... ඇත්තම කියතොත් මං පසුබැස්සේ තරමක ලජ්ජාවෙන්. ඒ ලජ්ජාව තවත් වැඩි වුණේ ‘මඩකලපු අයියයි මල්ලියි’ දෙන්නා ඊට පස්සේ හොරෙන් හොරෙන් මං ඉන්න පැත්තට බැලුම් හෙළනකොටයි!
ආයේ හංගන්න ඕනි නැහැනෙ. මමත් ඊට
හපන් නෙව!!
මට ගොඩක්ම තිබ්බේ කුතුහලේ... ඒ නිසාමයි - මගේ ඔත්තුකාර ඇසුත් සැරෙන්-සැරේ ඒ ඉසව්වට
රිංගෙව්වේ.
ඔන්න- ඉස්සෙල්ලම ඒ දෙන්නා පොඩි ළිපක් පත්තු කර
ගත්තා. වතුර උණු කෙරුවා... හීන් සීරුවේ තේ හදා ගත්තා...
බිව්වා.
![]() |
පිටස්තර
අය දෙන දේවල් කන්න ඒ ගොල්ලෝ කැමති නෑ... දෙමළ අයම දෙන දන්සලකින් වුණත්... හොඳටම පේ
වෙලා යන කට්ටියගේ හැටි එහෙමයි. |
අනේ දෙයියනේ... දන්නෙම
නැතිව මට එහෙමම නින්ද ගිහිං. කොච්චර වෙලා මං නිඳා ගත්තද කියල මමවත් දන්නෑ. ඒත්
වැඩි වෙලාවක් මට නින්ද ගියා වෙන්න නං බෑ... මොකද, කුකුළු නින්දක් ගිහිං මට
ඇහැරෙද්දී මඩකලපුවේ අයියයි මල්ලයි දෙන්නා කෑම කනවා. ‘අනේ මෝඩ හරක් දෙන්නා. දැන්ද
තමුසෙලා දෙන්නා උයාගෙන කන්නේ? මහන්තත්තකම පැත්තකට දාලා අර ඉන්දිකලගෙන් බත් ටිකක්
ගත්ත නං මොකද වෙන්නේ?’ අර දෙන්නා උන්නු පැත්තට හමාගෙන ගිය හීනි සුළං රැල්ලකට මං
කෙඳිරුවා.
ඒ ගැන හිතන්නවත් ඉඩක් හම්බ වුණේ නෑ- ඇටිකිත්තෙක් මගේ මූණටම පැන්න නිසා. ඊයා!
හිරිකිතේ බෑ.
කලින් සැරවල්වල නං කුඩා
කැබිලිත්තේදි මේ ඇටිකිති කරදරේ තිබ්බේ නෑ. ඒ හිලව්වටත් එක්කම මෙදා සැරේ...
ඒ මදිවට කළු කොඩයිත් එහෙන් මෙහෙන් රෙද්ද අස්සට රිංගන්න අරං!
ඇටිකිති වදෙන් බේරෙන්න හිතලා පොරවන රෙද්දෙන් සරුවාංගෙම වහගත්තම නොසෑහෙන්න දාඩිය පෙරෙන්න
ගත්තයි කියමුකො...
ඉතිං හරි හමං නින්දක්
නැතිව ඉන්න අස්සෙත් මට කල්පනා වුණේ ‘අර අයිය මලෝ දෙන්න’ගේ අමුතු උද්දච්චකම.
‘උද්ධච්චකම වගේම තමයි ඒ දෙන්නගේ පුරුදුත්...’ මං නින්දට වැටෙන්න කලින් දැක්ක දේවල්
ඔළුවට ආවා. ‘තේ බීලා ඇලුමිනියම් කෝප්ප දෙක හෝදපු හේදිල්ල... ඒවා ආයෙම ඔලොගුවට
දැම්මෙත් පිහදලා කාරිය ඉවර වෙලා... හාල් ටික මුට්ටියට දාලා ඒකටත් වැන්දා... (අපේ මහරගම ආච්චී
දසනායක රත්නවතී උන්දැත් එහෙම කරපු කෙනෙක්. මෑත කාලීනව නං
මට එහෙම කරන කෙනෙකුව හම්බ වෙලා නෑ කියලයි මතකය කියන්නේ...) තරුණ පහේ පිරිමිත් වෙලා
මෙයාලට කොහෙන්ද ඔහොම පුරුදු?’
ඒකට උත්තරේ මට හම්බ
වුණේ දවසකට පස්සේ, ශ්‍රියාගෙන්.
ශ්‍රියා පාද යාත්‍රාවේ ඇවිත් තිබ්බේ තනියමයි. එතකොට හිතා ගත්තැකිනෙ ශ්‍රියාගේ තරම.
එයා ගැන පස්සෙම කියන්නං- දැනට කියලා ඉන්නංකො ‘අර දෙන්නා ගැන’ ශ්‍රියාගේ අර්ථ කථනේ.
“නෑ නෑ සාමී. ඒ
දෙන්නගේ මහන්තත්තකමක් නෙවෙයි. ඒ සාමිලා දෙන්නා අකුරටම වතාවත් කරගෙන යන අය
වෙන්නැති. අනික සාමී, හැම දෙමළ මනුස්සයම එක වගේ නෙවෙයි. සමහරු බොහොම පිරිසිදුයි-
සුද්දයි. ගොඩක්ම කුලෙන් ඉහළ අය. එහෙම නැතත් සමහර අය මේ ගමනෙදී තමන්ම කෑම උයා පිහා
ගන්න බොහොම කැමැතියි... පිටස්තර අය දෙන දේවල් කන්න ඒ ගොල්ලෝ කැමති නෑ... දෙමළ අයම
දෙන දන්සලකින් වුණත්... හොඳටම පේ වෙලා යන කට්ටියගේ හැටි එහෙමයි.”
![]() |
මම ඔබේ
නම- ගම- තනතුරු නොදනිමි; එහෙත් ඔබේ ඒ කාරුණිකභාවය; මනුස්සකම වෙනුවෙන්...(පාද යාත්‍රිකයන් වෙනුවෙන් ජලය සැපයීමේදී....) |
... හරි හමං නින්දක්
නැති තැනට ආයෙම යනවා... හොඳේ.
නිඳි වර්ජිතව පැය දෙක-තුනක් ඉන්න අස්සේ මගේ මූණට ටෝච් එළිය පාරක් එල්ල වුණා... “මාමේ!
වතුර ළිපේ... මාමා තේ හදනව නේද? හදල ඉවර වෙලාම අනිත් කට්ටිය කූද්දමු.” ඉන්දික
පුළුවන් තරං හෙමින් කියපි.
“අපේ xxxx නේවි එකේ යාළුවෙක්ට මාමයි- අපේ නිස්සංකයි ගැන කියල තියෙන්නෙ. ඒ යාළුවා
පහට බෝට්ටුවක් අර එන්නං කිව්වා, ඔයාල දෙන්නව මෙතැනින්ම එගොඩට දාන්න... එහෙම ආවොත්
මරේ මරු! ඔයාල දෙන්නා අපේ බෑගුත් අරගෙන එගොඩට ගිහිං ඉන්න.
මේ සැරේ කීයටවත් වෙන අයට නං මෙතැනින් එගොඩ වෙන්න දෙන්නේ නැහැල්ලු. අපිට කිලෝ මීටර්
තුනක් විතර මේ ඉවුර දිගේ උඩහට ගිහිං- අනිත් ඉවුර දිගේ පහළට එන පරිප්පුව කන්නම
වෙනවා...”
ඇතා කියන සතා කොච්චර
වැහැරුණා වුණත් කොරහේ නාවන්න පුළුවනැයි? ඉන්දිකත් කතාව පටන් ගත්තේ නං හෙමින්. ඒත්
අන්තිම ටිකට එනකොට දන්නෙම නැතිව volume එක වැඩි වෙලා නිසා- කට්ටියටම බෝට්ටුවේ කතාව
ඇහිලා.
“අපේ බෑග්ස් ටිකත් බෝට්ටුවෙන්ම...”
“XXXXයත් කිව්වේ ඒකම තමයි. කොයිකටත් ටක් ගාලා bags ටිකත් අහුරලා තියා ගනිමුකෝ.”
ඒ ‘මෙහෙයුම’ plan කළ විදිහටම
සිද්ද වුණේය.
අහසේ අළු පාට දියාරු වේගෙන ගිහිං නිල් පාටට හැරෙන්නටත් කලින් බෝට්ටුව ඉවුර ළඟටà එතකොටම අපේ නඩ දෙකේ බඩු
මලු පුදුමාකාර වේගයකින් බෝට්ටුවටà නිස්සංකවයි නිදිවයි දෙන්නවත් ඒකටමà XXXXගෙන් ඉල්ලීමක් ‘මේ දෙන්නම ලෙඩ්ඩු නිසා අපෙන් තව එක්කෙනෙක් විතරක්
එන්නං- බෑග් ටික බාගන්න.’ මනාපයක් ලැබිණි.à බෝට්ටුව එහා ඉවුරට...
එහා ඉවුරෙදී නං අපට
ලැබුණේ මනාපයක් නොව අමනාපයකි!
“අපට strict orders දීලා තියෙන්නේ කිසිම කෙනෙකුට මෙතැනින් ගොඩවෙන්න ඉඩ දෙන්න එපැයි
කියලා.”
‘මේ දෙන්නම ලෙඩ්ඩු!’
අප වෙනුවෙන් නාවුක හමුදා භටයන් කරුණු කිව්වත් පලක් නොවිණි. “පේනවනේ... ඔයාලව ආපහු
එක්ක යන්නයි වෙන්නෙ.” / “එහෙම නෙවෙයි මචං. අපි මේ තාත්තලා දෙන්නව උඩහට එක්කගෙන
යමු. උඩහින් එගොඩ වෙන්න තියෙන තැනින් මෙයාලව බස්සමු. ඒක ටිකක් හරි ලේසියක් නේද
තාත්තේ?”
කෙරුණේ එහෙමය. මෙයත් විශේෂයෙන් කිව යුතුය. එතැනදී ඒ නාවික හමුදා භටයෝ අපේ බෑග
සියල්ලම ඉවුරට බාලා දෙන්නටත් කාරුණික වූහ. (සහෘදයිනි, මම ඔබේ නම- ගම- තනතුරු
නොදනිමි; එහෙත් ඔබේ ඒ කාරුණිකභාවය; මනුස්සකම හා ළතෙත් බව වෙනුවෙන් ඔබ සැමට තුති
පුදමි.)
![]() |
එහෙම
තැන්වලදී ඔවුනගේ පරම්පරා කුට්ටම් ඒ වතුරෙන් තෙමා ගැන්මට... |
මඩමේතොටදී කුඹුක්කන්
ඔයෙන් එතෙර වෙන හැම දෙනාම ලහි-ලහියේ දුවති; උපරිම වේගයෙන් යති. එහෙම කරන්නේ හවස්
වෙන්නට කලින් නාවලඩි හෙවත් ළිං තුනට යාගත යුතු බැවිනි. කාට-කාටත් එදා රාත්‍රිය
පහන් කරන්නට වෙන්නේ එහිය.
ඒ සඳහා කිලෝ මීටර් 16ක් විතර යන්නට වෙයි.
ගිනි අව්වෙන් කැකෑරෙන රත් වුණු වැල්ළේ එරී-එරී යන්නට වෙයි. වතුර පොදක්වත් ඉතිරි
නොවී හිඳී ගිහිං පැලිවළන් පැලී තිබෙන කලපු
හරහා යන්නට වෙයි. ඒ අතරවාරයේම තැනින් තැන නොසිඳී- නොවියැළී; පල්වතුර ඉතිරි කරගෙන
පාද යාත්‍රික අපට චණ්ඩිකම් පෙන්වන ‘අභිමානවත් ආරවල් ගණනාවක්’ම තරණය කරන්නටත් සිද්ද
වෙයි.
එහෙම ආරවල්වල තියෙන්නේ ගඳ ගහන වතුරකි. ඒ වතුරට යටින් තියෙන්නේ මිනිරන් පාට; කළුම
කළු එරෙන මඩකි. ඒ මඩ තට්ටුවත් සමහර තැනෙකදී අඩි දෙකක් විතර ගණකම්ය!
එහෙම සමහර ආරකින් එගොඩ
වෙන්නට යද්දී ඉඟටිය දක්වාම අර වතුරෙන් තෙමා ගන්නටත් සිද්ද වෙයි. අපේ නඩ දෙකේම අයට එහෙම
තැන්වලදී ඔවුනගේ පරම්පරා කුට්ටම් ඒ වතුරෙන් තෙමා ගැන්මට සිදු විණි.
ඒ අබග්ගයෙන් ‘මම නං බේරුණා’ යැයි මා වාගාඩම්බර දොඩන්නේ දැන්ය!
මං බේරුණේ අපේ ප්‍රියන්තටත්, ඉන්දිකටත්, සුජීටත් පිං සිදු වෙන්නටය. ඒ තිදෙනාම හොඳ ‘උප්පු
ගෙනියන්නෝ’ වෙති!!
ළිං තුන කඳවුරු බිමේ
කෙළවරක මෙවරත් ඔසු පැන් හා හුළං විස්කෝතු දන්සල තිබ්බේය. සරුවත් දන්සලත් තිබ්බේය.
බත් දන්සලත් තිබ්බේය. හමුදාවෙන් පවත්වාගෙන ගිය ‘වතුර බෝතල් අලෙවි කරන කුටිය’
නොතිබ්බේය. ඒ වෙනුවට ක්ෂණිකවම වතුර පිරිසුදු කර දෙන ස්ථානයක් තිබ්බේය. ඒ සේරමටත්
වඩා වටින්නේ එතැන තිබෙන වතුර විලේ නාගන්නට තරම් වතුර තිබීමයි!
කුඩා කැබිලිත්ත දේවාලය ළඟ සිට දුහුවිලි නාගෙන එන කාටත් පිහිට වෙන්නට ඒ ‘විල’ සැදී-
පැහැදී- පේ වීගෙන උන්නේය!
කිලිටි ඇඳුම් සෝදා
ගනිමින්, වියැළී තිබුණු සිරුරට සිත්සේ දිය උරා ගන්නට ඉඩ දෙමිනි- මගේ පැයක් විතර
ගෙවී ගියේ.
“ඒ නිමල් අයියේ, මම
දන්සලෙන් ඔහෙට ඉල්ලගෙන ආව කෑම එක නරක් වෙනකල්ම නාන්නෙයි කල්පනාව...” විලට ආව ප්‍රියන්ත
ඇහුවෙ මගේ ජල සමාධියට බාධා කරමින්. “මමයි මර්වින්
අයියයි කාලා ආවේ. අපිත් එක්ක එන්නැතුව නමියා පරක්කු වෙලා දන්සලට ආවේ... මිනිහට මරු
වැඩේ වුණේ... නමියා පෝලිමේ ඉඳිද්දී බත් ඉවරයි. බතක් ළිපේ කියල දන්සලේ කට්ටිය පෝලිමේ
හිටි අයට ටිකක් ඉන්න කිව්වා. නමීත් එතැනම ඉඳගෙන දෙමළ කෑලිවලට talk කරනවද කොහේද! හඃ හඃ හඃ...”
![]() |
ළිං
තුන පෙදෙසේදී අපේ සිතුවිලි යම්කිසි වෙනසකට බඳුන් වෙනවාවත්ද? |
1. වැඩි කතාබතා නැති නමීටත් දොඩමළු වෙන්නට හිතුණේ ‘ළිං තුන ඉසව්වේ තිබෙන විශේෂ
බලපෑම’ක් නිසාවත්ද?
එකම මිහිතලයේ වෙනස් තැන්වලට
තිබෙන ගුරුත්වාකර්ෂණ බලය වෙනස් වෙනවා සේ...
සමහර ස්ථාන ජයබිම් ලෙස හැසිරෙනවා සේ...
ළිං තුන පෙදෙසේදී අපේ සිතුවිලි යම්කිසි වෙනසකට බඳුන් වෙනවාවත්ද?
අපේ නඩය එතැන නැවතුණු පස්
වතාවෙන්- හතර වාරයකදීම සිදු වුණු දෙයක් මට එලෙස සිතන්නට සලස්වයි. ඒ හැම වාරයකදීම, අපි
ඉතා පුළුල්- හරබර සාකච්ඡාවල යෙදුණෙමු. පැයක්- දෙකක් විතර දිගු... එහෙම වුණේ
සැලසුමක් ඇතිව නොවේ, සම්පූර්ණයෙන්ම අහම්බෙනි.
2. පාද යාත්‍රාවේ යන
සියලුම දෙනා අතර ආත්මීය බැඳීමක් වැනි දෙයක්; සාමූහික චින්තනයක් වැනි දෙයක් ඇති
වෙනවාද? (මේ හැඟීම ‘කණ්ඩායම්- කල්ලි මානසිකත්වය’ට, Mob මානසිකත්වය’ට කිට්ටුය.
පරමාත්මය පිළිබඳව විශ්වාසයක් හා අවබෝධයක් ඇත්තෙකු ‘පරමාත්මය අවදි වීමක්’ ලෙසින් එය
හඳුන්වා දෙනු ඇතැයි මට සිතේ.)
මට එහෙම හිතුණේ ‘රත්නායක ශ්‍රියාකාන්ති’ගේ කතාවල් ගොඩක් නිසාය!
ඇයව මට හඳුන්වා දුන්නේ
අපේ නමිනං උන්නැහේය.
එතකොට අපේ හත්දෙනා කුඩා නඩ තුනකට විතර කැඩිලාය. රත් වී කැකෑරෙන වැල්ලේ එරි-එරී
හෙවණක් නැති ඉසව්වක යද්දී... නැවතෙමින් අනිත් අය ගැන බැලිල්ල ලේසි නැත. එකම
වේගයකින් යන කිහිප දෙනා කරන්නේ පෙනෙන තෙක් මානයට ගිහිං, කටු පඳුරක හරි හෙවණ යටට
වැදී හිතවතුන් එනතුරු බලා ඉඳිල්ලය.
“නමී, මට තේරෙනවා- මේ
හරියේ ගාටන්න අමාරුයි. Bags ගොඩකුත් උස්සගෙන යන එකේ ඔයා ඉස්සර වෙලා යන්න. හෙවණක් තිබ්බොත්
විනාඩියක් නැවතිලා යං...”
“මම වැඩි දුරක් යන්නෑ එහෙනං.” නමී ඉස්සර වුණේ නොකර බැරිකමටය. ඒ යක්ෂයාට ‘හැම
වතාවෙම සිද්ද වෙන ඇබැද්දිය’ මේ සැරෙත් සිද්ද වෙලාය.
දිය පට්ට! විශේෂයෙන්ම සෙරෙප්පු
පටිවලට තදවෙන කකුලේ පිටි පතුල්වල...
‘ගමනට දාන්න හිතන
සෙරෙප්පු දෙක දාගෙන ටික දවසක් ඇවිදිනවලා!’ කොච්චර බණ දෙසුවත් තමිර- නමී දෙන්නා
අහන්නේ නැත. ඒ අකීකරුකමට මුන් දෙන්නාටම දඬුවමුත් ලැබෙයි. වැඩේ කියන්නේ, අවුරුද්දක්
යද්දී- ඒ යස්ස පැටවුන්ට ‘ඒ දඬුවම් ලැබුණු වග’ අමතක වීමයි.
![]() |
ගෑනියෙක්
වුණාම වැඩියෙන් සුකුමාරකමක් තියෙන්න එපැයි! |
“හරෝහරා, සාමී හරෝහරා!” ශ්‍රියා මට කිව්වාය.
‘හරෝහරා!’ එයාගේ හරෝහරාව හතර වටේටම ඇහෙන එකකි. ‘ඩෙසිබල්’ ගණන වැඩි එකකි. මගේ
හරෝහරාව කෙඳිරිල්ලකි.
“ඉඳගන්න උදව්වක් ඕනිද නිදි?
අපි එකට ආවේ අක්කේ.” නමී මාව පෙන්නමින් ශ්‍රියාට කිව්වේය. “ආ යාළුවො! උක්කාරුංග
සාමී... වාඩි වෙන්න... වාඩි වෙන්න...” මගේ පැත්තට හැරී කියූ ශ්‍රියා ඒ ගමන්ම නමීගේ පැත්තට හැරුණාය. “අක්කා නෙවෙයි සාමී... මට අම්මා කියන්න. අම්මා... අම්මා! පාද
යාත්තරාවේ යන ගෑනු අපි ඔක්කොම අම්මලා... පිරිමි ඔක්කොම සාමිලා... මීට පස්සේ දිගටම
එහෙම කියන්න. මොකද අපි ඔක්කොම එකයි- කිසිම වෙනසක් නෑ... අපි සේරමලා එකම ගමනක්
යන්නේ... ලොකු අය නෑ- පොඩි අය නෑ. දුප්පත් පොහොසත්කං නෑ...”
කියන්නටත් ලජ්ජා හිතෙයි!
ඉස්සෙල්ලාම ශ්‍රියාව දකිද්දී නං මට ඇති වුණේ එතරම් පහන් හැඟීමක් නොවේ. එයා වාඩිවී
උන්නේ ‘බූරු ඇඳ’ දිගෑරගෙනය. 'ගෑනියෙක් වුණාම වැඩියෙන් සුකුමාරකමක් තියෙන්න එපැයි' කියල නේද කතාවටත් කියන්නේ. මේ
ඇත්තිට ලජ්ජ නැද්ද මංදා කැලෑ පාරක් අද්දරක වුණත් ඔහොම වාඩි වෙලා ඉන්න.
“කන්න සාමී... ඔයාගෙ
යාළු සාමි තමයි අපිට දුන්නේ. මම බාගයක්ම කෑවා, බඩගින්නේ හිටිය හිංදා...” ආයෙමත්
මගේ පැත්තට- ඊළඟට නමීගේ පැත්තට. “අනේ සාමි... මට නැඟිට ගන්න අමාරුවෙන්නෙ ඉන්නේ.
ඔයාගේ යාළු සාමිටත් මේ බිස්කට් දෙන්නකො.” නමියා නැඟිටලා ඉඟුරු විස්කෝතු පැකැට්ටුව
ශ්‍රියාගෙන් අරං, මට දික් කළා.
“මේ අම්මා දැන් මාර කතන්දර ටිකක් කිව්වනෙ නිදි... මෙයාටත් කියන්නකො- අර වල්ලි
අම්මව නාවපු ළිඳේ කතන්දරේ... අපි එතෙන්ට ගිහිං නෑ නේද නිදි?”
“මම දන්න කතන්දර
බොහොමයි! මම එව්වා කියන්නංකො යන ගමන්... එතකොට මහන්සි දැනෙන්නෑනේ... අව්ව බොහොම
සැර වෙන්ඩ කලින් අපි පිටත් වෙමු, නේද සාමි.”
එච්චර වෙලාවක් නිස්සද්දව වාඩිවී හිටි වැඩිහිටි පිරිමියාට, ශ්‍රියා දමිළ භාෂාවෙන්ම කිව්වේ
‘යමු- නැඟිටින්න’ කියලාය.
“එයා ඉඳ ගත්තම එහෙමම
ඉන්න තමා බොහොම කැමති. වස කම්මැලියා... මිනිහගෙ හොඳ වෙලාවට මාත් එක්ක කතා කළේ. බලපුවම
මිනිහත් ඇවිත් තියෙන්නෙ තනියම. මමත් තනියම යන එකේ- මං එයාට කිව්වා අපි එකටම යමු
කියල...”
![]() |
හරි
හරී. තව ටිකක් ඉස්සරහට යමුකෝ. පේන විදිහට නං තව පැය දෙක තුනක්වත්... |
තනියම? ශ්‍රියා එච්චර වියපත් ගෑනියෙකුත් නොවේ. අපායේ ගහන කැලැන්ඩරේකට foto එක ගැළපෙන
තරමේ අපුල පෙනුමක් ඇති අංගනාවකත් නොවේ...
එච්චර උසකුත් නැති; මිටිත් නැති, කළුමත් නැති; කැරපොතු සුද වගේ සුදකුත් නැති;
තලෙළු පැහැති, මුඛරි කතා ඇති ප්‍රසන්න ඉස්තිරියාවකි. දමිළ, සිංහල දෙබසින්ම කථනය කරන්නට
සමතියකි.
‘... එකටම යමු කියල...’
වචන ටික කියනකොටත් ශ්‍රියා ආපහු මඟට බැහැලා ඉවරය. ‘මේ මනුස්සයා පෙනෙනවට වඩා කඩිසරයිනෙ
කඩිය වගේ!’
ඔයා ඇයි තනියෙන්ම මේ
ගමන ආවේ? / කොහෙ ඉඳලද එන්නේ? / ඔයා දෙමළද- සිංහලද? / මේ පිරිමි කෙනාත් ඔයාලගේ
පැත්තෙ කෙනෙක්ද? / කලිනුත් මේ ගමන ඇවිත් තියෙනවද? නිමලෝ, මේ වතාවේ පාද යාත්‍රා ගමන
ගැන ‘නිදිගෙ පංච තන්තරේ’ අඩවියට ලියනවා නං... ඔව්වට උත්තර අහගෙන පලයං මතක ඇතිව.
-අඳුනන කෙනෙකුගෙන් වුණත් එහෙම ප්‍රශ්න අහන එක මගේ පුරුද්දක් නෙවෙයිනෙ...
යකෝ, මතකයි නේද- ඉස්සෙල්ලම හම්බ වෙච්ච වෙලාවේ චානකගෙන් විස්තර
අහන්නේ නැතිව හිටියා... ඊළඟ වතාවේ; අවුරුද්දකට පස්සේ නේද
තමුසෙ චානකගේ විස්තර දැන ගත්තේ?
-හරි හරී. තව ටිකක් ඉස්සරහට යමුකෝ. පේන විදිහට නං තව පැය දෙක තුනක්වත් අපි එකටම
යැවෙයි! එයාටම ගැඹුර දීලා... වෙනින් කතාවක් ගැන මතු කරලා...
“මොකක්ද අර ඔයා
කියනවයි කිව්ව වල්ලි අම්මා නාවපු ළිඳේ කතාව?”
“ආ ඒකද... ඔය වල්ලි මාතාව වැදි රැහේ කිව්වට එහෙම නෙවෙයි...” ශ්‍රියා කියන්නේ ඒ
කාලයේ ඒවා සිද්ද වෙන සංදියේ එයාත් එතැන උන්නා වගෙය. “... දැන් ඔය ඔකඳ දේවාලේ ගාව
තියෙනවා නේද ළිඳක්... වටේට සිමෙන්ති බැම්මකින් වට කරලා. ඒක බොහොම පරණයි. ඒකට
කියන්නේ xxxxx* කියලා. ඒ කියන්නේ රෙදි හෝදන වත්තේ ළිඳ කියන එක. වල්ලි මාතාව
හිටියෙත් එහෙ... එතුමිය බොහොම ලස්සනයි- රෙදි හෝදන කුලේ වුණත්...”
*xxxxx- දන්නා තරං දත
කෑවත් ශ්‍රියා ‘ඔකඳ ළිඳ’ට කියූ දෙමළ වචනය තහවුරු කර ගැනීමට තවමත් බැරි විණි. පස්සේ
වෙලාවකත් අපේ නමී උන්නැහේ ඇය ලවා ඒ නම කියවාගෙන, ඒක රෙකෝර්ඩ් කරලාත් දුන්නේය. ස්තුතියි
නමී.
ඒත් ඒකෙනුත් වැඩක් ගන්නට බැරි තරමට වටපිටාවේ සද්ද-බද්දත් record වෙලාය!
ඊළඟ කොටස ලියන්නට කලින් එය සොයා ගන්නට තවත් try කරමි.
à අටවෙනි
කොටසට...












