"පිස්සුද මිනිහෝ? කවුද කිව්වේ ඔයාට කරන්න වැඩ කොටසක් නැහැ කියලා. ඔයාට වැඩ දෙක තුනක්ම තියෙනවා කරන්න.”
“උයනකොට
උදව් වෙන්නද?
මානෙල් දන්නවද, ඔයාලගේ
ලොකු අයියා හිටි ගමන් මට කියනවනෙ පොල් ගෙඩියක් ගාලා දෙන්නයි කියලා- නෙවිල් ලොක්කා එළවලු
කපන අතරේ...”
“අපේ
ලොකා එහෙම තමයි නමී. හාමුදුරු
නමකට හරි කියලා වැඩ කරවාගන්න අපේ ලොකා දෙයියා!”
![]() |
මා වඩාත් අගයන්නේ කතා කරන fotoස්ය! මට අනුව මේ එවැන්නකි. |
“මෙහෙමයි නමී. පෙබරවාරි 22 උදේ එකොළහට විතර තමයි ඔක්කොන්ටම අපේ ගෙදරට එන්න කියල
තියෙන්නෙ. එදාට වැඩේට උදව් වෙන්න එන ෂෙහාන්ගේ යාළුවො කව්රුවත් මට මීට කලින් මුණ ගැහිලා
නැහැනෙ. දන්නවනෙ... අපේ ජාතික පුරුද්දෙ විදිහට ඒ අය එන්න පරක්කු වෙන්නත් පුළුවන්.
ඒ නිසා ඔයාල ලවා මට කරවාගන්න ඕනි දේවල් ටික කල් ඇතිව එයාලට මැසේජ් කරමු.
ඉස්සෙල්ලාම ඔයා ඒ පණිවිඩේ ෂෙහාන්ට වට්ස්ඇප් කරන්න ඕනි.
මං හිතන විදිහට මේ වැඩේ ගැන blog එකටත් ලියවෙයි... ඒකටයි වැඩියත්ම මේ විස්තර ඕනි
වෙන්නේ.”
“හරි, මං ඒක කරන්නංකො!”
ඒ පණිවුඩයට
ඇතුළත් වුණේ මේ කරුණු ගැන හැකිතාක් විස්තර ලබා ගන්නා ලෙසයි; ඒවා සටහන් කරගෙන මට
ලබා දෙන ලෙසයි.
‘ඒ ඒ බස් රියේ රියදුරු- කොන්දොස්තර දෙදෙනාගේ නම් (අකමැත්තක් නැති නම් ටෙලිෆෝන්
අංක) / අපේ කණ්ඩායමෙන් ඒ ඒ බසයට යන අයගේ
නම් හා දුරකථන අංක / ඒ හැම එකට ඉන්නා foto
එකක් (විවිධ කෝණයන්ගෙන් දෙක තුනක් ගත හැකි නම් වඩා හොඳයි.)
මහරගම
සිට ඒ බසය යන ගමනාන්තය / ගමනට බස් ගාස්තුව / ගමනට ගතවෙන වෙලාව (සාමාන්‍යයෙන්) / ඒ
බසයේ මඟීන්ගේ ටිකට්ස් වෙනුවෙන් ගෙවූ මුළු මුදලේ එකතුව
විශේෂ
යමක් කියවුනොත්... / ඔබට සිතුණු විශේෂ යමක්...’
Foto
ගනිද්දී, මට අවශ්‍ය කරන්නේ මොන ජාතියේ ෆොටෝස්දැයි පැහැදිලිවම කියන්නට හිතාගෙන හිටියෙමි.
ඒත් මගෙන් ඒ විත්තිය කියැවුණේ නැත.
බ්ලොගයට ගැලපෙන්නේ මොබයිල් ෆෝනය හරවා අරගන්නා (උස අඩු- පළල වැඩි; landscape වර්ගයේ)
ෆොටෝස්ය. එමෙන්ම මා වඩාත් අගයන්නේ කතා කරන fotoස්ය!
“එච්චරද නිදි?”
“තව තියෙනව මිනිහෝ.”
“බලන්නකො නෙවිල් අයියේ. මේ මනුස්සයගෙ හැටි. ප්‍රශ්නයක් ඇහුවම ඇඟටම පැනලනෙ උත්තර
දෙන්නේ.”
“ආ... උඹට තේරුණාද මල්ලී. අපටත් ඔය ටිකම තමයි... දිසානායක එක්ක යාළු වෙනවා කියන්නේ
ඔහොම ප්‍රශ්නවලට face කරන්න වෙනවා කියන එක තමයි. හැබැයි තව වැඩි දවසක් දිසානායකට
ඔය සෙල්ලං කරන්න හම්බ වෙන්නේ නෑ... ඉස්සර හිටිය හැටියෙන් සීයට දහයක්වත් දැන් මිනිහ
සැර නෑ නමී... දත් හැලිලා...”
“මේ, මේ. පාර බලාගෙන එලවනවා! හැරිලා බලන අස්සේ මොකකවත් ඇනගත්තොත්...”
![]() |
මම හිතුවේ එක කණ්ඩායමකට තිස් දාහ
ගණනේ දෙන්න. වැඩියත්ම ඕනි වෙන්න ඉඩ තියෙන්නෙ පන්සීයේ නෝට්ටු, සීයේ එව්වා ඊළඟට... |
“ලියන්නද? නෙවිල්ට වෙලාවක් ලැබෙනකොට ඉතිං...
මේ, ඒක නෙවෙයි. දැන් 22 වෙනිදට ඔයා එන්නැද්ද අපේ පිංකමට?”
“මම කොහෙ එන්නද? ඔන්න හවස් වෙලාවකවත් නං... මට එන්න විදිහක් නෑ හලෝ!”
“එහෙනං ඉතිං
මොනවා කරන්නද මිස්ටර් අනුරසිරි? හැබැයි මට සල්ලි ටිකක් මාරු කරලා ගන්න තියෙනවා.”
“ඒක නං කරලා
දෙන්නං. මේ නමියට වුණත්...”
“මටත් බැරි නෑ. නිදි, ඒත් ඔයා ඉස්සෙල්ලම අරුණට කියන්න... එයා හැමදාම ත්‍රී වීලරේට
තෙල් ගහන්න යන හින්දා ෂෙඩ් එකේ අය දන්නව ඇතිනෙ. එහෙම තැනකින් ලේසියෙන්ම සල්ලි මාරු
කරගන්න පුළුවන්!” නමී දුන්නේ හොඳ අයිඩියාවකි!
“සිම්පල්නෙ
ලොක්කා. ලක්ෂයක්ද දෙකක්ද මාරු කරලා ගෙනත් දෙන්න ඕනි. දාහ, පන්සීය, සීය, පනහ,
විස්ස... මොනවයින්ද ඕනෙ?” අරුණ ඇහුවේ අසුරක් ගහන ගමන්.
මෙහෙම වැඩවලදී එක්කෙනෙකු මතම යැපෙන එක මගේ පුරුද්ද නොවේ. Second චොයිස් එකකුත් තියා
ගැනීම වැදගත්ය. ඒ හින්දාය, ඒ වැඩෙන් බාගයක් මර්වින්ටත් පැවරුවේ.
“හැබැයි රජෝ, අන්තිම මොහොත වෙනකල් ඉන්න බෑ... දවස් දෙකකට කලින් මට සල්ලි මාරු කරලා
ගෙනත් දෙන්න ඕනි.”
එහෙම
කෙරුණේය. නමීත්, මාත් එක්වය, මුදල් නෝට්ටු වෙන් කළේ.
“මම හිතුවේ නමී- එක කණ්ඩායමකට තිස් දාහ ගණනේ දෙන්න. වැඩියත්ම ඕනි වෙන්න ඉඩ
තියෙන්නෙ පන්සීයේ නෝට්ටු, සීයේ එව්වා ඊළඟට...”
“නිදි, එක බස් එකකට ඔයාගේ slips කීයක් දාන්නද?”
“පනහක්...”
Slips?
අප කරන්නේ පිනක් නම්, ඒ පිංකම කෙරෙන්නේ අම්මාට පිං පැමිණවීමටයි. බස් රියක් ඇතුළේදී
ඒ අරමුණ ගැන කියමින් හිඳින්නට ඉඩක් නැතැයි සිතමිනි, ඒ slip එක සැලසුම් කෙරුණේ.
“නමී, එක A4 එකක් දිගටි තීරු තුනකට බෙදලා එන size එකට හදමු. අපේ නම්-ගම් මොකුත්
ඕනි නෑ. අම්මගෙ නම විතරක් තිබ්බම ඇති.”
“අම්මගෙ foto එකක්?”
![]() |
අපේ අම්මා ගැන විස්තර ස්වල්පයක් පමණි-
ඒ ස්ලිප් එකේ තිබුණේ. |
“මීට වැඩිය හොඳ එකක් නැද්ද ලොක්කා... අනෙක black & white එකක්... print අවුට්
එකක් අරගෙන foto copy කරන්න යන නිසා කළු-සුදු එකක් තමයි වැඩියෙන් හොඳ.”
නමී කීවේ ඉස්තරම් විදිහට ඒ රාජකාරිය කරලා දෙන්න තමයි!
ඒත් ඒ දවස්වල මං හිටියේ blood count එක අඩු වෙලාය. එතකොට මෙලෝ වැඩක් කරන්නට නොහිතෙයි;
ඔළුව උස්සාගෙන ඉන්නට නොහිතෙයි. දිගටම නිඳා ගෙන ඉන්නටය හිතෙන්නේ.
“අනේ නමී.
මගේ මූඩ් එක බැහැලයි ඉන්නේ. ආයෙ වෙන foto හොයන්න බෑ, මහත්තයෝ. ඕකෙන්ම පිරිමහ
ගනිමු.”
“හැබැයි ලොක්කා, මං ස්ලිප් එක හදල එව්වම proof බලන්න නං වෙයි.” කියූ නමී තිතටම
වැඩේ කළේය. එහි ප්‍රින්ට් අවුට් එකක් අරගෙන, foto කොපිත් අරං, තීරුවලටත් කපාගෙන
ආවේය. එයාගේ වියදමෙන්ම!
‘දරු-
මුණුබුරු- මී මුණුබුරු පරම්පරාවක් පිරිවරාගෙන ගෙවූ ප්‍රීතිමත් ජීවිතයට
‘ඩිමෙන්ෂියා හා පිළිකා රෝගී තත්ත්ව’ නිසා සමු දෙන්නට සිදුවූ
ආර්.වී. ලීලාවතී (ලීලා ශ්‍රෝඩර්) මාතාවට
‘නිවන් සුව’ පතා නෑ හිත මිතුරන් එක්ව මේ පුණ්‍ය කටයුත්ත සිදු කෙරෙයි.
(2025
පෙබරවාරි 22 වෙනිදා, මහරගම-
අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බලන්නට සපැමිණි ඔවුන්ගේ ඥාතීන්ගේ ගමන්
වියදම් දැරීමේ පිංකම නිමිත්තෙනි.)’ කියන විස්තර
ස්වල්පය පමණි- ඒ ස්ලිප් එකේ තිබුණේ.
මට හිතුණු
විදිහටම කට්ටියෙන් වැඩි දෙනෙකු අපේ ගෙදරට ආවේ දහවල් දොළහට කිට්ටුවය. “පළවෙනි බස්
එක දොළහමාරට පිටත් වෙන විත්තියයි ආරංචි වුණේ. අපි ඉක්මනට එතනට යං නේද?”
“ලොකු තාත්තේ, එතෙනදි මම සල්ලි bags ටික groups බෙදෙන බෙදෙන විදිහට දෙන්නං... එක
bag එකක තිස්දාහ ගාණේ නේද තියෙන්නෙ?”
“හැම බෑග් එකකම ස්ලිප්ස් 50 ගාණේත් තියෙනවා සිඟිති.”
එතකොටත් මර්වින්
හා ෂෙහාන් යහළුවන් වාහනවලට නංවාගෙනය.
“නිමල් අයියේ, මට දෙක වෙනකොට ආපහු කොට්ටාවේ ඉන්න තියෙනවා.” තමීර මෝටර් සයිකලයට
නඟිමින් කීවේය. “මම එහෙන්ම යනවා... කමක් නැහැනෙ.”
“මහප්පේ... අපි ගිහිං එන්නං...” ෂෙහාන් පෙරමුණ ගත්තේය.
මං කළේ කෑම
මේසය සූදානං කරන එකය. ඒ අතරේය ටෙලිෆෝනය ඇඬුවේ.
“නිමල් අයියේ, පළවෙනි බස් එක පිටත් වුණා. එච්චර පැසෙන්ජර්ස්ලා හිටියෙ නෑ.” තමීර වාර්තා
කළේය.
![]() |
එයාලට පුළුවන්ලු ටිකට් මැෂිම සීරෝ
කරලා ටිකට්ස් කඩන එක පටන් ගන්න. ඊට පස්සේ ටෝටල් එක බලල සල්ලි ගෙවන්නලු. |
“මේ හොස්පිට්ල් එකේ clinic තියෙන්නෙ අඟහරුවාදයි, බ්‍රහස්පතින්දයි දෙකේලු. ඒ දවස් දෙකටලු කට්ටිය වැඩිම.”
විස්තර
හොයද්දී එහෙම දෙයක් අපට ආරංචි වුණේ නැත. එහෙම දෙයක් ගැන අපට හිතුණෙත් නැත.
‘සෙනසුරාදා නිසා ලෙඩ්ඩු බලන්න එන අය වැඩි වෙයිනෙ.’ කියලාය අප උපකල්පනය කළේ...
අප හිතූ තවත් දෙයක් වෙනස් වෙලාය.
“මහප්පේ, එක
එක්කෙනාගෙ බස් ගාස්තුව වෙන-වෙනම ගෙවන්න ඕනි නැහැයි කියලා කොන්දොස්තර මහත්තුරු
කිව්වා. එයාලට පුළුවන්ලු ටිකට් මැෂිම සීරෝ කරලා ටිකට්ස් කඩන එක පටන් ගන්න. ඊට
පස්සේ ටෝටල් එක බලල සල්ලි ගෙවන්නලු.”
“ෂා! නියමයිනේ... එතකොට වැඩෙත් ඉක්මන්; වරදින්නෙත් නෑ. ලේසිත් එක්කනේ ෂෙහාන්!”
“ඔව් මහප්පේ,
හිතා ගන්නවත් බැරි තරමට බස්වල කට්ටිය අපිට සපෝට් කරන්නේ. එයාලත් අපිට පිං දෙනවා. ඒ
මිනිස්සු දන්නවනෙ ලෙඩ්ඩුයි ගෙවල්වල අය ගැනයි ගොඩක් දේවල්... අපි ඒ කියන එව්වා
වීඩියෝ කරගත්තත් එක්ක. ගෙදර ආවහම මහප්පට විස්තරේ කියන්නංකො, පෙන්නලාම.”
අපේ නඩේ
කට්ටිය ආපසු ආවේ දෙකහමාරට විතරය. ඒත් එක්කම කතාබහෙන් ගෙය පිරුණි...
ලොකු තාත්තට ගොඩක් පිං, මේ වැඩේට අපිවත් එකතු කර ගත්තට. / බස්වල හිටිය මිනිස්සු
සන්තෝස වෙච්ච තරමක්. / ඇත්තමයි, අපිට නං ඕක එච්චර දෙයක් නෙවෙයිනෙ, මහප්පේ. එයාලා
නං හරියට ඇප්රිෂියේට් කළා... කට්ටියගෙ සතුට දෝරෙ ගලනවා. කිසිම ලාභාපේක්ෂාවක් නැතිව හොඳ වැඩක් කළාම එහෙම
වෙනවා නේන්නං....
“හරි, හරි.
මටත් සතුටුයි. ඒත් මාත් හොඳටම බඩගින්නෙ ඉන්නේ. කාලා ඉවර වෙලා කතා කරමු නේද ළමයි?
ඔයාලවත් අඬගහගෙන එන්න සිඟිති.”
“මේ එනවා
ලොකු තාත්තේ. කාල ඉවර වෙලාම අපි ගණන් ටික හදමු නේද අදීප මල්ලී. ඊට පස්සේ හිමාෂා එව්වා
ලස්සනට ලියල දෙයිනේ... කැතට ලියලා මොකටද ලොකු තාත්තගෙන් දොස් අහන්නේ...” සිඟිති
සිඟිති hint එකකුත් පාස් කළේ එහෙම කියමින්. (අපේ පවුලේ දෙවෙනි පරම්පරාවේ ළමුන් සේරම
බය ගන්නන්න ‘රාස්සයන් කන පරාස්සයා’ විදිහට පාවිච්චි වුණේ මගේ නමනෙ!)
![]() |
එදා ඒ බස්වල සේවය කළ රියදුරු- කොන්දොස්තර
මහත්වරුන්ට උපහාරාත්මක ස්තුතියක් පුදන්නටද මෙය අවස්ථාව කරගනිමි! |
මේ විස්තර සියල්ලම
මෙතැන ලියන්නට හිතුවේ ‘තවත් කෙනෙක්ට හෝ පිරිසකට හෝ පිං සිතුවිල්ලක් පහළ වුණොත් ප්‍රයෝජනයට
ගැනීම’ පිණිසයි; මේ සද් ක්‍රියාව එක බස් රියක මඟීන් සඳහා වුවත් කළ හැකි බව පෙන්වා
දීම පිණිසයි.
එසේම අපට උපරිමයෙන් සහය දැක්වූ, එදා ඒ බස්වල සේවය කළ රියදුරු- කොන්දොස්තර මහත්වරුන්ට
උපහාරාත්මක ස්තුතියක් පුදන්නටද මෙය අවස්ථාව කරගනිමි!
ඇඹිලිපිටිය: බස්
රියේ සේවය කළේ අසංක, චානක සේවක මහත්වරුන් යුගලයි. ටිකට් පතක මිල
560/-.
හලාවත: දමිත සංජීව, ප්‍රියන්ත කුමාර බසයේ සේවක මහත්වරුන් යුගලයි. ටිකට් පතක මිල 330/-.
මහනුවර: සේවයේ නිරත වී උන්නේ U.D. බණ්ඩාර, D.K. මුණසිංහ මහත්වරුන්ය. ටිකට් පතක මිල
457/-කි.
කුරුණෑගල: R.R.S.රූපසිංහ, ධර්මදාස මහත්වරුන්ය, සේවක යුගලය වූයේ. ටිකට් පතක මිල 374/-කි.
නිකවැරටිය: සේවයේ නිරත වී සිටියේ J.M.J. ජයකොඩි, නාලක ප්‍රියන්ත මහත්වරු දෙදෙනාය.
ටිකට් පතක මිල 548/-කි.
මීගමුව: M.D.P මාරසිංහ, C.H.M. පතිරණ බසයේ සේවක මහත්වරුන් යුගලයි. ටිකට් පතක මිල 380/-කි.
අනුරාධපුර: ධම්මික කුමාර, නිහාල් යන මහත්වරු
බසයේ සේවය කළහ. ටිකට් පතක මිල 706/-කි.
මහිංගනය: K.H.M. ජයසූරිය, R.M.S.D. රත්නායක යන මහත්වරුන් දෙදෙනාය බස් රියේ සේවය කළේ.
ටිකට් පතක මිල 748/-කි.
පොළොන්නරුව: බස් රථයේ සේවක යුගල වූයේ K.M. කීර්තිරත්න, N..H.C.M.K. දසනායක
මහත්වරුන්ය. ටිකට් පතක මිල 797/.
“නිමලෝ, අපිට
සමහර බස් මඟ හැරුණා... අපරාදේ!”
“මේ බලන්නකෝ මහප්පේ. මහනුවර බස් එකේ ඩ්‍රයිවර් මහත්තය කියන කතාව.” ෂෙහාන් කෙටි
වීඩියෝවක් play කර පෙන්වයි.
![]() |
අපේක්ෂා රෝහලේ සිට මහනුවර දක්වා යන
NC 9032 බසයේ රියැදුරු U.D. බණ්ඩාරගේ... |
ඉස්පිරිතාල ගත්තම මේක වෙනස්ම තැනක්... අවුරුදු 15ක්- 20ක් තිස්සේ මම දැකල තියෙන
විදිහට නං මෙහාට එන ලෙඩ්ඩුන්ගෙන් සීයට 98ක්ම මැරෙනවා. එහෙම මැරෙන අයගෙන් ගොඩ දෙනෙක් මැරෙන්නේ ගෙදර අයවත්
නොමරා මරාගෙනයි. මොකද කෙනෙක් පිළිකා ලෙඩෙක් වුණත් ගෙදර අය බලන්නේ ගෙවල්-දොරවල්,
ඉඩම්-කඩම් විකුණලා හරි බෙහෙත් කරන්නනෙ. එහෙම අයට හැම රුපියලක්ම ගොඩක් වටිනවනෙ...”
අපේක්ෂා රෝහලේ සිට මහනුවර දක්වා යන NC 9032 බසයේ රියැදුරු U.D. බණ්ඩාරගේ නිරීක්ෂණයයි
ඒ.
“මහියංගනේ
බස් එකේ අයගෙනුත් අපි මරු කතාවක් දැනගත්තා.”
“ඒ මොකක්ද මර්වින් ඒ?”
“හැමදාම වගේ ඒ බස්සෙකේ බත් පාර්සල් හත-අටක්වත් එවනවලු ඉස්පිරිතාලේ ඉන්න ලෙඩ්ඩුන්ට.
බත් පාර්සල්වල නම් ගහලලු එවන්නේ. හැමදාම මෙහාට එන්න තරං වත්කමක් නැති අය තමයි එහෙම
කරනවා කියන්නේ.”
“මටත් හරියට
දුක හිතුණා අර ගෑනු ළමයින්ගේ කතන්දරේ අහද්දී... හොස්පිටල් එකට එක දුප්පත් තාත්තෙක්
ගෙනත්, පිළිකාවක් හැදිච්ච. එයාට දුවල තුන් දෙනෙක් හිටියලු. ඒ ළමයි තුන් දෙනා
හැමදාම ඒ තාත්තව බලන්න ඇවිත්, ඉඩමක් උගස් කරලා හොයා ගත්ත සල්ලි ඉවර වෙනකල්.
පස්සෙ පස්සේ ඒ බස් එකේ කොන්දොස්තර මහත්තය එයාව අමාරුවේ වැටෙන්න ඉඩ තියෙද්දිත් එක ළමයෙකුට
ටිකට් කඩන්නැතුව හිටියලු!” (ඒ බස් රිය කොහෙන් පැමිණි එකක්දැයි නොසොයන්නට කාරුණික
වනු මැනවි.)
ඒ සේරමත්
හරිය. ඒත් ඒ කාරියට අප වෙන්කොට තිබුණු මුදලෙන් 40%කට මඳක් වැඩි මුදලකි එදා වැය වී
තිබුණේ.
“ෂෙහාන්,
මොකද කියන්නේ? තව දවසක් මේ වැඩේ කරමුද?”
“කරමු මහප්පේ. හැබැයි තව සතියකටවත් පස්සේ...”
“සතියකට නෙවෙයි ෂෙහාන්, සති දෙක තුනකට පස්සේ තමයි වැඩේ දාගන්නේ. ඔයාගේ කට්ටියත්
අල්ලගෙන...”
“මෙහෙම දේකුත් තියෙනවා මහප්පේ. Clinic තියෙන; සතියේ දවසක්නේ දාගන්න වෙන්නේ.
යාළුවන්ව අල්ල ගන්න ටිකක් අමාරුයි.
දැන් අපි දන්නවනේ වැඩේ කරන විදිහ. එතනට බස් ගහන විදිහත් දැන් අපි දන්නවනේ. අපි
තුන් දෙනෙකුට හරි හතර දෙනෙකුට පුළුවන් වැඩේ කම්ප්ලීට් කරන්න. හැබැයි, අපිට ටිකක් වැඩියෙන්
එහාට-මෙහාට දුවන්න වෙයි. මර්වින් අයියයි, නමීයි දෙන්නත් එයිනේ... ඔයා ඒ
දෙන්නගෙනුත් අහල ඉන්න...”
![]() |
මෙහෙයුමේ ක්රියාකාරිකයෝ- (වමේ සිට)
ප්‍රමෝද්‍ය, නමී, දිනුෂා, හිමාෂා, රවීනා, සිඟිති, අදීප, (ලියන මහත්තයා), ෂෙහාන්, ජුනෙත්
හා නිපුන. (මර්වින් - ඈතින් ) |
2025 මාර්තු 20වෙනි බ්‍රහස්පතින්දාට පිංකමේ දෙවෙනි පියවර යොදා ගැනුණේ ඉන් පසුවය.
එදා අපේ
ඉලක්කයට ළඟා විය හැකි විණි. බස් ගාස්තු ගෙවීම සඳහා වෙන්කොට තිබුණු මුළු මුදලම බස් ගාස්තු වශයෙන් ගෙවන්නට
පුළුවන් වුණේය.
ඒත්- ඒ
මෙහෙයුමේ ක්‍රියාකාරීන් තුන් දෙනාට විතරක් නොවේ, මේ ලියන නිමල් දිසානායකයාටත්
‘මෙහෙයුම් ක්‍රියාකාරීන් අඩු වීමෙන් සිද්ද වෙන අවාසියකුත් ඇති බව’ පෙනුණේ නැත!
දෙවෙනි දවසේ ප්‍රධාන වශයෙන්ම සටහන් වී ඇත්තේ ‘මෙහෙයුමේ ඉතා වැදගත් මුල්‍ය තොරතුරු’ය.
අනෙක් විස්තර- foto- වීඩියෝ නැතිම තරම්ය!!
“ඔව් මහප්පේ,
වැඩේට මුල් තැන දෙන්න ගිය නිසා, රිපෝටින් වැඩේ මිස් වුණා තමයි.”
”ඒත් ෂෙහාන්, අපි මේ සැරේ බස් ගොඩකට ගියානේ!”
“ඔව්, ඔව්. දුරම ඉඳල ඉස්පිරිතාලෙට එන මුලතිව් බස් එක තියෙන බවවත් අපි පළවෙනි වතාවේ
දැක්කයැ?”
“ඒකනේ මචං. මුලතිව් බස් එකේ ටිකට්ස්වලට විසි දෙදාහක් ගියා.”
කොහොම වුණත්
මේ මෙහෙයුමේ සාර්ථකත්වය ගැන මට නං හරිම සතුටුය.
මිය පරලොව
ගියායින් පස්සෙත් මේ මඟුල් සක්වළේ සිද්ද වෙන දේවල් කෙනෙකුට පෙනෙනවා නං... ප්‍රධාන
වශයෙන්ම අපේ අම්මාත්- පිං කැමති අනෙක් අයත් අපේ පිංකම දකින්නට ඇති; එයින් සතුටු
වෙන්නටත් ඇති; පිං අනුමෝදන් වෙන්නටත් ඇති.
ඉතිං, ඔබ හැම
දෙනාටත් යහපතක්ම වන්නට මේ පිං හේතු වාසනා වේවා!!!
මේ සද් ක්‍රියාවට දායක වුණු; නන් අයුරින් වෙහෙසුණු සියලුම දෙනාටත් යහපතක්ම වේවා;
නිදුක් නිරෝගී සුව හා ජය- සතුට අත්වේවා!
මේ posts
සියල්ලම කියවමින්, මේ විස්තර ලියන්නට මා පෙළඹවූ ආදරණීය පාඨක ඔබ සැමටත් යහපතක්ම වේවා; නිදුක් නිරෝගී
සුව හා ජය- සතුට අත්වේවා!
පෝස්ටුවේ
අවසානයට කුණ්ඩලි සලකුණ තියන්න කලින් මේ ඩිංගිත්තත් ලියලම ඉන්නං.
‘ආපහු මේ වැඩේ කරනවා නං එහෙම මං තුන් දෙනෙක් නෙවෙයි, පස් දෙනෙකුව ලෑස්ති කර ගන්නවා...
නොවැරදීම.’෴0෴