කෙනෙකුට තමන්ගේ අත්දැකීම්වලින් මිදෙන්නට
හැකිද? |
සාමාන්‍ය කතාබහේදී පවා අපෙන් එළියට එන්නේ අපේ ජීවිතයයි! හැබැයි එහෙම ඒවා වටහා ගන්නට නම් ඔබ ‘Tube Light’ එකක් නොවිය යුතුය; හොඳ මීටරයක් ඇති කෙනෙකු විය යුතුය; කියන්නාගේ frequencyයටම අසන ඔබේ ෆ්‍රීකුවන්සියත් ‘සුසර’ කරවාගත යුතුය!
ඉතිං....
ගෙදරට පැමිණි චන්ද්‍රක්කාට යන්නට නොදුන්නේ මාලතී විතරක්
නොවේ. සිසිලියානාත් එසේ කළේ මෙසේ කියමිනි.
“හිටිං දුවේ, මං කේතලේ ළිප තිබ්බා. වතුර
පැහෙනවද කොහෙද... මං තේ ඩිංගක් හදන්නම්කො...” සිසිලියානා දුම් ගෙට ගියේ කඩිනමිනි.
“ඒක නෙවෙයි චන්ද්‍රක්කා, මං බලං හිටියේ
අපෙ අම්මා යනකල්... අද නං චන්ද්‍රක්කගේ මූණ එළිය වෙලා. ඈ අක්කා... අපෙ අයියා අක්කට
ලියුං එව්වෙ නැත?”
කට කඩනවා උඹේ... නැන්දව ඇවිස්සුවොත්.... |
මැඩගෙන සිටි සිනහව පුපුරා ගියෙන් චන්ද්‍රා
කතාව නැවත්වූවාය. මාලතී හිස ඔසොවා බැලුවේ සතුටෙනි. “ඔන්න අපෙ අම්මා, අපෙ අයියා ච...”
යුවතිය මාලතීගේ කෑ ගැසීම අවසන් කරන්නට ඉඩ
දුන්නේ නැත. දකුණතින් මාලතීගේ කට වසා, වමතින් මාලතීගේ නහය මිරිකූ චන්ද්‍රා
තර්ජනයක්ද කළාය. “කට කඩනවා උඹේ... නැන්දව ඇවිස්සුවොත්....”
තේ කෝප්ප දෙකත් රැගෙන එමින් සිටි
සිසිලියානා දෙදෙනාගේ දබරය දුටුවාය. මුවින් පමණක් නොව දෙනෙතිනුත් සිනාසෙමින් ඈ
යුවතියන් දෙදෙනා දෙස බලා සිටියේ උතුරා යන තරමේ මව් සෙනෙහසකිනි.
“මේ දවස්වල ඉතිං අපෙ මාලතී දූටත් රජ සැපනෙ
දුවේ.... කකුල ඇමැට්ටි වෙලා හිංදා මාත් ඔහේ ඔක්කොම රාජකාරි කරලා දෙනවා.....”
“අනේ අපෙ අම්මා, ඔහොම කියන්න පව්!”
පුත්තර රත්නෙගේ එංගලන්තේ ඉගෙන ගැනිල්ල
ඉවරෙටම ඉවර කරලද..... |
“ඈ දුවේ, වික්‍රම පුතා ලියුං එවල තිබුණය?”
විළිබර සිනහවක් චන්ද්‍රාගේ මුවගට නැඟිණි.
“හ්ම්.... එයා සනීපෙන් ඉන්නවලු නැන්දා....
මේ දවස්වල නං ඉතිං කරදරයක් නෑලු සටන් විරාමේ හින්දා.... නැන්දලාටත් බය නැතිව
ඉන්නලු. ඉක්මනටම තව ලියුමක් එවාවි නැන්දා....”
“අනේ, මයෙ කොල්ලට දළදා හාමුදුරුවන්ගේ
පිහිටාරස්සාවෙන් කිසිම අපල-උපද්‍රාවක් වෙන්න එපා!”
******
“එතකොට පුත්තර රත්නෙගේ එංගලන්තේ ඉගෙන
ගැනිල්ල ඉවරෙටම ඉවර කරලද ඔය ඇවිල්ලා ඉන්නේ...?”
හාන්සි පුටුවේ වාඩි වී සිටි දන්තුරේ
බණ්ඩාර දෙකකුල් පුටුවත උඩින් තබා ගත්තේය. ඔහු මෙතෙක් වෙලා සිටියේ කල්පනා කරමිනි.
බිරිඳ මේ ගැන යමක් දනිතැයි ඔහුට හැඟේ. තමා කෝප වෙන විදිහේ යමක් වෙතොත් එය කියන්නට
කුමාරිහාමි මැළි වෙන බවත් ඔහු දනියි.
දෙබැම ඝනව වැඩී නළල මැදින් යා වී තිබුණේ
ඔහුගේ ප්‍රතාපවත් පෙනුම තවත් වැඩි... |
දන්තුරේ බණ්ඩාර මනාව වැඩුණු සිරුරකට
හිමිකම් කියූවෙකි. වඩා පැහැපත් නොවූ ඔහුගේ සම කළුවන් එකක්ද නොවේ. මුළු ගතම පාහේ
රෝමයෙන් වැසී තිබීම දන්තුරේ බණ්ඩාර පෙළපතේ පිරිමින්ට ආවේණික වූ ලකුණකි. අප්පෝ
විටෙක ඒ ගැන උද්දාමයට පත් වීමටද පුරුදුව සිටියි.
“ඈ මැණිකේ... පුතා මොකද කියව්වේ?”
කුමාරිහාමි තවත් වරක් ඔහු දෙස බැලුවාය.
සැමියාගේ, මනාව තෙල් ගා පිටිපසට පීරා ඇති කෙහෙ රැලිවලට විදුලි එළිය වැදී පරාවර්තනය
වන්නේ දිස්නයක් විහිදුවමිනි. අප්පොගේ දෙබැම ඝනව වැඩී නළල මැදින් යා වී තිබුණේ
ඔහුගේ ප්‍රතාපවත් පෙනුම තවත් වැඩි කරවාලමිනි.
“දූලගෙ අප්පච්චි ඩිංගිත්තක් ඉවසලා
ඉමුකො.... දන්නවනෙ, පුතණ්ඩියත් ඉතිං අප්පච්චි වාගෙම බව. මයෙ පුතා ඔය තකහනියක්ම
ඇවිල්ල ඇත්තෙත් නිකම්ම වෙන්ඩ බෑ.”
පොඩ්ඩක් ඉවසලා ඉමු දෙයියෝ! |
එවර අප්පොගේ කටහඬ මඳක් දැඩි වී තිබිණි.
කුමාරිහාමි පරීක්ෂාවෙන් සැමියා දෙස බැලුවාය. දන්තුරේ බණ්ඩාරගේ දෙනාසා පුඬු
නළියමින් තිබේ. සැමියා කෝප වී තිබෙන බව කියවෙන හොඳම ලකුණ එය බව කුමාරිහාමි දනී.
“පොඩ්ඩක් ඉවසලා ඉමු දෙයියෝ! මයෙ පුතා
හිච්චි එකෙක් නොවෙනකොට ආයෙ කලබල වෙලා පුළුවන?”
“මැණිකේ, ඒ හින්දම තමයි අපි ඕවා හොයල
බලන්න ඕනැත්. දැන් කාලේ හැදෙන එකාලා තඹ සත පහකට මායිං කොරන්න බෑ. මොකුත් කරදරයක්
හෙම නං, විපත්තියක් හෙම නං බල-බලා ඉඳලා, නහය ළඟටම ගිලුණාම හොයලා වැඩක් ඇතිය....
දෙමව්පියන්ගේ යුතුකම දරුවෝ ගැන හොයලා බලන එක.”
“ආයෙ කවුද නෑ කියව්වේ? ඉන්ඩකෝ... එක පාරටම
ඔව්වා ඔය කියන කලබලේ අහන්ඩ ගිහිල්ලා....”
අම්මයි අප්පච්චියි දෙන්නාම ලීලෙ පෙන්නලා
බෑ.... |
සැමියා අනතුරු අඟවන්නේ ආවාට-ගියාට නම් නොවේ. අප්පොත් ධනුෂ්කත් එක කරුණක් ගැන කිසිම විටෙක සමාන අදහස් නොදැරූහ. දෙදෙනාම එකිනෙකා නුරුස්සතියි සිතෙන තරමට ගැටුම් ඇති වුණත්, දන්තුරේ බණ්ඩාර තම එකම පුතුට බෙහෙවින්ම ඇළුම් කළේය. ඒ රහසිනි.
“අම්මයි අප්පච්චියි දෙන්නාම ලීලෙ පෙන්නලා බෑ.
මැණිකෙගේ ආදරේ පෙන්නුවාම ඇති. අඩුම ගාණේ අප්පච්චිටවත් බය පක්සපාතකමක් ඇතුව දරුවො
හැදෙන එක තමා හොඳ!” ඔහු කුමාරිහාමිට තමාගේ දහම පවසා තිබුණේ දෙදරුවන් කුඩා
සංදියෙදීමය.
ධනුෂ්ක උසස් අධ්‍යාපනය ලැබීම අතහැර දමා ලංකාවට
ආවේ ඉතා හදිසියෙනි; අනපේක්ෂිත අයුරකිනි. ගහෙන් ගෙඩි එන්නාක් මෙන් කෙරුණු ඒ ගමන ගැන
කිසිවෙකුත් දැන සිටියේ නැත. අඩුම තරමින් එසේ ආවේ මන්දැයි කීමටවත් ඔහු නොසිතූ
සෙයකි. ඒ ප්‍රශ්නය මතු වුණු විටෙක පවා ධනුෂ්ක හීන් සීරුවේ මඟ හැර යන්නට පුරුදුව
සිටී.
“දූලගෙ අප්පච්චි ඕං ඔහොම දුර-දිග බලලා වැඩ
කරනවා නං මං හරී කැමති.... එතකොට පුතණ්ඩියත් හැදෙයි.... බෙලිමල් වගයක් තම්බලා ඇති.
ගේන්ඩය?”
උඹලගෙ අම්මට කියාපං මං පිං දුන්නාය කියලා.
දැන් ඉතිං.... |
******
“ඕං මං ආවා......! නැන්දා, මේං මේකත් අපෙ
අම්මා දෙන්ඩ කීවා....” චන්ද්‍රා කුඩා පාර්සලයක් මේසය මතින් තබමින් කිව්වාය.
“මොනවද දුවේ?”
“කිතුල් පිටි වගයක් නැන්දා. ළඟදී අප්පච්චි
කිතුල් ගහක් කැපුවා...”
“අනේ දුවේ, උඹලගෙ අම්මට කියාපං මං පිං
දුන්නාය කියලා. දැන් ඉතිං මේ වගේ එව්වා හැදෙන්නේ කලාතුරකින්නෙ. හැමෝටම වැඩ වැඩි
හින්දා.... අපෙ දූලගෙ අප්පච්චිත් මෙව්වාට හරී කැමති. උන්දැට පිත තියෙන නිසා මේක
අපූරු අවුසදය නෙව!”
“චන්ද්‍රක්කේ, අනිත් දවසේ අපෙ අම්මටත් ඕනි
කරන අවුසදයක් තියෙනව, ගේන්ඩ හොඳේ?” මාලතී කීවාය.
අපිව දැන් තියාම කෝලමකට අරංනේ... |
“මං කිව්වේ අපෙ අක්කා. ඔය අර අසනීපෙ තද
වෙලා. කටු කොහිල...” යුවතියෝ දෙදෙනාම සිනහසෙන්නට වූහ. සිසිලියානාත් පසෙකට හැරී
සිනා වූවේ දියණියට මුහුණ නොපෙනෙන ලෙසිනි.
“එහෙනං දුවේ, මං විගහිං නාලා එනකං නංගිත්
එක්ක ඉඳිං තරහ නැතිව.”
“ඉඳා! ඒකටද මේ චන්ද්‍රක්කා ආවේ? මීට
ඉස්සෙල්ලත් අපෙ අම්ම නාන්න ගියේ මට තනියට අයව නවත්තලද?”
“බලාපං දුවේ, මේකිගෙ කකුල හොඳ නැති නිසාය
කියල හොඳ හිතිං කරන්ඩ ගිය දේත් පේන්නෙ වැරදියට...”
“මේකිට පිස්සු නැන්දා... නැන්ද ගිහින්
එන්ඩ...” චන්ද්‍රා මාලතීට ටොක්කක් ඇන්නාය. කිළිටි රෙදි පිරවූ බාල්දියත් අතින් ගත්
සිසිලියානා පෑල දොරින්ම පිටවී ගියේ දුවන-නොදුවන තරම් වේගයෙනි.
“චන්ද්‍රක්කෙ, අම්මා ගියා නේද?”
“මොකෝ?”
උඹ දන්නවද මෝඩියෙ ඒ කවුද කියලා? |
“......”
මාලතීගේ කතාවට චන්ද්‍රා සවන් දීගෙන හිටියේ
කුතුහලයෙන් දැවෙමිනි. අවසානයේදී ඈ කතා කළේ අවවාදාත්මකවය.
“එහෙනං එහෙමයි මේ අඩව් ඇල්ලුවේ....? ඇත්ත
කියාපං... ඔච්චරමද වුණේ? ඔන්න හංගලා හෙම පස්සේ අහු වෙන්ඩ එපා!”
“බුදු හාමුදුරුවන් පල්ල ඔච්චර තමා අක්කා.”
මාලතී දිවුරුවාය.
“උඹ දන්නවද මෝඩියෙ ඒ කවුද කියලා?”
“කවුද අක්කෙ ඒ?”
“ඔය ඇත්තටමද උඹ අහන්නේ? උඹ තාම දන්නෙ නෑ ඒ
දෙන්නා කවුද කියලා....”
“ම්හු!”
“යකෝ, ඒ ධනුෂ්ක අප්පොයි මිලින්ද
මහත්තයයි!”
“අප්පො එංගලන්තෙලුනෙ....!”
නිතරම ගෙදරින් පිටව නොයන මාලතී ගමේ
තොරතුරු දැන සිටියේ අඩුවෙනි. සිසිලියානා වුවද ගෙවත්තෙත් ගෙදරත් වැඩටම කල් ගත කළා
විනා බැහැර නොගියාය.
කවුරුවත්ම නැති වෙලාවක් එනකං.... |
“පුංචි දවස්වල දැක්කට පස්සේ දැකල නෑ
අක්කෙ. මිලින්ද මහත්තයය කිව්වෙ එරන්දතී කුමාරිහාමිගෙ මහත්තයාගෙ මල්ලිනේ? එයාව නං
දැකලම නෑ, අහල තියෙනව මිසක්ක.”
“ඔය දන්න හරිය මදැයි... එතකොට කවුද පහළට
බැහැල ආවේ.... එයා කොයි වගේද කියපංකො බලන්ඩ...”
චන්ද්‍රා හොඳින් සවන් දුන්නාය.
“අඩමානයක් නෑ, ඒ ඇවිත් තියෙන්නේ ධනුෂ්ක
අප්පො! හැබැයි කෙල්ලේ, විල්මට් මාමා හෙම ඕක දැන ගත්තොත් උඹව පට්ට ගහයි... දන්නවනෙ,
මාමා අප්පොලත් එක්ක ආස්සරයක් නැති බව... බලාගෙනයි!”
“පිස්සුද අක්කෙ? ඒකමයිනේ මං මෙච්චර දවසක්
අක්කා එක්ක මේක කියන්නත් බල-බලා හිටියේ- කවුරුවත්ම නැති වෙලාවක් එනකං.”
‘ඉටු-අනිටු’ ගණ පිළිබඳව තරමක පැහැදීමක් මටත් තිබේ. ඒ හැඟීම ඇති වුණේ ‘දිනමිණ’ පත්තරයට නම තැබීම ගැන.... |
එය මාලතී බලාපොරොත්තු නොවූ අවවාදයකි!
******
“අයියේ.... තමුසෙ මේවා විශ්වාස කළත් නැතත් කමක් නෑ. ඔයා
ලියන පොතට නමක් දාද්දී හොඳ එකක් දානවා. නියම හාමුදුරු නමක් ඉන්නවා පිළියන්දල
පන්සලක. අපේ ගෙදර plan එක බලලා කිව්වා ගෙදර නිතරම ලෙඩ-දුක්-අවුල් තියෙනවය
කියලා.... බිත්තියක් කඩලා උළුවස්ස මාරු කරන්නත් කිව්වා.... යං ඒ හාමුදුරුවෝ මුණ
ගැහිලා හොඳ නමක් තෝරාගන්න.” අපේ සුනිල් මට අවවාදයක් දුන්නේය.
ඕනාවට වඩා විශ්වාස නොකළත් ‘ඉටු-අනිටු’ ගණ පිළිබඳව තරමක
පැහැදීමක් මටත් තිබේ. ඒ හැඟීම ඇති වුණේ ‘දිනමිණ’ පත්තරයට නම තැබීම ගැන කියවා
තිබුණු විස්තරයක් හින්දාය. එහෙම කියෙව්වේ කොතැන තිබිලාද කියා නම් මතක නැතිය.
ඒත් හොයා බලද්දී අහු වුණේ, ඒ විත්තිය අන්තර්ජාලයෙත්
තියෙනවා කියලාය.
“එවක විද්‍යාලංකාර මහා පිරිවෙනේ
අධිපතීත්වය හෙබවූවෝ ප්‍රමුඛ පෙළේ පැවිදි පඬිවරයාණ නමක වූ සාර්ව භෞම පණ්ඩිත
රත්මලානේ ශ්‍රී ධර්මාරාම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේය.
පරම විඥානාර්ථ බෞද්ධ සමාගම් ප්‍රධානීන්
තමා සඳරැසින් ඉවත් කළ නමුත් මෙතෙක් පවත්වාගෙන ආ ලේඛන කාර්යය අත්හැරීමට සූදානම්
නැති බවක් පිරිවෙන්පති හිමියන් හමුවේ පැවසූ පෙරේරා මහතා නව පුවත්පතක් ඇරඹීමේ තම
අදහස මුල්වරට හෙළි කළේය. අභිනව පුවත්පතට නමක් යෝජනා කරන ලෙසද ඔහු නාහිමියන්ගෙන්
ඉල්ලා සිටියේය.
හාමුදුරුවන් වහන්සේ හොඳය කියුවේ ‘යුවති
කිරිල්ලී’ නමය! (මුද්‍රණ දෙකක් පළ විණි.) |
ක්ෂණිකව තීන්දු කෙරුණක් සේ දිස්වුවද ශ්‍රී ධර්මාරාම නාහිමියන් ලබා දුන් ‘දිනමිණ’ යන අකුරු සතර සිංහල ශබ්ද ශාස්ත්‍රයටත් අක්ෂර විද්‍යාවටත් අනුකූලවූ ද පුවත්පතකට අන්වර්ථ වන අන්දමේ අරුතකින් ද යුක්ත වූවකි. දිනමිණ පුවත්පත මේසා දීර්ඝ කාලයක් මෙරට දනන් තුඬඟ රැව් පිළිරැව් දෙන නමක් බවට පත්ව තිබීම ම ඊට සාක්ෂ්‍යයක් වැන්න.
“හාමුදුරුවෝ ගණ ගැන දන්නවා වුණාට මගේ පොතට නමක් යෝජනා
කරන්නේ කොහොමද පොත කියවන්නේ නැතිව....” මම සුනිල්ට කීවෙමි.
“ඉතිං අයියට පුළුවනිනේ නම් කීපයක් හදාගෙන යන්න.... එතකොට
හාමුදුරුවෝ හොඳ එකක් තෝරලා දෙයිනෙ.” අපේ ලොකු නෑනා; මල්ලිකා යෝජනා කළේ එතකොටය.
හාමුදුරුවන් වහන්සේ හොඳය කියුවේ ‘යුවති කිරිල්ලී’ නමය!
උඹලගෙ අම්මාට දැං කීයක් විතර ඇද්ද? උන්දැට
තාමත් යස අපූරුවට ඇසුත් පේනවා නේද...? |
ඊට පසුව මුද්‍රණයකදී හෝ ඒ විදිහට නම වෙනස් කරන්නට මට
හිතුණේ නැතිය.
“අද උඹලගෙ හේරත් මල්ලි ටවුමට ඇවිල්ල
හිටියේ...” විල්මට් බීඩිය උරා දුම් උගුරක් පිට කළේය. සිසිලියානා වට්ටිය විවීම නවතා
හිස එසවූවාය. හේරත් ඇගේ සොහොයුරෙකි. සිසිලියානාගේ වයස්ගත මව නැවතී සිටින්නේ
හේරත්ගේ නිවසේය.
“හේරත් මල්ලි මොකොද කීවෙ...?”
“මුකුත් නෑ.... ඕං උඹලගෙ අම්මා කිව්වලු
මාලතී කෙල්ලව දකින්න ආසය කියලා.... හුඟ දවසකින් උඹ එහෙ ගියෙත් නෑ නේද කෙල්ලේ....?”
“අනේ මයෙ දුවේ, දැන් ඉතිං කකුලත් හොඳ එකේ
ගිහිල්ලා වරෙං මයෙ අම්මා.... මං බත් මුලකුත් බැඳලා දෙන්නං. කිරි අම්මා ආසයිනේ දුවේ
උඹ එනවට...”
කියවමින් සිටි නවකතා පොත පසෙකින් තැබූ
මාලතී හිස සැලුවාය.
“ඈ බං සිසිලි.... උඹලගෙ අම්මාට දැං කීයක්
විතර ඇද්ද? උන්දැට තාමත් යස අපූරුවට ඇසුත් පේනවා නේද...?”
කඳු අතරින් පාර ඉදිරියට ඇදෙන්නේ දඟර
ගැහෙමිනි..... |
“ඉස්සර මිනිස්සුන්ට තියෙන හයිය කොහෙන්ද
දැන් ඉන්න අපිට? ඇයි ඉතිං, අපි කන තරමක් කන්නෙ වස-විසනේ.... කෘමිනාශකයි, රට
පෝරයි...”
“කනවා විතරක් නෙවෙයිනෙ... තිස්සෙම
බොන්නෙත් බඩවැල් බොකු ඔක්කොම දිය වෙලා යන එව්වාකොට....” ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය
ගත් සිසිලියානා ඇණුම් පදයක් එල්ල කළාය. විල්මට් පරාජය පිළිගත්තේ නිකම්ම නොවේ.
“උඹලටත් ඉතිං පේන්නේ මං පොඩ්ඩක් කටේ
ගාගන්න එකමනේ.... ජරා වැඩ පුරුදු වුණාම ඉතිං ගෙදර ගෑනිගෙන් වුණත් කතන්දර අහන්න ඕනි
තමයි...!”
4
නිල්වන් කඳු අතරින් පාර ඉදිරියට ඇදෙන්නේ
දඟර ගැහෙමිනි. දෙපැත්තෙන්ම පෙනෙන තෙක් මානයේ තේ පඳුරුය. මෑතදී කප්පාදු කර ඇති තේ
ගස් ළා දලුවලින් වැසී ඇති බැවින් වඩාත් ලස්සනය. ධනුෂ්ක රියේ කවුළුවෙන් පිටත දසුනට
නෙත් යොමා සිටියේ ආසාවෙනි.
මිලින්ද නින්දකට වැටී සිටියේය. පැය
කිහිපයක ගමන විඩාබර එකක් වුවද ධනුෂ්කට රථයේ යද්දී නිදන්නට නොහැකිය.
“මිලින්ද මාත්තියට නං ඔඳට නින්ද ගීල්ලා!”
බුලත් කහට බැඳී ඇති දත් පෙනෙන සේ රාමන් සිනා වුණේය. නිහඬව සිටිනවාට වඩා යමක් කතාබහ කරමින් වාහනය පැදවීමට රාමන් කැමතිය. එවිට වෙහෙස හෝ නිඳිබර ගතිය හෝ දැනෙන්නේද අඩුවෙනි.
මෙතෙක් දිනක් සිහිනයෙන් දුටු ඒ මුහුණ... සිය දහස් වාරයක් සිතෙන් මවා ගත්.... |
ධනුෂ්කගේ සිත සැතපුම් දහස් ගණනක් ඈතට ගොස්
තිබිණි. රෝස්මරී.... ලූක්.... තවත් දහසක් දේ ගැන සිතට නැඟෙන්නේ සිතට අවශ්‍ය වූ
නිසා නොවේ. ඒ කිසිවක් ගැන මතක් කර ගන්නට ධනුෂ්ක කැමති නැත.
අප්‍රසන්න සිතිවිලිවලට මැදි වී සිටි
ධනුෂ්කගේ මුහුණින් පළ වූයේද නොපහන් බවකි. ඉදිරිපස කන්නාඩියෙන් ඒ මුහුණ දුටු රාමන්,
පුංචි අප්පොට කතා කිරීමට මැළි වූයේය. ධනුෂ්ක ඔහුගේම සිතුවිලි විජිතයේ තනි වී
සිටියේය.
“රාමන්, ඔහොම නවත්තපං ටිකක්!”
ධනුෂ්කගේ විධානය හදිසියේ ලැබුණු එකකි.
කලබල වූ රාමන් රිය හසුරුවා ගත්තේ වෑයමෙනි. ගැස්සුණු මිලින්ද නින්දෙන් පිබිදුණේ
එවිටමය. ධනුෂ්ක රියෙන් බැස්සේ මිතුරාගේ අතකින් අදිමිනි.
“කම් ඕන්... හරි අප්....”
‘පුංචි අප්පොත් මිලින්ද මාත්තියත් කොහෙද
තමා යනවා?’යි සිතූ රාමන් හැරී බැලුවේ හොරෙනි.
තමා පසු කරගෙන ගිය මෝටර් රථය නැවැත්වූ බව
මාලතීට දැනිණි. එහෙත් ඒ ඇයිදැයි එක එල්ලේ නොබැලූ ඈ යාන්තමින් හිස හැරවූවාය. රියෙන්
බැස ගත් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මුහුණ ඇයට අමතක නොවන්නකි.
මෙතෙක් දිනක් සිහිනයෙන් දුටු ඒ මුහුණ...
සිය දහස් වාරයක් සිතෙන් මවා ගත් ඒ මුහුණ...