![]() |
නමෝ විත්තියෙන් දොහොත් මුඳුන් දී - සනරාමර හිමි සඳ වැඳලා |
නමෝ විත්තියෙන් දොහොත් මුඳුන් දී
- සනරාමර හිමි
සඳ වැඳලා
පුවත් කිහිපයක් කියන්න සිරිලක
- අවසර! කවි ලෙස පද බැඳලා
ආදි යුගේ නං මේවා කෙරුණේ
- මෙලහකටත් ‘දඬුවම්’ ලැබිලා
ප්‍රජාතන්තරේ මහිමය හින්දයි
- තීන්දු එන්නේ පමා වෙලා
අහන්න සුදනෙනි අමුතු ඇටයෙ තතු
- කියන්න ලජ්ජා
හිතෙයි මට
මක්ක කරන්නද සිද්ද වෙච්චදේ
- නොකියා කොහොමද ඔහෙලාට
නත්ත පනත්තා කාලේවත් අපෙ
- මෙව්ව වැටිල තිබ්බැයි කණට
අවාසනාවද කරුමෙද මන්දා
- මෙව්වා වෙයි එක පිට එකට
තණ්හාපතිකම තියෙනව කාටත්
- සසර පුරාමත් ගෙනියනවා
ඒක දුකට මුල කියලා දැනුණම
- ටික ටික අඩු කරගෙන යනවා
ඒත් එහෙම නැති උදවිය අනුවණ
- ලෝකෙම ගන්නට දත කනවා
‘දත කා කළොතින් අනිසි අයුතු වැඩ’
- නට්ටං වෙන්නත් සිදු වෙනවා
![]() |
ජපුර රෝහලේ ජාවාරම් ගැන - සිරිලක කවුරුද නොමදන්නේ |
තමුන්නෙ යැපුමට ඕනෙ තරම දැන
- ඒ වගෙ සිව් ගුණයක් හොයලා
කටයුතු කරන්න ඕනේ හැටි ගැන
- සිඟාලොවාදෙත් ඇත කියලා
එව්වත් නොතකා; පෙරේතයො වගේ
- මේ නොමිනිස්සුත් එකතු වෙලා
හිඟන්නො නොවෙනා කෝටිපතියනුත්
- හිඟන මනසකින් වැඩ කරලා
උපන් හැටිද මේ, හැදුණු හැටිද මේ
- සුදනෙනි හෙවීම
නැත ලේසි
‘මළමිනියත් කට අරිනවාලු නෙව
- දකින පමාවෙන් රන් කාසි’
ඒ බව දැනගෙන, නුවණින් සලකා
- නොගත යුතුයි අනියම් වාසි
එහෙම ගත්තු අය නීතිය හමුවේ
- දැන් ගැලවෙන්නට නැත ලේසි
මනුසත් වග මැද මිනිසෙකු විලසින්
- උපත ලැබීමත් ලොකු පිනකි
නිරෝගි අතපය සෙයින්ම නුවණැති
- බව හිමි වීමත් ලොකු පිනකි
එවැන්නවුන් මැද හිපොක්රටීස්ගෙ
- දරුවෙකු විය හැකි ටික දෙනෙකි
මේ මෘග ධෙනුව එවන් පිං මහිම
- ජන්මයෙන්ම හිමි වූ කතකි
පූරුවෙ පිනකින් මොළය ලැබී ඇත
- එනිසයි දොස්තර කෙනෙකු වුණේ
නිකංම දොස්තර කෙනෙකුත් නොව මැය
- විශේෂඥයෙකි කියැවෙන්නේ
හොර ගුහාවකට ආවට පස්සෙද
- මෙයාට ‘හොරකම’ හුරු වෙන්නේ
ජපුර රෝහලේ ජාවාරම් ගැන
- සිරිලක කවුරුද නොමදන්නේ
![]() |
මෙහෙව් එවුන්ටත් කොහොමද පෑව්වෙ - ඉර හඳ තරු වෙනසක් නැතුව |
‘කළ ගුණ සිහිකොට’ ජපානෙ දුන්නා
- ඇඳන් දාහෙ ඉස්පිරිතාලේ
තවත් ඇඳක් ජයවර්ධන ජනපති
- වෙනුවෙන් වෙන්කොට තිබිණි බොලේ
පහු පහු වෙනකොට කොහු කොහු වෙද්දී
- සිරිලක් අම්මාගෙත් තාලේ
පාදඩ නඩයක අතට පත් විණිලු
- රෝහල් පරිපාලනයෙ බලේ
එක ජාතියෙ එක කුරුල්ලො ලගිනව
- එකම අත්තෙ අවුලක් නැතුව
දොස්තර නෝනත් ‘සහයට ඩැනී’ල
- දෙන්නෙකුවත් එක්කරන් තව
‘ජාවාරම’ අරඹලා ජය පහට
- කරගෙන ගිහින්ලු ‘කැත නැතුව’
මෙහෙව් එවුන්ටත් කොහොමද පෑව්වෙ
- ඉර හඳ තරු වෙනසක් නැතුව
‘ඉස්පිරිතාලෙන් ගන්න එපා - මේ
කොම්පැනියෙන්මයි
ගත යුත්තේ’
කියලා වික්කලු ශල්‍ය උපකරණ
- ලෙඩුන්ට ගිනි ගණනට මුත්තේ
ඒකත් පොඩි නෑ දහ ගුණයක් වගෙ
- වැඩි මිලටයි විකුණා ඇත්තේ
මුන්හට දෙන්නට දඬුවම් නැතුවැති
- දැන් තිබෙනා ‘නීතියේ පොතේ’
![]() |
සැත්කමකට අරගෙනලු මෙයාලා - මොළය මැරිල තිබු මළ මිනියක් |
පිරිහී ගිහිල්ල මනුස්සකම මේ
- කට්ටියගෙන් සීයට සීයක්
කරලා තියෙන්නෙ මනුස්ස නමටත්
- නිගා දෙවන ජාතියේ වැඩක්
සැත්කමකට අරගෙනලු මෙයාලා
- මොළය මැරිල තිබු මළ මිනියක්
ඊට හපන් කාරණේ එතකොටත්
- මරණය සිදු වී පස් දවසක්!
හොර වෙද සහතික, බොරු වෙද රිපෝට්ස්
- එහෙමත්
දීලලු ආරංචියි
නිකං නෙවෙයි ඒවා දෙන්නැත්තේ
- ලක්ෂ ගාණකින් පුද ලබලයි
මොටද උගත්කම, මොකටද ලොකුකම
- තත්ත්වය පිච්චියකුදු නොවටියි
සුනඛ පුකේ බැඳි මීයේ මී පැණි
- වගේ තමයි වැඩකට නොගනියි
ඔහොම හම්බකොට කෑවත් කෑ හැකි
- බඩට තරම විතරයි නේද
දාහක් තිබ්බත් එක වෙලාවකදි
- යහන් දෙකක වැතිරිය හැකිද
කාව රැවටුවත් බොරුවෙන් හොඳහැටි
- තමනුත් රවටාගත හැකිද
මරුවා එක්කං යන්නෙ හිස් අතින්
- වස්තුව අරං ගියේ කවුද?
(‘අරුණ’ පුවත්පතේ පළවූ පහත දැක්වෙන වාර්තාව කියැවීමි. එයින් කම්පනයටද පත් වීමි. ඉහතින් දැක්වෙන කවි කීපය මා රචනා කළේ එසේ කම්පිත
හදැතිව සිටියදීය.)
![]() |
රෝගීන්ගේ තරාතිරම අනුව තමයි මිල ගණන් අය කරන්නේ. |
‘වෛද්‍ය මහේෂි විජේරත්නගේ සැත්කම් ගැන
තවත් තොරතුරු
දූෂණ චෝදනා එල්ල වී සිටින ශ්‍රී ජයවර්ධනපුර
රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න රෝගීන් ලවා තමන්ට අයත් පෞද්ගලික ආයතනයකින්
ශල්‍ය උපකරණ ගෙන්වාගෙන මොළය මියගිය රෝගීන්ටත් සැත්කම් සිදුකර ඇති බව අද (24) අධිකරණයේදී
අනාවරණය වුණි.
ඒ, අල්ලස්
හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අදාළ විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත්
කළ අවස්ථාවේදීය.
ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ කොළඹ ප්‍රධාන
මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනාම ජුලි 08 වැනිදා
දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාරගත කිරීමට නියෝග කළාය.
අල්ලස් පනතේ දූෂණය නම් වරද යටතේ රක්ෂිත
බන්ධනාගාරගත කර සිටින විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තිදෙනා
සම්බන්ධයෙන් වූ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබීය.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී
සිටි පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන්ත වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට
කරුණු දැක්වීය.
"ස්වාමීනී සැකකාර වෛද්‍යවරිය ජයවර්ධනපුර
රෝහලේ එකම ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය. ඊ.වී.ඩී නමැති ශල්‍ය උපකරණ ජයවර්ධනපුර රෝහලේ
රුපියල් 17,500ක මුදලකට ගන්න පුළුවන්. නමුත් සැකකාර වෛද්‍යවරිය රෝගින්ට කියලා තියෙන්නේ
ඒවා පිටින් ගන්න කියලා. එය සිදුකර තිබෙන්නේ, සෙසු
සැකකරුවන් දෙදෙනා හරහායි. රෝගීන් යොමුකරලා තියෙන්නේ එම්.එන්.එම්. මෙඩිකල් සර්විස් නමැති
ආයතනයකට. එහිදී රු.17,500ක රෝහලින් මිලදී ගන්න පුළුවන් ශල්‍ය උපකරණය රෝගින්ට අලෙවි
කරලා තියෙන්නේ රුපියල් 150,000 සිට 250,000 අතර මුදලකට. ඊට අදාළ බිල්පත් විමර්ශනවලදී
අනාවරණය වුණා. රෝගීන්ගේ තරාතිරම අනුව තමයි මිල ගණන් අය කරන්නේ. මිලදී ගන්නා ශල්‍ය උපකරණ
කිසිම අවස්ථාවක රෝගීන්ගේ අතට දීලා නැහැ. ජයවර්ධනපුර රෝහලේ ශල්‍යාගාරයේ ප්‍රධාන හෙද
නිලධාරීනියගෙන් ප්‍රශ්න කළ විට ඇය කියා සිටියේ ඇතැම් විට සැකකාර වෛද්‍යවරියම එම උපකරණ
ශල්‍යාගාරයට රැගෙන එන බව."
අනතුරුව විමර්ශන නිලධාරියා සැකකරුවන්ට
ඇප ලබාදීමට විරෝධය පළ කරමින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.
"ස්වාමිනි, මෙම වෛද්‍යවරිය
අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඊයේ පමණක් ඇයට එරෙහිව ඇමතුම් 92ක් අල්ලස් කොමිසමට ලැබිලා
තියෙනවා. දැනට වෛද්‍යවරියගෙන් ප්‍රතිකාර ගත් රෝගීන් 88කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් විශාල සමාජ කැළඹීමක් හටගෙන තිබීමත්, වෛද්‍යවරියට
එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ චාමර ප්‍රසාද් අබේවර්ධන නමැත්තාට ජීවිත තර්ජන එල්ල වී
තිබීමත් සලකා බලා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කොට රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස
මා ඉල්ලා සිටිනවා."
![]() |
අවසානයේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙලා තිබෙනවා එම සැත්කම් කර තිබෙන්නේ, රෝගීන් මියගොස් දින පහකට පසුව බව. |
අනතුරුව සැකකාර වෛද්‍ය මහේෂි විජේරත්න
මහත්මිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
"ස්වාමීනි... ශල්‍යකර්මවලට අවශ්‍ය
ශල්‍ය උපකරණ පිටතින් මිලදී ගැනීම අලුත් දෙයක් නෙවෙයි. ජයවර්ධනපුර කියන්නේ මුදල් අය
කරලා සැත්කම් කරන තැනක්. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ
ප්රශස්ත මට්ටමේ ඒවා නොවෙයි. ඒ නිසයි වඩාත් ගුණාත්මක උපකරණ පිටතින් මිලදී ගැනීමට රෝගීන්ට
සිදුවෙලා තිබෙන්නේ. මේ නඩුකරයට අදාළ විමර්ශනය ආරම්භ වුණේ 2023 සිට. මගේ සේවාදායිකාව
කිසිදු පුද්ගලයෙකුට තර්ජනය කර නැහැ. එබැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ
කරුණු ඉදිරිපත් වී නැති නිසා ඇය ඇප මත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා."
විත්තියේ නීතිඥවරුන්ගේ ඇප ඉල්ලීමත්
සමඟ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය
මෙසේ කරුණු දැක්වීය.
"ස්වාමීනි... මේ සැකකාර වෛද්‍යවරිය
ඖෂධවලින් සුව කළ හැකි රෝගින්වත් සැත්කම්වලට භාජනය කර තිබෙනවා. මොළය මියගිහින් හදවත
යන්ත්‍රවලට සම්බන්ධ කර තිබූ රෝගීන්ටත් මෙම සැකකාර වෛද්‍යවරිය සැත්කම් සිදුකර තිබෙනවා.
අවසානයේදී පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙලා තිබෙනවා එම සැත්කම් කර තිබෙන්නේ, රෝගීන්
මියගොස් දින පහකට පසුව බව. ස්වාමීනි... මෙම සැකකාර වෛද්‍යවරිය විශාල දේශපාලන බලයක්
හිමි තැනැත්තියක්. ඇයට ඇප ලබා දුනහොත් විමර්ශනවලට බාධා සිදුවෙන්න පුළුවන්."
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු
සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ලබන
08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.’෴0෴
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්න්දෝ මේ අවනඩු කිව්වලු.
ReplyDeleteශල්‍ය වෛද්‍යවරයෙක්ට මේ වගේ දෙයකට අත ගහන්න උඩින් හොඳ සපෝට් එකක් ඕනමයි. ඒ බළල් අතුත් එලිවෙනවානම් හොඳයි මේ අනාවරණ අවසානෙ හිටං
//ජයවර්ධනපුර කියන්නේ මුදල් අය කරලා සැත්කම් කරන තැනක්. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ ප්රශස්ත මට්ටමේ ඒවා නොවෙයි.....මෙම සැකකාර වෛද්‍යවරිය විශාල දේශපාලන බලයක් හිමි තැනැත්තියක්...සැකකාර වෛද්‍යවරිය ජයවර්ධනපුර රෝහලේ එකම ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය//
ReplyDeleteහ්ම්......ලෙඩා මලත් මොකද, බඩ සුද්ද වෙනවා නං කියලයි හිතුනෙ.🤔
මේ මජර ක්‍රමය හැදුවෙ, මේ ආණ්ඩුව නොවන බව ඇත්ත. වැරදි කල අයට දඞුවම් දෙන එක හොඳ බවත් ඇත්ත. සෞඛ්‍ය ඇමති ජොස්තර තුමා පිටරට සංචාරෙ එහෙම ගියා නේද? ඒ රටවල ක්‍රම බලාගෙන ඇවිත් ඕව වෙනස් කරයි නේද?
ReplyDeleteඅපි නං ඉහගෙන කෑව පුතේ
ReplyDeleteබොගේ අතේ මතු අනාගතේ
වෙනසක් වේවිද දන්නෙ නැතේ
බලාපොරොත්තුව තවම ඇතේ