“මල්ලා, ඔයා දන්නවද... මම මේ මැගසින්ස් ගත්තේ හෝමෝසෙක්ෂුවල් යාළුවෙකුට... I am having an affair with him!” මම එක එල්ලේම කියාගෙන ගියා.
ස්ටියරින් වීල් එක හසුරවමින්, පාර දිහාවට අවධානය යොමු කරගෙන හිටි මල්ලියා මගේ කීමට
ප්‍රතිචාර දැක්වුවෙත් එක වචනෙකින්. මගේ
පැත්තටවත් නොහැරී...
![]() |
ගැරහුම් ගලිවරයෙකු ඉදිරිපිට තනි වුණු ලිලිපුට්ටෙකු වගේ ඇඹරෙන්න... |
ඒක තනි වචනයක් වුණාට ඒ තනි වචනයෙන් දාහක් දේවල්
කියැවුණා. ඒකේ tone එක හරියට ‘ඉතිං ඉතිං’ කියන්නා වගෙයි. ඒත් මං ඒ වෙලාවේ මොකුත්ම නොකියා
නිහඬතාවටම දොඩමළු වෙන්න ඉඩ දුන්නා.
දන්නවනේ... නිහඬතාව සමහර වෙලාවට ගොඩාරියක් කතා කරන විත්තිය.
නොකඩවා ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය රසික
රසිකාවියන්ගෙන් පසුගිය කොටසට comments කිහිපයක්ම ලැබිලත් තිබුණා ‘දීපාල්’ගෙන්
කියැවුණු තනි වචනෙ ප්‍රකාශය ගැන කුහුලෙන්!
දන්නවද? බඩා මල්ලා ඒ දවස්වල කාගෙ හරි කතන්දරයකට හූමිටි තියනකොට ‘ආහා’ කියන්නයි
පුරුදු වෙලා හිටියෙ.
(ඒකටත් එක්ක දැන්! එතන ඉඳලම ඒ යක්ෂ පැටියා කතාව එයාගේ සන්තකේට
අරගන්නවා, හුස්මක් ගන්නවත් නවත්තන්නේ නෑ. මිනිහට තිත්, කොමා, විරාම අමතක වෙලා
ගිහිං කියලයි සමහරුන් කියන්නේ. අද ඉන්න වැඩි දෙනෙකුත් එහෙම වගේ නිසා මට නං ඒ ගතිය ඉවසලා
පුරුදුයි.)
ඉතිං, මල්ලියා අරහෙම තනි වචනයකින් උත්තරයක්
දුන්න වුණත් එයා එහෙම කළේ අහිතකින් නොවෙන විත්තිය තේරුම් ගියාම මට උපන්නේ ලොකු
සතුටක්. ‘සමලිංගිකයෙකු වීම ලෝකයට හෙළි වුණු දවසට මට වෙන්නේ ගැරහුම් ගලිවරයෙකු ඉදිරිපිට
තනි වුණු ලිලිපුට්ටෙකු වගේ ඇඹරෙන්න තමයි!’ කියලයි මං උපකල්පනය කරලා තිබ්බේ. ඒ
හිතුවිල්ල වැරදියිනෙ බොලේ!
‘ලෝකෙම තමුසෙට එරෙහිව ආවත් මොකෝ නිමලෝ? අඩුම
තරමින් දැන් තමුසෙගෙ නංගියෙකුයි මල්ලියෙකුයිවත් තමුසෙගෙ පැත්තට ඉන්නවා නේද... ඒක කොච්චර
එකක්ද?’ මගේ සැනසිලිදායක හිතුවිල්ලට බාධා කෙරුණේ දීපාල්ගේ ප්‍රශ්නයකින්.
“ලොකූ... මේක ඔයාගේ ප්‍රයිවට් life එක... Why
me? මම අහන්නේ ඇයි ඔයා මාව මෙච්චරකට trust කරලා මට මේක කිව්වේ..” මල්ලියා ඒ ප්‍රශ්නය
ඇහුවේ පැටලි පැටලී.
“ඔයාට විතරක් නෙවෙයි D. මම Samටත් මේක කිව්වා.
මොකද දන්නවද... ඔයාල හැමෝම මට ගොඩක් respect කරනවා. ඕනෑවටත් වඩා... I don’t
deserve that much respect. ඔයාල එහෙම කරනකොට මට දැනෙන්නේ ගිල්ටි ෆීලින් එකක්...”
ඔන්න එතකොට නං දීපාල් වචන ගොඩාරියකින්- දිගම
දිග කතන්දරයක් කිව්වා.
මගෙන් එයාලටත්, අපේ පවුලටත් කෙරුණු මෙහෙවර; තියෙන
කැපවීම වගේ දේවල් ගැන එයා කිව්වා. “ඔයා මොන විදිහේ කෙනෙක් වුණත් අපි ඔයාට ගරු කරන්නේ ඒකයි
ලොකූ. Blessed to have a brother like
you!”
![]() |
පිලිපීන ජාතික යුවතියක හා විවාහ වුණු දීපාල් පුතුන් දෙදෙනෙකුගේ තාත්තෙක්
වුණා. එයින් එක පුතෙකුගේ නම නිමල් බෙන් ටොමැල්ඩන් දිසානායකය. |
“ලොකූ, මෙහෙ වුණත් හෝමෝසෙක්ෂුවල් අය දිහා ඇදේට
බලන අය තවම ඉන්නවා. ඔයා දන්නවනේ- ලංකාවේ තත්ත්වේ ගොඩක් නරක බව. ඒ හින්දා ඔයාගේ
සෙක්ෂුවල් අයිඩෙන්ටිටි එක තව කෙනෙකුට කියන්න කලින් පොඩ්ඩක් හිතල බලන්න වෙයි නේද?”
“ඒක නං එහෙම තමයි මල්ලා... අනෙක, ඔයාටයි සමන්තිටයි මේ ගැන කිව්වට අපේ ගෙදර වෙන
කාටවත් මේක කියන්න අදහසක් දැනට නං මට නෑ.”
(ඒත් ඔය කාරණය මං අපේ ලොකු මල්ලී සුනිල්ටත්
කිව්වා. හැබැයි, එහෙම කළේ ඒ ඊට අවුරුදු දහයකට විතර පස්සේ.)
“That’s good... ලොකා දන්නවද? මගේ හිතේ තිබුණු
ලොකු බරක් අද නැති වුණා- ඔයාගේ කතාව ඇහුවට පස්සෙ. අපේ ගෙදර ගොඩක් අය හිතාගෙන ඉන්නේ
ඔයා මැරි කරන්නේ නැතිව හිටියෙ අපි වෙනුවෙන් ඩිවෝට් වෙච්චි නිසා කියලයි. දැන්
තේරෙනවා... You are not interested in getting married... ඒක ඔයාගේ චොයිස් එකනේ...
හැබැයි ලොකූ, මේකත් මතක තියා ගන්න... මේ conversation එක නිසා මගේ හිතේ ඔයා ගැන තිබිච්ච
respect එක නං බිංදුවකින්වත් අඩු වුණේ නෑ!”
(ඒකත් හැබෑය. ඊට අවුරුදු කිහිපයකට පස්සේ පිලිපීන ජාතික යුවතියක හා විවාහ වුණු දීපාල්
පුතුන් දෙදෙනෙකුගේ තාත්තෙක් වුණා. එයින් එක පුතෙකුගේ නම නිමල් බෙන් ටොමැල්ඩන්
දිසානායකය.)
“කවුද නිමල්, ඊයේ දවල් උඹව pick කරන්න මෙහාට ආව
හැන්ඩ්සම් හාදයා?”
පහුවදා උදේ ‘ගුඩ් මෝනින්!’ කියපු ගමන්ම බන්ටි මගෙන් ඇහුවා. එයා ඒ ප්‍රශ්නේ අහන්න ඉවසිල්ලක්
නැතුව උන්න වගෙයි. “ඇයි බන්ටි, ඔයා එයාව අඳුරනවද? ඒ අපේ බාලම මල්ලී දීපාල්.”
“සොරි නිමල්. මම හිතුවේ ඒ උඹේ යාළුවෙක් කියලා...”
ලංකාවේදී වගේ නං එහෙම කීමකට මං වහන්සේ දෙන්නේ
කැත්තට පොල්ල වගේ උත්තරයක්. ‘කවුරු වුණාම මොකෝ?’ / ‘පොතක් අරං ආවොත්- විස්තර
ඔක්කොම ලියල දෙන්නං.’ වගේ. ඒත් ඉතිං ඉංග්‍රීසියෙන් එහෙම උත්තරයක් ඉක්මනට ගැට ගහගන්නයැ?
‘Mind your own business’ කියන එක නං මතකෙට ආවා. ඒත් ඒක දරුණු වැඩියි වගෙනෙ.
![]() |
ඒ මොහොතේ මගේ ඇස්දෙක හොරෙන්ම ගියේ... |
“අර මොකටද?”
“ඇයි- මං උඹලගෙ ගෙදරට එනවට කැමැති නැද්ද? යාළුකමටනෙ හලෝ එන්න ඇහුවේ... හරි! මම
ඔයාලගෙ ගෙදරට එනවටනේ අකැමැති... ඊට කලින් උඹ වරෙංකො එහෙනං අපේ ගෙදර...”
“බලමුකො...” කියාගෙන මං ස්ත්‍රික්කය අතට ගත්තා.
“මොනවද බලන්නේ? ඕකට නැකතක් ඕනිද? අද හවසම වුණත් කමක් නෑ... එච්චර දුරකුත් නැහැනේ...
යමු! ඇත්තටම අද හවස එහෙ යමුද නිමල්...” කියමිනුයි බන්ටි එයාගේ අයන් එක අතට ගත්තේ.
ඒ මොහොතේ මගේ ඇස්දෙක හොරෙන්ම ගියේ ප්‍රසාද්
ඉන්න ඉසව්වට... ඒ විත්තිය දැක්ක ගමන් මිනිහා අපේ දිහාවට දික් කරවල තිබුණු එයාගේ රබර්
ඇස්දෙක ආපහු අකුලා ගත්තා.
එතකොටත් මං දැනගෙන හිටියා- බන්ටිලගේ ගෙවල්
තියෙන්නෙ අපේ ගාමන්ට් එක කිට්ටුවම බව. දවල් කෑම පැය බාගයේදී එයා ගෙදර ගිහින් කාලත්
එන්නනෙ පුරුදු වෙලා උන්නේ.
ඇයි දන්නෑ මාව එයාලගෙ ගෙදරට එක්කගෙන යන්න බන්ටිට
හිතුණෙ? එදා තේ විවේකය වෙනකල්ම මගේ හිතේ වැඩ කළේ ඒ ප්‍රශ්නයයි.
‘හතලිහේදී 27 වෙනි කොටස’ ලියනකොට
මං කිව්වා බන්ටි මං කැමැති type එකේ කෙනෙකු නොවන බව.
ඒකට Lotus රසිකාව මෙහෙම comment එකක් එවා තිබුණා.
"අනෙක තමා body shape එක අනුව බැලුව
වුණත් බන්ටි මගේ හිත කාමුකව ඇදගන්න type එකේ හාදයෙකු
නොවෙච්ච එක".
අනිත් කෙනාගෙ confidence,
intelligence වගේ දේටත් අපි attract වෙන නිසා
body shape එක අදාළ
නොවෙන අවස්තා ඕනෙ තරම් ඇති. ඒ වගේම සාමාන්‍ය සම්මත ලස්සනක් හෝ physique එකක්
නැති වුණත්, බලන විදිහ, හිනා
වෙන විදිහ ආකර්ශණීය අය කොච්චර ඉන්නවද.”
මං ඇයට පිළිතුරු ලිව්වේ වචන තුනකින්. “තව ඉස්සරහට
කියවන්නකෝ...”
එහෙම ලිව්වේ බන්ටි සම්බන්ධයෙන් Lotusගෙ කීම
හැබෑ වුණු විත්තිය ඉක්මනින්ම මගේ අතින් ලියැවෙන බව දැනගෙන උන්නු හින්දයි. පසුගිය කොටසේ මං මෙහෙම
ලියලා තිබ්බ ඔයාලට මතක ඇති.
‘... මං වගේ චපලකම ඉහවහා ගිය උදවිය
කැමතියි වෙන්නැති මේ ක්‍රමයට. තමන්ගේ සහකරුවා හරි සහකාරිය ඉරිසියාවෙන් පෙළෙනවා
දකින්නට... විශේෂයෙන්ම තවත් තරගකාරී ලෙස දැනෙන කෙනෙකු ගැන ඊර්ෂ්‍යා පරවශ වෙනවට...
ඇත්තමයි, ඒ දවස්වල මගේ
හිත වැඩ කළේ එහෙම. බන්ටි මට සමීප වෙලාය කියලා ප්‍රසාද් කේන්ති ගන්න විත්තිය
පෙනුණාම, මං
එයාට තව ටිකක් ගැඹුර දුන්නා; ඕනෑකමින්ම ප්‍රසාද්ව ඇවිස්සෙන
විදිහේ දේවල් වැඩියෙන් කළා.
![]() |
හද්ද වනන්තරේ පලවැල විතරක් කමින් ජීවිතේ ගැට ගහගෙන තපස් රැකපු
සීලවන්ත උත්තමයනුත් ලියතඹරා මල් දැකල සිල් බිඳ ගත්තයි කියලා ඔය කතන්දරවල තියෙන්නේ! |
පව් ප්‍රසාද්. එහෙම වෙලාවට එයා කළේ පුප්පන එක.
ඒක දකිනකොට මගේ සන්තෝසය තවත් ලියලව්වා. ඒත්... (හාව-භාව ලීලා තියෙන) මං එහෙම කරන-
කරන තරමට බන්ටිත් අවුල් වෙන්න ඉඩ තියෙනවය කියන කාරණය මට නොහිතුණු හැටි.’
හද්ද වනන්තරේ පලවැල විතරක් කමින් ජීවිතේ ගැට
ගහගෙන තපස් රැකපු සීලවන්ත උත්තමයනුත් ලියතඹරා මල් දැකල සිල් බිඳ ගත්තයි කියලා ඔය
කතන්දරවල තියෙන්නේ...
එහෙව් එකේ ප්‍රසාද්ව අවුස්සන්න මං කරපු තායම් මායම් හිංදා
බන්ටිත් අවුල් වෙලාවත්ද?
අනෙක එංගලන්තෙ සැප කෑම දිගටම කනකොට තෙල මෝරනව නෙව. ඊටත් ගොඩක් ඉන්දියන් අය ගිතෙල්
එහෙමත් යහමින් දාලනෙ උයන්නේ. මං හිතන්නෙ ගිතෙලුත් වාජීකරණ බෙහෙතක් වගෙයි.
‘වැල් පෙනෙල ශාඛා - ගිතෙලින් මලවලා කා
අඹු නොතකන එකා - සියක් අඹුවන් තකයි ඒකා’ කියලත් කියන්නේ නිකංම වෙන්න බැහැනෙ. ඔව්
ඔව්! ආයෙ දෙකක් නෑ. ‘බන්ටිගෙත් ටැංකිය පිරිලා වෙන්නැති!’ හුඟක් දේවල් ලිංගිකත්වය එක්ක
ඈඳාගන්න හුරු වෙලා උන්නු මං හිතා ගත්තා.
බන්ටිගෙ ටැංකිය කොහොම වෙතත් ඒ දවස්වල නිමල්
දිසානායකයාගෙ නං ටැංකිය පිරිලා තිබුණ වගෙයි. ඒකම තවත් විදිහකට; වල් වලත්ත විදිහට
කියනවා නං නිදි උන්නේ ‘පොරසෝකෙන්’.
ඒත් එදා හවස මං බන්ටිලගේ ගෙදර ගියේ නෑ. එහෙම නොයැවුණේ මගේ මහන්තත්තකම පෙන්නන්න ඕනි
නිසා විතරක් නොවෙයි. ප්‍රසාදුත් නිසා. ඒ වෙනකොට ප්‍රසාද් පුරුදු වෙලා හිටියෙ හැන්දෑවට
මගෙත් එක්ක bus stop එකට යනකල් එන්න.
“ඔයා දන්නවද ප්‍රසාද්? බන්ටි මට invite කළානෙ
එයාලගෙ ගෙදරට ඇවිත් යන්න කියලා...” එදා හවස බස් නැවතුමට යන අතරේ මං කිව්වා.
“ඒ මොකටද?”
“ඒක නං කිව්වේ නෑ... ඒත් මම කැමති ඕනිම දවසක එන්නයි කියල කීවේ...” ඒ ටික ඇහෙනකොටත්
ප්‍රසාද් යක්ෂාරූඪ වෙමින් හිටිය හැටි පෙනුණා. ඒ නිසා මාත් ඊට එහා ඒ විස්තර කියන්න
හැදුවෙ නෑ.
“බාස්ටඩ් මදර් xකර්... ඌ ඌ ඌට...”
“චී චී ප්‍රසාද්... ඒකට මොකටද ඔයා ඔච්චර කේන්ති ගන්නේ? ඒ මදිවට කුණුහරුපත්
කියාගෙන...”
“කියාගෙන? කියාගෙන නෙවෙයි... ඉන්දියාවේ වගේ නං මං ඒ බ්‍රාහ්මින් xකයට කරලම
පෙන්නනවා... මොන? මෙහෙදී අපේ අතපය බැඳලනෙ තියෙන්නේ. රණ්ඩු කරල පොලිසියට අහුවෙන්නයැ...
ආපහු ඉන්දියාවටම යවයි...”
![]() |
අනෙක් මිනිසුන්ගේ ඕපාදූප විස්තර හොයන Nosey Parkerලා මෙහෙ විතරක්
නොඉඳීවියැ? |
ප්‍රසාද් ඒකට උත්තර දුන්නෑ. තොල් පට විකාගෙන හිටියා
විතරයි.
“නිමල් බ්‍රදර්, උඹවත් දන්නවද ප්‍රසාදුයි
බන්ටියි දෙන්නා තරහ වෙලා ඉන්නේ ඇයි කියලා.” දවස් දෙක තුනකට පස්සේ දවසක මාව තනියෙන්
අල්ලා ගත්ත බල්නූර් අහපි!
“ඒ දෙන්නා ඉන්නේ තරහ වෙලාද?” මං බබා part එකෙන් ඇහුවා.
“තරහ වෙලාද කියල නං මාත් හරියටම දන්නෑ නිමල් බ්‍රදර්. ඒත් උන් දෙන්න මූණට මූණ බලන්නෑ;
එක වචනයක්වත් කතා කරන්නෙත් නෑ... අපේ ෆැක්ටරියේ ගොඩ දෙනෙක් දන්නවා ඒ ගැන. පුදුමයි
උඹට ඒ ගැන notice නොවුණු එක. ඒ දෙන්නම උඹත් එක්ක ගොඩක් යාළුයිනෙ.”
කොයි ලෝකේ උන්නත් මිනිස්සු කියන්නේ මිනිස්සුමනෙ.
අනෙක් මිනිසුන්ගේ ඕපාදූප විස්තර හොයන; අනුන්ගෙ හැම මඟුලකටම හොස්ස පොවන Nosey
Parkerලා මෙහෙ විතරක් නොඉඳීවියැ?
ඒත් මං දැන් බල්නූර්ට මොකක්ද කියන්නේ...
“බල්නූර්, අපි හැමෝටම හැම කෙනාවම දිරවන්නේ නැහැනෙ... මට පෙනෙන විදිහට මෙතනත් එහෙම
දෙයක් තමයි වෙලා තියෙන්නේ... අනෙක ඉතිං බන්ටි ඉන්නෙත් එක විදිහකටනේ... චුට්ටං
ආඩම්බරයකින්...”
එහෙම කිව්වම බල්නූර් නං සෑහීමට පත් වුණා වගෙයි.
ඒත් මගේම යටි හිත...
‘මොට්ට මී හරකා. පේනවා නේද උඹේ තකතිරු වැඩ හින්දා වෙලා තියෙන දේ. උඹේ පාඩුවේ කරන මඟුලක්
කර ගනිං යක්ෂයෝ- අනෙක් මිනිස්සු ගැනත් හිතලා. අර මැටි මෝල් වහන්සේ මොකක් හරි
රණ්ඩුවක් ඇද ගත්තොත් උඹේ පැටිකිරියත් නිකංම එළියට ඇදෙයි. එතකොට නං පුතෝ, තමුසෙගෙ
සායමත් හේදිලා තමයි නවතින්නේ...’
හරි, හරි. මීට පස්සේ මං පරෙස්සම් වෙන්නංකො!
ග්‍රහ මාරුවක් සිද්ද වෙච්චි කාලයක්ද මංදා ඒ.
වෙච්ච අලකලංචි ඒ තරං!
ඒ දවස්වලම අපිට ලොකු ඇඳුම් order එකක් ඇවිත්ය කියල ආරංචි වුණා. මිස්ටර් අහීර්ම අපට කිව්වා නිවාඩු නං ගන්න හිතන්නවත් එපා කියල. පුළුවන් උපරිම ස්පීඩ් එකෙන් වැඩ කරන්න ඕනියි කියලත් කිව්වා.
“මේ අවුරුද්දේ නත්තලට
වුණත් ෆැක්ටරිය දවස් ගණනක් වහන්න වෙන්නෑ... දවස් දෙකක් විතරයි... අපේ ක්‍රිස්මස් පාටිය
25 වෙනිදා උදේ වරුවේ...” ඒ ටික නිවේදනය කරලා, එයා office එකට ගියේ බල්නූර්වයි,
සමීරාවයි දෙන්නාවත් කැන්දාගෙන...
ඉතිරි හරිය ඉතා ඉක්මනින්...





No comments:
Post a Comment