ධනුෂ්ක කතා කළේ සිනාසෙමිනි. මිලින්දගේ
දෙතොල් අතරෙත් සිනා රැල්ලකි. එහෙත් මාලතී සිටියේ.... |
“කොහොමද.....? කකුල සනීපයි වගේ...”
ධනුෂ්ක කතා කළේ සිනාසෙමිනි. මිලින්දගේ
දෙතොල් අතරෙත් සිනා රැල්ලකි. එහෙත් මාලතී සිටියේ ප්‍රතිසිනා පෑ හැකි මානසික මට්ටමක
නොවේ. සිනා නොවීම අවිනීතකමකියි සිතුණු විට ඈ ආයාසයෙන් සිනහ වූවාය. එය සිනහවකට වඩා
විරිත්තීමකි.
“එදා මං එතනට එන්න කලින් පැනල
දිව්වනේ....?”
“උඹගෙ මූණත් තහඩුව දැක්කම බය හිතෙන්න ඇති
කොටියෙක් කියලා, නේද නංගී?” මිලින්ද මිතුරාට සහයෝගයක් දුන්නේ සිනා වෙමිනි.
මාලතීටත් සිනා නැඟුණත් ඈ සිටියේ නොඉවසිල්ලෙනි.
‘අප්පොලා එක්ක මෙතැන කදේ දාගෙන ඉන්නවා
කවුරුවත් දැක්කොත්...’ මාලතීගේ සිතට වද දුන් හැඟීම එයයි. සහජ ඉව ඇයට අනතුරු
අඟවමින් සිටී!
“මං යන්නං.... අප්පෝ...”
මම නං හප්පෝ නෙවෙයි නංගී. ඔය ඉන්නේ
හප්පා.... |
මාලතීගේ පැකිළීම ධනුෂ්කට වැටහී තිබිණි.
ගැමි යුවතියෙකු නාඳුනන තරුණයන් දෙදෙනෙකු සමඟ තනි පංගලමේ දිගින්-දිගට කතා කරමින්
සිටීම සුදුසු දෙයක් සේ නොසැලකෙන බව ඔහු දනියි.
“... ගියාට කමක් නෑ... මට ඔයාව හම්බ වෙන්න
ඕනේ... ඔයා ආයෙමත් කවදද ඇල්ලට එන්නෙ?”
මාලතීගෙන් පිළිතුරු නොලැබෙන විට ධනුෂ්ක
නොඉවසිලිමත් වූයේය. “අද... හෙට... කවදටද?” ඔහු කටට උත්තරය දී ඇසුවේය.
“හෙ..ට හවසට... එන්නං අප්පෝ....”
දෙමිතුරෝ පිටුපා යන යුවතිය දෙස බලා
සිටියහ.
“මිස්ටර් ධනුෂ්ක රුවන් දන්තුරේ බණ්ඩාර ...
දැන්වත් උඹට සන්තෝසයිද?” මිලින්ද ඇසීය.
******
දන්තුරේ වලව්ව තරමක් විශාල එකකි. තරමක් උස් බිමක එය ඉදිකොට තිබුණේ ඈතින් සිට බලන අයෙකුට වුවද දිස්වෙන ආකාරයෙනි. ‘අපේ මී මුත්තෝ මේක හදෝල තියෙන්නෙත් සෙංකඩගලපුරේ හැදුවා වගේ ජය බිමකලු!’යි දන්තුරේ බණ්ඩාර උදම් ඇනුවේ වරක් හෝ දෙකක් හෝ පමණක් නොවේ.
දෝතළු ගොල්ල අසල වූ තණ බිස්සේ වාඩි වී
සිගරැට්ටුවක් උරමින් සිටි මිලින්ද වලව්ව දෙස බලා සිටියේ ආසාවෙනි.
දෝතළු ගොල්ල අසල වූ තණ බිස්සේ වාඩි වී
සිගරැට්ටුවක් උරමින් සිටි..... |
“හ්ම්!”
මිලින්ද සිත් සේ සිගරැට්ටුව රස වින්දේය. ගෙදරදී
නම් ඔහු වැඩිමල් සොයුරු දමින්ද ඉදිරියේදී පවා දුම් පානයට පැකිළුණේ නැත. අම්මාත්
තාත්තාත් දෙදෙනාම තම පුතුන් දෙදෙන දුම් පානය කරන බව දැන සිටියෝය. තම දෙමවුපියන්
කෙරෙහි ඇති ගෞරවයටත් වඩා බැතිබර ගෞරවාන්විත හැඟීමකින් කුමාරිහාමිට සැලකූ මිලින්ද
වලව්වේදී සිගරැට්ටුවක් ඉරුවේ එහෙමත් වෙලාවක පමණි. එයද කාමරයට වැදී දොර වසාගත්
පසුවය.
කල්පනාවේ ගැලී සිටින ධනුෂ්ක අසලටම ගිය
මිලින්ද තණ බිස්ස මතින් වාඩි වූයේය.
“උඹට මොකද මචං වෙලා තියෙන්නේ....?”
“....”
“උඹට බාගෙට පිස්සුද? පහුගිය දවස් ටිකේම උඹ
කියා-කියා හිටියනෙ ඒකි ගැන හිතෙන් අතෑරියා කියලා... දැන් මූඩ් ගහලා.... ඒකිව
දැක්කා විතරයි උඹට ඔක්කොම අමතක වුණා.”
මෙවැනි ප්‍රශ්නයක් මතු විය හැකි බව
ධනුෂ්කට වැටහී තිබිණි. එහෙත් ඒ සඳහා ප්‍රමාණවත්; පිළිගත හැකි පිළිතුරක් ඔහු දැන
සිටියේ නැත.
බලා සිටියද පිළිතුරක් නැති තැන මිලින්ද
නැඟිටින්නට තැත් කළේය. ධනුෂ්ක මිතුරාට එතැනින් ඉවතට යන්නට ඉඩ හළේ නැත.
එංගලන්තේදී නිදහසේ කකා හිටපු එකාට දැන්
මෙහෙ ආවාම පො...ර...සෝ...කේ! සැප නෑ...!! |
“මෙතැන ඉඳං මූඩ් ගහගෙන හිටියොත් නැන්දා
හිතයි අපි කුඩු ගහලා කියල.....”
“හරි, හරි.... අම්මා දන්නවා උඹ කුඩු ගහනවා
කියලා... ආයෙ මොනවා අමුතුවෙන් දැන ගන්නද?”
“විහිළු නෙවෙයි බං. මට දැන් උඹේ ඔය ඉලව්
‘ලව’ එපාම වෙලා. උඹේ හිතේ තියෙන කෙහෙල්මලක් එක්කෝ මටවත් කියන්න ඕන. ඒකත් නෑ....
ඇයි උඹට මාව අවිශ්වාසද?”
අසල වූ ගල් කැටයක් අහුලාගත් ධනුෂ්ක එය ඈතට
වීසි කළේය. සිනාසී මිතුරා දෙස බැලූ ඔහු ගැඹුරු සුසුමක් පිට කළේ ලොවම දවා අළු කරන්නට
මෙනි.
“උඹ දන්නවද මට හිතිලා තියෙන දේ? එක්කෝ ඕනෙ
නෑ.... මං ඒක කිව්වොත් උඹ තරහ වෙන එක විතරයි වෙන්නෙ.”
“කියපං බලන්න.” ධනුෂ්ක මිතුරා දෙසට
හැරුණේය.
“ඔන්න එහෙනං අහගනිං.... සුද්ද සිංහලෙන්ම
කියනවා නං, උඹටත් උඹලගෙ අප්පච්චිට ඒ කාලෙ වුණා වගේ දැන් මදනය ඉහට ගහලා. එංගලන්තේදී
නිදහසේ කකා හිටපු එකාට දැන් මෙහෙ ආවාම පො...ර...සෝ...කේ! සැප නෑ...!! හැබැයි උඹට
ගට්ස් ඇත්තෙත් නෑ ඔය ඕනි ටික කරගන්න.”
මිලින්ද සිතූ අයුරින් ධනුෂ්ක කෝප වූයේ
නැත. ඔහු සිනා වුණා පමණි. එය මිලින්දගේ කෝපය තවත් වැඩි කරවූවක් විය.
උඹටත් මට වගෙම ඉවසිල්ලක් නැද්ද අද? |
කෝපයෙන් කියූ මිලින්ද වලව්ව දෙසට ගියේ අසල
වූ මල් පඳුරකටත් පයින් ගසමිනි.
********
“මොකද කෙල්ලේ අද පාන්දරින්ම නැඟිටලා...?”
ළිප මොලවමින් සිටි සිසිලියානා මාලතී දෙස
බැලුවේ පුදුමයෙනි.
“ඇහැරුණා අපෙ අම්මා.... මං කිරි දොවන්නං!”
බාල්දියට පුන්නක්කුත් වතුරත් දමා එය
කැලැත්තූ මාලතී හරක් මඬුවට ගියාය. පුන්නක්කු බාල්දිය හඳීට දුන් ඇය වසු පැටියා
ගෙනවුත් වඩාත් ළඟ වූ කණුවක ගැට ගැසුවාය.
“හිටපං ටිකක් ඉවසලා... උඹටත් මට වගෙම
ඉවසිල්ලක් නැද්ද අද?”
මඳක් උණුසුම් වතුරෙන් හඳීගේ කිරි බුරුල්ල
සෝදා හළ මාලතී කිරි දොවන්නට වූයේද එළදෙන හා කතා කරමිනි.
“කියාපං හඳියෙ, උඹ හිතන්නේ මං හවසට එහෙ යන
එක හොඳයි කියලද? කෝ.... උඹ කිව්වේ නෑනෙ.... ඔන්න මං එහෙනං උඹේ කිරි ටික ඔක්කොම
දොවා ගන්නවා, උඹේ පුතාටවත් නොතියා...”
“මොනවද මයෙ දුවේ තනියෙන් කියවන්නේ? කෝ,
කිරි ටික දොවල ඉවරෙයි? ආං අප්පච්චිත් ඇහැරිලා....”
දියණියගේ පමාව බලන්නට ආ සිසිලියානා කීවාය.
වටපිට බැලූ රාමන් කිසිවෙකු නැති බව සැක
හැර දැනගත් නමුදු.... |
“ඇයි බං අර පැටියව ලෙහුවෙ නැත්තෙ.... ආං ඌ
බෙරිහං දෙනවා.... අනේ මන්දා, උඹේ සිහියට මොකක් වෙලාද කියලා...”
‘ඇත්තටම මට මොකක්ද වෙලා තියෙන්නේ...?’
මාලතී මවට නොඇසෙන තරම් සෙමින් තමාටම කියා ගනිමින් වසු පැටවා මුදා හැරියාය. පිම්මක්
ගැසූ වසු පැටියා හඳී සමීපයට දුවගොස් කිරි උරන්නට වූයේය.
********
“මිලින්ද මාත්තියා.... මිලින්ද
මාත්තියා...”
කාමරයේ ජනේලයෙන් එබෙන රාමන් දුටු මිලින්ද
එතැනට ගියේය. රාමන් නිතර කතාබහේ යෙදෙන්නෙක් නොවේ. තමන්ගේ පාඩුවේ කර බාගෙන වැඩෙහි
නිරත වෙන ඔහු වැඩිමනත්ම කතා කළේ දන්තුරේ බණ්ඩාර සමඟිනි. අනෙක් අතින් දවස මුළුල්ලේම
වැඩෙහි යෙදුණත් කරන්නට තරම් වෙන වැඩ කන්දරාවක් රාමන්ට පැවරී තිබිණි. එසේ තිබියදී
රාමන් මෙලෙස තමා සමඟින් කතාවට පැමිණියේ මන්දැයි මිලින්ද සිතුවේය. වටපිට බැලූ රාමන්
කිසිවෙකු නැති බව සැක හැර දැනගත් නමුදු කතා කළේ සෙමිනි.
නේ... නේ.... නේ. යේක පලාගෙන... පලාගෙන...
පරේස්සමෙන්... |
“මාතියා... රාසක් තමා තීනවා....!”
රාමන්ගේ සිංහල උච්චාරණයට නැඟුණු සිනහව
මිලින්ද සඟවා ගත්තේ නැත.
“තියෙනවා නං තියා ගනිංකො....” මුලින් කියූ
ඔහු, රහසින් ඒ කුමක්දැයි ඇසුවේය.
“මාතියා.... යේක පුංචි අප්පො කතා කරාපු
ගේනි තමා.... ඒකිගෙ අප්පා අරි වෂ මුනියා. අපේ පුංචි අප්පොට පලාගෙන කීන්න
මාත්තියා....”
“මොනව පලාගෙන කියන්නද බං?”
“නේ... නේ.... නේ. යේක පලාගෙන...
පලාගෙන... පරේස්සමෙන්...”
“හා... බලාගෙන...”
“ෂරි ෂරි.... යේක තමා මාතියා.... යේක
විල්මට් මෙහෙ තමා හිටියා... අරී වෂ මුනියා... යේක ලොක්කු අප්පෝ එක්ක තමා තරා....”
තවත් නිමල් දිසානායක කෙනෙක් පොත් ලියයි;
පරිවර්තනයත් කරයි.... |
ආපසු යාමට සැරසෙන මිතුරා ඒ සඳහා සූදානම්
වෙන බව දැන සිටි ධනුෂ්ක සිය කාමරයටම වැදී සිටියේය. තමා සමඟම අමනාපයෙන් සිටි ඔහුට
ඇඳෙහි හාන්සි වී සිටි වනම නින්ද ගොස් තිබිණි.
******
කෙනෙකුට කිව්වාට අදහන්නේ නැතිව ඉන්නත් පුළුවන්ය. හැම
එකකම වගේ පැටලිල්ලක් හැදෙන මගේ, මේ නවකතා කෙරුවාවෙත් පැටලිල්ලකි!
තවත් නිමල් දිසානායක කෙනෙක් පොත් ලියයි; පරිවර්තනයත් කරයි. ඒකෙන් වෙලා තියෙන්නේ ඒ මහත්තයාගේත් මගෙත් පොත් එකම ගොඩට වැටෙන එකය.
පොත්
කැටගරි කරද්දී බලන්නේ කතුවරයාගේ නම විතරයිනේ... ගම, ලිපිනය වගේ වංහු ටිකත් හොයන්නේ;
සසඳන්නේ කවුද? ඒ විදිහට බලද්දී මාත් ලොකු නවකතාකාරයෙකි. ඒ අනෙක් නිමල් දිසානායක
පොත් ගණනාවක්ම පරිවර්තනයත් කරලා තිබෙන නිසාය!
මේ කොහෙන්ද අකලංක නිමල් දිසානායක නමට
කලින් mr එකක්.... මම මරාගේ පන්දමෙක්ද යකෝ? |
“මහප්පේ..... බ්ලොග් සයිට් එකක් හදන්න නං ඔයාට gmail එකවුන්ට් එකක් තියෙන්න ඕනි.” 2018 මාර්තු මාසයේ අග හරියේ ඉරිදාවක අපේ අකලංක නයනප්‍රිය දිසානායක කිව්වේය. (fb එකෙත් අකලංක දිසානායකලා දෙන්නෙක් සිටිති.) “ඉතිං මට මොකක්ද යක්ෂයෝ කරන්න කියන්නේ....” මම කුස්සියේ සිටම ඇසුවෙමි.
“මට බ්ලොග් සයිට් එක හදන වැඩේ තමුසෙ කරලා දෙනවා,
ලස්සනට... තීරණයක් ගන්න ඕනිම තැනදී විතරක් අහනවා... මං දවල්ට උයන්න යනවා...”
කියලාය මං අකලංකට එදා dutyය බාර දුන්නේ.
“ඔන්න මහප්පේ එහෙනං ඔන්න මං ඔයාට gmail account එකක්
හදනවා!”
“හා යක්ෂයෝ හා...”
‘යක්ෂ හා’ එකේ තරම තේරුණේ ටික දවසකට පස්සේ ඊමේල් එන්නට
ගත්තාමය. “මේ කොහෙන්ද අකලංක නිමල් දිසානායක නමට කලින් mr එකක්.... මම මරාගේ
පන්දමෙක්ද යකෝ?”
මගේ නම මැද්දට දාන්නට හැදූ ‘රංජිත්’ කෑල්ල
හැලුව නර්ස් නෝනාට පිං දෙන්නට ඕනෑය.... |
“යකෝ, මෙච්චර IT උගතෙක් වෙලත් උඹේ මොළේ මැටිද මිනිහෝ....
මොන ලජ්ජ නැති කමක්ද තමන්ගේ නමට ඉස්සරහින් තමන්ම Mr. කියලා දමා ගැනිල්ල?”
“ඕකනේ කියන්නේ මහප්පේ.... දැන් ඔයාට තද වුණාට කරන්න
දෙයක් නෑ.... නිමල් දිසානායක කියලා නමෙන්ම ඊමේල් account එක හදන්නය කිව්වට නිමල්ලා
දහයක් විතර හිටියා. මම ඉතිං ඔයාව අඳුරගන්න ලේසිවෙන්න mr මුලට දැම්මා.... ඔයාගෙන්
ඒකත් අහන්න ගියා නං ඒ වෙලාවේ මාව කනවනේ.... දැන් ඒක වෙනස් කරන්න ගියොත් හෙණ අවුල්
මහප්පේ... ඔන්නොහෙ එහෙම්ම තියෙන්න අරිමු...”
දැන් විස්තර හොයාගෙන යනකොට පෙනෙන්නේ අකලංකගේ කතාවේ
ඇත්තයි.
fb එකේ ඉන්නා නිමල් දිසානායක රොත්තෙන් කෙනෙකු නඩුකාර උන්නාන්සේ කෙනෙකි. තවකෙක් විශාරද සංගීත ශිල්පියෙකි. තවත් කෙනෙක් අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙකි. අම්මලා මගේ නම මැද්දට දාන්නට හැදූ ‘රංජිත්’ කෑල්ල හැලුව නර්ස් නෝනාට පිං දෙන්නට ඕනෑය. නම නරකම නැත! බැබළෙන උදවියට අයිති එකක්නේ!!
එච්චරකුත් නොවේ.....
ගොඩ රළුවේ හේන් ගොවිතැනින් පවුලේ දිවි
පෙවෙත ගැට ගහ ගන්නා ඔහු රජරට අව්‍යාජ අහිංසක ගොවියෙකි. ඔහු නමින් ‘නිමල් දිසානායක’ය... |
‘දිය ලබු ගෙඩිය කණු මන්දක එල්ලා තබා උදේ සිට රෑට, රෑ වන
තුරු ගිනිසුකුළු අව්වේ මහ පොළොව සමඟ පොර බදමින් ගොඩ රළුවේ හේන් ගොවිතැනින් පවුලේ
දිවි පෙවෙත ගැට ගහ ගන්නා ඔහු රජරට අව්‍යාජ අහිංසක ගොවියෙකි. ඔහු නමින් ‘නිමල්
දිසානායක’ය. 1947 දී පොල්ගහවෙල, පොරමඬල ගමේ උපන් ඔහු තරුණ වියේදී රජරට තලාවේ
තිරප්පනේ නම් වූ රජකාලේ සිට පැවත එන ගම්මානයට පැමිණ කරුණාවතීගේ නිවසේ බින්න දීගයට
එකතු විය......’
ඒ නිමල් ගොවිතැනට අමතරව හරක් හැදීමත් කරලාය. අන්තිමට ගොන්
නාම්බන් 12ක්, කිරි එළදෙනුන් 11ක් හා පැටවුන් 5ක් හිටි හරක් පට්ටියම දන් දීමෙන්ය,
මේ විශේෂාංග ලිපියට මඟ පෑදී තියෙන්නේ.
‘....ඊට පස්සේ මීගස්සෑගම පන්සලේ නායක හාමුදුරුවන්ටත්
එන්න කියලා මීගස්සෑගම ගමේ දුප්පත් ගොවි පවුල් දහතුනකට මගේ හරක් ටික ඇසළ පෝය දා
තලාපවාපි පන්සලේදී දන් දුන්නා!.....’
අපේ රටේ ඉන්නා ගොඩාරියක් හරක් මගේ නොවේ; උන් උන්ගේමය. ඉතිං, මං උන්ව දන් දෙන්නේ කොහොමද? |
මගේ මොට්ට මොළේට ඔහොම පිං සිතුවිලි පහළ වුණාට ඒවා
කවම-කවරදාකවත් හරි යන්නේ නැති එව්වාය. අපේ රටේ ඉන්නා ගොඩාරියක් හරක් මගේ නොවේ; උන්
උන්ගේමය. ඉතිං, මං උන්ව දන් දෙන්නේ කොහොමද? මොන අහම්බයකින් හරි මට එහෙම බලයක් හම්බ
වුණත් මේ හරකුන්ව බාර ගන්නට එන්නේ මොන අප්පච්චිද?
මගේ මනස්ගාත එහෙමම තිබිච්චාවේ! ආයෙමත් ‘යුවති කිරිල්ලී’
පොතේ 39 පිටුවේ මැදට; 4 පරිච්ඡේදයේ අග භාගයට යමු!!
කළ ගෙඩියේ ඉතිරිව තිබුණු දිය බාල්දියට
දැමූ මාලතී තවත් වරක් මිදුල දෙස බැලුවාය. පහන් පැලේ සෙවණැල්ල තවමත් මිදුල කොණට ළඟා
වී නැත. ඈ වෙනදා දිය ඇල්ලට යන වෙලාව එයයි.
‘කමක් නෑ.... අප්පො ඇවිල්ල ඇති මයෙ
හිතේ....!’
සිතෙහි තිබුණු දෙගිඩියාව මැඬගත් මාලතී ඔහු
හමු වීමට යා යුතු යැයි තීරණය කළාය.
අළුයම සිටම සිත දෙමෝලෙන් පිටි කොටන
වංගෙඩියක් මෙන් යැයි ඇයට හැඟී තිබිණි. නැවත වරක් ධනුෂ්ක අප්පෝ හමුවීමේ ආශාව විටෙක
මතු වී එයි... ඊළඟ නිමේෂයේ චන්ද්‍රාගේ අවවාදය.... තාත්තගේ රළු බව... අම්මගේ අවවාද
සිතේ කඳවුරු බැඳ ගනී. එදා වෙලාව ගත වුණේද සෙමින්-සෙමින් බව මාලතීට සහතිකය.
ඈ වෙනදා දිය ඇල්ලට යන වෙලාව එයයි... |
“අපෙ අම්මා බය වෙන්ඩ ඕනැන්නෙ නෑ. මාව
ආයෙමත් ලෙස්සන්නේ නෑ...” මාලතී හිනැහී කීවේ මව සනසාලමිනි.
අවට සියලුම දේ අසිරිමත් චමත්කාරයකින්
නැහැවී ඇතුවාක් සේ දුටු මාලතී ඔකඳ වූවාය. වියළී ගිය මානා පඳුරක පවා සිත වසඟ කරවන
සුන්දරත්වයක් ගැබ්වී ඇතැයි ඇයට සිතුණි. දින ගණනාවකට පසු දකින දිය ඇල්ලද අන්
කවරදාකටත් වඩා අලංකාරය.
චකිතයෙන් වටපිට බැලූ මාලතී පණ ඇති
කිසිවෙකු හෝ නොදුටුවාය. ගින්නට හසු වූ ළා දලුවක් සේ හේබා ගිය ඈ දෙවන- තෙවන වරටත්
හාත්පස සිසාරා බැලුවාය.
ගල්කුළ වෙනදා මෙන්ම අහසට නැඟී සිටී. එහෙත්
ඒ මත කවරෙකුවත් නැත.
‘මං වේලාසනින් ආවනේ... අප්පො තාම මඟ
වෙන්නැති!’
බොහෝ වෙලාවක් ගතවෙන තුරුත් නොසැලී සිටි
ඇයට කිතියක් දැනී තිගැස්සී බැලුවාය. කුඩා මාළු රංචුවක්... |
සුසුමක් හෙළූ මාලතී නැඟිට්ටාය. දිය
කැළඹෙද්දී මාළු ඈතට පිහිනා ගියහ.
‘ඇයි ධනුෂ්ක අප්පෝ මට මෙහෙම කළේ?’
දිය දෝතක් ගෙන කඳුළින් තෙමී ගිය මුහුණ
සෝදා දැමූ මාලතී අවසන් වරටත් හැරී බැලුවාය. බලා, දිය කළය උකුළට ගෙන කඩිනම් ගමනින්
අඩි පාර දිගේ පිය නැඟුවාය.
ළතැවිල්ලෙන්ම අකල් නින්දකට වැටී සිටි
ධනුෂ්ක අවදි වෙන විට අඳුරු වැටී තිබිණි!
5
“ආයෙත් ටික දවසක් ඉඳලා යන්න වරෙං!”
ධනුෂ්ක මිලින්ද දෙස නොබලාම කියුවේය.
මිතුරාගේ වියෝව ඔහුට දරුණු පහරකි.
“මං එන්නම්කො.....”
“උඹ තරහ වෙන්න එපා... අවිශ්වාසෙකට නෙවෙයි,
තවම මමවත් දන්නෙ නෑ මම මොනවා කරනවද කියලා. මං උඹට ඔක්කොම කියන්නංකො දවසක....”
“ටේක් ඉට් ඊසි මචං!”
මිලින්ද මිතුරාගේ පිටට තට්ටු කළේය. ධනුෂ්ක
සුසුමක් හෙළා ළය සැහැල්ලු කර ගත්තේය.
ආයෙ එන්නම ඕනෑ... ඕවායි විස්ස විද්දියාලයි මේ කාලේ තිස්සෙම වහල දාපු ගමන් නොවැ. |
කාරයේ ඩිකිය විවෘත කළ රාමන් ඇඳුම් බෑගය
එහි තැන්පත් කළේය. දන්තුරේ බණ්ඩාරත්, කුමාරිහාමිත් වලව්ව්වට ගොඩ නැඟෙන පඩි පෙළ
මුඳුනේ සිටියෝය. කාමරයෙන් පිටවී ආ මිලින්ද පහත් වී මාමාටත් නැන්දාටත් වැන්දේය.
කුමාරිහාමි මිලින්දගේ හිස සිප ආසිරි පැතුවේ
කඳුළු සලමිනි.
“මිලින්ද පුතා ගියාම මයෙ පුතාට තමා හොඳටෝම
පාළු....”
“මම ආයෙ එනවා නැන්දා... මෙඩිකල් කොලේජ් එක
වහල හින්දා ඉක්මනටම එන්නංකො!”
“ඔව්, ඔව්. ආයෙ එන්නම ඕනෑ... ඕවායි විස්ස
විද්දියාලයි මේ කාලේ තිස්සෙම වහල දාපු ගමන් නොවැ.” දන්තුරේ බණ්ඩාර මිලින්දට සමු
දුන්නේය.....
කාකෙකට ඉස්සර මොකක් හරි වැඩකට විදුලි ලිපිනය ඉල්ලා ගත්තා. ඒක දැක්කාම හිතුනේ මේ මනුස්සයා තමන්ටම මිස්ටර් කැල්ල දාගෙන කියලා. හැබැයි පස්සේ හිතුනා මිස්ටර් එක හොදයි නිමල් 55 හරි වෙන කැලි එකතු කරනවට වඩා.
ReplyDeleteකලෙකට ඉස්සර ලෙසින් නිවැරදි විය යුතුය
Deleteඒක නේන්නං අසංග.... වෙච්චි දේට එන්න සෙයියදු කියලා බලං ඉන්නවා.
Deleteමට තියන ඊමේල් කොන්ටැක්ට්ස් වලින් එකම මිස්ටර්.
ReplyDeletePra Jay මහත්තයෝ, ඔයාට තියෙන contacts විතරක් නෙවෙයි, ලෝකේ එකම mr ඊමේල් ලිපිනය වෙන්නැති! ලජ්ජාවේ පණ යනවා. හොඳ වෙලාවට මෙච්චර කාලෙකට පස්සේ හරි මේක ලිව්වේ!
Deleteධනුශ්කට මොකද මේ ලමයා එනවා කිව්ව දවසෙම නින්ද ගියෙ. මාලතීගෙ excitement එකෙන් සුලු ප්‍රමානයක් වත් ධනුශ්කට නැත්තෙ ඇයි. බරපතල ප්‍රශ්නයක් වගෙයි.
ReplyDelete'අපේ රටේ ඉන්නා ගොඩාරියක් හරක් මගේ නොවේ' අම්මෝ...
පාර්ලිමේන්තුවේ ලඟදි රාසමනිකම් මන්ත්‍රිතුමා කරපු කතාවක බාශා තුනෙන්ම කතා කරමින් ඔහු කියන එක දෙයක් තමයි මේ ආන්ඩුව ලැජ්ජා වෙන්න ඕනෙ අහින්සක සින්හල මිනිස්සුන්ව මේ විදිහට රවට්ටන්න කියලා. හැබැයි අපේ අය ඇඳගන්න එවරෙඩි වගේම ඇඳගෙන ඉඳීම මහා වීරකමක් කියලයි හිතන්නෙ.
ඔයාගේ අනුමානය හරියටම හරි Lotus... ධනුෂ්කට ප්‍රශ්නයක් තමා....
Deleteඅපි එදත් රැවටුණා.. අදත් රැවටිලා හෙටත් රැවටෙනවා....! ඒක නේන්නං අපේ මානව නිදහස!
ධනුෂ්කයි මිළින්දයි වෙන් කරපු එක හොඳා. මට තිස්සෙම දෙන්නා මාරු වෙනවා...
ReplyDeleteධනුෂ්ක නිරාකරණය කරගෙන නැතුව ඇති තවම එයා මාලතීට ආදරෙයි කියලා. සංස්කෘතිය කොයි තරම් නම් මනුෂ්‍ය ජිවිත හා හැඟීම්වලට බලපානවද කියලා තේරෙනවා මේ සිද්ධියෙන්
ස්තුතියි ඩ්රැකී, මොකුත් උත්තර දෙන්න යන්නේ නෑ, කතාව ගැන.
Deleteඔය නම් පැටලෙනවා වගේ තැනකදී මං කරගන්නේ පොඩි උප්පරවැට්ටියක්. ධනුෂ්ක වෙනුවට දුනුවායා වගේ මතක හිටින නමක් ආදේශ කරගන්නවා.
මේ නිමල් දිසානායක කවුද මන්ද , දැන්නම් මටත් ෂුවර් නැහැ. ඔයා කතාව ලියන් යන සිංහල භාෂාව ලස්සනයි. හැබැයි මේක වලව් කතාවක් වගේ. හැබැයි නිදි තරහ වෙන්න එපා මේක කිව්වට. මේ වට්ටෝරුවක් වගේ දැනෙන්නේ මට. කොල්ලා වලව්වක , මෙඩිකල් කොලේජ් යන්නේ (වලව් වල එවුන් මෙඩිකල් කොලේජ් යන්නේ ස්ටීරියෝ ටයිප් එක . කෙල්ල දුප්පත් . හැබැයි මාර ලස්සනයි. මේක කොයි කලේද ලීවේ. ඒ කාලෙට ගැලපෙන පොතක්. යටින් ලියන විස්තර ටික හැමදාමත් වගේ මරු
ReplyDeleteඅජිත් මහත්තයෝ. අනෙක් නිමල් දිසානායකලා කොහොම වෙතත් මේ නිමල් දිසානායක කවුද කියලා මාත් තවම හොයනවා.
Deleteඔයා හරි. වට්ටෝරුවක් තමයි. ඒත් පසු භාගයේදී පොඩි වෙනසකුත් කරලා තියෙනවා... දිගටම කියවන්නකෝ.
පොත ලියලා පබ්ලිෂ් කළේ 1996.
කතාවත් එක්කම අමතර විස්තර ලියන්නේ ඒවා වෙන-වෙනම පෝස්ට්ස් වලට තරම් දිග නැති නිසයි. ඒත් වැදගත් නිසයි.