“ආ ඒකද... ඔය වල්ලි මාතාව වැදි රැහේ කිව්වට එහෙම නෙවෙයි...” ශ්‍රියා කියන්නේ ඒ
කාලයේ ඒවා සිද්ද වෙන සංදියේ එයාත් එතැන උන්නා වගෙය. “... දැන් ඔය ඔකඳ දේවාලේ ගාව
තියෙනවා නේද ළිඳක්... වටේට සිමෙන්ති බැම්මකින් වට කරලා. ඒක බොහොම පරණයි. ඒකට
කියන්නේ xxxxx* කියලා. ඒ කියන්නේ රෙදි හෝදන වත්තේ ළිඳ කියන එක. වල්ලි මාතාව
හිටියෙත් එහෙ... එතුමිය බොහොම ලස්සනයි- රෙදි හෝදන කුලේ වුණත්...”
*xxxxx දන්නා තරං දත
කෑවත් ශ්‍රියා ඔකඳ ළිඳට කියූ දෙමළ වචනය තහවුරු කර ගැනීමට බැරි විණි. පස්සේ
වෙලාවකත් අපේ නමී උන්නැහේ ඇය ලවා ඒ නම කියවාගෙන, ඒක රෙකෝර්ඩ් කරලාත් දුන්නේය. ස්තුතියි
නමී.
ඒත් ඒකෙනුත් වැඩක් ගන්නට බැරි තරමට වටපිටාවේ සද්දය!
ඊළඟ කොටස ලියන්නට කලින් එය සොයා ගන්නට
තවත් try කරමි.’
කියලයි මං හත්වෙනි කොටස නැවැත්තුවේ.
|
වැඩිවිය
පත් වෙච්චි වල්ලි අම්මා වන්නාඩි වත්තේ ළිඳෙන් නාවලා ගෙනෙද්දී කන්දස්සාමි දෙයියන්ට
මුලිච්චි වුණා! |
එහෙම උත්සාහයන්
කිහිපයක් දරන අතරේ නමී ළඟ තිබුණු ශ්‍රියාගේ ටෙලිෆෝන් නොම්මරයත් ඉල්ලා ගත්තෙමි.
එයාට කතා කළෙමි. මගේ උවමනාව ගැනත් කිව්වෙමි.
“නිමල් සාමි මගේ ගැනත්
මොනවද ලිව්වේ කියල දැනගන්න නං ආසයි. ඒත්, අනේ මගේ ළඟ තියෙන්නෙ පොඩි ෆෝන් එකක්නේ. ඒකෙන්
ඔව්වා බලන්න බැහැනේ...”
“අපරාදේ... ඉතිං, මොකක්ද ශ්‍රියා අර ඔකඳ තියෙන ළිඳට කියන දෙමළ වචනේ?”
“වන්නාටි වත්ත. வன்னாடி வத்த... ඒ කියන්නේ රදා
පිට්ටනිය කියන එකයි...” ඔය ලිව්වේ ශ්‍රියාගේම වචනයි! (ඊට කලින්, එක තැනකදී එයා
කියන්නේ ‘වන්නාරු වට්ටෙයි’ යනුවෙනි. පිට්ටනියට දෙමළෙන් කියන්නේ තෝට්ටම් කියලාලු...
එහෙම බලද්දී හුටපට කප්පරකි!)
(දෙමළ අකුරුවලින්
‘වන්නාටි වත්ත’ ලියවාගත්තේ අපේ චම්පික ප්‍රසන්න (Praසන්ன) හිතවතාට කියලාය. එහෙත් ඒ වචන නිවැරදි එව්වා
වෙත්දැයි සැක සහිතලු. අයස්මන්ත හිතවතා කියන්නේ එය ‘වන්නාඩි’ විය හැකි බවයි!)
ඔය සේරටම අමතරව ‘රදා’
කියන වචනය පාවිච්චි කළාම මට සෝලි වැටෙන්නටත් ඉඩක් තියෙයි. (වතාවක් මා ලේඛනයේදී ‘නාකි’
වචනය යොදා ගත්තාම එහෙම වුණේය.) ඒ වගේ අදහස් අතින් නං අද සමාජය ඉතා දියුණුය. හැබැයි-
කෙරුවාවෙන් නං...
කෙරුවාවෙන් වැඩි සංවරකමක් තිබුණු අතීතයේදී අදහස් ප්‍රකාශ කෙරුණේ නම් ටිකාක් රළු
පරළු විදිහට වගෙය.
කුල ක්‍රමය ගැන මා
දුටු කවියකින් උදාහරණයකි මේ: (තවත් විස්තර දැනගන්න කැමැතියි නම් මෙතනටත් ගිහිං
බලන්න.)
‘... ජනශ්‍රුැතියේ ප්රබලතම අංගය වන
ජන කවිය තුළ සිංහල කුල සංස්‌ථාව පිළිබඳ ශාස්‌ත්රීය මෙන්ම
රසවත් තොරතුරු අන්තර්ගතව ඇත. මහනුවර සමය වන විට මෙරට පැවැති කුල ප්රභේද පිළිබඳ පැහැදිලි අවබෝධයක් පහත ජන කවිය තුළින් ලබාගත හැකිය.
පල්ලරු පඩක්‌කරු මුක්‌කරුද
පරවරු
ඊවඩු දුරා පදු කෙවුලන් හා හකුරු
බෙරවා රදා ඔලි කින්නරුද පුරවරු
මුන් මිස තොපේ ලිය අරගන්නේ කවුරු’
‘තොපේ ගෑනු ගන්නේ කවුරුන්ද’
කියලා අපේ ජන කවියෙකු අතින් ඒ විදිහට කුලහීන කාන්තාවක පාච්චල් කෙරුණේය. ඒත් ඉන්දියාවේ
ඉඳලා රත්තරං ඔරුවකින් සිරි ලංකාවට පැමිණි ස්කන්ධ කුමාරයා නම් එහෙම නොකළේලු.
“වැඩිවිය පත් වෙච්චි වල්ලි අම්මා වන්නාඩි වත්තේ ළිඳෙන් නාවලා ගෙනෙද්දී කන්දස්සාමි
දෙයියන්ට මුලිච්චි වුණා. එතකොටත් එයා විවාහ වෙලා හිටියෙ- තේවානි අම්මාට. ඒත් වල්ලි
අම්මාගේ රූප ලස්සනට එයා වශී වුණා. අනිත් එක තමයි- කතරගම දෙයියන්ට බොහොම උවමනා වුණා
‘මිනිස්සු ඔක්කොම එකයි’ කියල පෙන්නන්න. ඉහළ කුල- පහළ කුල කියල දෙයක් තිබ්බත්
උන්නාන්සේ එව්වා ගණන් නොගන්න බව පෙන්වන්න. ඒකලු උන්නාන්සේ වල්ලි මාතාවන්වත් පාවා
ගත්තේ.” ශ්‍රියා කියයි. එයා ඒ විස්තර දැනගෙන තියෙන්නේ වැඩිහිටියන් කියූ
කතන්දරවලිනි.
|
කෙසේ
වෙතත් හැම ආගමකම උදවිය කතරගමට ආකර්ෂණය වෙති... |
“කතරගම දෙයියෝ ඊට
පස්සේ වල්ලි මාතාව එක්ක කතරගමට යනකල් බොහොම ආදරෙන්- කෙළි සෙල්ලමෙන් ගිය පාර දිගේ
තමයි අපි මේ යන්නේ. සාමි දන්නවද, එහෙම ගියාට පස්සේ මුස්ලිම් උදවිය තමයි අපේ දෙයි
හාමුදුරුවන්ට උදව් කළේ වල්ලි මාතාව ආරස්සා ඇතිව- හංගල තියා ගන්න... ඒ හින්දා කාකා
කෙනෙක්...
කාකා කිව්වේද? මුස්ලිම් ආගමේ ලොක්කෙකුට; හරියට බුද්ධාගමේ හාමුදුරු කෙනෙකු වගේ එක්කෙනෙක්.
ඉතිං සාමි, අර මුස්ලිම් කාකා කතරගම දෙයියන්ගෙන් ඉල්ලුවලු කතරගම පෙරහර කරන්ඩ එයාලට
දෙන්නෙයි කියලා. උන්නාන්සේ කිව්වලු -බෑ, බෑ. එහෙම දෙන්ඩ බෑ. කොඩිය විතරක්
ඕගොල්ලන්ට දෙන්නං- කියලා. ඒක තමයි, කතරගම මුස්ලිම් පල්ලියේ කතරගම දෙයියන්ගේ කොඩිය
උස්සල තියෙන්නෙ.”
කතරගමට ගියාට පස්සේ ඒ
කතාවේ ඇත්ත නැත්ත හොයා බලන්නට හිතා ගත්තු විත්තිය මතක් වෙන්නෙත් දැන්ය! මේවා හිතළු
විතරක්ද- හුදු කතන්දර පමණක්මද... කෙසේ වෙතත් හැම ආගමකම උදවිය කතරගමට ආකර්ෂණය වෙති!
ඔවුහු එකාවන්ව එකට එක්ව ‘තාරකජිත්’
සුරිඳුගෙන් පිහිටාරස්සාව යදිති!!
“සාමි දන්නවද? මේ මම
පාද යාත්තරාවේ එන තුන්වෙනි සැරේ.
අවුරුදු කීපෙකට කලින් මට හොඳටම සනීප නැති වුණානෙ. මම කතරගම දෙවි හාමුදුරුවන්ගෙන්
ඉල්ලුව -මගේ දරුවාට අම්මෙක් නැති කරන්න එපා; මට ‘ප්‍රාණය’ කියන දානය දෙන්න- කියලා.
උන්නාන්සේ මගේ ඉල්ලීමට කන් දුන්නා! එදා ඉඳලා හැම අවුරුද්දෙම තනියෙන් හරි මේ ගමන
එන්නයි මට ඕනි.
මේ තේවරාසාත් තිරිකුණාමලේ ඉඳල තනියම ඇවිත් තියෙන්නෙ... එයා එක්ක කතා කරද්දී, මට
දුක හිතුණා. තාත්තෙක් වගේ... මම එයාට කිව්වා මගෙත් එක්කම කතරගමට යනකල් යමු කියලා...”
බැතිබරකම නිසාදෝ ශ්‍රියාට
වෙහෙසක් නැති පාටය. අපට වඩා ඉක්මනින් ගමනේ යෙදෙන අතරේම එයා, පසුවෙන ගමන්කරුවන්ට
‘හරෝහරා’ කියයි. මටත් එහෙම කරන්නට උපදෙස් දෙයි.
“සාමී, ඔහොම නෙවෙයි.
හොඳ සද්දෙට හරෝහරා කියලා කියන්න. එතකොට හුස්ම ගන්න එක ලේසියි. කට ඇරලා හරෝහරා
කිව්වට පස්සේ නිකම්ම පපුවට හුස්ම පිරෙනවා...”
ඇත්තය! මං වහන්සේ ඒ පාඩම ඉගෙන ගත්තේ ප්‍රායෝගිකවම අත්හදා බැලුවයින් පස්සෙය.
සිරීපාදේ නඟිනකොට කියන ‘අග්ගල කං ඩෝං පුතා -හෙළේ නඟිං ඩෝං පුතා’ කීමේදීත් සිද්ද
වෙන්නේ මෙහෙම දෙයකි. හැබැයි, එහෙම වෙන්නේ ‘ඩෝං පුතා’ වචන දෙක ගැම්මක් ඇතිව සද්දෙන්
උච්චාරණය කළෝතින්ය. තවත් දිගට දිගට හිතෙනකොට නිදිට සිහි වෙන්නේ ‘සාදු සාදු සාදු’, ‘ආමෙන්’,
‘අල්ලාහු අක්බර්’ හා ‘ඕම්’ කීම්ය. ඒ හැමෙකක්ම කියවෙන්නේ මේ රටාවටමද?
|
Forward
කට්ටිය ඔහොම තමයි, නිමල් අයියේ. ගෑනු
වුණත් පිරිමි හෝමෝන වැඩියෙන් තියෙනවා ඇති. (තවත් නඩයක් සමඟ හිතවත් වුණු ශ්‍රියා
ඔවුන් වෙනුවෙන් තේ කහට හදද්දී අප තිදෙනාවත් එතැන නවත්තා ගත්තාය. ඈතින්ම ළිප අසලින්
හිටගෙන ඉන්නේ ශ්‍රියායි.) |
“එච්චර විතරක් නෙවෙයි
පීරිස් මහත්තයෝ. ශ්‍රියා මාර අම්මණ්ඩියෙක්... මේ උන්දා පාර අයිනෙ නිඳාගෙන උන්නු
දෙමළ හාදයොන්ව ඇහැරෙව්වත් එක්කනේ නැඟිටපල්ලා, නැඟිටපල්ලා කිය-කියා කිසි ගාණක්
නැතිව...” අපේ ගෙදරදී මම අයස්මන්තට කීවෙමි. ශ්‍රියාව හමු වෙන්නට අවස්ථාවක් අපේ නඩේ
පීරිස්, තමිර, නෙවිල් හා ප්‍රියන්ත හතර දෙනාටම ලැබුණේ නැත.
“Forward කට්ටිය ඔහොම
තමයි, නිමල් අයියේ. ගෑනු වුණත් පිරිමි හෝමෝන වැඩියෙන් තියෙනවා ඇති.
එළුමුංග කියලද එයා කට්ටියව නැඟිට්ටෙව්වේ?”
“අනේ මන්දා පීරිස්...
ඒත් ඒ වෙලාවේ මට ශ්‍රියාගේ tone එකෙන්ම තේරුණා කියපු දේ! අර දෙමළ අම්මලා තුන් දෙනා
දෙමළෙන් මට
කියපු දේවල් තේරුණා වගේ...”
“නිමල් අයියට නං ඒ ගෑනු එක්කෙනාව හොඳටම හිතට අල්ලලා වගේ... අපි පොතුවිල් යමුකෝ
දවසක එයාටත් කියලා... හඃ හඃ හඃ හා! නමියාව හම්බ වුණාම මම අහගන්නංකො විස්තරේ...”
ඇත්තෙන්ම ශ්‍රියා
කෙනෙකුට ලෙහෙසියෙන් අමතක වෙන චරිතයක් නොවේ. විශේෂයෙන්ම ඇයගේ එඩිතරකම, සමාජශීලී
ගතිය හා මුඛරිකම නිසා.
“සාමි දන්නවද... මං ඕනි කෙනෙක් එක්ක කතා කරනවා... බොහොම ඉක්මනට යාළු වෙනවා. කැත
හිතෙන් නෙවෙයි, මට පේන්නේ සාමිත් මම වගෙයි.
අපි සේරම මිනිස්සුනේ සාමි. හැමදාම ඉන්නෑනේ... හැබැයි, එහෙමයි කියල මම නෝංජල්
විදිහට ඉන්නෙත් නෑ. කවුරු හරි මට ඕන්නැති පාට් දාන්න ආවොත් නං මගෙන් හොඳ කුණුහරුපයක්
අහගෙන යන්නේ. නැත්තං කන පලාගෙන...”
ශ්‍රියා නොදැනුවත්වම
අප ඉදිරියේ කුණුහරුපයකුත් කිව්වාය. ඒ දෙමළ කාන්තාවකටය. “නොදකිං! මේ xත්ති නානවා
තියා ඇඟවත් හෝදලා නෑ වගෙයි සුමාන ගාණකින්...” ඇයට කියැවිණි.
ඇයට එහෙම කියැවෙනකොට එතැන
හිටියෙ නමීත්, මාත්, තව නාඳුනන කෙනෙකුත් විතරය. ඒ නොහඳුනන්නා උන්නේත් අපට අඩි හතර-පහකට
එහායින් ගහක් යට ඇලවීගෙන විඩා හරිමිනි.
‘නමී... අපේ නඩේ පස්දෙනා කතරගමටම ගිහිං වගෙයි... එයාලව අල්ල ගන්න නං මටත් full ඩම්
දාන්න වෙයි වගේ... මේ සැරේ පිටත් වුණාට පස්සේ rest නොකරම හරි අදිමු.” කියාගෙන
පෙරුම් පුරද්දීය, ශ්‍රියා තවත් වැඩිහිටි දෙමළ කාන්තාවකුත් එක්ක අප ළඟට ආවේ.
“අනේ සාමි, සිද්ධාලේප
වගේ මොනව හරි තියෙනවද? මේ මනුස්සය අතැනදී පඳුරක පැටලිලා වැටුණා. තැළිච්චි තැන්වලට
මොනවා හරි ගාන්නයි හිතුවේ... පව්නේ!”
නමී සිද්ධාලේප කුප්පිය හොයා දුන්නේය.
ශ්‍රියා දමිළ කාන්තාවට අණ දුන්නාය... ගවුම ටිකක් උස්සන්නට.
|
යටටවත්
මොකුත් අඳින්නෙ නැතුවද මෙහෙම ගමනක් එද්දිත් එන්නේ? |
“ලජ්ජ නැද්ද... යටටවත්
මොකුත් අඳින්නෙ නැතුවද මෙහෙම ගමනක් එද්දිත් එන්නේ?” කාන්තාව මොනවාදෝ මුමුණමින්
කියද්දී ඇයට ගෙරවූ ශ්‍රියා, ඒ කාන්තාව රූස්ස ගහක මුවාවට එක්කගෙන ගියාය.
විනාඩියක්වත් ගියේ
නැත. ශ්‍රියා විතරක් ගිය පයින්ම ආපහු ආවේ තරහෙන් පිපිරෙමිනි. “නොදකිං! මේ xත්ති නානවා තියා ඇඟවත් හෝදලා නෑ වගෙයි සුමාන ගාණකින්... ඇඟ පුරාම කුණු
තලි තලි. සිද්ධාලේප ටික ගාන්නවත් ඇඟට අත තියන්න හිරිකිතයි. ඒකිටම ඕනි xත්තක ගා
ගනිං කියලා මම ආවා!” ඝන්ටාරයක් හැඬවෙන හඬිනි, ඒ හැවිල්ල කෙරුණේ...
එක විඩේම මට බැලුනේ අර නාඳුනන්නා දිහාවයි. ඒ මනුස්සයාත් උන්නේ හිනාව නවත්තා ගන්නට
බැරුවය!
“අනේ සාමිලා සමාවෙන්ඩ
ඕනි. එහෙනං... මට යකා නැග්ගා ඒ ගෑනිගේ වැඩේට... දන්නෙම නැතිව...”
එහෙම drama සිද්ද
වෙද්දී; එව්වා ලියන්නට තියෙද්දී මගේ අතින් නං blog posts ලියැවෙන්නේ නිරුත්සාහයෙන්මය.
පහුගිය පස් වතාවේදීම නොදුටු තව නාටකීය සිද්දියකුත් මේ වතාවේ දැක ගත්තෙමි. එතකොට අප
උන්නේ කටගමුවට ටිකක් නුදුරෙන්වූ වැව් කණ්ඩියක් උඩයි.
“ආන්න වැඩහිටි කන්ද නියමෙට පෙනෙනවා!”
අපට පසුව එතැනට ආ දෙමළ
පාද යාත්රිකයන් පිරිසක් වැඩහිටි කන්ද දැක්කා විතරකි.
හිටි පිම්මේ එතැනම නැවතී, උස්සාගෙන ආ bags බිමින් තිබ්බෝය. බෑගයක් අවුස්සා කපුරු
පෙති කිහිපයක් එළියට ගෙන එතැනම බිමින් තියා පත්තු කළෝය. ඊළඟට දොහොත් මුඳුනේ තියා-
දෑත් පටලවා කන් පෙති ස්පර්ශකොට- දෝත් පපුවේ තියා වැඩහිටි කන්ද දිහාවට වැන්දෝය.
මිනිස් අශූචි ගන්ධයට
බියෙන්, හැකි උපරිම වේගයක් පවත්වා ගනිමින් දුව-දුවා පාද යාත්‍රාවේ යෙදෙන අප වැන්නවුනට මෙවන්
චාරිත්‍ර කොච්චර මඟ හැරෙනවා ඇතිද?
‘ඇත්තමයි... මීට පස්සෙවත් රේස් නොයා මේ ගමන යමු නේද?’ අපි කතා වුණෙමු. ඒත් ලබන
සැරේ වෙනකොට අපට මෙව්වා ඩිංගිත්තක්වත් මතක නැත.
ඒ බවට ඕනෑ තරං උදාහරණ
හතර පැත්තෙන් කොයිකට හැරුණත් පෙනෙයි.
එදා ‘මේකා හොරාාාාාා’
යැයි ලබු බහින තරමට සද්දෙන් ගිරිය කඩාගෙන කියූ කටින්ම ‘මෙයා හොඳාාාාාායි- මෙයා
තමයි එකම ගැලවුම්කාරයා’ යි කියැවෙයි. එදා මුඛයෙන් කතා කළෝ අද අධෝමුඛයෙන් කතා කරති;
එදා චතුර ලෙසින් අධෝමුඛවලින් දෙඩුවෝ අද ඊටත් වඩා හැකර ලෙසින් මුඛවලින් දොඩති. ඒවා
ගැන කතා කෙරිල්ල වෙනත් දවසකට තියාගෙන...
අද මේ posts මාලාව අවසන් කළ යුතුව තිබේ.
එහෙත් ඊට පෙරාතුව මගේ
හිතේ කුයි කුයි ගාමින් ඉස්සරහට පනින තවත් දේවල් ටිකකුත් ලියලා හිටින්නට වෙයි.
|
එක
පාද යාත්‍රා ගමනකදී අරහෙම ලොකු උදවිය කැලේට විසි කරන කුණු කසළ ප්‍රමාණය කොතෙක්ද? |
එක තැනකදී අපි පාර අයිනේ
තැනක නැවතී විඩා නිවා ගනිමින් උන්නෙමු. ඒ ඉසව්වේ රූස්ස ගස් කීපයක්ම තිබුණු නිසා
සෙවණ තිබෙන තැන්වල නැවතී සිටි තවත් පිරිස්ද වූහ. ඒ අතරේ වතුර බවුසරයක් පටවාගත් ට්‍රැක්ටරයක්
ආවේය. ඒ කිට්ටුව හරියේ වතුර ටැංකියක් නොතිබුණු නිසා යටකී පිරිස් අතරේ හිටි බොහෝ
දෙනෙක් ප්ලාස්ටික් බෝතල් රැගෙන ට්‍රැක්ටරයට දුවගෙන ආවෝහ.
ඔවුන් එතැන පෙළ ගැසී වතුර පුරවා ගනිමින් සිටියදී, xxx හමුදාවේ රථයකුත් පැමිණ එතන
නැවැත්තුවේය. එහි සිටි භටයෙක් බිමට බැස, හිස්ව තිබුණු වතුර බෝතලයකුත් රැගෙන අර
පෝලිමට එකතු වුණේය.
තවත් මොහොතකින් xxx හමුදාවේ ජීප් රියක් දුහුවිලි නංවාගෙන එතැනට කඩා පහත් වුණේය.
එතුළ සිටි තරුපටි සහිත
නිලධරයෙකු පිටතට කර පොවා බැලුවේ නොයිවසිල්ලෙනි. “අර xසිගෙ පුතා අර වතුර ගන්න යන්නේ
xම්මට .....?” ඔහු තවත් භටයෙකුගෙන් ඇසුවේය. ආඥාවකුත් කළේය. “ඔය ජරා වතුර අපේ
වතුරවලට කලවම් වුණොත් අපිවත් ලෙඩ වෙයි... අයිසෙ, අරූට කියනවා ඒ බෝතලේ කැලේට විසි
කරලා දාන්න කියලා...”
මම තවමත් කල්පනා කරමි.
පාද යාත්‍රාවේ යෙදෙන හුදී ජනතාවට සපයන්නේ ‘ජරා වතුර’ද?
එක පාද යාත්‍රා ගමනකදී අරහෙම ලොකු උදවිය කැලේට විසි කරන කුණු කසළ ප්‍රමාණය
කොතෙක්ද?
‘මේ, ඔව්වා ගණන් හද-හද
නොඉඳ ලියනවා හලෝ ‘මහේෂ් රත්නායක’ මේ සීරීස් එකේ දෙවෙනි එකට දැම්ම comment එක ගැන.
තමුසෙ මහේෂ්ට පොරොන්දුවකුත් දුන්නා නේද එතැනදී... මතකයිද?
හොඳ වෙලාවට මතක් කළේ. තව ඩිංගෙන් මළා තමා!
‘ඔය වගෙ ගමනකට පුළුවන්
තරං පරිප්පු අල සෝයා නෙවීද හරියන්නෙ.
නිකමට අහන්නෙ.
බඩුත් අඩු වෙනව
බරත් අඩු වෙනව
කාලෙත් ඉතිරි වෙනව
නැත්ද?’ මහේෂ් විමසා තිබිණි.
ඒ කාරණාවේදීත් වැඩිහිටි
දමිළ උදවිය වර්තමානිකයන්ට වඩා ඉදිරියෙන් සිටිති. එයාලා බතල, වම්බටු, කැකිරි වැනි
එළවලු පාවිච්චියට ගනිති. එවැනි වර්ග කිහිපයක් හා පරිප්පු මිටක් එකට එකතු කරගෙන උකු
සාම්බාරුවක් හදා ගනිති. බතුයි ඒ සාම්බාරුවයි හොඳට පෑහෙයි! නැත්තං කඩල, මුංඇට, හකුරු
එකතුකොට හදාගත් පොංගල් බතක්...
අපේ අයට නං එහෙම සරල ආහාර දිරවනවා අඩුයි නේද?
ඉතා සරුවට දෙන
‘කටගමුවේ දන්සල’ මේ වතාවෙත් අපේ දහවල් වේලක් පිරිමැසුවේය. ඒ ආහාර වේලට බතුත් එක්ක ව්‍යංජන
වර්ග කීපයක්; වට්ටක්කා, අඹ, සෝයා, පරිප්පු හා පපඩම් අඩංගුව තිබිණි!
|
වරහන
camping site එක
තිබෙන්නේ මැණික් ගඟේ අද්දරයි. ඊටත් වැඩියෙන් අප කැමති ගඟේ වැලි තලාවන් මත රාත්‍රිය
ගත කරන්නටය. |
එතැනින් සප්පායම් වුණු
පසුව අපේ ඉලක්කය වුණේ වරහනයි. වරහන camping site එක තිබෙන්නේ මැණික් ගඟේ අද්දරයි.
ඊටත් වැඩියෙන් අප කැමති ගඟේ වැලි තලාවන් මත රාත්‍රිය ගත කරන්නටය.
“මාමේ, අපි ගෙනාව බඩු ගොඩක් ඉතිරියි. ඔන්න අපි බත් උයනවා මාමලටත් එක්කම.” ඉන්දික
කල් ඇතිවම කිව්වේය.
“ඒ නිමල් අයියේ, එහෙම
හොඳද?” මට විතරක් ඇහෙන්නට නැඟූ ප්‍රශ්නයක්...
“මගේ හිතටත් හරි නෑ ප්‍රියන්ත. ඒත් අපි තව ලොකු කට්ටියකට කෑම හදන්න තරම් දේවල්
උස්සගෙන ඇවිල්ලත් නැහැනෙ. මම කියන්නං වැඩක්. අපි ගෙනාව නූඩ්ල්ස් හදමු. කරියකුත්
එක්ක. එව්වා ඉව්වට පස්සේ එයාලගේ කෑම ළඟින්ම තියමු කැමති අයට බෙදා ගන්න.
මේ අල ළූණු පරිප්පු සේරමත් එයාලට දෙමු, උයන්න පටන් ගන්න ඉස්සෙල්ලම.”
“අන්න හරි! නමී- අපි දෙන්නා මේවා එයාලට ගිහිං දීලා ඉඳිමුද.”
“දිසානායක, අපි තුන්
දෙනා අදත් කීටෝ... පියනන්ද මහත්තයා එවපු වම්බටු කිලෝවක් විතර තියෙනවා. ඒක රසට හදල
දෙනවද, කන්න පුළුවන් විදිහට?”
“ඒක විතරක් ඇද්ද ඔහෙලට, නෙවිල් අය්යේ.”
“තව සුදුළූණු කරි පැකට් එකක් තියෙනවා නේද තමිර... පීරිස් මහත්තය කියනවා අද රෑ ඒ දෙකෙන් පිරිමහ
ගනිමුයි කියලා. හෙට උදේ තමයි ප්‍රියන්ත අපි කන්නේ බඩ පැලෙන්න... පියනන්ද මහත්තයා මේ සැරෙත්
ලෑස්ති කරනවලු නියම බ්‍රෙක්ෆස්ට් එකක්!”
“ඔහෙලට එහෙම හොඳ නං අපට මොකෝ? නැද්ද නිමල් අයියේ...”
එළවලු කැපුවේ නෙවිල්ය.
තප්පලම් ගහගෙන වාඩිවී ඒ වැඩේ කරන නෙවිල්ට අත්උදව් දුන්නේ නමීය. ගොම තැම්බක් වාගේ
එකම තැන ලැගගෙන- කෑම ඒදා දුන්නේ නිමල් දිසානායකයායි. ඒකාගේ උපදෙස් අකුරටම පිළිපැද ළිප
අවුළුවමින්- සාස්පාන් ළිප තබමින්, හැඳි ගාමින් කෑම ඉව්වේ ප්‍රියන්ත ගුණසේකරයි!
ඒ වෙලාවේ වැඩියෙන්ම එහා-මෙහා ගියේ කලින් post එකකදී ඔබට
හඳුන්වා දුන් සුනිමලුයි!
ආයෙමත් සුනිමල්ව මෙතනට
කැන්දා ගත්තේ නිකම්ම නොවේ. එයාගේ තවත් ‘අද්විතීය වික්‍රමය’ක් ගැන කියන්නටය.
උයා- පිහා ඉවරකොට,
එව්වා සාස්පාන් පිටින්ම ඉන්දිකලගේ කෑම තිබුණු තැනට යවා අපි මැණික් ගඟට බැස්සෙමු. ඒ
හිතේ හැටියට පැන් සනහා ගන්නටය. මොන පැන් සනහා ගැනීමක්ද?
“මාමේ, ඔය නෑවා ඇති. බත් කාල ඉඳිමු- කරුවල වැටෙන්න කලින්.” ඉන්දික කියයි. තුන්-හතර
වතාවක්ම...
මම ගොඩට එන්නට සැරසුණෙමි.
“අනේ නිමල් අයියේ, ඔය කාට හරි කියලා මටත් බත් එකක් බෙදවලා තියනවද- මට ටිකක් වෙලා
නාන්න ඇහැකි එතකොට.”
“හරි! මම සුනිමල්ට කියන්නං. ප්‍රියන්ත ඇති පදං නාල එන්නකෝ!”
|
තවමත්
මේ ‘අත දරුවා’ට බත් කවන්නේ... |
අනේ, මං ඒ රාජකාරිය
කරන්නැයි සුනිමල්ට කිව්වා විතරකි. කිසිම සුනංගු වීමකින් තොරව ඒ හාදයා බත් පිඟානක්
බෙදා- එය තවත් පිඟානකින් වසා ගෙනත් තැබුවේය. ඒ හාදයා එහෙමය... ඒත්-
හිතේ හැටියට නාගෙන
පැමිණි ප්‍රියන්ත බත් කන්නට සැරසුණේය; බත්පත වසා තිබුණු පිඟාන අයින් කෙරුවේය. “මේ
බලන්නකෝ නිමල් අයියේ!” මම ප්‍රියන්ත පෙන්වූ පිඟාන දිහාවට ඇස්දෙක යැව්වෙමි. පිඟානේ
තියෙන්නෙ බත් විතරය. හොදි- මාළුපිණි මොකුත් නැත.
“සුනිමල්, පොඩ්ඩක් මෙහාට එනවද... කෝ මනුස්සයෝ බත් එකේ වෑංජන? නිකංම කොහොමද බත්
කන්නේ....”
කිසිම පරක්කුවකින් තොරව සුනිමල්ගේ උත්තරය ලැබිණි. “පිඟානට හොදි බෙදල, එව්වට
උඩිනුයි බත් බෙදුවේ!
මගේ හිතේ උපන්නේ තරහක්
නොවේ. දුකකි. මේ හාදයා ගෙදරදී කොහොම ඉන්නවා ඇද්ද? සමහර විට තවමත් මේ ‘තරුණ අත
දරුවා’ට බත් කවන්නේ අම්මා වෙන්නැති!
2024 ජුලි 3 වෙනිදා
හැන්දෑවේය, ඔය හරිය සිද්ද වුණේ. ඒ විස්තර ලියැවෙන අද; අගෝස්තු 21 වෙනිදාය. අලුත්
ජනාධිපති කෙනෙකු පත් කර ගන්නට 'ශ්‍රී ලංකේය ඡන්දදායකයන් ඡන්දය දෙන්නට' හරියටම තව
මාසයකි තියෙන්නේ.
තරුණ පරම්පරාවට අයත් උදවියගේ ඡන්දය මෙවර ප්‍රතිඵල කෙරෙහි ඉතා තීරණාත්මක බලපෑමක් ඇති
කෙරෙතියි දැනටමත් කියැවේ... ඒක එහෙම නම්...
සුනිමල් වැන්නවුන් ඔවුනගේ
ඡන්දය කෙලෙස පාවිච්චි කරනු ඇද්ද?
මෙවර ඡන්දය පාවිච්චි කිරීමේදී, ගණපති දෙවිඳුන්ගේ නැණැසත්- කතරගම දෙවිඳුන්ගේ බැල්මත් සුනිමල් වැනි තරුණයන්ට පමණක්
නොව වැඩිහිටි අප හැමටත් යොමු වේවායි පතමිනි, මෙතැනට කුණ්ඩලි සලකුණු යොදන්නේ෴0෴