I provide, You decide! ඔව්, දැන් මගේ යුතුකම
සියලු දේ නොවලහා, නොසඟවා ඇත්ත ඇති සැටියෙන් කීම පමණි. ඒවා කිරා-මැන බැලීම;
විනිශ්චය කිරීම; නිගමනවලට එළඹීම දයාබර පාඨක ඔබටම බාරය. එදා ‘මෙතැනින් මාරුවෙනු!’
කියා ඇඟිලි ටික මට ඇඟවූ නිසා ‘රේස්වලින් -2 පෝස්ටුවෙන්’ සමුගත්තෙමි. ඉතින්.....
තාත්තා කිව්වා වගේම සීයාවත්, ආච්චීවත්
කවමදාවත් හරි-හමන් රේස් දිනුමක් නොලද්දෝය. අශ්ව රේස්වලට උපාධියක් දෙනවා නම්,
ලේසියෙන්ම ඒකට සුදුසුකම් සපුරා තිබූ තාත්තාටත් රේස්වලින් වගතුවක් වුණේ නැත. මට තේරෙන සත්තක ඇත්ත නම් සූදු කෙළින්නන්;
සූදු අන්තුවන් හැමදාම පරාජය වන බවයි. එහෙත් සූදු කෙළවන්නන් හැමදාම දිනන බවයි!
‘පාන්දරම කඩේ ගිහින් - ගෙනා පත්තරේ බලලා
මූණ නරක් කර දෑතේ නියපොතු කනවා
කහට කෝප්පය පැත්තක සීතල වෙනවා’
විදියට දෙල්තොට
චන්ද්‍රපාල මහත්තයා රේස් පරාජිතයෙකුගේ අපූරු දසුනක් අප ඉදිරියේ මවයි.
අසුන් අරා හිඳීමට ඇත්තේ දිගු ඉතිහාසයකි. |
මේ සූදුවෙන් පරදින න්‍යාය ධර්මය කවදාටත්
පොදුය. කාටත් පොදුය! අශ්වයන් නිසාම අධිරාජ්‍යයක් බිහි කරන්නට සමතුන්වූ
‘මොන්ගෝලියානු ජාතිකයන්ටවත්’ දිගටම දිනාගෙන හිටින්නට බැරි විණි.
“අශ්වයන් අරා ගොස්
රටවල් විජයග්‍රහණය කරන්නට හැකි වුණත්, අධිරාජ්‍යයක් බිහි කරගන්නට හැකි වුණත් අසුන්
පිටම හිඳිමින් ඒවා පාලනය කරන්නට බැරිය.” කියා කුබ්ලයි ඛාන්ගේ උපදේශකයෙකුත් කීවේල!
අනේ, අපේ උගතුන් මෙව්වා නොදන්නා හැටි. ඒ
නිසාම ‘අසුන් නෙවෙයි, සිහසුන් අරා හිඳගන්නට’ chance එක ලැබුණත් ඉක්මනින්ම කෙළවා
ගනිති. මහ පොළොවේ පය ගසාගෙන නොඉඳ අනුන් පිටේ නැඟී යන්නට ගියාම වෙන්නේ ඔය ටිකය.
අශ්වයන් හීලෑ කරගෙන, උන්ගේ පිට නැඟී
හෝමෝසේපියන්ස්ලා යන්නට පටන් ගෙන ඇත්තේ ගොඩාරියක් ඈත ඉතිහාසයේ පටන්ය. ඉරානයෙන්
හොයාගෙන ඇති ගුහා චිත්‍රවලිනුත්, මෝගල් ඓතිහාසික සිතුවම්වලිනුත් ඒවා හෙළි වෙයි.
මිනිසුන්ගේ උන්නතිකාමී ජාගර; කෑදර සිතුවිලි හොඳටම පෙනෙන කාලයකුත් ‘රේස්වලදී’ උදා
වෙයි. වසරේ හැමදාම අශ්ව රේස් පැවැත්වෙන්නේ නැත. එහෙමය කියා එයාලා නිකම් ඉන්නෙත්
නැත. ‘බලු රේස්’ තියන්නේ එහෙම කාලයටය.
රේස් බල්ලාට ගිහින්ද? බල්ලෝ රේස්වලට ඇවිත්ද? |
බලු රේස් තිබ්බත් සුද්දන්ගෙන් වැඩි දෙනෙකු බලු වැඩ කරන්නේ නැතුවා වගේය.
හොඳම උදාහරණය
එංගලන්ත මහ රැජිණයි. එංගලන්තයේ මහ රැජිණත් එහෙම අශ්වයන් අයිති මහේශිකාවකි.
පෙනෙන,
දැනෙන, ආරංචි වෙන හැටියට නම් අශ්වයන් අයිති වුණාය කියා රැජිණ අමුතු මහන්තත්තකමක්
ආරූඪ කරගන්නේ නැත. එයාගේ අශ්වයෝ දුවන තරගවලදී කාටවත්ම අයුතු බලපෑම් කරන්නෙත් නැත.
ඒ හින්දාමද කොහෙද ඒ දවස්වල රැජිණගේ අස්සයනුත් පැරදුණාම අපේ තාත්තලාට ඌරු ජුවල් නඟී.
ඒකට 'සිරි ලංක පුරේ' දැන්!
ලොකුම ලොක්කන්ට නොව,
උන්දැලාගේ අතිජාත පුත්තරයන්, උන්ගේ කූට්ටාලියන් ගෑවෙන අය ක්‍රීඩාවකට ගියත් අනෙක්
හැමෝම නිතරගයෙන් පරදින්නට ඕනෑය. නැති නම් අම්බානක සබ්බුව තමා. තරග විනිසුරුවන්ටත්!
වෙන එකක් තියා උන්දැලා මහපාරේ ඉගිල්ලෙද්දී ජහමනයා කාණුවට බැහැලා හරි ඉඩ දෙන්නත්
ඕනෑය.
ක්‍රිකට්වලදී නම් එයාලා අපෙන් ඉගෙනගත්තාද
කියා සැක සහිත කාරණයකුත් කියන්නට හිතෙයි. ‘මැච් ෆික්සින්’ එහාට ගියෙත් අපෙන්ද?
අවුරුදු 30-40 ක් තිස්සේ වරින්-වර හිතේ
තිබුණු ගැටලුවකටත් මේ දැන්, මේ ටික කොටමින් හිටිද්දී උත්තරයක් හිතට නැඟෙන පාටය.
“තාත්තලාට වරදින්නේ ‘ඊච්චවේ’ ගහන හිංදා!” ඒ දවස්වල අපේ තාත්තා සීයලාට කිව්වේය. මට
තේරුණු ‘ඊච්චවේ’ එකක් නැත. දැන් පෙනෙන්නේ එය ‘each away’ විය හැකි බවයි. රේස් ගැන
දන්නා ඇත්තෙක් මේ කාරණාව පහදා දෙනු ඇතැයි සිතමි.
මා පළමුවරට එංගලන්තයට ගියේ 1985 දීය. අපේ
අනිල් මල්ලීත් මා එක්කම ගියේය. අපට ලැබුණේ සංචාරක වීසාය. ඒ බව කියවෙන සීල් එක ගසා
තිබුණු අයුරු මට තවම මතකය. ඒකට අනුව අපට ඒ රටේ ඉන්නා කාලයේදී වැටුප් නොලබන
රැකියාවක් පවා කිරීමට අවසර නැත.
බොරු කියන්නේ මොකටද? කොච්චර piyo සුද්දෙකු වුණත්
අපේ ඩැඩා අන්න එතැනදී ‘මහා බ්‍රිතාන්‍යයේ’ ආණ්ඩුවටත් කොකා පෙන්වන්නට අපට උදව්
වුණේය. ඔහුගේ හිත-මිතුරන් දෙතුන් දෙනෙකුගේ හින්නිකිතර වැඩ දෙක තුනක්ම අපට අල්ලා
දුන්නේය.
එහෙම රස්සා අපට දුන් අයත් බැලුවේ තමුන්ගේ වාසියමය.
හොරාට වැඩ කරන අයට තුට්ටු දෙකක් ගෙව්වාම ඇති බව එයාලත් දන්නවනේ. ඒකෙන් එයාලටත් වාසිය.
මහා බ්‍රිතාන්‍යය...... |
අනිල්ට නම් දිගටම වැඩ තිබිණි. උස- මහත-
හැඩිදැඩි- බර වැඩ කළ හැකි ඔහු ‘කැරියර් සර්විස්’ එකකය වැඩ කළේ.
මුල පටන්ම මා වැඩක්
නොකළ යුතුය යන මතයේය ඩැඩා උන්නේ. “නිමොල්, උඹ මේ පවුලට කරලා තියෙන හරිය හොඳටම ඇති.
දැන්වත් නිකම් ඉඳපන්, chance එකක් ලැබුණු වෙලේ.” මං වැඩක් කළේ මගේම උවමනාව නිසාය. මහන්තත්වය නිසාය!
එහෙත් මට වැඩක් ලැබුණේ යලට මහටය. අප ආපහු එන්නට සැරසෙද්දී අනිල් අතේ රුපියල්
87,500/-ක වත්කමක් තිබිණි. එයින් බාගයක්වත් මට තිබුණේ නැත.
“ලීලා, මෙන්න උඹේ වෙලාව නිමොල්ට සලකන්න.
නිමොල්ටත් අනිල්ගේ ගණනම ඊක්වල් වෙන්න ඕනේ කරන ඉතිරි ගණන උඹේ අතින් දාපන්.” ඩැඩා
කිව්වේය. ඔහු ඊට අමතරව තවත් මාහැඟි අවවාදයකුත් මට දුන්නේය.
“බලපං, අවුරුදු 19ක් රස්සාවල් කරලත් උඹේ
නමින් උඹ එක පැන්සයක්වත් ඉතිරි කරගෙන නැහැ. දැන් උඹ පවුලට සැලකුවා ඇති. නැතිනම්
උඹට කවදා හරි අනෙක් අයගේ උදව්වෙන් තමයි යැපෙන්න වෙන්නේ. එහෙම වුණාම මිනිස්සු අසරණ
වෙනවා. ලංකාවට ගිය හැටියේම උඹ වෙනම room එකක් කුලියට ගන්න ඕනේ. උඹේම ඉන්ඩිවිජුවල්
ලයිෆ් එකක් පටන් ගන්න ඕනේ!” ඔහු මට තරයේ කීවේ ඒකමය.
ඒ කතාව මගේ වැහී තිබුණු මොට්ට ඇස් ඇරවන්නක්
විය. ලංකාවට විත් සති දෙකක් යනවිට මා හිටියේ කුලී කාමරයක නවාතැන් ගෙනය. ඒ එක්කම ඉඩමක් හොයමිනි. ඒ බව කිහිප
දෙනෙකුටම කිව්වෙමි.
පෙම්වතුන් යුවළ කරළියට....... |
RPR පෙම්වතුන් යුවළ කරළියට නංවන්නට දැන් වෙලාව හොඳය. RPR මගේ මිතුරෙකු වුණේ BA මිතුරිය මාර්ගයෙනි. ඇයගේ හිත් වේදනා හුඟක් මා සමඟ කියන්නට BA
පුරුදුවී උන්නාය.
“බලන්නකෝ නිමල්, අපේ තාත්තා අරයාට කැමතිම නැහැනේ. ජාති වෛරයක්ද
මන්දා? කැරැල්ලට අහුවෙලා හිරේ ගියාට පස්සේ තවත් තදවෙලා, එයාව හොඳටම එපාවෙලයි
තාත්තා ඉන්නේ!”
RPR 71 කැරැල්ලේ විත්තිකාරයෙකුවී වසර කීපයක්ම
හිර දඬුවම් විඳි කෙනෙකි.
“තාත්තා අකැමැති වුණාට මොකෝ? අවුරුදු දහයක් දොළහක් බලා
හිටි එකේ දැන් තියන්නේ හොරෙන් හරි උඹලට කසාද බඳින්න.” මගේ උපදේශය වුණේ ඒකය. “මොකෝ,
හැට පැනලා හොට බිම ඇනුනට පස්සෙද බඳින්නේ?”
“එයාත් කියනවා එහෙම කරමු කියලා. ඒත් නිමල් මං
එහෙම කළොත් අපේ තාත්තා අපේ අම්මට ගහලම මරනවා, මාව බලාගත්තේ ඔහොමද කියලා! ඔයාට ඉතින් අපේ තාත්තා බීගත්තම කොහොමද කියලා කියන්න ඕනෙය. අනෙක
නිමල් මං වැඩිමලී හිංදා නංගිලා මල්ලිලා ගැනත් හිතන්න එපාය. මං එයාට කිව්වා වෙනින්
කෙනෙක්ව බැඳගන්න කියලත්. මං නම් වෙන කසාදයක් කර ගන්නේ නැහැ කීයටවත්. එයා නැත්තං
තනිකඩවම ඉන්නවා.”
ඒ සියදිවි හානියට හේතුව............... |
පෙම්වතා ගැනත්, දෙමව්පියන් ගැනත් එහෙම හිතූ
BAට දෙවියෝ බැලූහ. අන්තිමේදී ඇයගේ තාත්තාගේ අවසරය ලැබී විවාහය සිදුවිණි.
දියණියකුත් ඉපදිණි. මා 85දී යළි ලංකාවට එද්දී ඒ දුවටත් වසර දෙක-තුනක් වුණා වගේය.
ඒ තිදෙනාම දවසක් හිමිදිරියේ මා හොයාගෙන ආවේ
සුබ පණිවිඩයක් අරන්ය.
“නිමල්, ඔයා ඉඩමක් හොයනවා කියලා ආරංචි වුණා. අනේ, කොහොම හරි
අපේ ඉඩමට අල්ලපු කෑල්ල ගන්නකෝ. වනිගෙලගේ පුංචි අම්මගේ. (අනේ පාලි තව චුට්ටක් -
පෝස්ටුවේදී පිහි ඇනුම් කා මියගිය තරුණයන් දෙදෙනාගේ පුංචි අම්මාය, මේ.) ඉඩම වටිනවා.
අපි කතා වුණේ ඔයා වගේ එක්කෙනෙක් අපේ
අසල්වැසියෙක් වෙනවා නං, ඒක කොච්චර එකක්ද කියලා!”
මා වෙනුවෙන් වැඩියෙන්ම වෙහෙසුණේ ඔවුන්ය. මම
ඉඩම ගත්තෙමි.
එහෙත් මගේ ගෙය හදන්නට පෙර ඔවුන්ගේ කැණිමඬල කඩා හැළුණේය. කිසිවකු
සිහිනෙන්වත් එබන්දක් සිතා තිබුණේ නැත. ඒ වතාවේ දෙවියෝ අහක බැලූහ.
RPR මුලින්ම හොඳටම බීමත්වී, ඔවුන් වතුර ගන්නා
ළිඳේ හරස් යකඩ බටයේ ගැට ගැසූ ලණුවකින් ගෙලට තොණ්ඩුවක් දමාගෙන, වසත් පානය කොට ළිඳට
පැන සියදිවි නසා ගත්තේය. හේතුව ‘රේස්’ය!
හේතුව හරියටම කිව්වොත්............ |
හරියටම කියනවා නම් ‘රේස් බයි රේස්’ය.
“අනේ බලන්නකෝ නිමල්. එයා මටවත් කිව්වේ නැහැ. අපි
පණ ගැට ගහගත්තේ මං ඇඳුමක්, කොට්ට උර ටිකක් මහලා විකුණන්න දාලා හම්බ කරගත්
සල්ලිවලින්. පොතෙත් සල්ලි ටිකක් ඉතිරි කරගෙන තිබ්බා. මංවත් දන්නේ නැහැ. එයා සැරින්
සැරේ ඒ සල්ලි අරන් රේස් බයි රේස් ගිහින් සේරම සල්ලි ඉවර කරලා. අන්තිමට මට මූණ
දෙන්න බැරිවයි වහ බීලා තියෙන්නේ. සතයක්වත් නැතිව උනත් මොකද නිමල්, මට එයාව ඉතිරි
වුණා නම්.” BM ඇඬූ කඳුළෙන් යුතුව කිව්වාමය මං කතාව දැනගත්තේ.
ඒ අහිංසකාවිය නැවත විවාහයක් කරගත්තේ නැත.
තනිව දියණිය උස්-මහත් කළාය.
නැටුම් ශිල්පිනියකවූ දියණියට ගුවන් සේවිකාවක වීමේ වරම
ලැබිණි. දැන් විවාහක මවක වෙන ඇය එංගලන්තයේ වෙසෙන බව මා ඔබට කියන්නේ දෛවයේ විශ්මිත
තීරණ කෙබඳු දැයි පෙන්වන්නටත් එක්කය.
දක්ෂ නැටුම් ශිල්පිනියකවූ ඇය පසුව ගුවන් සේවිකාවකවී.... |
මේ කතන්දර, විනම්බෑසි මොනවාවත්ම නොතේරෙන
තිරිසන් අශ්වයන් ඊයේ මෙන්ම අදත්, හෙටත් පුහුදුන් මිනිසුන් වෙනුවෙන් දුවනු ඇත.
නසිනු ඇත.
එහෙත් ඔවුන් නිසාම BMලාගේත්, අපෙත් ජීවිත නම්
වෙනස්ම මාර්ගවලට අවතීර්ණ වුණේය.
අශ්ව රේස්වලින් අපේ ජීවන රේස් එකට නම් ලොකුම
ලොකු පිම්මක් ලැබුණේය. එයට මුල පිරුණේ SU අයියා රේස් තුණ්ඩු ගන්නට අපේ ගෙදරට
පැමිණි නිසාය. එමඟින් SU අක්කා අපේ අම්මලා සමඟ හිතවත් වුණු නිසාය.
මා ඊට කෘතගුණ
දැක්වූවේ දෙවසරකට ඉහතදී අපේ අම්මාත් ලංකාවට ආ වෙලාවක SU අක්කාව අපේ ගෙදරට කැඳවා,
මාතින්ම පිසූ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමෙනි; ඇයට අපේ අම්මාත් එක්ක ආගිය කතා
සිත්සේ දිගාරින්නට ඉඩ සලසා දීමෙනි; ඔවුන්
නිසා අපේ ජීවිතයේ සිදුවූ මහා පෙරළිය ගැන ඔවුනට තුති පිදීමෙනි.
දැන් ඔවුනටත් ‘ජග වාසි’ය.
ඔවුන්ට වාසි වුණේ රේස්වලින්ද
නැද්දැයි නොදන්නා මුත් අද ජය-පහට ඉන්නා ඒ පවුලේ දුදරුවන් හැමෝම පාහේ මට පමුණුව
පාරේදී නිතර හමුවෙයි. ඔවුන් හැමෝම ‘පාංකඩ පමුණුවේ’ රෙදිපිළි වෙළෙඳාම කරන්නෝය! එයින්
දිවිය සරු කර ගන්නෝය!!
ඒ හැමෝමත් මේ පාංකඩ පමුණුවේ රෙදි බිස්නස්........... |
හැබැයි මේ බිස්නස් එක පමුණුවට එන්නටත් පෙර පමුණුවට
ඇවිත් හිටි ගම්කාරයන් වෙන අපේ පවුලේ කාටවත්ම නම් රේස් වගෙම ඒකත් අල්ලලා ගියේ නැත. ඇත්තටම ඒකෙත්
හැටි෴
ග්‍රේ හවුන්ඩ් රේසින් ට්‍රැක් එකක් තියනව බර්මින්ග්හැම් කිට්ටුව Perry Barr Stadium කියල. යමින් එමින් ගමන් වතාවක් දෙකක් ඩබල් ඩෙකර් බස් එහෙක උඩ තට්ටුවේ ඉඳන් බලු රේස් දැකල තියෙනව. උන් දුවන වේගෙ හිතාගන්න බැරිතරම්. රේස් එක පටන් ගත්ත ගමන් ඉවරයි :)
ReplyDeleteඇත්තටම පමුණුවේ රෙදි බිස්නස් එක ප්‍රචලිත වෙන්න ගත්තෙ කොයි කාලේ වගේද ? 87/88 වගේ කාලෙත් තිබ්බ වගේ මතකයි.
පමුණුවේ රෙදි වෙළෙඳාම ගැන ළඟදීම ලියනවා. තව කිහිප දෙනෙකුගෙන් තොරතුරු ගන්න තියෙනවා කණ්ඩො. එක නැඟලා ආවේ නිදහස් වෙළෙඳ කලාපත් එක්ක.
Delete