සමාජශීලී, සංකර, රැඩිකල් කෙල්ලෙක් - ලජ්ජාශීලී, ගුණවත් සාම්ප්‍රදායික කෙල්ලෙක්... හැබැයි මේ දෙන්නා සර්වසම නිවුන්නු......... |
කාමිනී සෝෂල්,
ෆොර්වර්ඩ්, සෙක්සි. කාන්චන් ඒකට සහමුලින්ම විරුද්ධ පැත්ත! ඔය ප්ලොට් එකෙන්
ෆිලුමක්; හින්දි ෆිලුමක් හැදුවොත්?
1971 සුබෝධ් මුකර්ජි
හැදුවනේ ‘ශර්මිලී’ කියලා හරිම ලස්සන චිත්‍රපටයක්. රඟපෑවේ ශෂී කපූර් එක්ක රාකී.
එකිනෙකට සම්පූර්ණයෙන්ම විරුද්ධ ගති-පැවැතුම් ඇති යුවතියන් දෙන්නෙක් විදියට රාකී
නියමෙට ඩබල් ඇක්ටින් කළා. ඒ චිත්‍රපටයේ ‘කූඨප්‍රාප්තිය’ එන්නේ අජිත්ට කාමිනී,
කාන්චන් දෙන්නාව හඳුනාගන්න බැරි අවස්ථාවක් ආවාමයි. කපටි කාමිනී තමුන්ගෙම සහෝදරී
බිල්ලට දීලා සදහටම කාන්චන් වෙන්නයි හදන්නේ. නමුත්, අජිත් හොරේ අල්ලාගන්නවා.
නරඹන්නන් full හොල්මන්
කරවමින් රහස එළිවෙන්නේ කාමිනී තේ කෝප්පය අල්ලන විදිහ නිසා! එච්චර පුංචි කාරණයක්
කොච්චර තීරණාත්මක වෙන්න පුළුවන්ද කියන එක මගේ බොක්කටම වැදුණා! එදා ඉඳලාම මගේ
කටාක්ෂ නිරීක්ෂණ තවත් වැඩි වුණා. ඒකට හොඳම; නවතම සාක්කිය තමයි Blogger’s Eve එක.
කණ්ඩා, මාධව, ගවීන්, ප්‍රසන්න (නෙවිලුත් බාගෙට පෙනෙනවා) මොකටද මේ හිනාවෙන්නේ? |
ඇත්තමයි, ඒ ගැන ලියන්න
හිතකවත් නොතිබ්බත්, හැමදේම මගේ මතක සංචිතයේ අපූරුවට ගබඩා වෙලා තිබ්බා. පෝස්ටු ලියන්න
ගත්තාම ඒවා ආයෙමත් පිරික්සමින් තහවුරු කරගත්තා තමයි. පේනවද ‘Sharmilee’ උගන්නපු
පාඩම මට කොච්චර බලපාල තියෙනවද කියලා?
ඉතින්, මුල ඉඳලම මට ඕනේ
වුණා ‘කමෙන්ට් එකකින්’ මාව මෙතනට ඇදලා දැම්ම ‘සෑම් පෙරේරා’ මහත්තයාගේ ෆොටෝ එකක්
මේකට ඔබාගන්න. ෆොටෝ එකක් එවන්නත් ලැහැස්තිවෙලා හිටි සෑම්, මගේ අභිලාශය දැනගත්තා
විතරයි පස්ස ගැහුවා. බයකට නෙවෙයි, කැතකටත් නෙවෙයි! මෙන්න හේතුව. මේ පෝස්ටු මාලාවේම දෙවැන්නට දාපු කමෙන්ට්
එකේ කොටසක්; සෑම්ගෙම වචනවලින්:
“හපොයි, මගේ පින්තුරයක්
ඔයාගේ බ්ලොග් එකේ දාන්න එපා.මමත් ‘කවදා හරි’ බ්ලොග් එකක් ලියන්න හිතාගෙන ඉන්නවානේ. ඒකේ ලියන්න
තියෙන කතා බොහොමයක ඉන්නා පාත්‍ර වර්ගයාගේ ‘චරිත ඝාතන’ නොවෙන්න මම මගේ අනන්‍යතාවය
සියලුම දෙනාට එළි කරගන්නේ නැතිව ඉන්නම්.............” කියලා විස්තර කියාගෙන යන
සෑම් “...... මගෙත්, මිතුරන්ගේත් පෙම්
සබඳතා, හොරකොටු පැනපුවා, පිස්සු කෙළපුවා ආදිය තමයි තියෙන්නේ. දැන් හතර පෝයටම සිල්
අරගෙන දරුමල්ලන් සමඟ යහතින් පවුල් ජීවිත ගත කරන මගෙත්....” කියලා කියද්දී කොහොමද
බල කරන්නේ?
මාත් ඔයාගේ බ්ලොගය කියවන්නයි බලන් ඉන්නේ! |
බොහොම ගොඩක් හුණු සෑම්ගේ
කිල්ලෝටයේ තියෙනවා වගේනෙ. ඔන්න සෑම්, මාත් ඔයාගේ බ්ලොගය කියවන්න බලන් ඉන්නවා!
ගිය වතාවේ කිව්වනේ ජාත්‍යන්තර
ඩිනර් එක හැදුණු හැටි. එදා තිබ්බ පොල් සම්බෝලේ ඉගෙන ගත්තේ මහාචාර්ය සුනිල්
ආරියරත්න මහත්තයාගෙන් හරි ධර්මසිරි ගමගේ මහත්තයාගෙන් හරි. ඔව්, ඔව්. එයාල චෙෆ්ලා
නෙවෙයි තමයි. ලියාපු විස්තරෙකින් ඉගෙන ගත්තේ.
ඒ මහත්තුරු දෙන්නාත් කාලයක් ලංකාවෙ හැම අස්ස-මුල්ලකම රිංගුවානේ. ඒ මදිවාට ඒවා ගැන ගමගේ මහත්තයා පත්තරවලටත් ලිව්වා. මට මතක
විදියට නම් මේ ගමනටත් ඒ දෙන්නම ගිහින් තිබ්බා.
එක ගමක අම්මා කෙනෙක් තමයි පොල්
සම්බෝලේ හදල තිබුණේ.
කලටි පොල්; ළපටි පොල් නෙවෙයි අරන් තිබුණේ. පොල් බෑයවල් කීපෙක
උඩ හරිය විතරක් ගාලා අරගෙන. ඒ හරියේ පොල්වල තෙතමනය වැඩියි; කිරි රස වැඩියි. කලටිවලින්
හැදුවාම සම්බෝලේ ‘ලඩ’ වෙනවනේ, මෙහෙම හැදුවාම ඒ කරදරෙත් නැහැ.
සුනිල් ආරියරත්න මහත්තයාවත්, ධර්මසිරි ගමගේ මහත්තයාවත් චෙෆ්ලා නෙවෙයි තමා........... |
ඔන්න රහස! එහෙම අරගෙන
සම්බෝලය හදලා බලන්නකෝ රහ!! (ගිය වතාවේ මං ලියලා තිබ්බේ නම් ළපටි පොල් කියලයි.
නැතිව ඉතින් එවෙලේම මේවාත් කියන්නයැ.)
ඒක නෙවෙයි! බ්ලොගර්ස්
ඊව් එක නිසා සාහිත්‍ය වංශයට අලුත්ම ආප්තෝපදෙශයකුත් එකතු වුණා කියන එකත් කියන්නම
ඕනේ. ඒක වුණේ ‘අපේ වීර අසංග’ අතින්. මිනිහා දත කෑවෙම මාර්තු 1 හවස කට්ටියත් එක්ක
සෙට් වෙන්නයි.
ඔන්න එදා වෙනකල්ම ඉස්පිරිතාලේ හිටියා නම් ටිකට් කප්පවාගෙන කෙලින්ම
හරි මෙහෙ එන්නත් ඉඩ තිබ්බා. කොහෙද? කරුමෙට ඊට කලින් ටිකට් කැපුවනේ.
ගෙදරදී නිසි
බලධාරියා සත්තමක් දාන්න ඇති! අනේ ඉතින් කොයි හස්ති රාජයාත් දණ නමන්නේ එතැනදිනේ.
අසංග ගෙදර නැවතුණේ ආප්පයක් කාලා, ‘ආප්තයකුත්’ කොටලා. අවවාදයයි: වැඩි උනන්දුව
සරීර සවුක්කියට බරපතළ හානි ගෙන දිය හැකිය.
කොහොමද වැඩේ? අනාගතේදී
කවුරු හරි මේ පෝස්ට් එක කියෙව්වොත් මේ ආප්තයත් ඉගෙන ගනීවී, නේද? ඒක කල්පනාවට ආවේ
සුරෝචන ඉරංගගේ පෝස්ට් එකක් කියවද්දී. සුරෝචන තමයි ‘බ්ලොග් වසන්තය’ උදා කරවන්න
මහන්සි වෙන්නේ. ඒ ගමන්ම ‘Iranga.net -නිදහස් සිතුවිලි අවකාශය’ට එයාගේ
සිතුවිලි මුදා හරිනවා.
බ්ලොග්ස්වලින් කොහොමද
වර්තමානය සංරක්ෂණය වෙන්නේ? fb එකෙයි blogs වලයි වෙනස මොකක්ද.... වගේ බොහොම කාලීන
ප්‍රස්තුතයක් ගැන සුරෝචන ලියලා තිබ්බා; ‘නූතන ජන විඥානයේ පදනම ගොඩනඟන බ්ලොග්ස්’ මාතෘකාවෙන්. මටත් ගොඩක් හිතන්න දේවල් ඒ පෝස්ටුවේ තිබුණා! මේ පෝස්ට් එකේ
තුන්වෙනියට තියෙන ෆොටෝ එක මං ‘ඉස්සුවෙත්’ ඒකෙන්.
බ්ලොග් වසන්තයෙන් මං වගේ ගොඩක් බ්ලොග්කරුවන්ටත් උදව් කරනවා! |
ගිය වතාවේ ‘ජීරා චිකන්’
ගැන කියවලා සුමිතුරු ශාන්ත කුමාර අපොන්සු අහනවා ‘මාරයිනෙ... මේ කියන chicken වර්ගය
කොහෙද තියෙන්නේ?’ කියලා. එදා බ්ලොගර්ස් ඊව් එකට නොහැදුවත් මං අමුතු කෑමක් දැක්කොත්
ඒකේ විස්තර හොයනවා.
ඒ අපොන්සුයි, බබියි
දෙන්නාගේ වෙඩින් එකට ලැහැස්ති වෙද්දී. මටත් ඒකෙ මොනවදෝ රාජකාරි වගයක් තිබුණා, සැරසිලි- සෙටි බෑක් හැදිලි වගේ.
ඒ අස්සේ එයාලගෙ
ආච්චී කෙනෙක් හිටු කියලා කට්ටිය පිරිවරාගෙන කුස්සියේ. ලොකු හට්ටියක, දුවන පුහුල්ලා
ගොඩ දෙනෙක් තටු හලලා, පරලොව ගිහිල්ලා,
තැම්බිලා හිටියා. ආච්චිලා ටික උන් එක්ක කෝන්තරයක් පිරිමහනවා වගේ!
ඊටත් වැඩිය ගැළපෙන්නේ
‘උන්ට මැරිලාවත් ඉන්න නොදී, දස වද දෙනවා’ කියන එකයි. තම්බපු කුකුළු මස් හට්ටිය
මැදින් තියාගෙන ආච්චිලා කට්ටිය ඒ මස් ‘ටුවයින් නූල්’ විතර මහතට තීරු-තීරු ඉරනවා.
දන්නවනේ මගේ හැටි. ඇහුවා! දන්නවද ආච්චිගෙ උත්තරේ?
“මේ පැත්තේ මඟුල් මේසෙකට
‘කේඳි ලාපු මස්’ තියන්නේ නැතිනම් ඒක මඟුල් මේසයක් නෙවෙයි දරුවෝ!” ඒ රත්මලානේ,
අවුරුදු විසිපහකට විතර කලින්.
අපොන්සුයි දෙවෙනි මනාලයා නිශාන්ත දෙන්නමත් අපේ ත.ජ.ක. කොල්ලෝ ඒ කාලේ...... |
අර විදියට තීරු ඉරපු මස්
ගැඹුරු තෙලෙන් රන්වන් පාට වෙනතුරු බැදලා ළූණු, අමුමිරිස් එහෙමත් බැදලා අරන් හදන
සම්බෝලෙකට කියන නම තමයි ඒ! අනේ, කොච්චර සීග්ගර වැඩ කළත් මේතාක් කල් මං ඒක නම් හදල
නැහැ.
ඉතින්, පෙබරවාරි 28 හවස
මෙන්න ප්‍රදීප් කතා කරනවා.
“නිමල්, ඉයන්ගේ අඩවියේ ඉයනුත් හෙට එනවා. එයාටත් මොනවා හරි ගෙනෙන්නම ඕනෙලු. මං ඉයන්ටම ඔයාත් එක්ක
කතා කරන්න කියන්නද?”
“සේරම හරි කිව්වට බැහැ,
නිමල්. ම්ම්ම්ම්ම් ඔයා මොනවද ඩෙසර්ට්වලට හදන්නේ...... මං අයිස්ක්‍රීම් ගේන්නම්.
නැතිනං ෆ්රුට්ස්?” මට කතා කරපු ඉයන් කීවා.
“මෙහෙමයි, මං හිතන්
ඉන්නේ රුහුණේ; මාගම්පත්තුවේ අතුරුපසක් දෙන්නයි.” මං කිව්වා! ඒ අතුරුපස කොච්චර නැඟලා කියාද කියලා පහුගිය පෝස්ටුවලදියි, කමෙන්ට්ස්වලදියි කියවුණා මතකයි නේද?
ඔකඳ දේවාලේ ඉඳලා කතරගමට කිලෝමීටර් 100ක් පා ගමනින්.... |
අපි හය දෙනෙක් පළමුවෙනි
වතාවට ඔකඳ දේවාලයේ ඉඳලා කතරගමට ‘පාද යාත්‍රාවේ’ ආවා 2013 අවුරුද්දේ. කිලෝ මීටර්
100ක් පා ගමනින් ඇවිත්, ගමන ඉවර කරලා කොළඹට එන ගමනේ අපි පැය හත-අටක්ම rest කළේ;
ඉසිඹු ලෑවේ හම්බන්තොටට ඇවිත්.
අයස්මන්ත මහත්තයාගේ රාජධානියනේ. lunch එක බී.එන්.
අසංකලගේ ගෙදරින්. dinner එක මවුලානාලගේ ගෙදරින්.
අසංකලගේ ගෙදර කෑම මේසෙ
ඉඩ මදි, හදලා තිබ්බ ජාති ටික තියන්න. ජාති 24ක්. මෙන්න බොලේ ඒවා කාලා, අත හෝදන
කොටම ගේනවා දුම් දාන ලොකු පලංගානක්.
ඇත්තමයි, ලස්සනම ලස්සන රතු දුඹුරු පාටට හුරු
කුරක්කන් පිට්ටු. කිව්වට විශ්වාස කරන එකක් නැහැ, ඒ පිට්ටු කැට අල්පෙනෙත්ති ඔළු
විතර සයිස්. කොහොමද යකඩෝ මේවා මෙච්චර චුට්ටියට කැට කළේ? 26- 27- 28 නොම්මර විදියට
මේසෙට ආවේ ඇම්බුං කෙසෙලුයි, කිතුල් පැණියි, මීකිරියි!
“අයියෝ අසංක. මේවාත්
තියෙනවා කිව්වා නම් අඩුවෙන් කනවනේ!” අයස්මන්ත, මර්වින්, නෙවිල්, අපේ සුනිල් විතරක්
නෙවෙයි මගෙත් අදහස වුණේ ඒක. එදා තමයි මං කන්න ලෝබකමේ, ලස්සන බල-බලා අර අතුරුපස
භුක්ති වින්දේ. කවුරුවත් කෙසෙල් දිහාව බැලුවේවත් නැහැ.
රන්න, බටඅත කෘෂි උද්‍යානයේ අවන්හලට........ |
මං කුස්සියටම ගිහින්
විපරමක් දැම්මා! “අපේ මෙයාල අම්මා තමයි පිට්ටු කැට කළේ. ඔය කුරහන් සූරියවැවෙන්
ගෙන්නලා මෙහෙ කොටවලා ගත්තේ. අලුත්ම ඒවා.” අසංග කිව්වා. ගුරු මුෂ්ටි තියා නොගෙනම
රහස කියා දුන්නේ අසංගගේ නැන්දම්මා.
“මීකිරි එක්ක කන්න
හදද්දී පිට්ටු හදන්නේ පොල් නොදා. පිටිවලට උතුරන උණු වතුර ඉහ-ඉහ කැට කරන්නේ!
හැබැයි, පොඩියටම කැට වෙන්නේ කුරක්කන් පිටිවලට මොකුත් කවලම් නැති නම් විතරයි!”
“හරි, නිමල් අයියලා ආයෙම
හම්බන්තොට එන දවසක කලින් කියන්න. මං කුරහන් ගෙන්නලා, අම්මටත් එන්න කියලා ගෙන්නලා
තියන්නම්. හදන හැටි ඔයාටම බලාගන්න.” මගේ උනන්දුව දැකලා දුක හිතිලද කොහෙද අසංග
පොරොන්දුවක් දුන්නේය. ඒ විදියටම ඒක ඉටු කිරීමත් පස්සේ දවසක කළේය.
ඒ පමාවෙන්ම ‘දෙන්නම්
බැටේ’ කියාගෙන මම පිට්ටු හැදිල්ල පටන් ගත්තෙමි. ඒත් අනේ, මොන හින්නි කැටද? හැදෙන්නෙම
ලොකු කැටය. ඒ මදිවාට ටිකක් ඇලෙනවාත්ය. තව ඩිංගෙන් ‘ගැටෙත් ඇලවෙනවා’ය.
ගමනක්-
බිමනක් යන ගානේ; හතරදික් භාගයේම කවලම් නැති කුරහන් පිටි හොයන්නට පටන් ගත්තේ ඊට
පස්සෙය. ලංකාවෙන් බාගයකම ඉන්නා කුරහන් පිටි වෙළෙන්දන් මාත් එක්ක ඔරොප්පු වෙන්නේ
මෙතනදී ඇත්ත කිව්වාමය.
ත්‍රෛලෝක විජයපත්‍රවලට ප්‍රසිද්ධ තණමල්විලින් ගත්තු කුරක්කන් පිටිත් කවලම් ඒවාය! |
මට නම් තණමල්විල පැත්තෙන් හම්බ වුණු කුරහන් පිටිත් කවලම්
ඒවාය!!
ඔහොම යද්දීය රන්න, බටඅත
‘කෘෂි උද්‍යානයේ’ පොට් එකට අප ගොඩවැදුණේ.
ලාබෙට දේශීය කෑම කාලා, තේත් බීලා
කුරක්කන් දොදොලුත් ගනිද්දී මෙන්න තියෙනවා බඩු! “බය වෙන්න එපා සර්, මේවා පොඩ්ඩක්වත්
කවලම් නැති කුරහන් පිටි.” අලෙවි කවුන්ටරයේ ලලනාව සහතිකයකුත් දුන්නාය. කතාව ඇත්තය.
ඒවායින් නම් පුංචියට පිට්ටු කැට හදන්නට ඇහැකි විණි.
එතැනට තව කිහිප දෙනෙකුත්
කුරහන් පිටි පැකට් විකිණීමට ගෙනෙයි. මා මුලදීම ගත් නිෂ්පාදනය අනර්ඝ නිසා දැන්
හොයාලාම ගන්නේ ඒවාය. සමහර දවසට ඒවා නැත.
දැන් මං කරන්නේ ලේබලයේ අංකයට කතා කොට, කල්
තියා කීමය. එතැනත් පුංචි කොස්සක් හිට්ටේය. ඉතා විනීතව කතා කරන ‘රන්දීප නිෂ්පාදන’
හිමිකාරිය හිතාගෙන ඉන්නේ මාත් අංගනාවක් කියලාය.
නෝනාගම හිටි ගජමන් නෝනාට වුණත් මං රෙකමන් කරන්නේ 077 800 7405 ට කතා කරලා නියම කුරහන් පිටි ගෙන්නා ගන්නට කියලාය. |
“හොඳයි මිස්, මං පැකට්
ටික එදාට ගෙනත් තියන්නම්.” එහෙම කියද්දී ඇයට වැරැදිලා යයි කියන්නට මට හිතෙන්නේ
නැත. මගේ මොකෝ? ආදි එංගලන්තයේ හිටි ‘විලියම්’ උන්නැහෙත් කියලා තිබ්බා නේද ‘මොන
නමකින් හැඳින්නුවත් රෝස මල රෝස මලමයිනෙ’ වගේ කතාවකුත්?
(මේ පෝස්ට් එකම කෙටුවට
පස්සේ මං ඇයට ටෙලිෆෝන් කළේ එයාලගෙ විස්තර මේකට දැම්මාට කමක් නැතිදැයි අහන්නටය.
‘අනේ, කමක් නැහැ මිස්’ කියලා උත්තර දුන්නාම, මට ඇත්ත කියැවිණි.)
“අම්බලන්තොට බැරගමින්ම
ගෙනාව කුරහන් පිටිවලින් මං හෙට පිට්ටු හදනවා, මීකිරිත් එක්ක කන්න. පැණිත් ගෙනල්ලා
තියෙන්නේ.” මං ඉයන්ට කිව්වා විතරය. “මං ගේන්නම් මුදවපු කිරි.” ඉයන් කිව්වේය. ඒත්
හිතට මදි නිසාද කොහෙද මීකිරි විතරක් නොව, ටේස්ට් ජාතිත් ගෙනත් තිබුණේය. ගෙනාවේ
කවුද කියා නොදනිතත් පලතුරුත් වැඩම කරවා තිබිණි!
ඉතින් කාපු-බීපු වරුණේ
නම් මං කියන්නට යන්නේ නැත. හැබැයි මේ හරිය කොටද්දී අද උදේ ‘ලංකා හොට් නිව්ස්’ අඩවියේ තිබුණු
පෝස්ටුවක් දැක්කාම ‘අනේ සංදුක්කේ!’ කියලා හිතුණු විත්තිය කියමි. ADIC එහෙමත්
නැතිනම් මත්පැන් මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කියන විදියට ‘අරක්කු සිගරැට් බොන්න දවසකට කෝටි 97ක්’ අපේ උදවිය වියදම් කරනවාලු! සැර බීමවලට කෝටි 50 යි, බියර්වලට කෝටි 9 යි,
සිගරට්වලට කෝටි 38 යි. බැලන්ටයින් වගේ ඒවාත් අරක්කු ගොඩටම දාලා වෙන්නැති, මයෙ
හිතේ.
කලින් පෝස්ටුවලදී
විඩෙන්-විඩේ කියපු විදියට හිමිදිරි පාන්දර කොටුවෙ, මල්වත්ත පාරේ එහා කෙළවරට ගිහිං-
වරායේ වැඩට යන අය ඉස්සරහ පේව්මන්ටෙකේ රජවෙලා- හම්බ කරපු පනම් අටෙන්
උදේට කන්න පාන් ගෙනාව නිදි...... හුණ්ඩුවක් විතර වෙච්චි- තනි කෑල්ලේ දුප්පත් වරිච්චි
ගෙදර එක බිත්තියක් ඔන්න වැටෙන්න-මෙන්න වැටෙන්න තියෙද්දී රෑ තිස්සේ ඉඳියාප්ප මුල් බැඳලා, මහ
ඉස්පිරිතාලේ වාට්ටුවක්; වාට්ටුවක් ගානේ ඇවිදිමින් ඒවා වික්ක නිදි....
අපත් එක්ක වගේම අනෙක් අය එක්කත් වාසනාව හිනාවෙනවා නම්......... |
අද තට්ටු දෙකේ ගෙදරක
ඉඳන් හිතවතුන් එක්ක සාද පවත්වනවා. ඒ ගැන මං කනගාටු වෙනවා එහෙම නෙවෙයි, හොඳේ. මටත්
වැඩියෙන් අසරණ වුණු තව කොච්චර ලෝකේ ඉන්නවද? කිසිම හව්හරණක් නැතිව. දෛවය මට උදව්
වුණා වගේ, එයාලටත් වාසනාව උදා කරගන්න උදව් වෙයිද? ඒ ගැන නම් මට දුකයි! ඒත්.......
හිතට එන සේරම කියන්න ගියොත් අද මේ පෝස්ටු මාලාව අවසන් නොකර ඉන්නයි වෙන්නේ......
ඉතින්, අන්තිමේදී හරි නොකියාම බැරිය! බ්ලොගර්ස්
ඊව් එක නිසා මට නං සිද්ද වුණේ එසේ-මෙසේ විපත්තියක් නෙවෙයි. ඒක නං විහින් කරගත්තු
එකක්. අතින් සල්ලි දීලා හූනියමක් කරවාගත්තා වගේ.
චැට් එකේ ගිය කතාබහේදී පෙනුණා ගිටාර් එකකුත් වඩින බව. මාත් සිංදු කියනවා යන්තමට. හැබැයි වාදනේකුත් ඕනැනේ නැඟලා යන්න නං. අපේ කුණු අපට එපාවී 1 ලිපියේදී පට ඇරලාම, මං කියලා තියෙන්නේ නෙවිල්ටයි මටයි ගොඩක් ගමන්වලට ආරාධනා ලැබෙන හේතු; අපේ වත්-පොහොසත්කම්. ඉරිසියාවට සමහරුන් ඒවා ගැන කියන කඩුලු කතන්දර.
චැට් එකේ ගිය කතාබහේදී පෙනුණා ගිටාර් එකකුත් වඩින බව. මාත් සිංදු කියනවා යන්තමට. හැබැයි වාදනේකුත් ඕනැනේ නැඟලා යන්න නං. අපේ කුණු අපට එපාවී 1 ලිපියේදී පට ඇරලාම, මං කියලා තියෙන්නේ නෙවිල්ටයි මටයි ගොඩක් ගමන්වලට ආරාධනා ලැබෙන හේතු; අපේ වත්-පොහොසත්කම්. ඉරිසියාවට සමහරුන් ඒවා ගැන කියන කඩුලු කතන්දර.
යා යුතු තැන්-පාරවල් හා
පරණ සිංදු දැන සිටීම, ඉවුම්-පිහුම් වැඩවලදි උදව් වීම හා PR තමා නිදිගේ වටිනාකම්.
වාදනයයි, ආමුඛ- අන්තරා සංගීත සේරම මුඛයෙන්ම සැපයීමේ හැකියාව නෙවිල්ගේ. මජ්ජපාන වැඩ
සේරම ඔර්ගනයිස් කරන්නෙත් එයා. ඉතින් සාදයෙ සංවිධාන වැඩ පටන් ගනිද්දිම මං කණ්ඩාට
කිව්වා මගේ මිතුරන් දෙදෙනෙක්; නෙවිලුයි ගවීනුයි එන බව. එහෙම ගෙන්නා ගත්තේ මගේ
උදව්වටයි. හැබැයි මේ, අද වෙන තුරුත් මගේ බ්ලොගයේ එකම පෝස්ට් එකක්වත් කියවලා නැති
ගොබිලෙක් තමා නෙවිල්.
අපේ බ්ලොගර්ස්ලට නෙවිල්ව එච්චරටම අල්ලලා ගියේ........ |
ඊට කලින්ම, සාදයට ආව
අය නෙවිල්ව දැක්ක ගමන් එයා එක්ක පෑල් වෙලා කියන්න ගත්තෙ නැතැයි, මං මනුස්සයා ගැන ලියල
තියෙන දේවල්. (තවම ලියල නැහැ, එහෙන්-මෙහෙන් කියලා විතරයි.)
ඒකෙන් තමා විනේ කැටුණේ.
දැන් නෙවිල් මට ඩිමාන්ඩ්ස් දානවා. “මීට පස්සේ මගේ ගැන ලියනවා නම් ඉස්සෙල්ලා මට
ගානක් ගෙවලා ඉන්නවා!” මිනිහා නඩු යයිද මන්දා? මොකද එයා නඩු බැලවිල්ලත් පුරුදු කෙනෙක්!
(ඒක නම් කියන්න නෙවෙයි හිටියේ, තරහටම ලිව්වා. මොකෝ මාව එල්ලන්නය.) බයේ බැහැ. මිනිහා පාරක් ගැහුවොත් නම් මගේ
ඇටකූඩුවම කඩා වැටෙනවා දිරලා ගිහින් හින්දම.෴