හිමන්‍යා සියැසි කියන්නෙ චූටි දැරියක්. අවුරුදු හත වේගෙන එන්නේ. එයා මටත් හරිම ආදරෙයි. කොච්චර ආදරේද කියනවා නං අබුඩාබියට ප්ලේන් එකෙන් යද්දිත් කෙල්ලට මාව මතක් වෙලා- මාව චිත්රයකටත් නඟලා. මේං තියෙනව ඒ චිත්තරෙත්...
![]() |
හිමන්‍යා සියැසි මිණිබිරී
ගුවනෙදී ඇන්ද ලොකු සීයගෙ සිත්තම |
හැබැයි, මේ
පොඩි බඩ්ඩව එක විදිහකට, එක තැනක තියාගන්න ක්‍රම ගොඩාරියකුත් හිමාගෙ අම්මා රෝසියි,
ආච්චි මානෙලුයි දෙන්නා හොයාගෙන තියෙනවා. පළමුවෙනි ක්‍රමේ මොබයිල් ෆෝන් එකෙන් සිංදුවක්,
නැටුමක් වගේ දෙයක් අරගෙන පෙන්නන එක. දෙවෙනි එක තමයි මොකක් හරි ජිග්සෝ ප්‍රහේලිකාවක්
හදන්න දෙන එක. එහෙමත් නැත්තං චිත්‍රයක් අඳින්න ඕනි කරන ආම්පන්න ටික කෙල්ලගෙ අතට
දෙන එක! ඔය කිව්වේ අර ක්‍රමවලින් ටිකක්...
හැබැයි,
එයාලා අර පළමුවෙනි ක්‍රමේ පාවිච්චියට ගන්නේ බොහොම අඩුවෙන්.
“අනේ
මංදා ලොකු මාමේ, මෙයාගේ දැඟලිල්ල හොඳටම වැඩියිනේ!” රෝසි නහයෙන් ඇඬුවේ සැරයක්
දෙසැරයක් නෙවෙයි.
“එක අතකට
බලද්දී ඒක හොඳයිලු රෝසි... පොඩි කාලෙ දඟ කරන; ආම්බන් කරන්න අමාරු ළමයි ලොකු වෙනකොට
තැන්පත් වෙනවය කියල කතාවක් තියෙනවා. එහෙම වෙන බව තමයි මටත් පෙනිලා තියෙන්නේ...”
මගේ උත්තරේ රෝසිට සහනයක්.
“ඒක නං ලොකු දෙයක් ලොකු මාමේ! අහන්නත් සන්තෝසයි. එහෙනං හිමා ලොකු වුණාට පස්සේවත් අපිට
සැනසිල්ලේ ඉන්න පුළුවන් වෙයිනේ!”
ඒත් අපේ පවුලේ
හොඳම හිතවතෙකු වන අයස්මන්ත පීරිස් මහත්තයාගේ අදහස නං ඊට වෙනස්!
“මේ කෙළි පැටික්කි ලොකු වෙනකොට නං නිමල් අයියේ- රෝසිලට කිසිම නිදහසක් හම්බ වෙන
එකක් නෑ... කෙල්ලව පරිස්සං කර-කර ඉන්න වෙයි. කෙල්ල අඩුම ගණනේ කොල්ලෝ තුන්-හතර
දෙනෙකුව හරි පිස්සු වට්ටන එක නං ෂුවර්...”
අයස්මන්ත
මහතා එහෙම කියන්නට ඇත්තේ හිමන්‍යාට තිබෙන අමුතුම ආකර්ෂණීය ගතිය නිසා වෙන්නට ඇතැයි
මට හිතේ!
ඇත්තෙන්ම හිමාගෙ සොබාවයට කවුරුත් පාහේ වසඟ වෙති. දඟකාර ගතියක්- බුද්ධිමත්
හිතුවක්කාර ගතියක්- ඉක්මනින් උණුවෙන සංවේදී ගතියක් සංකලනය වී තිබෙන ළගන්නා ස්වභාවයක්
සහිත දැරියකට වසඟ නොවන්නේ කවුරුන්ද?
හිමා ඉපදුණු අලුත නම් අපේ මානෙල් නංගිත්-
රෝසිත් දෙන්නාටම රිදෙන කතාවකි මගෙන් කියැවුණේ. ඒ ගැන 2020දී නිදිගෙ පංච තන්තරේට මගේ
අතින් ලියැවී තිබ්බේ මෙහෙමය:
‘... මෙහෙම ඇත්ත කිව්වාම
කාගෙ-කාගෙ හෝ මුහුණ නරක් වුණත්
කරන්නට දෙයක් නැත. පහුගිය
ජුනි මාසයේම මැද හරියේ දවසකත් ‘ඒ මූණ නොරොක් වෙන වැඩේ’ මං
අත්දුටුවේ, කටෙන්
වචන වාගයක් පැන්නාට පස්සෙය; මං වචන දෙකකින් ඇත්තම
කිව්වාමය. ‘මෙයා
කළුයිනෙ!’
![]() |
හිමාගේ සිත්කලු පාට විශේෂයෙන්
කැපී පෙනුණේ සකුණි හා රයන් දෙන්නාත් එක්ක ඉන්නා වෙලාවටය! (2020 ගත් ෆොටෝවකි.) |
සිඟිත්තිය දුටු ගමන්ම මට
කියවුණේ අරහෙමය.
‘මෙයා
කළුයිනෙ!’
දැරියගේ අම්මාටත් කලින් ඒ
කතාවට මුහුණ ඇඹුල් කරගත්තේ ආච්චි අම්මාය.
“ලොකාට
මතක නැහැ. රෝසි
පුංචි කාලෙත් මෙහෙම තමා, දැන් සුදු වුණාට.....”
දරු පැටියෙකු කළු පැහැති
යැයි කීම වරදක් බව තවමත් මට හිතෙන්නේ නැත. මා කීවේ මට පෙනුණු දෙයයි; මට
හැඟුණු දෙයයි...’
තවත් කාරණයක්... කාට කොහොම
වෙතත් මට අනුව නං කළු පාටෙත් විශේෂ ප්‍රභේදයක් තියෙනවාය. මං වහන්සේ ඒකට කියන්නේ ‘සිත්කලු’
පාට කියායි.
අනෙක හිමාගේ සිත්කලු පාට විශේෂයෙන්
කැපී පෙනුණේ සකුණි හා රයන් දෙන්නාත් එක්ක ඉන්නා වෙලාවටය. (ඒ දෙන්නා මානෙල් නංගිගේ
පුතණුවන්ගේ දරුවන්ය.) මානෙල් එයාගේ දරුවන් දෙන්නා; සුරංග හා රෝසි දෙන්නාගෙන්
වැඩියත්ම ආදරේ කාටදැයි මංවත් දන්නේ නැත. ඒ අපේ මානි එයාගේ මුණුබුරු මිණිබිරියන් තුන්
දෙනාටමත් ආදරය බෙදන්නේ එකම හැන්දකින් නිසාය!
මං නං එහෙම නැත!
මට සොහොයුරියන් පස් දෙනෙකි. (පස්වැන්නී
ජීවත් වුණේ මාසයකටත් අඩු කාලයකි.)
ඉතිරි නංගිලා හතර දෙනාව මා කැටගරයිස් කර තියෙන්නේ මෙහෙමය:
1. ලොකු නංගි පුෂ්පා- අපේ පවුලෙන්ම අහංකාර හිත- දැඩිම හිත තිබුණේ එයාටය.
2. මානෙල්- වැඩියෙන්ම හිත හොඳ; වැඩියෙන්ම සමාව දෙන්නියයි. (අපේ
පවුලෙන් මංගල යෝජනාවක් මඟින් විවාහ වුණේ මානෙල් විතරකි.) මා වඩාත් සමීප මානෙල්ටය.
3. සමන්ති- මහරගම ආච්චි වගෙය; වඩාත්ම බුද්ධිමතියයි. මා වඩාත්ම විවෘත Sam සමඟිනි.
4. දීපානි- පවුලේ රූමතියයි. (ඇයට පමණටත් වඩා දරු හැවිකාරය ඇතැයි මට සිතේ.)
ඉතිං...මානෙල් විවාහවී
ගෙදරින් පිටමං වුණත් ඒ කොට්ටාවටය. මහරගමට ඉතා කිට්ටු නිසා හැම සති අන්තයකම වාගේ මටත්
එහි යැවිණි. (ඒ බොහෝ විට මර්වින්, නෙවිල් හා කුමුදුලාල් සමඟිනි. මෑත කාලීනව
අයස්මන්ත සහ නමීත් ඒ ගමන්වලට එකතු වූහ.)
ඒ ගමන් නිසාමය, සුරංගත් රෝසිත්
උපතේ සිටම මර්වින්ටත් නෙවිල්ටත් මටත් එකසේ ප්‍රිය කරන්නට වූයේ; ඔවුනගේ දූ
පුතුනුත්...
‘කොහොමද සත්තු තම තමන්ගෙ
දරුවන්ට විතරක් විශේෂයෙන් ආදරේ වෙන්නේ? ඇයි අනුන්ගෙ දරුවන්ටත් ආදරේ කරන්න බැරි? ඒ
දරුවො දරුවන් නෙවෙයිද? මව් පිය සෙනෙහස කොහොමද එච්චර ආත්මාර්ථකාමී වෙන්නේ?’ වගේ පණ්ඩිත
මතවාදවලින් තමයි ඒ දවස්වල මගේ ගැටවර මොළේ පිරිලා තිබුණේ. මටම පුදුමයි ඒ මතවාද හීන්
සීරුවේ වාෂ්ප වෙලා ගිහිං තිබුණු විදිහ ගැන...
![]() |
එහෙම කරලා සුරංග ආදරණීය ගෙදර
ඇත්තිය ඉසංකාවත්- සකුණි දියණියවත්- පුතු රයන්වත් එරටටම ගෙන්වා ගත්තේය. (2021
දෙසැම්බර් ෆොටෝවකි.) |
“පොඩි එවුන්ගෙ හුරතලේට ආස වුණාට
රංජි, ඔයා ඒ දවස්වල ඉඳලම චූටි ළමයින්ව වඩා ගත්තෙ නැහැනේ... ඔයාල දන්නවද, දීපාල්ලා
දීපානිලා වුණත් පුංචිම කාලේ ලොකා එයාලව වඩා ගත්තෙ නෑ!”
“ඇත්තද ලොකූ මේ අම්මා කියන්නේ?”
“ආයෙ ඇත්තද අහන්නේ? කවුරුවත් දැකල තියෙනවද මෙයා සකුණිල රයන්ලා වුණත් වඩාගෙන
ඉන්නවා... රංජි පොඩි එවුන්ව හුරතල් කරන්නේ එයාලට මාස ගාණක් වුණාට පස්සෙනෙ.”
අම්මා කිව්වේ බොරුවක් නොවේ! චූටිම
චූටි මී පැටවුන් වගේ පෙනෙන කිරිකැටි බිලිඳුන් කෙරෙහි මගේ සිතේ ආදරයක් රෝපණය වන්නේ එයාලට
මාස කීපයක් වෙනකොටය. ඒ නිදිගෙ හැටිය.
එහෙම ආදරයක් වුණත් ඇති කර
ගන්නේ නැතිව ඉන්නට මං හිතා ගත්තේ අවුරුදු කීපයකට කලින්ය. ඒ (මානෙල්ගේ පුතා) සුරංග පවුල
පිටින්ම එංගලන්තයට සංක්‍රමණය වෙන්නට සූදානම් වෙනකොටය. එතකොට සකුණිත් රයනුත් හරිම හුරතල්
වයසේය උන්නේ. (මතක ඇතිනේ- මට කොකු සීයා කියන අභිධානය දුන්නෙත් මේ සකුණිය.) අඩුම ගණනේ සතියකට
වතාවක්වත් ඒ දෙන්නාගේ හුරතල් බලමින් හිටි මං වහන්සේට එයාලාගේ සංක්‍රමණය ගෙනාවේ
ලොකු දුකකි.
මං වහන්සේට දුක හිතුණා කියා
කරන්නට දෙයක් නැත. සුරංගට එයාගේ හීනය හැබෑ කර ගන්නට තිබිණි.
“ලොකු මාමේ, මට ඕනේ ඇනිමේටර් වැඩ්ඩෙක් වෙන්න.” ගැටයා කාලේ ඉඳලාම සුරංග කිව්වේය.
එව්වා ඉගෙන ගත්තාත් එක්කය. ලංකාවේ නම ගිය ආයතන කීපයකටම බැඳී වැඩ කළත් එක්කය.
"ලංකාවේ මේ ෆීල්ඩ් එකේ වැඩ ගොඩක් කෙරෙන්නෙ නෑ වගෙයි ලොකු මාමේ. වැඩියෙන් වැඩ
කෙරෙනකොටනේ අපිටත් තව ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ... මමත් හිතුවේ England යන්න.
ගිහිං හරියට යමක් කෙරෙන තැනකට ජොයින්ට් වෙන්න...”
“එහෙම කරන්න පුළුවන්ද?”
“ලේසි නෑ ලොකු මාමේ. මට ඕනි එහෙම studio එකක් වගේ තැනක අතු ගාන job එකකට හරි යන්නයි.”
ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා
සුරංග දෙතුන් වතාවක්ම එංගලන්තයට ගියේය; ඉගෙන ගත්තේය; ඉස්කෝල කාලේ ආදරය ජය ගෙන කසාදයත්
කර ගත්තේය; දරුවනුත් හදා ගත්තේය; අන්තිමේදී එංගලන්තයේම පැල-පදියං වුණත් එක්කය. එහෙම
කරලා ආදරණීය ගෙදර ඇත්තිය ඉසංකාවත්- සකුණි දියණියවත්- පුතු රයන්වත් එරටටම ගෙන්වා
ගත්තේය.
ඒ රයන්ලා හුරතල් වෙන්නට පටන් ගත් කාලයේය!
![]() |
ඒ අකලංකත් පසු කලෙක බිරිය සහ
ආර්ය, ආන්‍යා දෙදරුවන් සමඟ සිංගප්පූරුවට සංක්‍රමණය වුණේය. (2023 පෙබරවාරි ෆොටෝවකි.) |
2026 මාර්තු මාසයේ දවසක අපි වට්ස් ඇප් හරහා කතා බහක නිරතව නිරතව උන්නෙමු. “ලොකු සීයා, How old are you?” රයන් ඇහුවේය.
“Seventy two...” කියලා උත්තර දුන්නා විතරකි; රයන් පුදුම වී ඇස්දෙක නළලට යවා- අත්
දෙකින්ම හිස බදා ගත්තේ හිකි-හිකි ගාමිනි. රයන්ගේ ඒ ඉරියව්ව තවමත් මගේ දෙනෙතේය!
ඒ වේලාවේය, අවුරුදු ගණනකට
කලින් ‘සීමාසහිතව ඔවුන්ට ආදරය කරන්න’ට මා ගත් තීරණයේ වටනාකම වැඩියෙන්ම දැනුණේ. ඒ
විදිහට සෙනෙහසට සීමාමායිම් තියාගෙන ඉඳලාත්ය, හිමාගේ විදේශගත වීම නිමල් දිසානායකට
වේදනාවක් වුණේ. එහෙම වෙන්නේ ගොඩාරියක් කිට්ටුවෙන් උන්නු හිංදාය!
2018 අප්‍රේල් මුල මට මේ
blog අඩවිය හදා දුන්නේ අපේ
අනිල් මල්ලීගේ ලොකු පුතණු අකලංකයන්ය. 'මහප්පට පුළුවන්.. මෙව්වා මැජික් නෙවෙයි
මහප්පේ...’ කියා මා දිරි ගන්වමිනි; අකලංක මේ කටයුතු සියල්ල මට ඉගැන්වූයේ. එතකොට මං
වහන්සේ පරිගණක නොදරුවෙකි!
එහෙම පටන් ගත් ‘නිදිගෙ පංච තන්තරේ’ය මේ- නවවෙනි වසරට පිය නඟන්නේ.
ඉතිං, ඒ අකලංකත් පසු කලෙක
බිරිය සහ ආර්ය, ආන්‍යා දෙදරුවන් සමඟ සිංගප්පූරුවට සංක්‍රමණය වුණේය. ඒ ලංකාවේ
හිඳිමින් පිටරට ආයතනයකට සේවය සපයා ලබන වැටුපට අසාධාරණ ලෙස බදු අය කරන්නට පටන්
ගත්තාමය. ඒ වෙලාවේ මට එතරම් සංතාපයක් ඉපදුණේ නැත. අකලංකගේ දඟකාර සිඟිති දරුවන් දෙදෙනා සමඟින් මා එච්චර කිට්ටුවෙන් නොසිටි බැවිනි; ඒ.
![]() |
ඒත් අනිල් මල්ලිගේ එකම දියණිය
සචිනි මට අමතන්නේ ‘ලොකු තාත්තා’ නමෙනි. නමුදු ඇයගේ ඕෂන් හා කියානු දෙපුතුන්ටත්...(2025
ෆොටෝවකි.) |
අපේ බඩා මල්ලා දීපාල්ගේ
පුතාලාට; මාර්කෝට හා නිමල් බෙන්ටත් මා ‘ලොකු මාමා’ය. ඒ දෙන්නා පුංචි කාලේ ඉඳලාම වැඩියෙන් දැක
තිබෙන්නේ මානෙල්ගේ, සමන්තිගේ හා දීපානිගේ දරුවන් මට ලොකු මාමා කියා අමතන හැටියි.
ඉතිං එයාලාත් ඒ ආමන්ත්‍රණයම වහරති!
එයාලා ඒගොල්ලන්ට කැමති ඕනෑම
නමකින් මට කතා කෙරුවාවේ. ඒ ගැන හිත කරදර කර ගන්නේ හෝ දුක් වෙන්නේ හෝ මේ දිසානායකයා
නොවේ.
‘දුක් වෙන්නේ’ කියනකොටය සිහියට ආවේ...
ශ්‍රී ලංකාවේ තවත් පහළ වැටීමක්!
‘ලෝකයේ අසතුටින්ම ඉන්න මිනිස්සු සිටින
රටවල් අතරට ශ්රී ලංකාව ශ්රේණිගත වෙයි...’ කියලයි ‘අමුතු’ සමූහයේ මේ ලිපිය පළවී
තිබුණේ:
"මචං.. උඹ සතුටින්ද ඉන්නේ?"
අහම්බෙන් හරි කවුරුහරි ඔයාගෙන්
මෙහෙම ඇහුවොත්, ඔයා මොකක්ද දෙන උත්තරේ..? "ඔව් බං, අවුලක්
නැහැ" කියලා හිනා වෙලා කිව්වට, ඒ හිනාව
පිටිපස්සේ ඇත්තටම සතුටක් තියෙනවද..? නැත්නම්
ඒක නිකන්ම නිකන් පුරුද්දට දාන හිනාවක් විතරද..?
අද මම මේ කතාව පටන් ගත්තේ හේතුවක්
ඇතුව... 2026 අවුරුද්දේ World Happiness Report එක ඊයේ
රෑ රිලීස් වුණා. ඒක බලද්දී හිතට පොඩි බරක් දැනුණා... මොකද, ලෝකයේ රටවල් 147ක් ගත්තම අපේ ලංකාව ඉන්නේ 134 වැනි ස්ථානයේ...
අපි ඉන්නේ ලෝකයේ අසතුටෙන්ම ඉන්න
මිනිස්සු ඉන්න රටවල් අතරේ. අපිට පිටුපසින් ඉන්නේ ඇෆ්ගනිස්ථානය, ලෙබනනය වගේ යුද්ධයෙන් හෙම්බත් වුණ රටවල් කිහිපයක් විතරයි...
අපි මෙච්චර පහලට වැටුණේ කොහොමද..?
මතකද 2022.. එදා ඉඳන් අපි හිටියේ
පල්ලම් බහින ගමනක.
2022 දී අපි 127 වැනි තැන...
2024 දී 128 වැනි තැන...
2025 දී 133 වැනි තැන...
අද 2026 වෙද්දී අපි 134 වැනි තැනටම වැටිලා...
අපේ අසල්වැසි ඉන්දියාව 116 වැනි
තැනට ඇවිත්. පකිස්ථානය 104 වැනි තැනට ඉහළට ගිහින්. ඒත් අපි ඇයි තාමත් මෙතැන..? මේක නිකන්ම නිකන් ලිස්ට් එකක නම්බර් එකක් නෙවෙයි. මේක අපේ රටේ
මිනිස්සුන්ගේ හද ගැස්ම. බඩු මිල, පෝලිම්, දේශපාලන අවිනිශ්චිතතාවය මේ හැමදේම අස්සේ සතුට කියන එක අපේ ජීවිතවලින්
හොරෙන්ම පැනලා ගිහින් වගෙයි මට හිතෙන්නේ...
![]() |
ඒ කියන්නේ සෝෂල් මීඩියා වසක්
නෙවෙයි, හැබැයි ඒක
ඔයාගේ සතුට තීරණය කරන තැනට ආවොත් ඒක වසක් තමයි! |
ඒ මිනිස්සුන්ගේ සතුට තියෙන්නේ
ලොකු කාර් වලවත්, මාලිගා වලවත් නෙවෙයි. එකිනෙකා
කෙරෙහි තියෙන විශ්වාසය, නිදහස්
අධ්යාපනය, හොඳ සෞඛ්ය සේවය සහ "ජීවිතය
විඳින" විදිය උන් දන්නවා. ෆින්ලන්තේ මිනිහෙක් පාරේ සල්ලි පසුම්බියක් වැටුණොත්
ඒක අයිතිකාරයාට ලැබෙනකම් නිහඬව ඉන්නවා. අන්න ඒ Social Trust එක තමයි එයාලව අංක එකට ගෙනාවේ.
අපේ රටේ සතුට අංක 134ට යන්නෙත්
ඒ වගේම හේතු නිසා වෙන්න බැරිද? පාරට බැස්සම
රවමින් බලන මිනිස්සු, එකිනෙකා
පරයා යන්න දඟලන තරගය, හැමදේම
දේශපාලනීකරණය වීම... මේ ඔක්කොම අස්සේ අපි අපේ සතුට නැති කරගෙන.
මෙන්න මේක තමයි මේ සැරේ රිපෝට්
එකේ තියෙන භයානකම කතාව. සන්තෝෂය නැති වෙන්න ප්රධාන හේතුවක් විදියට මෙවර වාර්තාව පෙන්වන්නේ
"සමාජ මාධ්ය භාවිතය".
විශේෂයෙන්ම උඹ නංගි කෙනෙක් නම්, මල්ලි කෙනෙක් නම් මේක හොඳට හිතට ගන්න.
රිපෝට් එක කියන විදියට, දිනකට පැය 5කට වඩා සෝෂල් මීඩියා වල ඉන්න තරුණියන්ගේ මානසික සුවතාවය
දරුණු විදියට කඩා වැටිලා.
අනිත් අයගේ බොරු Perfect ජීවිත දිහා බලලා තමන්ගේ ජීවිතය ගැන කලකිරෙන එක අද
ලොකුම ප්රශ්නයක් වෙලා.
හැබැයි පුදුමෙ කියන්නේ, සෝෂල් මීඩියා පාවිච්චි නොකරන අයට වඩා, දිනකට පැය 1කට වඩා අඩුවෙන් පාවිච්චි කරන අය තමයි ලෝකේ වැඩිම
සතුටක් අත්විඳින්නේ.
ඒ කියන්නේ සෝෂල් මීඩියා වසක්
නෙවෙයි, හැබැයි ඒක ඔයාගේ සතුට තීරණය කරන
තැනට ආවොත් ඒක වසක් තමයි.
අපි ආයේ හිනාවෙමුද?
මේ රිපෝට් එක කියවලා ඉවර වෙද්දී
මට හිතුණේ එක දෙයක්. අපි අංක 134 වුණේ රටේ ප්රශ්න නිසාම විතරක් නෙවෙයි. අපි සතුට හොයන
විදිය වැරදි නිසයි.
සතුට කියන්නේ අයිෆෝන් එකක, බ්රෑන්ඩ් නිව් කාර් එකක තියෙන දෙයක් නෙවෙයි. සතුට කියන්නේ හවසට
අම්මා එක්ක කයියක් දාගෙන බොන ප්ලේන්ටි කෝප්පේ, යාළුවොත් එක්ක කරන විහිලුවල, පාරේ ඉන්න බල්ලෙක්ට දෙන කෑම වේල... අන්න ඒ වගේ පොඩි දේවල් අස්සේ
තියෙන එකක්.
![]() |
ජයසූරිය ආරච්චිගේ හිමන්‍යා සියැසි
දෝණියන්දෑත් හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ තාත්තා ඉන්න අබුඩාබියට යන්න. (2026 මාර්තු
ෆොටෝවකි.) |
අපේ ජීවිත තක්සේරු කරන්නේ Gallup Poll එකකින් නෙවෙයි, අපි හුස්ම ගන්න විදියෙන්. මීළඟ අවුරුද්දේ රිපෝට් එක එද්දී, අපි රටක් විදියට සතුටු වෙන්න පුළුවන් තැනකට එන්න නම්, මුලින්ම ඔයා අද ඉඳන් සතුටින් ඉන්න පුරුදු වෙන්න ඕනේ.
ඔයාගේ හිතේ තියෙන සතුට අද
1-10 දක්වා කීයක තියෙනවද..? අද රෑට
පවුලේ අය එක්ක හිනා වෙලා කතා කරලා ඉන්න.’
මට නං හරිම ආඩම්බරයි. මොකෝ දන්නවද? අපේ පවුලේ වැඩි දෙනෙකුමත්
හොඳට හිනා වෙන උදවිය!
පැන්ඩෝරාගෙ පෙට්ටියෙන්
ඉස්සෙල්ලාම එළියට පැන්න වසංගත- අනතුරු- හටන්- යුද්ද- සොබාවික විපත්- තරහ; ද්වේශය;
ඉරිසියාව වගේ සේරම කරදරකාර කෘමීන් දැන් ලෝකේ පුරාම විසිරිලා. ඉතිහාසයේ වෙන
කවරදාකටත් වැඩියෙන් අපට විපත් පමුණුවනවා...
ඒත් දෙවෙනි වතාවට ඒ පෙට්ටිය ඇරියාම එළියට ආව ‘බලාපොරොත්තුව’ත් ලෝක සත්ත්වයන්ගේ
වාසනාවට තවම ජීවමානයි; ක්‍රියාත්මකයි.
සිරි ලංකාවේ අපි ඒ පැන්ඩෝරාගෙ
කතන්දරේ අහලා තියෙන්නේ බාගෙටද?
සිසිර තාරක නිද්‍රාවෙන් අවදි වෙච්ච හිම වලහෙකු වගේ- කට්ටකාඩුව blog අඩවිය ලියන ලොකූත් අවදි වෙලා මේ දවස්වල ඔය ග්‍රීක පුරාණ කතන්දර ලියනවනෙ හරි අපූරුවට. එව්වා කාට-කාටත් දැනගෙන ඉන්න; කියවන්න වටින කතන්දර. ඕන්නං කට්ටකාඩුවේ ලොකූගෙන්ම අහලා බලන්නකො පැන්ඩෝරාගෙ කතාවත්.
ඔයාලත් දැනටම දන්නවනෙ, මං
ඉතිං පොසිටිව් මනුස්සයා; පෙරළුණු පිට හොඳයි කියල හිස්මුඳුනෙන්ම පිළිගන්න මනුස්සය
නෙව. අපේ පවුලේ දරු- මුණුබුරු පරම්පරාවල් ඔක්කොම වගේ එක එක රටවලට යද්දී ටිකක්
දුකින් වුණත් මං දකින්නේ ඒකෙ හොඳ පැත්ත!
ආදරණීය පවුලක් වුණාම එක වහලක් යට ඉන්න එක සැපයි නෙව- කොයි කොදෙව්වේ උන්නත්.!!
ජයසූරිය ආරච්චිගේ හිමන්‍යා සියැසි
දෝණියන්දෑත් හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ තාත්තා ඉන්න අබුඩාබියට යන්න. හිතුවට වැඩිය
ඉක්මනිනුයි එයාලට යන්න වුණේ. අජිත් මල්ලිගේ තුන් මාසයේ දානය දවසේ...
ඊට කලින් මං එයාලව රෑ කෑමකට
එක්කගෙන යන්න හිතුවා. තැන් දෙක තුනක් කිව්වා එයාලටම තෝරා ගන්න. එයාලගෙ choice එක
වුණේ දියවන්නාව තලවතුගොඩ පාරේ කෑම කඩයක්. එයාලව එතනට එක්කං ආවේ (unsung hero) නෙවිල්තුමාය... ඒ
එන අතරේ හිමාට අදහසක් ඇවිත්ය.
නමීයි මායි කලින්ම එතැනට ගිහිං
උන්නේ. හිමා ඉස්සෙල්ලම කළේ එයාගේ අර අදහස මට කියන එක.
හිමා කිව්ව දේ ඇහෙනකොට නං මගේ හිත කඩා වැටුණා.
“ලොකු සීයේ... අම්මයි මමයි
තාත්තා ඉන්න අබුඩාබියට යන්නේ අවුරුදු දෙකකට විතරයිනේ. අපි ගිහිල්ල එනකල් ඔයා
මැරෙන්න නං එපා හොඳේ...”෴0෴







104ට නැංගත් පකිස්තානයේ සතුට භුක්ති විඳින්න නම් මගේ කිසිම කැමැත්තක් නෑ! ඊට වැඩිය 134 හොඳයි වගේ
ReplyDelete