සති කීපෙකට කලින් අපේ නමී උන්නැහේ මට මෙසේජ් එකක් එවල තිබ්බා. ‘නිදි, කවුද මංදා ඩොක්ටර් පීරිස් ගැන බොරු තියෙන වීඩියෝ එකක් දාලා. මෙන්න ලින්ක් එක. බලල ඉන්නකො- ඉස්සෙල්ලම.’
![]() |
අපිට හිතාගන්නත් බැරි තරම් උතුම්, වටිනා, අමිල සේවයක් අපේ ලංකාවේ මිනිස්සුන්ට කරපු මිහිපිට දෙවියෙක්
වගේ... |
පහුවදා උදේ fb පැත්තේ යනකොට මෙන්න බොලේ අයස්මන්ත පීරිස් හිතවතා ලියපු ලියැවිල්ලක්
තියෙනවා. ඒක නං එවෙලේම කියෙව්වා... බොහොම සංවේදී ලියැවිල්ලක්...
“මේ
මොකද යකඩො මේ? වීඩියෝවක් දැකලා දොස්තර මහත්තයා මෙච්චර වැටිල තියෙන්නේ?” මට හිතුණා ඒක
කියවන අතරෙ. අයස්මන්ත මහත්තයා ඒ ලියැවිල්ල අකුරු කරලා තිබ්බේ හොඳටම හැඟීම්බරවයි!
ලිව්ව ගමන්ම fb එකට දාල වගෙයි. (වදන් 1876කින් සමන්විත ඒ ලියැවිල්ල ඔයාලටත් එහෙම පිටින්ම කියවතෑකි ‘නමියගෙ වීදිය’ අඩවියට ගියොත්, නමීගේ
කෙටි විවරණයකුත් එක්කම.)
හම්බන්තොට,
නාවලපිටිය රෝහල් දෙකේම අපි හඳුනන හිතවතුන් සෑහෙන්න ඉන්නවා. අයස්මන්ත මහතා හරහාමයි
අපි එයාලව හඳුනාගත්තෙත්. ඒ හැමෝම වගේ දොස්තර මහත්තයාගේ fb පෝස්ටුව ෂෙයාර් කරලා. මං
මොකද කළේ- ලිව්වා කවියක්. අර posts සේරටම comment එකක් විදිහට මං යැව්වේ ඒ කවියයි.
නොහිතා ඵලය ගැන
කරදර නොවී හිඳ
කරමුකො යහපතම පෙරදැරි හිතින් හොඳ
නොමිනිසුනුත් ඉන්නව ගස්සමින් ගඳ
බල්ලෝ බුරද්දිත් පායයි; දිලෙයි හඳ!
ඊළඟ දවස් කිහිපයේදී
අයස්මන්ත මහත්තයාගේ original post එකෙන් අදහස් අරගෙන තවත් උදවිය posts හදල තිබුණා.
එව්වයින් එකක් Dinuk Rogersගෙ. ඒ fb පෝස්ටුවයි මේ:
‘නොමේරූ
දිවියකින් ජීවිතේ ලබමින් එදා අම්මා කියා දුන් වචන පෙල හිතේ තියාගෙන ලක්ෂ 17කට ලෝකය
දකින්න මංපෙත් විවර කරපු මිහිපිට දෙවියෙක් වන් උතුම් දෑත් හිමි වෛද්‍යවරයෙක් ගැන කතාවක්
- Dr. Ayasmantha Peiris
අද මම ඇත්තටම කියන්නේ අපිට හිතාගන්නත්
බැරි තරම් උතුම්, වටිනා, අමිල
සේවයක් අපේ ලංකාවේ මිනිස්සුන්ට කරපු මිහිපිට දෙවියෙක් වගේ උතුම් වෛද්‍යවරයෙක් ගැන. ඔයාලා
දන්නවද මේ කවුද කියලා?
ඔයාලට හිතාගන්නවත් බෑ නේද මෙච්චර සැත්කම්
ප්‍රමාණයක් එක මනුස්සයෙක් කරලා තියෙනවා කියලා. ඒ කතාව පටන් ගන්නේම පුදුම තැනකින්.
නොමේරූ බිළිඳෙක් විදියට ඉපදිලා මියයමින් ඉන්න මොහොතක, ප්‍රතිකාර ටිකක් මන්දගාමී වීම නිසා තත්ත්වය ගොඩක් අසාධ්‍ය වෙලා තියෙද්දි, එයාගේ අම්මා දුවලා ගිහින් තියෙන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිවසටමයි. මෝටර් රථයේ බොනට්ටුව උඩ තමයි ඒ පුංචි ජීවිතය තියලා බේරලා අරන් තියෙන්නේ.
එදා දරුණු
විජලනය නිසා වම් මැණික්කටුවේ කරපු venous cutdown සැත්කමකින්
තමයි එයාට ආයෙ ජීවිතේ ලැබිලා තියෙන්නේ. එදා අම්මා දුන්නු උතුම්ම වචන ටික තමයි
"කවදාවත් ලෙඩ්ඩු හරවලා යවන්න එපා" කියන එක. ඒ වචන ටික ජීවිත කාලෙම හිස් මුදුනින්
තියාගෙන තමයි එතුමා මේ ගමන ඇවිත් තියෙන්නේ.
![]() |
සැත්කම් 70,000කට වඩා සිදු කරලා තියෙනවා...
(සැත්කම් 162ක් කළ දවසක..) |
1998 වසරේ ඉඳන් මේ දක්වා අවුරුදු
28ක් පුරාවට ලංකාව පුරාම රෝගීන් ලක්ෂ 17කට වඩා පරීක්ෂා කරලා, සැත්කම්
70,000කට වඩා සිදු කරලා තියෙනවා කියලා එතුමාගේ නිල සටහනේ සඳහන් වෙනවා.
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්
වෙන එතුමා කොළඹ වෛද්‍ය පීඨයෙන් උපාධිය අරගෙන, ශල්‍ය
වෛද්‍ය පිලිප් වීරසිංහම්, මහාචාර්ය
ෂෙරිෆ්ඩීන්, ජාතික
අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍ය චරිත් ෆොන්සේකා සහ විශේෂඥ වෛද්‍ය අසේක මකුලොළුව වැනි ගුරු
දෙවිවරු යටතේ විනය සහ රාජ්‍ය සේවයේ අවංකකම ප්‍රගුණ කරලා තියෙනවා.
යාපනය, වවුනියාව, පොලොන්නරුව, කන්තලේ, සේරුවිල, නාවලපිටිය, රත්නපුර
හරහා හම්බන්තොට දක්වා දිවෙන ඒ සේවා ගමනේදී නාවලපිටිය සහ රත්නපුර අක්ෂි ඒකක දෙකම මහා
පරිමාණයෙන් සංවර්ධනය කරන්න සිංහ සමාජය, LCIF සහ WHO ආධාර
සම්බන්ධ කරගෙන විශාල මෙහෙවරක් කරලා තියෙනවා.
අද වෙනකොට හම්බන්තොට අක්ෂි ඒකකයේ විතරක්
මාසෙකට සැත්කම් 600කට ආසන්න ප්‍රමාණයක් කරනවා. ඒ වගේම රුපියල් ලක්ෂ 120කට වඩා වටිනා
තමන්ගේ පෞද්ගලික උපකරණ පවා රෝහලේ රෝගී සත්කාරය වෙනුවෙන්ම කැප කරලා තියෙනවා.
එතුමා පෙන්වා දෙන විදිහට නුවරඑළිය සහ
ජාතික අක්ෂි රෝහල්වල ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය නිසා රෝගීන්ගේ පෙනීම අහිමි වූ සිදුවීම්
වාර්තා වෙද්දි, හම්බන්තොට
ඒකකයේ කිසිදු ආසාදනයක් වාර්තා නොවී තිබීමට හේතුව Viscoat,
Discovisc වැනි clinical
safety & efficacy අතින් ඉහළම සුරක්ෂිතතාවයක්
ඇති උසස් තත්ත්වයේ ඖෂධ සහ කාච පමණක් භාවිත කිරීමයි. එංගලන්තය, හොංකොං, මැලේසියාව
වැනි රටවලින් පරිත්‍යාග ලෙස ලැබෙන කාච හිඟ අවස්ථාවලදී ගෙන්වාගෙන, ඒ සියල්ල
රෝහල් රෙජිස්ටර්වල විගණනයට විවෘතව නිසි ලෙස සටහන් කර ඇති බවත් සඳහන් වෙනවා.
ඒත් අවාසනාවකට රෝහලේ හෙද නිලධාරිනියක්
ඉලක්ක කරගෙන හදපු වීඩියෝවක් සහ සමාජ මාධ්‍ය හරහා එල්ලවෙන අසත්‍ය චෝදනා නිසා ඉදිරියේදී
සැත්කම් ප්‍රමාණය 100 දක්වා සීමා කරන්න සිදුවන බවත්, හම්බන්තොටට
ලැබෙන්න තිබුණු අති නවීන ලේසර් යන්ත්‍රය, OCT Scanner සහ Eye
Angiogram Viewing Suite වැනි වටිනා සැලසුම්
ටික අහිමි වී යාමේ අවදානමක් තියෙනවා කියලත් එතුමා කනගාටුවෙන් ප්‍රකාශ කරලා තියෙනවා.
![]() |
එයාලගෙ උදව් නොලැබුණා නම්... (වෛද්‍ය චමින්ද හා ශිරන්ත...) |
ඒ නිසා මෙවන් අමිල සේවයක් කරන ඔබතුමාට
අපගේ උපහාරය, ගෞරවය, ප්‍රණාමය
හිමිවිය යුතුමයි. ඔබතුමා හදා වැඩු දෙමව්පියන්ටත් අපි අපේ ගෞරවය පුද කරනවා, මේ සියලු
පින ඔවුන්ටත් හිමිවෙනවා. ඔබතුමාගේ ඔය පින්වත් උතුම් දෑත් දෙකට බුදු සරණයි!
තහවුරු කළ මූලාශ්‍රය : විශේෂඥ අක්ෂි
ශල්‍ය වෛද්‍ය අයස්මන්ත පීරිස් මහතාගේ (Dr. Ayasmantha Peiris) නිල ෆේස්බුක්
ප්‍රකාශය.’
මං අයස්මන්ත හිතවතාව හඳුනා ගත්තේ එයා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණු දවස්වල. හිතවත් W.A.L. ප්‍රියන්තගෙ සොහොයුරු නලින් ප්‍රියදර්ශන මඟින්. නලින්, අයස්මන්ත, චමින්ද (පෝල්), ලාල්, ශිරන්ත, සාදු, ඩොනල්ඩ් කට්ටියම බැචාලා. දැන් ඒ හැමෝම වෛද්‍යවරු. (එයාලා හරහා රෝහල් දෙක තුනකම කාර්ය මණ්ඩල සාමාජිකයනුත් අපේ මිතුරු-මිතුරියන් වෙලයි ඉන්නේ.)
ඉතිං ඒ හැමෝම මගේ හිතවතුන් වීම හිංදා මටයි
ලොකුම වාසිය හිමි වුණේ. ඒ 2013දී මට වැරදි බෝනස් එක ලැබුණු
වෙලාවේ... (එතැන ඉඳලා එයාලගෙ උදව් නොලැබුණා නම් 60 පනින්නත් කලින් මම අඩි හයක් යටට
ගිහිං...) ඒ හැමෝටම මගේ කෘතවේදී ස්තුතිය හිමිවෙන්නේ ඒකයි!
‘නිමල් අයියේ, අපේ සර්ටයි අපටයි ලජ්ජා කරන්න
දාල තියෙන බොරුකාර වීඩියෝව දැක්කෙ නැද්ද? ඒ ගැන ඔයා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ?’
මං ‘නිදිගෙ පංච තන්තරේ‘ ලියන විත්තිය දන්නා අර හිතවතුන්ගෙන් දෙතුන් දෙනෙකු ඇහුවත්
එක්ක.
ඒත් මං වහන්සේ චුට්ටක් විතර පස්ස ගහමින්
හිටියේ. මාත් අයස්මන්ත මහත්තයගෙ හිතවතෙක්නේ. මං මොන තරං ඇත්තක් ලිව්වත් ‘බරක් නෑ’;
යාළුවාගේ පිට කහනවා කියල කියන්නත් ඉඩ තියෙනවා.
එහෙම හිතමින් තමයි මං, එක-එක්කෙනා ෂෙයාර් කරගෙන තියෙන; නිර්මාණය කරලා තියෙන (අයස්මන්ත
මහතා ගැන කියවෙන) posts කියෙව්වේ.
එතකොට තමයි මගේ හිත දොඩමලු වුණේ... ‘නිදි-
තමුසෙට මොකද හිතෙන්නේ ඔය එක එක්කෙනා එවල තියෙන comments කියවද්දී?’
මාර දේවල්නෙ ලියල තියෙන්නේ!
‘එව්වයෙන් හොඳම ඒවා එක තැනකට ගන්නවකො හලෝ! FB එකේ ලියැවෙන ඒවා නිකංම යට යනවයි
කියලනෙ තමුසෙ කියන්නෙත්.’
කාලයක් තිස්සේ ‘ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය’
ගැන මගේ හිතේ පැසවන ප්‍රශ්න කිහිපයකුත් ඒ comments අතරෙ තිබුණු නිසා මං හිතුවා ඒ
රාජකාරිය කරන්න.
හැබැයි මගේ හිතට වැදුණු කමෙන්ට්ස් තමයි මෙතැනට ගන්නෙ. එව්වා ලියල එවපු අයගෙ නම්
නැතුව...
![]() |
ඉදිරියටත් ඔබේ සේවය මිනිස්සුන්ට අවශ්‍ය වේවි! |
‘ඇයි සර් ඔහොම වැටෙන්නෙ. ඒක සර්ගෙ ගතිය නෙවෙයිනෙ. හැමදාමත් අපිට උපදෙස් දීපු සර් ඔහොම වෙනවද. මොනදේ උනත් හැම වෙලාවෙම අපි සර්ට හයියට ඉන්නවා. සර් වැටෙනවා දැක්කෙ එක දවසයි, හොඳටම උණ හැදිලත් නතර නොකර surgery list එක කරපු දවසෙ. සර් ගැනවත් හිතන්නෙ නැතිව උදේ 5,6 ඉඳන් 600ක් ආවත් ක්ලිනික් එක ඉවර වෙනකම් එකම එක කෑම කටක් කන්නෙ නැතිව දිගටම වැඩ කරන්න ශක්තිය තිබුනු සර්.
-කවුරු මොනවා කිවුවත් හැම
වෙලාවෙම සමන් දෙවියොත් සර්ව රකිනවා. සර් කියනවා වගේ, සර්ගෙ ආසම වචන
ටික ආයෙම මතක් කරන්නම් ‘වසන්තය එනවා සත්තයි සර්’. අපි සර් වෙනුවෙන් ඕනිම වෙලාවක ඉන්නවා. සතුටින් ඉන්න සර්.’
‘ආදරණීයම සර්,
මේ අපිට ලැබෙන කටුක දේවල් නිසා ඔබේ මනුස්සකම් නැති කරගන්නෙපා. නමුත් අපි නිහඬව ඉමු
ටිකක්. ලැබෙන උපකරණවලින් විතරක් වැඩ කරමු. බලන් ඉමු, අර වීඩියෝව දාගෙන
රටටම කෑ ගහපු මනුස්සයා දැන් අහිංසක රෝගින් වෙනුවෙන් රජයෙන් දේවල් ඉල්ලලා වීඩියෝවක්
දමාවිද කියලා.
-කිසිසේත්ම නැතිවේවි. මොකද අදාළ වීව්ස් ගන්න මිසක්, කොහෙද ඔවුන්ගේ
සමාජයීය හැබෑ පරහිතකාමී ක්‍රියාවන්.
ඔබගේ සේවය අමිලයි. කොන්දේසි විරහිතව මමත් ඔබ සමඟ සෞඛ්‍ය සේවයේ අප වෙනුවෙන් පෙනී
සිටින්නෙමි.’
‘මචං උඹගේ ලිපිය කියවද්දි උඹ ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා. උඹ එදා වෛද්‍ය විද්‍යාලයට ආවේ A-4 හතරක් අරගෙන ලංකාවේ පළමුවෙනි කීපදෙනා අතර ඉඳගෙන. අපේ ගෲප් එකේ හැම විටම උඹට විශේෂ තැනක් තිබුණා, ඒ වගේම නාට්‍ය නිර්මාණවලට දායක වූ හැටිත් මට මතකයි.
-ඉතින් අවුරුදු 28ක් තිස්සෙ විශාල කැප කිරීම් හරහා
රෝගීන්ට පෙනීම ලබා දෙන්න, රෝහල් දියුණු කරන්න ගත්ත මහන්සිය පිටුපස තිබෙන අභියෝග සහ
බාධා බොහොමයි. පිටරට ජීවත් වුණත් උඹගේ සේවය අගය කරන සහ කෘතඥ වන මිනිස්සු අතර උඹගේ ආදරබර
batch matesලත් ඉන්නවා කියලා
අමතක කරන්න එපා. ඉදිරියටත් ඔබේ සේවය මිනිස්සුන්ට අවශ්‍ය වේවි. ඒ සඳහා ශක්තිය ලැබේවා.’
![]() |
එතුමා සද්භාවයෙන් කරන ලද දෙයක ප්‍රතිඵලයක්... |
If you are doing community work / help make sure not to collect single cents from patients; they will curse you. If you wants to help them make sure get some donation and do free for everything. In my experience patients expect everything free as the government offers free treatment in hospitals. When patients starts to pay money for treatment for their illnesses they will expect a discount from you and they will pray for you. Please continue your good work but make sure not to collect money from Patients.’
‘එක එකාට පාලු ගෙයි වළන් බිඳින්න නොදී, සර් මේක ලියපු
එක වටිනවා.’
‘සර්, හම්බන්තොට අහිංසක මිනිස්සුන්ට සම්පතක්. ඇහැක් වගේ ඇහැ වටින මිනිස්සුන්ට සර් සම්පතක්... ලංකාවෙ කොතන රාජකාරි කලත් සර්වම හොයාගෙන එන ලෙඩ්ඩු බොහොමයක් එනව... ඒ සර් කරන්නෙ හොඳම දේ කියල දන්න නිසා.
-මගේ තාත්තාගෙ ඇස් දෙකම සර්ජරි කරේ සර්. කිසිම සංකූලතාවයක් උනේ නෑ. හොඳටම හොඳයි. සර් රත්නපුර ඉද්දි මං හම්බන්තොට ඉඳල රත්නපුරට තාත්තා එක්කරන් ආව. සර් දෙවි කෙනෙක්. සර්ගෙ staff එක eye ward එකේ සර් වගේම තමයි.
-දහස් සංඛ්‍යාත රෝගීන් වෙනුවෙන් එයාලත් මාර කැපවීමක් කරන්නෙ. තමන්ගෙ දරුපවුල්
හිතවතුන් අත් හැරල සර් එක්කම සේවයට කැප උන සංවේදී මනුස්සකම පිරුනු සේවක මන්ඩලයක් සර්ට
ඉන්නෙ. අර විදිහෙ මන්ද මානසික postවලට ඒ
සේවයෙ ගුණාත්මක භාවය නැති කරන්න බෑ.
නොදන්නා මිනිස්සු සමාජ මාධ්‍ය භාවිත කරන්න ගියාම, වඳුරට කන්නාඩිය
අහු උනා වගේ තමයි.’
ඔයාලා ඒ කියෙව්වේ මං තෝරාගත් commentsවලින් කොටහක්
විතරයි; තව තියෙනවා.
හැබැයි නමී උන්නැහැගේ blog පෝස්ටුව කියවලා
comments එවා තිබුණේ අයස්මන්ත මහතාව නාඳුනන පිරිසක්- ඒත් එයාලා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය
ක්ෂේත්රය ගැන ගොඩක් කරුණු දන්නා අය වගෙයි. ඒ දැනමුත්තන්ගෙ ප්‍රතිචාරවලිනුත් ටිකක්
මෙතනට උපුටා ගන්නවා. එහෙම කරන්නේ ඒවාවල හුඟාක් වැදගත් කරුණු අඩංගු නිසයි.
නිහඬපාල Nihandapala
අයස්මන්ත දොස්තර මහත්තයාට වෙලා තියනදේ එතුමා සද්භාවයෙන් කරන ලද දෙයක ප්‍රතිඵලයක් බව
පේනවා.
-මීට ඉස්සර ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍යතුමියට හෙණ ඉල්ලපු සමාජ මාධ්‍ය
ඇයව දැක්කේ ඖෂධ මාෆියාව එක්ක ඩීල් දාපු කෙනෙක් විදිහට. එතුමියව රිමාන්ඩ් කරලා පරීක්ෂණ
කරන්න තරම් අල්ලස් ලොක්කෝ උනන්දු වුනා. ඒකෙන් පස්සේ ඔය කියන local purchase ක්‍රමය
විතරක් නෙමෙයි ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයත් වැහුන.
![]() |
හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස... |
-හැබැයි එතුමා උදෑසන ‘බැන්ද ධජා සිරි ලක්දිව මන්දිර’ කියලා පාසලේ උසස්පෙළ ශිෂ්‍යයෙක්
වෙලා ගායනා කරනකොට මම කනිෂ්ට ගායන කණ්ඩායමේ ඉන්ඩ ඇති. එතුමා බ්ලොම් නේවාසිකාගාරයේ අවසන්
වසරට පාඩම් කරනකොට මම පලවෙනි දෙවැනි වසරවල ඉන්ඩ ඇති. එතුමා ගැන බොහොම දේ දැනගත්තේ නිදි
මාර්ගයෙන්.
D.G.M. බස්සා
හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
වහලා දාමු රෝහල්වල ශල්‍ය ඒකක ටික
නිවන් දකිත්වා අපගේ ජන නායක කැල
නමියගෙ වීදිය
නිහඬපාලතුමා ශල්‍ය වෛද්‍යතුමියක් ගැන කියද්දී මට ආයෙම මතක් වෙන්නෙ වඳ සාපෙ 😔😔. ෂාෆි දොස්තරට වෙච්ච සන්තෑසිය. මහපොළොව නුහුලන අපරාධ.
අන්තිමට මේවා සමාජේ ඉස්සරහට ගෙනා කවුරුවත් නෑ. ගුටි කාපු කෙනෙක් ඉන්නව. ගහපු කෙනෙක්
නෑ වගෙ තමා!
"නඩු නැති රටට මොට පායාද සූරියා"
නිහඬපාල
සාෆි දොස්තර මහත්තයට වෙච්ච දේ ගැන කණගාටුයි. ඒකට වගකියන්න ඕනේ රෝහලේ අධ්‍යක්ෂක වෙච්ච
වීරබංඩාර. මේ වගේ පැමිණිලි ආපුවහම ආයතන මට්ටමින් පරීක්ෂණ කරන්නේ නැතුව සමාජ මාධ්‍යයෙන්
දඬුවම් කීරීම නිසා ගින්නක් ඇතිවෙන්න පුළුවනි. ඔය චෝදනාවම කිසිම විටක ඔප්පු කරන්න පුළුවන්
එකක් නෙමෙයි.
-සැත්කමක් අතරතුර පැලෝපීය නාලය තදින් artery frocep එකකින් තද කරනවා.
එහෙම සිංහල මව්වරු වඳ කරනවා කියලා කිව්වට කිසිම විටක විද්‍යාත්මකව ඔප්පු කරගන්න බැරි
චෝදනාවක්. අනවශ්‍ය දෙයක්. මට හිතෙන්නේ අධ්‍යක්ෂක සමග තිබුන පෞද්ගලික ප්‍රශ්න නිසා මාධ්‍ය
සහ දේශපාලන සම්බන්ධතා උඩ ඇතිවුන කුලප්පුවක්.
-නමුත් ඔහුට තවත් චෝදනාවක් තිබුනා. ඒක මුල්‍ය අපරාධ පිළිබඳව. වෛද්‍ය ෂාෆිට 2019දී රුපියල් මිලියන 40ක් පමණ වටිනා වත්කම් සැකකටයුතු ලෙස උපයාගත් බවට චෝදනා එල්ල වුණා.
-පාස්කු කොමිසම හමුවේ හිටපු පොලිස් නිලධාරියකු සාෆිගේ
බැංකු ගිණුමකට රුපියල් මිලියන 40ක් බැරවී තිබූ බවත්, මුදල් මූලාශ්‍රය
සොයාගැනීමට නොහැකි වූ බවත් සාක්ෂි දුන්නා. එම මුදල් ත්‍රස්ත සංවිධානයකින් ලැබුණු බවට
සැකයක් ද ඉදිරිපත් වුණා.
![]() |
කුමන රටකින් ආවත් ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ලංකාවේ වෙළෙඳපොළට ඇතුළු නොවන
බවට සහතිකයක්... |
මයියා
//දැන් දවස ගානෙ වෙනස් වෙන brand එකක්
නිසා, safety සහ efficacy ඉතිහාස
සැක සහිත බෙහෙත් නිසා සදහටම අන්ධ උනොත්...... ඒත් අර ‘වැරැද්ද’ කරන්න එපාලු. ජාතික
රෝහලේ වගේ සිය ගනන් අන්ධ උනොත් ඒ වැරැද්ද හරි ගස්සන්න බෑ. මම මොකද්ද ඉදිරියට කල යුත්තේ?//
-මේ ආණ්ඩුව ඉන්දියාවත් එක්ක ඇතිකරගත්ත ගිවිසුම් අතර
මගේ අවධානයට ලක්වෙන ප්‍රධාන කාරණයක් තමයි ඖෂධ ප්රමිතීන් සම්බන්ධ ගිවිසුම.
-ඉන්දියානු ඖෂධ ප්රමිතීන් පිළිගැනීමෙන් අඩු මිලට
ඖෂධ ලබාගන්න පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මෙතන තියෙන ප්රශ්නය තමයි ඒ ඖෂධවල ගුණාත්මකභාවය
සහ ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද කියන එක.
-ඉන්දියාවෙන් එන හැම බෙහෙතක්ම බාලයි කියලා මම කියන්නේ
නැහැ. හැබැයි කුමන රටකින් ආවත් ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ලංකාවේ වෙළෙඳපොළට ඇතුළු නොවන
බවට සහතිකයක් තියෙන්න ඕනෑ. ඒ සඳහා ස්වාධීන පරීක්ෂණ සහ දැඩි නියාමනයක් අවශ්‍යයි.
-මට මෙතන තියෙන ලොකුම බය මේ තීරණ කලාපීය බල දේශපාලනයත්
එක්ක ගැටගැහෙන එකයි. එහෙම වුණොත් අනාගතයේ වෙනත් ආණ්ඩුවකට වුණත් මේ තීරණ නැවත සලකා බලන්න
දේශපාලනික පීඩනයක් ඇතිවෙන්න පුළුවන්.
-ඒ නිසා ආණ්ඩුව ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ මේ ගිවිසුම්වලින්
ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ ස්වාධීනත්වයට සහ ඖෂධ පරීක්ෂා කිරීමේ බලයට කිසිම බාධාවක්
නොවන බව.
-මොකද මේක නිකම්ම ඉන්දියාවත් එක්ක කරන වෙළෙඳ ගනුදෙනුවක්
නෙමෙයි. මේ තීරණවල අවසාන ප්‍රතිඵලය බලපාන්නේ මිනිස්සුන්ගේ ජීවිතවලට.’
ඉතිරි හරිය දෙවෙනි post එකෙන් කියවමු නේද...







අනේ පව් කියලත් හිතුනා... ඔහොම තමා ලෝකේ හැටි අර කතාවකුත් තියෙන්නේ පල ඇති රුකටයි මිනිස්සු ගල් ගහන්නේ කියලා.
ReplyDeleteඒ කතාව මෙතනටත් වංගු වෙනවා කියලා තමා මට හිතෙන්නේ.
ඔව් ලියෝනි, ඒත් එහෙම දේවල්වලින් වැඩ කරන අය වැටෙනවනේ, ටිකකට හරි...
Deleteමම අයස්මන්ත මහත්තයාව දන්නෙ නෑ. නිදි ලියපු දේවල් වලින් තමයි දන්නෙ. පේන විදිහට, සුපුරුදු චැනල් මාපිල්ලු, වෛද්‍ය මාෆියාවය වඩා වෙනස්, එක්ස්ට්‍රා මයිල් එක යන වෛද්‍යවරයෙක්.
ReplyDeleteමට නොතේරෙන කොටස මේකයි:
අයස්මන්ත මහත්තයට බාධා කරන්නෙ කවුද? එහෙම කරන්නෙ ඇයි? පොලිටිකල් බලල් අතක් තියනවද? අපිට නොකියන, කතාවෙ කොටසක් තියනවද?🤔
අපි මොන පණ්ඩිත comment ලිව්වත් මටත් තියෙන්නේ බස්සා මහත්මයට තියන ප්රශ්නය.//මට නොතේරෙන කොටස මේකයි:
Deleteඅයස්මන්ත මහත්තයට බාධා කරන්නෙ කවුද? එහෙම කරන්නෙ ඇයි? පොලිටිකල් බලල් අතක් තියනවද? අපිට නොකියන, කතාවෙ කොටසක් තියනවද?🤔// ඊළඟ කොටෙසෙන් කියයි නේද ?
ඒත් ලංකාවෙ "නිදහස" ගැන දන්න නිසා, මෙහෙමත් කියන්න හිතුවා:
Deleteඔක්කොම කතාව කියන්න බැරි නම්, ඒක ඒ හැටිය අවුලකුත් නෑ. කියන්න බැරි හේතු තියෙන්නත් හැකි බව මම පිලිගන්නවා. ඉහල නිළධාරි බියුරෝක්‍රසිය එක්ක කෙලින්ම හැප්පෙන එක, වෘතීය "සිය දිවි නසා ගැනීමක්" වගේ වෙන්නත් ඇහැකි.
කොහොමත් බ්ලොග් එකක් කියන්නෙ ගෲප් තෙරපි එකක් වගේ තැනක්. ඔබෙ දුක අපෙත් දුකයි, ඔබ බයින එකාට අපිත් බයිනවා. ඒ සපෝට් එකේ අඩුවක් නෑ. අපි රෙඩි, දෙමු බැස්ටිය.
බස්සා මහතාණෙනි, නිහඬපාල මහතාණෙනි,
Deleteඔයාලා දෙන්නාගේ commentsවලම ඔබතුමන්ලා අහන ප්‍රශ්නයට උත්තර තියෙනවා.
කව්ද කැමැති වෘත්තීය දිවි නසා ගැනීමකට?
දේශපාලනික බළල් අත් නැත්තේ කොහේද? ...
... මේ ප්රශ්නය ගැන ලියන්න මම කල් ගත්තෙත් ඒකයි. අත් දෙක බැඳලා වතුරකට දැම්මම පීනන්න පුළුවනැයි...
Deleteඑහෙම ලතවෙවී ඉන්නකොට තමයි දැක්කේ 'මට කියන්න ඕනි කරුණු' එක එක්කෙනා එයාලගෙ commentsවලින් ටික ටික හරි කියලා තියෙන බව. ඉතිං මම ඒවා උදව්වට ගත්තා - බළලුන් ලවා කොස් ඇට බාවන්නෙක් විදිහට...
ඊළඟ කොටසකට යන්නෙත් තව කියන්න දේවල් බොහොම නිසා...
බස්සා, නිහඬපාල මහත්වරුන් දෙන්නාට වගේම තව අයටත් මේ තත්ත්වය තේරුම් ගන්න ඇහැකි විත්තිය මට විශ්වාසයි!
Deleteනොසැලී ඉන්න කීවත් අවංකව සේවයක් කරන කෙනාට බොරු චෝදනාවක් ආවොත් දරාගන්න අපහසුයි.
ReplyDeleteඔව් Litseeker, එහෙම අභූත චෝදනා එද්දී හිතේ හැටියට උත්තර දෙන්නත් ඉඩ නැත්තං...
Delete++++++++++++++++++++++++මගේ මවගේ එක ඇහැක් අන්ධ කලේ කැටරක්ට් කියන ඔපරේෂන් එක කල ඇස් රෝහලේ වෛද්‍යවරයෙකි
ReplyDeleteඅනේ...
Deleteඅජිත් ධර්ම මහත්තයෝ, අයස්මන්ත මහතා කැටරක්ට් සැත්කම් තමයි 70,000කට වැඩියෙන් කරලා තියෙන්නේ.
ෆේස් බුක්, යූ ටියුබ් වගේ මාධ්‍ය හරහා මිනිසුන්ට පහර ගහන්නේ ඊරිසියාව හෝ සමාජ වෛරය නිසා කියලයි මට හිතෙන්නේ. ඒ වගේම රීච් හිඟන්නොත් ඔය වැඩේ කරනවා. කවුරු කලත්,
ReplyDeleteමහනෙල් සුවඳමය,
කුඩමසු පිලී ගඳමය,
දෙකට එක දියමය,
හොඳට නරකට දෙකට මාධ්‍යය
සහකම්පන ප්‍රතිචාරය ගැන ගොඩක් ස්තුතියි Sam මහත්තයෝ.
Deleteගොඩ කාලෙකින් නේද?
හොල්මන් කතාවක් නෙමෙයි, ඒත් කියෙව්වාම කියෝපු එකාව හොල්මන් වෙන කතාවක්. ඒත් කියවන්න වටිනවා:
ReplyDeletehttps://kurundha.blogspot.com/2017/08/blog-post.html
පරණ සෙන්නා ස්ටැයිල් කතාවක්. ගිහින් කියවල මක්කා හරි ලියපල්ලා. නැත්නම් ආයෙ අමාරුවෙන් ලියන්න හදන එවුන්ට ඒකත් එපා වෙනවා.
සුරංගයත් ලියලා:
https://yanhella.blogspot.com/2026/11/blog-post.html
ඔය දෙපලටම ගිහිං කියවල බලලා, කවි දෙකකුත් ලියලම ආවා. ඔත්තුවලට තොත්තු දෙකක් මෙන්න, බකුසුතුමෝ.
Deleteඉතාම හොඳ, සාධාරණ මිනිස්සුන්ට පවා නොයෙක් නින්දා අපහාසවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක ලෝක ස්වභාවයක්. බුදු දහමේ අටලෝ දහමෙනුත් කියන්නේ ඒකනේ.
ReplyDeleteසුභාෂිතයේත් කියනවා, “විපුල ගුණැති මහතුන් හට පත් විපත – නිසල නැණින් යුතු උතුමෝ ම දුරලත” කියලා.
හැබැයි මට පෙනෙන විදිහට අද මේ තත්ත්වය තවත් වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුවට සහාය දක්වන ඇතැම් පිරිස් අතර විරුද්ධ මත ඉවසන්න බැරි ස්වභාවයක් සහ අනවශ්‍ය වෛරී ප්‍රතිචාර දකින්න ලැබෙනවා.
විරුද්ධ මත ඉවසන්න බැරි ස්වභාවයක් සහ අනවශ්‍ය වෛරී ප්‍රතිචාර...
Deleteමෝඩකමට බෙහෙත් නෑනෙ මයියා මහත්තයෝ...
“විෂ්ණු දෙවියොත් බටකොළ කෑවා” කියලා අපේ පැරණි කියමනක් තියෙනවානේ. ඉතින් කොච්චර හොඳ, සාධාරණ මනුස්සයෙක් වුණත් නරක කාලයක් ආවම නින්දා අපහාසවලට මුහුණ දෙන්න වෙනවා. ඒත් ඒ අපහාසවලින් ඒ මනුස්සයාගේ වටිනාකම අඩු වෙන්නේ නැහැ.
ReplyDeleteනපුරු කලට සතහට පැමිණෙති වෙහෙස
වදුරු නොවෙයි කළ පව් පල දෙවා මිස
තැවුරු වනය මුකුලිත වන බව සවස
කවුරු විසින් වැළකිය හැකි මෙදිය කුස
ඔයාගේ අදහසට නම් මමත් එකඟයි.
Deleteහැබැයි රජෝ කවිය නං මං අහල තිබුණේ මෙහෙමයි.
නපුරු කලට සතහට පැමිණෙන වෙහෙස
එදුරු නොවෙයි කළ පව් පල දෙවා මිස
තඹුරු වනය මුකුලිත වන බව සවස
කවුරු විසින් වැළකිය හැකි මෙදිය කුස (සුභාෂිතය)
කියෙව්ව. නිදාස් වෙලාවක කොමෙන්ට් කරන්න ආයෙම එඥ්ඤං 🤗
ReplyDelete