“අපි පන්සලට ගිහින් ඇවිල්ලා මේක කියෝමු අක්කා... මට බයයි. මේක කියවලා ඉවර වෙලා, මට
පන්සලට යන්ඩවත් හිත නොදුන්නොත්....”
“අනේ, අනේ. ඔච්චර ළාමක වෙලා බැහැ බං.... හා, හා. කමක් නෑ. කෝකටත් පන්සලට ගිහින් එමුකො.
ඒක වැඩියත් හොඳයි!” දෙදෙනා පන්සලට ගෙන යා යුතු දේ සූදානම්
කරන්නට වූහ.
“හිටපල්ලා දුවේ, මාත් එන්නං!”
කිරි
අම්මාත් පන්සලට යාමට සැරසෙයි. යුවතියෝ උනුන් මුහුණු බලා ගත්හ. “කිරි
අම්මත් එක්ක ගියොත් නං හාමුදුරුවන්ට දානෙ වරදිනවා. අපි හෙමිං-හෙමිං යනකොට පරක්කු
වෙයි. දැනුත් නවයහමාරයි.”
“හැබෑද? එහෙනං ඉතිං මක් කරන්ඩද? මම මෙහෙදිං අත ගහලා දානෙට සහභාගී වෙන්නංකො.” චන්ද්‍රාට
පිළිතුරු දුන් කිරි අම්මා පන්සල් යාමේ අදහස අත හැරියාය.
“කිරි අම්මත් ආවා නං තමයි වැඩේ!”
“උන්දෑට මෙච්චර දුරක් එන්ඩ බැහැ අක්කේ, හිතේ
හයිය තිබුණට.”
“උන්දෑගේ කණ ඇහෙන එක තමා අඩු!’
“හ්ම්! හැබැයි කල්පනාව නං අඩු නෑ!”
“ඒකත් හොඳට ගියා. නැත්තං ඉතිං තිස්සෙම උන්දෑ ගෙදර ඉන්න නිසා උඹ එක්ක
රහසක්වත් කියන්ඩයැ මාලතී...”
“පව් අක්කා!” මාලතී අනුකම්පාවෙන් කීවාය.
“උන්දෑට නෙවෙයි, මේවා උස්සාගෙන යන මට පව්
කියපං!’ චන්ද්‍රා දානයේ කළමනා දැමූ බෑග් උස්සා පෙන්වූවාය.
“පව් නෙවෙයි අක්කා, ඔව්වා උස්සාන ගියාම පිං!”
********
“එතකොට වික්‍රම මහත්තයා කසාද බඳින්න යන්නේ මේ මේ දැරිවිව නේද?” ලොකු හාමුදුරුවෝ චන්ද්‍රා දෙස බැලූහ.
මීගහපැලැස්ස
විසිරුණු ගමක් වුවද ගමේ සිටියේ පවුල් තිහ-හතළිහක් පමණි. ගමේ හැම පවුලක්ම පාහේ
අනෙක් පවුලකට දුර ඥාති සබඳකමකින් හෝ බැඳී නොතිබුණේ කලාතුරකිනි. කඳුකර බවත් නොසලකා
දැන්-දැන් ගමේ පදිංචියට දුර-බැහැර පිටස්තරින්ද පැමිණෙන පවුල්වල අය හැරුණුකොට, පැරැණි
ගම්වාසීන් ගැන නම් ලොකු හාමුදුරුවෝ හොඳින් දනිති.
“එහෙමයි ලොකු හාමුදුරුවනේ!”
“ඒකම තමා මං කියව්වෙත් දානෙ වළඳලා අහවර වෙනකල් ඩිංගිත්තක් ඉන්නය කියලත්.
ඔය වික්‍රම මහත්තයල වගෙ අය තමයි හෙට අනිද්දට මේ රට බාරගන්න ඉන්නේ. හැබැයි ඉතිං
අපේය කියලා රටක් ඉතිරි වෙලා තිබුණොත්...!
මෙහෙන් රටෙන් කෑලි-කෑලි ඉල්ලනවා.
ඒකට යුද්ද කරලා නිස්කාරණේ දෙපැත්තේම තරුණ දරුවො ටික මැරිලා යනවා!
හම්පඩ නාකියෝ තමා රටේ ඉතිරි වෙන්නෙ. උන්ටත් ගජ වාසි... කොල්ලෝ ටික මැරිලා යද්දී වළ
පල්ලට යනකල්ම ඕනෑම කෙළියක් කර ගන්න උන්නැහේලට බාධාවක් නැහැ නෙව!”
හාමුදුරුවෝ
හිස අතගා සුසුමක් හෙළූහ. යුවතියෝ දෙදෙනා නිහඬව අසා උන්හ.
මෙහෙන් කුඩු වසංගතේ.... යුද්දෙන් විනාශ
වෙලා යනවට වැඩිය කොල්ලො-කෙල්ලො ටිකක් ඒකෙන් විනාශ වෙලා යනවාය කියලා.... |
“මෙහෙන් කුඩු වසංගතේ.... යුද්දෙන් විනාශ වෙලා යනවට වැඩිය කොල්ලො-කෙල්ලො
ටිකක් ඒකෙන් විනාශ වෙලා යනවාය කියලා කාටවත් තේරෙන්නෙ නැද්ද මන්දා! අපි මෙහෙ පන්සල්වලට
වෙලා බණ කිය-කියා පිරිත් නූල් බඳිනවා...
-අනේ!
මටත් මීට වඩා ඩිංගිත්තක් හරි හයියක් තිබුණා නං... ථේරපුත්තාභය හාමුදුරුවෝ වගේ
සිවුර ගලෝලා පැත්තකින් තියලා එනවා!
-සබ්බේ
සංඛාරා අනිච්චාති! අවුරුදු දාස් ගාණකට ඉස්සෙල්ලා බුදු හාමුදුරුවෝ දේශනා කළා වගේ
සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුයිනේ... අපිත් ජරාවට; වයසට
ගිහිල්ලා අබල-දුබල වෙලා.... ලෙඩ්ඩු වෙලා...
අනේ, අපේ රටකට යන කල!
-ලොකු
උන්නාන්සේලා පට්ටම්වලටයි,
කාර්-බාර් වලටයි වහ වැටිලා දේශනා කරන එව්වා තමයි අද බණ... කවුද
අද අපි කියන එව්වා ගණන් ගන්නේ?”
චන්ද්‍රාත්
මාලතීත් උනුන් මුහුණු බලා ගත්හ. ලොකු හාමුදුරුවෝ හාන්සි පුටුවේ දිගාවී ඇස් පියාගෙන
හිඳිති. සෑහෙන වෙලාවක් ගත වුවද එතුමන් නිහඬය. “නින්ද ගිහිල්ලද”
මාලතී චන්ද්‍රාගෙන් ඇසුවේ හඬ නොනැඟෙන ලෙසිනි.
“සමාවෙන්ඩ ලොකු හාමුදුරුවනේ!” චන්ද්‍රා යටහත්ව
කීවාය. උන්වහන්සේ දෙනෙත් හැර බැලූහ.
“ආ මේ දැරිවිලා යන්නද? කසාදයෙන් පස්සේ ඔය
දැරිවි වික්‍රම මහත්තයත් එක්ක මෙහෙ එන්න ඕනෑ. අපේ රටට දැන් ඕනෑ වෙලා තියෙන්නේ
උපන්නට වාලේ උපදින එවුන් නෙවෙයි. උපන්නාට වාලේ හැදෙන එව්වොත් නෙවෙයි.... දැන් අපේ
රටට ඕනෑ නැණ-නුවණ තියෙන, හොඳ හයිය-හත්තිය තියෙන ගුණ-යහපත්
දරුවෝ!
ඔය
දැරිවිලා- වික්‍රම මහත්තයලා වගේ අය තමා ඒ වාගේ පරම්පරාවක් ඇති කරලා; හදලා-
වඩලා ගන්න ඕනෑ. තේරුණාද?”
“එහෙමයි අපේ හාමුදුරුවනේ!” චන්ද්‍රා පිළිවදන්
දුන්නාය.
‘චන්ද්‍රක්කටම කියාපු හාමුදුරුවෝ! අප්පොගෙ ලියුම කියවලා ඉවර කරගන්ඩ
පුළුවන් වෙයිද මන්දා අපෙ අම්මලා එන්ඩ ඉස්සෙල්ලා...’ මාලතී
සිතුවාය.
ධනුෂ්කගේ
ලිපිය ඇගේ තිසර පටයටත් ළය මඬලටත් අතරේ තවමත් තෙරපී තිබෙයි. මාලතීට දැනුණේ දැවෙන
ගිනි අඟුරක්;
මිදුණු හිම කැටයක් ළමැදට තුරුලු වී ඇති විටෙක දැනෙන දැවීමකි. ඒ
සුවදායක වේදනාව වේදනාවක් නොව මිහිරි එකකි.
“හොඳයි, හොඳයි. ත්‍රිවිධ රත්නයේ ආසිරිවාදෙන්,
දළදා හාමුදුරුවන්ගේ පිහිටාරස්සාවෙන් නිදුක් නිරෝගී වේවා! වික්‍රම
මහත්තයත් එක්ක ආවාම මං සෙත්-පිරිත් කියලා පිරිත් නූලකුත් බඳින්නංකො ආරස්සාවට....”
නැමී
වැඳ වැටුණු යුවතියන්ට ලොකු හාමුදුරුවෝ ආසිරි පැතූහ.
********
|
එතකොට
මගේ කල්පනාවට ආවේ එහෙම දේවල් ගැනත්, යහමින් උනන්දු වෙන උදවිය
ඉන්නවා නේද කියලයි....
අපි
නං,
කොළ ටික අතින් නවා ගත්තේ වියදම පිරිමසා ගන්නයි. අපේ ගෙදරදී.
කට්ටියම එකතු වෙලා කකා-බිබී, විහිළු-තහළුවෙන් කොළ ටික
නවනකොට වෙලාව යනවා දැනුණේ නෑ. බිබී කිව්වට hot drinks නෙවෙයි.
Hotවට තිබුණේ මං හදලා දීපු ප්ලේන් ටී විතරයි!
Folding
මැෂිමකින් කොළ නවද්දී සිද්ද වෙන ලොකුම අඩුව තමයි කොළයේ තනි
පැත්තක් විතරක් අච්චු ගැහුණු කොළත් නැවෙන එක.
මැෂින් එකට කොළ ටික පටවද්දී, කලින් හොඳට නොබලා ඒක කරලා
තිබුණාම තමයි හිටි ගමන් පිටු දෙකෙන් දෙකට හිස් පිටු තියෙන පොත් අපට හම්බ වෙන්නේ.
මේ ලියන ගොබ්බයාත් සමහර දවසට හදිස්සියේ ගත්තු පොත්වල එහෙම හිස් පිටු තියෙන පොත්
අරගෙන... දැන් නං ඌ පොත් ගන්න ගියාම පිටු ටික පෙරළලා බලනවා.
ඒ
දවස්වල නම් අතින් අකුරු අමුණලා, මැටර් හදලා, තනි තනි පිටු බැඳලා ඉවර වෙලා අච්චු ගහන්නට හදන වෙලාවේ තමයි පිටු
එළාගන්නේ. ඒක කරන්නට ඕනේ නියම විදිහට...
කොළය නැවුණාම තමයි පිටු ටික පිළිවෙලට තියෙන්නේ.
නැත්තං පොත හැදුවට පස්සේ වෙනම යුද්ධයක් කරන්න වෙනවා පිටු හොයාගන්න.
ඕකත්
කියන්න දෙයක්ද කියලා ඔයාලා අහවි!
ඉස්සර හිටි ප්‍රින්ටින් බාස් උන්නැහේලා
පිටු එළාගත්තේ ‘ඩමිය’ක් බලාගෙන නෙවෙයි.
අත්දැකීමෙන් ඉගෙන ගත්තු නිසා... |
ජාතියට
කියවීම පුරුදු කළ ‘ගුණසේන’ එකෙන් පළ කළා ‘සුදු වත හැඳි කත’ කියලා ‘සමන් සයිස්’ පරිවර්තන ග්‍රන්ථයක්. විල්කි
කොලින්ස් කතුවරයාගේ Woman in White පොතේ අනුවාදය. මහානාම
දිසානායක මහත්තයා තමයි අනුවාදය කළේ. ඉතාම රසවත් පොතක්. (ඒ මහත්තයා අපේ දුර පුංචි
අම්මා කෙනෙකුගේ, දුර නෑයෙකුගෙවත් කවුරුන්වත් නෙවෙයි
හොඳේ!)
මගේ
ළඟ තියෙන්නේ 1972 පළ වුණු තුන්වෙනි මුද්‍රණයේ පිටපතක්.
ඒ පොතේ 127 පිටුවේ ඉඳලා 160 වෙනතුරුම පිටු ටික තියෙන්නේ අනුපිළිවෙලට නෙවෙයි. මගෙන්
පොත ඉල්ලාගෙන ගිහින් කියවපු හිතවතෙක් ඒ ගැන පොතේමත් ලියලයි ඒක return කළේ.
ඉස්සර
හිටි ප්‍රින්ටින් බාස් උන්නැහේලා පිටු එළාගත්තේ ‘ඩමිය’ක් බලාගෙන නෙවෙයි. අත්දැකීමෙන් ඉගෙන ගත්තු නිසා ඒ රටාව එයාලගේ ඔලුවේ
තිබ්බා.
‘සුදු වත හැඳි කත’ දැකලා ඒ බාස්
උන්නැහේට ගිනි කණ වැටුණා වෙන්ටැති!
‘සොයන්නාට සම්බවේ!’ මං හිතන්නේ ඒක බයිබල්
පාඨයක්... වැරදියි නං කියන්න. හොඳේ.
ගිය
වතාවේ හම්බන්තොට ක්ලිනික් යන දවසේ, උදේ පාන්දර හතරටයි
අයස්මන්ත මහත්තයා අපේ ගෙදර ළඟට ආවේ. ඊළඟට කොට්ටාවේ නෙවිල්ලගේ ගෙදරට. එතැන ඉඳලා
වාහනේ රියදුරු තනතුර හොබවන්නේ නෙවිල් මහත්තයා; ලෝකල්
නසාර්.
එහෙන් මාලබේ පාරේ හතරමං හන්දියට... එතැනින් දකුණට හැරිලා මාකුඹුරේ බෝගහ ළඟින්
වමට.... High way එකෙන් හම්බන්තොටට... ඒක තමයි දැන්
සුපුරුදු රූටින් එක; දොස්තර මහත්තයායි, නෙවිලුයි දෙන්නා මේ හින්නිකිතර ඇච්චා වෙනුවෙන් කරන කැපවීම.
එදා
පාන්දර හතරාමාරට කවදාවත් නැති විදිහට, මාකුඹුරේ හන්දියෙදී
හයිලෙවල් පාරට දාන්න කලින්, නෙවිල් වාහනේ නැවැත්තුවා.
“මොකද යකෝ!” දොස්තර මහත්තයා සුහද ලීලාවෙන්
ඇහුවා. “....හත වෙනකොට එහෙ ඉන්න පුළුවන්ද මෙහෙම ලැග-ලැග
ගිහින්?”
“ඉවසල හිටපංකො මචං... මටත් මෙයා දන් දීපු ජාතියේ කිඹුලෙක් කන්න හිතුණා....
මෙතැන බේකරියේ බඩු මරු. කොහොමද උණු-උණු මාළුපාන් ගෙඩියකුයි, කිඹුලෙකුයි
කනකොට තියෙන ආතල් එක...” වාහනයේ එන්ජිම නිවමින් නෙවිල්
කිව්වේය.
“මේ, තමුසෙ පිස්සු කෙළින්න එපා. ඊයේ රෑ කෑවට පස්සේ
මම උදේට තේත් නොබී ඉන්නේ.... ලේ ගන්නකල් මම fasting ඉන්න ඕනි යකෝ. මට කිඹුලො කන්න බෑ! Blood testsවලට
ලේ සාම්පල්ස්...” මං වරද්දා ගත්තු බව තේරුණේ එතකොටය.
“දාපං මචං පහක්!” අයස්මන්ත මහත්තයා උඩ පැන්නේය.
“ජාති දෙකෙන්ම ගෙනෙං මචං....”
“ඔන්න, මාත් කනවා එහෙනං...’
“මේ නිමල් අයියේ.... පිස්සු කෙළින්න හදන්න නං එපා....
ජාති දෙකෙන්ම ගෙනෙන් මචං... මූට එපා....! උඹේ වල්පල් චීත්තවාහිනියට ලියනවට මේකට punishment
දෙන්න ඕනි, ඔන්න ඔහොමයි...මොළෙන්! ටිං ටිං... අයස්මන්ත පීරිස්ගෙනුත් සාදර අනුග්‍රහයක්!”
“තමුසෙලා ඕවා ගෙනත් කනකොට, එව්වයේ
සුවඳ එනකොට නිකම්ම මගේ එන්සයිම ශ්‍රාවය වෙන්නැද්ද?” මම
අහිංසක ලීලාවෙන් ප්‍රතිඋත්තර දුන්නෙමි.
“ඒකට නහය වහගෙන ඉන්නවා...” return එක ආවේය.
‘පතාගෙන ඇවිත්’ postsවලින් නෙවිල් ගැන කිව්වාට
ඒ යක්ෂ පැටියා මගෙන් පළි ගත්තේ එහෙමය. එයාලා උණු-උණු මාළු පාන් හා කිඹුලා බනිස්
අනුභව කරමින් යද්දී, මම දත්මිටි කකා ගියෙමි.
ඒත්
අර කිඹුලා බනිස්- මාළු පාන් සුවඳට මගේ ජීර්ණ එන්සයිම වැඩියෙන් වෑහිලාද කොහෙද, මේ
සැරේ මගේ සීනි අම්බානකට වැඩිය!
මං
කියන්නට ආ ප්‍රධාන කතාවට එන්නෙ දැන්ය.
Blood
samples අරගත්තාට පස්සෙය; අපි නසාර්ලගේ
ගෙදරට ගියේ. “කෝ නිමල් අයියේ අපෙ සර්? සර්ට උදේට කෑම....” දොරකඩදීම නසාර්
ඇහුවේය. එදා අපේ පාතරාසය සූදානම් කර තිබුණේ එහෙය. “ ඔයාලගෙ සර් ඔන්න තව වැඩක් පටලවාගෙන hospital එකේ
නැවතුණා... ඒ මදිවට, අද හවස් වෙනකල් පේවෙලා ඉන්නත්
ඕනිලු.... ඔයාලා අපිට හදනවයි කියපු බිත්තර ආප්ප, නූඩ්ල්ස්
තියා නෝනා මහත්තයාගේ මසුරං සීනි සම්බෝලේවත් එයාට කන්න බෑ. උම්බලකඩ දාලනේ හදන්නේ...”
නසාර්
විස්සෝප වෙන අතරේ මගේ ඇහැ ගියේ කෑම මේසයේ දීසි- තසිම්වලට යටින් අතුරලා තිබුණු
කඩදාසියකටය. “නසාර්... අපි යනකොට මේ කොළේ මට ඕනි... මේක මම ගත්තට කමක් නැහැනෙ?”
එවෙලේම මම කීවෙමි.
වර්ණ හතරෙන් මුද්‍රණය කෙරුණු පිටු 8ක් එහි විණි. පෝරමයක දෙවෙනි පැත්තේ පින්තූරයක්
මේ පෝස්ටුවට ඔබන්නටත් මට chance එකක් ආවේ ඒකෙන්ය.
“මේ යකාව ගෙදරකට වැද්ද ගන්න හොඳ නැහැ කියලා අපි කියන්නෙ ඔන්න ඕකයි,
නසාර්. පේනවනෙ... අහක දාන කොළයක් හරි කමක් නැහැ, අහුලාගෙන යයි.” යනුවෙන් වගපල කී නෙවිල්
අනුරසිරිටවත් ඒ කඩදාසියේ අගය වැටහුණේ නැත!
ධනුෂ්ක
අප්පෝ එංගලන්තයේ හිට එවූ ලිපිය නම් ලියන්නට ඇත්තේ එහෙම අහක දමන කඩදාසියක නොවේ; පොතකම
වෙන්නැතිය! ලිපිය
කියවද්දීම ඒ බව හිතාදර රසික-රසිකාවනට වැටහෙනවා නිසැකය.
‘මාලතී,
ඔයාගේ
ලියුම ලැබුණා. ඒකට ගොඩක් ස්තුතියි!
ඒත්
ඒක ලියුමක් නෙවෙයි වගෙනෙ. හරියට බෙහෙත් තුණ්ඩුවක් වගෙ කොටයි. මම බලාගෙන හිටියේ
ඔයාගෙන් ගොඩක් දිග ලියුමක්... හුඟක් විස්තර ඇතිව ලියාපු දිගම-දිග ලියුමක් එවාවි
කියලයි.
ඔයාට
මතකයිද ඔයා මගේ ළඟින් වාඩි වෙලා ඉන්දදී තොරතෝංචියක් නැතිව කිරිල්ලියෙක් වගේ කියවපු
හැටි?
ඉතිං මං හිතුවේ ඔයා ඒ වගේම ලියාවි කියලත්. එක අතකට ඔයා මට මොනවා
ලියන්නද ඔය තරමටම?
ඒත්
මාලතී,
ඔයාගේ පුංචි ලියුම වුණත් මට කොයි තරම් සතුටක් වුණාද? මම ඒක කියෙව්වේ කොච්චර සන්තෝසයකින්ද? මාලතී,
ඔයාට කවදාවත්ම දැනෙන එකක් නැහැ, ඒ පුංචි
ලියුමෙන් මට දැනුණු උණුසුම; සතුට!
ඉතිං
කෙල්ලේ,
මම නම් ඔයාට ගොඩාරියක් දිග ලියුමක් - පොතක් විතර දිග ලියුමක්
ලියන්නයි යන්නේ. හැමදාම ඔයා එක්ක කතා කරද්දී නොකියපුවා - ගොළු කරගෙන හිතේම හිර
කරගෙන හිටපුවා... එකක් නෑර ඔයාට කියන්නයි හදන්නේ. ඒත් මාලතී, ඊට ඉස්සර ඔයා මට එක පොරොන්දුවක් වෙන්න ඕනේ!
මම
දන්නවා ඔයා මේ විස්තර කාටවත් කියන්නේ නැති බව. ඒත් ඔයාට හිතෙනවා නම් කිව්වට කමක්
නැතිය කියලා,
ඔයා කියන්න. ඒ ගැන නෙවෙයි මට ඔයා පොරොන්දු වෙන්න ඕනි. මම ලියලා
තියෙන ඒවා කියවනකොට ඔයාට මොනවා හිතුණත් - මේ ලියුම අතරමඟදී නොකියවා අත අරින්නෙ නෑ
කියලා, ඔයා දළදා හාමුදුරුවන්ගේ නමින් දිවුරලා පොරොන්දු
වෙනවා නේද මාලතී!
මම
එහෙම කිව්වේ,
මට ඕනෑ මේ පව්කාර විස්තර ඔක්කොම ටික පළමුවෙනි වතාවට හරි - ලෝකෙන්
එකම එක්කෙනෙකුට හරි කියන්න. ඉතිං, ඔයා මට පොරොන්දු වුණාද?
එහෙම
නම් මං මගේ විස්තරේ මෙතැන ඉඳලා ලියන්නයි යන්නේ....
මාලතී, මම
ඉස්සෙල්ලාම මෙහාට ඇවිත් ටික දවසක් යනකොට හරි පාලුවෙන් හිටියේ. ඒ ගැන කියන්න වචනත්
නැහැ වගේ. කාත්-කවුරුවත් නැති රටක තනි වෙලා, ඒ වගේ ඉන්දදී
විතරයි ඒ ගැන තේරෙන්නෙ. ඔය විදිහට ඉන්නකොට තමයි මට රෝස්මරීව මුණ ගැහුණේ.”
යුවතිය
ලිපිය තදින් අල්ලා ගත්තාය. ‘දෙයියනේ, මොනවද ධනුෂ්ක අප්පො මේ ලියන්න යන්නේ?’ ඇගේ
නෙතගින් ගිලිහුණු අකීකරු කඳුළු බිඳුවක් ලිපිය මතට වැටුණි. මාලතී දෙනෙතේ කඳුළු පටලය
අතරින්, යළිත් ලිපිය කියවන්නට වූවාය.
“...
රෝස්මරීගේ අම්මා පෝලන්ත කෙනෙක්. තාත්තා එංගලන්තේම සුද්දෙක්. අපි
වගේ එක-එක රටවල්වලින් මෙහාට එන අය එක්ක නිකමටවත් යාළු වෙන්නේ ඔය වගේ කලවම් පවුල්වල
අයයි, තවත් කොහේ හරි රටකින් ඇවිල්ල ඉන්න පවුල්වල අයයි
තමා.
සුදු අම්මල- තාත්තලාගේ; මේ රටවල්වල මුල් පදිංචිකාරයන්ගේ
දරුවෝ පිටරටවල අයත් එක්ක සම්බන්ධ වෙන්නෙ බොහොම අඩුවෙන්... විශේෂයෙන්ම අපි වගේ කළු
හම තියෙන අයව, එහෙම ඈයො ගණන් ගන්නෙවත් නැති තරම්.
මාලතී, මම
මේ විස්තර ලියන්නේ ඔයා මීගහපැලැස්ස හරි නුවර හරි ගැන මිසක් - හරි විදිහට කොළඹ
ගැනවත් නොදන්නවය කියල මට හිතෙන නිසයි.
මමම
වුණත් එංගලන්තෙට එන්න කලින් මේ රට ගැන මවාගෙන හිටියේ වැරදි පින්තූරයක්. මේ රට ගැන-
මේ පරිසරය ගැන- මේ රටේ කෙරෙන-කියන දේවල් ගැන තේරුණාම, ඔයාටම
වැටහෙයි මට වෙච්ච දේ, ඒකයි මං මේවා විස්තර ඇතිවම ලියන්නේ.
අනිත්
අතට මම මේවා ලියන්නේ මෙහෙ;
එංගලන්තෙ ඉන්න බවක් හිතාගෙන නෙවෙයි. මම දැන් ඉන්නේ අර දිය ඇල්ල
ගාව... ඔයාත් මගේ එහා පැත්තෙන් තියෙන කළු ගල උඩ වාඩි වෙලා... ඔයාගේ රෝසපාට පුංචි
කකුල් දෙක වතුරේ ඔබාගෙන පද්ද-පද්දා හිනා වෙවී මගේ ළඟින් ඉන්නවා...
ඔයාගෙ දිලිසෙන නිල්පාට පුංචි ඇස් දෙකෙන් මගෙ දිහා බලාගෙන ළඟින් ඉන්න හැටි, මට මේ දැනුත් මැවිලා පේනවා.
එහෙම හිතා ගෙනයි, මං මේ ලියුම ඔයාට ලියන්නේ!
ඉතිං, ඔය
විදිහට මාවත් තරමක් දුරට කොන් වෙලා, තනි වෙලා ඉඳිද්දී
තමයි මට රෝසිව හම්බ වුණේ. එයා ගොඩක් ඉක්මනට මගෙත් එක්ක යාළු වුණා. මාත් එහෙමමයි...
මමත් රෝස්මරීට පුදුම විදිහට, ඉක්මනට සමීප වුණා... ඒ
සම්බන්ධය නොහිතපු තරමට දුර දිග ගියෙත් හරිම ඉක්මනට...”
ලිපිය
ඔඩොක්කුව මතට ගිලිහුණු බව මාලතීට වැටහුණේ පසුවය. ඈ දෝතින් මුහුණ වසා ගත්තාය. ඇයට
නිදහසේ ලිපිය කියවන්නට ඉඩ ලබාදී චන්ද්‍රක්කා කිරි අම්මා සමඟින් කතාවට ගොසිනි.
මාලතී සිත්සේ හැඬුවාය!
‘ඇයි ධනුෂ්ක අප්පෝ, මේවා ඔක්කොම තියෙද්දී මට ළං
වුණේ? මොන හිතකින්ද මං මේවා දරාගන්නෙ අප්පෝ?’ ලිපියෙහි කියවූ කොටසට වඩා කියවීමට ඇති කොටස වැඩිය.
මාලතී
සිත දැඩි කර ගත්තාය.
“....
රෝසි එංගලන්තෙම ඉපදිච්ච - මෙහෙම හැදිච්ච ගෑනු ළමයෙක්.
මාලතී, මෙහෙ සංස්කෘතියත් හරි පුදුමයි. එංගලන්තෙ ගෑනු
ළමයින්ට අවුරුදු දොළහ ලබනකොටම නීතියෙන් ඉඩ තියෙනවා, පවුලේ
දොස්තරගෙන් උපත් පාලන පෙති ලබා ගන්න. අම්මලාමයි එයාලගේ දුවලට කියා දීලා- ඕනෑ නම්
උපත් පාලන පෙති පාවිච්චි කරන්න උපදෙස් දෙන්නෙත්.
ඒ වගේම වයසින් වැඩෙනකොට ගෑනු ළමයෙකුට වුණත් ගෙදරට ආ යුතු වෙලාවක් කියන්නවත් අම්මලට
බැහැ.
තවත්
විදිහකට කියනවා නම් මාලතී,
තරුණ ගැහැනු-පිරිමි කාටත් නීතියෙන්ම ඉඩ තියෙනවා, බොහොම නිදහසේ එයාලට ඕනි විදිහකට ජීවිතේ ගෙවන්න.
ඔයාට
පුදුම ඇති. ඒත් මාලතී,
ඕක තමයි මේ රටේ තත්ත්වය.
ඊළඟ
කාරණාව තමයි,
මෙහෙ තරුණ ජෝඩුවලට නිදහස තියෙනවා නීතියෙන් විවාහ නොවී එකට ජීවත්
වෙන්න. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නෙ ‘ලිවින් ටුගෙදර්’
කියලා. එහෙම ජීවත් වෙන අතරේ සමහර ජෝඩු දරුවොත් හදා ගන්නවා. අපේ
රටේ වගේ නීතියෙන් විවාහ වෙලා නැති අම්මල-තාත්තාලගෙ ළමයින්ව අවජාතක දරුවො විදියට
හංවඩු ගහන පුරුද්දක් මෙහෙ නෑ.
සමහර අය ඔය විදියට එකට ඉඳලා - දරුවෙක් ලැබුණට පස්සේත් දෙන්නා දෙපැත්තට වෙනවා;
දෙන්නට දෙන්නා නොගැළපෙනවා වගේ තේරුණාම. හුඟක් අය එහෙමයි.
ඊට පස්සේ ආයෙමත් තව කවුරු හරි එක්ක එකතු වෙනවා.
මෙහෙ තරුණ ජෝඩුවලට නිදහස තියෙනවා
නීතියෙන් විවාහ නොවී එකට ජීවත් වෙන්න....රෝස්මරීත් මාත් නීතියෙන් විවාහ නොවුණත්
එකට ජීවත් වෙන්න පටන් ගත්තා... |
ඔය
වගේ පසුබිමක් තියෙන රටකයි මම ඉන්නේ. මාලතී,
ඔයාට පුදුම ඇති. ඒත් ඇත්ත ඒකයි.
රෝස්මරීත්
මාත් නීතියෙන් විවාහ නොවුණත් දෙන්නම එකට ජීවත් වෙන්න පටන් ගත්තා...”
මාලතීට
තව දුරටත් ලිපිය කියවීමට හැකි වූයේ නැත. නැඟී එන ඉකි බිඳුම වළකාගන්නට ඈ දෙතොල්
විකා ගත්තාය. දෙනෙත් කෙවෙණි තුළින් කඳුළු වැල් ගලා එද්දී, තව
දුරටත් හැඟීම් පාලනය කරගත නොහැකි වුණු අසරණ මාලතී, මහ
හඬින් හඬා වැටුණාය.
********
“මොකද බං?”
මාලතීගේ
වැලපුම ඇසුණු චන්ද්‍රා දිව ආවාය. අඩක් කියවූ ලිපිය මාලතීගේ අතැඟිලි අතර හිර වී
තිබිණි.
“අප්පො මොකද කියල තියෙන්නෙ, උඹට ඔය හැටි අඬන්න?”
පිළිතුරක්
නොවිණි. මාලතීගේ ඉකි බිඳුම තවත් වැඩිය. චන්ද්‍රා මාලතීගේ ළඟින්ම වාඩි වූවාය.
හඬමින් සිටි යුවතිය චන්ද්‍රාගේ උකුළෙහි හිස හොවා ගත්තාය. චන්ද්‍රා දකුණතින් මාලතීගේ
සිරස පිරි මැද්දාය.
“මාලතී, අනුන්ගෙ ලියුං කියවන කැත පුරුද්දක් මට
නෑ... ඒ නිසා මං ඔය ලියුම උඹෙන් උදුරගෙන කියවන්නෙ නෑ....”