මේක
sacred නොවුණත් ෆුල් secret මිෂන් එකකි. අප ඇසුරු කරන්නේ විවිධ මට්ටමේ අයයි. සමහරුන්ට
රහසක් රකින්නට බැරිය, නිහඬව ඉඳිල්ල පුරුදුම නැත.
බුම්මාගෙන බකුසු පාට් දමා................ |
ඒ විතරද? මඟුල් නොකිව්වත් පස්සේ නෝක්කාඩු කියති. බුම්මාගෙන ‘බකුසු පාට්’ දමති.
“හා, හා. අපිට නොකියාමනේ ඕගොල්ලෝ මඟුල් කන්නෙ.” යාළු-හිත-මිත්‍රාදීන් වැඩිවෙන එකත් කරදරයක් වෙන්නේ එහෙම වෙලාවටය.
ඉතින් බොහොම
අමාරුවෙන්; යුද්ධයක් කරලා, එහෙම දන්න-කියන උදවියගෙන්, අපේ කොල්ලාගේ වැඩේට මැච්
වෙන; රහසිගත වැඩේකට ඔබින; එක-එක මට්ටමේ 50 ක් විතරය තෝරා-බේරා පෙරලා අරගත්තේ.
මෙහෙම එළිපිට කෙරෙන (හොර) මඟුලකට වුණත් ආරාධිතයන්
තෝරාගන්න රාජකාරිය එච්චර අමාරු නම් ‘Orgy’ එකකට කට්ටිය තෝරාගැනීම කොහොම අමාරු
වේවිද?
නැහැ, නැහැ, අපොයි නැහැ. මං ‘ඔර්ගි’ එහෙමත් නැති නම්
විකිපීඩියා එකේ කියනවා වාගේ ‘sexual activityor group sex’ ඔර්ගනයිස් කරලා තියෙනවා
හෙම නෙවෙයි. දන්නවනේ. මේ මනුස්සයා හම්බවෙන ඕනෙම දෙයක් ගැන තොරතුරු හොයන එකානේ.
ඔර්ගි පාටිවලට සාහභාගී වෙන්නෙම ඇති-පැති අයලු. බොහෝවිට දන්නා-කියන උදවියලු. ඉතින්
කණ්ඩායමක් විදියට එකට එකතු වෙලා, එකටම නිරුවත් වෙලා, එක පොකුරට එක එක්කෙනා
එක්ක...... ගමේ භාෂාවෙන් කියනවා නම් ‘නිඳි වැදලා’ ඊට පස්සේ.....?
Orgy පාටි එකක සිත්තමක්........ |
මිනිසුන්ට වස්තුව-වලඳුව වැඩි වෙද්දී ‘තෙල් මන්ද ආරනවා’
කියලා ගමේ අය කිව්වේ මෙහෙම අය ගැනය. එදා වේල හරි කර ගන්නට දත කන උදවියට ඔහොම
විවිධත්වය හොයන්නට වෙලාවක් නැත. නාස්ති කරන්නට කාසි පනම් ඇත්තෙත් නැත.
ඒත් එහෙම එව්වා එදාත් තිබුණේය. අදත් තියෙන්නේය. හෙටත්
තියෙනු ඇත. උඩින් යෙදූ Edourad-Henri Avril ගේ සිත්තම මං කියන්නේ නැති ගොඩක් දේවල්
ඔබට කියනවාට සැක නැත.
ඒත් එක කාරණාවක් නම් කියන්නම වෙනවාය. අපේ රටේ ගොඩක්
දෙනාගේ ලිංගික මාත්සර්යය නම් හොඳටෝම වැඩියි වගේය. මේ තරම් ගහ-මරා ගැනිලි සිදු
වෙන්නේ ඒ නිසා වගේය. ‘තොපට එපා නම් එක වාරයක් අපා - දහස් වාරයක් අපටත් එපා තොපා’
කියලා ඉවසා ගන්නට අපට බැරිද?
තරගකාරයන් මරන්නට හෝ මරාගෙන මැරෙන්නට හෝ තමන්ගේ
ජීවිතයම නැති කරගන්නට හෝ ඕනෑද?
ඔය ටික මගේ හඳුන්පොතට ආවේ එදා මංගල්ලයේ දර්ශන අද; මේ දැන්
ඇහේ නටන්නට ගත් විටදීය. තමුන්ගේ පෙම්වතිය, තමුන්ගේ හොඳම යහළුවෙකු සමඟ මංගල පෝරු
මස්තකාරූඪ වෙනවා දකිද්දී චානිට මොනවා හිතෙන්නට ඇතිද?
හිතුණු දේවල් කොහොම වෙතත් “වෙඩින් එක නියමෙටම කෙරෙනවා
මචං. උඹලගේ ඇක්ටින් සුපර්බ්!” කියලා නම් එවෙලේම චානි අපේ කොල්ලාට කියා තිබිණි.
අන්ධ ගායක හෙන්රි කල්දේරා............ |
සිංදු අහන ඕනෑම කෙනෙකු අන්ධ ගායක හෙන්රි කල්දේරා ගැන
නොදැන ඉන්නට බැරිය. මට අනුව නම් හෙන්රිගේ හඬ ‘හොඳම හඬ පෞරුෂයකි’. තත් තත් තත් තාර
පැටිය, පෙනුණු සුව දසුන්, මිදුලේ සුදු වැලි තලයේ, කන විදින වෙලේ වැනි අපූරු ගී
රැසක්ම ඔහු ගයා තිබෙයි.
ඒ අතරේම මෙතෙක් වෙන කිසිම ගීත රචකයෙකුට විෂය නොවුණු
අත්දැකීමක් සහිත ගීතයකුත් හෙන්රි ගයයි.
“ඊයේ උදයේ ඔබ පෝරුව මත හිඳුවා
- හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා හිටියා!”
කවුරුන් ඒ ගීතය රචනා කළේදැයි හොයන්නට ජාලය පුරා සැරුවත් මම අසමත් වීමි.
ඒ විදියට
බලද්දී නම් දුකත් හිතෙයි. නිර්මාණකරුවෙකුගේ අනන්‍යතාව වැදගත් නැතිද? ඉස්සර නම්
රේඩියෝවෙන් සිංදුවක් ප්‍රචාරය වෙද්දී ගායකයාගේ නම විතරක් කිව්වේ නැතිය. පද
රචකයාගේත්, සංගීතඥයාගේත් නම් දෙකත් කියවුණේය. දැන් එහෙම කරන්නට බැරි ඇයි?
පෝස්ටුවේ තැනින්-තැන අපේ මේ මංගල්ලය හොර මඟුලක්; මරිසි මඟුලක් විදිහට
මං කිව්වත් හරියටම බලද්දී ඒකේ කිසිම හොරයක්; මරිසියක් තිබ්බේ නැත.
සේරම චාරිත්තර
කෙරුණේය. වාරිත්තර අතහැර දැමුණේය. චාරිත්‍ර කියන්නේ ඉටු කළ යුතු ඒවාටය. වාරිත්‍ර
කියන්නේ සිදු නොකළ යුතු දේවලටය. එහෙම අතහැර දැමූ එකම චාරිත්‍රය ‘නව යුවළ මංගල මධු
සමය ගත කරන්නට යාම’ විතරය!
වෙඩින් එක අහවරවී අපේ කොල්ලා අපත් එක්කම ආපහු ආවේ චානි
කොල්ලාගේ අලුත් මනාලිය සුජාත් එක්ක පිටත් වෙද්දීය!!
ඒත් පෙනුණු විදියට නම් අසරණ චානිටවත් එදා මධු සමයක්
තිබුණා වෙන්නට බැරිය.
මඟුල තිබුණේ බොල්ගොඩ ගඟේ ................ |
මඟුල තිබුණේ බොල්ගොඩ නදිය අසබඩ හෝටලයකය. ඒකට යන්නට
වුණෙත් බෝට්ටුවලිනි. අපේ ආරාධිත අමුත්තන් වැඩි දෙනෙකු ඊට කලින් එහාට ගිහින් තිබුණේ
නැත. ඒ තියා මාත්!
දැන් මට හිතෙන්නේ එදා චානිට සෑහෙන මුදලක් වියදම් වෙන්නට ඇති
බවයි.
ඔහොම කසාද බඳින්නට උදවිය යුරෝපා රටවලදී හොයා ගන්නත් පුළුවනිය. හැබැයි
නිකම්ම; පිනට නොවේ. සල්ලි ගෙවලාය. ඒත් ඒකේ ඊළඟ කටයුතුත් ලෙහෙසි නැතිය.
දැන් හිටි
ගමන් රජයේ නිලධාරීහු ගෙදරට කඩා පනිති. ගෙදර සෝදිසි කරති; ඇත්තටම ඒ ඉන්නේ කසාද
බැන්ද ජෝඩුවක්ද කියලා හොයා බලති.
“ඒක තමයි ලොකයියේ අමාරුම වුණේ. චානි අතින් කුලිය ගෙවලා
ෆ්ලැට් එකක් අරන් තිබුණා. කොයි වෙලාවේ හෝම් ඔෆිස් එකේ එවුන් පනියිද කියලා කවුද
දන්නේ.
ඉතින් මටයි සුජාටයි ඒ ගෙදර ඉන්න වුණා. විශේෂයෙන්ම රෑට.
චානිත් හිටිය නම්
තමා. මටයි කෙළවුණේ. හිරේ දාලා වගේ. එපා වුණා!” අපේ කොල්ලා තවත් විස්තර කියද්දී කියැවුණේය.
“දැන් ඔහොම සල්ලිවලට බඳින කොල්ලෙකුට හරි, කෙල්ලෙකුට
හරිත් එහෙම එක ගෙදරම ඉන්න වෙනවද?”
“100% ක් නැති වුණත් එහෙම කරන්න වෙනවා. නැත්තං හෝම්
ඔෆිස් එකේ අයව සැටිස් කරන්න තරම් දේවල් ප්‍රසන්ට් කරන්න වෙනවා. ඉස්සර නම් සුද්දොත්
මෝඩයි......
ඒකටත් එක්ක දැන්. වෙඩින් ෆොටෝ එක ගහලා තිබුණත් මදි.
වෙඩින් ඇල්බම් එක
තිබුණත් මදි. බිල් ගෙවපුවා තිබුණත් මදි. ඩොකියුමන්ට්ස්වලින් විතරක් දැන් ඉන්න
සුද්දන්ව රවට්ටන්න අමාරුයි, ලොකූ.
උන් මෙහෙම ගේකට පැනපුවාම බාත් රූම් එකට ගිහින්
ටූත් බ්‍රෂ් කීයක් තියෙනවද, ටවල්ස් කීයක් තියෙනවද වගේ පුංචි ඩීටේල්ස් හිටං බලනවා. අපේ
උන්ගේ රැකට්ස්වලින්ම උනුත් ඉගෙනගෙන ඉන්නේ”
වෙඩින් ෆොටෝ එක තිබුණත් මදි ............ |
අනෙක් අතට දික්කසාද වීමත් වියදම් වැඩි වැඩකි. ස්වාමි පුරුෂයාට; husband ට
වැඩියෙන් හැම නීති වාසියක්ම තියෙන්නේ බිරින්දෑටය. කසාදයක් දික් කරගනිද්දී
මහත්තයාගෙන් නෝනාට වන්දියක්, දේපලවලින් කොටහක් එහෙමත් ගෙවන්න වෙයි!
ඔව්වා කියන්නේ
තවමත් මේ පරණ උපක්‍රම පාවිච්චි කරන්නට හිතාගෙන ඉන්න උදවියගේ හිත සුව තකමිනි.
1996 දෙවෙනි වතාවට; සමන්ති නංගිගේත්-බිමල්ගේත් මංගල්ලයට
මා එංගලන්තයට ගිය වෙලේ Mr. Aheer නම් පකිස්තානු ජාතිකයෙකු අඳුනා ගන්නට ලැබිණි.
ඒකත්
නීති විරෝධී වැඩක් කරන්නට ගිය විටෙකය. එයාගේ ගාමන්ට් එකක රෙදි මදින රස්සාවක්,
තාවකාලිකව මට හොයා දුන්නෙත් යහළුවෙකි. ඒකේ වැඩ කරන තරමක් වැඩ කළේ ඉන්දියානුවන්ය.
ඒත් අහීර් මහත්තයාගේ හිතට ඇල්ලුවේ නොරටේ මාවය.
“ඇයි උඹ ආයෙම ලංකාවට යන්න හදන්නේ? පිස්සුද? මෙහාට එන
හැමෝම හදන්නේ කොහොම හරි මේ රටේ ඉන්න විදියක් හොයා ගන්නයි. මං උඹට හොඳ ඉන්දියන් ගර්ල්
කෙනෙක් හොයලා දෙන්නම්, මැරි කරන්න. ටික දවසකට පස්සේ උඹට සිටිසන්ෂිප් එක අරගන්නත්
උදවු කරන්නම්. මොකද කියන්නේ?”
මේ ඇත්තන් දිහා අප බලන්නේ පිටස්තරයන් විදියට නේද? |
මොනවා කියන්නද? අකැමැත්ත මිස.
හොර
පාරෙන් එංගලන්තයට ආ ප්‍රසාද්, බන්ටි හා වික්‍රම් නම් ඉන්දියානු හාදයෝ තුන් දෙනෙකුත් ඒ ගාර්මන්ට් එකේම ඇඳුම් මදින්නට ආවෝය. IT උපාධිකාරයෙකුවූ ප්‍රසාද් එංගලන්තයට ඇවිත් තිබුණේ සෑහෙන
කට්ටක් කාලා, ගොඩබිම් පාරෙන්ය. වාහනයක යට තට්ටුවේ හැංගිලාය. ට්‍රයි කළේ ඉන්දියන්
කෙල්ලකු දැලේ දාගෙන කසාද බැඳගන්නටය. ෆැක්ටරියේ හැමෝටමත් ඒක රහසක් වුණේ නැතිය. ඒත්
කිසිම කෙනෙකු ඔහුට උදව්වක් කරන්නට හිතුවේ නැත. අහීර් මහතාවත්! කොහේ උදව් කරයිද? ප්‍රසාද්
ශරීර හොරෙකි. බැලුවෙම නිකං ඉඳන් පඩි කන්නටය.
අනෙක් අයට නම් මා දන්නේ නැත. මට නම් ඒ රටේදී දැනුණේ මං
‘second class’ පුරවැසියෙකු විදියටය.
කොච්චර කිව්වත්, ප්‍රගතිශීලී කෙනෙකුට වුණත්
අපේ රටේදී දෙමළ ජාතිකයෙකු පෙනෙන්නෙත් දෙවෙනි පන්තියේ මිනිහෙකු විදියට නේද?
ඉතින්
මගේ මෝඩ අහංකාරකමටද නැතිනම් උද්ධච්චකමටද මන්දා උපන් රට දමා නොරටකට යන්නට; ගිහින්
පැළපදියන් වෙන්නට මා නම් කැමැති නැත. මටම මං ගැන පුදුමය. මට එහෙම හිතුණේ අපේ
අම්මාත්, නංගිලා මල්ලිලා හතර දෙනෙකුත් එහෙ හිටිද්දීත්ය!
“හරි. උඹ ගියත් ආයෙම වතාවක හරි එංගලන්තෙට ආවොත් මාව
contact කරන්න අමතක කරන්න එපා. කවදා ආවත් උඹට මම job එකක් දෙනවා!” අහීර් මහත්තයා
එහෙම කිව්වේ මට තිබුණු ආදරේකටත් වඩා, එයාට වෙන වාසිය සලකා බලලාය.
ඕනෑම කෙනෙකුට තමා උපන් රටේදී; මව්බිමේදී දැනෙන අභිමානය
වෙන රටකදී දැනෙනවාය කියලා මට නම් හිතෙන්නෙම නැත!
“පුරුදු ලෙස මා ඔබ දකින්නට - පැමිණ මංගල සිරියකි දුටුවේ
සබේ කිසිවකු ඉබේවත් නැත - ඇසක් මා දෙස යොමා බැලුවේ
කිමද මේ අරුමේ - මට නොහැඟෙයි ප්‍රිය සොඳුරේ”
හෙන්රි කල්දේරාගේ සිංදුවේ අන්තරා කොටසෙන් කියන්නා වගේ
එදා මංගල්ලයෙදීත් හැමෝම බලා උන්නේ අපේ කොල්ලාත්, සුජාත් දිහාවේය.
මඟුලේ මහ
මොළකාරයා වුණත්; රහසිගත ප්‍රධාන නළුවා වුණත්; සේරම විය-හියදම් දරන්නා වුණත් චානිට
no place ය. ඇත්තටම එදා නම් චානිට දැනෙන්නට ඇත්තෙත් පුංචි පහේ මදිකමක් වගේය.
පුරුදු ලෙස මා ඔබ දකින්නට.............. |
එහෙම වෙන්නත් එපායෑ. පැය තුන හතරක් හිතින් විඳෙව්වත්
මොකද, කරන බොරුව හරියටම කරන්න ඕනැනේ. ෆොටෝවලදීවත්, වීඩියෝවේදීවත් චානි කැපී
පෙනුණේම නැත.
මේ ළඟදී දවසක, මේ සිද්ධියත් පෝස්ටුවකට හොඳ නිමිත්තක්
හිංදා විස්තර මතක් කර ගන්නට හිතා, මම අපේ කොල්ලාට එන්නැයි කිව්වෙමි. අපරාදේ කියන්නට බැරිය. ඌත් ආවේය. “දැන්
කොහොමද චානිලට?”
“දැන් හොඳයි ලොකූ. මං සුජාව ඩිවෝස් කළාට පස්සේ චානි එයාව
මැරි කළා. දැන් එයාලගෙ ළමයිනුත් ලොකුයි.” කොල්ලා කිව්වේය.
“ඒ වගේම ලොකයියේ, ඔයා බ්ලොග් එක ලියනකොට කිසිම ඇත්ත නමක්
එහෙම දාන්නත් එපා. කාට හරි ප්‍රශ්නයක් වුණොත්!” කොල්ලා එහෙම ඉල්ලා ඊට පස්සේ තවත්
වැදගත් ඔත්තුවකුත් දුන්නේය. “ලොකූට හිතා ගන්නවත් පුළුවනිද මං චානිට උදව් කළේ
ඔයාගෙයි, ඔයාලගේ අම්මගෙයි වැඩ දැකපු නිසා කියලා?”
“අපි හිංදා? අපේ වැඩ හිංදා? ඔන්න අම්මා නම් චානිව
අඳුරනවා වෙන්නැති. ඒත් මං චානිව දැනගෙන හිටියේ නැහැනේ.”
අපෙන් උදව්වක් ගත්ත කෙනෙක් තව කෙනෙකුටත් උදව් කරයිනේ! |
“හරි ලොකූ. ඒත් ඔයා තිස්සෙම කියනවා වගේ අපි තව කාට හරි
උදව්වක් කළොත් ඒ මනුස්සයත් වෙන කෙනෙක්ට හරි උදව් කරයි. අන්න එක ගැන හිතලයි මං
චානිට වැඩියත්ම උදව් කළේ!”
සම්මානයක් දෙනවාට වඩා ඒ වචන කිහිපයෙන් කෙරුණු ඇගයීම මට
වටියි. තව-තවත් අනුප්‍රාණය දෙයි! අප අනුන් වෙනුවෙන් පහනක් දැල්ලුවත් ඒ ආලෝකය අපේ
මාර්ගයත් එළිය කරනවා නේද?
“ඒ වගේම ලොකූ, ඔය විදියට සල්ලිවලට බැඳපු කීප දෙනකුටම හරි
කරදරත් වුණා.”
“ඒ මොකෝ?”
“උන් තව සල්ලි ඉල්ලලා ඩිමාන්ඩ් කරන්න අරන්. නැතිනම්
ඩිවෝස් එක දෙන්න බැහැ කියපුවා, ඇත්ත එළියට දානවා කියලා ‘බ්ලැක් මේල්’ කරන්න හදපුවා
එහෙමත් පස්සේ ආරංචි වුණා!”
“මිනිස්සු එහෙම තමයි .... තණ්හාව හිතුණාම නොකරන දෙයක්
නැහැ. මොනවා වුණත් ඔයාට වගේම මටත් සතුටුයි පොඩියට හරි එහෙම දේකට සපෝට් කරන්න
ලැබුණට.
එහෙම කරන්න කියලා මගෙන් ඉල්ලලා මාවත් ඔයාලගේ මරිසියට හවුල් කර ගත්තට
ඔයාටත් ගොඩක් ස්තුතියි.”
දැන් අපේ කොල්ලාත් දෙදරු පියෙකි. පුතාලාම දෙන්නෙකි.
ලොක්කා එන අවුරුද්දේ ඕලෙවල් ලියන්නට සූදානම් වෙමින් හිඳියි.
කවුරුන් කොතැනින් කොහොම හරි පොටක් පාදා ගනීවිද.............. |
අප හැමෝම එකතුවී කළේ ‘මරිසියක්’ වුණත් හොඳ චේතනාවකින් කළ
නිසාදෝ කිසි අවුලක් වුණේ නැත. හැබැයි ඔයාලාත් මෙහෙම මරිසි කරන්න ඉන්නවා නම්
පරෙස්සමින්!
දැන් නීති තදම තදය. කවුරුන් කොතැනින් කොහොම හරි වැරැදි පොටක් හොයා ගනීවිද
කියා සැකයෙන් ඉන්න. එය ප්‍රවේසම් සහගතය. ඒ නිසාම මිෂන් එක කරන්නට වෙන්නේ
අතිසූක්ෂ්ම විදියටය.
කිසිම වැරැදි පොටක්; හෝඩුවාවක් ඉතිරි නොකරය෴
මේක මාරම මරිසියක් නෙව ... අපි කිහිප වතාවක් ඉංගලෑන්ඩ් වෙත ගිහින් මාසයකට වැඩිය ගත කරල තියෙනව. නමුත් යුරෝපයේ අනිත් රටවලට සාපෙක්ෂව එහි දෙවෙනි පෙළ පුරවැසියෙක් විදිහට දැනුනේ නැහැ, උදව්වක් මිස කරදරයක් උනෙම නැහැ ... සමහර විට ඒ අපි සංචාරකයො උන නිසා වෙන්නත් ඇති ... අපි මැදපෙරදිගදි එයිට වඩා නොසෑහෙන කරදර වලට මුහුණ දීල තියෙනව.
ReplyDeleteකණ්ඩා, මං නම් යුරෝපා රටකට ගියේ එංගලන්තෙට විතරයි. ඒ නිසා මගේ දැනීම මදි. ඔයා කියන විදිහට වෙන රටවලට සාපේක්ෂව එහෙ ඒ ගතිය අඩුද මන්දා.
Deleteහැබැයි, කවුරු කොහොම කිව්වත්, ලංකාවේ වුණත් දෙමළ අය දිහා අපි බලන්නේ කොහොම ඇහැකින්ද කියලා මතක් කරගන්නකො. ඒකත් දුප්පතුන් ගැන විතරයි. ලොකු සල්ලිකාරයෝ ගැන නෙවෙයි.
ඒ තියරියෙන් බලද්දී ඔයාලා සංචාරකයන් වගේ ගිය නිසා සාමාන්‍ය ජන ප්‍රතිචාර නොදැක්කා වෙන්නත් ඉඩ තියෙනවා.
ඔව් ඒ එක්කම භාෂාව සහ අදහස් හුවමාරු කරගැනීමේ පහසුවත් ඊට බලපාන්න ඇති.
Delete