දොළදුක් ගාය හැදෙන්නේ දරුවෙකු පිළිසිඳ
ගත්තායින් පස්සෙය. ඉස්සර නම් බඩ ගැබ්බර අම්මලා නිතර-නිතර වළන් කටු කැබැලි, හාල් ඇට
හපමින් ඉන්නවාත් දැකගන්නට තිබිණි. දැන් නම් එහෙම කරන වගක් පෙනෙන්නේ නැතිය. ඒ අද්‍යතන
ගැබිණියන් ‘විටමින් - ඛනිජ වර්ග’ අඩු නැතිව, නිරෝගීව හිටින නිසා වෙන්නට හැකිය.
හැබැයි දුකේ නම් එහෙමට වෙනසක් වෙලා නැති බව සහතිකය. දැක්කනේ, සකුණි ඉපදෙන්නට
හිටිද්දී අපේ ඉසංකාට හැදුණු ‘සුප්’ දුක!
2018 ජනවාරි 26 වෙනිදා සුරංගලා සකුණි දූට
‘මල්ලි බබෙක්’ ගෙනාවෝය! ඒ කියන්නේ මං තෙවෙනි වතාවටත් සීයා වුණු බවයි. ඒත් මේ
මුනුබුරා ලැබෙන්න ඉඳිද්දී ඉසංකාට හැදුණේ වෙනස් දොළකි.
පංජාබි අඹ අච්චාරුවක්
කන්නටය. අපේ දීපාල් එහෙම අච්චාරු බෝතලයක්ම ඉසංකාට ගෙනිහින් දුන්නේය. දොළදුක්
ගැහැනුන්ට හැම දෙනාම සලකන්නේ එහෙමය. ඒ උපදින බබාගේ කන් කුණු වේවි කියන බයටද? ඉස්සර
උදවිය කිව්වේ එහෙමය.
“දොළ දුක සංහිඳුනේ නැති නම් බබාගේ කන් කුණු
වෙනවා!” ඔහොම කියා තිබුණේ පවුලේ අනෙක් උදවිය බය කරවන්නට වෙන්නැති.
වරුණ නාග
රජ්ජුරුවොත් එහෙම හොඳටම බය වුණු එක්කෙනෙකි. විමලා දේවින්නාන්සේට හැදුණ දොළ ගැන
හොඳටෝම වදවුණු එයා ඉන්නේ විධුර ජාතක කතාවේය. ජාතක කතාවල, බණ කතාවල ඔහොම දොළදුක
හැදුණු අංගනාවන් කොතෙකුත් අපට හමු වෙයි.
අම්මගේ දොළ සංසිඳුනේ නැති නම් උපදින බබාගේ කන් කුණුවෙනවාද? |
ඒත් අන්තිම පිළිකුල් සහගත, තිරශ්චීන වර්ගයේ
දොළදුකක් හැදුණු උත්තමාවියක ගැන මතක් වෙනවාද? ඇය ගැන ඔයාලා හැමෝම අහලා හරි කියවලා
හරි තිබෙන බව නම් මට හොඳටම විශ්වාසය.
ඇයගේ දොළට වඩා පහත් යයි කියන්නට දුකක් ගැන මා
නම් අහලාවත් නැත. ඒ ස්තිරියාව ගැන වගේම ඇයට ලැබුණු දරුවා ගැනත් ඔබ දන්නවා ඇත. ඒ
කාන්තාව හමුවන්නේ අපේ ගරු-ගම්භීර ඉතිහාසය පෙරළද්දීය. වංශ කතා පිරික්සද්දීය.
ඇයට දොළක් උපන්නේ හතුරාගේ හිස කැපූ කඩුව සේදූ
වතුර බොන්නටය.
නිකම්මත් නොවේ. හතුරාගේ ඔළුගෙඩිය පාගාගෙනය! තව තිබේ!!
දැන්වත් සිහි
වෙනවාද, ඒ උත්තමාවිය ගැන?
මට නම් හිතෙන්නේ වස ලජ්ජාවකි. අපේ ඉතිහාසය
ලේඛනගත කළ මහානාම හාමුදුරුවන් වහන්සේ ඇතුළු හැම දෙනාම මේ කෝණයෙන් විහාර මහ දේවිය
දිහා බලා නැත!
සිංහලයෙකු වෙලාත් මෙහෙම කුණු ගොඩක් අවුස්සන්නට හිතෙන්නේ අපේ ඇති ‘වහල්
හැඟීම්’ නිසාය. හරිහැටි කරුණු නොදැන හෙළා දැකිය යුතු දේත් පුම්බා උඩ දමන නිසාය.
ඇගේ කතාව පටන් ගන්නේ අපේ රටේ ඇතිවුණැයි
කියවෙන පළමු සුනාමි උවදුරත් එක්කය.
මෑත ඉතිහාසයේ නම් සුනාමිය ඇති වුණේ සිරි
ලංකාවේ බස්නාහිර පැත්තට බලපාන විදියට නොවේ. ඒත් ඉතිහාසය කියන විදියට නම් කලින් සුනාමිය
වැඩියත්ම බලපා ඇත්තේ එහාටලු. එහෙම ඒ මහා විපත්තිය සිද්ධවෙලා තියෙන්නෙත් රජගෙදර
හුටපටයක් නිසාලු.
රජවරුන් කියන්නෙත් පුහුදුන් මිනිසුන්මය. එයාලත් හුස්ම ගන්නේ අප
වගේමය; කන්නෙ-බොන්නේ අප වගේමය. මළ පහ කරන්නෙත් අප වගේමය.
එකම වෙනස තියෙන්නේ එයාලා
හිතන විදියේය; වැඩ කරන විදියේය!
ශ්‍රී ලංකාවේ පළමු සුනාමිය ආවාය කියන්නේ............. |
බලය අතට ආ හැටියේම ඒ පාලකයන්ට; රජවරුන්ට මොළය
අහිමිවී යයි.
ඉතින් හිතන්නේ තමන් මේ ලෝකයට ඇවිත් තියෙන්නේත් මව් කෙනෙකුගේ යෝනි
මාර්ගය දිගේ නොවේය කියලාය; මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් කියලාය.
එහෙම හිතා කරන්නේ අධෝ
මුඛයකින් බිහි වුණු අයවත් නොකරන පන්නයේ
වැඩය. රජ්ජුරුවරුන් විතරක් නොවේ එහෙම දුස්සාධ්‍යව ලෙඩ වෙන්නේ. හතර වරිගේ අයත්ය;
ගෑවිච්ච-නෑදෑ- හිතමිත්‍ර හැමෝමත්ය. උන්ගේ කෙළිවලට වන්දි ගෙවන්නට වෙන්නේ වන්දි භට්ටයන්ට
විතරක් නොවේ. රටවැසි අපටත්ය.
කැලණිතිස්ස රජ්ජුරුවොන්ගේ බිසවුන්නාන්සේ
රජතුමාගේ මල්ලී එක්කත් පැටලිලා හිටියාය. ඒ විත්තිය ‘අතේ කෝට්’ වුණාම රජ්ජුරුවන්ට
මළ පැන්නේය.
“..... රජ්ජුරුවෝ එපවත් දැන ඔහු අල්වා දඟගෙයි ලව යි අමාත්‍යයන්ට විධාන
කළහ. එ කුමර එ පවත් අසා භයින් පලා ගොස් පාසල් දනව්වෙකැ වසනුයේ....”
එහෙමයි
‘සද්ධර්මාලංකාරයේ’ කාකවර්ණතිස්සරාජ වස්තුවේ තියෙන්නේ.
හිරේට දානවට බයේ ඈත පළාතකට පැනලා ගිය රජ්ජුරුවන්ගේ
මලයා; උත්තිය කුමාරයා පැනලා ගිහිනුත් නිකං හිටියේ නැහැ. රජ මාලිගයේදී කාපු ‘රජ
කෑම’ මතක් වෙන්නැති දෙයියනේ! මිනිහා හරිම අපූරු වැඩකට මුල පිරුවා.
“....... දවසෙකැ
බිසවුන් සඳහන් කොට එක් ළදරුපුරුෂයකු කැඳවා සිවුරු පොරවා ඕහට පතක් ලියා දී මේ පත
ගෙන ගොස් කිසි කෙනෙකුන්ට නො හඟවා බිසවුන් අතට දීපියව යි යැවීය.”
ඇත්තටම ඔය වගේ කතාවක්; පොතක් කියවනකොට මං නම්
චිත්ත රූප මවා ගන්නවා. චිත්‍රපටයක් වගේ. ඒ විතරය? අද කාලේ දේවල්ම නේද එදාත් සිද්ද
වෙලා තියෙන්නේ කියලාත් සසඳන්න පටන් ගන්නවා. ඉතින් පොත කියවන්න දවස් ගාණක් යනවා.
වාසියම තකා මුඛයෙන් පමණක් නොව අධෝමුඛයෙන් වුව දෙසන ගණින්නාන්සෙලා.......... |
එදා උත්තිය කුමාරයා ‘ළදරු පුරුෂයකුට’ සිවුරු
පෙරෙව්වලුනේ, එයා අතේ බිසවට හොර ලියුමක් යවන්න.
අද? අදත් විරෝධතාවලට එක්කං යන්න
හොරට සිවුරු පොරවන එක කෙරෙන්නේ නැතිද? ඒ එපා. සිවුරු පොරවාගෙන ඉන්න කීදෙනෙක් ඇත්තටම
‘සංඝ’ නාමය දරන්න සුදුසු අයද? පට්ටම්-පදවි-ඉඩකඩම්-තනතුරු-කාර්බාර් දෙනකොට මුඛයෙන්
විතරක් නෙවෙයි අධෝමුඛයෙන් වුණත් දෙසන උන්නාන්සේලා මේ සිරිලංකාවේ අදත් කොච්චර
ඉන්නවාද? මේවා එක්ක බලද්දී, අර මනුස්සයා අංගනාවකට හොර ලියුමක් ගෙනිච්ච එක nothing
නේද?
මේ උන්නාන්සේලා වගේ නෙවෙයි, ඒ හොර උන්නාන්සේට
වැඩේ හරියට කරගන්න බැරි වුණා. කැලණිතිස්ස හාමුදුරුවන් වහන්සෙගෙ පිටිපස්සෙන් රජගෙට වැඩලා, දානෙත් වළඳලා ආපහු එද්දී, බිසවට
පෙනෙන්න කියලා ‘තල්පත’ බිම දැම්මේ රජ්ජුරුවන්ටත් අහු වෙන්නයි.
බලන්නකෝ, එදා කැලණිතිස්ස රජ්ජුරුවොත් කිසිම
ඉවක්-බවක්; විමසිල්ලක්; හෙවිල්ලක් නැතිවම කැලණිතිස් හාමුදුරුවන් තමයි මේක ගෙනාවේ
කියලා තීන්දු කළා.
“වහාම මොහු උතුරණ තෙල් කටාරමක බහා මරා පියනු!”
එදාත් එක
ඇමතිවරයෙක්වත් ඒ මොහොතේ ‘ පිස්සු නටන්න එපා’ කියලා රජ්ජුරුවන්ට කියන්න එඩිතර නොවී
නිස්සද්දව හිටි හැටි!
රජතුමා ඒ සාපරාධය කළාම, දෙවි-දේවතාවනුත් වැඩ
කරලා තියෙන්නේ අමු මෝඩයන් වගෙයි. “......ඉක්බිති තෙරුන්වහන්සේ කෙරෙහි ශොකයෙන්
දෙවතාවෝ කිපී මේ රජහු හා සමඟ මොහුගේ රටත් නසම්හ යි සමුද්‍රය උත්පාතික කොට දිය
උතුරුවන්ට පටන්ගත්තාහු ය. ...” ඔන්න ඔහොමයි වෙන්නේ!
රජා වැරැද්දක් කළාම වැසියන්ටත්
නහින්ට වෙනවා. ඇත්තනේ, රටවැස්සන් දැනගන්ට ඕනේ හරි-හමන් රජෙකුට බලේ දෙන්ට. නැතිනම්
ඉතින් වන්දි ගෙවපියව් කරපු වැරැද්දට!
එදා නං මුහුද ගොඩ ගැලීම නැවතුණේ දේවී කුමරියව බිල්ලට.............. |
එදා නං රජ්ජුරුවෝ වැසියන්ව සනවන්න දූ කුමාරිව
බිල්ලට දුන්නා. දහසය හැවිරිදි දේවී කුමරියව යාත්‍රාවකට නංවලා මුහුදට දැම්මා.
මං විශ්වාස කරන විදියට නම් ‘දේවී’ කුමරිය
හිටපු යාත්‍රාව ගොඩ ගැහුවේ පොතුවිල් දිහාවට. දැන් මුහුදු මහා විහාරය තියෙන තැනට.
මං එහෙම කියද්දී ‘කිරින්දේ’ උදවිය මොනවා හිතයිද මන්දා? ඒත් මොකද කරන්නේ,
පොතුවිල්වල ඉඳලා ලාහුගලට ටික දුරයි තියෙන්නේ.
ලාහුගල තමයි ‘මඟුල් මහා විහාරය’
තියෙන්නේ.
කාවන්තිස්ස රජතුමා දැනගෙන හරි, නොදැන හරි
‘බාල අපරාධයක්’ කරන්නට මුල පිරුවේ එහෙදියි. මඟුල් මහා විහාර භූමියේදී තමයි එතුමා
මංගල පෝරු මස්තකාරූඪව දේවී කුමරියව කාර බැඳල තියන්නේ!
දැන් කාලේ වගේ නම් ළමා
කාර්යාංශයෙන් නඩු දානවා, වැඩිහිටි අවසරය මොකුත් නැතිව, 16 කෙල්ලෙකු (සමහර පොත්වල
තියන්නේ කුමරිය ‘දොළොස් ඇවිරිදි’ කියලාලු!) අපහරණය කළාට! ‘නිදි’ ගොන් මෝලෝ, උඹ ඇත්තටම නිදිද? රජවරු
වැරැදි කළාට නඩු යනවද මෙහෙ? නීතිය තියන්නෙ පොදු වැසියන්ට විතරයිනේ.
සඳකඩ පහණ ලෝක ප්‍රසිද්ධයිනේ. ඒ ශෛලමය කැටයම.
කළු ගලෙන් නිම කරලා තියෙන නිසයි, ‘පහණ’ කියලා මුර්ධජ ණ එක්ක ලියන්නේ. අපේ රටේ නම්
‘සඳකඩ පහණ’ කියනකොටම ඉතාම රසවත් ගීතයකුත් හිතට එනවාමයි.
වොලී, සුනිල්, සතිස්චන්ද්‍ර, වික්ටර් හතරදෙනාගේම හපන්කම් කුළුඳුලේ ............... |
සුනිල් එදිරිසිංහගේ කුළුඳුල් සිනමාගමනය. වොලී
නානායක්කාරගේ කුළුඳුල් ගී පද රචනය. මගේ මතකය හරි නම්, වික්ටර් රත්නායකයන් සංගීත
අධ්‍යක්ෂණය කළ කුළුඳුල් චිත්‍රපටයත් මේකයි. සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ කුළුඳුල් අධ්‍යක්ෂණය,
1973 තිරගත වුණු ‘මාතර ආච්චි’ චිත්‍රපටයෙයි ඒ ගීතය තිබ්බේ.
චලන රුවෙන් එහාට ගිහින් චලනය නොවෙන සඳකඩ පහණට
ආයෙම ගියොත්.....
ශ්‍රී ලංකාවේ දැක ගන්නට ලැබෙන එකම සුවිශේෂී සඳකඩ පහණ තියෙන්නෙත්
ලාහුගල, මඟුල් මහා විහාර බිමේමයි.
අනෙක් හැම තැනම තියෙන ඒවායේ සත්ත්ව රූපවලට
වඩා වෙනසක් මෙතැන සඳකඩ පහණේ තියෙනවා. මේකේ ඉන්න සමහර අලින්ගේ පිටේ නැඟුණු
ඇත්ගොව්වනුත් ඉන්නවා! තිස්සෙම අලින්ව ආණ්ඩු-මට්ටු කරන්න හෙණ්ඩුව ළඟ-පාතක තියන්න
ඕනේ බව කාවන්තිස්ස රජතුමාත් දැනගෙන හිටිය වගෙයි, නේද?
තවම මේ අරුමය දැකලා නැතිනම්, ඒ පැත්තෙන් යන
වෙලාවක මඟුල් මහ විහාරයේ විතරක් තියෙන මේ සඳකඩ පහණ බලලා යන්න හොඳට මතක තියාගන්න!
ඇතාගේ පිටේ ඇත් ගොව්වෙකුත් ඉන්න මේ සඳකඩ පහණ තියෙන්නේ........... |
මංගල පෝරුවෙන් බැහැලා අග මෙහෙසිය විදියට
මාලිගාවට ගියත් දේවී කුමාරිකාවට දරු සම්පත් ලැබුණේ නැහැ.
ඉතින්, තිස්ස මහ වෙහෙරේ,
සල්වස පිරිවෙණේ හොඳටම අසනීපව, අපවත් වෙන්න ඔන්න-මෙන්න කියලා හිටි සාමනේර උන්නාන්සේ
කෙනෙකුට ආරාධනා කළාම තමා එතුමා බිසවගෙ කුසෙන් බිහිවෙන්නට කැමැති වුණේ.
එක පාරමත්
නෙවෙයි, බිසොවුන්නාන්සේ බලය තියෙන රජෙකුට කරන්න පුළුවන් දේවල්වල මහිමය ‘ප්‍රැක්ටිකලිම’
පෙන්නා දුන්නට පස්සේ.
දරුවක් පිළිසිඳගන්නවා කියන්නේ පුරුෂ බීජයක්
නොහොත් ශුක්‍රාණුවක්, ඩිම්බ සෛලයක් නොහොත් ස්ත්‍රී බීජයක් එක්ක එකතු වෙලා-සංසේචනය
වෙලා, යුක්තාණුවක් බවට පත් වුණාට පස්සේ ගර්භාෂ බිත්තියේ තැන්පත් වීමට.
මේ සෛල
දෙවර්ගයම මහා ලොකු එව්වා නෙවෙයි. පියවි ඇහෙන් බලාගන්න තරම් ලොකු නැහැ,
අන්වීක්ෂයකින් විශාල කරලයි දැකගන්න පුළුවන්. එතකොට හිතාගත්තෑකිනෙ size එක. එතකොට
බරත් මහා ලොකු එකක් වෙතෑකියැ?
එතකොට මතක් වෙනවා අහපු කාරනාවක්! පිරිමියෙක් එක වතාවකදී නිකුත් කරන ශුක්‍ර තරලයේ තියෙන ශුක්‍රාණු සේරටම ඩිම්බ සෛල හමුවෙනවා නම්?
එක පිරිමියෙක් එක වතාවක නිකුත් කරන ශුක්‍ර තරලයේ පිරිමි බීජවලින්................ |
එහෙම වුණොත් ඇමෙරිකා මහාද්වීපයේ දැනට ඉන්න ජනගහනයට වඩා පිරිසක් ඉපදෙයිලු! බය වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ කවදාවත්.
මොකද සාමාන්‍යයෙන් එක වතාවකදී; දවස් 28 කදී, ස්ත්‍රියකගෙන් නිකුත් වෙන්නේ එක ඩිම්බ සෛලයක් විතරයි! ඒ ඩිම්බ සෛලය ළඟට ශුක්‍රාණු දාහක් ළඟා වුණත්, ඒකට ඇතුළු වෙන්න වරම් ලබන්නේත් එකම පිරිමි බීජයක් විතරමයි. එහෙම එක ශුක්‍රාණුවක් ඩිම්බ සෛලයට ඇතුළු වුණු වහාම ඩිම්බය වටේම ශුක්‍රාණුවලට විනිවිද යන්න බැරි කබොලක් ඇති වෙනවා.
එහෙම නම් ඔය ටික ඔළුවේ තියාගෙන අපි ආයෙමත් 'සද්ධර්මාංකාරය' පෙරළමු!
“...........එකල්හි බිසවුන් රජ්ජුරුවන් හා
සමඟ රථයට නැඟී නික්මුණු වේලෙහි සාමණෙරයන් වහන්සේ චුතව බිසවුන් කුසැ පිළිසිඳගත්සේක.
මෙසේ පිළිසිඳගත් උන්වහන්සේගේ කුශලානුභාවයෙන් බිසවුන් දිසාවෙහි රථ චක්‍රය නාභිය
දක්වා පොළොවැ ගැලිණ. බිසවුන් කුස විදුරු පුරාපුවාක් මෙන් බර විය............”
සද්ධර්මාලංකාරය පොතේ, 14 වෙනි පරිච්ඡේදයේ
‘දුෂ්ටග්‍රාමණී වස්තුව’ කියවද්දී තමයි ඔය කෑල්ල අහුවෙන්නේ.
පිළිසිඳගැනීමක් සිදුවන මොහොතේ ඒ යුක්තාණුවේ බර නිසා කරත්තේ රෝදයක් පාරේ ගිලා බහින එක ... |
විහාර මහ දේවිය පන්සලේ
ඉඳලා ආපහු එන අතරේ වෙච්ච අකරතැබ්බයක් වෙන්න ඇති කියලයි මට නම් හිතුණේ! රථයේ පැත්තක්
පාරේ එරිලා. ඒක නම් වෙන්න ඇති; වෙන්න හැකි දෙයක්නේ. ඒත් මේ පොතේ විදියට නම් ඒක සිදු වෙලා
තියෙන්නේ ගැමුණු කුමාරයා පිළිසිඳගත් නිසා; ඒ බරට!
බිසවුන්නාන්සෙට දැනුණය කියන්නෙත්
‘කුසේ වීදුරු පිරෙව්වා වගේලු!’
සාමාන්‍ය ගැබිණියකටත් එහෙම දැනෙන්න ඉඩ
තියෙනවද? ගැබ්බර අම්මා කෙනෙකුගෙන්ම තමයි අහන්න ඕනේ ගැබක බරේ තරම.
යාන්ස් අහන්න මං හරිම කැමැතියි, හොඳට හිනා
වෙන්නත් ඇහැකියිනේ. මේක මං ඇහුවේ අවුරුදු තිහකටත් එහා දවසක. ශ්‍රී ලංකා පවුල්
සංවිධාන සංගමයේ, තරුණ ජනගහන කමිටුවේ වැඩ සටහනක් පවත්වන්න යන අතරමඟදී; අනුර ජිනදාස
හිතවතාගෙන්.
ස්තුතියි අනුර! (ඔය ත.ජ.ක. වැඩ ගැන ‘මගෙන් මංගල යෝජනාවක්’ පොස්ටුවල
හෙමත් මං ලිව්වා!) ඒ වගේම මේ කවිය මං හුඟක් මඟුල් ගෙවල්වල කතාවක් පවත්වද්දීත්
යොදාගෙන තියෙනවා.
බරසාර, රසවත් කෑමකින්, අතුරුපසවලින් කුස
පුරවාගෙන අඩ නිඳිමතෙන් ඉන්න මංගල සභාවකදී කරන කතාවේදී එයාලව හිනැස්සුවාම හරි.
එතකොට නිඳිමත දුරුවෙලා සභාව ප්‍රබෝධවත් වෙනවනේ.
කවියෝ හතරදෙනාත් මෙයාලා වගේ සප්පායම් වෙලයි..... |
ඔන්න කවියෝ හතර දෙනෙක් ගමනක් යනවා! (මේ ෆොටෝ
එකේ, දෝතළුගල කඳවුරු බිමේ, වාඩිවෙලා ඉන්න හතර දෙනා වගෙයි.) ටිකක් සප්පායම් වෙලයි අර
කවියන් එහෙම ගියේ. ඔහොම යද්දි මෙන්න බොලේ ඉස්සරහට එනවා ගැහැනු කෙනෙක්. ඒ අම්මණ්ඩිව
දැකපු ගමන් එක කවියෙක් ගෙනාවා යෝජනාවක්! “අපි හතර දෙනා මේ මනුස්සයා ගැන කියමු
කවියක්. එක්කෙනා එක පදය ගණනේ.”
“අම්මට සිරි! කියමු, කියමු....” අනෙක් තුන්දෙනාත් එක පයින්!
ඉතින්.... ඉතින් කවිය කිව්වා. හැබැයි,
එයාලා කිව්ව කවිය මං ඔයාලට කියන්නේ ඊළඟ
පෝස්ටුවෙන්!