ආච්චිලා කෙල්ල කාලයේ ලංකාවේ ගනුදෙනු
සිද්ධ වුණේ පනම්වලිනි; සිලිම්වලිනි. ගෙඩි රුපියල් හා සතවලිනි. එතකොට රුපියලකට සත
සීයකි.
සත පනහේ, විසිපහේ, දහයේ, සතයේ කොළත් සත බාගයේ (සල්ලියේ) කාසියකුත්............... |
ඕකත් කියන්න දෙයක්දැයි ඔයාලා අහන්නට ඉඩ තියෙයි. ඒත් ඒක
වෙනම පහදා කියන්නට හිතුණේ අපේ ආර්ථික විශ්ලේෂක මහත්තුරුන්ට තරම් බුද්ධිමය ප්‍රභාවක්;
දැනීමක් මේ මැට්ටාට නැති නිසාය.
තිලක් රත්නාකර විශේෂඥ මහත්තයා රත්න ආකරයක් වැනි
කටකින් වරක් කිව්වේ “රුපියල බාල්දු වෙලා නැහැ. තවම රුපියලට සත සීයක් තියෙනවා.”
කියලාය. එහෙම කියද්දී උන්නැහේ unp ආණ්ඩුවේ ‘ලොතරැයි මණ්ඩලයේ’ සභාපති තනතුර දැරීම
එක්ක මෙතනට කිසිම link එකක් නොතිබුණු බවත් දිවුරලා කියත හැකිය.
ඉතින් සල්ලිය ගැන කියාගෙන ආවේ තවත් මා සතු වත්කමක් ගැන
‘නයෙක් එළවන්න’ටය.
ආච්චීගෙන් මට උරුම වුණු සල්ලියකුත්, ඩැඩාගෙන් ලැබුණු
නෝට්ටු කීපයකුත් මගේ ‘පරම්පරා ගබඩාවේ’ තිබේ!
ඒ නෝට්ටු දෙවෙනි ලෝක යුද්ධය කාලේ ඩැඩා
ලංකාවට ආ වෙලේ අරන් තියාගත් එව්වාය. ඒවා අතර සත පනහේ, විසිපහේ, දහයේ විතරක් නොවේ
සතයේ කොළයකුත් තිබේ! ආච්චී දුන් සල්ලිය කියන්නේ සත භාගයේ කාසියටය. මා ළඟ නැතත් ඒ
කාලේ අලුක්කාල කිව්වේ සතයෙන් හතරෙන් පංගුවේ කාසියටය.
මා ඉඳියාප්ප මුලක් විකුණුවේත් රුපියලෙන් හතරෙන් පංගුවටය.
වංගු නොගහා ඊ ගහ වගේ කියනවා නම් සත විසිපහකටය. දැන්නම් සත විසිපහකට ටොෆියක්වත්
ගන්නට බැරිය. වේවැල් කූඩ දෙකක් පිරෙන්නට, බරට බරේ උස්සාගෙන ගිහිනුත් ඉඳියාප්ප මුල්
100ක්වත් වික්කාදැයි මට මතක නැත. හැබැයි එකක් නම් හොඳටම මතකය.
එහෙම විකුණා උපයාගත් ලාභය, අපේ පවුලේ උදවියට දෙවේලක්
කන්නට, නොනැසී ඉන්නට, තාත්තාගේ සිගරැට් හා රේස්වලට සෑහුණු බවය. (දෙවේලක් කිව්වේ ඒ
කාලය වෙද්දී දවල් වේලට වියදම අපේ අම්මාට පැවරී තිබුණු බැවිනි. ඒ විස්තර මතු වෙනම
පෝස්ටුවලදී ලියවේවි.)
ඉඳියාප්ප තම්බන කාලයේ මං......... |
මගේ පෙනීම යහපත් එකක්ද? පෙනීම කිව්වාම තේරුම් දෙකක්නේ. නේද?
පළමුවෙනි එක මගේ ඇස් දෙකේ පෙනීම කොහොමද කියනේකය. දැන් නම් ඒක දුර්වලය; මා කාලයක
සිට කන්නාඩි දාන්නේ ඒක හින්දාය.
දෙවෙනි තේරුම ‘මා තවත් කෙනෙකුට පෙනෙන ආකාරය; මගේ
රුව කොහොමද’ කියන එකය. ඒක ඉතින් තීරණය වෙන්නේ බලන කෙනාගේ කෝණය අනුවය. ලස්සන
තියෙන්නේ බලන කෙනාගේ ඇස් දෙකේය.
එතැනදී නම් මා වාගේම රසික ඔයාලා හැමෝමත් වැටෙන්නේ එකම
ගොඩකටය. පෙනුමින් පවා අප හැමෝම දෙබිඩ්ඩෝය!
හැම කෙනෙකුගේම හොඳ පැත්තක් වාගේම නරක
පැත්තකුත් තිබෙයි. එය දැන් විද්‍යානුකූලවත් සනාථ කර තිබෙන දෙයකි. මං නිකම්ම එහෙම
කියනවා නොවේ. යටින් ඇති ඡායාරූපය බලන්න. ඒ හොඳම සාක්කියකි.
ඒ ෆොටෝ එකේ මැදින් තියෙන්නේ original-මුල්ම පින්තූරයයි.
එය සමමතික foto එකකි.
ඊළඟට ඒ පින්තූරය හරි මැදින් දෙකට බෙදා වෙන් කර තිබේ.
එවිට ලැබෙන, වම් පැත්තේ කොටසෙන් අනෙක් පැත්ත හරවා ලබාගත් පිටපතක් එක්ක වම් පැත්තේ
කොටස යාකර හැදූ foto එකය වමේ තියෙන්නේ.
ඒ ක්‍රමයටම දකුණු පැත්තේ කොටසෙන් හැදුව පින්තූරයක් දකුණේ
ඇත.
සමමිතික ඡායාරූපයක් හා............. |
සමමිතික ෆොටෝ එකකින් ගත් කොටස්වලින් මේවා හැදූ නිසා මේ
මුහුණු තුනම සමාන වෙන්න ඕනේ නේද? ඒත් එහෙම නොවී තියෙන්නේ ඇයි?
විද්‍යාඥ මතය නම්
අපේ මුහුණේ එක් අර්ධයකින් අපේ අඳුරු ස්වභාවයත් අනෙක් අර්ධයෙන් සොඳුරු ගතියත් හෙළිකරනවාය යන්නයි.
රසික ඔයාලාටම කොයි පැත්ත
අඳුරුද, කොයි පැත්ත සොඳුරුද කියන නිගමනයට එළඹෙන්නට ඉඩ දිය යුතු නිසාය, අවසන්
තීන්දුව නොකියා තියන්නේ.
ඉඳියාප්ප තම්බන කාලයේ මගේ ෆොටෝ කෑල්ලක් ඉහළින් එබුවෙමි.
මේ
සූජානම ඒ ඇයිදැයි කියන්නටය.
මගේ මුහුණ දකින හුඟ දෙනෙකු හිතන්නෙත් මා ඉතා ගුණ යහපත්,
සෞම්‍ය, සාන්ත-දාන්ත එක්කෙනෙක් විදියටය. මගේ හැටි දන්නේ මමනේ. මටම පුදුමය. එයාලාට
පෙනෙන්නේ මගේ මුහුණේ එක පැත්තක් විතරද?
මහා ඉස්පිරිතාලේ වාට්ටු ගොඩක් තිබුණත්, ලෙඩුන් ගොඩාරියක්
හිටියත් ඒ හැමෝටම ඉඳියාප්ප කන්නට ඕනෑ වුණත් මදිය, සල්ලිත් තියෙන්න ඕනිනේ.
සල්ලි
නැති අයත් හිඳිති. “අනේ දරුවෝ, අපිට සල්ලි තියෙන වෙලාවට අපි උඹෙන් ඉඳියාප්ප
ගන්නම්. ඒත් නොගත්තාය කියලා වාට්ටුවට නෑවිදින් ඉන්න එපා. උදේ පාන්දරම උඹේ හිනාව
දැක්කාම දවසම සිරියාවයි. ඇවිත් අපට හිනාවෙලා පලයන්.”
සමහරුන් මට කිව්වේ ඔවුන්
නිදාගෙන හිටියත් කූද්දා හෝ හිනාවී යන ලෙසටය. එයාලාත් අර වගේ මගේ මුහුණේ සොඳුරු
පැත්තට රැවටෙන අයයි.
මට රූප සම්පත්තියත් ටිකක් පිහිටලා තියෙයි. ඒ කොටහ නම් මට
දායාදවී තියෙන්නේ අපේ අම්මාගේ ජානවලිනි. හොඳ වෙලාවට අම්මාගේ සේරම ගති නම් මට උරුම
වෙලා නැත. එහෙම වුණා නම් ‘නිදි’ මීටත් වඩා ගොන් හරකෙක්ම වෙනවා නිසැකය.
කුප්පි ලාම්පුවෙන් රෑ අඳුර මකාගත් කාලයේ.............. |
අම්මාගේ කියන විට 2018.11.11 හැන්දෑවේ දුටු දෙයක්
කියන්නම ඕනෑය.
කුප්පි ලාම්පු එළියෙන් ගෙයි වැඩි හරියකුත්, පැට්‍රොමැක්ස්
ලාම්පුවෙන් අඩු හරියකුත් ඒකාලෝක වුණු ඒ සන්දියේ නම් අපට මේ පහසුකම් තිබ්බේ නැත.
මේ තරම් දේවල් දැනගැනීම, කඩිනමින් දැනගැනීම හීනයක්ම විණි. ඒකටත් එක්ක අද!
මේක තිබුණේ LankaHotNews.Net එකේය. ‘රනිල් කෝපයෙන්...
කතානායකට, ජයම්පතිට ශුද්ද සිංහලෙන් අමතලා...?’ සිරසෙන් යුතු පුවතක් පළව තිබිණි.
එයට දක්වා තිබුණු ප්‍රතිචාරයක් ‘මල් හතේ’ එකක් බව නම් නොකියාම බැරිය.
කමෙන්ට් එක දමා තිබ්බේ ‘AMTA HAM’ නමෙනි. නම ‘අම්ට හැම්’
වුණත් ඒ කමෙන්ට් එක ‘බේකන්’වලටත් වඩා රසය! සුප්පාය!! “අඩෝ... කරු... උඹලගෙ අම්මට
හැම නියං කාලෙටම වතුර ලැබේවා!!!” මට නම් මෙහෙම නිර්මාණාත්මක දේවල් දැකීම මහත් ප්‍රමෝදයකි!
ප්‍රමෝදය කියා කියද්දී මට කියන්නට වෙන්නේ මං හැම දේකින්ම
ප්‍රමෝදයක් ලබන හැටියි. කොච්චර දුක්බර; වේදනාකාරී දෙයක වුණත් සතුටටත් හේතුවක්
හැංගී කොකම් පාන හැටි මට පෙනෙයි. එහෙම වුණාම පුංචි දේකිනුත් සතුටු විය හැකිය. ඕනෑම
වෙලාවක හිනා වෙන්නටත් හැකිය. අදටත් මට මහා ලොකු ප්‍රාර්ථනා නැත. බලාපොරොත්තු නැත.
ඇත්තේ සිල්ලර; හින්නිකිතර; පොඩි බලාපොරොත්තු පමණකි. ඒවා
ඉටු වුණොත් මට සතුටුය. ඉටු නොවුණත් මට සතුටුය. ඒ එතකොට හැමදාටම ඒවා මතකයේ රැඳෙන
බැවිනි. ඉටු වුණු පැතුම් ඉක්මනින්ම අමතක වෙලත් යනවා නේද?
ඉඳියාප්ප තම්බන කාලයේත්, පේව්මන්ට් එකේ රජවෙන කාලයේත් මට
තිබුණු සැහැල්ලුව ක්‍රමයෙන් නැතිව ගිය හැටි ගැන මටම පුදුමය. එහෙම වෙන්නේ අපේ
බලාපොරොත්තු; අපේක්ෂා කන්දරාව වැඩි වෙනකොටද?
රනිල් තරහෙන්ද? |
මුල ඉඳන්ම ‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළන මධුශංක විතානගේ (මද්දා) සහෘදයා ‘ඉඳියාප්ප ගන්නවද -1’ පෝස්ටුවට කමෙන්ට් එකක් දාද්දී ප්‍රශ්නයකුත් අසා තිබිණි.
“මෙච්චර දේවල් කළ හැකිද තනි මිනිහෙකුට?”. එහෙම අහන්නට ඇත්තේ මෙතෙක් මා
කී දේවල් අනුවය. තවමත් මා කියා ඇත්තේ ඩිංගකි. කියන්නට තියෙන දේවල් ගොඩකි.
ඒ-මේ
සියල්ල ගැනම ස්තුතිවන්ත විය යුත්තේ දෛවයටය. ඉරණම මට අභියෝග රැසක්ම ඉදිරිපත් කළේය.
මා කළේ ඒවාට මුහුණ පෑම පමණි. මිනිහෙක් කළ යුත්තේ එය නේද?
හැබැයි එහෙම අහන ‘මද්දා’ත් මේ ළඟදී ලොකු වැඩක් කරලා
තිබුණු බව මුහුණු පොතේ තිබිණි. දෛවය මිනිසුන්ට අවස්ථා උදා කොට දෙයි. තවත් මිනිස්සු
තමන් විහින්ම පොටවල් පාදා ගනිති. ජීවත් වෙනවාය කියා මා නම් කියන්නේ ඒකටය.
මධුශංඛලාත් එහෙමය. එයාලාම අවස්ථාවක් පාදා ගෙනය.
දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල මහ විද්‍යාලයෙත්, දිඹුලාගල නිදන්වල කනිෂ්ඨ විද්‍යාලයේත්
පොඩිත්තන්ට පොත් බෙදාදෙන සත්කාරයක් කරපු මධූලගේ ‘රෝද දෙකේ රස්තියාදුව’ කණ්ඩායමත්
තමන්ගේ තරම නොදන්නා අලියා වගේද කොහෙදය. එයාලා යහපත් වැඩක් කරලා තිබුණේ වැඩිය සද්දේ
නොදාය. කොතෙකුත් හොඳ වැඩ කරන මුහුණු පොතේ මෙවැනි උදවියව හුඟ දෙනාට පෙනෙන්නේ නැත.
පෙනෙන්නේ වැරැදිම විතරය. හොඳ දෙයක් දකිද්දී ඇහේ කොරපොතුය.
මධුශංඛ විතානලාගේ 'රෝද දෙකේ රස්තියාදුව' කණ්ඩායමෙන්........ |
මෙහෙම කියන්නට හිතුණේ මගේ තලතුනා මිත්තරයෙක් මතකයට ආව
හින්දාය. (තලතුනා කියන එකේ නියම තේරුම හුඟක් අය නොදන්නා බව දන්නා හින්දා කිව
යුතුය. වචනය දෙකට කඩා තැන මාරු කරගන්න. බයවෙන්න එපා. එහෙම කළාට මොකුත් තැලෙන්නේ නැත.) ඒ මිත්‍රයා
නොදන්නා දෙයක් නැත. ඕනෑම දෙයක් ගැන දනියි. හැබැයි ටිකක් විතරක් දන්නේ නැතිය.
ලෝකය වෙනස්වී ඇති බව. අලුත් පරම්පරාව අපට වඩා වෙනස් බව.
එයාලාටත් අවස්ථාවක් දිය යුතු බව. කැමැති මතයක් දරන්නට අපට ඇති අයිතියම වෙනත් මතයක්
දරන්නට වෙනත් කෙනෙකුටත් අයිතියක් ඇති බව. නව ලෝකය දෙස වෙනස් විදියකට බැලිය යුතු බව.......
ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක් එක්ක පැටලෙන්නට
නොපැකිළෙන මේ දැනුමැත්තා වාදයකට ආවොත් කීයටවත් අතාරින්නේ නම් නැත. හැබැයි ලොකුම
කරුමය එයාට ඕනෑ විදියට එයාගේ දරුවන්වත් හැදිලා නැති එකය! (ඒ මගේ නිරීක්ෂණයයි. මං
වැරැදි වෙන්නත් ඇහැකිනේ.)
මොකුත් හිතන්න එපා, එයාට අලුත් පරම්පරාවේ අලුත් වැඩ සේරම
වාගේ නිෂ්ප්‍රයෝජන ඒවාය. එහෙම කිව්වාට මාත් ටිකාක් විතර ගතානුගතිකය. සමහර අලුත්
වැඩ නම් මටත් දිරවන්නේ නැති වෙලාවල් ඇති වෙතත් ඒවා ඉවසන්නට මට පුළුවන්ය. ඔයාලටත් අනුන්ගේ මත ඉවසන්නට පුළුවනි නේද?
එහෙම
පන්නරයක් මට ලැබෙන්නට ඇත්තේ එක-එක ජාතියේ මිනිසුන් ආස්සරයට ලැබුණු නිසා වෙන්නැතිය.
ඉඳියාප්ප විකුණන්නට කොළඹ මහ ඉස්පිරිතාලයට ගිය මාස කිහිපයේදී විතරක් වුණත් සංසාරය
ගැන ඉගෙන ගත්තු තරමක්!
ලෝකය දෙස බලන විදියත් වෙනස් වෙන්නට ඕනේ නේද? |
තදින්ම මගේ හිතට වැදුණේ හැම මනුස්සයාටම එක දවසක් හරි
වැඩියෙන් ජීවත් වෙන්නට තියෙන ආසාව ගැනයි.
මටම පුදුමය. එයාලාට එහෙම හිතෙන්නේ එයාලා ජීවත් වුණු
කාලයේ හරියට ජීවත් වෙලා නැති නිසාවත්ද? එහෙමත් නැති නම් තව ජීවිතයක්, උත්පත්තියක්
ගැන විශ්වාස නොකරන හින්දාද? අනේ, මට නම් පුනරුත්පත්තිය හොඳටම විශ්වාසය.
ඒකට
කියන්නේ ‘භව තණ්හාව’ කියලාද කොහෙදය. එච්චර පණ්ඩිතකම් දැන-දැනත් හිත හදාගන්න බැරි
හැටි. මැරෙන්නටත් දුකක් නැති වුණත්...... අනේ මන්දා, මේවා ටිකක් විතර පරස්පර
විරෝධී වගෙත් පෙනෙයි. සමහර විට එහෙම වෙන්නේ, එච්චර හරියක් තේරුම් ගන්නට තරම් ලොකු
මොළයක් මට නැතිකම නිසා වෙන්නත් ඉඩ ඇත.
දැන් නම්
ඉඳියාප්පයක රැල් වාගේ මං පැටලිලාය.
මං සාමාන්‍ය පෙළට ලිව්වේ 1970 වසරේදීය. විභාගයකට යන්නට
කලින් කොච්චර පාඩම් කරන්නට තියෙනවාද? මට නම් ඒකටවත් වේලාවක්; ඉඩක් ලැබුණේ නැත.
හරියටම විභාගයට සති දෙකක් තියා ඉඳියාප්ප කරුමාන්තය තාවකාලිකව නැවැත්තුවෙමි.
රෑ
දහවල් නැතිව පාඩම් කෙරිල්ලට ඇරුණෙමි. මතක හැටියට නම් ප්‍රතිඵලය හතයි හතරකි. විභාගය
ඉවර වුණා විතරය, ආයෙම පුරුදු සුමේට. කඩයප්පම් හැදිල්ල වෙහෙසකර වුණත් පවුලක් නඩත්තු
කරන්නට තරම් ලාභදායීය. ඒක අතෑරලා කොහොමද?
ඒත්, එච්චර වාසි තිබිලාත් ඉඳියාප්ප රස්සාව අතාරින්නට
වුණේ හීනෙකින්වත් නොහිතූ මරාලයක් කඩං
වැටුණු විටය.
71 කැරැල්ල හිංදා ................ |
1971 කැරැල්ල! ඒ දවස්වල ගැටවර වයසේ හිටි කාටවත් පාර තොටේ
ගැවසීම නොව ගෙවල් ඇතුළේ ඉඳීම පවා ‘අපලයක්වී’ තිබුණු බව පලිප්පු දමා කියන්නට ඕනෑ
නැත. ඊටත් ඇඳිරි නීතිය. හෙට උදේටත් ඇඳිරි නීතිය වැටී තියේදැයි නොදැන අද හවස
ඉඳියාප්ප තම්බා තියන්නේ කොහොමද?
බිස්නස් එක හිට්ටේය! අපට ආයෙත් වාරකන්ය.
ඉතින් ඊට පස්සේ
පිහිටට ආවේ ‘පත්තෑයාට පෙත්ත’ය. අද ‘ඉඳියාප්ප ගන්නවාද පෝස්ටු පෙළ’ට සමුදී එව්වා
ලියන්නේ ‘පත්තෑයාට පෙත්තෙන්’ පෝස්ටුවෙනි෴