඊතල දෙක තුනක් අතට ගත්තේය; ඒවා දණහිසට තියලා
කැඩුවේය; කඩලා ඊතල කෑලි නරඹන්නන් දිහාවට විසි කළේය! ‘ආයේ දඩයම් එපා!!’ කියලාත්
කීවේය.
“මොකක්ද ඕයි, අර කරපු අමන වැඩේ? මිනිස්සුන්වත් හිනස්සලා..... තමුසෙ දසමහ යෝධයන්ගෙන් එකෙක්ද ඕයි යකඩ ඊතල දෙකට කඩන්න?”
මිනිසුන් හිනාවීම හින්දා උද්දාමයෙන් හිටි සිරි අයියාගේ හුළං බැස්සේ තාත්තා එහෙම ඇහුවාමය. මාරක හී පහරෙදී සිදු වුණු අලකලංචිවලින් මගේ මතකයේ තියෙන ටිකය, ඔය කිව්වේ! ආාාාාාාා!! කියන්නට තව එකම-එකක් ඉතිරිය!!!
මරු
සිරාගේ මාරක කැති පහරය ඒ!
නාට්‍යය
ඉවර වුණත් අර නාඳුනන මනුස්සයා වඳුරාව ගෙනියන්නට ආපහු ආවේ නැත. “ඒ මිනිහට ඕනි වෙන්න
ඇත්තේ වඳුරව අපේ ඇඟේ ගහලා නිදහස් වෙන්න!” තාත්තා නිගමනය කළේය. “... ඒකා ආයෙ මේ
පැත්ත බලන එකක් නෑ.”
![]() |
| මිනිස්සු හිනාවීම නිසා උද්දාමයෙන් හිටි එයාගේ හුළං බැස්සේ... |
“මේ ගුණේ. හොඳ හිතින් ඔය පාඩාවි වඳුරව කාට හරි දීලා දාපං. ඔන්න අද මං කියනවා තාත්තටයි, පුතාටයි දෙන්නටම.... තමුසෙත් මින් මනත උගේ ළඟට ගිහින් අහු වෙනවකො මට.....” අපේ ආච්චී; දසනායක රත්නවතී උපාසිකාව ඩී.එච්. චාර්ල්ස්ටත්, ඩී.එච්. ගුණපාලටත් කිව්වේ දත්මිටි කමිනි.
නිසි
බලධරයාගේ ඒ තර්ජනය තිතටම වැඩ කළේය. වඳුරා ඇඟේ ගහන්නට කෙනෙකු හොයද්දී මරු සිරා
ආවේය; හරිම සන්තෝසයෙන් හා උජාරුවෙන් ඒ පරිත්‍යාගය බාරගෙන, වඳුරාව ගෙදර කැන්දන්
ගියේය.
“ගුණපාල
මාමේ, හරි වැඩේනෙ වුණේ. ගෙනිච්චට පහුවදාම වඳුරා අපේ තාත්තවත් හැපුවනේ. ඉත්..තින්..
තාත්තා ඌට කැත්තෙන් ග...හ...ලා මරලා, මසුත් උයාගෙන කෑවා!” ඒ සත්‍ය වාර්තාව අපට
ගෙනාවේ මරු සිරාගේ දියණියමය෴























