නිමල් දිසානායක කියන්නේ මාර- පුදුමාකාර වාසනාවන්තයෙක්!
නැත්තං හතරපස් වතාවක්ම මාරයාව මුණ ගැහෙන්න ඔන්න මෙන්න කියල තිබුණු අවස්ථාවන්
ඒකාට මඟ හැරෙයිද? එහෙම බේරි බේරී ඉන්න වාසනාවන්ත වෙච්ච මං වහන්සේගේ තවත් උපන්
දිනයක් දවසේ උදේ පාන්දරින්මයි මේ post එක පළ කෙරෙන්නේ.
මේකත් මට කල් ඇතිවම ලැබුණු උපන් දින තිළිණයක්.
![]() |
කතා කළේ අපේ අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයා... |
දෙවෙනි තෑග්ග හම්බ වුණේ 2025 සැප්තැම්බර් 25 උදේ පාන්දර හයට.
ටෙලිෆෝන් එක වැදෙන්න ගත්තාම මට පුදුමත් හිතුණා. ‘කවුද බොලේ මේ පාන්දරම?’
කතා කළේ අපේ අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයා.
“අයියා නැඟිටලා නේද ඉන්නේ?”
“අපොයි ඔව් පීරිස් මහත්තයෝ! මෙදා සැරේ බෙහෙත් සැර පිට දාන්නේ මට හරියට නිඳා ගන්න
නොදී. මේ ටිකේම රෑ මැද්දේ ඇහැරෙනවා. ඉතිං... ඉතිං... මොකෝ අවේලාවේ.”
“ගිය සුමානෙ අපේ ඩිස්කෂන් එකෙන් පස්සේ නිමල් අයියා දිගටම මට බල කරල
කිව්ව නේද, ඒ ගැන ලියන්නයි කියලා. මේවා ලෝකෙටම කියන්න වටිනවයි කියලා. (යුෂ්මතාගෙන්
මළ වදේ හලෝ!) වැඩ කෝටියක් අස්සේ ඔන්න මම ඒක draft කළා. දැන් ඊමේල් කළත් එක්ක. ඒක
මගෙන් ඔයාට දෙන උපන් දින තෑග්ගක්!”
“මම දැන්මම බලන්නං. උදේ ඊමේල් බලද්දී ඒක තිබ්බේ නැහැනේ.”
“මම දැනුයි අයියේ ඒක එව්වේ.”
එවෙලෙම මං ඒක කියෙව්වා!
මං දැකල තියෙන හුඟක් බොන මිනිසුන්ට තියෙන පුරුද්දක් මටත් තියෙනවා. එයාලට තනිවම බොනවට
වැඩිය සොමියක් තියෙනවලු කට්ටිය එක්ක බොද්දී. ඒ වගේමයි මටත්.
හොඳ පොතක් කියෙව්වම- හොඳ කලා නිර්මාණයක් රස වින්දම- හොඳ සාකච්ඡාවක නිරත වුණාම ඒ අත්දැකීම
හැකිතාක් අය එක්ක බෙදා ගන්නයි මං කැමති.
අයස්මන්ත හිතවතා සතියකට දෙවතාවක්වත් අපේ ගෙදරට ගොඩ වැදෙනවාම නෙව. ඒ
ආවාම සීනි නොදැමූ කෝපි මග් එකක් තොල ගාමින් (සමහර වෙලාවට කෝපි mugs දෙකක්- තුනක්
දක්වාත් ඒ ගණන ඉහළ යනවා) උන්නැහේ ලෝකේ වටේ යනවා. මාවත් කැන්දාගෙන.
ඒකෙන් ලොකුම වාසිය ලැබෙන්නේ මටයි! මට කරන්න තියෙන්නේ සාවධානව අසා සිටිල්ල
විතරයි. සමහර වෙලාවට පුංචි අතුරු ප්‍රශ්නයක් හෙමත් දාන්න වෙනවා; මං එච්චර
විදග්ධයෙකු නොවෙන නිසා.
කොච්චර වැඩ තිබ්බත් නිතිපතාම ‘දැනුම යාවත්කාලීන කර ගන්න මේ ත්‍රිභාෂා
උගතා’ පැය ගණන් මහන්සිවෙලා උකහා ගන්න දැනුමෙන් කොටහක් ඒ විදිහට මටත් බෙදල දීලයි
ගෙදර යන්නේ!
ඉතිං... අයස්මන්ත හිතවතා
එවූ ඊමේල් එක කිසිම වෙනසක් නොකරම ඔයාලට ඉදිරිපත් කරන්නයි මං හදන්නෙ. එයාගේ අක්ෂර
වින්‍යාසවලට- ව්‍යාකරණ නීති රීතිවලට අනුකූලව ලියන එව්වා වෙනස් කරනවාට ඒ යක්ෂ
පැටියා කැමති නෑ. ඒකයි, ඒවා edit නොකරන්නේ...
![]() |
ඔයාගෙ මේ සැරේ උපන් දිනයට දින හතරකට කලින් දුන් සර්ප්‍රයිස්
පාටියෙදී... |
සෑම්ගේ ලංකාගමනය දීපානිටවත් කියල නැති එකයි ලොකුම දේ!
අපේ චූටි නංගි දීපානිත් මගේ උපන් දිනය වෙනුවෙන්ම
දවස් තුනකට ලංකාවට එන්න සූදානමින් ඉන්නේ. එයාගේ දුවෙකුයි පුතෙකුයි එක්ක.
හිතාගෙන ඉන්න දේවල් සේරම යථා පරිදි සිද්ද වුණොත්- ඔක්තෝබර් 3
වෙනිදා පාන්දර මේ post එක publish වෙද්දී, අපි කට්ටියම බලංගොඩ, සීතගල අපේ සුනිල්
ගෝඨාභය දිසානායකලගේ ගෙදර ඉඳියි; තේ මේසෙට වාඩි වෙලා. උපන් දින කේක් එක කපන්න
සූදානමින්.
B’day කේක් එක කපන්න හදන්නේ සුනිලුයි මායි දෙන්නම එකතු වෙලා.
සුනිලා මගේ මල්ලී වුණාට මොකෝ, එයා මට වැඩිය සුමානයක් වැඩිමල්! එයාගේ උපන් දිනේ
සැප්තැම්බර් 26 වෙනිදනෙ.
ඔය මදැයි නේද නිදිගෙ පට්ටන්දරේ දිගෑරියා. මෙන්න, මෙන්න අයස්මන්ත
පීරිස් මහත්තයාගෙන් මෙදා සැරේ මට ලැබුණු සුවිශේෂ උපන් දින තෑග්ග:
‘නිමල් අයියේ,
ආමන්ත්‍රනය 'දයාබර නිමල් අයියේ' කියල දාන්න හදලත්, ඒක වෙනස් කලේ
තරහ ගිහින් ‘ඔයාගේ කෝප දීප්ත නේත්‍ර වලින් ගිනි පිට කරල මිනිස්සු පුලුස්සන එක’ මහරගම
සෙට් එකේ අපි හොඳින් දැකල තියන නිසා.
ඉතින් මේ අගක් මුලක් නැති වැල්වටාරම ඔයාගෙ උපන්දිනේ
වෙනුවෙනුයි එවන්නේ. ජීවිත කාලයක් මේ ගෙන්දගම් පොලව එක්ක හැපිලා ඔට්ටු වෙවී, ඔයාගෙ නංගිලා
මල්ලිලාට අම්මා+ තාත්තා වී, මෙරට
සහ එංගලන්තයේ උසස් ජීවන තත්ව ලබා දෙන්න ඔයා කල මහන්සිය, කැප කිරීම් මම
හොඳටම දන්නවා අයියේ. ඒ වගේම ඔයා ඔයාට තියෙන ආදරය අඩු කර නොගත්ත බවත්, නිසි පාසල් අධ්‍යාපනයක්
ඉවරයක් කරගන්න බැරි උනත් මේ ජීවන විශ්ව විද්‍යාලයේ ඔයා සම්මානිත මහාචාර්යවරයෙක්
වුණු බවත් අපි දන්නවා.
ගංගොඩවිල පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් හි ඔයා වැඩ කරන කාලේ සුනිල් ආරියරත්න, සුචරිත ගම්ලත්, කේ. ජයතිලක, නලින් ද සිල්වා වැනි කෘතහස්ත, අග්‍ර ගන්‍ය මහාචාර්යවරුන් පවා සිය පොත් මුද්‍රනයේදී ඔයාගෙ සෝදුපත් බැලීම, එහි සදොස් තැන් පෙන්වාදීම් ආදියෙදි එතුමන්ලත් ඔයාගෙ වචනෙට උඩින් ගියේ නැහැ වගෙයිනෙ.
2013දි, ඔයාට වයස අවුරුදු 59දි නේද ඔයාගෙ මල්ටිපල් මයෙලොමා (මගේ? අනේ මල්ටිපල් මයෙලොමාව මගේ නං නෙවෙයි!) පිලිකාව හඳුනා ගත්තේ? (එතකොට අපි ජීවිතේ ප්‍රථම වතාවට කතරගම පාදයාත්‍රා වන්දනාවෙ කිලෝමීටර් එකසිය ගනන දවස් 4න්, හින්දු පුද සත්කාර අනුයමින්, පාගමනින් ගිහින් අවසන් කරලා වැඩි කාලයක් නෑ.)ලැබුණු ආරංචියෙන් ඔයාට වඩා මහරගම ගැන්සියේ අපි දරුනුවටම
මානසිකව වැටුනා. මේක රුධිර සෛල වල පිලිකාවක්; බෙහෙත් වලින් පාලනය කරන්න පුලුවන් මුත් ඒ සෛල මරන්න
බෑනෙ.
මම සිහි කැඳෙව්වා වගෙ එතකොට ඔයාගෙ වයස අවුරුදු
59යි; දැන්
මට 55 වේගන එනවා... එනයින් ආයෙත් වංගියක් එහෙ බලලා මෙහෙ බලද්දි මට…?
ඉතින්, මම ඔයාට උපන්දින තෑග්ග වශයෙන් අවුරුදු
35 තිස්සෙ දිග ඇරෙන කතාවක් කියන්නම්.
ජීව විද්‍යා අංශයෙන් මම අධ්‍යයන පොදු සහතික /
උසස් පෙලට ඉඳගන්නෙ 1989 වසරෙදි. මරනයේ දේශයක් උන කාලයක, දෙපාරක් මරනය
දැක දැක විබාගෙට ඉඳගත්තා.
මම ඇතුලු ලංකාවේ 54(?) දෙනෙක් ඒ වසරෙදි විශය
4ටම විශිශ්ඨ සම්මාන අරගෙන තිබුනා. ජීව විද්‍යාව, ගනිතය, වානිජ්‍ය සහ ගිනුම්, කලා ආදී සියලු
විශය ධාරා වලින්! ඒ කාලෙ ඒ හින්දා දැනුන සතුට ගැන කියන්න වෙනම ලියන්න වෙන නිසා ඒවා
පසු දිනයකට තියන්නම්.
විශ්ව විද්‍යාල ආරම්බ කරන තුරු අපි මොකද කරන්නේ
යැයි එකෙල මෙකෙල වෙමින් ඉන්නකොට, එවක හැටියට
අපි වැනි මානවකයින්ට ලැබෙන රුපියල් 7,000ක පමන වැටුපකට කොහේ හෝ රස්සාවකට හේත්තු වෙලා
සල්ලි ටිකක් රැස් කරමු දැයි හිතමින් ඉන්නකොට පුදුම වැඩක් උනා.
ඒ වැඩෙන් අපිට වෙන්න යන දේ හීනෙන්වත් හිතුවෙ නෑ
අපි.
අංකුර අපි පා වෙවී ඉන්නකොට අපිව මකවලා විද්‍යාත්මකව
හිතන, පර්යේශන
වලට නැමියාවක් ඇති, එයින්
සමාජයට මෙහෙවරක් කරන, එනයින්
පර්යේශනකාමී උප සංස්කෘතියක් ශ්‍රී ලාංකීය සංස්කෘතිකයට ඈඳෙනවා දකින්න හීන බලපු ඇමෙරිකානු
මහාචාර්ය වරයෙක් මේ වෙද්දි අපිව රැහැනට ගන්න හදන බව අප දැන උන්නෙ නෑ.
ඔහු එසේමෙසේ මහාචාර්ය වරයෙක් නෙමෙයි නිමල් අයියේ.
නාසා ආයතනයෙන් නීල් ආම්ස්ට්‍රෝංලා හඳට යවද්දි එහි විශාල කාර්යබාරයක් කල,
චන්ද්‍ර පාශාන වල පර්යේශන බාරව හිටි, පෘථිවියෙ ජීවය ආරම්බය රසායනිකව විග්‍රහ කල, න්‍යුක්ලියෝසයිඩ
සහ ATP සම්බන්ධ
පර්යේශන නිසා නොබෙල් ත්‍යාගයට නම් කරන ලද, ඇමෙරිකානු විශ්ව විද්‍යාල වල ඉගැන්නූ, මොරටුව විශ්ව
විද්‍යාලයේ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ස්ථාපනය කරන්න මුල් වූ, ඒ ශ්‍රී ලාංකික-
ඇමෙරිකානුවා නමින් සිරිල් පොන්නම්පෙරුම.
![]() |
ඒ වෙනුවෙන් ආරම්බ කල විද්‍යා මහගෙදර තමා හන්තානේ පිහිටි 'මූලික අධ්‍යයන ආයතනය- Institute of
Fundamental Studies (IFS); දැන් මේක ජාතික මූලික අධ්‍යයන ආයතනය-
NIFS. |
(එවකට එතුමා ජනාධිපතිතුමාගෙ විද්‍යා උපදේශක; එතුමාගෙන් විද්‍යාලෝකයට
උන මහත් දායකත්වය වෙනුවෙන්, විද්‍යාජෝති
යන ලංකාවේ විද්‍යාඥයෙක්ට දිය හැකි උසස්ම ගෞරව නාමයෙන් 1990 දි එතුමාව පුදනු ලැබුවා.)
එතුමා ඒ වෙනුවෙන් ආරම්බ කල විද්‍යා මහගෙදර තමා හන්තානේ
පිහිටි 'මූලික
අධ්‍යයන ආයතනය- Institute
of Fundamental Studies (IFS); දැන් මේක ජාතික
මූලික අධ්‍යයන ආයතනය- NIFS.
A 4 ගත්ත
අපි හැමෝටම ලිපියක් ආවා IFS එකෙන්; අපේ අධ්‍යාපන
පිම්ම, ජයග්‍රහනය
සමරන්න! ඉතින් 1990 වසන්තයේ දවසක යාපනයේ, පුත්තලම, කොලඹ, ඇඹිලිපිටිය, මාතර, මඩකලපුව ආදී හැම පැත්තකින්ම අපි කන්ද උඩරට හන්තානට
රොක් උනා.
මහනුවර බෝගම්බර පිටිය අසලින් හන්තාන කන්දේ හැතැප්මයක්
නැඟ, IFS වෙත හැරෙද්දි
හදවත ගැහුනා මොකද්දෝ ප්‍රීතියකින්. ඉතාම මනරම් කඳු ගැටයක මුදුනේ කවාකාරව හිටින්න නිර්මානය
උන, හැත්තෑව
දශකයේ පරසිදු හන්තාන හෝටලය තමයි IFS උනේ. මුර කුටිය
පසු කර යද්දි දැනුනෙ මීදුම් පාවාඩ මතින් අහසින් කැන්දවාගෙන යන සෙයක්, වටේටම ඈතිනුත්
ඈතට විහිදෙන කඳු අංගනාවො ආදරයෙන් බලා ඉන්දැද්දි.
![]() |
මහාචාර්ය පොන්නම්පෙරුම අපව හැඳින්නුවෙ cream of the society ලෙස! |
මහාචාර්ය පොන්නම්පෙරුම අපව හැඳින්නුවෙ cream of the society ලෙස!
මට ඒ දවස විස්තර කරන්න අමාරුයි අයියේ.
සුන්දර හන්තානේ වරින්වර වැසී යන මීදුම අතරින් ඈත
නිද්‍රාශීලි කඳු ශිඛර භාවනානුයෝගීව සිටිද්දී... අපිව මෙච්චර පිලිගැනීමකට කවදාවත් ලක්
වෙලා නැති (ලමා වියේ අග හිටි) අපි ඉතා සැප පහසු, හිත නිමී යන IFS ශ්‍රවනාගාරයේ
පිටුපස අසුන්ගෙන උන්නා, අපි හා සමානව හැම දිස්ත්‍රික්කයෙන්ම ආ අය සමඟ කෝලයෙන් කුලුපග
වෙමින්. ඉදිරි වේදිකාවේ අර මං කිව්ව දැවැන්තයෝ. එතුමන්ලා අපිට ප්‍රශංසා කලා. ඉතා රසවත්
අන්නපානාදියෙන් සන්තර්පනය කලා. අවසන තෑග්ගකුත් දුන්නා: මොකද්ද දන්නවද තෑග්ග?
අපිට IFS හි පූර්ව විශ්ව විද්‍යාල පර්යේශන සහකාර තනතුරු පිරිනැමීම; Pre- university Research Associate- PRA.
අපි මේක තෝරගත්තොත් අර දැවැන්තයෝ සෙවනේ විද්‍යා
පර්යේශන කරමින් ඉගෙන ගන්න පුලුවන්. සෑහෙන්න වැඩ කරන්න වෙනවා. නුමුත් පඩිය නම් දවස්
පඩි; දවසට
රුපියල් 60 හෝ 65! ඒ කියන්නෙ මාසෙටම රුපියල් 1,500- 1,800 වගේ.
මේ අතරෙ හැම දිස්ත්‍රික්කයකම පලමුවෙනියා වූ අය දසදෙනෙක්ට ඔස්ට්‍රේලියා- ශ්‍රී ලංකා
ආන්ඩු වල මැදිහත් වීමෙන් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන චාරිකාවක් ලැබුන අතර A 4 ගත් හැමටම වාගේ
ඔස්ට්‍රේලියාවේ ඉහල ප්‍රමිතියක් ඇති විශ්ව විද්‍යාල වල සම්පූර්න ශිශ්‍යත්ව ලබා ගැනීමේ
හැකියාවද තිබුනා.
අපි වැඩි දෙනෙක් IFS තෝරගත්තා.
IFS උන්නු
අපේ දක්ශ ජ්‍යේශ්ට PRA ලා ඒ
වෙද්දි විද්‍යා ලෝකය කලඹලා තිබුනේ.
ඉන් නලින් කරුනාසිංහ කොන්ඩෙයි රැවුලයි වැවුනු බමුනෙක්මයි!
ඒත් මේ වෙනකොටත් ලංකාවේ ප්‍රථම සිංහල voice synthesiser ඇති, සිංහලෙන්
කතා කරන පරිගනකයක් නිර්මානය කලෙත්, IEEE
BUS Controller නිර්මානය කලෙත්, පලමු
වරට ලංකාවේ පරිගනකයක් interphase කලෙත්, එතකොටත්
මොරටු විශ්ව විද්‍යාලයට යන්න හිටි මේ නාඹර කොලු ගැටයා. (නලින්ගේ පුතා ඒ කාලෙ
තාත්තා වගෙමයි.)
තව කොලු ගැටයෙක් උන්නා- ඔහුගෙ අනවරත කතා කවි ගීතාවලිය හරිම පුලුල්, රස ලෝකයක්. නමින් ශවීන්ද්‍ර ඩයස්. ඔහු ඉන්න තැන පාලු නෑ. ඔහුගෙ තේරවිලි කවියක් හිතේ කා වැදුනා ඒ දවස් වල…
දීපාල් අයියා electron microscope එකේ පර්යේශන
කලේ. මට ඔහුගෙන් ඉගෙන ගන්න විධාන ලැබුනා. අබය අයියා, අසේල අයියා මයික්‍රෝ කම්පියුටර්
පද්ධතියෙ ඉන්නවා මතක අතර, මට dos භාශාව
උගන්නන්න උත්සාහ කලා- ඒ කාලෙත් මට පරිගනක අරහං!!
ඉහල බැච් වල ටොලූශා, හර්ශ ගමගේ, උදය, සංජීව, නිර්මලා ඉක්මනින්ම
වෛද්‍ය පීඨයට යන්න පොරොත්තුවෙන් උන්නා.
අපේ බැච් එකේ කලා විශයෙන් ආ ස්වාමීන් වහන්සේ කෙනෙකුත්
උන්නා; මාවතගම
පේමානන්ද තෙරුන් වහන්සේ. උන් වහන්සේ පැරනි අනුරාධපුරය ගැන පුරා විද්‍යා පර්යේශන වලට
සහබාගී උනා. නාලක, රසික ගනිත අංශයෙන්
ආ අතර බෝඩිමේ අපි තිදෙනා එකට උන්නේ.
යාපනයෙන් පැමිනි දුශ්‍යන්තන්, කංගා, සුබා (සුබනේසන්
නඩේසපිල්ලෛ- 1989 Bio island
first, සහ සුරේශ්ට අපි සිංහල කියා දෙන්නත්, ඔවුන් අපිට
දමිල උගන්නන්නත් උනා;
එහෙම කියා දුන්නේ සබාවක
ප්‍රසිද්දියේ කියන්න පුලුවන් වදන් නම් නෙමේ!) දුශී සහ මම අතර නිතර දාර්ශනික කතා බහ
ඇවිලුනා; ඔහු කුශාග්‍ර
බුද්ධිමතෙක් අයියේ.
දිල්රුක්ශි පල්ලියගුරු, උදයංගනී රාමදාස
(උදයංගනීගේ නෑනා සුජීවාත් අපි එක්ක), ප්‍රසාද් කටුලන්ද, නිශාන්ත විජේසිංහ, යසස් අබේවික්‍රම, සෙනරත් එදිරිමාන්න, මනුප්‍රභා, අනුරුද්ධ, ගයා විජේසිංහ, වින්ධ්‍යා කුමාරපේලි, ප්‍රියංකා අබේගුනසේකර, රෝහන මාරසිංහ, මනෝජ් පෙරේරා, නෙලුම්දෙනිය, සමන්ත සමරවික්‍රම, සමිත කවදහරි මගේ
වෛද්‍ය විද්‍යා බැච් මේට්ලා වෙන්න නියමිතව උන්නු අය.
වරුන මහසිංහ හා මම 1978 සිට කොලඹ නාලන්දා විද්‍යාලයේ
බොහෝවිට එකම පන්තියේ උන්නු අඹ යාලුවෝ. 1989 අපි දෙන්නා පාසලින් ඉහලම ලකුනු ගත් දෙන්නා
උන අතර අපි දෙන්නටම තිබුනේ එකම ලකුනු. සිසුන් තිදෙනා බැගින් ඉන්න ඩෙස්ක් පේලියේ අපි
දෙන්නාට මැදිව උන් දර්ශන් ද සිල්වා අද කොතලාවල ආරක්ශක වෛද්‍ය විද්‍යාලයේ ප්‍රතිශක්තිකරනය
පිලිබඳ මහාචාර්ය තුමා අයියේ. ලංකාවට පිතෘත්වය බලන ජාන පරීක්ශා ඉදිරිපත් කල පුරෝගාමියා
ඔහුයි-
ගනන් ගන්න එපා; මේ.....
නාලන්දේ අපේ පන්තිය ගැන පොර ටෝකක්... මෙම ලිපියේ සාදර අනුග්‍රාහකගෙන්!
එකල PRA හැටියට මම දඹල ප්‍රවර්ධනය සම්බන්ධ ජාන විද්‍යා පර්යේශන
වල නිරත උනා. මගේ අධීක්ශකයින් උනේ ආචාර්ය නිශ්ශංක ඉද්දගොඩ සහ මහාචාර්ය ඒරීස් කොවූර්; ඒබ්‍රහම් ටී.
කොවූර්ගෙ පුතා.
![]() |
පේරාදෙනි විශ්ව විද්‍යාලයට මම ගියේ මනමේ/ සිංහබාහු සිද්ධ උන ඇත්ත වනාන්තරයට
යනව වගේ. |
IFS එන්න
කලින් මනමෙ බලා මට පිස්සු වැටුනා. අවසිහියෙන් වගේ මම මනමේ, සිංහබාහු, පේමතෝ ජායතී සෝකෝ, රඟදක්වන තැන්
හොය හොයා ගිහින් ඒවා බලන්නත්, මලගිය
ඇත්තෝ- මලවුන්ගෙ අවුරුදු දා නැවත නැවතත් පදාස පිටින් කටපාඩම් වෙනකම් කියවන්නත් උනා.
ඒවා කොච්චර බලපෑවද කීවොත් හන්තානෙ සිට අපගේ වැඩ වලට නිතර පේරාදෙනි විශ්ව විද්‍යාලයට
මම ගියේ මනමේ/ සිංහබාහු සිද්ධ උන ඇත්ත වනාන්තරයට යනව වගේ. පේරාදෙනි විශ්ව විද්‍යාල
සිසුන්ට වඩා මම එහි ඇවිදල ඇති,
කොයි මොහොතේ හරි මනමේ කුමරු- දුලා කුමරිය ආවාහ කරගෙන යද්දී වැද්දා සමග සර්ගයෙදි එන:-
මුලු දඹදිවටම තොප මහරජ වුව
මාගෙ විජිතය මෙය වෙමි මම අගරජ!
යැයි ගර්ජනා කරන වැදි රජ එන හැටි, එහෙම නැත්නම්-
නොලසව ඇවිදිමින් බුදින්නට තැන් තැන් වල රැඳි සන්නන් මුවන් රැල දඩයම් කරමින් වන්නෙත්
අඳුන් බඳු දූ පුත් රුවන් වෙනුවෙන් ගල්ලෙනට යන සිංහයා:-
දස දෙස ඉන්ද්‍රා//
වෙමි මම සිංහ රාජ මෘගේන්ද්‍රා,
යයි තේජාන්විතව සබයට පිවිසෙන හැටි දකින්නට බලාපොරොත්තුව... අතරමං වූ දරුවෙක්
වගෙ සම්මත පාර වලින් පැන කැලෑ වල ඇවිද ගිය වාර අනන්තයි අයියේ.
මම සරච්චන්ද්‍රයන්ට ප්ලේටෝනිකව පෙම් කලා. මිනීමරු
භීශන සමයෙ අවසන වූ මෙකල, මහවැලි
ගඟ අසබඩ, දනහිස
උසට වල් වැදී ඈලියාවට ගිය සරච්චන්ද්‍ර එලිමහන් රංග පීඨය- සරච්චන්ද්‍ර වල- ට වැද සෝකාකූලව
බලා හිටියා මම අනේක වරක්. ඊට මෙහා ටික කලකට පෙර මනරම් අල්විස් පොකුන වටා තරුනයන් මරා
ඔවුන්ගේ හිස් දහ අටක්* (හිස් දහ අටක්! අයස්මන්ත
මහත්තයෝ, මට කල්පනා වෙන්නේ මේකයි. ඒ හිස්ගෙඩිවල අයිතිකාරයන් අතරේ කොච්චර අනාගත විද්‍යාඥයන්-
මහාචාර්යවරුන්- නායකයන් ඉන්නට ඇද්ද?) රවුමට තබලා තිබුනා, කාට කාටත් පාඩමක්
වෙන්න.
මතකද මලගිය ඇත්තෝ නවකතාවෙ නොරිකො සං ගෙ පවුලෙ සුසාන
භූමියට ගිය දා හිඟන්නෙක් ගායනා කරනවා…
මලවුන්ගේ අවුරුදු දා
තමයි මගේ අන්තිම දා
අවුරුදු දා ගෙවී යත්ම
මම මෙතනින් තුරන් වෙනව
ඉක්මනින්ම නැවත එතොත්
මලවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්ට ඇහැකි
මලගිය ඇත්තන් කැටුව ම…
හොඳින්ට වඩා නරකින් ඉවර කල ඒ භීශන සමය තුනී වෙත්ම, ජනී ජනයා මහත්
උනන්දුවෙන් නාට්‍යශාලා චිත්‍රපටශාලා වෙත ඇදෙන්න උනා, ඒ කාලය අමතක කරන්නත්, ඒ හරහා නැගි බරපතල, සමාජයක් ලෙස සාමූහිකව
උත්තර සෙවිය යුතු වූ, සාංදෘශ්ටික
ප්‍රශ්න අමතක කරන්නත් වගේ. විශේශයෙන් සරච්චන්ද්‍ර නාට්‍යයන් රටපුරා කවදාවත් නැති විදියට
රඟ දැක්වෙන්න උනා. පේරාදෙනියේ ශාස්ත්‍ර පීඨයට සරච්චන්ද්‍රයන් ගෙන්වා එතුමා සම්බන්ධ
චිත්‍රපටයක් වැනි දෙයක් කරන්න උනා මතකයි.
![]() |
මතකද නිමල් අයියේ පීටර් වයිස්ගේ මරාසාද් නාට්‍යය... |
අද දක්වාත් මට මනමෙ, සිංහබාහු නාට්‍ය කලාවෙ දේව
වාක්‍ය වගේ. කී පාරක් නම් බලලා ඇද්ද! රඟපෑම් වල ගැටලු තැනක් පැන නැංගොත් නේපත්‍යාගාරයට
ගිහින් වාද වල පැටලිලා ඇද්ද- නලු නිලියන් හා ලලිතා සරච්චන්ද්‍ර මැතිනිය එක්ක!!
සතියේ දිවා කාලයේ IFS හි දඹල හා සම්බන්ධ
පර්යේශන කරන්නත්, හවසට
අපි ඉන්නා අය හැකි විදියට රැස් වී දලදා මාලිගාවට යන්නත් නැත්නම් හෝටලයකින් ප්ලේන්ටියක්
සමග ආප්පයක් දෙකක් කා තොරතෝංචියක් නැතිව අල්ලාප සල්ලාපයේ යෙදෙමින් හෙමීට හන්තානට ඇති
හැතැප්මයක දුර නගින්නත්, මුකුත්ම
නැත්නම් IFS හි සුන්දර
බරාඳයේ එකිනෙකාගෙ ඇසුර විඳින්නත් වූ අතර, සති අන්තයේ නම් එකල කොලඹ එල්ෆින්ස්ටන් චිත්‍රපට
ශාලාවේ චිත්‍රපට සංස්ථාව විසින් පෙන්නූ හංසවිලක්, නිධානය, සත් සමුදුර ආදී චිත්‍රපට
බලන්නත් ජෝන් ද සිල්වා හෝ ලයනල් වෙන්ඩ්ට් රඟහල්
වල නාට්‍ය බලන්නත් ඒ තැන්හි එහෙම නැත්නම් කොලඹ මහජන පුස්තකාලෙ තිස්ස අබේසේකර, ජයලත් මනෝරත්න, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි, ඩබ්ලිව්.
ජයසිරි, සුගතපාල
ද සිල්වා, ඈශ්ලි
රත්නවිභූශන... ආදී දැවැන්තයන් එකිනෙකා සමග, වඩයක් කමින් ප්ලේන්ටියක් බිබී කරන පිලිසඳරවල් කටත්
ඇරගෙන අහගන සිට පුලුවන් තරම් උකහාගෙන ඉගෙන ගන්න කාලයක් උනා මේක.
මතකද නිමල් අයියේ පීටර් වයිස්ගේ මරාසාද් නාට්‍යය...’
(නමී, ගොඩක් ස්තුතියි පරණ ෆොටෝස්වලට කඩිනමින් නව පෙනුමක් ලබා
දුන්නාට!)
ඊළඟ කොටසින් හමු වෙමු!
අයෙශ්මන්ද මහත්තයගෙ පරණ මතක ඇවිස්සීම අගනේයි.
ReplyDeleteනිදි ට සුබ උපන්දිනයක් වේවා !
මේ වෙලාවෙ බලංගොඩයැ ඉන්නෙ එතකොට.
ඔව් Praසන්ன මහත්තයෝ, 3 වෙනිදා පාන්දර හතරහමාරට පිටත් වෙලා අටයි කාල වෙනකොට සීතගලට ආවා. හතරවෙනිදා උදේ වෙනකල් හිටියේ එහෙ.
Deleteසුබ පැතුමට ස්තුතියි!
සීතගල යන්නෙ රාස්සගල පාරෙ ගිහිල්ල මැද්දෙකන්දෙන් හැරිලද?
ReplyDeleteමම රාස්සගලනං ඕන තරං ගිහිල්ල තියෙනව අපේ මස්සිනා කෙනෙක් ඉන්න හින්ද.
මැද්දකන්දෙන් හැරිලා තමයි Praසන්ன, උඩකන්ද හරියේ තමයි සුනිල්ලා ඉන්නේ.
Deleteවලවේ ගඟේ මුල හරිය එහෙ තියෙන්නේ. සුනිල් කිව්වා ඒ වතුරලු ගංගාවලින් බරම වතුර.
කලුගල් තලාලයි පාරට දමන්නේ
Deleteරාස්සගල පාරෙ ගිහින් හැරෙන්නේ
මානෙල් සුනිල් සීත ගලයි පිපෙන්නේ
මැද්දෙ කන්ද පල්ලම මේ බහින්නේ
බලන බලන අත සුන්දර කඳු හෙල්ය
Deleteඒ කඳු වැසී ඇත්තේ සරු හරිතෙන්ය
පාර කියන හැටියෙන් නං ගිහිල්ලය
කවදද ගියේ- කොහොමද ලොකු පැනයක්ය
සීතල පිටියෙ-නාවල ඉපදුන බස්සා
Deleteඒවා විකුණලා රට-පාතට බැස්සා
සීතගලට ගිහිල්ල නැති ගොන් වස්සා
ලිව්වොත් අහං ඉන්නම් කන්පට ගස්සා
දාලා තියෙනවද උතුරණ තෙලට අබ
Deleteපට පට ගගා පුපුරයි වගෙ ‘බැනුම් හබ’
මේවා එහෙම නැත නියමයි ‘සොඳුරු හබ’
බස්සා ලියන කවි දැන් නං ‘රසැති අඹ!’
නීරෝගි සුව සැමදා ඔබලග රැදේවා
ReplyDeleteසුබ උපන්දිනයක් නිමල් අයියේ
කොළොම්පුරේ අසංග
ගොඩාරියක් ස්තුතියි අසංග මහත්තයෝ!
Delete++++++++++++++++++++++++++
ReplyDeleteසුබ උපන්දිනයක් !
සුබ පැතුම වෙනුවෙන් ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ!
Deleteජීවිත තොරතුරු හෙළි කිරීමේදී ඔබ දක්වන නොසඟවා පවසන ගතිය පුදුමයි. මේ ගුණය ශාන්ති දිසානායක ලියන සඳ කිඳුරු කතාවෙත් තියනවා. නිරෝගී සුව විඳින්නට ලැබෙන තෘප්තිමත් උපන්දිනයක්ම වේවා!
ReplyDeleteසුපැතුම් වෙනුවෙන් ස්තුතියි Litseeker!
Deleteමට ඇත්ත ඇති සැටියෙන් කියන්න පුළුවන් වෙලා තියෙන්නේ එහෙම කරන්න අපේ තාත්ත අපිව පුරුදු කරවපු නිසා.
3 වෙනිදා රෑ ජාමයක් වෙනකල් සුනිල්ලගේ ගෙදරදීත්, 4 වෙනිදා හවස් ජාමයමත් මානෙල්ලා ගෙදරදීත් සුනිල්, මානෙල්, දීපානි හා මාත්- එයාලගේ දරුවන් තුන් දෙනෙකුත්- අපේ පවුලේ යටගියාව සජ්ජ්ජායනා කළා. ඒකට මර්වින්, ඉන්දිරා, නෙවිල්, නමී හා අයස්මන්ත පීරිස් යුවලත් එකතු වුණා.
එතැනදී පීරිස් මහත්මිය; ප්‍රීතිකා නංගි කිව්වේත් අපේ තියෙන ඇත්ත කතා කිරීමේ ගුණය ගැනයි. එයා කියනවා අපි එහෙම කතා කරන්නේ 'නැති වෙන්න දෙයක් නැති තරමට අපි පොහොසත්' නිසාලු!
++++++++++++++++++++++++++
ReplyDeleteසුබ උපන්දිනයක් ! x 2
සුබ පැතුම වෙනුවෙන් ගොඩාක් ස්තුතියි බකුසාණෙනි!
Deleteහැබෑටම දඹල පර්යේශන වලට මොකද වුනේ?🤔
ReplyDeleteසිරිල් පොන්නම්පෙරුම මහත්තයාගෙ ආයතනයෙන් බලාපොරොත්තු වෙච්ච තරම් ප්‍රතිඵලයක් ආව කියල මතකයක් නෑ.
කොහොම වුනත් අපූරු අතීත මතක ආවර්ජනයක්.👌
දඹල ටික බස්සෙක් කෑව. පරේසනේ එතනිං හබක්.
Deleteආන්න ඒ නෙව කියන්නෙ, අල ගැන පර්යේශනයක් කලා නං ඔහොම වෙන්නෙ නෑ.
Deleteඅල කන්න වවුලො ඉන්නව. බස්සන්ට නෝ චාන්ස්.
Deleteබසු, දඹල පර්යේෂණවලට මොකද වුණේ කියලා අහල කියන්නං .
Deleteමං හිතන්නේ අයස්මන්ත මහතා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණාම- ඊට පස්සේ අක්ෂි ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයෙක් වෙන්න තීරණය කළාම දඹල ගැන මඟ හැරෙන්න ඇති කියලයි.
Praසන්ன,
Deleteසීතගල සුනිල්ලගේ ගෙදර පිටිපස්සේ රඹුටන් ගහක් යටට එයාලා සතුන්ට කෑම දානවා. එතනට එනවා කිකිළියන් රෑනක් පිරිවරාගෙන වලි කුකුලෙකුත්!
අයියෝ අපි දැකලා තියනව නිදි කුකුල්-ගම කුකුල් පොර.😋
Deleteඔය සීතගල සුනිල් කියන්නේ ගෝනවල සුනිල්ගේ කවුරුහරි ද බං නිදි අංකල්?
Deleteඅපොයි නෑ Ano, සුනිල් මදුරුවෙක් මරන්නේවත් නැති; මට වඩා සිය පූරුවක් හොඳ එකෙක්. මුළු නම සුනිල් ගෝඨාභය (ගෝඨා+බය නෙවෙයි!) දිසානායක.
Deleteසුබම සුබ උපන්දිනයක් නිදිට
ReplyDeleteමම විජේබාහු
ස්තුතියි, ස්තුතියි විජේබාහු මහත්තයෝ.
Deleteඔයයි- සිරිබිරිස් උන්නැහෙයි- කරුණාරත්න මහත්තයයි නිසා post එකක් ලියන්න බලාගෙන ඉන්නේ. ඒත් වැඩේ ටික ටික කල් යනවා! ගණන් ගන්න එපා, හොඳේ!
Hope your birthday is as wonderful as you are
ReplyDeleteඔව් කුමුදු, මේ උපන් දිනේ හරි අපූරු එකක් වුණා.
Deleteගොඩක් ස්තුතියි හොඳේ!
සුබ (belated) උපන් දිනයක් වේවා නිමල්!
ReplyDelete"මෙදා සැරේ තුන්වෙනි උපන් දින තෑග්ගත් අරං Sam ලංකාවට ඇවිත්, හොරෙන්ම" සමන්ති නම් නියමයි 😊
"නිසි පාසල් අධ්‍යාපනයක් ඉවරයක් කරගන්න බැරි උනත් මේ ජීවන විශ්ව විද්‍යාලයේ ඔයා සම්මානිත මහාචාර්යවරයෙක් වුණු බවත් අපි දන්නවා". Affirmative 👍
කලින් පෝස්ට් එක ඉවර කරද්දි, ඒ කියන්නෙ සමන්තිගෙ වෙඩින් එක ඉවර වෙලා ගෙදර ඇවිල්ලා නිමල් නිදාගෙන ඉද්දි කතා කරපු එක්කෙනාට නම් hold එකේ ඉන්න වෙයි වගේ තව සුමාන කීපයක් 😜.
උපන් දින සුපැතුම් වෙනුවෙන් ස්තුතියි Lotus!
Deleteසමන්ති දීපාල් දෙන්නා- නෙවිල්, මර්වින්, අයස්මන්ත හිතවතුන්ව එහෙමත් එකතු කරගෙන මාව හොඳටම (ගොනාට) ඇන්දෙව්වා මෙදා සැරේ නං. තවම මං ඒ විස්තර ඇහිඳිනවා ඔයාලටත් කියන්න.
ඔන්න Lotus, ඔයා සාස්තරකාරයෙකු කියනවටත් වඩා නිවැරදි අනාවැකියක් කියලා.
Delete//නිමල් නිදාගෙන ඉද්දි කතා කරපු එක්කෙනාට නම් hold එකේ ඉන්න වෙයි වගේ තව සුමාන කීපයක් 😜//
නිදිතුමාට නිදුක් නිරෝගී සුබ උපන්දිනක් වේවා. ජයමැ වේවා 🙏
ReplyDeleteසුබ පැතුවට කමක් නෑ රජෝ, ඔහෙත් අපේ සමන්තිට හවුල් වෙච්ච විත්තිය මතක තියා ගෙනයි ඉන්නේ!
Delete😁😁
Deleteඇත්තටම නිදී මරා කිව්වම එකපාරටම මට නම් මතක් වෙන්නේ මැදමුලන මරා මිසක් Jean-Paul Marat කියන අපේ සොඳුරු මරා නම් නෙවෙයි වීමත් හරිම කණගාටුවට කරුණක්
ReplyDeleteඇත්තටම වර්තමාන ලාංකික සමාජය අන්ත දූෂිත අසික්කිත පාදඩ කාඩ රාජපක්ෂ අමන රෙජීමය, දූෂිත වික්‍රමසිංහ-සිරිසේන යහපාලන චෞර පාලනය ආදී දූෂිත රෙජීමයන්ගෙන් එකදිගටම බැට කා ඊට පසුව පැමිණි ඊටත් අන්ත වර්තමාන අන්ත දූෂිත මාලිමා චෞර රෙජීමයෙන්ද දැඩිලෙස බැටකන මෙවන් යුගයක ලංකාවේ සමාජයට පහන් ටැඹක් වන්නට සුදුසු නාට්‍යය කලාවක් දැකගත නොහැකි වීම බරපතල අභාග්‍යසම්පන්න කාරණයක්, විශේෂයෙන්ම අලුත් අලුත් නාට්‍ය නිර්මාණ පිළිබඳ ප්‍රචාරක පුවරු සුවහසක් ඇස ගැටෙතත් ඉන් බහුතරයක් සරල, විනෝදය සපයන සැහැල්ලු නාටකයි, හනික රට වටා දිවීම සඳහා කඩිමුඩියේ පුහුණු කෙරෙන හාස්‍ය නාටකයි.
නමුත් මීට පෙර යූගයක් එකළු කළ "මරා - සාද්" වැනි බරසාර, ගැඹුරු නාට්‍යයනට අත ගසන්නට කැමති අර්ථපති නළු නිමැයුවෝ අද නොවෙති. එබඳු නාටකයක රඟපෑම සඳහා කැපවන, ඉවසන, වෙහෙසෙන නළු නිළියෝ ද අද දුලබයි.
ඇත්තටම මරා-සාද් කියන්නේ අධ්‍යක්ෂවරයකුට හමුවන මහ මෙරකි. එය නැඟීම අති දුෂ්කරයි. එමෙන් ම, මරා, සාද් සහ චාලට් කොර්දේ වැනි චරිත නිරූපණය, ඕනෑම තලයක රංගන ශිල්පියකුට මහත් අභියෝගයකි. මෙහි මරා කීවේ ෂෝංපෝල් මරා (Jean-Paul Marat) මිසක් මැදමුලන මරා නම් නෙවෙයි, මොකද උගේ චරිතය නිරූපණය කරන්න ඉතින් පණ නැතිව ඔහේ වාඩිවෙලා ඉන්න නේ තියෙන්නේ වෙන මොනව රඟන්න ද? වල පහයි ගොඩ පයයි
කලකට ඉහත ජර්මානු ලේඛක, චිත්‍ර ශිල්පී හා නාට්‍ය අධ්‍යක්ෂවරයකු ද වූ පීටර් වයිස්, ජර්මන් බසින් ලියා නිර්මාණය කළ ‘මරා - සාද්’ නාට්‍යයට ඇත්තේ කෝදුවකින් මැනිය හැකි තරමේ, දිගු නමකි.
මේකයි නම -The Persecution & Assaination of Jean-Paul Marat as Performed by the inmates of the Asylum of Charenton Under the Direction of the Marquis de sade”
බලගතු ද සාද් ඇපාණන්ගේ අධ්‍යක්ෂණයෙන් චැරින්ටන් සායනයේ නේවාසිකයන් විසින් ෂොන් පෝල් මරා ගේ වධ විඳීම සහ ඝාතනය රඟදැක්වූ ආකාරය තමයි ඇත්ත නම
මරා-සාද් නාට්‍යයේ කේන්ද්‍රීය ප්ලොට් එක ප්‍රංශ විප්ලවයේ නායකයකු වූ මරා සහ ඔහුගේ සමකාලීන, ප්‍රංශ ජාතික කුලීනයකු වූ සාද් අතර විප්ලවයේ හරය, අරුත හා ඉදිරි මඟ පිළිබඳව ඇතිවන විවාදයයි.
ප්‍රංශ විප්ලව ඉතිහාසය තුළ මරාගෙන් නියෝජනය වූයේ විප්ලවයට පසුව ඇතිවූ දේශපාලන ව්‍යාකුලත්වයට පිළියමක් ලෙස ඒක පුද්ගල ආඥාදායකත්වය පිහිටුවිය යුතුය යන මතවාදයයි.
ඔය සැබෑම මරා ස්විස්ටර්ලන්තයේ උපන් පසුව පැරිසියේ ජීවත්වූ විද්‍යාඥයෙක්, වෛද්‍යවරයෙක් හා දේශපාලන ක්‍රියාධරයෙක් ද වෙයි. ප්‍රංශයේ බලය අල්ලා ගත් ජැකෝබියානු විප්ලවවාදීනට ඔහුගේ සහාය ලැබුණි.
සාද්, විප්ලවීය නායකයකුවත්, විප්ලවයට හිතැත්තකුවත් නොවී නාට්‍ය නිෂ්පාදකයකු හා ලේඛකයකු ලෙස ප්‍රකට ව සිටි ඔහු, විප්ලවයේ අවශ්‍යතාවය දැන සිටියේය. සාද්ගේ කෘති, වර්තමාන ලංකාවේ දූෂිත පාලනය මෙන්ම දූෂිත පාලක පන්තිය වෙත එරෙහි වූ දැඩි ප්‍රහාරයන් වූයේ එහෙයිනි. සාද් සිරගත කෙරෙන්නේ, ඔහුගේ නිර්මාණ සදාචාර විරෝධී යැයි චෝදනා එල්ල වූ බැවිනි. ඔහු හිංසාකාරී ලිංගික තෘප්තිය (Sadism) අනුමත කළ අන්තවාදී කාමසුඛල්ලිකානුවාදියකු ලෙස හංවඩු ගැසුනි.
මේ සංකීර්ණ මරා සහ සාද් චරිත, පීටර් වයිස්ගේ නාට්‍ය තුළදී නව අර්ථකථනයකට ලක්කෙරෙයි. ශ්‍රී ලාංකීය ‘මරා - සාද්’ නිෂ්පාදක සුගතපාල ද සිල්වා පවසන ආකාරයට මෙම නාට්‍යයේ ‘දහම’ දසදෙනකු විසින් දස ආකාරයකට තේරුම් ගනු ලැබිය හැකිය.
සුගතපාලගේ නිෂ්පාදනය පිළිබඳව 1987 දී අගනා විචාරයක් ලියූ ජයදේව උයන්ගොඩ එහිලා මෙසේ සඳහන් කරයි.
“බැලූ බැල්මට එක්තරා විකාර රූපී බවක් මෙම රංග ශෛලිය තුළ තිබේ. එය මානසික රෝහලක් ඇතුළත කතා පුවත සිදුවන නිසාම ඇතිවූවක් නොවේ. මිනිස් උප විඥානයේ ඇති අතාර්කික තර්කනය ‘මරාසාද්’ හි රංග ශෛලියෙන් සංකේතවත් වෙතැයි මට සිතේ.
...තර්ක විඥානයේ අතාර්කිකත්වය සහ අතාර්කිකත්වයේ ස්වායත්තතාවය මරා සහ සාද් ළඟට නාට්‍යයේ සිටි තුන්වෙනි ප්‍රධාන චරිතය විනැයි මම සිතමි.”
මෙම නාට්‍ය රචනයෙහිදී පීටර් වයිස් විසින් විසංවාදී ශිල්ප ක්‍රම රාශියක්ම, මිශ්‍ර කරන ලදී. උපදේශාත්මක, කෲර, අභූතරූපී හා බ්‍රෙෂ්ට් රංග ක්‍රමය ද එතුළින් විද්‍යමාන වෙයි. ඇතැම් විචාරකයන් ඊට පහර ගැසූ නමුදු, නාට්‍යයේ නිෂ්පාදක පීටර් බෲක් එය අගය කළේය.
මෙය මාක්ස්වාදී නාට්‍යයකැයි පීටර් වයිස්ට ලේබලයක් ඇලවීය. එය ස්ථිර වශයෙන් ම විප්ලවීය වෙනසක් ඉල්ලා සිටී. මරාගේ සුප්‍රකට දෙබස් ඛණ්ඩයක් සුගතපාල ද සිල්වා විසින් සිංහලට නැඟුවේ මෙසේය.
වැදගත් ම දේ මෙන්න මේකයි
තමන්ගේ ම කෙස් වැටියෙන් අල්ලා ඇද
සිරුර කනපිට පෙරළා අලුත් ඇහැකින් ලෝකය දෙස බලන එකයි
පීටර් බෲක්, ‘මරා - සාද්’ කෘතියට ලියූ පෙරවදන අවසන් කරන්නේ මෙසේය.
Delete“වයිස් ප්‍රඥාසම්පන්න ලෙස කිසිවක් කීම ප්‍රතික්ෂේප කරයි. ප්‍රතිපක්ෂ සම්බන්ධකොට දැකීමටත්, විසංවාදයට මුහුණදීමටත් ඔහු අපට බල කරයි. ඔහු අප නොනිමි තත්ත්වයකට හෙළයි. ඔහු අර්ථයක් නියම කරනු වෙනුවට අර්ථයක් සොයයි. එසේ කරමින් පිළිතුරු සොයා ගැනීමේ වගකීම නිසි හිමිකරුවන් අතට ම බාර දෙයි. නාට්‍ය රචකයාගෙන් ඉවත්ව අප වෙත පැවරේ.”
එක් විචාරකයකු ‘මරා - සාද්’ හැඳින්වූයේ නාට්‍යය තුළ ම තිබෙන නාට්‍යයක් (Play within a play) ලෙසිනි.
ලොව පුරා විවිධ භාෂාවන්ගෙන් වේදිකාගත වුවද විශිෂ්ටතම ‘මරා - සාද්’ නිෂ්පාදනය සඳහා ගෞරවය හිමිකර ගෙන සිටින්නේ පීටර් බෲක් ය.
‘මරා - සාද්’ යනු අධ්‍යක්ෂවරුන්ගේ සිහිනයක් මෙන් ම අභියෝගයකි. එම චරිතයන් (චාලට් කෝර්දේ භූමිකාව ද ඇතුළුව) රඟපෑම, නළු-නිළියන්ගේ සිහිනයකි. එය ඔවුන්ගේ රංගන ජීවිතය තුළ පළඳින ආභරණයකි.
පීටර් බෲක්ගේ නිෂ්පාදනයේදී මරා ලෙස ක්ලයිට් රිවිල් ද, සාද් ලෙස පැට්රික් මැගී ද, චාලට් ලෙස ග්ලෙන්ඩා ජැක්සන් ද රඟපෑහ.
සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයේදී මරා ලෙස ජැක්සන් ඇන්තනී ද, සාද් ලෙස ඩබ්ලිව්. ජයසිරි ද, චාලට් ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු ද රඟපෑහ. (ඔවුන් කළ විශිෂ්ට රංගනයන්, නව පරපුරට දැකගත නොහැකි ලෙස කාලයේ වාලුකාවෙන් වැසී ගොස් තිබීම මහත්ම පාඩුවකි.)සැමුවෙල් බෙකට් (Samuel Beckett) ගේ ‘ගොඩෝ එනකං’ (Waiting for Godot) ද නාටකීයත්වය අවබෝධ කර ගැනීමට ද, රංගනයේ උපරිම තලයට ළඟාවීමට ද යොදා ගත හැකි ‘බයිබලයක්’ බඳු ය. අර්ථ ශූන්‍ය, සම්පප්‍රලාප ලෙස බැලූ බැල්මට පෙනෙන සංවාදයන්, ‘ගොඩෝ’ වල සුවිශේෂී ලක්ෂණය විය. සුසාධිත නාට්‍යයක මෙන් එහි කතාවක් ද නැත.
1952 දී ‘ගොඩෝ එනතුරු’ මංගල දර්ශනය දුටු ප්‍රංශ නාට්‍ය රචකයකු වූ ෂොන් ඇනුමි මෙසේ කීවේය. “කිසිවක් සිදු නොවෙයි. කිසිවෙක් නොපැමිණෙයි. කිසිවෙක් නොයයි. එය අති බිහිසුණුය.” එසේම, ඔහු එය අගයැවූයේ හතළිස් වසක් තුළ පැරිසියේ පැවැත්වූ වැදගත්ම මංගල දර්ශනය ලෙසිනි.
වර්තමාන නාට්‍යයක, දීර්ඝ දෙබස් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. එබඳු තැන් ප්‍රේක්ෂකයනට දිරවාගත නොහැකි යැයි අධ්‍යක්ෂවරු මෙන්ම රංගන ශිල්පීහු ද සැක පහළ කරති.
ගොඩෝ කතාවෙ එන චරිතයක් වන පොස්සෝ ගේ එක් දෙබසක් පිටු දෙකක් පමණ දිගයි. ලෝකයේ තිබෙන රංග ශිල්ප ශාලිකාවන් හිදී ශිල්පීනට පුහුණුවීමට අනිවාර්ය කෙරෙන එක් දෙබසක් වෙන්නේ එයයි. නාට්‍ය සංවාද යනු විවිධාකාර ලෙස අර්ථ නිරූපණය කළ හැකි, අමුද්‍රව්‍යයන් බඳුය. ඉන් විවිධ හැඩතල මතු කළ හැකිය.
‘මරා - සාද්’, ‘ගොඩෝ එනකං’ වැනි නාට්‍ය රඟ නොදැක්වෙන රංග ශාලා අඳයි, ගොළුයි, බිහිරි යි. මේ නාට්‍ය කලාව පිළිබඳව සියලු විස්තර සහිතව ලස්සනට සාහිත්‍යය යොදාගෙන උදාහරණ සහිතව ලස්සනට ලියන්න පුළුවන්ද?
ස්තුතියි Ano ස්තුතියි!
Deleteඊට එහා එක වචනයක්වත් නොකියන්නේ ලෝබකමෙන්. ඔයාගේ බර -දිගු කමෙන්ටුව මගේ හිතේ ඇති කළ හැඟීම් වැඩි වෙලාවක් මතකයේ තිබුණාදෙන්.
මරාසාද්, ගොඩෝ එනකං, අත්, ධවල භීෂණ, ඒකා අධිපති, ට්‍රෝජන් කාන්තාවෝ, දොළහක්, අන්ගාරා ගඟ ගලා බසී, තහනම් අඩවිය, බූරුවා මහත්තයා, අරුන්දතී, පුත්‍ර සමාගම, තලමල පිපිලා, උක්දඬු ගින්න, මායාදේවි, දෝන කතිරිනා (මේ ලිව්වේ මේ මොහොතේ මතකයට ආ ටිකක් විතරයි) වගෙ නාට්‍ය හැම එකක්ම බලන්න ගිහිං තිබුනත් ඒ කළේ මේ තරම් මොළයක් තිබ්බේ නැහැනේ. ඒ නිසා නාට්‍ය කලාව ගැන ලියන්න යන්නෙ නං නෑ මහත්තයෝ.
Deleteහැබැයි, කලාව රස විඳින්න හැම දෙනාටම හැකි වේවා කියල නිරතුරුවම පතනවා.
@ ඇනෝ
Deleteඇත්තටම වරක් ලාංකේය වේදිකාව දේශපාලන දූෂණයට, අසාධාරණයට සහ සමාජ පීඩනයට එරෙහිව නැඟුණු උණුසුම් සත්‍යයේ බලකොටුවක් විය. ඔබ සඳහන් කළ නාට්‍ය නිර්මාණ, හුදු විනෝදය වෙනුවට සමාජයට ඇඟිලි දිගු කළ පහන් ටැඹ විය. එමෙන්ම තවත් එබඳු නාට්‍ය නිර්මාණ කීපයක් මේකට එකතු කරන්න කැමතියි.
ධවල භීෂණ: මෙය, 1980 දශකයේ අගභාගයේ රට වෙලාගත් රාජ්‍ය භීෂණය සහ දේශපාලන මර්දනය පිළිබඳ කටුක යථාර්ථය නිරූපණය කළ, වේදිකාව මතින් එල්ල වූ දැවැන්ත ප්‍රහාරයකි.
අත්: මෙම නිර්මාණය, මිනිස් ඉරණම සහ ක්‍රියාවන්හි අර්ථ ශූන්‍ය ස්වභාවය මෙන්ම, බලය හමුවේ පුද්ගලයාගේ අසරණභාවය පිළිබඳ ගැඹුරු දාර්ශනික සංවාදයක් ගොඩනැගූ කෘතියක් විය.
ඒකා අධිපති: මෙය ඒක පුද්ගල ආඥාදායකත්වයේ භයානකත්වය, බලයේ විකෘති ස්වභාවය සහ එය මිනිස් මනස විනාශ කරන ආකාරය විවේචනය කළ තියුණු කලා කඩුවකි.
බූරුවා මහත්තයා: සමකාලීන දේශපාලනයේ සහ සමාජයේ නොහැකියාව, අකාර්යක්ෂමතාව සහ විකට ස්වභාවය උපහාසාත්මක ලෙස නිරූපණය කළ නිර්මාණයකි.
තහනම් අඩවිය / පුත්‍ර සමාගම / මීපුර වැසියෝ: මෙම කෘතීන්, දේශපාලන කේන්ද්‍රගතකරණය, දූෂණය සහ නගරය විසින් ගම ගිලගැනීම වැනි සංකීර්ණ සමාජ ප්‍රශ්න, වේදිකාව මත තබා ප්‍රේක්ෂකයාට නැවත සිතන්නට බල කළ නිර්මාණ විය.
කලාකරුවාගේ ඛේදවාචකය තමයි කලාකරුවා පරයා වන්දිභට්ටයාගේ නැගීම සහ වැටීම
වසර තිහකට පමණ පෙර ඉතාමත්ම සුන්දර 'වැලන්ටයින් උතුමාණනි' වැනි ගීත හරහා, දේශපාලනඥයන්ගේ වන්දිභට්ට චරිතවලට රිදෙන්න පහර දුන් බර අවියක්වූ 'ආණ්ඩු වලට රෙදී නැතුව කඩේ යෑමේ' පහත් බව උපහාසයට ලක් කරමින් කලා ලොවේ පහන් ටැඹක් සේ බැබළුණු ජැක්සන් ඇන්තනී වැනි විශිෂ්ට කලාකරුවන්ගේ දේශපාලන පථය, අපේ යුගයේ ඛේදනීය කලා ඉරණම කියාපායි.
සමාජය කලාවෙන් රසවත් කළ මෙම 'මිනිසුන්', බලය සහ වරප්‍රසාද නමැති රන් ආලේපිත දම්වැලෙන් බැඳී, පසුව මැදමුලන රාජපක්ෂ පවුල වැනි ත්‍රාඩ අමනයන්ගේ වන්දිභට්ට සේවයට යටත් වීම, උපරිමයෙන් පහළටම කඩාවැටීමේ ඛේදවාචකයක් ලෙස හැඳින්විය හැකිය. ඔවුන්, අතීතයේ තමන්ම නිර්දය ලෙස විවේචනය කළ වන්දිභට්ට චරිතවලට පත්වීම, වේදිකා නාට්‍යයකදී පවා රඟපාන්නට අසීරු, කුජීත විරෝධාකල්පයක් (Contradiction) විය. කලාව, බලයට හිස නොනමන සත්‍යය නිරූපණය කරනවා වෙනුවට, බලයේ රුචිකත්වයට අනුව නලවන පූජකයෙකුගේ තත්ත්වයට පත් වූයේ එතැන් සිටය. ඔවුන්ගේ තියුණු විචාර බුද්ධිය නිද්‍රාවට පත් වී, මුහුණුවල නොසැලෙන 'භක්තිමත්' භාවයක් මවා පෙන්වූ අතර, එය දේශපාලන වේදිකාවේ විකාර රූපී අංගයක් බවට පත් විය.
මෙහි නූතන ඛේදාන්තය වූ
මාලිමා හොරණෑ විගඩම ගැන කීමේදී පරිහානියේ තවත් අදියරක් ලෙස එදා රාජපක්ෂ හෝ යහපාලන දූෂිත රෙජීමයන්ට යටත් නොවී, තමන්ගේ කලා ස්වාධීනත්වය රැකගත් ඇතැම් කලාකරුවන් පවා, වර්තමානයේ තවත් අන්ත දූෂිත අමන දේශපාලන කඳවුරක් වන 'මාලිමා' චෞර ව්‍යාපාරයේ 'හොරණෑකරුවන්' බවට පත්වීම, මෙම ඛේදාන්තයේ තවත් දුක්බර සහ හාස්‍යජනක අදියරක් සනිටුහන් කරයි.
මෙහිදී සිදු වී ඇත්තේ, දූෂිත දේශපාලන ක්‍රමවේදය විවේචනය කිරීම වෙනුවට, තවත් දූෂිත දේශපාලන කඳවුරක න්‍යායපත්‍රය ප්‍රචාරණය කිරීම සඳහා කලාව යොදා ගැනීමයි. අතීතයේ දූෂිත පාලනයන්ට එරෙහිව සැබෑ කලා කඩුව එසවූ නිර්මාණකරුවන්, අද වන විට විවිධ දූෂිත පක්ෂ දේශපාලනයන්වල 'කුජීත' ප්‍රචාරක අංග බවට පත් වී සිටිති. කලාකරුවා, සියලු බලවේග විවේචනය කරන ස්වාධීන විචාරකයා (Independent Critic) වෙනුවට, තවත් දේශපාලන දෘෂ්ටිවාදයක ගැත්තෙකු බවට පරිවර්තනය වීම, අපේ කාලයේ නිර්මාණාත්මක දරිද්‍රතාවයේ සංකේතයකි.
මෙම තත්ත්වය සනාථ කරන්නේ, අද ලාංකේය සමාජයට අවශ්‍ය වන්නේ හුදු සරල විනෝදය හෝ කිසියම් පක්ෂයකට රෙදිනැතිව කඩේ යෑම නොව, මරා - සාද් හෝ ගොඩෝ එනකං වැනි, කිසිදු බලවේගයකට හිස නොනමා, මිනිස් පැවැත්මේ සත්‍යය විවරණය කරන බරසාර, ගැඹුරු නාට්‍ය කලාවක් බවයි. එබඳු පහන් ටැඹක් නැවත දැල්වෙන තුරු, වේදිකාව දේශපාලන අන්ධකාරය මැද නිහඬව පවතිනු ඇත.
බෙකට් සහ මකරාක්ෂයාත් ඔය ලිස්ට් එකටම දාගන්න.
Deleteදුක හිතුණා. බෙකට් බලල නැහැනේ!
Deleteහොඳ සංවාදයක් මටත් යමක් එකතු කරන්න හිතෙනවා
Delete@ බස්සා
ඔවු මමත් ඒ කතාවට එකඟයි
@ නිදී
'බෙකට්' නාට්‍යය කියන්නේ ලංකාවේ වේදිකාවට ආපු හරිම ගැඹුරු අත්දැකීමක්. කේ.බී. හේරත් මහත්තයා මේකට ගෙනාවේ ලෝකෙම ජනප්‍රිය 'අභූතවාදයේ' (Absurdism) තේමාව. මේකේ ඉන්න චරිත නිරන්තරයෙන්ම "කිසිදා නොඑන කෙනෙක්" වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ, අද ලංකා සමාජයේ මිනිස්සුත් කිසිදා නොලැබෙන විසඳුම් හෝ හොඳ දවසක් වෙනුවෙන් නිරපරාදේ බලාගෙන ඉන්නවා වගේ. නාට්‍යයේ ගොඩක් වෙලාවට තියෙන්නේ සරල, වචන නැති ඉරියව්. ඒ නිශ්ශබ්දතාවයෙන් අපිට කියා දෙන්නේ, අපේ ජීවිතේට තේරුමක් තියෙනවද නැද්ද කියන බරපතල ප්‍රශ්නය ගැනයි. නළු නිළියෝ වේදිකාවේ හිටියත්, ඔවුන් ඇත්තටම නිරූපණය කළේ තනිකම, අසරණකම සහ අරමුණක් නැතිකම වගේ හැඟීම්. මේක දකින ඕනෑම කෙනෙක්ට, තමන්ගේ ජීවිතේ ගැන හොඳට හිතන්න මේ නාට්‍යයෙන් පොළඹවනවා.
'මකරාක්ෂයා' නාට්‍යය කියන්නේ 'බලය' සහ 'දූෂණය' ගැන හයියෙන් කෑ ගහන නිර්මාණයක්. ප්‍රසන්නජිත් අබේසූරිය මහත්මයා මේකෙන් පෙන්නුවේ මකරෙකු වගේ රට ගිල ගන්න දේශපාලන ක්‍රමයයි. මෙහිදී 'මකරාක්ෂයා' කියන්නේ කවුරු හරි පුද්ගලයෙක්ට නෙවෙයි; සමස්ත දුෂිත ක්‍රමවේදයට කරන සංකේතාත්මක පහරක්.
නාට්‍යය පුරාවටම තියෙන්නේ සමාජයේ පීඩිත, අහිංසක මිනිස්සුන්ට මේ 'මකරා' විසින් කරන හිංසා සහ අසාධාරණකම්. ඒක දේශපාලන කුමන්ත්‍රණ, සූරාකෑම් සහ අයුක්තිය ගැන ප්‍රේක්ෂකයාට කෝපයක් ඇති කරනවා. 'බෙකට්' නිහඬව ගැඹුරු දර්ශනයක් දුන්නත්, 'මකරාක්ෂයා' ඊට හාත්පසින්ම වෙනස්ව, සෘජු කතාවකින් සහ තියුණු රංගනයකින්, රට ඇතුළේ තියෙන අසාධාරණයට එරෙහිව නැගී සිටීමට උනන්දු කරවනවා. ඒ නිසා මේ නාට්‍යය , සමාජ දේශපාලන දේහය විවේචනයට ලංකාවේ වේදිකාවේ නිර්මාණය වුණ තියුණුම ආයුධයක් වුණා කිව්වොත් නිවැරදියි.
@ Ano 2.24 AM
Deleteඔය මකරාක්ෂයා කියන වේදිකා නාට්‍යය අපි උපදින්නටත් ඉස්සර අසූ ගණන්වල එකක්, ඒකේ "මකරා’ මුලින්ම රඟපාලා තියෙන්නේ වින්ස්ටන් සේරසිංහ කියන ශූර නළුවා රඟපෑ ආකාරය ගැන බොහෝ දෙනා සතුටු වෙලා තියෙනවා. නමුත් පසු කලෙක ඔහු ඉවත්වීම නිසා තමයි එතකොට කොළඹ සහ රත්නපුර කහවත්ත ආශ්‍රිත මැණික් ව්‍යාපාරිකයෙක් විදියට වැඩ කරපු ලක්ෂ්මන් මෙන්ඩිස්ට මකරා වෙන්න ඉඩ ලැබිලා තියෙන්නේ, ලක්‍ෂ්මන් මෙන්ඩිස්ට තමයි අපි බලන කාලේ ‘මකරා’ වෙන්න ලැබුණේ. වික්ටර් රාමනායක තමයි මකරාක්ෂයා අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායක ළඟට ඔහුව එක් කර ගෙන ගිහිල්ලා තියෙන්නේ, ඇත්තටම සේරසිංහ ‘මකරා’ගෙන් ඉවත්වීම තුළ ලංකාවේ නළු නිළියන්ට ගත හැකි විශාල පාඩමක් තියෙනවා, සර් ලෝව්රන්ස් ඔලිවියේර් කියන මහා නළුවා කියා තිබෙනවා ‘කවද හරි දවසක රඟන අතරේ ඔබට ඔබේ චරිතයේ දෙබසක් අමතක වුණෝතින් ඔබ එදාට වේදිකාවෙන් සමුගන්න ඕනෑ’ කියලා. ඉතින් සේරසිංහයන්ටත් ඒ දේ සිද්ධ වෙලා තමයි ඔහු වේදිකාවෙන් සමු අරගෙන තියෙන්නේ.ඔහු බොහොම කැපවීමෙන් රාජකීය විදුහලේ සිසුවකු සමයේ සිටම ඉංග්‍රීසි වේදිකාවේ රඟපෑ දක්ෂ නළුවෙක්, ඒ වගේම රාජකීය විද්‍යාලයට
යාලයට වසර එකසිය අනූ එකක් සපිරෙනවා ලබන ජනවාරි මාසයේදී. ඒ නිමිත්තෙන් විශේෂ කලා සහ සාහිත්‍ය උළෙලක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ කමිටුවේ සභාපතිවරයා විදිහට පත් කර තිබෙන්නේ මගේ මිතුරෙක්. මට දැන් හිතෙනවා ‘මකරාක්ෂයා’ නාට්‍යයත් මේ උළෙලේදී වේදිකාවට ගෙන එන්න කියලා ඔහුට යෝජනා කරන්නට. මොකද දරුවන්ගේ රසඥතාවය මතු කර ගැනීමට අවස්ථාවක් වෙයි කියලා.
ඒ වගේම රාජකීය විදුහලේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ආචාරිනී රත්නා ලාලනී ජයකොඩි රඟපෑ ජයලත් මනෝරත්නගේ ‘ගුරු තරුව’ත් මේ කලා උළෙලට ගෙන එන්න තිබුණා නම් හොඳයි කියලා මට හිතෙනවා.
කරුණ එකතු කළ - එකතු කරන රසික ඔබ හැමටම ගොඩක් ස්තුතියි.
Deleteමා දන්නා පරිදි නිවැරදි කිරීම් දෙකක්- තුනක් කරන එක ගැන අමනාප වෙන්න එපා. හොඳේ... මටත් වැරදිලා වෙන්නටත් පුළුවන්- මතකයෙන් නෙව ලියන්නේ.
1. බෙකට් නාට්‍යය බන්දුල විතානගේ මහතාගේ නේද?
Delete2. මකරාක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක නිර්මාණයක්. ඒකට (මනරම් නාට්‍යයක් වුණු දොර්දණ්ඩා හැදූ) ප්‍රසන්නජිත් අබේසූරිය මහතාගේ සබඳකමක් තිබුනද?
3. මකරාක්ෂ මුලින්ම නිෂ්පාදනය වුණේ මකරා නමින්. (එහි රඟපෑවේ වින්ස්ටන් සේරසිංහ දක්ෂයායි. ඔහුගේ බිරිය අතිදක්ෂ නිළි අයිරාංගනී සේරසිංහයි).
ගුරු තරුව ගැන ඔබේ යෝජනාව පිළිගැනේවා!
Deleteඇනෝල ඔක්කොටම ස්තූතියි මගේ ප්‍රියතම වේදිකා නාට්‍ය ගැන විචාර, ඉතිහාස කතා විස්තර දුන්නාට.
Deleteනූර්ති සහ වේදිකා නාට්‍ය ගී
@ නිදී
ReplyDeleteලංකාවේ සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම තිබෙන විදියට බිමල් රත්නායක චේ ගුවේරා සැමරීම පිළිබඳව විවේචනයක් තියෙනවා ඒ චේ ගුවේරා කියන්නේ යල්පැනගිය පටු කොමියුනිස්ට්වාදය වගේම සමලිංගික ජනයාට එරෙහිව සාහසික ලෙස අපරාධ කරපු අපරාධකරුවෙකු කියායි. මේක ගැන පැහැදිලි කරන්න පුළුවන්ද ඔයාට?
මේ වගේම දකුණු ඉවුරේ අය සහ පෙරටුගාමීන් වගේ බොහෝ අයත් මාලිමා ආණ්ඩුවේ සිංහල බෞද්ධ ගෝත්‍රික සංකල්ප, පැරණි යල්පැනගිය කොමියුනිස්ට්වාදී අදහස් වගේම නූතනත්වය යන සියල්ල එකට අනාගෙන විහිළුවක් බවට පත්ව සිටින බවට චෝදනා කරනවා
මේක සමාජ මාධ්‍ය වලින් උපුටා ගත් කොටසක්
//මේ දිනවල අපේ බිමල් රත්නායක සහෝදරයා, මහා විප්ලවවාදී 'චේ ගුවාරා' වෙනුවෙන් කවි ලියන තරගයක් තියලා ඒ පෝස්ට් එකට කට්ටිය හිනා මූණු දහස් ගනනක් දාලා! මේක දැක්කම මටත් හිනා මූණු දහස් ගාණක් විසි කරන්න හිතුණා. මොකද, මේ මොහොතේ මාලිමාවේ අලුත් 'සමලිංගික ප්‍රවර්ධන ව්‍යාපෘතිය' දිහා බලාගෙන, චේ ගුවාරාට කවි ලියන එක තරම් කුජීත විහිළුවක් තවත් නෑ!
පණ නැති ‘නව මිනිසා’ සහ ගුලාග් සිහිනය
චේ ගුවාරා කියන්නේ සමලිංගිකයන්ට එරෙහිව ක්‍රියා කළ සාහසිකයෙක්! ඔහුට අවශ්‍ය වුණේ 21 වන සියවසට ගැලපෙන 'නව මිනිසෙක්' (Nuevo Hombre). මේ 'නව මිනිසා' ඇඹීමේ වැඩසටහනේදී සමලිංගිකයන්, ගණිකාවන්, ස්වාධීන කලාකරුවන් සහ උගතුන් කියන්නේ විප්ලවයට නුසුදුසු, දුර්වල කෑලි! ඔහුගේ හමුදා බලකොටුවක් වූ 'ලා කබානා' තුළ, නඩු නොඅසා වෙඩි තබා ඝාතනය කළවුන් අතර සමලිංගිකයෝ සහ ගණිකාවෝද සිටි බවට වාර්තා තිබෙනවා. ඇත්තටම චේ කියන්නේ හිම්ලර්ට නොදෙවෙනි 'සදාචාර පවිත්‍රකාරක පිස්සෙක්'!
චේගේ අනුදැනුම යටතේ පිහිටවූ කියුබාවේ ශ්‍රම කඳවුරුවල (UMAP), සමලිංගිකයන් අල්ලා ගාල් කර 'ප්‍රති-අධ්‍යාපනය' (Re-Education) දුන්නේ මේ "නව මිනිසා" ඇඹීමටයි. අද, 'දඬුවම් දීම ගැන සමාජයට ශාන්තිවාදී උපදෙස් දෙන' බිමල් රත්නායක, එවැනි 'සමලිංගික වධකයෙකුට' කවි ලියන්න ආරාධනා කරන එක නපුරුම සරදමකි.
මාලිමාවේ මේ සෙල්ලක්කාරකමේ අවසානය
අද අපේ දේශපාලන වේදිකාවේ සිදුවන්නේ ඊටත් එහා ගිය උත්ප්‍රාසයකි.
ජවිපෙ ආත්මය වන්නේ චේ ගූවේරා වැනි අන්තවාදී කොමියුනිස්ට් අමනයන්ය!
ජවිපෙ සමලිංගිකත්වයට ඉඳුරාම විරුද්ධයි! (අතීතය එසේ විය)
එහෙත්, වත්මන් මාලිමාව සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරනවා!
මේක එක්කෝ ටිල්වින්ලා දියත් කරන කූඨ මෙහෙයුමක්ද? එනම්, සමාජයේ සිටින සමලිංගිකයන් නිරාවරණය කරගෙන, මර්දනයට සූදානම් වීමද? එසේත් නැතිනම්, හරිනිලා වැනි අයගේ දේශපාලන මෝඩකමේ ප්‍රතිඵලයක්ද? සමලිංගිකත්වයට ඉඳුරාම විරුද්ධ විප්ලවවාදී ව්‍යාපාරයක් සමග 'එක ගෙයි කෑම' තරම් දේශපාලන විහිළුවක් තවත් නැත!
ස්ත්‍රී විරෝධී 'වීරයා' ගැන කවි ලියන නංගිලා
මෙම ඛේදාන්තයේ වැඩිම රිදුමක් ඇත්තේ චේ ගුවාරාගේ සැබෑ ස්වභාවය දන්නා විටයි. කියුබානු විප්ලවයේ සදාචාරාත්මක න්‍යායාචාර්යවරයා, සැබෑ ජීවිතයේ අන්තිම සවුත්තු මිනිසෙකි!
ඔහු ස්ත්‍රීත්වයට දැඩි ලෙස අපහාස කළේය. "ඉන්දියානු කාන්තාව කෙතරම් අවලස්සන ද යත් ඇය කාන්තාවක් යැයි සැලකීමටත් අපහසු ය" කියා චේ සිය දිනපොතේ ලියා තිබේ. ඔහු ස්ත්‍රිය සැලකුවේ පිරිමින්ගේ වැඩපළ කිරීමට සිටින දුර්වල කොටසක් ලෙස මිස, විප්ලවකාරී සටන්කරුවෙක් ලෙස නොවේ. චේ සල්ලාලයෙකු බවත්, තම පුරුෂාධිපත්‍ය භාවිතා කර බොහෝ ගැහැණුන් රැවට්ටූ බවත් ඔහුගේ සමීප මිතුරන් පවා කියා තිබේ.
කාන්තා විමුක්තිය වෙනුවෙන් එක වචනයක්වත් ලියා නැති එහෙව් 'මැන්ටලයකට' කවි නිසඳැස් ලියන අපේ නංගිලා සහ අක්කලා පව්!
අවසානයේදී, චේ ගුවාරා යනු බියගුළු නිවටයෙකි. ඔහු අල්ලා ගත් මොහොතේ, ‘මා පණ පිටින් සිටීම ඔබට වඩාත් වැදගත්’ කියා සතුරා රවටා පණ බේරාගැනීමට උත්සාහ කළව දුර්වලයෙකි. මේ බොරු වීර සංකල්ප විසි කර දමා, යථාර්ථය පැහැදිලි වනතුරු ලංකාවේ කලාකරුවෝ ද මේ වැනි දේශපාලන විහිළුව රඟපානු ඇත!
//
@ Imesh
Deleteඔයාගේ කතාවට මටත් යමක් එකතු කරන්න පුළුවන්, විශේෂයෙන්ම මීට වසර කිහිපයකට ඉහත දී ගිය කියුබාවේ සංචාරයේදී මට පෞද්ගලිකව කොමියුනිස්ට් මිත්‍යාව බිඳී යන විදිය පෙනුනා. ඔය ලංකාවේ සමහරක් ‘මාලිමාවේ වන්දිභට්ටයෝ’ දිනපතා වර්ණනා කරන ෆිදෙල්ගේ සහ චේ ගුවේරාගේ 'පිරිසිදු සමාජවාදී දේශය' ඇත්තටම අද වෙලා තියෙන්නේ සල්ලාලකමේ සහ ගණිකා වෘත්තියේ පාරාදීසයක් වීමයි
ඔයා ඔය කියපු කතාව ගැන මමත් අහලා තියනවා, 1959 කියුබානු විප්ලවය සමයේ, විශේෂයෙන්ම චේ ගුවේරා ගේ 'නව මිනිසා' (Nuevo Hombre) සංකල්පය යටතේ, ගණිකාවන් කියන්නේ විප්ලවයට නුසුදුසු විදියට හංවඩු ගහපු පිරිසක්.
චේ, 'ලා කබානා' වලදී ගණිකාවන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළා. ඒත් අද? අද කියුබාවේ වීදි පුරාම පිරිලා ඉන්නේ ඩොලර් කිහිපයකට ඕනෑම දෙයකට කැමති, රූප සුන්දරියන් වගේ පෙනුමක් තියෙන කියුබානු තරුණියන්.
'සමාජවාදී පාරිශුද්ධත්වය' දිය වී ගිය හැටි හරිම පුදුමයි, චේලා හීන මැව්වේ 'පිරිසිදු සදාචාර සම්පන්න' සමාජයක් ගැන. ඒත් ඒ පරමාදර්ශී පවුර පුපුරා ගියේ බඩගින්න සහ ආර්ථික අසාර්ථකත්වය නිසයි.
මම දැකපු නූතන කියුබාවේ ඉතාම උගත්, උපාධිධාරී තරුණියක් වුණත්, රාජ්‍ය අංශයේ රැකියාවෙන් මාසෙකට උපයන කොර වූ වැටුපට වඩා, එක විදේශ සංචාරකයෙක්ගෙන් පැයකින් උපයන ආදායම දහස් ගුණයකින් වැඩියි.
ඒ වගේම චේ ගේ සමාජවාදී පාරිශුද්ධත්වය පරාද වුණේ ධනවාදී ඩොලරයට ඉදිරියේ. මේක තමයි සැබෑ ආර්ථික යථාර්ථය!
කියුබාව අද හැඳින්වෙන්නේ 'සෙක්ස් ටුවරිසම්' (Sex Tourism) වලට අතිශයින්ම ජනප්‍රිය තැනක් විදියටයි. අතීතයේදී ගණිකා වෘත්තිය තහනම් කළාට, අද රජය නිල නොවන විදියට එය දකින්නේ රටට විදේශ විනිමය ගෙනෙන ප්‍රධානතම මාර්ගයක් විදියටයි. සමාජවාදය හැමදේම නොමිලේ දෙනවා කිව්වත්, ඔවුන්ගේම රටේ තරුණියන්ට අද තමන්ගේ ශරීරය විකුණාගෙන හෝ ජීවත් වෙන්න වෙලා තියෙනවා.
චේ පසුපස තාම යන 'මාලිමාවේ' සිහිනයත් මේකමද?මේ ඛේදවාචකය දකිද්දී මට මතක් වුණේ ලංකාවේ ජාතික ජන බලවේගයේ (NPP) නායකයෝ කියන කතා. අනුර කුමාර ලොක්කා තාම කියන්නේ සමාජවාදී විනයක් සහිත නව රටක් හදන බවයි. ඔවුන්ගේ කොමියුනිස්ට් ගුරුකුලයේ නායකයා වූ චේ ගුවේරා පවා ගණිකා වෘත්තියෙන් රට පිරිසිදු කරන්න ගිහින් දරුණු විදියට අසාර්ථකයි.
සමහරක් NPP නායකයෝ කියුබාව දිහා බලන්නේ පරමාදර්ශී සමාජවාදී පාරාදීසයක් විදියට නම්, එකී කියුබා රටේ නගර පුරා දැන් පවතින ගණිකා ජාලයත් ඔවුන්ගේ 'අලුත් සමාජවාදී ආණ්ඩුවේ' නිල විදේශ විනිමය මාර්ගයක් බවට පත් කරයිද?
ඩොලර්වලට පයින් ගහනවා කියන අය, ඩොලර් වෙනුවෙන් කෙනෙකුගේ ජීවිතය පවා පාවා දෙන මේ ක්‍රමය අගය කරාවිද?
අවසානයේදී පැහැදිලියි. සමාජවාදය විසින් සම්පූර්ණ ආර්ථික නිදහස සහ පුද්ගල අභිමානය මරා දමන විට, මිනිස්සු ජීවත් වීමට ඕනෑම මාර්ගයක් තෝරා ගන්නවා. චේ ගුවේරාගේ දෘෂ්ටිවාදයේ උච්චතම කඩාවැටීම දැකීමට අවශ්‍ය නම්, අද කියුබාවේ රාත්‍රී සමාජ ශාලාවක් අසලට යන්න. ඔබට එහිදී ධනවාදයේ සැබෑ ජයග්‍රහණය සහ සමාජවාදයේ ඛේදනීය පරාජය පැහැදිලිව දැකගත හැකිවේවි.
ඉමේෂ්, Ano මහත්වරුනි.
Deleteඔබ දෙදෙනාටම ඉතාමත් ස්තුතියි - වැදගත් අදහස් ගණනාවක්ම ඉදිරිපත් කිරීම වෙනුවෙන්.
The students who topped A Levels in that year were offered this trip by the government- then President Premadasa is the one who wanted Air Lanka to arrange the trip. Ayeshmantha may recall that all of them were trained at Air Lanka in social graces, were given some appropriate formal wear. Though Ayeshmantha did not see it fit to acknowledge this good gesture of President Premadasa, I want readers of this blog to know.
ReplyDeleteAno මහත්තයෝ,
Deleteමේ comment එක ගැන මම අයස්මන්ත මහතාගෙන් අහන්නං.