කෑම පිළිබඳව මට තිබුණු සෙනසුරු අපලය ගෙවුණේත් පුදුම
විදියටය. ගිය වතාවේ මා කියූ පරිදි, මගේ අසමජ්ජාති ගෝරනාඩුවෙන් පස්සේ මානෙල් විතරක්
නොවේ, සුනිලුත් කෑම ගැන කතාව සහමුලින්ම නැවැත්තුවේය. කාගේවත් පෙරැත්තයක් නැතිව, කෑමකුත්
නැතිව දවසක් දෙකක් ගෙවුණි. දැන් මට නැඟිට ගන්නටත් පණ නැත.
පොල් පිට්ටු වගයක් දුටු මට.......... |
උදේට රෝහලේ ගේට්ටුව ළඟ නොයෙක් කෑම ජාති විකුණන බව කවුදෝ
මට කියා තිබිණි. මම උදෙන්ම එතනට ගියෙමි. නැති ජාතියක් නැත. එක අම්මා කෙනෙක් ළඟ
තිබුණු පිට්ටු වගයක් දුටු මට ඉහිලුම් නැතිව ගියේය. මම දෙකක්ම ගත්තෙමි. පොල්කිරිත්,
ලුණුමිරිසුත් ඒවා එක්කම ලැබෙයි. කොයිකටත් කියලා පරිප්පුත් ගත්තේ ලුණුමිරිස රතට රතේ
බබළමින් තිබුණු හින්දාය.
වාට්ටුවට ඇවිත් පාර්සලය ළිහද්දීත් සුවඳය. පොල්කිරිත්
පරිප්පුත් මට හිනාවෙයි. එව්වා තිබුණත් මගේ ඇහැ යන්නෙම ලුණුමිරිසටය.
‘මියෙම්වා,
රැකෙම්වා’ කියලා මම එයින් බිඳක් කටේ ගෑවෙමි. මගේ මුවේ පැළිවළන් පැළුණු ගතිය කොහේදෝ
ගිහින්ය.
සුනිල් වාට්ටුවට එද්දී ‘නිමල් දිසානායක’ හිටු කියා අඹරමින් හිටියේය.
“අයියට දැන් කන්න පුළුවන්නේ.” සුනිල් සතුටෙන් ඉපිලිලාය. “මානි.... ලොකාට දැන් කන්න
පුළුවන්..... ඔයා දවල්ට කෑම ගේන්න.” මගෙන් මොකුත් නොඅසාම, සුනිල් එවෙලේම මානෙල්ට
පණිවුඩය දුන්නේය.
දෙවියන් ඉන්නවාද? එහෙමත් නැති නම් භූතයන්.... අද්භූත
බලවේග? මේ ගැන මට නිශ්චිත අදහසක් නැත. එහෙත් තවමත් හිතාගන්නට නොහැකි යම්-යම් දේවල්
කිහිපයක් මගේ හිතට වධ දෙයි! එයින් එකක් සිදු වුණේ, ඒ වතාවේ රෝහලේ ඉඳිද්දීය.
දෙවියන්... භූතයන් ඇත්තද? |
පහුවදා දහවල් මර්වින් රෝහලට ආවේය.
“නිමල්..... අපි
දන්නවා උඹේ හැටි. උඹට මේවා විශ්වාස නැහැ කියලා දැන-දැනත් අපි දෙන්නා මේක කළේ, උඹේ
හොඳට. මායි පීරයි ඊයේ දොළොස්බාගේ ගියා. එහෙ හොඳ ගුරුන්නාන්සේ කෙනෙක් ඉන්නවා. අපිට
කරලා දුන්නු දේවල් දෙක-තුනක්ම හරි ගියාත් එක්ක. එයාට කියලා අපි උඹේ නමට මේ යන්තරේ
ජීවම් කරවගත්තා. දවස් ගානක් උඹේ නමටම බල පිහිටුවලා, මේක ජීවම් කරලා ඉවර වුණේ ඊයේ
හවස......”.
එවිටම මගේ ඔළුවට ආවේ කලින්දා හවස දැනුණු දෙයයි. “කීයට
විතරද?”
“හතරට විතර.” මර්වින් කීවේය.
“එතකොට ඔයාලා දෙන්නම හිටියේ එහෙද?”
“යකෝ, ඒකට ඔරොට්ටු අල්ලන්න හදන්න එපා. අපි ටිකක්
රස්තියාදු වුණාම මොකෝ. පීරාත් කිව්වා, අපි දෙන්නා වෙනුවෙන් හරි හිතලා මේ ජීවම්
කරපු සුරේ ටික දවසක් දාගෙන ඉන්න කියලා. උඹ විශ්වාස නොකළට කමක් නැහැ, ප්ලීස් මචන්.”
මට පෙරදා දැනුණු හැඟීම ගැන මර්වින්ට කියූ විට මිනිහා නැවතුණේ දිවිය ලෝකෙය. “දෙයියෝ
ඉන්නවා නිමල්..... මෙව්වයේ සත්ත තියෙනවා! යමං, අතන තියෙන බුදු ගෙට.... මේක උඹට
දාන්න ඕනේ එතනදී, කරණීය මෙත්ත සූත්තරේ කියලා....” මට අකීකරු වෙන්නට බැරි විණි.
නදීලා,ප්‍රභාත්ලා වගේම සාන්තලාත්...... |
පළමුවැන්න ප්‍රභාත් බුද්ධික හා
නදීලා එක්ක ගියෙමි. දෙවැන්න සාන්ත, බබීතා නංගී, චිරන්ත, ශෙරාන් හා නන්ද කුමාර
එක්කය. මගේ වෙනුවෙන් ඔයාලාම බාරහාරවී, ඔයාලගේම කාලය, ශ්‍රමය, ධනය වැය කරගෙන එව්වා කළාට මගේ
ප්‍රතිචාරය ‘ආයෙත් ස්තුතියි!’ කීමය! ලබන ආත්මයෙත් මෙවන් සුහද මිතුරු-මිතුරියන් මට
ලැබේවා!
අපේ ශිරන්ත දොස්තර මහත්තයා නම් මගේ සංචාර ගැන කැමැත්තක්
නැත.
ඒ තියා අරයා-මෙයා වැඩියෙන් මා බලන්නට එනවටත් මනාප නැත. ඒ ගැන මට අවවාද කරලා,
බැරිම තැන සාන්තටත් ඒ ගැන කියා තිබිණි. තරහකට නොවේ! මගේම හොඳටය.
“සාන්ත, ඔයාලා
වුණත් නිමල් අයියාව බලන්න ගියාම වැඩි වෙලාවක් එහෙ ඉන්න එපා. එයාට විෂබීජවලින්
පරෙස්සම් වෙන්න වෙනවා. අනිත් යාළුවො හැමෝටම වුණත් මං කිව්වයි කියලම කියන්න, නිමල්
අයියව බලන්න ගියත් විනාඩියකට දෙකකට වඩා ඉන්න එපා කියලා.”
හිතවත් වෛද්‍ය ශිරන්ත වම් කෙලවරේ..... |
කොච්චර හිතවත්කමට කිව්වත් මට නම් එහෙම ජීවිතේකින් වැඩක්
නැත. එහෙම ඉන්නේ මොකටද? එහෙම පරෙස්සම් වුණාය කියලා සදහටම ඉන්න පුළුවනිද? අමරණීය
වෙන්න! අමරණීය......
“හොඳම සීන් එක ගහ මැදදී සුදුම සුදු එකෙකුයි, කළුම කළු එකෙකුයි- අමු නිරුවස්තරෙන් අතින් අතට හොර පොල්
මාරු කරගන්නකොට....ඊටත් හඳ එළියෙන් නෑවෙවී!”
දිගටම ‘නිදිගෙ පංච තන්තරේ’ කියවාගෙන ආවා නම් ඒ xxx
දර්ශනය ගැන ඔයාලට මතක ඇති. ඒක තිබුණේ ‘අජාසත්ත - 2’ පෝස්ටුවේ. ඒකෙමයි මේ ටික
තිබුණෙත්.
“... එතකොට හැම අවුරුද්දෙම සාහිත්‍ය මාසයට ගුණසේන පොත්හළේ
සේල් එකක් තියෙනවා. ඒ කාලේ මුළු අවුරුද්ද පුරාම මං සතෙන්- සතේ එකතු කරනවා අර
කියාපු සේල් එකට යන්න. ඒ එකතුවට කවදාවත්
රුපියල් විසිපහක උපරිමයටවත් යන්න බැරි වුණා. පොත් කඳු පිටින් තිබුණා 33% වට්ටමක්
එක්ක. 50% බාගෙට-බාගයක් අඩු කරපු පොතුත්....”
ඔය සේල් එකේදී තමා මට එච්. රයිඩර් හැගාර්ඩ් මහත්තයාව
හම්බ වුණේ. අනේ, මං එයාට වහ වැටුණු තරමක්! හොය-හොයා එයාගේ පොත් ගන්න පටන් ගත්තා.
‘She’ පොතේ පරිවර්තනය තමා ‘අයේෂා හෙවත් නොනැසෙන රැජිණිය’. ගුණසේන ප්‍රකාශනයට පස්සේ
දයාවංශ ජයකොඩි එකෙනුත් මේ පොත්වල අසංක්ෂිප්ත පරිවර්තන පළ වුණා. කේ.ජී. කරුණාතිලක
මහත්තයායි පරිවර්තක.
අනේ, මං එයාට වහවැටුණු තරම..... |
අයේෂා අමරණීයයි. ඇගේ පෙම්වතා ලියෝ. අමරණීය අයේෂා කොතරම්
බලවත් වුණත් ඇයටත් දුක, සතුට, වේදනා දැනෙනවා. අමරණීය නොවෙන; නැසෙනසුලු මට.... මරණයට කලින්ම සෛලවල,
පටකවල, අස්ථිවල ප්‍රශ්න මතුවෙන්න ගත්තාමයි වේදනා දැනෙන්න ගත්තේ.
ඔයාලා අහලා ඇති අපේ රුධිරයේ තියෙන ‘සුදු රුධිරාණු’
ගැන.මේ සුදු රුධිරාණු තමයි අපේ සිරුරට ඇතුළු වන වයිරස්, බැක්ටීරියා වගේ විෂබීජවලින්
අපව ආරක්ෂා කරන්නේ.
එහෙම කරන්නේ සටන් කරමින්, ප්‍රතිදේහ: තවත් විදියකට කියනවා නම්,
‘antibodies (immunoglobulins)’ නිපදවමින්. මේ සේවාව කරන ‘ප්ලාස්මා සෛල’වලින්ම
එකක් අනෙක්වායින් වෙනස්ව ක්‍රියා කරමින්, අතිසීඝ්‍රව දෙගුණ වෙමින් බෙදෙන්නට පටන්
ගැනීම තමයි ‘මයෙලොමාවේ’ මුල. ඕනෑම පිළිකාවකදී වුණත් වෙන්නේ මෙහෙම දෙයක්. අසාමාන්‍ය
සෛල වර්ධනයක්!
මයෙලොමාවෙදී මෙහෙම ‘ඩෙඟා නටන’ සෛලවලින් විෂ රසායනික ද්‍රව්‍යත්
නිපදවෙනවා. ඒවායින් සිරුරේ අස්ථි කොටස්වලට හානි වෙන්න පටන් ගන්නවා.
අස්ථි පංජරය
දිරා යන්න පටන් ගන්නවා. විශේෂයෙන් කොන්දේ, උකුළු පෙදෙසේ (පෙල්විස්) හා ඉල ඇට
(රිබ්ස්)වල. ඒ නිසයි හිතවත් වෛද්‍ය ශිරන්ත මට අනතුරු ඇඟෙව්වේ, පරෙස්සම් වෙන්න
කිව්වේ. හදිසි වැටීමකදී ඇටකටු බිඳෙන්න පුළුවන් නිසා.
දිරා යන ඇටකටු.... |
ඒ වගේමනේ, මගේ ප්‍රතිශක්තිය ඇති කරන පද්ධතියත් ඒ කාලෙදී
අඩපණ වෙලයි තියෙන්නේ. හෙම්බිරිස්සා විෂබීජවලින් එකක් සිරුරට ඇතුළු වුණත් ඇති,
නිව්මෝනියාවෙන් කෙලවර වෙන්න! අනේ, ඔව්වා ඔහොම තියෙද්දිත් තමයි මං ගණනක් නැතිව
හිටියේ.
තව දෙයක් කියන්න එපැයි. මට නොනා ඉන්න නම් බෑ!
මේ ගැන
‘අම්මගෙ රෙද්දෙ මමාස්’ ලිපිවලදිත් කිව්වා. මං හුඟ දවසට තුන්පාරක් නානවා, සාමාන්‍යයෙන්
දෙවතාවක් නම් නානවාමයි.
ඒක නම් මං මටම දීගන්න තිළිණයක්! අච්චර අමාරු වෙලා ඇවිදගන්න
බැරිව, ඇඳේ දපා තියා ඉඳිද්දීත් මං සුනිල්ට බල කළා මාව නාන කාමරේට වත්තන් කරගෙන
යන්න; මං නාගන්නකල් තනි රකින්න. එහෙම වෙලාවට මං හරි ආත්මාර්ථකාමියි, නේද?
සුනිල් හැමදාම උදේටත්, දවල්ට හරි හවසට හරිත්
ඉස්පිරිතාලයට ආවේය. මානෙල් එක වතාවකි. බඩා මල්ලා; දීපාලුත්. ඒකා මට අමාරු දිනවල රෑට
තනියටත් උන්නේය.
අනෙක් අයත් මදි නොකියන්නම ආවෝය. ලැයිස්තුව ලියන්නට නම්
වෙනම පෝස්ට් එකක් කෙටිය යුතුය. ලෙඩෙක් බලන්නට එන එක ලෙඩාගේ හිතට හයියකි. සතුටකි.
ලෙඩාට ශක්තියක් වීම, දිරියක් දීම, සතුටක් දීම හැමෝටම කරන්නට බැරිය. ඒකත් කලාවකි.
ලෙඩ බලන්නට එන හුඟක් අය අහන්නෙම .... |
ලෙඩ බලන්නට එන හුඟක් අය රෝගියෙකුගෙන් අහන්නේ ‘තවම
අමාරුයිද?’ වගෙ ගොන් ප්‍රශ්නය; නෙගටිව් ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයම වුණත් පොසිටිව්
විදියටත් අහන්න පුළුවන්නේ ‘ආ, දැන්නම් හොඳයිනේ’ වගෙ ක්‍රමයකට. ඔය කිව්වේ මට තදින්
දැනුණු දෙයකි.
“අයියේ, හෙට උදේට ඔයාට මොනවද ගේන්න ඕනේ?” හවසට සුනිල්
අහයි. ගෙනෙන්නේ කඩෙන්ය. කිරිබත් ගේන්නැයි මම සුනිල්ට කීවෙමි. පහුවදා උදෙන්ම ඔහු
කිරිබත් ගෙනාවේය. “ඔන්න, මං අයියට ගෙදරම කිරිබතක් උයාගෙන ආවා!”
වැඩි ආදරේට සුනිල් ගෙදරම ඉවූ කිරිබත මට නම් කට ළඟටවත්
ගන්නට හිතුණේ නැත. කෑම පෙට්ටිය අරිනකොට මුළු වාට්ට්ටුවම රොස් ගඳ ගහන්නට විණි.
“සුනිල්, මේක හොඳටම රොස් වෙලානේ!” මගේ කඩප්පුලි කටින් වචන එළියට පැන්නේ හිතන්නටත්
කලිනි.
“ටිකක් රොස් වුණා අයියේ.” සුනිල් පසුතැවුණේය.
එදා මා නොදැන හිටි කරුණක් දැනගත්තේ පස්සේය. බතක් රොස්
වුණාම කරන්නට පිළියමකි. හැබැයි බතක්-කිරිබතක් රොස් වුණාමත් මේක හරි යනවාදැයි
බලන්නට නම් බැරි විය. (මගේ අතින් බත් රොස්වෙන්නේ නැත. මේක හරි යන බව මට කීවේත් හිතවතියකි.)
බත රොස් වුණාම පොල් බෑයක් බතට උඩින් තියා, පියන වසා ටික වෙලාවක් තියෙන්න ඇරියාම
රොස් ගඳ අඩු වෙනවාලු! මෙව්වා කුකරි රහස්ය.
බතක් රොස් වුණොත්, පොල් බෑයක්....... |
කුකරි රහස් කියා කොටන විටයි මතක් වුණේ, මා දැන් ගන්නා
උදේ ආහාර වේලක රෙසිපියක් දෙන්නට. දැන් ඔයාලා දන්නවානේ, මං සීනි, පිටි, පිටිකිරි,
ඉදුණු පලතුරු විතරක් නෙවෙයි; පිෂ්ඨය සහිත එළවලු වර්ගවත් කෑමට නොගන්නා බව. මේක
උදේකට විතරක් නෙවෙයි, ඕනෙම වේලකට ගැළපෙන එකක්. ලේසියි.
තාච්චියක් ළිපේ තියලා පොල්තෙල් මේස හැන්දක් දාන්න. ඒක
රත් වෙද්දී රටකජු ඇට අහුරක් විතර දාලා, බැදෙන්න අරින්න. යන්තම් දුඹුරු පාටට
හැරෙද්දී, කැපූ අමුමිරිස් කරලක්- තැලූ සුදුලූනු බික් කිහිපයක් ඒකටම දාලා පෙරළමින්
බදින්න.
ඊළඟට ඒකට දාන්නේ බිත්තර දෙකක්. හැන්දෙන් කලවම් කරමින්, කෑලිවලට කඩමින්
බැදගන්න ගමන් ලුණු කුඩු, ගම්මිරිස් කුඩු දෙවගේත් රස පදමට දාගන්න. තාච්චිය ලිපෙන්
බානකොටම තමයි, මම නම් කපාගත්ත බී ළූණු ගෙඩියකුයි, කරපිංචා කොළයි බැදුමට එකතු
කරන්නේ. එතකොට බී ළූණු කෑලි ක්‍රන්චි ගතියට හැපෙනවා. සුවඳත් හමනවා.
මේක උදේ වේලට හොඳටම ඇති. හිතයි, බඩයි දෙකම පිරෙනවා! කැමැතියි
නම් තක්කාලි, මස් වගෙ දේවලුත් මේකටම එකතු කරගන්න පුළුවන්. ඊළඟ කොටසට යන්න කලින්
ඔන්න මේක හැදුවොත් කියන්නකෝ රහයිද කියලා. එහෙනං එතකල්.........
අයියෝ ... දොළොස්බාගේ ගුරුන්නාන්සේගෙ පිළිකා නසන මන්තරේ අහගත්ත නම් අපේක්ෂා රෝහලේ තව කී දෙනෙක් ගොඩ දන්නා තිබ්බද ? :-D
ReplyDeleteඔය තත්වෙන් ඉන්නකොට පවුලෙ අය නෑදැයෝ පිදුරු ගහෙත් එල්ලෙනව අයියෙ ... ඒ වගේ කාලකන්ණි දැකලම මම නම් දැන් පිං-පව් කර්මයවත් විස්වාස කරන්නෙ නැහැ :(
ලෙඩාව බලන්න එන අය යහපත් චේතනාවෙන් ආවත් .. හොඳටම මානසිකව වැටිල ලෙඩාටත් පවුලෙ අයටත් ඒ අය කරදරයක් ඇතැම් විට.
ඇත්තටම අපේ උදවිය හොඳම දන්නවා මදි අනුන්ගේ හැඟීම් තේරුම් අරන්-ඔවුනට නොරිදවා සැනසෙන වචනයක් කියන්නේ කොහොමද කියලත්. කණ්ඩා, බලන්නකෝ මළ ගෙදරකදී... ඇක්සිඩන්ට් වෙච්චි කෙනෙක් ළඟදි එහෙම ...
Delete