පල ඇති රුකට ගල් වැදී ඇත!!!
‘-විදර්ශන සාහිත්‍ය සම්මානයේ සියලු
කටයුතු වෙනුවෙන් කෙරෙන මුළු වියදම මිලියන හතරයි දශම පහයි; ලක්ෂ
හතලිස් පහයි. ඒ ලක්ෂ 45න් රුපියල් ලක්ෂ 35 ක්ම මේ වෙනකොට අනුග්‍රාහකයන් වෙතින් ලැබිල
ඉවරයි. ලක්ෂ දහයයි, මගේ අතින්
වියදම් කරන්න වෙන්නේ.
-හැබැයි, අවුරුදු
තුනක් යනකොට... තව අවුරුදු දෙකකින්- ලංකාවේ ප්‍රධාන සාහිත්‍ය සම්මාන උත්සවය බවට මේක
පත් කරන එක තමයි මගේ තියෙන අරමුණ!
-ඒකයි මගේ ඉලක්කය!!
![]() |
ඒක හරියට ඔයා ඔලිම්පික්වල දිනලා ඉන්න නිසා... |
තව අවුරුදු පහකින්, ලංකාවෙ
ප්‍රධාන පොත් ප්‍රකාශකයෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක් වෙන එකත් මගේ තව අධිෂ්ඨානයක්!’
ජනක ඉනිමංකඩ හිතවතාගේ අධිෂ්ඨානශීලී සාඩම්බර වදන්ය-
මා එලෙස සටහන්කොට තිබ්බේ. ඒ ‘විදර්ශනෙන්, තෑගි අරං, එනව බොලං - තෙවෙනි කොටසෙහි’ය. කොටස් හතරකින්
සමන්විත ඒ posts මාලාව මේ blog අඩවියේ පළ
වුණේ 2024 මැයි- ජුනි මාසවලදීය. (ඒ ලිපි හතරේ links මෙතැනට යොදන්නේ මතකය අවදි කර
ගන්නට රිසි ආදරණීය පාඨකයන් උදෙසායි.)
විදර්ශනෙන්, තෑගි
අරං, එනව බොලං - පළමුවෙනි
කොටස
https://nidigepanchathanthare.blogspot.com/2024/05/blog-post_19.html
විදර්ශනෙන්, තෑගි
අරං, එනව බොලං - දෙවෙනි
කොටස
https://nidigepanchathanthare.blogspot.com/2024/05/blog-post_24.html
විදර්ශනෙන්, තෑගි
අරං, එනව බොලං - තෙවෙනි
කොටස
https://nidigepanchathanthare.blogspot.com/2024/05/blog-post_29.html
විදර්ශනෙන්, තෑගි
අරං, එනව බොලං - සිව්වෙනි
කොටස
https://nidigepanchathanthare.blogspot.com/2024/06/blog-post.html
ඒ ‘2024 විදර්ශන සාහිත්‍ය ත්‍යාග’ පිරිනැමීමේ
කාරිය ‘දේවකාරියක්’ වගේ පිරිසිදුව- පිළිවෙලට ලකයක් ඇතුව කෙරුණු විත්තියයි මට
පෙනුණේ. ඒත් 2025දී එහි දෙවෙනි පියවර ඇරඹෙද්දී...
මොකක්දෝ අමුතු විපිරියාසයකටත් මුල පිරිලාය!
විදර්ශනය ඇතුළේ නොවේ. පිටස්තරවය... සාහිත්‍යකාමීන් ලෙස පෙනී හිඳිමින් සාහිත්‍යය
කමින් (?) සිටින්නවුන්ගේ නිරුවත ලොවට නිරාවරණය වන්නට පටන් ගෙනය!
ඒ විත්තියේ අලගිය- මුලගිය තැන් ගැන චුට්ටක් තේරුම් ගන්නටය මේ වෑයම.
ගයනි ගුරුගේ ලියා තිබුණු පහත දැක්වෙන ලියුමෙන්ම
වුණත් ඒ ගොඩාක් කරුණු කියවෙනවා:
‘නවකතාවක්, කෙටිකතාවක්, කවියක්
හෝ වෙනත් එවන් ඕනෑම සාහිත්‍යයික ලියැවිල්ලකට සමාජය මත බලපෑ හැකි තරම ද, ආදරය, කරුණාව, දයාව, සහකම්පනය
ඈ මානුෂීය ගුණ මිනිස් සිත් සතන් තුල වගා දිගා කරගන්නට එතෙක් මෙතෙක් බිහිවූ ඒ වටිනා
පොත පත පිටිවහලක් වී තිබෙන තරම ද, මෙතෙකැයි
කියා විස්තර කළ නොහැකි බව මා ඔබට අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.
එවන් පොතක් පතක් සමාජගත කරන්නට උරදෙන
පොත් ප්‍රකාශකයා වනාහි කවර ආකාරයේ සද්ගුණවතෙකු විය යුතුදැයි කියා කල්පනාවට නැඟෙද්දී
ඔවුන් කෙරෙහි ගෞරවනීය හැඟීමක් ඇති වේ. එහෙත් පොත් පත්හි තිබෙන ඒසා ගුණදම් ඔවුන් වෙත
විසරණය වනවාදැයි යන පැනය නැඟෙන විට, එක අතකට
ඒ වෙනුවෙන් පුදුම වන්නට ඕනෑ නැතැයි හැඟෙන්නේ හොද්දක රසය හැන්දට නොදැනෙනවා‘ය යන කතාවක්
පොත පතෙන්ම කියවාගෙන තිබෙන බැවිනි.
පොත් ප්රකාශකයන්ගේ සංගමය විසින් පවත්වනු
ලබන ස්වර්ණ සහ රජත පුස්තක සඳහා ඉල්ලුම් කිරීමේදී ‘වෙනත් සාහිත්‍ය තරඟයකින් ජයග්‍රහණය
කර තිබීම හෝ ඊට නිර්දේශ වීම‘ නම් සුදුසුකම මේ වසරේ සිට ‘නුසුදුසුකමක්‘ සේ සැලකීම පුදුමයට
කරුණකි. වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ රටේ ප්‍රමුඛතම සාහිත්‍ය සම්මානයක් ලෙස පිළිගැනුණු
ස්වර්ණ හා රජත පුස්තක සම්මාන මාවතෙන් ඒ සා ‘සුදුසු‘ පොත පත ඉවත් කිරීම මෙතෙක් සිදු
වූවක් නොවුණු බව අපි කවුරුත් දන්නෙමු. එම තීරණයට එක එල්ලේම ‘2024 විදර්ශන සාහිත්‍ය
ත්‍යාග‘ බලපාන්නට ඇතැයි පොත පතට ඇලුම් කරන කාගේත් අදහස බව නොරහසකි.
![]() |
සාහිත්‍යයේ පතාක වනස්පතියන්, අංකුරවලට වැඩෙන්නට ඉඩ ලබාදෙනු
පිණිස සිය අතු ඉති කප්පාදු කරගෙන ස්වර්ණ සහ රජත පුස්තකවලින් ඔවුන්ගේ පොත් හකුලා තැබීම
ගැන මගේ ගෞරවපූර්වක කෘතඥතාවය... |
ලියන්නන් පමණක් නොව කියවන්නන් පවා සංවේදී
මිනිසුන් බව අපි දනිමු; එය ප්‍රායෝගිකව
අත්දකිනවා පමණක් නොව පොත පතෙන් කියවා පවා ඒ ගැන දැන කියවාගෙන ඇත්තෙමු. එවැනි සංවේදී
මිනිසුන්, පොදු
කාරණාවකදී තමන් ගැන පමණක් සංවේදී නොවී සමස්ථ සමාජය වෙනුවෙන් සංවේදී වන්නැයි මා ඉල්ලා
සිටින්නේ, මේ ස්වර්ණ
සහ රජත පුස්තක කප්පාදුවෙන් අංකුර ලියන්නන් නිය‘ගින් උපුටා දැමෙන බැවිනි. ඔවුනට දිනෙක
ගසක් වී වැඩෙන්නට තිබෙන අවකාශය මුලිනුපුටා දැමෙන බැවිනි.
විදර්ශන ආයතනය ආරම්භ කළ ‘විදර්ශන සාහිත්‍ය
ත්‍යාග‘ නොඉවසා මුලු සංගමයක් ගත් මේ අත්තනෝමතික තීරණය මා හෙලාදකිනුයේ මින් ඉදිරියට
මගේ පොතක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රකාශන ආයතනයක් සොයාගැනීමේ අභියෝගයට ලක්වන්නට ඉඩ
තිබෙන බව දැන දැනමය. මේ හඬ සමස්ථ නවක ලේඛක ලේඛිකාවන් වෙනුවෙනි.
අප වැනි නවක අංකුර ලියන්නන්ව සිහිනයෙකිනුදු
දැක නොමැති මංජුල වෙඩිවර්ධන, ලියනගේ
අමරකීර්ති, සුනිල්
විජේසිරිවර්ධන වැනි සාහිත්‍යයේ පතාක වනස්පතියන්, අංකුරවලට
වැඩෙන්නට ඉඩ ලබාදෙනු පිණිස සිය අතු ඉති කප්පාදු කරගෙන ස්වර්ණ සහ රජත පුස්තකවලින් ඔවුන්ගේ
පොත් හකුලා තැබීම ගැන මගේ ගෞරවපූර්වක කෘතඥතාවය ඔවුන් වෙත පුද දෙමි. ඒ සමස්ථ නවක ලියන්නන් නියෝජනය කරමිනි.’
නොබියව නොපැකිළව අදහස් දක්වා තිබුණු ‘නවක
ලේඛිකා ගයනි ගුරුගේ’ට මමත් ස්තුතිවන්ත වන්නෙමි.
ඒ, මාත් සාහිත්‍ය ලෝලියෙකු බැවිනි;
පැටි වයසේදීම අපේ ආච්චිගෙන් (ඩේසි
ආච්චිගෙන් හෙම නොවේ!) ජන කතා, බණ කතා, කවි කතා විතරක් නොව ආච්චිලා නරඹා තිබුණු
දමිළ චිත්‍රපට කතා පවා අසා සිටි කතන්දර ලෝලියෙකු බැවිනි;
(ඒ ආච්චිගෙ උවමනාව නිසාම) ඉස්කෝලේ යන්නටත් කලින්ම
ආච්චිලාට ඇහෙන්නට ‘දිනපතා ලංකාදීප’ පත්තරය හඬ නඟා කියැවූවෙකු බැවිනි;
චන්දරේ මාමාගෙන් ‘මාරක කතා චක්‍රවර්ති ඩීමන් ආනන්ද මහත්තයාගේ -සත 75- 90, පිටු 96
පොත්වල කතන්දර’ අහගෙන, ඒවා කියැවීමෙන්
සක්‍රිය පාඨකයෙකු බවට පත් වූවෙකු බැවිනි!
![]() |
ඒ නිසා නිකම් මොකටද කට කියවලා කැපෙන්නෙ කියලා කට පියාගෙන ඉන්නවා. |
(දුප්පත්කම නිසාත්- පවුලේ බඩවියත රැකගැන්ම උදෙසාත් අවුරුදු 12 සිටම පේව්මන්ට් එකේ රජ වීමෙන්
ඇරඹුණු මගේ රැකියා දිවියත්, උසස් අධ්‍යාපනය ලැබීමත් එකවිට කළ නොහැකි බැවින් සාපෙළින්
පාසලට සමු දුන්නෙමි- එහෙත් නොකඩවාම පත-පොත කියවන්නට ඇබ්බැහි වී උන්නෙමි.)
එවන් කෙනෙකු හැටියට ‘මේ අර්බුදයේදී’ මගේ
අදහසුත් දැක්වීම කළ යුතුමය! ඒ අතරවාරයේම මේ අර්බුදය නිර්මාණය වී තිබෙන්නේ
කෙලෙසදැයි කියවෙන අජිත් පැරකුම් ජයසිංහ සාහිත්‍යධරයාගේ
2025 පෙබරවාරි 13 දාතමැති සටහන කියවලා බලමු.
‘විදර්ශන සම්මාන ගත්ත පොත් ස්වර්ණ, රජත පුස්තක
සම්මානවලට සලකා බලන්නෙ නැතිලු. ලේඛකයො මේ අසාධාරණය ගැන කතා කරන්නෙ නැහැ. හේතුව සරලයි.
හැමෝම හිතාගෙන ඉන්නෙ මේ සම්මාන තමන්ට ලැබෙයි කියලනෙ. නැතිනම්, තමන්
සම්මානවලට සුදුසුයි කියලා. ඒ නිසා නිකම් මොකටද කට කියවලා කැපෙන්නෙ කියලා කට පියාගෙන
ඉන්නවා.
මේකෙන් පොත් ප්රකාශකයන්ගෙ සංගමය බලාපොරොත්තු
වෙනවා ඇත්තෙ ඔවුන්ගෙ සම්මාන උළෙලට විකල්පව වෙනත් එවැනි ඉල්ලුමක් සහිත සම්මාන උළෙලවල්
බිහිවෙන එක වළක්වන්න. හැබැයි, එවැනි
සම්මාන උළෙල තියෙනකොට වෙනස් විනිශ්චය මණ්ඩලවලින් වෙනස් නිර්ණායක මත විවිධ කෘති සම්මාන
ලබන්නට පුළුවන්.
විදර්ශන සාහිත්ය සම්මානය දෙන්නෙ අත්පිටපත්වලට.
ඒ සම්මාන ලබන කෘති ඔවුන් පළකරනවා. ඒවා ස්වර්ණ, රජත, රාජ්ය, විද්යෝදය
වැනි සම්මානවලින් පිටමං කරන එක තේරුමක් නැති වැඩක්. තරගකාරී කෘති බැහැර කරලා සම්මාන
තේරුවාම සම්මානලාභීන්ටත් අගෞරවයක් සිදුවෙනවා. අරක තිබුණ නම් මේකට හම්බ වෙන්නෙ නැහැ
කියන්නට අවස්ථාව ලැබෙනවා.
ලංකාවෙ ලේඛන කලාව කියන්නෙම හෙන කුහක
වැඩක්. ලේඛන කර්මාන්තයේ රැඳෙන්නට නම්, මුලින්ම
ඉගෙනගත යුතු දේ තමයි, කට වහගෙන
ඉන්න එක. දෙවනුව, පිට කහන
එක. ලේඛන කලාව කියන්නෙ ටිකක් අත්තමට වැඩ කරනවා වගේ දෙයක්. මම ඔබේ පිට කසමි. ඔබ මගේ
පිට කසන්න.
ඇත්තටම මේ පොත් අච්චු ගැසීම කියන එක
සම්මාන මත පදනම් වූ පරණ තාලෙ වැඩක්. දැන් අලුත් ප්රකාශන අවකාශ බිහිවෙලා ඉවරයි. පාඨකයන්
ඒවාට ආකර්ශනය වෙලාත් ඉවරයි. පොත් සීමිත පිරිසකගෙ මාධ්යයක් වෙන්නට ඉඩ තියෙනවා.
මේක ලියන මං කතන්දරකාරයෙක්. මට කතන්දර
කියන්නට මොකක් හෝ ක්රමයක් තියෙනවා නම් මට ඒ ඇති. මේ සිදුවන දේ ගත්තාම වෙනම කතන්දරයක්.
මං ලියපු සූදුරු අබා කෙටි කතා සංග්රහයෙ
පෙරවදනත් කතාවක්.
හෙට අනිද්දා නිකුත් වන අරුණෝදාකරුවෝ
නවකතාවෙ පිදුමත් කතාවක්.’
![]() |
මේ පිළිබඳ නිහඬව සිටීම මා දකින්නේ... |
‘ප්‍රශ්නයකට සැලකිය යුත්තේ දෙබරෙකුට මෙනි. එක්කෝ
ඌව සහමුලින්ම නොතකා හැරීම දිගටම කළ යුතුය. නැතිනම් එක පහරින්ම දෙබරා තලා විනාශකොට දැමිය
යුතුය.’ කියන අදහසයි ඒ අවවාදයේ ගැබ් වුණේ.
2024 නොවැම්බර් 31 වෙනිදා ඉඳලයි ‘2025 විදර්ශන සාහිත්ය
ත්‍යාගය’ සඳහා අත්පිටපත් බාර ගැනීම ඇරඹුණේ. ඒත් එක්කම වගෙයි ‘මෙතෙක් නොතිබුණු
තහංචියක්’ පැනවෙන්නේ. ඒ තහංචිය ගැන සාහිත්‍යධරයන් තම-තමන්ගේ උදහස් අදහස් සමාජගත
කළා. විශ්‍රාමික මහාචාර්ය සසංක පෙරේරා මහත්මාත් එයින් එක්කෙනෙක්.
‘විදර්ශන ත්‍යාගය සහ ශ්‍රී ලංකා පොත්
ප්‍රකාශකයින්ගේ සංගමය:
තහංචියක ආදීනව
දිනේෂ් කුලතුංග මහතා
ලේකම්
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය
පැලවත්ත
හිතමිත්‍ර කුලතුංග මහතානෙනි,
මා මේ ලිපිය ඔබට, ඔබගේ
අධ්‍යක්ෂ මණ්ඩලයට හා ඔබ සංගමයේ සමාජික සාමාජිකාවන් වෙත ලියන්නේ, ඉහත දක්වා
ඇති කාරණය සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් පසුගිය වසරේ ස්ථාපනය කළ ‘විදර්ශන ත්‍යාගය’ වැඩසටහන
ඔස්සේ සම්මාන ලැබූ හෝ කෙටි ලැයිස්තුවකට ඇතුළත්
වූ කිසිම අත්පිටපතක් හෝ පසුව මේවා අතුරින්
විදර්ශන සමාගම විසින් පළ කළ කිසිදු කෘතියක් හෝ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ
සංගමය විසින් සංවිධානය කරන ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක යන සම්මාන වැඩසටහන්වලින් ඉවත්
කරන බව පවසා ඇත.
මේ තහංචිය මේ වන විට වසර 18 ක් මුළුල්ලේ
ක්‍රියාත්මක වූ ගොඩගේ අත්පිටපත් තරගයෙන් ජය ලැබූ අත්පිටපත් දක්වා ද ව්‍යාප්ත වී තිබේ.
බැලූ බැල්මට පෙනෙන්නේ, එය විදර්ශන
ත්‍යාගය මත පනවා තිබූ තහංචිය සාධාරණීකරණය කිරීමට කළ කටයුත්තක් බවයි.
වසර තිහකට අධික කාලයක් මෙරටත්, ඉන් බාහිරවත්
ලිවීමේ සහ පළකිරීමේ නිරත වූ අයෙක් හැටියටත් ගෝලීය ප්‍රකාශන භාවිත පිළිබඳ යම් දැනුමක්
ඇති අයෙක් ලෙස හා යම් යම් අවස්ථාවල සමාජයේ අදහස් ප්‍රකාශ කරන අයෙක් ලෙසත් මේ පිළිබඳ
නිහඬව සිටීම මා දකින්නේ ආචාරධර්ම විරෝධී කටයුත්තක් වශයෙනි.
එමෙන්ම, බොහෝ
දෙනා මේ සම්බන්ධයෙන් මුනිවත රකින්නේ, මේ ගැන
අදහස් දැක්වීමෙන් තම තමන්ට පුද්ගලිකව පාඩු සිදු විය හැකිය යන සාංකාව මතය. මටත් ඒ තත්ත්වය
එසේම බලපෑ හැක. එනමුත් මේ වන විටත්, මීට විරෝධය
පෑම සදහා අප රටේ කීර්තිමත් ලේඛයින් කිහිප දෙනෙක්ම තම කෘති මෙවර පැවත්වෙන ස්වර්ණ පුස්තක
හා රජත පුස්තක සම්මාන වැඩසටහන්වලින් ඉවත් කර ගෙන ඇත. මංජුල වෙඩිවර්ධන, මහාචාර්‍ය
ලියනගේ අමරකීර්ති, ආචාර්‍ය
සුනිල් විජේසිරිවර්ධන, ආරියවංශ
අබේසේකර වැනි ප්‍රකට ලේඛකයෝද එසේ තම කෘති ඉවත් කරගත් පිරිස අතර වෙති. මෙය බෙහෙවින්
සාධනීය ලක්ෂණයකි. ඒ සියලු දෙනාට මගේ ආචාරය.
![]() |
මෙරට ප්‍රකාශන ක්ෂේත්‍රයේ විශාල කාර්යභාරයක් කර ඇති සහ තවදුරටත් කළ
හැකි... |
ශ්රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය
විසින් 2024 වසරේ පැවැත්වූ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී ප්‍රධාන ආරාධිතයා වූයේ මමයි.
ඒ ආරාධනය කළේ ඔබය. අධික රාජකාරි මධ්‍යයේ වුව ද එම ආරාධනය භාරගන්නට මා තීරණය කළේ, ඔබ සංවිධානය
මෙරට ප්‍රකාශන ක්ෂේත්‍රයේ විශාල කාර්යභාරයක් කරන සහ එම වැඩකටයුතු වඩාත් සාධනීය සහ දියුණු
ආකාරයකින් ව්‍යාප්ත කිරීමට හැකියාවක් ඇති සංවිධානයක් සේ මා සැලකූ නිසාය.
මගේ ආරාධිත දේශනයේදී මෙරට පළකරන අගනා
කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කර ගෝලීය ප්‍රජාවට යොමු කළ යුතු යැයි ද එහි වගකීම භාරගැනීමට
වඩාත් සුදුසු ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය බව ද මා පැවසුවේ මේ නිසාය.
ඔබ සංගමයේ බොහෝ ඉහළ නිලධාරීන් එදා මෙන්ම
ඉන් පසුවත් මගේ අදහස්වලට පුද්ගලිකවත් ප්‍රසිද්ධියේත් එකඟ වී ඇත.
නමුත් විදර්ශන සමාගම සහ විදර්ශන ත්‍යාගයේ සම්මානලාභීන් මත පනවා ඇති තහංචිය නිසා ඔබ සංවිධානය
පිළිබඳ මගේ තිබූ විශ්වාසය සහ බලාපොරොත්තු බිඳ වැටී ඇති බව කණගාටුවෙන් වුවත්, පැහැදිලිවම
කිව යුතුය.
එසේම 2024 දී දියත් කළ ප්‍රථම විදර්ශන
ත්‍යාගය වැඩසටහනේ විධායක කමිටුවේ ද, පරිවර්තන
කමිටුවේ ද මා ස්වේච්චාවෙන් කටයුතු කළ ද එකල
මා විදේශගතව සිටි නිසා සහ මා කලින් සේවය කළ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රාලයීය නිදහස හා සම්බන්ධ වෘත්තීය අර්බුදයක පුද්ගලිකව පැටලී සිටි
නිසාත් මගේ රාජකාරිය නිසි අයුරින් කළ නොහැකි වීම අවාසනාවකි. මා දන්නා පරිදි මේ වැඩසටහනේ
කිසිම වගකීමක් දැන් මා දරන්නේ නැත.
මගේ කිසිම කෘතියක් අද වන තෙක් විදර්ශන
සමාගම විසින් පළකර නැත. එසේ කරන්නට බලාපොරොත්තුවක් මගේ සිතේ ද නැත. විදර්ශන සමාගමේ ප්‍රකාශන ප්‍රවේශයේ ඇතැම් අංග පිළිබඳ මට යම් ගැටළු
තිබුණ ද ඒ කිසිත් සමාජගත වී ඇති කෘති හෝ විදර්ශන ත්‍යාගය වැඩසටහනේ අත්පිටපත් තීරණ ක්‍රියාවලිය
සම්බන්ධයෙන් මට නැත.
එමගින් දිගු හා කෙටි ලැයිස්තුවලට අතුළත්
වූයේ සහ අවසානයේදී සම්මාන ලැබුවේ ඊට සුදුසුකම්
තිබූ අත්පිටපත් පමණි. ඒ ගැන මට කිසිඳු සැකයක් නැත.
මේ තත්ත්ව තුළ, මෙරට
ප්‍රකාශන ක්ෂේත්‍රයේ විශාල කාර්යභාරයක් කර ඇති සහ තවදුරටත් කළ හැකි සහ කළ යුතු මේ සංවිධාන
දෙක මේ අනවශ්‍ය ගැටළුව නිරාකරණය කර ගත යුතුය.
![]() |
සමාජ කතිකාමය ප්‍රයෝජනය උදෙසා මේ ලිපිය සමාජගත කරන බව ද... |
මෙය අතිශයින් භයානක සහ අත්තනෝමතිකත්වය
සංස්ථාගත කරන සහ සාධාරණීකරණය කරන තත්ත්වයකි. මෙය සියළු ලේඛකයින්ට කරන බලවත් අසාධාරණයක්
මෙන්ම විශේෂයෙන් කුශලතා ඇති ආධුනික ලේඛකයින් අකර්මන්‍යය කරන අතිශයින් අනවශ්‍ය සහ පැහැදිලිවම
වලක්වාගත යුතුව තිබූ වෘත්තීයමය නොවූ ක්‍රියාවකි.
කුමන හේතු මත මේ තීරණය ගත්ත ද මෙමගින්
සිදු වී ඇත්තේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ
සංගමයේ කීර්තිය සහ සමාජ ප්‍රාග්ධනය තමන් විසින්ම සමාජය තුළ අවතක්සේරුවට ලක් කරගෙන තිබීම
සහ ඊට සාපේක්ෂව විදර්ශන සමාගමේ ප්‍රකීර්තිය සහ සමාජ ප්‍රාග්ධනය බෙහෙවින් ඉහළ යාමට අවකාශ
සලසා දීමය.
තව ද පිළිගත හැකි මටටමේ හේතුවක් නොදක්වා
බොහෝ කාලයක් මුළුල්ලේ මෙරට ක්‍රියාත්මක වූ අත්පිටපත් තරඟ ජයගත්තවුන්ට මෙවන් තහංචියක්
පැනවීම අතිශය ආචාරධර්ම විරෝධීය; පටුය.
ගෝලීය මට්ටමෙන් බලන විට ද පෙනෙන්නේ
මෙය කිසිඳු පදනමක් නැති අභූත ක්‍රියාවක් බවයි.
නමුත් මගේ විස්වාසය නම්, මේ ප්‍රශ්නය
විසඳාගැනීමට තවමත් හැකියාව ඇති බවයි. කුමන හේතුවක් මත ගත්ත ද මේ තීරණය ගැටළුකාරී තීරණයක්
නිසාත්, එමගින් පාඩු සිදුවන්නේ
ලේකඛයින්ට සහ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ කීර්තියට නිසාත්, දැන්
කළ යුත්තේ ස්වාධීන කමිටුවක් හෝ ඒක පුද්ගල කමිටුවක් පත් කර, මේ තීරණයේ
පසුබිම සහ එමගින් ඉගෙන ගත හැකි පාඩම් මැනැවින් සොයා බලා, ගෙන ඇති
තීරණය පදනම් විරහිත නම් අවලංගු කිරීමත්, කුමන
හෝ හේතුවක් නිසා සාධාරණ නම්, ඊට හේතු
සමාජයට පැහැදිලි කරදී තව දුරටත් පවත්වාගෙන යාමත්ය.
නොඑසේ නම් සිදුවන්නේ, ශ්‍රී
ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයට සහ ඔබත් ඇතුළු එහි වර්තමාන අධ්‍යක්ෂක මණ්ඩලයට දීර්ඝකාලීන
අපකීර්තියක් විඳීමට සිදුවීමය.
මගේ විශ්වාසය නම්, සංගමයේ
අනාගතය ගැන සිතිමේදී මෙය අනවශ්‍ය දෙයක් බවයි.
මගේ අදහස්වලින් ඔබට යම් ප්‍රයෝජනයක්
ඇතැයි මම සිතමි. මේ සම්බන්ධයෙන් මගේ මැදිහත්වීම කුමන හෝ මට්ටමකින් අවශ්‍ය නම්, කරුණාකර
මට දන්වා එවන්න.
සමාජ කතිකාමය ප්‍රයෝජනය උදෙසා මේ ලිපිය
සමාජගත කරන බව ද කරුණාවෙන් සලකන්න.
මීට විශ්වාසී,
සසංක පෙරේරා
සමාජ විද්‍යාඥ සහ විශ්‍රාමික මහාචාර්ය’
![]() |
පොත් ප්රකාශකයන්ගේ සංගමයේ ‘පදනම් විරහිත තීරණය’ට එරෙහිව රැඩිකල් මංජුල
වෙඩිවර්ධන ස්වකීය පන්හිඳෙන් වෙඩි තබා තිබුණේ... |
මගේ කෝණයෙන් බලද්දී මංජුල ‘රැඩිකල් පොරකි’.
පොත් ප්රකාශකයන්ගේ සංගමයේ ‘පදනම් විරහිත තීරණය’ට එරෙහිව රැඩිකල් මංජුල වෙඩිවර්ධන
ස්වකීය පන්හිඳෙන් වෙඩි තබා තිබුණේ මෙසේය:
‘2025 2 15
- පොත් ප්රකාශකයන්ගේ සංගමයේ අත්තනෝමතික
තීන්දුවට එරෙහිව -
විදර්ශන සාහිත්ය ත්යාගය දිනාගත්, ඊට කෙටි
හා දීර්ඝ ලැයිස්තුගතව ඉක්බිති මුද්රණයෙන් ප්රකාශයට පත් වූ කෘති ස්වකීය ඇගයීම් ක්රියාවලියෙන්
ඉවත් කිරීමට, ශ්රී
ලංකා පොත් ප්රකාශකයන්ගේ සංගමය විසින් ගනු ලැබූ අත්තනෝමතික තීන්දුව හරහා අත්පිටපත් ආකෘතියෙන්
ඇගයීමට, විමසීමට, විග්රහයට
පාත්ර විශේෂිත වූ කෘති ගණනාවකට ස්වර්ණ පුස්තක හා රජත පුස්තක සාහිත්ය ඇගයීම් ක්රියාවලියට
අභිමුඛ වීමට ඇති අයිතිය අහිමිකර දමා තිබේ. මෙය එක් අතකින් ලේඛකයාගේ මූලික අයිතිවාසිකම්
උල්ලංඝනය කිරීමක් ද වන්නේ වෙයි.
විදර්ශන ත්යාගය දිනූ සහ ඊට නිර්දේශ
වූ කෘති අතුරින් කිහිපයක් මා කියවා ඇත. විශේෂයෙන් යසස් සමන්ත වීරසිංහගේ "වැහි
පීල්ලක අතරමංව", ගයනි
ගුරුගේ ගේ "පළා යමි එන්න එළියට", මෙන් ම ශ්රිලානි
ප්රනාන්දුගේ "මම වූයෙමි, මම වෙමි, මම වන්නෙමි"
අති විශාල නිර්මාණාත්මක ශ්රමයක් තුළින් උත්පාදිත මනරම් ප්රබන්ධ කෘති බවට විවාදයක් නැත.
ඒවා මගහැර ස්වර්ණ පුස්තක ඇගයීම සිදු කරන්නේ කෙසේද?
එමෙන්ම මා කියෙවූ අජිත් පැරකුම් ජයසිංහගේ
''සූදුරු
අබා'' සහ සමිත
බී අටුවබැන්දෑලගේ "වනිගසේකර තිත්මුවෙක්" කෙටිකතා සංග්රහ මෙන්ම සුහර්ෂණී ධර්මරත්න
කිවිඳියගේ "මල් මැවූ මිනිසා" බඳු සුවිශේෂී නිර්මාණාත්මක මැදිහත්වීම අත්හැර
රජත පුස්තකය පිණිස කෘති ඇගයීමට ගෙන ඇති තීන්දුව තුළ මා දකින්නේ අතිශය සාපරාධී බවකි.
මෙම කප්පාදුකාර තීන්දුව ගන්නට මූලිකත්වය
ගත් කවර ප්රකාශකයෙකු වුව සිහි තබාගත යුතු වන්නේ ඔවුන්ගේ ව්යාපාරිකභාවය රඳාපවතින්නේ
පාඨකයාගේ කියවීමේ ධාරිතාව තුළ බවයි. එබැවින් මෙම කප්පාදුව තවත් පසෙකින් පාඨකයාගේ අයිතිය
උල්ලංඝනය කිරීමකි.
මෙම තීන්දුව බැලූ බැල්මටම විදර්ශන ප්රකාශන
ආයතනය ඉලක්ක කර ගත්තක් බව නිරීක්ෂණය කළ හැකි ය. මේ තාක් අත්පිටපත් ලෙස ඇගයීමට පාත්ර
වූ "ගොඩගේ" කෘති ස්වර්ණ හා රජත පුස්තක ඇගයීම් ක්රියාවලී තුළ නිරූපද්රිතව
පැවතිණි. ඇතැම් කෘති කෙටි ලයිස්තු අතරට සම්ප්රාප්ත වූ අතර ඒ අතරින්ද ඇතැම් කෘති උක්ත
සම්මානයන්ට පවා පාත්ර විය. එබැවින් මෙම තීන්දුව නිශ්චිතවම විදර්ශන අරභයා ගනු ලැබූවක්
බවට තක්සේරු කරන්නට විශාල විවාදයක් අවශ්ය නැත.
![]() |
කෙලින් වැඩ කියලා කොච්චර පම්පෝරි ගැහුවත් මේ සංගමයෙත් අසාධාරණ වැඩ ඕනි තරම්
වෙනවා. |
ප්රශ්නය වන්නේ බොහෝ දෙනා නිහඬව බලා
සිටීමයි. ඊට මැදිහත්වීම හරහා තමන්ගේ කෘති කප්පාදු වෙතැයි යන අනියත භිතිය සාහිත්ය සමාජය
වෙලා ගත් සෙයකි. අවසන් වශයෙන් කිව යුතු වන්නේ මෙවන් කප්පාදුවක් අබියස නිශ්ශබ්දව සිටීම
ලියන්නෙකුට තරම් නොවන බව ය.
මංජුල වෙඩිවර්ධන’
තවත් ගොඩ දෙනෙක් ඒ තීන්දුව හෙළා දකිමින් තම-තමන්ගේ
කෘති ‘ස්වර්ණ පුස්තක- රජත පුස්තක’ ඇගයීමේ ක්‍රියාවලියෙන් ඉවත් කරගෙන...
ඒත්... ඒත්... ඒත්...
මේ අනීතික තීරණයට එරෙහිව වෙනත් පොත් ප්‍රකාශන ආයතන නැඟී සිටි බවක් මට නං දැනගන්නට
ලැබුණේ නෑ. ඒ විතරක් නෙවෙයි; ප්‍රවීන හා නවක පොත් කතුවරුන්ගෙනුත් කී දෙනාද උදහස්
වෙලා තිබ්බේ? (එහෙම උදහස් අදහස් ප්‍රසිද්ධියේ පළ කළ හැම දෙනාටම- මෙන්න නිදිගෙ ආචාරය
පිදෙනවා!)
අනෙකෙකුට අසාධාරණයක් වුණාම අපට එච්චර දැනෙන්නේ
නෑ. මොකටද ඒවා ගැන කතා කරලා කාවවත් තරහ කර ගන්නේ? එහෙම නිවටකමක් ජානවලින්මද කොහෙද
අපට උරුමයි... අපි හරි පව් නේද?
මුද්‍රණ කටයුතුවලදී හමුවෙන හිතවතුන්ගෙන් සැරෙන්-සැරේ
පොත් ප්රකාශකයන්ගේ සංගමයේ කෙරුවාවල් ගැන අතීතයෙදී කියැවුණු දේවල් නිකංම කියැවුණු
ඒවා නොවෙන බව දැන් නං මටත් හිතෙනවා...
‘පොත් ප්‍රදර්ශනයෙදී ඒ ගොල්ලෝ හොඳට සෙනඟ ගැවසෙන තැන්වල ස්ටෝල්ස් එයාලට බෙදාගෙන
ඉවරවෙලා තමයි අපිට මැස්සෝ ඇහිරෙන තැන් දෙන්නේ / කෙලින් වැඩ කියලා කොච්චර පම්පෝරි
ගැහුවත් මේ සංගමයෙත් අසාධාරණ වැඩ ඕනි තරම් වෙනවා. අපිත් ඒවා නොදැක්කා වගේ කට වහගෙන
ඉන්නවා- කට ඇරියොත් අපිව කැපිලම යනවනේ.’ වගේ කියුම්වලට යම්කිසි පදනමක් තියෙනවාද?
ඇත්ත! කොන්ත නෝනාට අයිතිය තියෙනවා එයාගේ මොකක්
වුණත් ඇල් වතුරෙන්ද හෝදන්නේ- මිරිස් වතුරෙන්ද හෝදන්නේ කියල තීරණය කරන්න. ඒත් පොත්
ප්‍රකාශනය වගේ බැරෑරුම් කර්තව්‍යයක නිරත පිරිසකට කොන්ත නෝනට වඩා වගකීමක් තිබිය
යුතුයි නේද?
එහෙම හිතුණෙ මේ වෙනතෙක්ම පොත් ප්රකාශකයන්ගේ
සංගමය ‘මුඛ බන්ධනය’කට ගොදුරු වෙලා ඉන්න හින්දයි.
ඉතිං... කවුරුන්ම හරි- දන්නා කෙනෙක් ඉන්නවා නං
කියන්නකො, මේ පුංචි ප්‍රශ්න කීපෙට උත්තර...
1. පොත් ප්රකාශකයන්ගේ සංගමය වැදගත්; තීරණාත්මක තීන්දු
ගන්නේ සභා රැස්වීමකදීද?
2. සංගමයේ සාමාජික සංඛ්‍යාව කීයද?
3. සභා රැස්වීමකදී ‘ගණ පූරණය’ක් සලකනු ලැබෙනවාද?
4. මේ පෝස්ටුවේදී කියැවුණු ‘තහංචිය’ පිළිබඳ තීරණය ගනු ලැබුවේ කවරදාද- ඒ තීරණය ඒකමතික
එකක්ද?
5. එම තීරණයට විරුද්ධව අදහස් පළ කළ- ඒ ගැන සංගමයට දැනුම් දුන් විද්වතුන්ට, ලේඛක-
ලේඛිකාවන්ට පිළිතුරු සපයා තිබේද?
(ජනක ඉනිමංකඩ මහතාණෙනි, දහසක් කටයුතු මැද වුවත්, මේ
ප්‍රශ්නවලට ඔබේ පිළිතුරු හෝ ලබා දෙන්නේ නම් ඉතා මැනවි!)෴0෴
















