'කවුද යකෝ මේ අඟහරු ලොවින් ආ භූතයා?' මම මගෙන්ම
අසාගතිමි.
60 දශකය අග භාගයේ මා 'ජනතා' පත්තරය ගත්තේ 'අඟහරු ලොවින්
ආ මිනිහා' චිත්‍රකතාව කියවන්නටමය. නොයෙල් ලසන්ත එය ඇන්දේය. කතාව කේ.ඒ. ලයනල් පෙරේරාගේය.
ඒ චිත්‍රකතාව මෙන්ම පසු කලෙක ස්ටීවන් ස්පීල්බර්ග්ගේ 'E.T.' චිත්‍රපටයත් තදින්ම මගේ හිතට කාවැදුණු
නිර්මාණයන්ය.
මගේ අබියස හිටගෙන
හිටියෙත් ඊ.ටී. එකේ පිටසක්වළයාය. තට්ට ඔළු බක්කාය. ඇහිබැම- කෙස්- රෝම සියල්ලම
හැලුණු, ඇටකෝට්ටාය. බඩ නම් මාන්දම් ලෙඩෙකුගේ වගේ ඉස්සරහට නෙරලාය.
අඟහරු ලොවින් ආ භූතයා මාය. මගේ හැටි පෙනී මගේම සියොලඟ
කිලිපොලා ගියා මට හොඳට මතකය.
බෙහෙවින් කම්පාවට පත් වුණත් මා බිය වූයේ නැත. බොහෝ දෙනා
කියන ලෙසින් රෝගයට එරෙහිව සටන් කරන්නටත් අද වෙන තුරුත් මට නම් හිතිලා නැත. ඒ හැම ක්‍රියාවකටම
සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියාවකුත් ඇතැයි මා විශ්වාස කරන බැවිනි. ඔව්! මල්ටිපල් මයෙලෝමාවට
ඕනේ නම් එයත් ඔහේ හිටපුදෙන්. හැබැයි මාත් මට ඕනේ විදියට ඉන්නෙමි. මයෙලෝමාව නොතකා
හැර.... නොපවතිනවා වගේ.... අමතක කර!
'ෆීනික්ස්' පක්ෂියෙකි. ඉන්නේ ග්‍රීක් මිත්‍යා කතන්දරවලය.
ෆීනික්ස් උපදින්නේ තමන්ම දැවී මිය යන ගින්නෙනි! ඇයි, මටත් එහෙම වෙන්නට බැරිද?
විනාශය මතින් නැඟී හිටින්නට.
කලින් දවසක අපි මහේන්ද්‍ර පෙරේරා
මහත්තයාව චැනල් කරලා හමු වුණාම තමයි මට පිළිකාවක් බව කියලා, අපේක්ෂා රෝහලට එන්න
දවසත් කිව්වේ. මගෙත් එක්ක හිතවතුන් රොත්තක් ආවත් ඇතුළට යන්න ඉඩ දෙන්නේ තව
එක්කෙනකුට විතරයිලු.
ලෙඩා මමනෙ. ඒ වුණාට අපේ යාළුවො එක
එක්කෙනා මං ගැන ඇසිය යුතු ප‍්‍රශ්න පෝල්ට කිව්වා. (දොස්තර මහත්වරු තුන් දෙනාගෙන්
පෝල්ව තමයි තෝරාගත්තේ ඇතුළට යවන්න. පෝල් කියන්නේ නික් නේම් එක.) එම්.ආර්.සී. පෙරේරා
තමයි නියම නම. මතකද එයාව ‘අකල් මරණෙකට හවුල් වී’ පෝස්ටුවලදී හමු වුණා? අනෙක්
දොස්තර මහත්වරුන් වුණේ ශිරන්තයි, අයස්මන්තයි.
"පෝල්.....අනේ මහත්තයෝ, එහෙනම් ඔයාම මගේ ප‍්‍රශ්නත් අහන්නකෝ." මමත් වගකීම
පෝල්ට පැවරුවා. අනෙක් අය අහන්න කියූ දේවල්වලින් ප‍්‍රියන්ත කියාපු දේ විතරයි මට හොඳටම
මතක.
"පෝල්, අහපං
මචං මේ ලෙඩේට ලංකාවෙ නැති නම් පිටරට හරි හොඳම බෙහෙතක් තියෙනවා ද කියලා. එහෙම
තියෙනවා නම් මම ගෙන්නලා දෙන්නම් කීය ගියත්."
තෙරුවන් සරණින්- දෙයියන්ගේ පිහිටෙන් ප‍්‍රියන්තට
ආර්ථික ශක්තිය තිබෙනවා එහෙම උදවු කරන්න. එයා ඒක කීවෙත් අවශ්‍ය නම් ඒක කරන්නම
බලාගෙන. "හරි අයියේ. මම අහන්නම්.'' පෝල් කියුවා. කියලා හැරුණේ මගේ පැත්තට.
"නිමල් අයියාට මොනව ද අහගන්න තියෙන්නේ? ඇයි මචන්ලා, මේකාට
අහගන්න තියෙන එව්වට එපායැ ප්‍රයෝරිටි එක දෙන්න ඕන."
"මට දැනගන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. එක, මට තව කොච්චර විතර කාලයක් තියෙනවා ද? දෙක. බෙහෙත් කරන කාලයෙත් මට ට්‍රිප් යන්න පුළුවන් ද?........"
වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා |
දොස්තර මහත්වරු දැම්මේ වෛද්‍ය ප‍්‍රශ්නය.
ඒවා කොහොමද දෙයියනේ මම වගේ මොට්ටයෙක් මතක තියාගන්නේ. හැබැයි එකක් හොඳටම මතකය.....පෝල්
ඒ ප‍්‍රශ්න ඔක්කොමත් ඇහුවේය. මහේන්ද්‍ර මහත්තයා ඒවා සේරටම උත්තරත් දුන්නේය.
එහෙම කළේ
පෝලුත් වෛද්‍ය වෘත්තිකයෙක් වුණ නිසාම වෙන්නැති කියලායි මට හිතුණේ. එතැනදී රටේ
අභිමානය ගැන කියැවුණ එක කොටසක් මෙතැන සඳහන් නොකරම බැහැ.
"පිටරටින් ඔයාලා කිසිම ඩ‍්‍රග් එකක්
ගෙන්වන්න ඕනේ නැහැ. ඕනැ වුණත් මේ බෙහෙත් එහෙම ගෙනෙන්නත් බැහැ.
බොහොම ආරක්ෂිතව, ප්‍රොසීඩියර් එකක් අනුවයි ඒවා ගෙන්වන්නේ. ඒ වගේම දැන් අවශ්‍ය හැම
බෙහෙතක්ම අපි රෝහලෙන්ම ලෙඩ්ඩුන්ට සපයනවා. ඒවා සේරම හොඳම ස්ටෑන්ඩඩ් එක තියන ඩ්‍රග්ස්."
ඇත්තටම මට නම් මහේන්ද්‍ර මහත්තයාගෙ ඒ
කතාව ඇහුණාම ඇති වුණේ ලොකු ආඩම්බරයකි. පස්සේ තමයි මගේ චූටි මොළයටත් වැටහුණේ එහෙනම්
මොන ලබු ගෙඩියටද රටේ ඉහළම පුරවැසියෝ ලෙඩ වුණාම ප‍්‍රතිකාර ගන්න පිටරටම ගාටන්නේ
කියලා. ඊටත් ඒවාට වැය වෙන්නෙත් අපේ සල්ලි හරි, අපෙන්ම
හොරා කාපු සල්ලි හරිනේ.
ඔය සේරටම වැඩිය වෙනස් කාරණයකුත් තියේවි කියලත්
හිතෙනවා. ඒ උත්තම පුතාලා මවගේ යෝනි මාර්ගයෙන් නැතිව වෙන කොහෙන් හරි බිහි වෙච්ච අයද
කියන්නත් බැහැනෙ, නේද?
සමහර ලෙඩ තියෙනවනේ පරම්පරාවෙන් උරුම වෙන. මල්ටිපල් මයෙලෝමා ඒ විදියට එන අසනීපයක් නෙවෙයි! මේකෙදී අපේ කොඳු නාරටියේ මැද තියෙන ස්පොන්ජ් එකක් වගේ කොටස ඇතුළේ පිළිකාමය සෛල වර්ධනය වෙන්න ගන්නවා. එතකොට 'ස්ටෙම් (පූර්වජ) සෛලවලට' බෙදෙමින් වැඩෙන්නට තියෙන ඉඩ අඩු වෙනවා. ස්ටෙම් සෛල සීග්‍රයෙන් බෙදෙමින් වැඩෙන අතරේ කොටසක් රතු රුධිරාණු බවට හැරෙනවා. මේක කොයි තරම් කාර්යක්ෂමව සිදුවෙන්න ඕනෙද කියලා වැටහෙයි මේ කාරණාව දැක්කම.
දවසකදී අපේ සිරුර ඇතුළේ රතු රුධිරාණු මිලියන
ගණනින් විනාශ වෙනවා. එව්වායේ අඩුවක් නොදැනෙන්න විනාශ වෙනවාට සමාන ගණනක් අලුතිනුත්
නිපදවෙනවා. එහෙමයි සිරුරේ රක්තාණු මට්ටම සමබරව පවත්වා ගන්නේ. ඉතින් පිළිකා රෝගය මැඬලන්නේ අර සෛල නිපදවීම වළක්වන
බෙහෙත් දීම මඟින්. තවම වෛද්‍ය විද්‍යාවට නැහැ, පිළිකා සෛලවලට විතරක් බලපාන බෙහෙත්.
ඒ සැරම සැර බෙහෙත්වලින් මිනිස් සිරුරක් තුළ අලුතින් හැදෙන සියලුම සෛලත් විනාශ
කෙරෙනවා. එතකොට.....
එතකොට තමා වයසට වැඩිය වියපත් වෙන්නේ. වචනවලින් කියනවාට
වඩා හොඳයි මං එහෙම තත්වයකට පැමිණිලා ආයෙමත් යථා තත්වයට එමින් ඉඳිද්දී ගත්
පින්තුරයක් දාන එක.
බෙහෙත්වලින් නාකිවුණු මං අයස්මන්ත පවුලේ අය එක්ක... |
'සංසාර විෂවෘක්ෂස්‍ය -
ද්වෙඵලෙ හ්යමෘතොපමෙ
සුභාෂිත රසාස්වාදඃ -
සජ්ජනෙෂු ච සංගමඃ'
සංසාරය විෂ වෘක්ෂයකි.
එහි අමාව වන් ඵල දෙකකි. එකක් දැහැමි කතාවල රස විඳීමයි. දෙවැන්න සත් පුරුෂ ආශ්‍රය
ලැබීමයි.
මගේ පැත්තෙන් බලද්දී මට මේ දෙකම පමණටත් වඩා වැඩියෙන් ලැබේ! බොහෝ මිතුරෝ
විපතකදී හැර යති. මගේ මිතුරන්ගෙන් කිසිවෙක් එසේ නොකළහ. මට සියල්ල හැර දමා යන්නට ඕනෑ
වුණත් ඔවුහු යන්නට නොදෙති. මට දිරියක්ව මා අල්ලාගෙන හිඳිති. ඔවුන් එක පැත්තකය.
මගේ
නංගිලා-මල්ලිලාත්, ඔවුන්ගේ දූලා පුතාලාත්, අපේ අම්මාත් අනෙක් පැත්තේය. නොයාම බැරි තත්වයක්
ආවොත් උදව් කරනවා යැයි මට පොරොන්දුවක්දී ඇත්තේ බඩා මල්ලා; දීපාල් විතරය.
ඒත් ලංකාවේ 'මර්සි
කිලින්'වලට ඉඩක් නැත.
ලංකාවේ තියා බොහොමයක් යුරෝපා රටවලවත් එයට ඉඩ නොදේ. කීර්තිමත්
ඕස්ට්‍රේලියානු විද්‍යාඥක්වූ ඩේවිඩ් ගොඩාල් මේ වසරේ මැයි මාසයේදී ස්විස්ටර්ලන්තයට
ගියේය. අවුරුදු 104 ක් ජීවත් වුණු ඔහුට අබල-දුබලව ජීවත් වීම තිත්තවී තිබුණේලු.
අභිමානයෙන් යුතුව, සාමකාමීව සදා සැතපෙන්නට ඔහුට අවැසි වුණත් 'ඔසී' නීතිය එයට ඉඩ
දුන්නේ නැත. එයට ඉඩ ඇති රටකට ගුවනින් ගිය ඩේවිඩ් 'දයාවන්ත මරණයක්' වැළඳගත්තේය.
මා අසනීපයෙන් බව දැනගත් විගස මිතුරු ප්‍රියන්තලාගේ නෑදෑ
කැලම එකට එකතුවී තලපත්පිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාම පන්සලේදී මහා බෝධි පූජාවක්
පැවැත්වූහ. අපේ පවුලෙන් එයට සහභාගී වුණේ හත් අට දෙනෙකි. නෑයන් සේ අදත් ඉන්නා නොනෑයෝ
සීයක් විතර ඊට හවුල්වී මට සෙත් පැතූහ.
මර්වින්ලා, ඉන්දිරාලා, අයස්මන්තලා එහෙමත් බෝධි පූජා තියන
අතරේ අයස්මන්ත දොස්තර මහත්තයා එක්තරා ආයතනයකින් කෙරෙන උපදේශන සේවාවකටත් මා පිළිබඳව
දන්වලාය. එතන නෝනා මහත්මියක් මට දුරකතනයෙන් කතා කළාය. නම-ගම වැනි මුල්ම
තොරතුරුවලින් පස්සේ කියැවුණේ ලස්සනම ලස්සන කතාවකි. "මිස්ටර් නිමල්, වැදගත්ම
දේ තමයි ඔයා බය වෙන්න නම් හොඳ නැහැ."
"මොකටද මං බය වෙන්නේ?" මං ඇහුවේ ඇත්තටමය.
"ඇයි, පිළිකාවට?”
"අනේ, මට තවම නම් ඒකට බය වෙන්න ඕනි කියලා මතක්
වුණේම නැහැනේ!" ඇත්තම ඇත්තය මා කිව්වේ. කවුන්සිලින් කරන්නට කතා කළ ඒ නෝනා
මහත්තයා ඊට පස්සෙම මට කතා කළේ නැත!
2004 සුනාමිය ..... |
මමත් ඊට
ඉල්ලුම් කළෙමි. තෝරා ගැනිණි. සති අන්ත කීපයක් අපව පුහුණු කෙරිණි. පුහුණුව ලබන්නට ආ
අයගෙන් 95% කටත් වඩා පිරිසක් සැරසී හිටියේ විපතට පත් අයට හිටු කියලා උපදෙස් දෙන්නටය.
කටින් බතල හිටවන්නටය.
ඉදිරියේදී එව්වා සංවිධානය කරනවා කියා සංවිධායකයෝ අපට
සහතික පතුත් ප්‍රදානය කළහ. හැබැයි ඒ ඉදිරිය අද වෙනතුරුත් ආවේ නැත. අරගොල්ලන්ට-මේගොල්ලන්ට
උපදේශන සපයන්නට ඉදිරිපත් වෙන අයට 'කාසි වඳ වෙනවා' විය යුතුය.
උපදේශන සේවා පැවැත්විය යුත්තේ ඒ සඳහා නිසි පුහුණුවක් ලද්දවුන්
පමණක් යොදාගෙනය. ආශාව තිබීම පමණක් මදිය.
දැන් නම් ලෙඩක් කියන්නේ ගොඩාක් අයට සල්ලි ඉල්ලමකි.
මහරගමට ආසන්නයෙන්ම තියෙන උප නගරයක පෞද්ගලික ‘මෙඩි කෙයාර්’ එකක් තිබෙයි. එතනට යන
ඕනෑම ලෙඩෙකුට ඉස්-ඉස්සෙල්ලාම සේලයින් එකක් දෙයි. බෙහෙත් දෙන්නේ ඊට පස්සෙන් පහුය.
බිල දෙතුන්-දාහ පනිනවාමය!
2012 දෙසැම්බරයේ දවසක මා ගමනක් ගිහින් ආවේ සක්කරයාගේ ඩ්‍රයිවර්
මාතලීත් පරද්දන රියදුරකු එලවූ ප්‍රයිවට් බසයකය. මදුරන්කුලියේ විතරද එහෙම මාතලීලා ඉන්නේ?
පාර උන්ටම ගිහින්ය. අහිංසක
මඟියකුවූ මං හිටියේ හිටගෙනය. පාරේ දුවන ලොකු-කුඩා සේරම වාහනවලට වෙට්ටු දමමින් ආ
‘රථාචාරියා’ හිටි ගමන් ‘බ්රේක් පාරක්’ ගැහුවේ අනතුරක් වළක්වා ගන්නටය. හිටගෙන හිටි
මඟීන් දෙන්නෙක්ම ඉස්සරහටම විසිවී ගොස් වැටුණත් එක්කය. නොවැටී බේරුණත් මට දැනුණේ වමත
ගැලවුණා වගේය.
ඊට දවස් කීපයකට පසුව අත උස්සන්නට අමාරු බව දැනිණි.
බෙහෙත් ගන්නට ගියේ ඒ අමාරුවටය. බෙහෙත් කළෙත් ඒකටය. ඒත් සනීපයක් නැති තැනය, තව තව
පරීක්ෂණ කෙරුණේ. අන්තිමටම මට යන්නට වුණේ ශ්‍රී ජයවර්ධනපුර නව රෝහලටය. එතනදී කෙරුණු
පරීක්ෂණ කිහිපයකට පසු ‘එන පොට හොඳ නැති බව’ පෙනිණි.
“නිමල් අයියේ, කොයිකටත් බෝන් මැරෝ ටෙස්ට් එකකුත් කරලම
බලන්න වෙයි වගේ.” දොස්තර ශිරන්ත කිව්වේ එවිටය. ඔහු මාව යොමු කළේ අපට ආසිරි පතන
රෝහලකටය.
එතැන දොස්තර මහතා, තවත් ඉසිවර වෛද්‍යවරියක හමුවන්නැයි
උපදෙස් දුන්නේය. කොතරම් කාරුණිකදැයි කියතොත් එතුමාම ඇයට කතා කොට පසුවදා පාන්දරම
ඇයව හමු විය හැකි බවත්, නොපමාව ඇපොයින්ට්මන්ට් දමා ගන්නා ලෙසත් මට කිව්වේය. අප එතනින් ආවේ ඒ ටිකත්
කරගෙන, පහුවදා පාන්දර එහි යන්නටය.
ඉතින් උදෙන්ම අපි එහි ගියෙමු. “මිස්ටර් නිමල්. ඔයාට බෝන්
මැරෝ ටෙස්ට් එකක් කරන්නම වෙනවා. ටිකාක් රිදෙනවා. ඒ වගේම ඔයාගේ ලේ කැටි නොගැහෙන
ගතියක් තියෙන නිසා තව ටෙස්ට් ටිකකුත් කරලා ඉන්න වෙනවා. ඉන්ටර්නල් බ්ලීඩින් එකක්
වෙයිද කියලා පරෙස්සම් වෙන්න ඕනි නිසා!” වෛද්‍යවරිය කීවේ සැබෑවකි. අවුරුදු
විසිපහක්-තිහක් තිස්සෙම මට රුධිරය කැටි ගැසීමේ අඩුවක් පවතින බව පසක් වී තිබිණි.
කොළ කන එළුවා |
මොකක්දෝ හරි නැතිවා වගේ පෙනිණි. ඒත් මොනවා කරන්නද?
සුනිලුත්, මාත් ගෙවීම් කවුන්ටරයට යන්නත් කලින් ‘අර එවනවා කී මිසී’ එතනය. හරිම
‘ක්වික්’ය. අපි මුදල් ගෙව්වෙමු. ඒ අසලම තිබුණු පරීක්ෂණාගාරයට අප කැටුව ගිය මිසී
ටෙස්ට්ස් කීපය කරවා ගත්තේ ‘ඩොක්ටර් යන්න කලින් තව එකක් කරගන්න තියෙනවා’ කියමිනි.
ඒ අතරෙත් ශිරන්ත දොස්තර මහත්තයා විඩෙන්-විඩේ ටෙලිෆෝන් කර-කර විස්තර ඇහුවේය.
වෛද්‍ය ශිරන්ත දෙපුතුන් සමඟ.... |
හරිය! හරියටම හරිය!! ආප්පයක් උයන්න යන වෙලාවටත් කලින්
සේරෝම ලෑස්තිය.
දොස්තර නෝනා ලෙඩුන් බලන කාමරයේදීම මාව හිරි වට්ටා, මගේ කොඳු නාරටිය
සිදුරු කර ‘බෝන් මැරෝ’ ටෙස්ට් එකට ලේ ගත්තාය.
“මිස්ටර් නිමල්, මං දැන් යන්න ඕනේ,
හොස්පිට්ල් එකට. කොහෙවත් යන්න එපා. පහළින් කරපු ටෙස්ට්ස්වල රිසල්ට්ස් අපේ
එක්කෙනෙක් මෙතනටම ගෙනත් දෙයි. එයාට මම කියලයි තියෙන්නේ එව්වා ලැබුණාම මටත් කියන්න.
එතකොට මං ඇඩ්වයිස් කරන්නම්කො, මොනවද කරන්න ඕනි කියලා!”
රිසල්ට්ස් ආවාමය මට තරු පෙනුණේ! පෙනුණු තරු ගැන ඊළඟ
පෝස්ටුවෙන්......