මට එහෙම ගොඩාරියක් ආඩම්බර හිතුණේ ‘ගෝඨා ගෝ ගමේ’දී.... |
මට එහෙම ගොඩාරියක් ආඩම්බර හිතුණේ ‘ගෝඨා ගෝ ගමේ’දී පැය 68 උපවාසය කරද්දී... කවදාවත් දැකලා නැති, අහලා නැති, නාඳුනන හිතවතුන් වගේම දිග කාලයක් තිස්සේ හඳුනන හිතවතුනුත් අරගල බිමේදී මාව ආරක්ෂා කළ හැටි දැක්කම; මහා පවුරක් වගේ එකට එක්වෙලා හිටි හැටි දැනුණාම.... ලංකාවේ තැනින්-තැන වගේම ලෝකේ රට-රටවලත් ඉඳගෙන ඒ හිතවතුන් මට දිරි දුන් හැටි මතක් වෙද්දී...
ඒ මදිවට එයාලා මං ගැන ලෝකයටත් කියලා.
ඒ සටහන්වලිනුත් කීපයක් තෝරාගෙන- ඒ දින තුනේ අත්දැකීම්වලින් තවත් ටිකක් ලියන්නයි මේ
සැරසෙන්නේ.
මේවාත් ලියන්නම ඕනි කියල හිතුණේ ‘මාතලන්’
blog අඩවියේ ‘ඝෝඨාස් ලාස්ට් චෑන්ස්..
විමල්ගේ ඝෝඨා ජනපති විමල් අගමැති,
ඩලස් පොදු අපේක්ෂක සිහිණය’ පෝස්ටුවට මං යැවූ කවි
කමෙන්ටුවක් හරහා මතු වුණු කතාබහක් නිසයි.
‘අඩු වේවා අපේ තිබෙනා කුම්මැහිකම්
වැඩි වේවා අනුන් වෙනුවෙන් සිතන හැඟුම්
දුරු වේවා බදාගෙන කන කෑදරකම්
තරුණ පෙළට හිමි වේවා නායකකම්’- කියලයි මම
ලිව්වේ. ඒකට ලැබුණා උත්තරයක්.
Anonymous April
26, 2022
at 2:50 AM
‘තරුණ පෙළට හිමි වේවා නායකකම්;
මේ තියෙන්නේ ඕනෑ තරම් අවස්ථාව, මේ අපේ පා
ගමනට සෙට් වෙන්න:
https://www.youtube.com/watch?v=LZh495Dhrsk
අනේ මන්ද, මාරාන්තික
උපවාසයට එකතුවුන දෙවෙනි හාමුදුරුවොත් එක දවසින් නැගිටල ගියා අසනීපයි කියල......’
(උත්තරේ ගෙඩිය පිටින්ම බලා ගත්තෑකි ඕනි නං
එහාට ගිහින්. Post එක දික් වුණත් එතැන් හිට අපේ සංවාදය එහෙම පිටින්ම උපුටා
දක්වන්නයි යන්නේ.)
නිදිගෙ පංච තන්තරේ April
26, 2022
at 7:40 PM
‘//මාරාන්තික උපවාසයට එකතුවුන දෙවෙනි හාමුදුරුවොත් එක දවසින් නැගිටල ගියා අසනීපයි
කියල.//
ඒ ටික දැක්කම මොකුත් නොලියා ඉන්නවා කියලයි ඊයෙ හිතුවේ. ලිව්වම මගේ පම්පෝරිය මමම
කියා ගත්ත වගේ වෙන නිසා. ඒත් ලියන්නම හිතුනා.
නැත්තන් ඒ වැඩේ අල වෙන්න
තියෙන ඉඩ වැඩියි! |
මට දැන් 68ක්. 2013 මට මල්ටිපල් මයෙලෝමා පිළිකා රෝගය වැලඳුනේ. එහෙම තියාගෙනත් මමත්
'ගෝඨා ගෝ ගමේ'
අරගලයට ශක්තියක් වෙන්න පැය 68 ක උපවාසයක්
සාර්ථකව කළා. වතුර විතරයි බිව්වේ.
මම හිටි තැනට ඉදිරිපිටින් තමයි හාමුදුරුවන්
වහන්සේලා උපවාස කළේ. මට යාබදවත් (රාජාන්ගනේ හාමුදුරුවන් වහන්සේගෙ හිතවතෙක්)
උපවාසයක් කළා. ඒ හැමෝම රෝහල්ගත කළා; අරගල බිමේ
වෛද්‍ය කඳවුරුවල අයගේ දැඩි බලපෑම මත.) දෙවෙනි දවසේ රෑ මාවත් චෙක් කරලා කිව්වේ 'දැන් උපවාසය
නවත්තන්න, ඔයාව කෝමා තත්ත්වයට
වැටෙන්න පුළුවන්. මැරෙන්න පුළුවන්' කියලා. මගේ
මුරණ්ඩුකම නිසාම ඒ පිරිස මට කිව්වා, ඉස්පිරිතාලෙකට
ගිහින්- චෙක් කරගෙනවත් එමුයි කියලා. ඇම්බියුලන්ස් එකෙන්ම මාව ආපහු ගෝඨා ගෝ ගමට
ගෙනත් දානවා කියලත් පොරොන්දු වුණා. නමුත් මට තියෙන හිතවත්කමට වෙන්නැති,
එයාලා මාව මහ රෝහලට ඇතුල් කරලා ගිහින්,
මටත් නොකියා.
රෝහලේ දොස්තර මහත්තයාත් කාරුණිකව උපදෙස්
දුන්නේ උපවාසය නවත්තන්නයි. බැරිම නම් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවදා උදේ වෙනතෙක්වත්
එහෙ ඉන්නයි.
ග්ලුකෝස් දැමූ වතුර බොන එකටත් බැහැයි
කිව්වාම, එතුමා කිව්වා බෙහෙතක්
එන්නත් කරන්නං- හැබැයි ටිකට් කපන්න බෑ, ඔයා යනවා නං
කැමැත්තෙන් ගිය බවට අත්සන් කරලා යන්නයි වෙන්නේ කියලා. මං එහෙම කළා. රෑ 10.15 සිට
11 වෙනතුරු විතරයි මම අරගල බිමේ නොහිටියේ. සිකුරාදා උදේ 9 සිට ඉරිදා උදේ 5 වෙනතුරු
පැය 68 ක උපවාසය කර ගන්න මට හැකි වුණේ දැනගෙන;
දැඩි අදිටනකින් යුතුව;
මම මටම අවංකව වැඩේට බැහැපු නිසයි. මගේ දුටු-
නොදුටු- හඳුනන- නාඳුනන හිතවතුන් නිබඳවම මට දිරි දුන් නිසයි! (ඒ හැමෝටම ස්තුතිවන්ත
වෙනවා තවමත්- කකුල් දෙකම ඉදිමිලා අමාරුවෙන් ඇවිදින ගමන්!)
https://nidigepanchathanthare.blogspot.com/2022/04/68.html
මොකද ඒ පිස්ස පිස්සු කෙලියෙ
නැත්තන්.... |
'@ Ano 2.36 AM, ඔය නිමල්ලාගේ ඉඳලා පැතුම් කර්නර් දක්වා හාදයන් රැල්ලට ඇවිත් ගොන් ආතල් දීපු එක ඇත්ත, අර කුරුස නාඩගමක් නටපු පිස්සු හාල්පාරුවන්ටත් ඕක අදාළයි. මේ අරගලේට ඔය එක පොල් බූරු මීහරක් වහල් මීහරක් හැත්ත අලුතින් එකතු කරපු දෙයක් නෑ. හරිනම් අරගලේට ක්‍රෙඩිට් දෙන්න ඕනෙ අපි ගෝ හෝම් කියලා බනින නන්දසේන පර බල්ලට. මොකද ඒ පිස්ස පිස්සු කෙලියෙ නැත්තන් තාමත් තමන්ට කෙලවෙන බවවත් නොදැන ලෝකයේ විවිධ රට රටවලින් අනාගත පරපුර උකස් තියලා ණය අරගෙන ඒවායින් පිස්සු කෙළිමින් දෙන ගොන් සහනාධාරවලින් සැපට ඉඳලා ඊට පස්සෙ දවසක ණය ගෙවන්න පුදුමාකාර ලෙස දුක් විඳින ජනතාවක් තාමත් ඉන්නෙ. මේක පොදුවේ ජනතාවගෙ අරගලයක් මිසක් ඔය කවුරුත් පටන් ගත්තු දෙයක් නෙවෙයි, ඔය එක බල්ලෙක්ටවත් ආවඩන්න එපා, ඒකෙන් තමයි මේ අවුල වෙලා තියෙන්නෙ. හැමෝම කැමති නම් උපවාස කරපු දෙන්, හැමෝටම සමානව අරගලය හිමියි, කවුරුත් ලොකු පොරවල් මේකේ නැහැ හරිද?’
නිදිගෙ පංච තන්තරේ April
27, 2022
at 5:29 AM
‘ඔබෙ අදහසත් ඉදිරිපත් කිරීම ගැන මගේ ස්තුතිය!’
Anonymous April
27, 2022
at 6:11 PM
‘ඔබේ අදහස් සමග එකඟයි. ඔවු ඉතින් කවුරු කවුරුත් තැටිය රත් වෙලා තියෙන වෙලාවට රොටී
පුච්චගන්නවා විතරයි. අපි ඔය කියන ගොන් පාට් හරහා කරන්නෙ කට්ටියට අරගලය එපා නොවී දිගටම
කරගෙන යන්න උත්තේජනයක් දීම, හරියට අර
මළගෙවල්වල බූරුවා ගහන එක ඕමි ගහන එක කෙබර කතන්දර කයිවාරු ගහන එක වගේ දෙයක් මෙතන
වෙන්නේ. ජෙහාන් කියන එකා බාල ලීවලින් හදාපු සැහැල්ලු කුරුසයක් කර තියන් ගිහින්
ටොන් ගානක් බර කුරුසයක් හැතැම්ම දාස් ගාණක් උස්සන් ගියා වගේ අධිතාත්වික ආතල් එකක්
දුන්න.
එතකොට ඔය කියන හාමුදුරුවරු නිමල් වගේ අය බොරුවට පැයක් විතර ඇවිත් වාඩි වෙලා
ඉඳලා අති භයංකාර මාරාන්තික උපවාස හරියට මාරක ළිඳේ මෝටර් සයිකල් පදින එකක් වගේ
මාකට් කරන එක මගින් මේක හරියට සැණකෙළියක් වගේ පවත්වාගෙන යන බව ඇත්ත.
ඒත් අවශ්‍ය
වන්නේ මොන විදිහකට හරි මේ කොස් එක දිගටම පවත්වාගෙන යාමට යොදන මොකක් හරි ජල්තරයක්,
ඒ හරහා ආණ්ඩුවට බල කළ යුතුයි හරි දේ
කිරීමට...’
උපවාස පැය 68 කාලය තුළ මා
පානය කළේ වතුර පමණකි. ඒ මට මා අවංක බැවිනි- මා කටයුතු කරන්නේ මගේ හෘදය සාක්ෂියට
අවනතව බැවිනි. |
‘ඇත්තක් වුවත් බලෙන් ඒත්තු ගැන්විය නොහැකිය. ඒ බව දැන-දැනම වුවද මෙය ලියන්නෙ මගේ ගෞරවය හා අභිමානය වෙනුවෙනි.
මට කිව හැක්කේ අරගල බිමේදී සිකුරාදා උදේ 9
සිට ඉරිදා පාන්දර 5 වන තෙක් පැය හැට අටක කාලය තුලදී කිසිදු ආහාරයක්;
පෝෂණීය පානයක් වැනි දෙයක්වත් නොගත් බවයි. මා
පානය කළේ වතුර පමණකි. ඒ මට මා අවංක බැවිනි- මා කටයුතු කරන්නේ මගේ හෘදය සාක්ෂියට
අවනතව බැවිනි.’
Anonymous April 28,
2022 at 12:29
AM
‘ඔය උඩ ඇනො ගෝතයින් කියන දෙවල් ගණන් ගන්න එපා නිදී. මොකද මේක බහු පාක්ෂික අරගලයක්
නිසා සර්වපාක්ෂික සර්වාගමික අදහස් ඔතන තියෙනවා. මමත් ලංකාවේ
විසඳුමක් නැති ප්‍රශ්නවලට විසඳුමක් සොයා මගේ හෘදය සාක්ෂියට 200% අවනතව උපවාසයක්
සාර්ථකව කළා, ඔබත් නරක නෑ
නිදී, නමුත් මම නම් මීටත් වඩා හොඳට උපවාස කළා,
කොටින්ම මම අප්‍රේල් 03 වෙනිදා උදේ පාන්දර
පෙ.ව. 6.01 සිට ලංකාවේ වේලාවෙන් අප්‍රේල් 28 දවල් 12.45 තෙක් මේ දක්වා එක දිගට
දවස් 25 ක් කෑම බීම විතරක් නෙවෙයි වතුරවත් නොබී දැඩි ලෙස මාරාන්තික උපවාසයක නිරත
වෙනවා, මම නම් වතුර පොදක් තබා
කෙළවත් ගිලින්නේ නෑ, මේ වගේ ඔබත්
අනික් අයටත් සැබැවින්ම මාරාන්තික උපවාස කිරීමට සහ දැඩි අධිෂ්ඨානයක් කිරීමට යෝජනා
කරමි.
මගේ අධිෂ්ඨානය කම්බා හොර රාජපක්ෂ හොර පෞලම සම්පූර්ණයෙන්ම රටින් හැඳි ගෑවිලා පලයන්
කියන එකත්, දෙසිය විසිපහ
වෙනුවට අලුත් තරුණ පිරිසක් අපි වගේ වයස විසි තිස් ගණන්වල තරුණයන්ට මේ රට පාලනය කිරීමට
අවස්ථාව ලබා දෙන ලෙසයි, මෙය අනිවාර්යයෙන්ම
ඉටුවෙන බව මට විස්වාසයි, එතකම් මා
උපවාසයේ යෙදේනවා, විසඳුමක්
නැත්නම් කොහෙද විසඳුම් තියෙන්නෙ?
තීන්දු තීරණ ගන්න ජ්‍යේෂ්ඨ ඇමතිවරු, මන්ත්‍රීවරු,
ජ්‍යේෂ්ඨ දේශපාලනඥයො ඇයි තීන්දු තීරණ ගන්නෙ
නැත්තෙ? තීන්දු තීරණ ගන්න බැරි
නම් අපට දෙන්න, අපි ගන්නම්!
ජ්‍යේෂ්ඨ තනතුරු – අගමැතිකම හරි
කමක් නෑ, කිසි ප්‍රශ්නයක් නෑ –
අපට දෙන්න. අපි තීන්දු තීරණ අරගෙන මේ රටේ ප්‍රශ්න
විසඳලා ආපහු ඒක දෙන්නම්. මන්දිර අවශ්‍ය නෑ, V8 ඕනෙ නෑ,
ආසන ඕනෙ නෑ,
මේ මහපොළවෙ වාඩිවෙලා හරි මේ රටේ
මිනිස්සුන්ගෙ ප්‍රශ්න ටික විසඳීමේ වගකීම දැන්වත් තේරුම් ගන්න.’
එයාලා ඝෝෂාව අඩු තැනක කුටියක්
හොයාගෙනත් ආවා. |
2022 අප්‍රේල් 21
බඩා මල්ලාත් එක්ක ගෝඨා ගෝ ගමට ගිහින් සංවිධායක හිතවතෙක් හමු වුණා. ක්‍රිකට් ක්‍රීඩක
ධම්මික ප්‍රසාද් පැය 24 උපවාස කළ කුටියේම සංගීතඥ හර්ෂ මාකලන්ද උපවාස කරමින්
හිටියා. ‘හෙට උදේට ඔයාගේ උපවාසයත් මෙතන කරමු!’ අර හිතවතා කීවා.
ඊට අල්ලපු කුටියේ ස්වාමීන් වහන්සේ නමකුත් මාරාන්තික උපවාසයක යෙදිලා ඉන්නවා මට
පෙනුණා.
2022 අප්‍රේල් 22
Blog එකට දැම්මා මම උපවාසයක්
කරන බව කියවෙන පෝස්ටුවක්; පාන්දරින්. ඒ ගැන
කෙටි විස්තරයක් fb එකට දැම්මේ ඊයේ හවසයි.
එහාට ගිහින් බලද්දී, මං උපවාසය කරන්නට
සැරසුණු කුටිය මාධ්‍යවේදීන්ට වෙන් කර දීලා. ඉතිං, මගේ හිතවතා මට තෝරලා දුන්නේ
‘අරගල බිමේ’ නොනිදන තැන ඉදිරිපිට තැනකුයි.
“මෙතන පැය 24ම සද්දේ. නිමල්ට පුළුවන්ද එක දිගට මේ සද්දෙට ඔරොත්තු දීගෙන ඉන්න.” මට
සහයෝගය පළ කරන්නට ඇවිත් හිටි Pra Jay ඇහුවා. තරුරසීත්, නෙවිල්ලාත් හිටියේ ඒ
අදහසේමයි. කොච්චර හරි එයාලා, ටිකක් ඈතින් ෂැංග්‍රිලා ආසන්නයේ ඝෝෂාව අඩු තැනක
කුටියක් (මං වෙනුවෙන්) හොයාගෙනත් ආවා.
“බෑ, බෑ. එහෙම කරන්නේ කොහොමද, මේ තැන වෙන්
කරල දුන්නු කෙනාගේ හිත රිදෙයි. මං සද්දේ උහුලගෙන ඉන්නං.” මං කිව්වා.
“එතකොට ඔයාට දවස් තුනේම නින්දක් නැති වෙයි!”
එතකොටත් අරගල බිමේ උතුරණ ජීව ගුණය මගේ ඇඟට කාන්දු වෙලා ඉවරයි. “අර කට්ටිය දැන්
සුමාන දෙකක් තිස්සේ රට වෙනුවෙන් එක දිගට පරිප්පු කන්නෙ... දවස් තුනක් උහුලගන්න මට
බැරිද?”
මං ඒ කුටියේම උපවාසයට වාඩි වුණා, ප්ලාස්ටික් පුටුවක් උඩ.
“නිමල් අයියේ, බැනර් එකක් ඇඳගෙන එනකල් මේ බෝඩ් එක මෙතැනින් ගහමු!” අර හිතවතා පදික
වේදිකාවේ බිම තියාගෙනම බෝඩ් එකක් ලිව්වා.....
ඊට පස්සේ වරින්-වර කිහිප දෙනෙක් ඇවිත් කතා
කරලා ගියත් එක්ක. ජනකලත් ආවා.
ලංකාවේ සාහිත්ය ග්රන්ථ ප්රකාශනය
උසස් නිමාවකට රැගෙන ඒමට.... |
• අප්‍රේල් 22 13.43
‘නිමල් දිසානායක හෙවත් නිමල් අයියා බොහෝ
කලක් පියසිරි ප්රින්ටින් සිස්ටම්ස් ආයතනයේ මුද්රණ කළමණාකරුවා ලෙස සේවය කළේය.
එම ආයතනය වැසී ගිය පසු, විදර්ශන ප්රකාශන ආයතනයේ ප්රකාශන කළමණාකරු ලෙස ඔහු ටික කලක්
සේවය කළේය. ලංකාවේ සාහිත්ය ග්රන්ථ ප්රකාශනය උසස් නිමාවකට රැගෙන ඒමට 2000 වසරවල
මුල් කාලයේ පියසිරි ප්රින්ටින් සිස්ටම්ස් ආයතනය හරහා ඔහු සුවිශාල වැඩ කොටසක් ඉටු
කළේය.
කේ. ජයතිලකගේ සිට මොහාන් රාජ් මඩවල දක්වා
ලේඛකයන් සුවිශාල ප්රමාණයකගේ කෘතිවල සෝදුපත් කියවන්නා වූයේද ඔහුය.
මුල් යුගයේ විදර්ශන ප්රකාශන අත්පත් කරගත්
බොහෝ මුද්රණ නිමාවන්වල පිටුපස සිටි විශාල ශක්තීන් අතරින් කෙනෙකි නිමල් දිසානායක
හෙවත් නිමල් අයියා.
දිග කාලයක සිට නිමල් අයියා සිටින්නේ පිළිකා
රෝගයෙන් පීඩා විඳිමින්ය.
මේ නිශ්චිත මොහොතේ නිමල් අය්යා වැන්නෙකු මේ
රැගෙන තිබෙන තීරණය ලෙහෙසි පහසු එකක් නොවේ. සෞඛ්ය සම්පන්න, ශක්තිමත්
මිනිසුන්ටවත් ලෙහෙසියෙන් ගත නොහැකි එකකි.
ඒ ලාංකීය දේශපාලනයේ යහ සෞඛ්යය වෙනුවෙනි.
පාඨකයනි, ලේඛකයනි, ප්රකාශකයනි, මුද්රණකරුවනි
නිමල් අයියාට සවියක් වන්න.
#gogotahome2022 වෙත සහය
දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටුව ඉදිරිපිට නිමල් අයියා මාරාන්තික උපවාසයේ
නිරතව සිටියි.’
“අනේ නිමල් අයියේ, මේ පුටුවේ එක දිගට දවස්
තුනක් වාඩි වෙලා හිටියැකිද? අපි කුෂන් පුටුවක් ගේන්නං...” ජනකගේ ප්‍රියම්බිකා; මව්වත්කමෙන්
සපිරි තුෂාරි නංගී යෝජනා කළේත්
එදාමය. “අපෝ එපා නංගී. අර කොල්ලො- කෙල්ලන්ට නිකං පුටුවත් නෑනේ.”
“ඔයා හරි මුරණ්ඩුයි අයියේ.... අපූ, අපි යමු පුතේ ඇඳි දෙකක් තියෙන පුටුවක්වත්
හොයාගෙන එන්න.”
ටික වේලාවකින්ම අපූර්ව පුතා ඇඳි දෙකක් සහිත පුටුවක් උස්සාගෙන ආවේය. ඊළඟට එතෙක් මා
වාඩිවී සිටි ඇඳි රහිත පුටුව ජනමාධ්‍ය කුටියට උස්සාගෙනත් ගියේය.
නාඳුනන මිනිසුන් දින ගණනාවක්
මුළුල්ලේ, රෑ දවල්
නොතකා, අව්වැසි
ගැහැට මැද අනවරත අරගලයේය. |
“අනේ නංගී, ඒකට නං හා කියන්න බෑ. මම පුටුවෙම
ඉන්නං.”
“එතකොට තමුසෙගෙ කකුල් ඉදිමෙනව නේද.....” නෙවිල්ටත් තරහ ගිහින්ය.
“එහෙම වුණාම රෑට කකුල් දෙක උඩින් තියා ගන්නං!”
එව්වා සිදු වෙන අතරේ, නදීෂ් දිල්ශාන් දිසානායක හිතවතාගෙ හෘද සාක්ෂිය මුර ගාන්නට පටන් ගෙනය.
• අප්‍රේල් 22 14.32
‘මට මං ගැන මහා ලැජ්ජාවක් ඇති වෙමින්
තිබේ....
මාත් ඇතුළු සමස්ත රටවැසියාගේ යහපත වෙනුවෙන්
කළණ උපවාසයේය. පාස්කු ප්රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් ජෙහාන් උන්
සියල්ලගේ බර කරේ තබා ගෙන දින තුනක් තිස්සේ පා ගමනේය. නාඳුනන මිනිසුන් දින ගණනාවක්
මුළුල්ලේ, රෑ දවල් නොතකා, අව්වැසි ගැහැට
මැද අනවරත අරගලයේය. මං සීත කාමරයකය.
ඒ එක්කම මල්ටිපල් මයලෝමා නම් පිළිකාමය රෝගී
තත්ත්වය මෙන්ම තම වයස්ගත තත්ත්වය පවා නොතකා කිසිම මාධ්යයක අවධානයක් නොලැබ නිමල්
දිසානායක නම් හැබෑ මිනිසා යුක්තිය උදෙසා උපවාසයේය.
ඉදින් මං මා ගැනම ලැජ්ජා නොවිය යුතුද...’
ගෙදරදී නං මම දවල්ට පැයක් හමාරක් නිඳා
ගන්නවා, මහ පාන්දර ඇහැරෙන හින්දා. පුරුද්දට කිරා වැටෙමින් ඉන්න අතරේ අපේ කුටියට
ආවා තරුණ කෙල්ලක්. (මගේ වචනවලින් කියනවා නං ‘ඇමේසන් යෝදියන්ගෙ නෑයෙක්’ වගේ.) සැප
සනීප අහලා- විස්තර කතා කරලා, සෙල්ෆියකුත් අරගෙන ගිහින් එයාත් මුහුණු පොතේ ලියලා.
අසනීපත් තියාගෙන උපවාස කරන එක
ගැන නම් මගේ කිසිම මනාපයක් නැති වග.... |
‘අරගල භූමිය තුළ පැය 69 - 1 ක මාරන්තික උපවාසයක යෙදෙන ආදරණීය නි.දි. අංකල් (නිදිගේ පංච තන්ත්රය බ්ලොගර් නිමල් දිසානායක මහත්මා) හමුව වචන කීපයක් කතාබහ කරන අතරතුර...
අසනීපත් තියාගෙන උපවාස කරන එක ගැන නම් මගේ
කිසිම මනාපයක් නැති වග නම් කෙලින්ම කිව්වා මං. මොනව වුණත් එතුමාට තෙරුවන් සරණින්
සියළු ආරක්ෂාව ලැබේවායි පතනවා...’
පස්සෙයි මම දන්නෙ ඒ කිත්මා ජයන්ති බව. ‘නිදි
වෙනුවෙන් බ්ලොග්කාරයෝ’ සමූහයට තොරතුරු හොයන්නත් එක්කයි කිත්මා එන්න ඇත්තේ.
දන්නවනෙ මං වහන්සේගේ ‘ස්නාන චාරිත්තරේ’ ගැන.
උදෙන්ම නාලා ආවට මොකෝ, දහඩියෙන් නෑවෙවී හිටිද්දී මට මාවම අප්පිරියයි. මෙහෙම අකරතැබ්බයකට
මං මුහුණ දුන්නා ඔකඳ දේවාලයේ සිට පයින්ම කතරගමට
පාද යාත්‍රාවේ යෙදුණු දෙවෙනි දවසේදීත්.
එදාත් දෙයියෝ මට අත පෑවා, වතුර බවුසරයක් එවලා!
මෙදාත් මගේ අසරණකම දැක්ක වගේ වැස්ස වලාහක දිවිය පුත්තරයා අනෝරා වැස්සක් වස්සවපි-
තද හුළඟකුත් එක්කම!
අපේ ඉහට උඩින් ඇදලා තිබුණ ඉටි රෙද්ද තද හුළඟට අහු වෙලා ඇඹරුණේ ලජ්ජාභරිත
ළමිස්සියකටත් වැඩිය විළිබරවයි. මුහුද පැත්තෙන් බැට දුන්නු සුළඟ හරිම නපුරු විදිහටයි,
වැසි දිය අපේ සරුවාන්ගයන්ම තෙමමින් වැක්කෙරුවේ. හිතා ගත්තෑකිනෙ, මේ නිදි විතරක්
පස්වනක් ප්‍රීතියෙන් පිනා යමින් පුටුව උඩට වෙලා තෙමිච්චි හැටි!
ඒ අස්සේ කවුද මන්දා, මේ තෙමිච්චි කුකුළගෙ foto එහෙකුත් අරං. කැතේ බෑ!
මං හිටි තැනට වම් පැත්තෙනුත් හිටියේ
මාරාන්තික උපවාසයක් කරන කෙනෙක්. එයාත් තෙමුණා! ටිකෙන්-ටික මගෙත් එක්ක කතාවට
වැටුණා. “ඔයා වතුර බොනවද?”
“ඔව්. ඇයි ඔයා වතුරවත් නොබීද උපවාසේ කරන්නේ? මං දන්න තරමට නං එහෙම වතුරවත් නොබී
ඉන්න හොඳ නෑ.” මම එයාට පණ්ඩිතකමකුත් කිව්වා.
ජාතික කොඩිය දරාගෙන ඉන්නකොට
ඕනිම කෙනෙකුට ගැම්මක් එනවනේ! |
ජයාත් දිසානායක ජාන උරුම කරගත් හාදයෙක්.
අපේ කුටියට දකුණු පැත්තෙන් තිබුණා ජාතික කොඩි අලෙවි කරන තැනක්. එතැනින් රුපියල්
හයසීයක ලොකු කොඩියක් අරගත්තු ජයා ඒ කොඩිය මගේ දෙවුර වටේ දැම්මා. “එතකොට ගති
මහප්පේ!”
“ඒ වුණාට චූටි පුතේ මේක පොරවගෙන ඉන්න බෑ.
අතේ තියාගෙන ඉන්නං.” මං කිව්වා. ජාතික කොඩිය දරාගෙන ඉන්නකොට ඕනිම කෙනෙකුට ගැම්මක්
එනවනේ. මටත් එහෙමම වුණා. (ස්තුතියි ජයෝ!)
ජයශංඛයි, නෙවිලුයි තමා 22 වෙනිදා රෑ මට
තනියට කුටියේ හිටියෙත්. පාන්දර හතරට විතර නෙවිල් ගෙදර ගියා, ටිකක් නිඳාගෙන ඉඳලා
දවල්ට එන්න. ජයශංඛ හිටියේ මගේ දකුණු අත පැත්තෙන් වාඩි වෙලා, කිරා වැටෙමින්. මං
හිටියේ නින්දත් නොනින්දත් අතරේ.
“ෆෝන් එක දීපං යකෝ!”
මම ඇහැරුණේ ගැස්සිලා. එහෙම කියලා තිබ්බේ අපිට නෙවෙයි. තරමක් කිළුටු ඇඳුමක් ඇඳගෙන
හිටි හොඳටම කෙසඟ, තරුණ හාදයෙකුට. දකුණු පැත්තෙ ඉඳලා මිනිහා ඇවිදගෙන ආවෙත්
අමාරුවෙන්. තව දෙන්නෙක් ඉස්සරහින්. එක්කෙනෙකු අතේ ජාතික කොඩියක්. අර හාදයාට
පිටිපස්සෙන් තව තරුණයන් දෙන්නෙක්.
සිද්ධිය කියනකොට ලේසි වෙන්න අපි ඒ පස් දෙනාව
අංක අනුව නම් කරමු. (මේ මට පෙනුණු විදිහයි.)
1. හොරා
2. මැදිහත්කරුවා
3. ජාතික කොඩිය රැගත් මැදිහත්කරුවා
4. ෆෝන් එකේ හිමිකරු
5. ෆෝන් හිමිකරුගේ මිතුරා
මීට අමතරව තව නරඹන්නන් කිහිප දෙනෙකුත් පසුපසින් ඇවිත්, ටිකක් ඈතින් බලා හිටියා.
ජනාධිපතිතුමා, අගමැතිතුමා වගේ පවතින තත්ත්වේ
ගණන් නොගෙන ඉන්න පුරුද්දක්... |
“මාත් කුඩු ගහන Xත්තෙක් යකෝ. මේ මල්ලිලාගේ
ෆෝන් එක දීපං....” 3 කිව්වා.
“කියන දේ අහලා ෆෝන් එක දියං. මම තොට ගහනවා මැරෙන්නම.....” 2ත් කිව්වා.
“ම...ම.. මං ගත්තෙ නෑ.” හොරා කෙඳිරුවා.
“මෙයා නිඳාගෙන හිටිද්දී මේකා ෆෝන් එක ඉස්සුවේ!” 5 කිව්වා. අපේ ජයශංඛ හිටියේ ඒ සේරම
අහගෙන. මිනිහත් මැදට පැන්නා. “දීපං Xත්තෝ ෆෝන් එක.” ඒ අස්සේ හොරා බාගෙට නැඟිට්ටා.
‘චටාස්’ අතක් ගුලි කළ මුෂ්ටි ප්‍රහාරයක්- හොරාගෙ මුහුණටම එල්ල වුණා.
“අම්මොහ්....” ආයෙමත් පුටුවේ වැදීගෙන ඒකා එතැනම බිම වැටුණා....
මොකද කරන්නේ, පෝස්ටුව දිග වැඩියි. ජනාධිපතිතුමා, අගමැතිතුමා වගේ පවතින තත්ත්වේ ගණන් නොගෙන ඉන්න පුරුද්දක් මට නෑ... තව කොටසකින් ඊළඟ හරිය කියන්නං... හොඳේ!