මම එක තීන්දුවක් නම් අරගෙන තිබුණෙමි.‘ආයෙමත් පේව්මන්ට්
රස්සාවට යන්න නම් බැරිය’.
“ඒ මොකෝ?” මගේ තීන්දුව කිව්වාම
තාත්තා ඇසුවේය. “.... මොනවා හරි කරන්නත් එපායැ. නැති නම් බඩගින්නේ
මැරෙන්නයි වෙන්නේ. ඇයි දැන් උඹට ලජ්ජයිද පාරේ කතා කරන්න?”
තාත්තා එක්ක
වුණත් මං ඇවිළුණේ ඔහොම වෙලාවටය. “කෙහෙල්මල් ලැජ්ජාවක් නෙවෙයි තාත්තේ. පේව්මන්ට්
එකේ යන්නේ ඔක්කොම මිනිස්සු. හැම පක්ෂෙම අය. මං අලියගේ පැත්ත අරන්, unp ස්ටේජ්වලට
නැඟලා දැන් කොහොමද අනිත් පැත්තේ මිනිස්සුන්ගෙනුත් උදව් ඉල්ලන්නේ?”
“අනේ යකෝ.
මුගෙ උද්ධච්ඡකම. උඹ බය වෙන්න එපා. කවුරුවත් උඹට ආඩපාලි කියන්න එන්නේ නෑ....
මිනිස්සුන්ට වෙන වැඩ නැහැනේ උඹේ වැඩ ගැනම මතක තියාගෙන ඉන්න.” තාත්තා කොහොම කිව්වත්
මගේ හිත හැදුණේ නැත. මට දැන් ඕනෑ වෙනින් මොකකට හරි බහින්නටය. ප්‍රශ්නය ‘මොකක්ද’
කියන එකය.
මගේ ජීවිත
කාලය පුරාම මා එක රස්සාවකින් තව එකකට ගියේ පෙරුම් පුරාගෙන ඉඳලා නොවේ.1970වෙදී
විතරක් නොවේ. ඊට පස්සෙත් එක තැනකින් අස්වෙන්නට හිතුණාම එය කළෙමි. එහෙම කළෙත් දුරට
හිතමින් ඉඳලාත් නොවේ. නමුත් මොනවා හෝ කරන්නට පුළුවන් වෙතියි දැඩි විශ්වාසයක් නම්
කවදාත් මට තිබිණි.
එදා තාත්තා
කීවේ ඇත්තය. එවිට අපේ පවුලේ දරුවන් හත් දෙනෙකි. අම්මලාත් එක්කම නව දෙනෙකි. අපට
නින්දගම් තියනවා නෙවෙයිනේ. මොකෝ අපි වත්තෙන් පොල්, කුඹුරෙන් හාල්, මොලෙන් තෙල් එන
වස්තුකාරයෝයැ? තැන්පත් ධනයක් නැති, හෙට කන්නේ කොහොමදැයි දන්නේ නැති අපට ආදායමක් එන
විදියක්...... ඉඩ-කඩම් ගන්නට නොවේ. එදා වේල සරි කර ගන්නට.....
කුඹුරෙන් හාල් එන....... |
මීට කලිනුත්
කිව්වෙමි. අපේ තාත්තා ත්‍රොම්බොසිස් අසනීපය හිංදා අවුරුද්දෙන් වැඩිම කාලයක් ගෙව්වේ
කොළඹ මහා ඉස්පිරිතාලයේය. එහෙම හිටියත් දවසකට එක්කෙනෙක්වත් එයාව බලන්නට යා යුතුමය.
කන-බොන දේවල් නොගෙනිච්චත් සිගරැට් අරගෙන යන්න එපායැ. ලේ කැටි ගැහෙන නිසා සිගරැට්
නොබොන්නැයි දොස්තර මහත්තුරු අවාවාද කරලා තිබ්බත් තාත්තා එව්වා මායිම් කළෙත් නැත.
ඔහොම ඉස්පිරිතාලයට යන වෙලාවල්වලදී මගේ ඇස ගැටුණු වෙළෙන්දෝ-වෙළෙන්දියෝ කිහිප
දෙනෙකි. එයාලා වෙළඳාම් කළේ වාට්ටුවලදීය.
“තාත්තේ, මාත්
එහෙම වෙළඳාමක් කරන්නම්!”
“මොනවද?”
එවිටත් මට
අදහස පහළ වෙලාය. ලෙහෙසියෙන්ම උත්තරය දෙන්නට හැකි වුණේ එනිසාය. “ඉඳියාප්ප.”
ඉඳියාප්ප........... |
“කවුද බං
ඔව්වා හදන්නේ? දන්නවනේ අම්මා ඉවිලි-පෙවිලිවලට කැමැතිද කියලා.” තාත්තා මතක් කළේ
ඇත්ත කතාවයි. අපේ අම්මා ඒ වැඩවලට කම්මැලිය. උකුණන් ලවා ගල් අද්දවන්නාසේ අපේ නංගිලා
ලවා එව්වා කරවන්නට දත කයි. තාත්තා ගෙදර කාලයට නම් නංගිලාවත් උදව් කරගෙන උයයි. ඒ
ගෘහස්ථ සාමය පවත්වා ගැනීම උදෙසාය. (එතනදී නම් තාත්තා හිතුවේ දූලා ගැන නොවේ. ඇඹේණිය
ගැනය. මං දැක්කේ ඒ විදියටය.)
“මට පුළුවන්
හදාගන්න. ආච්චිට කියලා පිටි ටික අනවාගන්න එකනේ.”
මගේ අලුත්
රස්සාව ගැන තීන්දු වුණේ එහෙමය. ඒක ගැන වෙනම කියන්නෙමි.
ඉලෙක්ෂන් එක
ඉවරවී, පරාජයේ අවමානය ටිකක් තුනීවී යනතුරු unpයෙ අයව හම්බ වෙන්නට ගිහින් වැඩක්
නැති බව තාත්තා කීවේය. “ග්‍රහයෝ නීච වුණාම
අපිට වැඩිය ලොකු මිනිසුන්ටත් වරදිනවා.” තාත්තා එහෙම කිව්වාට ග්‍රහයෝ හොඳ වෙනතුරු බඩගින්න
ඉවසා හිඳිය නොහැකි බැවින් ‘ඉඳියාප්ප මෙහෙයුම’ පටන් ගත්තෙමි. ඒක ඊළඟ පෝස්ටුවකින්
කියන්නේ, දේශපාලන ගොහොරුවේ කතාව ඉවර කරලා හිටංය. (2018.10.26 මේ පෝස්ටුව කොටා-
සකසමින් තියෙද්දීත් එහෙම ග්‍රහ මාරුවක් වෙලා රටම තුෂ්ණිම්භූතවී සිටී.)
ග්‍රහයෝ නීචවී..... |
“රංජියගේ
වාසනාව තමයි. කොල්ලා ගැන විතරක් නෙවෙයි ලීලෝ, මුළු පවුලටම වියදමට මාසෙකට ගණනක්
දෙන්න වුණත් ..... මහත්තයට පුළුවනි! දැකල නැද්ද නුගේගොඩ ලී ස්ටෝරුව? ලොකු
වෙළෙඳාමක් එතන කෙරෙන්නේ. ගුණපාල අයියලාගේ වාසනාව” අපේ වැඩේට හොට දාන්නට ආ නුගේගොඩ
ඇන්ටි කීවාය. අපටත් වඩා වෙන්නට යන්නේ මොනවාදැයි දැනගන්නට ඕනෑකම තිබුණේ නුගේගොඩ ඇන්ටිටය.
අපි නියතපාල
මහත්තයා හමුවෙන්නට ගියේ රාහු කාලයෙන් විය යුතුය. “අපි පරාද වෙච්ච එකේ තව කාලයක්
යනකල් අපේ මිනිස්සු ඔළුව උස්සන එකක් නැහැ. ඒ වුණත් .... ටිම්බර් එකේ .......
උන්නැහෙව හම්බ වෙලා බලන්නකෝ!” අපට ලැබුණු උත්තරය දියාරු එකක් වුණේය. අම්මාත් මමත්
දෙන්නාය ඒ ගමනට ගියේ.
ලක්ෂේට අරං තුට්ටුවට වික්කා වගේ........ |
උඩහමුල්ලේ
...... මහත්තයාගේ ගෙදරදී අපට ලැබුණේ අරිටත් වඩා ලාචෝරු පිළිගැනීමකි. ඒ මහත්තයා
පෙන්නුවේම ලක්ෂෙට අරන් තුට්ටුවට වික්කා වගේ මුහුණකි. “මං ඇඹුල්දෙනියේ රැස්වීමේදී
එහෙම කිව්වා තමයි. ඒත් කවුද හිතුවේ මේ වගේ අපි පරාද වෙයි කියලා. මං මේ බයේ ඉන්නේ
මේ ආණ්ඩුව අපේ බිස්නස්වත් කරගෙන යන්න ඉඩ නොදෙයි කියලා. දැක්කනේ, දිනපු ගමන් තිබිච්ච
පළිගැනිලි. ගම්ගොඩේ මිනිස්සු වගේ නෙවෙයි, ලොක්කෝ ගහන්නේ හිමීට.... නිවෙන්න ඇරලා.”
බස් එකට
වියදම් වුණු රුපියලට සෑහෙන්නට එයාගේ කතා අහං ඉඳලා අපි හිස් අතින්ම ආපහු ආවෙමු!
“යකෝ මුන්
රෙදි ඇඳගෙනද ඉන්නේ?” තාත්තා එහෙම ඇහුවෙත් අපෙන්ය. අනේ, අපේ තාත්තා දැන් ඉන්නවා නම්.
අද දේශපාලුවන් කෙළින කෙප්ප, ඇදබාන ටොන් පච කොහොම දරා ගනීවිද? එකක් කියා, තව එකක්
කරමින් රටම අගාධයට ඇද දමමින්, පිල් මාරු කරමින් පරම්පරා ගණනකට ඇතිවෙන්න ජරාව කන
හැටි කොහොම උහුලා ගනීවිද?
අද 2018
ඔක්තෝබර් 25 වෙනිදාය. දැන් වෙලාව සවස 6.15 ය. උඩ කොටස කොටමින් ඉඳිද්දී ගුගුරමින්
වහින්නට පටන් ගත්තේය. එහෙම වෙලාවට මා කරන්නේ කොම්පියුටරය ඕෆ් කර දමලා වෙන වැඩක්
කිරීමය. කාලය අපතේ යවල බැහැනේ!
ඉතින් අද මා
කළ වෙනින් වැඩය 21 වෙනි ඉරිදා ‘රාවය’ පත්තරේ කියවන එකය. හිතාදර ඔයාලාට කියන්නම ඕනෑ
ජාතියේ ලිපියක් කියෙව්වේ එහි තිබිලාය. 07 වෙනි පිටුවේ ‘සම්බන්ධීකරණ ලේකම් කිව්වට
කිසිම සම්බන්ධයක් නෑ- කිරාන් අතපත්තු- ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්’ යන හෙඩිමෙන්ය
ලිපිය තිබුණේ. සම්මුඛ සාකච්ඡාව කර තිබුණේ ටිරාන් කුමාර බංගමආරච්චියි.
ඔක්තෝබර් 21 වෙනිදා 'රාවය' පත්තරේ.......... |
ඔබත්, මාත්
දැනටම දන්නා කරුණු මෙන්ම නොදන්නා කරුණුත් ගොඩාරියක් එහි විණි. මා ලියන්නේ මගේ
පෝස්ටුවට අදාළ බිඳක් විතරය. 2015 ජනවාරි අටවෙනිදා; ජනාධිපතිවරණය දවසේ රාත්තිරියේ
මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආරක්ෂාව පතමින් වසන්වී ඉන්නේ කිරාන්ගේ ගෙදරය. එතුමා
පැරදුණා නම් ඉස්සෙල්ලාම බිල්ලට යන්නේ කිරාන්ය.
එහෙව්
මනුස්සයාට ‘ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්’ පට්ටමක් තිබිලාත් දැන් ‘හදිසියකදීවත්
ජනාධිපතිතුමාව හමුවෙන්නට බැරිය’. “(ජනාධිපතිවරණයට පෙර, නුවර ජනාධිපති මන්දිරයේදී)
...... ඇමතිවරු දහයක් විතර හිටියා. අද ඒ අය මෙතුමා එක්ක. තව කෙනෙක් එහෙදි මට
ගහන්නම ආවා. අයින් වෙයන් කියලා. මම බොහොම අමාරුවෙන් ගුටි නොකා එදා ආවේ. එහෙම ගහන්න
පැනපු මිනිහා අද ජනපති වෙනුවෙන් මැරෙන්න දඟලන මහ ඇමතියෙක්. මම දවසක් යනකොට මේ මහ
ඇමතියා ජනාධිපති එක්ක තේ බොනවා. මම එළියේ. ළඟටවත් යන්න බැහැ. ඕකයි ඇත්ත තත්ත්වය.”
මගේ හිතේ යාන්තමට ඡායාවක් වාගේ තිබුණු කොස්සත් ඔය කතාව කියෙව්වාට පස්සේ,
දැන් අතුගෑවිලාම ගිහින් ඉවරය. ජීවිතය පරදුවට තියා කටයුතු කළ කෙනෙකුට ජනපතිතුමෙකු
එහෙම සලකනවා නම්, ලී මුදලාලි කෙනෙකු හොඳටම චූන්වී කියූ දෙයක් නොසලකා හැරීමත්
කජ්ජක්ද?
කොස්සක් හිටින්නට කරුණු යෙදුණේ තලගුණේ මහත්තයාත් කිසිම ගුණයක් නොපෙන්නා ඒ
හැන්දෙන්ම මට බෙදූ හින්දාය. එතනට මාව ඇදලා දැම්මෙත් mpm මාමාය. අපේ තත්වය හොඳ හැටි
දැනගෙන උන් ඒ මනුස්සයා හැදුවේ කොහොම හරි ඇති-පැති ඇත්තෙකු ලවා මට පිහිටක් වෙන්නටය.
“රංජි. ඔව්වා ඔහොම තමයි. ඔයා අම්මයි, ලකීයි දෙන්නා එක්කම ගිහින් තලගුණේ මහත්තයවත්
හම්බ වෙලා බලන්නකෝ. මොකද වෙන්නේ කියලා.” mpm මාමා කිව්වේය.
හැමදාමත් හුප්පේ වෙන්නේ.............. |
අපි ගියෙමු. නාරාහේන්පිට තට්ටු ගණනාවක් ඇති බිල්ඩිමකය එතුමා එවිට රැකියාව
කරමින් උන්නේ. ගිය අපේ මෝඩකමට අපටම බැනගනිමින් අපි ආපහු ආවෙමු! පෙනුණු විදියට නම් එයාලගෙ
ජාම කොහොමින් හරි බේරෙන්නට ඇත. හැමදාමත් ‘හුප්පේ’ වෙන්නේ අපේ ජුන්ඩයියලාටය.
(ඊයේ 2018 ඔක්තෝබර් 26 වෙනිදා දේශපාලන සත්වයන්ගේ තවත් රසාලිප්ත නාටකයක් රඟ
දැක්විණි. එයිනුත් මට නම් පෙනෙනුයේ එක ජාතියක කුරුල්ලන් එක අත්තේ වහන බවය!)
තලගුණේ හමුවේදී එහෙම වෙලාත් මං පාඩමක් ඉගෙන ගත්තේ නැති පාටය කියා හිතෙන්නේ
දැන්ය. නැත. ඉගෙන ගත්තෙමි. දේශපාලනය හැම දෙයකටම සම්බන්ධය. එයින් ගැලවීමක් නැත.
“අනේ මට නම් ඕක එපාවෙලා ඉන්නේ. මගේ ඡන්දේ දාන්නේවත් නැහැ.” සමහරු කියති. අපේ මතයට
ජය ලැබුණත් නැතත් මා නම් ඡන්දය නොදා ඉන්නේ
නැත. මා දරන මතය තවකෙකුට කියන්නට මැලි වෙන්නෙත් නැත.
ඒත් අන්තවාදී දේශපාලනය නිසා, අනවබෝධය නිසා, කොතෙක් නම් අගතීන් වෙනවාද? යම්
මතයක් දරන්නට අපට ඇති අයිතියම, වෙනත් මතයක් දරන කෙනෙකුටත් නැතිද?
1977 මැතිවරණය තියන්නට සැරසෙද්දී සිරිකොතේ නියෝජිතයන් දෙන්නෙකුත් එක්ක
පියදාස අයියාත්, සෝමවීර මල්ලිකාරච්චිත් මා හමුවෙන්නට ආවෝය. පියදාස කිව්වාට ඔහුගේ
නම වී.ජී. පියදාසය. ජීවිතෙන් තුන්කාලක්ම දේශපාලනයට කැප කළා වෙන්නට ඇතිය. ඒ
වෙද්දීත් කිහිප වතාවක්ම පියදාස අයියාත්, සෝමවීරත් මට ආපහු unp කොක්ක ගහන්නට හදලාත්
තිබිණි.
බෙර ගහලා නොකිව්වාට....... |
“දිසා, මේ සැරේ ඔයාට අතරමං වෙන්න දෙන්නේ නැහැ. මාව විශ්වාස කරන්න. ඕනෙම
දේකට මං ඉන්නවා. අපරාදේ... මේ සැරේ මිනිස්සුන්ට ශ්‍රී ලංකා එක තිත්ත වෙලා ඉන්නේ.
අපි උඩින්ම දිනනවා.... නඟිමු ස්ටේජ් එකට.”
බෙර ගහලා හැමෝටම නොකිව්වාට, මටත් ඒ ආණ්ඩුව තිත්තවී තිබිණි. වැඩියත්ම ලොකු අයට එක හැන්දකිනුත්, පොඩි අයට තව හැන්දකිනුත් බෙදූ හින්දාය. එහෙත් unp එකේ වැඩත් ඊට වඩා ගොඩාක් හොඳ වෙන්නට බැරි බවය, මගේ හැඟීම වුණේ.
බෙර ගහලා හැමෝටම නොකිව්වාට, මටත් ඒ ආණ්ඩුව තිත්තවී තිබිණි. වැඩියත්ම ලොකු අයට එක හැන්දකිනුත්, පොඩි අයට තව හැන්දකිනුත් බෙදූ හින්දාය. එහෙත් unp එකේ වැඩත් ඊට වඩා ගොඩාක් හොඳ වෙන්නට බැරි බවය, මගේ හැඟීම වුණේ.
නියෝජිත පිරිස ආවේ හවස හතරට විතරය. අප කතා කරමින් ඉඳිද්දී වෙල් යායට උඩින්,
දුම්රිය මාවත පැත්තෙන් ලවුඩ්ස්පීකරයක් හඬ දෙන්නට විණි. අපි කන් දුන්නෙමු.
“ඇහෙනවද එනවුන්ස් කරන එක?” මම කීවෙමි. කියමින් තිබුණේ unp රැස්වීමක් ගැනය.
කිව්වේ මොනවාදැයි දින කිහිපයකින් කියන්නෙමි.