li Item

Friday, June 27, 2025

හිඟන්නො නොවෙනා කෝටිපතියනුත්...

නමෝ විත්තියෙන් දොහොත් මුඳුන් දී - සනරාමර හිමි සඳ වැඳලා

නමෝ විත්තියෙන් දොහොත් මුඳුන් දී
                        - සනරාමර හිමි සඳ        වැඳලා
පුවත් කිහිපයක් කියන්න සිරිලක
                        - අවසර! කවි ලෙස පද   බැඳලා
ආදි යුගේ නං මේවා කෙරුණේ
                        - මෙලහකටත් ‘දඬුවම්’ ලැබිලා
ප්‍රජාතන්තරේ මහිමය හින්දයි
                        - තීන්දු එන්නේ පමා       වෙලා

අහන්න සුදනෙනි අමුතු ඇටයෙ තතු
            - කියන්න ලජ්ජා හිතෙයි          මට
මක්ක කරන්නද සිද්ද වෙච්චදේ
            - නොකියා කොහොමද  ඔහෙලාට  
නත්ත පනත්තා කාලේවත් අපෙ
            - මෙව්ව වැටිල තිබ්බැයි       කණට
අවාසනාවද කරුමෙද මන්දා
            - මෙව්වා වෙයි එක පිට        එකට

තණ්හාපතිකම තියෙනව කාටත්
                  - සසර පුරාමත්      ගෙනියනවා
ඒක දුකට මුල කියලා දැනුණම
                  - ටික ටික අඩු කරගෙන යනවා
ඒත් එහෙම නැති උදවිය අනුවණ
                  - ලෝකෙම ගන්නට දත කනවා
‘දත කා කළොතින් අනිසි අයුතු වැඩ’
                  - නට්ටං වෙන්නත් සිදු  වෙනවා

ජපුර රෝහලේ ජාවාරම් ගැන - සිරිලක කවුරුද නොමදන්නේ

තමුන්නෙ යැපුමට ඕනෙ තරම දැන
                         - ඒ වගෙ සිව් ගුණයක්   හොයලා
කටයුතු කරන්න ඕනේ හැටි ගැන
                         - සිඟාලොවාදෙත් ඇත      කියලා
එව්වත් නොතකා; පෙරේතයො වගේ
                         - මේ නොමිනිස්සුත් එකතු වෙලා
හිඟන්නො නොවෙනා කෝටිපතියනුත්
                         - හිඟන මනසකින් වැඩ    කරලා

උපන් හැටිද මේ, හැදුණු හැටිද මේ
                  - සුදනෙනි හෙවීම නැත   ලේසි
‘මළමිනියත් කට අරිනවාලු නෙව
                  - දකින පමාවෙන් රන්      කාසි’
ඒ බව දැනගෙන, නුවණින් සලකා
                  - නොගත යුතුයි අනියම්   වාසි
එහෙම ගත්තු අය නීතිය හමුවේ
                 - දැන් ගැලවෙන්නට නැත ලේසි

මනුසත් වග මැද මිනිසෙකු විලසින්
                          - උපත ලැබීමත් ලොකු         පිනකි
නිරෝගි අතපය සෙයින්ම නුවණැති
                          - බව හිමි වීමත් ලොකු         පිනකි
එවැන්නවුන් මැද හිපොක්‍රටීස්ගෙ
                          - දරුවෙකු විය හැකි ටික  දෙනෙකි
මේ මෘග ධෙනුව එවන් පිං මහිම
                          - ජන්මයෙන්ම හිමි වූ          කතකි

පූරුවෙ පිනකින් මොළය ලැබී ඇත
                   - එනිසයි දොස්තර කෙනෙකු  වුණේ
නිකංම දොස්තර කෙනෙකුත් නොව මැය
                   - විශේෂඥයෙකි          කියැවෙන්නේ
හොර ගුහාවකට ආවට පස්සෙද
                   - මෙයාට ‘හොරකම’ හුරු  වෙන්නේ
ජපුර රෝහලේ ජාවාරම් ගැන
                   - සිරිලක කවුරුද         නොමදන්නේ

මෙහෙව් එවුන්ටත් කොහොමද පෑව්වෙ - ඉර හඳ තරු වෙනසක් නැතුව

‘කළ ගුණ සිහිකොට’ ජපානෙ දුන්නා
                    - ඇඳන් දාහෙ                    ඉස්පිරිතාලේ
තවත් ඇඳක් ජයවර්ධන ජනපති
                    - වෙනුවෙන් වෙන්කොට තිබිණි බොලේ
පහු පහු වෙනකොට කොහු කොහු වෙද්දී
                    - සිරිලක් අම්මාගෙත්                   තාලේ
පාදඩ නඩයක අතට පත් විණිලු
                    - රෝහල් පරිපාලනයෙ                  බලේ

එක ජාතියෙ එක කුරුල්ලො ලගිනව
                       - එකම අත්තෙ අවුලක්       නැතුව
දොස්තර නෝනත් ‘සහයට ඩැනී’ල
                       - දෙන්නෙකුවත් එක්කරන්     තව
‘ජාවාරම’ අරඹලා ජය පහට
                       - කරගෙන ගිහින්ලු ‘කැත නැතුව’
මෙහෙව් එවුන්ටත් කොහොමද පෑව්වෙ
                       - ඉර හඳ තරු වෙනසක්     නැතුව

‘ඉස්පිරිතාලෙන් ගන්න එපා - මේ
                       කොම්පැනියෙන්මයි ගත යුත්තේ’
කියලා වික්කලු ශල්‍ය උපකරණ
                       - ලෙඩුන්ට ගිනි ගණනට  මුත්තේ
ඒකත් පොඩි නෑ දහ ගුණයක් වගෙ
                       - වැඩි මිලටයි විකුණා      ඇත්තේ
මුන්හට දෙන්නට දඬුවම් නැතුවැති
                       - දැන්  තිබෙනා ‘නීතියේ පොතේ’

සැත්කමකට අරගෙනලු මෙයාලා - මොළය මැරිල තිබු මළ මිනියක්

පිරිහී ගිහිල්ල මනුස්සකම මේ
                  - කට්ටියගෙන් සීයට           සීයක්
කරලා තියෙන්නෙ මනුස්ස නමටත්
                  - නිගා දෙවන ජාතියේ        වැඩක්
සැත්කමකට අරගෙනලු මෙයාලා
                  - මොළය මැරිල තිබු මළ  මිනියක්
ඊට හපන් කාරණේ එතකොටත්
                  - මරණය සිදු වී පස්          දවසක්!

හොර වෙද සහතික, බොරු වෙද රිපෝට්ස්
                           - එහෙමත් දීලලු            ආරංචියි
නිකං නෙවෙයි ඒවා දෙන්නැත්තේ
                           - ලක්ෂ ගාණකින් පුද      ලබලයි
මොටද උගත්කම, මොකටද ලොකුකම
                          - තත්ත්වය පිච්චියකුදු නොවටියි
සුනඛ පුකේ බැඳි මීයේ මී පැණි
                          - වගේ තමයි වැඩකට නොගනියි 

ඔහොම හම්බකොට කෑවත් කෑ හැකි
                            - බඩට තරම විතරයි        නේද
දාහක් තිබ්බත් එක වෙලාවකදි
                            - යහන් දෙකක වැතිරිය හැකිද
කාව රැවටුවත් බොරුවෙන් හොඳහැටි
                            - තමනුත් රවටාගත      හැකිද
මරුවා එක්කං යන්නෙ හිස් අතින්
                            - වස්තුව අරං ගියේ        කවුද?

(‘අරුණ’ පුවත්පතේ පළවූ පහත දැක්වෙන වාර්තාව කියැවීමි. එයින් කම්පනයටද පත් වීමි. ඉහතින් දැක්වෙන කවි කීපය මා රචනා කළේ එසේ කම්පිත හදැතිව සිටියදීය.)

රෝගීන්ගේ තරාතිරම අනුව තමයි මිල ගණන් අය කරන්නේ.

‘වෛද්‍ය මහේෂි විජේරත්නගේ සැත්කම් ගැන තවත් තොරතුරු

දූෂණ චෝදනා එල්ල වී සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න රෝගීන් ලවා තමන්ට අයත් පෞද්ගලික ආයතනයකින් ශල්‍ය උපකරණ ගෙන්වාගෙන මොළය මියගිය රෝගීන්ටත් සැත්කම් සිදුකර ඇති බව අද (24) අධිකරණයේදී අනාවරණය වුණි. 

, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අදාළ විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනාම ජුලි 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාරගත කිරීමට නියෝග කළාය.

අල්ලස් පනතේ දූෂණය නම් වරද යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් වූ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන්ත වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු දැක්වීය.

"ස්වාමීනී සැකකාර වෛද්‍යවරිය ජයවර්ධනපුර රෝහලේ එකම ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය. ඊ.වී.ඩී නමැති ශල්‍ය උපකරණ ජයවර්ධනපුර රෝහලේ රුපියල් 17,500ක මුදලකට ගන්න පුළුවන්. නමුත් සැකකාර වෛද්‍යවරිය රෝගින්ට කියලා තියෙන්නේ ඒවා පිටින් ගන්න කියලා. එය සිදුකර තිබෙන්නේ, සෙසු සැකකරුවන් දෙදෙනා හරහායි. රෝගීන් යොමුකරලා තියෙන්නේ එම්.එන්.එම්. මෙඩිකල් සර්විස් නමැති ආයතනයකට. එහිදී රු.17,500ක රෝහලින් මිලදී ගන්න පුළුවන් ශල්‍ය උපකරණය රෝගින්ට අලෙවි කරලා තියෙන්නේ රුපියල් 150,000 සිට 250,000 අතර මුදලකට. ඊට අදාළ බිල්පත් විමර්ශනවලදී අනාවරණය වුණා. රෝගීන්ගේ තරාතිරම අනුව තමයි මිල ගණන් අය කරන්නේ. මිලදී ගන්නා ශල්‍ය උපකරණ කිසිම අවස්ථාවක රෝගීන්ගේ අතට දීලා නැහැ. ජයවර්ධනපුර රෝහලේ ශල්‍යාගාරයේ ප්‍රධාන හෙද නිලධාරීනියගෙන් ප්‍රශ්න කළ විට ඇය කියා සිටියේ ඇතැම් විට සැකකාර වෛද්‍යවරියම එම උපකරණ ශල්‍යාගාරයට රැගෙන එන බව."

අනතුරුව විමර්ශන නිලධාරියා සැකකරුවන්ට ඇප ලබාදීමට විරෝධය පළ කරමින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.

"ස්වාමිනි, මෙම වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඊයේ පමණක් ඇයට එරෙහිව ඇමතුම් 92ක් අල්ලස් කොමිසමට ලැබිලා තියෙනවා. දැනට වෛද්‍යවරියගෙන් ප්‍රතිකාර ගත් රෝගීන් 88කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් විශාල සමාජ කැළඹීමක් හටගෙන තිබීමත්, වෛද්‍යවරියට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ චාමර ප්‍රසාද් අබේවර්ධන නමැත්තාට ජීවිත තර්ජන එල්ල වී තිබීමත් සලකා බලා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කොට රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා."

අවසානයේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙලා තිබෙනවා එම සැත්කම් කර තිබෙන්නේ, රෝගීන් මියගොස් දින පහකට පසුව බව.

අනතුරුව සැකකාර වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

"ස්වාමීනි... ශල්‍යකර්මවලට අවශ්‍ය ශල්‍ය උපකරණ පිටතින් මිලදී ගැනීම අලුත් දෙයක් නෙවෙයි. ජයවර්ධනපුර කියන්නේ මුදල් අය කරලා සැත්කම් කරන තැනක්. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ ඒවා නොවෙයි. ඒ නිසයි වඩාත් ගුණාත්මක උපකරණ පිටතින් මිලදී ගැනීමට රෝගීන්ට සිදුවෙලා තිබෙන්නේ. මේ නඩුකරයට අදාළ විමර්ශනය ආරම්භ වුණේ 2023 සිට. මගේ සේවාදායිකාව කිසිදු පුද්ගලයෙකුට තර්ජනය කර නැහැ. එබැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු ඉදිරිපත් වී නැති නිසා ඇය ඇප මත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා."

විත්තියේ නීතිඥවරුන්ගේ ඇප ඉල්ලීමත් සමඟ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය මෙසේ කරුණු දැක්වීය.

"ස්වාමීනි... මේ සැකකාර වෛද්‍යවරිය ඖෂධවලින් සුව කළ හැකි රෝගින්වත් සැත්කම්වලට භාජනය කර තිබෙනවා. මොළය මියගිහින් හදවත යන්ත්‍රවලට සම්බන්ධ කර තිබූ රෝගීන්ටත් මෙම සැකකාර වෛද්‍යවරිය සැත්කම් සිදුකර තිබෙනවා. අවසානයේදී පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙලා තිබෙනවා එම සැත්කම් කර තිබෙන්නේ, රෝගීන් මියගොස් දින පහකට පසුව බව. ස්වාමීනි... මෙම සැකකාර වෛද්‍යවරිය විශාල දේශපාලන බලයක් හිමි තැනැත්තියක්. ඇයට ඇප ලබා දුනහොත් විමර්ශනවලට බාධා සිදුවෙන්න පුළුවන්."

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.’෴0෴

Saturday, June 21, 2025

මාර මාරයෝ

සොහොන් ලකුණු පෙනි-පෙනී ඉන්න ‘නිදි’ ඊයේ රෑ Final Destination - BLOODLINES බැලුවා. ඒ, කරමින් හිටිය රාජකාරිය; ඊළඟ post එක ලිවීම නවත්තලා.

55න් යන්න හිතාගෙන උන්නු මට හරියටම සොහොන් ලකුණු පෙනෙන්න ගත්තේ 59දී. වැරදි බෝනස් එකකුත් එක්කම; මල්ටිපල් මයෙලොමාවත් ලැබුණාම.    

සතුටින් ජීවිතේ ගෙවපු නිසා මට මාරයා මුණ ගැහෙන්න බයක් හිතුණෙ නෑ!

හැබැයි ඒ වෙනතුරුමත් එන එන අභියෝගවලට මුහුණ පාමින් සතුටින් ජීවිතේ ගෙවපු නිසා මට මාරයා මුණ ගැහෙන්න බයක් හිතුණෙ නෑ.

මගෙත් එක්කම ප්‍රතිකාර ගනිමින් උන්නු; මට වඩා තරුණ- මට වඩා ශක්තිමත් උදවිය අවුරුදු දෙකෙන් තුනෙන් යද්දී මං හිතුවෙම ඊළඟට මං තමා කියලයි!
ඒ හින්දමයි මුලින්ම ලිව්වේ‘සොහොන් ලකුණු පෙනි-පෙනී’ කියල.

මට ‘මල්ටිපල් මයෙලොමා’ව වැළඳිලාය කියල දැනගත්ත ගමන් ‘චිත්තම්මා’ගේ දෙවෙනි පුත්‍ර රත්නය; ඕස්ට්‍රේලියාවේ ඉන්න වෛද්‍ය නලින් ප්‍රියදර්ශන හිතවතා ඒ ලෙඩේ ගැන විස්තරාත්මක ඊමේල් එකක් එව්වා. එයින් කියවුණු විදිහට මේ ලෙඩ්ඩු වැඩි දෙනෙක් ඉක්මනටම යන පාටයි පෙනුණේ.

වෛද්‍ය විද්‍යාලයේදී නලින්ගේ බැචාලා වුණු උදවිය තමයි අයස්මන්ත, ශිරන්ත, චමින්ද (පෝල්), ලාල්, ඩොනල්ඩ් කියන්නේ. (මේ කිව්වේ මගෙත් මිතුරන් වෙච්චි අය ගැන විතරයි.)
නලින්ගේ අයියා තමයි
WAL ප්‍රියන්ත. ප්‍රියන්තලගේ අම්මා; චිත්තම්මලාගේ නෑදෑයෝ සේරම (සීයකටත් වැඩිය) එකතු වෙලා තමයි මගේ වෙනුවෙන් පළමුවෙනි බෝධි පූජාව තිබ්බේ.

ප්‍රියන්ත ප්‍රමුඛ මගේ යාළුවන් තමයි මට ඉක්මනට යන්න එහෙම එපැයි කියලා තදින්ම කියන්නේ. World Record එකක් තියලම යන්නයි කියන්නේ. මොකද මයෙලොමාකාරයෙක් ඉඳල තියෙන වැඩිම කාලෙ අවුරුදු 14යිලු. මං වහන්සේ දැනට දොළහක් ඉඳලා තියෙනවාලු.

ඇත්තම කිව්වොත් මම නං ඔව්වා එකක්වත් හිතේ තියාගෙන ඉන්නේ නෑ. ජීවත් වෙන ටික කාටවත් බරක් නොවී සතුටින් ඉන්නයි මට ඕනේ.

ඒ වගේම මොකක්දෝ වාසනා ගුණයකුත් මට තියෙනවයි කියලත් වෙලාවකට හිතෙනවා.
නැත්තං 71 කැරැල්ල ඉවර වෙච්චි ගමන්ම වගේ ගෙදරින් දුන්හිඳ කැලෑවට
පැනල ගිය වෙලාවෙත් පණ බේරෙයිද?
අනුරාධපුරේ මල්වතු ඔයේ ගහගෙන යද්දී සෞඛ්‍යදාන ව්‍යාපාරයේ කිරිල්ලී (දැන් ඉතාලියේ ඉන්නා
අනූ කිරිල්ලවල) වතුරට පැනලා මාව බේරා ගනියිද?
1999දී බඩල්කුඹුරේ පරෙයියන් ඇල්ලෙන් පහළට වැටෙන්න ගිහිං
අතක් පැනලා (විසන්ධි වෙලා) විතරක් නූලෙන් බේරෙයිද?
ඒ අවුරුද්දෙදිම ප්‍රියන්තයි, හේමන්තයි එක්ක වෑන් එකක එද්දී, ඒ වාහනේ මහ පාන්දර හැරිලා- පෙරළිලා ඔලුවෙන් හිටගත්ත accident එකේදිත් ලේ ගලන තුවාලයක්වත් නොවී බේරෙයිද?
මේ අවුරුද්දෙම දෙවතාවක්‌
ලෙස්සලා වැටිලත් (බෙහෙත් නිසා හොඳටම දුර්වල වෙලා තියෙන) අස්ථි පංජරෙන් එකක්වත් නොබිඳී බේරෙයිද?

එහෙම බලද්දී නං, මට සොහොන් ලකුණු පෙනෙන්න පටන්ගෙන තියෙන්නෙ බොහොම කල් ඉඳලා!
මාරයාට මගේ ගැන වෙනම plan එකක් තියෙනවාවත්ද?

කරන වැඩවලින් සතුටක් ලබා ගන්න ඇහැකියි නං...

ඔයාලා දන්නවද, මොන වැඩක් කළත් මම නිතරම වගේ මටම තෑග්ගකුත් දී ගන්නවා.

‘හොඳ වැඩ කරනකොට බෝනස් හම්බ වෙයි කියලා හිතන්න එපා...’ දෙපා අවසඟව උන් පාපන්දු පිස්සා රාජමනි අංකල් කියලා දුන්නු පාඩමකුත් සිහියේ තියාගෙනයි නිදි එහෙම කරන්නේ.
පුළුවන් විදිහට යහපතක් කරලා, උදව්වක් වෙලා, කෑමක් උයලා, ඒකෙන් තව කෙනෙකුට සංග්‍රහ කරලා, පැළයක් හිටවලා, blog post එකක් ලියලා, සිංදුවක් අහලා, film එකක් බලලා, නාට්‍යයක් බලලා, පොතක් කියවලා එහෙම මං කරන්නේ මටම ත්‍යාගිවන්ත වීමක්.
තමන් කරන ඕනෑම වැඩකින් සතුටක් ලබා ගන්න ඇහැකියි නං ඒකම තමන්ට දීගන්න ලොකු තෑග්ගක් නේද?

ඉතිං ඊළඟ post එක ලියමින් ඉන්න ගමන් මහන්සියක් දැනුණාම තමයි ‘ෆයිනල් ඩෙස්ටිනේෂන් - බ්ලඩ්ලයින්ස්’ බලලා නිඳා ගන්න ගියේ, ‘ගතවුණු දවසට ස්තුති’ කරමින්.

නිදි උදේ පාන්දර නැඟිට්ට ගමන් කුස්සියට යන්නේ ‘උදාවුණු දවසට ස්තුති’ කරමින්. කෝපි එක හදන අතරේ ‘මගේ ස්තුති භාවනාවේ’ තවත් පියවරක් ඉස්සරහට තියනවා.
‘හැම දෙනාටම- ලෝකෙ ඉන්න හැම කෙනාටම, හැම දේකටම ස්තුතියි! ...’  ඊළඟට කෝපි එක තොල ගාන්නේ කම්පියුටරේ on කරගෙන...

පුරුද්දක් විදිහටම මං අසුබවාදී දේවල් බලන්නේ හා ඒවට අවධානය දෙන්නේ බොහොම අඩුවෙන්. ඒත් ඒ සිරිත කැඩෙන; කඩන වෙලාවලුත් තියෙනවා තමයි.

ඊයේ මගේ ඇහැ ගැහුණු ප්‍රවෘත්ති තුනකම තිබ්බේ මහා සහගහන වැඩක් ගැන පුවතක්. ඒවා කියවපු ගමන්ම මට හිතුණේ එකයි.
‘මටත් මේ ජරා බෙහෙත් දෙන්න ඇත්ද?’

මෙච්චර කාලෙකට මට කෙරෙන ප්‍රතිකාර මොනාද කියල මං හොයල නෑ. ඒ තියා මාසිකව මට කෙරෙන blood tests මොන-මොනවද කියලවත් මං තවම හරියට දන්නෙ නෑ. මං එව්වයේ රිසල්ට්ස් එකක් දිහාවවත් බලන්නෙත් නෑ. (ඒ ගැන හැම මාසෙකටම සැරයක් අයස්මන්ත, මර්වින්, නෙවිල් තුන් දෙනාගෙන්ම කණ පිරෙන්නම අහගන්නවත් එක්ක.)
ඒත් ඒවා බලන්න ඕනේ දොස්තර මහත්තුරු නෝනලා වගේ විෂය උගත් අයනෙ. මං වගේ දුහුනෙක් මොනවා දන්නවද?

මටත් වැඩිය අසරණ වුණු පිළිකා ලෙඩුන් කොච්චර ඉන්නවද මේ රටේ? ඒ ලෙඩ්ඩුන්ගෙන් කී දෙනෙකුට මේ බෙහෙත් නොවෙන ජරා ලුණු වතුර දෙන්න ඇත්ද? මේ තක්කඩි යක්කු නිසා ඒ රෝගීන්ගෙන් කී දෙනෙක් මෙලහටත් එලොව ගිහිං ඇත්ද? දැන් ඔයාල හිතනව ඇති මොකක්ද මේ හුටපටේ කියල.
ඒ නිසා අපි චුට්ටක් බලල ඉඳිමුකො විස්තරේ ගෙඩිය පිටින්ම.

ස්වාමීනි, ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය සහ පිළිකා රෝගීන් වෙනුවෙන් ලබාදෙන ඖෂධය සම්බන්ධයෙන්...

‘කෙහෙළිය බෙල්ල මුලටම මාට්ටු වෙයි! ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය තුළ තිබිලා තියෙන්නේ මාරාන්තික බැක්ටීරියාවක්! පිළිකා රෝගීන්ට ගෙනාපු බෙහෙත්වල තිබිලා තියෙන්නේ ලුණු ද්රාවණයක්! හැබැයි ලක්ෂ 1444ක් වියදම් කරලා! ජර්මනියෙන් දීපු වාර්තාව නීතිපති අධිකරණයට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හිටපු සෞඛ් අමාත් කෙහෙළිය රඹුක්වැල්ලගේ ධුර කාලයේදී මෙරට රෝහල් තුළ බෙදා හැරුණු ප්රශ්නගත ප්රතිදේහ ඖෂධවල කිසිදු ඖෂධයක් නොමැති බව හා ඒවා තුළ මිනිස් සිරුරට අහිතකර මාරාන්තික බැක්ටීරියා ද්රාවණයක් ඇති බවටත් ජර්මනියේදී කළ පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.Sri Lanka Latest News

නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණය හමුවේ මේ බව සඳහන් කරමින් වැඩිදුරටත් පැවසුවේ පිළිකා රෝගීන් වෙනුවෙන් ගෙන්වන ලද ඖෂධයක තිබී ඇත්තේ ලුණු ද්රාවණයක් පමණක් බවටද අදාළ පර්යේෂණයෙන් අනාවරණ වී ඇති බවයි

මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණු ඊට අදාළ නඩු විභාගය අද දිනයේදී අවසන් කෙරුණු අතර, අදාළ නඩුව මහාධිකරණ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතයි.

ප්රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ් අමාත් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනෙකුට එරෙහි නඩු විභාගය අද මාලිගාකන්ද මහේස්ත්රාත් ලෝචනී අබේවික්රම මහත්මිය හමුවේ විභාගයට ගැනුණා.

එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ් සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ප්රශ්නගත අදාළ ඖෂධ සම්බන්ධයෙන් ලෝක සෞඛ් සංවිධානයට අනුබද්ධ ජර්මානු පර්යේෂණ ආයතනයකින් ලබාගත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.

එම වාර්තාව ඉදිරිපත් කරමින් ඇය පැවසුවේ ස්වාමීනි, ප්රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය සහ පිළිකා රෝගීන් වෙනුවෙන් ලබාදෙන ඖෂධය සම්බන්ධයෙන් ලෝක සෞඛ් සංවිධානයට අනුබද්ධ ජර්මනියේ රසායනාගාර පර්යේෂණ ආයතනයක් විසින් කළ පර්යේෂණ වාර්තාව මේ වන විට ලැබිලා තියෙනවා.

-මේ පර්යේෂණය සඳහා ප්රශ්නගත ඖෂධ සාම්පල 200ක් පමණ යොමුකළා. පර්යේෂණයට අනුව ප්රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය තුළ මිනිස් සිරුරට අහිතකර මාරාන්තික බැක්ටීරියා ද්රාවණයක් ඇති බව අනාවරණ වෙලා තියෙනවා. වගේම පිළිකා රෝගීන් වෙනුවෙන් ලබාදුන් ඖෂධයේ ලුණු ද්රාවණයක් පමණක් අඩංගු බවත් වාර්තාවේ දැක්වෙනවා.
වගේම මේ ද්රාවණ තුළ කිසිදු ඖෂධමය ද්රව්යයක් අඩංගු නොවෙන බවත් ඔවුන් කියනවා. අනුව බැක්ටීරියාවක් වර්ධනය වුණ ලුණු සහිත ද්රාවණයකට තමයි ස්වාමීනි රජයේ මුදල් ලක්ෂ 1444 ක් වැයකරලා තියෙන්නේ.

මේ වගේ මජර සතෙකු හැටියට...

නියෝජ් සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය එහිදී වැඩිදුරටත් පැවසුවේ ප්රමිතියෙන් තොර ප්රශ්නගත එන්නත් සැපයීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් බවයි.

අදාළ සැකකරුවන්ට එරෙහිව ලබන සඳුදා මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර නඩු පැවරීමට පියවර ගන්නා බවද, නියෝජ් සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළා.

මෙම නඩුවේ සැකකරු වන හිටපු සෞඛ් අමාත් කෙහෙළිය රඹුක්වැල්ල සහ ප්රශ්නගත බාල ඖෂධ සැපයු සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්රනාන්දු අතර දුරකථන සංවාද අටක් සිදුව ඇති බවත්, තවත් සැකකරුවෙකු වන සෞඛ් අමාත්යංශයේ හිටපු අතිරේක ලේකම් සමඟ දුරකථන සංවාද 31 ක් සිදුව ඇති බවත් පැවසූ නියෝජ් සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ සෙසු ඖෂධ සැපයුම්කරුවන් සමඟ එවැනි සංවාද සිදුකර නොමැති බවයි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව තම අධිකරණයට අදාළ නඩු කටයුත්ත අවසන් කිරීමට මාලිගාකන්ද මහේස්ත්රාත් ලෝචනී අබේවික්රම මහත්මිය නියෝග කළා.’

මහ ලොකු හුස්මක් පිට කළත්, හීල්ලුවත් හිතේ ඇති වුණු බර තුනී වුණේ නෑ.
ලියමින් හිටිය post එක නවත්තලා මේ ගැන ලිව්වොත්... (‘හතලිහේදී...
දහතුන්වෙනි කොටස ලියල අතහැර දැම්මය කියලත් කියවන රසිකයන් හිතාගෙන ඇති. ඊළඟට ඒ සීරීස් එකේ 14 ලියන්නත් ඕනි නේද? තමුසෙ ඒ වැඩේ කරන්නනෙ හිතං උන්නේ...’ හිත මතක් කළා.)
ඒත් ඒ අස්සේම මේ post එක ලියන්නම ඕනියි කියල හිත එකහෙලාම කියා සිටියා... ඉතිං ලියන්න ගත්තා.

ඒ දවස්වල; ඒ කිව්වේ 1980 ගණන්වල ‘සක්විති සුවය’ film එක නිෂ්පාදනය කරපු කලාකාමී කෙහෙළිය මහත්තයා කොහොමද මේ වගේ මජර සතෙකු හැටියට රූපාන්තරණය වුණේ. (තවම උන්නැහේ නීතියෙන්ම වැරදිකාරයෙකු වෙලා නැති එකේ... මජර කෙනෙක් කියලා ලියන එක සාධාරණද මංදා.)

කෙනෙකුට කොච්චර වස්තුව තිබුණාම ඇතිද?
කෙනෙකුගෙ තණ්හාවට සීමාවක් නැතිව යන්නේ ඇයි? එතකොට මනුස්සකම නැත්තටම නැතිව යනවද...

එහෙන්, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක විදිහට සේවය කළ හිපොක්‍රටීස් දියණියක් ෂයිලොක් දියණියක් වෙලා. සාමාන්‍ය වර්තමාන වෙළඳපොළ මිල රුපියල් 46,500/-ක් වෙන EVD යන මෙවලමක් රුපියල් 120,000/- සිට රුපියල් 250,000/- තෙක් වැඩි මිලකට විකුණන ජාවාරමක් කරලා දැන් අත්අඩංගුවේලු.  

මෙහෙන්, එක කිරි ගවයෙක්වත් ගේන්නේ නැතිව රුපියල් කෝටි 211ක් අත්තිකාරම් වශයෙන් ගෙවපු කේස් එකක්...

එහෙම කරල සැනසිල්ලේ හිටියැකිද... නිඳා ගත්තැකිද... සක්විති සුවය විඳිතැකිද?

මනුස්සයන්ට හිතක්- පපුවක්- අනිත් මිනිස්සු ගැන තෙතමනයක් නැතිව මේ වගේ අසමජ්ජාති වැඩ කරන්න පුළුවන්ද?

එහෙම කරල සැනසිල්ලේ හිටියැකිද... නිඳා ගත්තැකිද... සක්විති සුවය විඳිතැකිද...

Final Destination – BLOODLINES ෆිලුමේත් කතාව ගෙතෙන්නෙ මාරයා වටා. මාරයාගේ තීරණ කලින් දැකගැනීමේ හැකියාව ලබන කෙනෙකු ඒවා නැවත්තුවොත් මොකද වෙන්නේ? කවුද අන්තිමට දිනන්නේ...

මොන උප්පරවැට්ටියකින් හරි සල්ලි හම්බ කරලා ගොඩ ගහගන්න පුරුදු වෙලා ඉන්න අයට ‘ෆයිනල් ඩෙස්ටිනේෂන්’ filmsවලින් එකක්වත් පෙන්නුවොත්...

නැත්තං ‘ලෝ වැඩ සඟරාව’ කියවලා දුන්නොත්... අඩුම තරමින් මේ කවියවත්...

  කොතැන වුණත් නැත මරුහට බාදා
  විඳින මෙසැප පින් ඇති තෙක්  වේදා
  ගෙවන සසර දුක් බුදු බණ       නාදා
  කුමන නැටුම් කෙළි කවට     සිනාදා

Post එකේ අන්තිම හරිය ලියාගෙන යද්දී යාළුවෙකුගෙන් ඇමතුමක්... ඇමතුම අතරේ ප්‍රශ්නයකුත්. “දැන් නං තමුසෙටත් හරි සතුටු ඇති නේද? අන්න අරහෙ තව හොරු වගයක් මාට්ටු වෙන්න යනවලු... වැඩේට කලින්ම හෙණට සද්දේ... සේරමලගෙන්ම පළි ගන්න වගෙයි හදන්නේ.”

“සතුටුයි නේන්නං.” මම කිව්වා.
‘අපේ ඡන්දයෙන් මාලිමාව බලයට පත් කෙරුවේ නැතිනං මේ හොරකම් එකක්වත් මෙහෙම එළියට ඇදේවිද? අනෙක ඉතිං අබ කෑ මිනිස්සුන්ගෙනෙ මොළේ දන්නේ!’
මං ඒ ටික යාළුවාට කිව්වේ නෑ. මොකටද එයාගේ හිත පාරවලා කුරුවල් කරන්නේ. එයාලම ඇත්ත තේරුම් ගනීවි නෙව ඉක්මනින්෴0෴

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්