li Item

Monday, January 27, 2025

හතලිහේදී... දහවෙනි කොටස

‘මොනවද යකෝ මේ? තේ නෙවෙයි, මෙව්වා ‘චා’ම තමා.’

විශ්වාස කරනු මැනවි. එතෙක්- මෙතෙක් කාලයකට මේ නිමල් දිසානායකයාට බොන්නට ලැබී ඇති ‘අජපල් තේ’ එක ඒකය! එහෙම කිව්වාට එදා විතරක් නොවේ; ඊට පසුවත් හැමදාම; දිගටම එහෙන් ලැබුණේ අර ‘ජරා කොලිටියේ තේ’මය. ඒ තේවල කහටත් නැත; සීනිත් නැත; කිරිත් නැත; මදිය නොකියන්නට තිබුණේ වතුරයි රස්නයයි විතරය.

දයාබර ඔබට ඉහතින් තිබෙන පින්තූරය දැක්ක ගමන්ම පෙනුණේ මොකක්ද?

ඒ තේ එක- කිරි තේ දමා තිබූ කෝප්ප හත අටක් එක වතුර වීදුරුවකින් සේදුවාම ලැබෙන වතුර වගෙය!!!

හැබැයි, නිතිපතාම ඒ තේ හැදූ සමීරාට වෙනමම සුවිශේෂ සම්මානයක් දිය යුතුය කියලාත් මට හිතෙයි. ඒ හැමදාම කිසිම වෙනසක් නොවී- එකම වහුකුණු රසයක් ලැබෙන විදිහට ඒ තේ සෑදීම වෙනුවෙනි. ඒකත් ලොකු හපන්කමක් නේද?

ඒ පන්ජාබි තේ එක ගැන මගේ හිතේ ඇති වුණු තදබල නොරිස්සීමෙන් බාගයක්ම- නැත්තං ඊටත් වැඩි කොටහක්... ඒ වෙලාවේම අඩු වුණු විත්තියත් නොකියා බැරිය.

එහෙම වුණේ Aheer මහතාත් එතැනට ඇවිත් අර තේවලින්ම එකක් බොන හැටි දැක්කාමය. අහීර් මහතා එහෙම කළේ කාටවත් පෙනෙන්නට නොවේ.
සිරි ලංකාද්වීපයේ සැමට උදාව සලසන්නට කැපවුණු NGOවක ලොක්කෙකුගේ ‘ව්‍යාජ රංගන පොරෝඩාව’ ගැන එවෙලේ මගේ සිහියට නැඟුණේ නිතැතිනි. ඒ ගැන විස්තර මා මීට කලිනුත් ලියා ඇත! හැබැයි, එහෙම ලිව්වේ අවුරුදු
හතකට ඉස්සරය. බලන්නකො ඔයාලටත් ඒක මතකද කියලා.

අනෙක් දවස්වලට සර්ලගෙ කට්ටියට උයන්නේ පුංචි හැළි-වළංවල, වෙනමම. 

මං දැකපු හැටියට නම් වෙන-වෙන ජාතිත්. එහෙ වැඩ කරන අපට උයන්නේ ලොකු කල්දේරම්වල- සාස්පාන්වල. සර්ලාට වෙනම මේසයකට කෑම අරිනවා. අපි සේරෝමලා පිඟන් අරන් පෝලිමක ගිහින් කෑම ඉල්ලා ගන්නවා. මට ඕකේ කිසිම වැරැද්දක් පෙනුණේ නැහැ. වැරැද්දක් පෙනෙන්න ගත්තේ කමිටු රැස්වීම තියෙන දවසට සිදුවෙන දේවල් පේන්න ගත්තාම.

එදාට කුස්සියේ කෑම ඉදුණේ ලොකු සාස්පාන්වල විතරයි. හැමෝන්ටම හැදෙන ජාති මිසක් විශේෂ ජාති හැදුණේත් නෑ. සේරටම වඩා විගඩම වුණේ සර් ‘කොමිටියේ කට්ටියම පිරිවරාගෙන කෑම පෝලිමේ’ අපිත් එක්ක ගෑටුව එක. අපි සර්ලට ඉස්සරහට යන්න ඉඩ දෙන්න හැදුවත් එක පිළිගන්නෙත් නෑ. හරිම ආචාරශීලී, විනීත, සිරිත්-විරිත්, චාරිත්‍ර-වාරිත්‍ර අකුරටම පිළිපදින අය වගේ.... හැබැයි ඒ සීලේ අනෙක් දවස්වලට තිබ්බෙ නෑ.

"නිමල් හිතන්නේ ඔහොම ඇක්ටින් කෙරුණේ එහෙ විතරයි කියලද? අනෙක් මෙම්බර්ස්ලා ඕවා නොදන්නවා කියලද? නෑ, නිමල්. ඔය රැවටිල්ල තමා හැම තැනම වෙන්නේ. ඒත් හැමෝම අඟවන්නේ එයාලා මොකුත් දන්නේ නැහැ වගේ...

ඒක එහෙම තියෙච්චාවෙකෝ කියල මේකත් කියවල ඉඳිමුකො...

‘නිදිගෙ පංච තන්තරේ’ කියවන දයාබර ඔයාලට මේ post එකේ උඩින්ම තියෙන පින්තූරය දැක්ක ගමන් පෙනුණේ මොකක්ද?

නෑ, නෑ. උත්තර දෙන්න ඕනි නෑ. තම තමන්ටම කියාගත්තාම හොඳටෝම ඇති!
ඒ රූපය යටින්ම තිබුණු වචන ටික ඉවත් කරලයි, නසරානි මං වහන්සේ ඒ පින්තූරය දැම්මෙ. ඒ වචන ටිකත් මෙන්න යටින් දානවා. කියවල බලන්නකෝ එහෙනං.

මා කැමති ඔබ මවාගත් චිත්‍රයටයි.

‘මෙය යුවලකගේ නැටුමක් පෙන්වන රූපයකි. එසේ වුවත්, මා කැමති ඔබ මවාගත් චිත්‍රයටයි. (පරිවර්තනය නිදිගේය.)

එක රූපයක් එක එක්කෙනාට පෙනෙන්නේ එක් එක් විදිහටය. වදන්වලින් අඳිනු ලබන සිතුවමක් ඊටත් වඩා විසිතුරුය; නෙක නෙක අදහස් විවිධාකාරයෙන් ජනිත කරවනසුලුය.
පසුගිය කොටසේ අවසානයට මා ‘සමීරාගේ චා’ ගැන සටහන් කළ දෑ කියවූ හිතාදර Unknown රසිකයෙකු එවා තිබුණු ‘දහ අට වංගුව’ සහිත අපූරු comment එකය; මේ.

‘නිදි කඩක් චායි රස විඳ ඇති බැව් පෙනේ. දඹදිව් තලේ සිසාරා සරන දිගු කෝච්චිවල සහ ඉස්ටේසංවලදී ලැබෙන කරදමුංගු ඈ නෙක දෑ අඩංගු චායි සුමධුර රස වෑහෙන ගත සිත දෙකම පුබුදු කරවන චතුමධුරයැ.

ලක්දිව්හීද කෝච්චිය වනාහි විටෙක ජොලි සහගත ද, විටෙක විචිකිච්චා සහගත ද, විටෙක විනාශකාරී ද, උපාධි ප්‍රදානය කරනා ආයතනයකි. පණස් වසකට පෙරැ තඹුත්තේගම ඉස්ටේසමෙං ටිකැට් නැතුව හොරට යාල්දේවී කෝච්චියේ එල්ලී ටොපි සිකැරැට් විකුනා තුන්වෙනි පංතියේ හොරට දුම් රිය උපාධිය ගත්තු ගල්කපටි බැරි කයියකු රටේම ජන රවටා රටේම ජනා විය. ජනයා දැන් ඌගේ මෝට කුණුසරුපයෙන් ස්තූති කෙරෙති. එය ජොලි සහගත යැ! ඒ ඇසිල්ලේමැ එබඳුම'යුරකින් ඇල්ල ඉස්ටේසමෙං කෝච්චියේ එල්ලී වඩේ විකුනා දුම් රිය උපාධිය ගත්තු එකා අර ටොපි සිකැරැට් හොර උපාධිකාරයාට සහ උගේ ගොබ්බ රැලට නෙලන්නේ දොඹෙන් ම යන්න යැ! ඌ නම් පලමු පන්තියේ විමර්ශන මැදිරි ලෙවල් එකේ බුවෙක් යැ. මුං දෙන්නාටම උඩින් ඉන්නේ හයිද්‍රාබාද් කෝච්චිවල තේ විකුනා උපාධිය ලැබූ චායි බෝයි මෝදි යැ.

කියවන ඔහෙලාට වන්දේ මාතරං යැ!’

මෙලෝ රහක් නැති; කොලිටියක් කියා දෙයක් තිබ්බෙම නැති; නමට විතරක් තේ කියා කිව හැකි ඒ ‘තේ’ එක බොනවා හැර වෙන විකල්පයක් අපට තිබුණේ නැත!

මගේ කෝණයෙන් බලද්දී මේ කමෙන්ටුව අතිශයින් සංවරය; උපහාසාත්මකය; කියවන්නාගේ රුචිය නොනසනසුලුය;
(පාසල් යන අතරේම) වයස අවුරුදු දොළහේ සිට අවුරුදු හතරක් තිස්සේ පදික වේදිකාවල රඟා- කවි පොත් විකුණා අපේ පවුල නඩත්තු කළ මා වැන්නකුගේ ආඩම්බරය වඩවනසුලුය.

අතීතය හෙළි කිරීමට පැකිළිය යුත්තේ ‘බලය අවභාවිතා කර’ අනුන් සන්තක දේ; රටට සන්තක දේ අයුතු ලෙස හොරෙන්- වංචාවෙන් කඩා-වඩා ගත්තා නම්ය; රටේ වස්තුව කොල්ල කෑවා නම්ය; අනුනට උගුල් ඇටෙව්වා නම්ය; මිනී මැරෙව්වා නම්ය...
ඒ සියල්ල එසේ වුවත්;
ඒ comment එකේ සඳහන් කරුණු කෙසේ වෙතත්... එහි ඇති නිර්මාණාත්මක ගතියට මා ඉතා කැමැතිය; එහි ඇති කොලිටියට මා ඉතා කැමැතිය.

Unknown රසික හිතවතාගේ comment එකෙන් මගේ වැරැද්දකුත් පෙනී ගියේය. මා ‘චා’ යනුවෙන් ලිව්වත්, එය ‘චායි’ වශයෙන් සඳහන් කිරීම වඩාත් නිවැරදි ලෙස පෙනේ. ඉංග්‍රීසි බසින් එය ලියැවෙන්නේ ‘Chai’ ලෙසයි.

ඉතිං... සමීරාගේ මෙලෝ රහක් නැති; කොලිටියක් කියා දෙයක් තිබ්බෙම නැති; නමට විතරක් තේ කියා කිව හැකි ඒ ‘තේ’ එක බොනවා හැර වෙන විකල්පයක් අපට තිබුණේ නැත!
පිට පිටම දෙවෙනි වතාවටත් මගේ බලාපොරොත්තු සුන්ව ගියේ ඊළඟටය.

තේ බීලා අහවර වුණු ගමන්ම බල්නූර් ආපහු ගියේ rest room එකකට නොවේ. ෆැක්ටරිය ඇතුළටමය. එහි, මුල් කෙළවරේ අඩි දෙකක් විතර උසින් කුඩා වේදිකාවක් විය. ඒ වේදිකාව ඉදිරිපසිනි- අප වැඩ කරන පේළි පහ යොදා තිබ්බේ.
වේදිකාවේය, අහීර් මහතාගේ කාර්යාලය තිබුණෙත්.
බල්නූර් වාඩි වුණේ අර වේදිකාවේ ගැටිය අද්දරය. ඒ තීරුව ඉක්මනින්ම පිරීයන බව පෙනුණු නිසා මමත් පය ඉක්මන් කළෙමි.

මොන තරම් අවාසනාවක්ද?

එක පිම්මට පැය දෙක තුනක් එකම ඉරියව්වකින්; හිටගෙන හොඳ පණ යනතුරු කැඹුරුවාට පස්සෙවත් සුව-පහසුව වාඩිවී ඉසිඹු ලබන්නට තැනක් නැති හැටි!
“උඹ හිතන්නේ උඹේ පැත්තෙන් බ්‍රදර්... නිකමට හිතපන්...” ශාලාවේ පුටු නැති හේතුව මට කිව්වෙත් බල්නූර්මය. “...පුටු තියල තිබ්බා නං අපි ලේසියෙන් නැඟිටියිද? එහෙනං වාඩි වෙච්ච අයව නැඟිට්ටන්න වෙනම සුපර්වයිසර්ලවත් ගන්නයි බොස්ට සිද්ද වෙන්නේ.”
“එහෙනං ඒ වගේ හිතල වෙන්නැති බලන බලන පැත්තෙන් අපිට වෙලාව පෙනෙන්න ඔරලෝසු එල්ලල තියෙන්නෙ.” මට කියැවුණේ- එතකොටත් සේවකයන් නියමිත තැන්වලට ආපසු යමින් සිටිද්දීය. ඔවුන් එහෙම කළේ සමීරාගේ ආගමනයත් සමඟමය.

එහෙම දේශනා කළේ කොයි හාමුදුරුවන් වහන්සේද? කොතන කියපු බණකදීද?

“අනේ පව් ලොකූ! ඔයා හොඳටම ටයර්ඩ් පාටයි. I’ll make a nice tea for us. Go and have a quick hot wash.” මා ගෙදර එන පෙරමඟ බලා සිටි චූටි නංගී දීපානි කිව්වේ- දොර විවෘතකොට මාව ගෙතුළට ගෙන, මගේ කබාය ගලවමින්ය. “Then tell us everything විස්තර එක්කම. දීපාලුත් ඇවිත් විනාඩියකට එළියට ගියා... ඉක්මනට එයි. We cooked rice & curry ඔයා හින්දම. උයලා මේ බලාගෙන උන්නේ- ඔයා එනකල්... Hurry up Loku...”

වාඩි වුණු පුටුවෙන් නැඟිටින්නට හිතක් මට නැත. ආසන්න වශයෙන් පැය එකොළහක් හිටගෙන හිටි කෙනෙකුටය ඒ අමාරුව තේරෙන්නේ. දැන් දෙකකුල්වලට දැනෙන්නේ පුදුමාකාර සනීපයකි. මම දෙනෙත් පියා ගත්තෙමි.
හදිසියෙම මගේ ඉදිරියේ ඇඳී ගියේ, ෆැක්ටරියේ අපට පේළි දෙකකට එහායින් ජුකී මැෂින්වල වාඩිවී සිටි උදවියයි. ඔවුන් දැන් ඉන්නවා ඇත්තේ කොහොමද?
ඔවුනට සැපයක් ලෙසින් දැනෙනවා ඇත්තේ හිටගෙන සිටීම නොවෙද?

‘... දිගටම විඳිනකොට දුකක් වගේ නොදැනෙන දේ තමයි සැප! දිගටම වාඩි වෙලා ඉන්නකොට අපි බලන්නේ හිට ගන්න. එක දිගටම හිටගෙන ඉන්න වුණාමයි ඒකත් දුකක් කියලා වැටහෙන්නෙ... එහෙනං පින්වතුනි- මොකක්ද සැප කියන්නේ?’
එහෙම දේශනා කළේ කොයි හාමුදුරුවන් වහන්සේද? කොතන කියපු බණකදීද?

‘ම්හු! කවුද කිව්වේ- කොහෙදිද කිව්වේ කියලා හිතනවා වෙනුවට හිතාපං නිදි ඒකෙ අර්ථය. ඒක නේද වටින්නෙ?’
ඔහොම වටිනා කියන කියමන් කොච්චර නං එක දවසකදී වුණත් අපිට ඇහෙනවද යෝදයෝ? අපි එව්වා ගණනකට නොගන්න එකනෙ වැඩේ!
‘ඕවා හිත හිත ඉන්න ගියොත් පුටුවෙම නින්ද යයි. යං යං ගිහිං ඇඟ සෝදගෙන ඇවිත්...’

මං ඇඟ සෝදාගෙන එනකොට දීපාල් විතරක් නොව අම්මාත් ගෙදර ඇවිදින්ය.

“මොකද රංජි, මේ දීපානි කියන්නේ ඔයාට එක දවසෙන්ම රස්සාව ඇති වෙලා වගෙයි කියලා.”
“එයාට පෙනිච්ච හැටිනෙ අම්මේ, ඒ.”
“ඒ කියන්නෙ ඔයාට නං රස්සාව හොඳයි?”
“එක දවසෙන් කොහොමද අම්මේ ඔහොම දේවල් තීරණේ කරන්නේ. ඔක්කොමත් හරි- මට රස්සාව විතරක් නෙවෙයි, එංගලන්තෙත් දාල දුවන්න හිතුණා එහෙ උන්නු කිර්පාල් කියලා එකෙක් හින්දා...”

ඒ මොකෝ? / ඇයි ඇයි ලොකා. ප්‍රශ්නයක්ද? /
ලොකා කියනකල් ඉන්නවලකො කටවල් වහගෙන; disturb නොකර! ඔයා කියන්න ලොකූ.

එහෙම බාධාවන් මැද්දේය, මට කිර්පාල්ගේ ‘මෞඛ දුර්ගන්ධය’ ගැන පවසන්නට වුණේ.

“ඇත්තමයි, ඒක නං මාරම ගඳක්, සැරෙන් සැරේ විතරක් ආපු නිසා මට හරියට හිතා ගන්න බැරිව ගියා.” මං කියද්දී ඉස්සෙල්ලාම බාධා කළේත් දීපානිමය.

“ඊයා! Disgusting වැඩක් නේද ලොකූ ඔය කියන්න යන්නේ?”
“ඒ මනුස්සයා පඩ යවන්නැති!”
“What is that?”
“Fart!’
“චිකේයියා...”

එහෙම බාධාවන් මැද්දේය, මට කිර්පාල්ගේ ‘මෞඛ දුර්ගන්ධය’ ගැන අපේ අම්මලාට පවසන්නට මට සිද්ද වුණේ.

මට ඒත්තු ගිහිං තිබෙන හැටියට නම්, නිමල් දිසානායකගේ පසිඳුරන්ම අතිසංවේදීය; ඒවා රූප, ශබ්ද,  ගන්ධ, රස, ස්පර්ශ ආදිය මැනැවින් ග්‍රහණය කර ගනියි.
ඒ නිසාමදෝ මගේ දහදිය ගන්ධය පවා මට  තදින් දැනෙයි. උදේ වැඩට යනවිට ඇඳගෙන යන කමිසයෙන් හමන දහදිය ගඳ නිසා- හවස් වෙද්දී මා ඉන්නේ තදබල නොඉවසිල්ලකිනි. කමිසයත්, බැනියමත්, යට ඇඳුමත් ගලවා දමන්නට පුදුම තදියමකිනි; එවෙලේම ඒවා සෝදා දමා- දත කට මැදගෙන නා ගන්නටය ඒ තදියම!

LTTE යුද සමයේ අයස්මන්ත පීරිස් මහතා ඇතුළු පිරිස සමඟින් ‘තිරියාය’ට ගිය වික්‍රමාන්විත චාරිකාවකදී, හරිහැටි දත් මැද මුහුණ සෝදා ගන්නට තැනක් නොමැති විය. එහිදීත් මා ‘පල් වතුරින් පිරුණු වැවකින්’ මුහුණ සෝදා ගත්තේ දැඩි අප්‍රසන්නතාවක් දැනෙද්දීමය. පැය දෙකකට විතර පස්සේ ඒ අප්පිරියාව නිසා- හත් අට වතාවක්ම වමනය කරන්නටය මට සිද්ද වුණේ. මගේ තිබෙන සංවේදීතාව එබඳු බව, මා මේ අඩවියටම ලිව්වේ කලකට පෙරාතුවය.

“Loku, ඔයාට තියෙන්නෙ ඒ පෙරේතයා එක්ක හවුලේ වැඩ කරන්න බැහැයි කියන්න.”
“If I were you, එයාගේ මූණටම කියනවා හොඳ හිතින් දත්  ටික මැදගෙන වරෙන් කියලා.”
“එහෙම නෙවෙයි රංජි- ඔයා හෙට යනකොට Face Mask එකක් අරගෙන යන්න. ගාර්මන්ට් එකේ සමහරු මාස්ක් දාගෙනයි ඉන්නේ කියල ඔයා කිව්වේ. ඩස්ට් එකෙන් බේරෙන්න වගේ ඔයා මාස්ක් එක දාගන්න... තැනකට ගිය ගමන්ම තරහකාරයෝ හදාගෙන හරි යනවද- මෙයාලා කියන විදිහට... නයා මරන්නෙත් නැතිව පොල්ල කඩා ගන්නෙත් නැතිව වැඩ කළාම ඉවරයිනෙ, රංජි.”

අම්මගෙ අයිඩියාව හොඳ පාටය.
“ඔයා Mum කියපු විදිහට කරනවා නං ලොකූ, මම දැන්මම ගිහිං Masks දෙක තුනක් ගෙනල්ල දෙන්නං.” දීපාල් එවෙලේම Hounslow කඩ වීදිය පැත්තට ඉගිල්ලුණේය.
“... හැබැයි රංජි- මාස්ක් නොදැම්මත් දවසක් දෙකක් යද්දී ඔය ගඳ ඔයාට නොදැනී යන්නත් පුළුවන්!” ඒ අස්සේ අපේ අම්මා අලුත් මතයකුත් ඉදිරිපත් කෙරුවාය.

මේ ලියන්නා නොවරදවාම නරඹන රූපවාහිනී වැඩ සටහනකි ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර් - රියැලිටි ෂෝ’ව.

පසුවදා උදේ නිමල් දිසානායක වැඩ පටන් ගත්තේ මුහුණින් අඩක් වැසෙනසේ ආවරණයක් පැළඳගෙනය.

ඒත් හෝරාවක් යන්නටත් කලින් දිසානායකයාට ෆේස් මාස්කුව තිත්ත වුණේය. (ස්තුතියි නදීක ගුරුගේ මහතාණෙනි! මේ සඳහන ඇස ගැටුණොතින් ‘යෝදයෝ, අහක ඉන්න මට ස්තුති කරන්නේ මන්ද?’ කියලා නදීක මහතා විමසනු ඇත.

මේ ලියන්නා නොවරදවාම නරඹන රූපවාහිනී වැඩ සටහනකි ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර් - රියැලිටි ෂෝ’ව. නදීක ගුරුගේ මහත්මාත් එහි විනිසුරු මඬුල්ලේ සාමාජිකයෙකි. එතුමාගේ commentsවලින් රස වෑහෙයි- දැනුම උපදියි- කථනයට ආදර්ශ සැපයෙයි.
ඒ කමෙන්ටු තරග වදින තාරකාවේ ගායනය පිළිබඳව පමණක් නොවේ! ගීතයේ පද රචනය හා බස, සංගීතය, භාවිත ශිල්පෝපක්‍රම හා ඉතිහාසය ගැනත්ය; තවත් විටෙක ඊට අදාළ විශ්ව සංගීත කාරණාත් ඊට ඇතුළත් වෙයි. සමහර සිංහල වචනවල නිවැරදි උච්චාරණය පවා විටෙක සාකච්ඡාවට බඳුන් වෙයි. එසේම නව වදන් යොදන්නටද නදීකයෝ එඩිතර වෙති.

ඊයේ වැඩ සටහනේදීත් නදීක මහතා ‘කොන්සර්ට් එක’ යන වදන් වෙනුවට ‘කොන්සට්ටුවක’ යන වදන යෙදුවේය. (32 වෙනි විනාඩියේ සිට බලන්න.)
‘ඒ යෝදයා’ අනුව යමින් මාත් ‘මාස්කුව’ වදන ලියූ බැවිනි මං වහන්සේ නදීක මහතාණන්ට තුති පිදුවේ!)

ඒත් එදා මුහුණ අඩක් වසාගෙන හෝරාවක් යන්නටත් කලින් දිසානායකයාට ෆේස් මාස්කුව තිත්ත වුණේය.
එහෙම මුහුණු වැස්මක් පැළඳගෙන හිටීමෙන් යම්තාක් දුරට ‘කිර්පාල් හාදයාගේ මුඛ දුර්ගන්ධය’ අඩුවී දැනුණු විත්තිය ඇත්තය. යම්තාක් දුරට... ඔව්, යම්තාක් දුරටය. ඒ වෙනුවට වෙනත් අසීරුවක් උහුලන්නට සිද්ද වීමය- මට නොරිස්සුවේ. හීන් දාඩිය සහ මුව පෙදෙසේ පොඩි කැසිල්ලක්...

“ඇයි brother උඹ මාස්ක් එක ඉක්මනට ගැලෙව්වේ?” එදා අර දියාරු ‘චායි’ බොන්නට යන අතරේ බල්නූර් මගෙන් ඇහුවේය.

... ගලවන්නට හේතුව විතරක් නොවේ, එය පළඳින්නට සිදු වුණු හේතුවත් මගෙන් එතකොට කියැවුණේය.
“Very sorry බ්‍රදර්- කිර්පාල් කිසිම කමකට නැති බාස්ටර්ඩ් කෙනෙක්. කතාවට නං හරිම කැමැතියි- Job එක නොකර හරි ඒක නං කරයි.
ඒ හාදයා අපේ රටටත් අවනම්බුවක්... හරිම ඩර්ටි. He hate water. ස්ටින්ක්... You know stink?” බල්නූර් මුහුණ විරූපකොට, නහය  හකුළුවා, අභිනයෙන් ‘දුඟද’ වටහා දුන්නේය. මම හිස සොලවමින් උත්තර දුන්නෙමි.

“...ඒ මදිවට මේ කැත ඌරා කම්මැලිත් එක්ක.
අහීර් සර් කිර්පාල්ව ඔයා එක්ක කපල් කරන්න ඇත්තෙත් මිනිහට පාඩමක් උගන්වන්න. අපිට වගේම කිර්පාල්ටත් ඉංග්‍රීසි බෑ. ඔයාට පංජාබිවත් හින්දිවත් බෑනෙ... ඉතිං මිනිහට වෙන්නේ කට වහගෙන ඔයත් එක්ක වැඩ කරන්නයි.
ඔයා දන්නවද brother, ඔයාලව ඉස්සරහින්ම මේසයකට අරගෙන තියෙන්නෙත් සර්ට නිතරම කිර්පාල්ව පේන්න...”

‘හෙනං ගෙන එන්න සුරුට්ටුව බොන්න’ නෙවෙයි, හෙනං ආයෙත් එන්න ඉතිරි ටික කියවන්න...à

Tuesday, January 21, 2025

හතලිහේදී... නවවෙනි කොටස

“Yeeeh, මාත් කියන්නේ ඒකමයි. Sam කියන්නෙත් ඒක. කිව්වට තරහ වෙන්න එපා ලොකූ, ඔයා හරි ආඩම්බරයි... ඔයාගෙම නංගිල මල්ලිලගෙන් වුණත් උදව් ගන්න කැමති නෑ. ඒකයි හොරේ!”

“අනේ අනේ චූටියෝ. තමුසෙ පැහිල තියෙන තරම.
ඇත්තමයි කියන්නේ, කවදා හරි මට උදව් ඕනි වුණොත් අන්න එදාට මං ඔයාලට කියනවා දීපානි. ප්‍රොමිස්. එතකං මම මගේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්නයි ගොඩක් කැමති. හැබැයි, තමුසෙගෙ වෙඩින් එකටත්
මම ඉංග්ලන්ඩ් එනවා මට ටිකට් එකක් එව්වොත්. හරිද?”

මං නං කවද හරි මැරි කරන්නේ මම කැමති කෙනෙක්.

(ඒත් මං වහන්සේට එහෙම එංගලන්තයට යන්නට අවස්ථාවක් උදාවුණේ නැත. චූටි නංගි දීපානිගේ විවාහ මංගල්‍යය  පැවැත්වුණේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී බැවිනි.

-බඩා මල්ලා දීපාල්ගේ පෝරු මස්තකාරූඪය කෙරුණේත් කොග්ගල බීච් හෝටලයේ මනරම් වෙරළේදීය.)

“දැන් තියාම ඔව්වා කතා කරලා මේ දෙන්නවත් spoil කරන්න එපා රංජි. මේ දෙන්නගේ මඟුල් දෙකවත් සැසිල්ටයි මටයි ඕනි විදිහටයි කරන්න හිතාගෙන ඉන්නේ. සමන්ති හිතුවක්කාර වුණාට අනෙක් අයටත් එහෙම වෙන්න දෙන්න පුළුවනැයි?”
“මේ මේ Mum, ඔන්න දැන්මම කිව්වා... Don’t be angry! චූටියා කොහොම වෙයිද මං දන්නෑ. මං නං කවද හරි මැරි කරන්නේ මම කැමති කෙනෙක්. තාත්තා ඉඳිද්දීම
ලොකූ එයාටත් කියල තිබ්බේ...” දීපාල් ගිනි ඇවිළුවේ බෝම්බයක සේව නූලටය. “එදාත් ගෙදර ලොකු රණ්ඩුවක් වුණාලු නේද?”

“පිං සිද්ද වෙයි දීපාල්, මට කනක් ඇහිලා ඉන්න ඉඩ දීලා ඔය හැකර කට වහගෙන අන්නරහෙට ගිහිං ඕනි දවසක ඕනි මඟුලක් කර ගන්නවා...” අම්මා දෝතින්ම දෙකන් වසාගෙනය.
“ඇයි දීපාල්ට විතරක්... මාත් එහෙමයි කරන්න යන්නේ. අම්මත් කළේ එහෙමනේ...” චූටි නංගිත් ඒ අව්වස්සේ ඇස් නටවමින් රඟයි.

“ඇයි ඒකට විතරක් අම්ම කරපු හැටි... එහෙනං ඉතිං අනිත් දේවල්වලටත් අම්ම කරන විදිහටම කරන එකනේ තියෙන්නෙ... අම්මත් එහෙමනේ! ලජ්ජ නැතිව ඒක කියපු ලස්සන... අම්මා කරපු දේවල් හින්ද නේන්නං ඔයාලා අද මෙහෙ ඉන්නේ...”

“අනේ අම්මේ! තව කප්පරක් කල් තියෙනවනෙ ඔය ප්‍රශ්නවලට උත්තර හොයන්න. දැන් හෙට මම දවල් කෑමට මොනවද ගෙනියන්නේ?” මා කල්පනා කරමින් උන්නේ ඒ ගැනය.
“ඔය වැඩට එන කවුරුවත් බත් පාර්සල් බැඳගෙන එන පුරුද්දක් මෙහෙ නෑ රංජි! ඉක්මනට කන්න පුළුවන් ලේසි දෙයක් ගෙනියනව මිසක්.”

“Don’t worry Loku! මම ඔයාට හදල දෙන්නං නයිස් සැන්විච් එකක්. චීස් පෙත්තක්- ටොමැටෝ පෙත්තක්- හැම් පෙත්තක් එහෙම දාලා... ආ, තව කියුකම්බර් පෙති දෙකතුනක්...”
“මුල් දවසෙම තියෙන සුකුරුත්තං ඔක්කොම දාලා Jumbo sandwich හදන්න යන්න එපා හලෝ. මං දැකල තියෙනවනේ... ඉන්දියන් කට්ටිය වැඩට එනකොට අරගෙන එන්නේ චපාති වගේ දෙයක්.” දීපාල් දීපානිට උපදෙස් දෙද්දී අම්මා අහගෙන හිටියේ ඔලොක්කු හිනාවකින් මුහුණ සරසාගෙනයි.

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් තිබ්බත් මදියි කියනවලුනෙ!

“අනේ රංජි. ඔයා දන්නවනෙ මෙයා ඇහැරෙන වෙලාව. මෙයා නැඟිටලා ඔයාට සැන්විච් හදනකල් බලාගෙන හිටියොත් ඔයාට වැඩට යන්න වෙන්නෙ හවස් වෙලා තමයි.

මෙච්චරකල් මම පාන්දරින් නැඟිටලා වැඩට යනවා. මෙයාලා එක්කෙනෙක්වත් ‘අනේ පව්නෙ අම්මා’ කියල හිතලවත් එක දවසක්... එක දවසක්වත් පාන්දර මට තේ එකක් හරි කෝපි එකක් හරි හදල දීලා තියෙනවයි කියලද?”
“අම්මා ඉතිං වැඩට යන්නෙ early five විතරනෙ... It’s too early to wake up!”

“අනේ නිකං ඉන්න දීපානි, ගිය සැරේ ලොකා මෙහෙ ඉන්නකල් හැමදාම උදෙන් නැඟිටලා මට තේ හදල දුන්නේ... නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් තිබ්බත් මදියි කියනවලුනෙ. තව චුට්ටක් ඉල්ලනවලු...” අම්මාගේ ඒ කතාවෙන් පස්සේ සභා තොමෝ විසිර ගියේ සතුටින් නොවේ!

ඒත් අම්මා කිව්වා හරිය. පසුවදා පාන්දර චූටියා නැඟිටලා එනකොට මං ගෙදරින් පිටත් වෙන්නට ඔන්න- මෙන්නය. “අනේ ලොකූ, එක්ස්ට්‍රීම්ලි සොරි. මම ඔයාට කිව්වේ- මටත් ඇහැරවන්න කියල... සීතලට නින්ද ගියා.”
“හරි, හරි. මං සැන්විච් හදා ගත්තා. දැන් ගිහිල්ලා තව ටිකක් නිඳා ගන්නවා හලෝ. නිඳි කුම්බරී!”

‘මේ මනුස්සයා වෙන්නැති ෆැක්ටරියේ දොරවල් අරින්නෙත්!’ වැඩ පටන් ගැනීමට නියමිත වෙලාවට වඩා විනාඩි පහ දහයකටත් පෙරාතුව මං වහන්සේ ෆැක්ටරියට යද්දීත් අහීර් මහත්තයා වැඩ පටන් අරංය. ලොකු- දිග මේසයක රෙදි එලමිනි ඔහු උන්නේ. තවත් දෙදෙනෙක් ඔහුට සහය වෙමින් සිටියහ.
අහීර් මහතා අප එකිනෙකාට හඳුන්වා දුන්නේය. “නිමල්, මේ සමීරා. අපේ ෆැක්ටරියේ පරණම එක්කෙනා. මෙයා බල්නූර්- all rounder කෙනෙක්. හරි දක්ෂයා...”

සමීරා චාම් පෙනුමැති, කැපී පෙනෙන උස මහතක් නැත්තියකි.
බල්නූර් මිටි- මහත- ප්‍රසන්න පෙනුමැති අයෙකි. “වෙල්කම් ටු ඉංග්ලන්ඩ්. You Sri Lanka, me Punjab.” උණුසුමින් මගේ අත සෙලවූ බල්නූර් පළමුවෙනි තත්ත්පරයේදීම ඔහුගේ හිතවත්කම විදහා පෑවේය.

අහීර් මහතා රෙදි මදින පේළියේ හතරවෙනි තැනට මාව කැන්දාගෙන ගියේය. එතන තිබුණු දැල් පෙට්ටිය පිරී තිබ්බේ මසා ඉවර කළ බ්ලවුස් තොගයකිනි. ඒවා සියල්ලම එකම රෙද්දකින්- එකම විදිහට මසා තිබිණි. (මේ විස්තර කියන්නේ අසීරුවෙන් මතක ඇහිඳිමින් බව විශේෂයෙන් කිව යුතුය.) එක බ්ලවුසයක් අතට ගත් Mr. Aheer එහි කොලරයත්, කොලරයට යටින් (හරහට) තිබෙන තීරුවත්, අත් දෙකත් මැද්දේය. ඒ මට පෙනෙන ලෙසිනි.

“මෙච්චරයි උඹට මදින්න තියෙන්නෙ. ඊළඟට මේක මේ විදිහට, ඉස්සරහ මේසයේ එක්කෙනාට ගන්න පුළුවන් විදිහට... මේ කම්බියෙන් එල්ලනවා. එච්චරයි, උඹේ part එක එච්චරයි. අමාරු නැහැනෙ. Complicated වැඩකුත් නෙවෙයිනෙ.” කියලත් සැහැල්ලුවෙන් කීවේය. “රයිට්! මම පෙන්නපු විදිහට එකක් මැදලා බලමු දැන්.”

යකඩෝ මේ නොදරුවන්ට කියලා කරවාගන්න ඔබින දේවල්ද මේ?

විශ්වාස කරනු මැනවි! දැනුම් තේරුම් ඇති කාලයේ පටන්ම නිමල් දිසානායක හාදයා අකැමැත්තෙන්ම කළ රාජකාරියක් වුණේ ‘ඇඳුම් මැදිල්ල’යි.

‘ළමයින්ට තනියම එයාලගේ වැඩ කරගන්ඩ ඉඩ දෙන්න ඕනි!’ අපේ අම්මා නිතරම ජප කළේ එහෙමය. එසේම ඒ කියමන ප්‍රායෝගිකවත් කිරියාවේ යෙදෙව්වාය.
ඒ නිසාම අපේ ගෙදර දූ දරුවන් හැමෝටම ගේදොර අතුපතු ගාන්නට සිද්ද වුණේය; නංගිලා මල්ලිලා පරක් කරගන්නට සිද්ද වුණේය; ඔවුන්ට කවන්නට පොවන්නට සිද්ද වුණේය; ඔවුනගේ කැත-කුණු අත ගාන්නටත්- ඔවුන් සෝදා පවිත්‍ර කරන්නටත් සිද්ද වුණේය;
උයනකොට උදව් දෙන්නටත්- උයන්නටත් සිද්ද වුණේය.
තම තමන්ගේ කිලිටි ඇඳුම් සෝදාගන්නට සිද්ද වුණේය; එව්වා මැදගන්නටත් සිද්ද වුණේය.

අපේ ආච්චී නං ඒ කෙරේමය නිර්දය ලෙසින් විවේචනය කළාය. “කම්මැලි අම්මණ්ඩි. උකුණෝ ලව්වා ගල් අද්දවනවා... යකඩෝ මේ නොදරුවන්ට කියලා කරවාගන්න ඔබින දේවල්ද මේ? කොහෙද- ගෙදර මහ එකාගේ කොන්ද පණ නැතිකොට- ඇස්වල කොරපොතු හැදිලා වගේ මේ විගඩම් ඌට පේන්නැතිකොට අපියි කියල මොනවා කරන්ඩද? උගේ ගෑනි- උගේ ළමයි!”

ඉතිං, යටකී වැඩ රාජකාරිවලින් මට අප්‍රසන්නම වැඩේ වුණේ ඇඳුම් මැදිල්ලයි. කොච්චර අප්‍රසන්න වුණාදැයි කියතොත් රැකියාවන් කරන්නට පටන් ගත්තු දවසේ සිටම- ඇඳුම් මදින වෙලාවට මගේ කමිස සියල්ලම අයන් කර තබන්නට මම පුරුදු වී සිටියෙමි. එහෙව් දුෂ්කර ක්‍රියාවක් පුරුදු පුහුණු කර තිබුණු මං... එක දිගට ඇඳුම් මදින්නට- රැකියාවක් වශයෙන් වුණත්...
මගේ දෛවය මේ තරමටම විසිළු සහගතද?

එදාත් මං වහන්සේ කළේ එවැනි අවස්ථාවලදී මා කරන සුපුරුදු දෙයකි. බිඳක් යහමින් සිතා බලන්නට වීමි... මගේ අසතුට ඛණ්ඩනය කරමින් විග්‍රහ කර ගන්නට වීමි.

‘තමුසෙට මේකත් මහ ලොකු කජ්ජක්යැ? මෙයිට වැඩිය දේවල් කරල තියෙන එකේ... කොහොමද එදා අර යකඩ සිස්ටර්ට අහුවෙයි කියල මරබයේ තමුසෙ මහ ඉස්පිරිතාලේ මිනී කාමරේ අයිනෙ කරුවලේ හැංගිලා හිටිය හැටි.’ හිත ඇහුවේය.
‘පල නැතේ තැවුල් වී- උත්සහය ජය ලබා වී
ඒ නිසා, වී තොසා, සෝක තාප දා නසා
ඉවසනූ හදේ!’ අපේ අසහාය ගායිකා; කලාශූරී ලතා වල්පොල ගයා
තිබෙන්නේ ‘මාතලන්’ එකට ගැළපෙන්නට විතරක් නොවේ යැයි හිත මතක් කළේය. ‘ඒවා නිකංම සිංදු නෙවෙයි. මෙහෙම වෙලාවල්වලටත් ගැළපෙනවා.’  

වන්නාටය! අන් කවර විටෙකදීටත් වඩා කෙනෙකුහට ධීර වීර ධෛර්යය අවශ්‍ය වන්නේ මෙවන් විටෙකදීය. ඉතිං වෙර වඩාගෙන- දිරි උපද්දාගෙන- සියලු ඉෂ්ට දේවතාවුන් සිහි කරගෙන මමත් වැඩ ඇල්ලුවෙමි.

... ඉන්දියානු භාෂාවකින් මොනවාදෝ කිව්වේය. මට ඒ කිසිවක් තේරුණේ නැත.

“Yes... that’s correct... the other way... good...” වගේ ප්‍රතිචාර අහීර් මහතාගෙන් කියවෙද්දී මං එව්වා ගැන හිතුවේ නැත, දෙවෙනි බ්ලවුසයත් අතට ගත්තෙමි. නියමිත කොටස් මදින්නට ගත්තෙමි.

“Very good. You got it... carry on...” වගේ comments දෙමින් අහීර් මහත්තයා වටපිට බැලුවා. ‘කාව හරි හොයනවා වගේ.”

එතකොටමයි උස හාදයෙක් ෆැක්ටරියට ඇතුළු වුණේ.
“කිර්පාල්... Hurry up. Come here. You work with Nimal.”

ඇයිද මංදා. මට පෙනුණේ කිර්පාල් හාදයා අසතුටෙන් ඒ මේසයට ආවා වගෙයි.
ඒත් ඒ හාදයාත් වැඩ පටන් ගත්තා. බ්ලවුස්වල ඉතිරි කොටස මදිමින් හැන්ගර්ස්වල එල්ලන්න පටන් ගත්තා. අහීර් මහත්තයා ඒ දිහාව බලාගෙන හිටියේ නොපහන් බැල්මකින්. ටික වෙලාවක් එහෙම බලාගෙන ඉඳලා එයා මොනවදෝ කිව්වා. කියපු භාෂාව මට නොතේරුණත්, කියාපු ලීලාවෙන් නං පෙනුණේ කිර්පාල්ට දෙස්සක් කපාපු විදිහක්. ඉක්මන් කරන්නයි කියලත් කිව්වා වෙන්නැති, Speed වචනෙත් කියැවෙනවා ඇහුණේ!

අහීර් මහත්තය එතැනින් ඈතට යනවාත් එක්කම කිර්පාල් එයාගේ දකුණතේ කිහිල්ලට යටින් මගේ දිහා බැලුවේය. එහෙම හොරෙන් බලලා ඉන්දියානු භාෂාවකින් මොනවාදෝ කිව්වේය. මට ඒ කිසිවක් තේරුණේ නැත. (ඒත් මොකක්දෝ මහා අප්‍රසන්න ගඳක් නම් දැනුණේය.)

පෙනෙන්නේ මාත් රහසෙන් කතා කළ යුතු බවයි. “English!” මම රහසෙන් කෙඳිරුවෙමි.

“You English? England English? Me Indian... You?”
“Me Sri Lankan.”
“Me Kirpal. You?”
“I am Nimal.”

කිර්පාල් මගෙත්තෙක්ක කතා කළේ මන්දැයි කිව්වේ ඊළඟටයි. ඒ ටික කිව්වෙත් කිහිල්ලට යටින් බලමිනි. “Work slow. Slow... Nimal slow!”
එතකොටත් මගේ කොටස මැදලා හමාර කළ බ්ලවුස් කීපයක්ම කිර්පාල්ගේ අතට යන්නට පෙළ ගැහිලාය!

එතකොටම වගේ සමීරා එතැනට ආවාය. ‘සමීරා අපේ කතාව දැකලාවත්ද?’
නැති විදිහය. කිර්පාල් මැදලා ඉවරකොට තිබුණු බ්ලවුසස් ටික එකතු කරගත් සමීරා ඒවා සියල්ල රැගෙන ගොස් ලොකු බාර් එකක එල්ලුවාය. ඒ අතරේ තවත් එකියක් අපේ දැල් බක්කිවලට තව තවත් බ්ලවුස් ගෙනත් පිරෙව්වාය.

ඒ ඉස්තිරියාවන් දෙන්නාම ඈතට ගියාට පස්සෙය, කිර්පාල් ආයෙත් කට ඇරියේ. “බිච්! සමීරා බිච්!!” ඊළඟට ආයෙමත් මොකක්දෝ ඉන්දියානු වචනයක්. මට ඒ බාසාව නොතේරෙන බව ඒකාට මතක් වෙලාය. “සමීරා ජේම්ස් බොන්ඩ්! ජේම්ස් බොන්ඩ්...” (ආයෙමත් අර ගඳ!)

කිර්පාල් කියන්නට හදන්නේ සමීරා ඔත්තුකාරියක බවද? “සමීරා spy?” එතකොට නං ඒ හාදයා හිනා වුණේ ඉන්නා තැන අමතක වුණු ගණනටය.
“ආාාාාා ඉස්පයි... ඉස්පයි. Yes, yes... සමීරා ඩේන්ජරස්!” (එක විඩේම අර ගන්දස්කාරයේ සැර දෙගුණ වුණාවත්ද? කිර්පාල්ට එය දැනුණු විදිහක් නොපෙනෙයි. මේ ගඳ දැනෙන්නේ මට විතරමද?)

ඒ රොබෝවා හුස්මක් ගනියි. මඳක් වමට හැරී දැල් බක්කියෙන්...

ඒ සෙක්කුවේ බැඳී කල්පයකට පස්සේ ‘චා’ වචනය සද්දෙන් කියවෙනවා ඇසිණි. කවුරු කවුරුත් වැඩ නවත්වති. බල්නූර් එක එල්ලේම මා සිටි තැනට ආවේය. “Come brother. Tea interval.”

හරි හරි! චා කියන්නේ තේවලට වෙන්නෝනි. කට්ටියම ෆැක්ටරියේ ඇතුළට යන ගමන්ය. බල්නූර් එක්කම මාත් ඒ පැත්තට... එතකොට වැඩිම වුණොත් දහයමාරට ඇති.

මා උන්නේ පාෂාණිභූත වෙලාය!

ගතවුණු පැය දෙක- දෙකහමාර තිස්සෙම නිමල් දිසානායක කියා ජීවියෙක් මේ මිහිතලය මත උන්නේ නැත. එහි සිටියේ සිතක් ඇති රොබෝවෙකි! ඒ රොබෝවා හුස්ම ගන්නා ගමන් එකම එක රටාවක වැඩ විතරකි, කළේ. ඔහු සර්ව සම්පූර්ණයෙන්ම පිටස්තර ලෝකයෙන් විසන්ධිවී හුන්නේ අනුකම්පා සහගත අයුරෙනි.

ඒ රොබෝවා හුස්මක් ගනියි. මඳක් වමට හැරී දැල් බක්කියෙන් බ්ලවුසයක් වමතට ගනියි. බ්ලවුසයේ උරහිස් තීරුව  අයනින් ටේබල් එක උඩ මනාව අතුරයි. (තව හුස්මක්...) ඒ උඩින් පදමට රත්වී තියෙන ස්ත්‍රික්කය දුවවයි. ඊළඟට ඒ සාත්තුවම කොලරයට හා අත් දෙකට. (හුස්මක්- දෙකක්.) ඉස්සරහට කොන්ද නවමින් බ්ලවුසය කොක්කට... ලොකු හුස්මක් අරගෙන ආයෙමත් අර චක්‍රයේ මුලට... සිය වතාවක්... දෙසිය වතාවක්... ඊටත් වඩා...

‘තියා ගනිල්ලා- උඹලගෙ මහ ලොකු රස්සාව’ කියලා මහ සද්දෙන් බෙරිහන් දෙන්නට... රෙදි මදින මේසය අනෙක් පැත්තටම පෙරලා දමන්නට මට හිතුණේය.
‘මිනිහෙකුට රස්සාව විදිහට වුණත් එක දිගට පැය හත අටක් හිටගෙනම ඉන්න ඇහැකිද බොලව්? විනාඩියකට පොඩ්ඩක් පුක තියාගන්න තැනක්, බංකු කෑල්ලක් මේ පේළියේ අයට තිබ්බොත් හෙණද?’ හොඳටෝම දෙකකුල් රිදෙමින් තිබුණු ඒ වෙලාවේ මට හිතුණේය. ඒ සිතුවිල්ලෙන් මා මිදුණේ බල්නූර්ගේ ඇමතුමෙනි. ඒ ඇමතුම කෙරුණේ ඉන්දියානු බසකිනි. ඔහුට මා ඉන්දියානුවෙකු නොවන විත්තිය අමතක වෙලාය!

ළඟ ළඟම පිහිටි රටවල් දෙකක පුරවැසියන් වෙලත් අප වහරන්නේ එහෙම පිටින්ම වෙනස් භාෂාවන්ය. ලොවේ සියලුම මිනිසුන් එකම බසක් කතා කරනවා නම්... ලෝකයේ දැනට තිබෙන ලොකුම අවුල් වියවුල්වලින් බාගයකටත් වඩා ඇති වෙන එකක් නෑ නේද? 

මැවුම්කාර දෙවියනේ, ඔබ වහන්සේ මොන තරම් අසාධාරණයිද... තමුන්නාන්සේම මවපු මිනිස්සුන්ට කතා කරන්න වෙනස් වෙනස් භාෂාවන් දීලා කොච්චර ලොකු අවුල් ගොඩකටද ඔබතුමා මුල පිරුවේ...

‘බාබෙල් කුලුනේ කතාව’ දන්නා කෙනෙකු නම් මං එහෙම ඇහීම ගැන පුදුම නොවෙනු ඇත.
අපේ ප්‍රවීන ලේඛක අජිත් තිලකසේනයන් ගැන ලිපියක් ලියන ‘අනුසර වීරසිංහ’ බාබෙල් කුලුනේ කතාව කියන්නේ
අපූරු ප්‍රවේශයක් ගනිමිනි...

සකල මනුෂ්‍ය වර්ගයා සතු මේ අප්‍රමාණ ශක්තිය නෙත ගැටෙන දෙවියන් වහන්සේ, ඔවුන් තව දුරටත් මෙලෙස එකමුතුව සිටියහොත්...

‘බයිබලයේ උප්පත්ති කතාවට අනුව වරක් මේ මිහිමත ජීවත් වූ මිනිස්සු එක්ව දෙවියන් වහන්සේගේ නිවහන වූ ස්වර්ගය දක්වා උස් වූ විසල් කුලුනක් ඉදි කරන්නට වූහ. එය බාබෙල් කුලුන නම් විය. සකල මනුෂ්‍ය වර්ගයා සතු මේ අප්‍රමාණ ශක්තිය නෙත ගැටෙන දෙවියන් වහන්සේ, ඔවුන් තව දුරටත් මෙලෙස එකමුතුව සිටියහොත් කඩිනමින් තමන්ගේ ආධිපත්‍යයෙන්ද මිදී, ඔවුන්ට රිසි දේ සිදු කරනු ඇතැයි බිය විය. එනිසාම, උන් වහන්සේ විවිධ ‘භාෂාවන්‘ නිර්මාණය කර ඒවා මිනිසුන්ට තෑගි කරන්නට වූහ.

එදායින් පසු එකී භාෂාවන්ගෙන් අදහස් හුවමාරු කරගත් මිනිසුන්ට, තවත් මිනිසෙකු කී දේ සම්පූර්ණයෙන්ම වටහා ගන්නට හෝ භාෂාව යොදාගෙන සිය සිතුවිලි තවකෙකුට සම්පූර්ණයෙන් ම තේරුම් කරන්නට නොහැකි විය. ඉතින්, එකිනෙකා හරිහැටි තේරුම් ගන්නට නොහැකි වූ මිනිස් වර්ගයා බෙදී වෙන් වන්නට වූහ. ඉනික්බිති, මෙලෙස ඉරිසියාකාර දෙවියන් වහන්සේ විසින් තෑගි කළ භාෂාවන්ගෙන් කවියෝ කවි ලියූහ. කතන්දරකාරයෝ කතන්දර ලියූහ.

එහෙත්, භාෂාව නම් එකී උගුලට විරුද්ධව කැරලි ගැසූ හිතුවක්කාර ලේඛකයන් බිහි වූයේ අතලොස්සකි. ඒ අතරින්, ලාංකීය සාහිත්‍යයේ අකුරු එක්ක අරගල කරමින්, භාෂාවකින් ප්‍රකාශ කිරීමට සමත් ‘අදහස් විශ්වයෙන්‘ ඔබ්බේ පවත්නා මිනිස් හැඟීම්, අද්දැකීම් හා අවිඥානික සිතිවිලි සිය කතන්දර හරහා කියාපාන්නට තැත් කළ හිතුවක්කාර කෙටිකතාකරුවෙක් විය. ඔහු නමින් අජිත් තිලකසේන ය...’

“කකුල් දෙක රිදෙනව නේද?” මගේ චින්තාවලියට බාධා කරමින් බල්නූර් පංජාබි බසින් විමසා තිබුණේ ඒකය.

ඒ හිත හොඳ මනුස්සයාත් සීයට සීයක් නිවැරදි ඉංග්‍රීසි නොදන්නා පාටය. ඒත් අතින්- කටින් හා අභිනයන්ගෙන් උදව් අරගෙන කියන දේවල් තේරුම් ගැනීමට ලේසිය.
“දවසක් දෙකක් යනකල් විතරයි බ්‍රදර් ඔය කකුල්වල අමාරුව තියෙන්නෙ. ඊට පස්සේ නිකම්ම හුරු වෙනවා. යමු! ඉක්මනට තේ එක බීලා ගිහිං අපි ටිකක් වාඩි වෙලා ඉඳිමු.”

වාඩි වෙන්නේ කොහෙදැයි මං බල්නූර්ගෙන් ඇහුවේ නැත. විවේක ගන්නා තැනක් වෙනමම තියෙනවා ඇති... එතැන පුටු තියෙනවා වෙන්නැති. එහෙම හිතමින් තේ බඳුන්වලින් එකක් අරගත්තෙමි; මුවට ළං කළෙමි.

‘මොනවද යකෝ මේ? තේ නෙවෙයි, ‘චා’ම තමා.’
විශ්වාස කරනු මැනවි. එතෙක්- මෙතෙක් කාලයකට මේ නිමල් දිසානායකයාට බොන්නට ලැබී ඇති ‘අජපල් තේ’ එක ඒකය! එහෙම කිව්වාට එදා විතරක් නොවේ; ඊට පසුවත් හැමදාම; දිගටම එහෙන් ලැබුණේ අර ‘ජරා කොලිටියේ තේ’මය. ඒ තේවල කහටත් නැත; සීනිත් නැත; කිරිත් නැත; මදිය නොකියන්නට තිබුණේ වතුරයි රස්නයයි විතරය.

මෙහෙම කීවාම ඒ තේ එකේ කොලිටිය ගැන කාට වුණත් තේරුම් ගත හැකිය!

ඒ තේ එක- කිරි තේ දමා තිබූ කෝප්ප හත අටක් එක වතුර වීදුරුවකින් සේදුවාම ලැබෙන වතුර වගෙය!!!
හැබැයි, නිතිපතාම ඒ තේ හැදූ සමීරාට වෙනමම සුවිශේෂ සම්මානයක් දිය යුතුය කියලාත් මට හිතෙයි. ඒ හැමදාම කිසිම වෙනසක් නොවී- එකම වහුකුණු රසයක් ලැබෙන විදිහට ඒ තේ සෑදීම වෙනුවෙනි. ඒකත් ලොකුම ලොකු හපන්කමක් නෙවෙයිද?

ඉතිං... ඉතිරි හරිය ලියන්නේ ඊළඟ කොටසෙනි...à

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්