Blog පෝස්ටුවක් ලියන්න යද්දී, ඒකට ඕනි කරන ලියැවිල්ලක් හොයන්න ගත්තා... මගේ පරණ පාමුල් පෙට්ටිය අවුස්සමින්. එතකොට මතු වුණා කියමුකෝ වෙනින් පැරණි ලියැවිල්ලක්.
![]() |
| හරි තේජාන්විත පෙනුමකින් මගේ දිහාවම බලාගෙන... (Foto- මහේෂ් ජයරත්න) |
ඒක1969
තරං ඈත අතීතයට අයිති කොළයක්... හරියටම කියනවා නං ‘1969 මාර්තු 15-31’ ගුවන් විදුලි
සඟරාවේ කොළයක්. (ඒ කාලේ ගුවන් විදුලිය මඟින් පළ කෙරුණ මේ (ඩිමයි ¼ ප්‍රමාණයේ)
සඟරාව දෙසතියකට වතාවක් පිට වුණා.) මගේ ළඟ තිබුණු ඒ සඟරා ගොන්නක් අයින් කරලා දාද්දී
මේ කොළය විතරක් ඉරාගෙන ඉතිරි කර ගන්න ඇත්තේ ‘තණ්හාව’ හින්දමයි.
කමක් නෑ. ඒ තන්නාසේ නිසා හරි නියමෙට සුරැකුණු ඒ
කොළයේ තියෙන දේ ඒ විදිහටම අකුරු කරන්නංකො එහෙනං.
එතකොට ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන
රසවතුන් හැමෝටමත් රහ බලන්න ඇහැකියිනෙ... නේද?
ඕන්න එහෙනං ඒ රාජකාරිය පටන් ගන්නවා.
(ඩිංගිත්තක්වත් ඔයාලගෙ රස වින්දනයට බාධා කරන්න හොඳ නැහැනේ. ඒ නිසා අතරමඟින් අටුවා-ටීකා-ටිප්පනි
මොකුත්ම නොලියා ඉන්නවා- කමක් නැහැ නේද?)
![]() |
ගුවන් විදුලි සඟරාවෙන් ‘පෙම් හසුන’ |
පෙම් හසුන
රචක - මුදලිනායක සෝමරත්න
රාළාමි- කරෝලිස්!
ක- (කලබල වී) අඃ රාළාමි, රාළාමි එන්ට වාඩිවෙන්ට.
රා- මොනවද උඹ ඔය ලියන්නේ?
ක- නෑ, මොකුත් නෑ රාළාමි.
රා- මොකුත් නෑ? පොඩ්ඩක් හිටහන් (හිනා) අප්පොච්චියේ ලියමනක්. කාටද බං?
ක- කාටවත් නෙමේ රාළාමි.
රා- කාටවත් නෙමේ?
ක- අනේ රාළාමි, ලියුම දෙන්ට මෙහාට.
රා- පොඩ්ඩක් හිටහන්- ටිකක් බලනකල්.
ක- අනේ රාළාමි, ඕක මෙහාට දෙන්ට.
රා- හිටහන්කො ටිකක් බලනකල්.
ක- රාළාමි, රාළාමි වෙලත් අනුන්ගෙ ලියුම්
කියවන්නේ?
රා- පිස්සුද කරෝලිස්, උඹයි මායි අතරෙ රහසක් තියෙනවායැ.
ක- රාළාමි, හොඳ හිතින් ලියුම දෙන්ට මෙහාට.
රා- කෑ නොගහ ඉඳපන්. මේ ලියුම කාටද කියලා කියපන් ඉස්සෙල්ලා.
ක- මං බඳින්න ඉන්න ළමයට.
රා- (හිනා) හෝ හෝ ලව් ලෙටස් එකක්.
![]() |
උඹ මේ ගමේ ගෑනු දරුවෙකුට ළිඳ ළඟට යන්ට දෙන්නෙ නෑ උසුළු විසුළු කරනවා.
මං දන්නවා උඹේ කැරැට්ටුව! |
රා- හිටහන්කො ටිකක් කියවලා බලනකල්. ඊට ඉස්සෙල්ලා කියාපන් කවුද බඳින්න යන මනමාලි කියලා.
ක- රාළාමි, මේක පුද්ගලික වැඩක්. ඒකට ඇඟිලි ගහන්ට රාළාමිට බලයක් නෑනේ- මේක ප්‍රයිවෙට්
එකක්.
රා- ඒ වුණාට කරෝලිස් උඹ මේ ලියුම් ලියන කෙල්ලගෙ
තාත්ත මට උඹ ගැන පැමිණිල්ලක් කොරල ගියා අද උදේ.
ක- ඒ කවුද?
රා- නොදන්නවා වගෙ අහන හැටි. උඹ සේතන්ගෙ දුවට
කොලොප්පම් කෙරුව නේද? ළිඳ ළඟදී... පෙරේදා හවස හයයි තිස් හතරට.
ක- මේක හරි හතර-බීරි කතාවක්නේ. මං මොකටද සේතන්ගෙ දුවට කොලොප්පම් කරන්නේ? මට වෙන
වැඩක් නෑනේ.
රා- නෑ කියන්ට එපා. සාක්කි තියෙනවා. උඹ ලිලී ළිඳ ළඟ ඉන්නකොට ජම්බු
ගෙඩියකින් ගැහැව්වෙ නැද්ද?
ක- හරි... ඉතිං ඒක කොලොප්පමක්යැ, විහිළුවක්නේ.
රා- විහිළුව දැන් දිගට හරහට ගිහින්. සේතන්කාරයා මට පැමිණිලි කෙරුවා උඹට
අවවාද කරන්ට කියලා. මං මේ උඹේ ගෙදරට ගොඩ වුණේ ඒකටයි.
ක- රාළාමි, ඔය ලියුම මෙහාට දෙන්ට. මං කාටවත්
කොලොප්පම් කෙරුවෙ නෑ.
රා- බොල නෑ කියන්නෙ කෝමද? දැන් මේ ලියුමකුත් ලියල තියෙන්නේ.
ක- රාළාමි, ඕක මෙහාට දීලා යන්ට යන දිහාක. උදුරලා හරි මං ඕක ගන්නවා.
රා- මෙ මේ මෙ මේ- අත තියන්ට එපා මගේ ඇඟට. පලයන් අන්න අරහට.
ක- අනේ රාළාමි...
රා- බොල ඇඟට අත ගහන්ට එපා කීවා නේද?
ක- එහෙනං මගෙ ලියුම මෙහාට දෙන්ට.
රා- හිටහන් කෑ නොගහ. උඹ මේ ගමේ ගෑනු දරුවෙකුට ළිඳ ළඟට යන්ට දෙන්නෙ නෑ උසුළු විසුළු
කරනවා. මං දන්නවා උඹේ කැරැට්ටුව කරෝලිස්.
ක- මං කාටවත් කරපු උසුළු විසුළුවක් නෑ.
![]() |
මං උඹට කීවා මුලාදෑනියගෙ ඇඟට අත ගහන්ට එපා කියල... |
ක- ඔය බලන්ටකො ඉතිං.
රා- නෑ කියන්ට එපා කරෝලිස්, සාක්කි තියෙනවා.
ක- (සැරෙන්) රාළාමි ඔය ලියුම මෙහාට දීලා යන්ට යන දේවාලෙක.
රා- මං උඹට කීවා මුලාදෑනියගෙ ඇඟට අත ගහන්ට එපා කියල.
ක- එහෙනං මගෙ ලියුම මෙහාට දෙන්ට.
රා- උඹ ලීලාවතීට ඇහැක් පුංචි කරලා ඉඟි කෙරුවෙ
නැද්ද කියාපන්... එතකොට ඊට මාසෙකට ඉස්සර වෙලා නැන්සි පාරෙ යනකොට විසිල් ගැහුවේ නැද්ද
කියාපන්.
එතකොට ඊට දෙමාසෙකට ඉස්සෙල්ලා
ඉරිදා දවසක ගබිරියෙල්ගෙ දුව අමරාවතීගේ කොණ්ඩෙ දාස්පෙතියා මලක් තියන්ට ගිහිං
අමරාවතී වතුර කලේ උඹේ ඔලුවේ ගැහුවෙ නැද්ද කියාපන්!
ක- අනේ අම්මප මේ රාළාමිට පිස්සුද මං දන්නෑ මේ අනං මනං කතා කියන්නේ.
රා- ඊට මාස හතරකට ඉස්සර දවසක කපුරුහාමිගෙ දූ යසවතීව කන්ට වගේ බලා හිටියේ නැද්ද
කියාපන්. යසවතී දිහා උඹ බලා හිටියේ නැද්ද?
ක- ඔය බලපල්ලකො ඉතිං. රාළාමි මට මිනිස්සු දිහා බලන්ට එපා කියලද කියන්නෙ.
රා- මිනිස්සු දිහා නෙවෙයි, යසවතී දිහා උඹ බලා හිටියලු
පැයක් දෙකක්.
ක- කාටද ඉතිං කියන්නෙ. රාළාමි, මට මේ ඇස්දෙක ලැබිල තියෙන්නේ වටපිට බලන්ට.
රා- මම මේ පැමිණිලි සේරම ලියාගෙන ඉන්න අතරෙ
තමයි සේතන් ඇවිත් පැමිණිලි කෙරුවේ. ඒ පැමිණිල්ල විභාග කරන්ට ආවාම තමයි හොරුත් එක්ක
බඩු අහු වුණේ.
ක- මොනවද හොරුත් එක්ක බඩු අහු වුණා කියන්නෙ?
රා- කියන්නෙ, උඹ සේතන්ගෙ දූ ලිලීට ජම්බු ගෙඩියකින් මූණට ගහලා ඇවිත් දැන් හොර
ලියුමක් ලීවනේ. මං මේ විභාගේ පවත්තලා ඊට සුදුසු දඬුවම් දීලයි පස්ස බලන්නේ කරෝලිස්!
![]() |
ඕනෑ දඬුවමක් කෙරුවට කමක් නෑ, මට මගේ ලියුම දීලා ගිහිං. |
රා- (හිනා) කොහෙ දෙනවද ලියුම. උඹ ටිකක් එහාට
වෙලා ඉඳ ගනිං, මං මේක කියවනකල්.
ක- අනේ අම්මප, මේ රාළාමිට මොනවා වෙලාද මං දන්නෑ.
රා- කිට්ටු වෙන්ට එපා. හැරමිටි පාර කන්ට වෙයි. පලයන් අන්න අරහෙට- ආන්න ඔහොම.
ක- (ඈතින්) රාළාමි, ඔය ලියුම මෙහාට දෙන්ට වද
නැතුව.
රා- මං මේක සේතන්ට භාර දීලා... උඹත් ඉන්න තැන කියවලා, ඊට පස්සෙයි සුදුසු දඬුවම්
පමුණුවන්නේ.
ක- රාළාමි මේ (ඈතින්) මේක පුද්ගලික වැඩක්. මං සේතන්ගෙ දුවට ලියුමක් ලීවා කියලා
රාළාමි මොකටද ඇඟිලි ගහන්නේ? ඒක රාළාමිට අයිති වැඩක් නොවේ... මං අහන්නෙ ඒකයි.
රා- කෑ නොගහ හිටපන්, කෑ නොගහ හිටපන් කීවා නේද?
ක- හොඳ හිතින් ඔය ලියුම මෙහාට දෙන්ට රාළාමි.
රා- හිටහන් මේක කියවලා බලනකල්.
ක- හනේ අම්මප මට එන කේන්ති. රාළාමි- රාළාමි... (හයියෙන්) රාළාමි...
රා- (ලියුම කියවයි) වරුස එක්වා දහස් නමසිය හැට
නමේ මාර්තු 10 වැනි දිනදීය. සුදෝ! සුන්දර සුකොමාල සුවිනීත සුප්‍රිය සුරභි ධේනුව
වෙතයැ (සුයන්නේ ගන්ට කාරියක් නෑ) ඔබ එවූ හැම ලිපියක්ම මම පන්සිය වරකටත් වඩා
කියෙව්වෙමි.
(ආ බොල, ලියුමක් එක සැරයක් කීවම මදිද?)
ක- (ඈතින් ළං වෙයි) රාළාමි, මං ඕනෑම වැඩක් කරලා
දෙන්නං. පිං සිද්ධ වෙයි, ඔය ලියුම දෙන්ට මෙහාට.
රා- කරෝලිස්, මා ළඟට කිට්ටු වෙනවා වැඩියි. පලයන් හැරමිටිය කරකවන්ට. කලින් අහකට.
පලයන් කීවා යන්ට.
ක- මොන හෙනහුරෙක්ද මං දන්නෑ මේ පාත් වුණේ.
රා- (කියවයි) මා ඔබේ අනංග රාජයා බව ඔබේ ලිපියේ සඳහන්
විය. (හිනා) මං අනංගයා නම් ඔබ කවරෙක්ද? (කියනුම කවරේද?)
ක- රාළාමි...
![]() |
මා පෙම්බර පැණි මදුල, ඔබේ මුව කමල දෙස බලා මට මාස
හයක් නිරාහාරව සිටිය හැකිය! |
ක- රාළාමි විහිළු නැතුව ඔය ලියුම මෙහාට දෙනවා. මගෙත් ඉවසීමේ කෙළවරක් තියෙනවා
රාළාමි.
රා- (කියවයි) රුචිරාණනිය, මිහිරාණනිය,
කොමලාංගනිය ඔබ එවූ තෑග්ග; කමිසය හරි අගෙයි.
එදා මට එවූ සපත්තු කුට්ටම අවුරුදු
දහයක් පාවිච්චි කරන්ට පුළුවනි. (කරෝලිස්... සේතන්ගෙ වස්තුව සේරම මෙහාට ඇදගන්ට
බලාපන්. මේක හරි පල්ලමක්නෙ.)
ක- රාළාමි, අනේ රාළාමි මම වඳින්නං ලියුම මෙහාට දෙන්න.
රා- (සැරෙන්) අණ්ඩක් කැඩෙන්න ගහනවා ලියුම උදුරා
ගන්ට ආවොත්. ඔන්න මං නොකිව්වයි කියන්ට එපා.
ක- එහෙනං මගෙ ලියුම දෙන්ට.
රා- බොල සේතන්ගෙ දුව උඹට සපත්තු කමිස අරං දෙනවා නම් ආයෙ මොකටද සේතන් ඇවිත් මට
පැමිණිලි කෙරුවෙ උඹ ජම්බු ගෙඩියකින් ගැහුවයි කියලා- ආ?
ක- මගෙ ලියුම මට දෙන්ට!
රා- මේ බලාපන් කරෝලිස්. මං උඹට එක අවවාදයක් දෙන්නං. ගෑනු ළමයෙක්. ප්‍රේමයෙන් වෙළී
ආලයෙන් කුල්මත්වී පෙම්වතාට පිරිනමන්නාවූ තෑගි බෝග විතරක් අරගන්ට එපා කවදාවත්.
ක- හරි හරි ඔය ලියුම මෙහාට දෙන්ට.
රා- හිටහන් කියවනකල්. සේතන්ගෙ දුව උඹ පිළිබඳ
සිතක් ඇතිවනේ මේ තෑගි දෙන්නෙ. (කියවයි) එදා මට පවුන්ටන් පෑනක් තෑගි දුන්නා. මං ඒකෙන් තමයි මේ ලියුම ලියන්නේ. (හිනා) ගන් ගන් පුළුවන් තරං ගනිං දෙන දෙයක්.
ක- රාළාමි, මට යකා නඟිනවා රාළාමි කරන වැඩේට.
රා- (කියවයි) මට අත් ඔරලෝසුවක් නං නෑ. ඒත් සුදාට කරදර කරන්ට මම කැමැති නෑ.
![]() |
එදා ගුවන් විදුලිය රසවත් කළ ධර්ම ශ්‍රී මුණසිංහ, බර්ටි ගුණතිලක,
සැමුවෙල් රොද්‍රිගු, ඇල්ෆ්‍රඩ් පෙරේරා හා ඇනස්ලි ඩයස් |
රා- බොල, සේතන්ගෙ දුවට මේ හැටිත් සල්ලි කොහෙන්ද- ආ?
ක- රාළාමි, ඔය ලියුම... දෙනවා මෙහාට.
රා- (කියවයි) කෙසේ වෙතත් මේ දුප්පත් මා ගැන ඔබේ
ඇති ප්‍රේමයට පිළිතුරු වශයෙන් මා ඔබව කසාද බැඳීමට තීරණය කළා.
හැබැයි ඒ කටයුත්තට ඔබේ පියා නං කැමැති වෙන එකක් නෑ. ඔබේ පියා ගමේ රාළාමි නිසා. (දෙවරක්) දෙයියෝ සාක්කි.
මේකා මේ මගේ දුවට නේද මේ ලියන්නේ- ආ?
රාළාමි- සැමුවෙල් රුද්‍රිගු
කරෝලිස්- ධර්ම ශ්‍රී මුණසිංහ
(මෙය වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය වූ
නාට්‍යයකි.)෴0෴







No comments:
Post a Comment