අහස් ගැබ පළාගෙන මතු වුණු පුෂ්පක යානය ................ |
ළා හිරු කිරණින් නබෝ ගැබ
තැඹිලි පැහැයෙන් දිදුලයි.
විසල් කොහොඹ තුරක් යට
ඇටවූ ලී මැස්සකි.
අඳුරු වන ගහනය දෙපලු කරමින් මතුවන්නේ වැදි රංචුවකි.
සමහරුන් අතේ
වනයෙන් නෙළාගත් පලවැලය; සමහරුන් අතේ දඩ මස්ය; තවත් සමහරුන් රැගෙන එන්නේ මීවදය.
තවත් සමහරු තල් අතු රැගෙන එති. ඒවා ලී මැස්ස උඩින් අතුරන ඔවුහු, ඒ තල් කොළ මතින්
ගෙනා දේවල් තැන්පත් කරති.
ඊළඟට වැදි යාතිකාවක් මතුරමින්
රංගනයක යෙදෙති. කොහොඹ රුකට පසුබිමින් නැඟී සිටින්නේ ඔකඳ ගල් තලාවයි. (දර්ශනය රැලි
නැඟෙන නිල්වන් මහ සයුරට ඡේදනය වෙයි.)
අඳුරු වනගැබ තුළින් මතු වුණු වැදි රංචුවක්............ |
ඈත සිතිජ මායිමෙන්
දිදුලන තිතක් පෙනෙන්නට ගනියි. එය විටින්-විට බබළද්දී කෙමෙන් විශාල වෙමින් පැහැදිලි
වෙයි. සයුරේ යාත්‍රා කරමින් තිබෙන්නේ රන් ඔරුවකි.
රන් ඔරුවේ වාඩිගෙන සිටින්නාත්
රන්වන් පැහැතිය; තේජවන්තය.
ඔරුව වෙරළට ඇදෙන්නේ ඔහුගේ සිතැඟිවලට කීකරු වෙමින් වගේය.
වෙරළට සේන්දු වුණු ඔරුවෙන් තේජවන්ත රූබරයා ගොඩබිමට බසිනවාත් සමඟම රත්තරන් ඔරුව කළු
ගලක් බවට පෙරළෙයි!
“අඩෝ.... මේකා ඇස් ඇරගෙන
නිදිද මන්දා....”
“උදේ ඉඳන් ඇවිත්
මහන්සියට වෙන්නැති. නැතත් ඕකා ‘නිදි’නේ. තත්පරෙන් නින්දට වැටෙන මිනිහනේ....”
මං මොකුත්ම නොකිව්වේ තරහ
වැඩිකමටය. මට ඕනෑවී තිබුණේ ඔකඳ ගල් පර්වතය මතටවී අතීතය මෙනෙහි කරන්නටය.
රාවණ රජු
මෙතනට ආ හැටි දකින්නටය.
වැද්දන් මෙතැන පුද සිරිත් පැවැත්වූ හැටි මවා ගන්නටය.
ඊටත්
පස්සේ ස්කන්ධ කුමාර ඉන්දියාවේ සිට රුවන් ඔරුවකින් ඔකඳ වෙරළට ගොඩබට හැටි මනසින් දැක
ගන්නටය.
මගේ ගමන් සගයන් ඒකට ඉඩ දුන්නේ නැත!
කොච්චර පෑව්වත් ඔකඳ පර්වතේ උඩ තියෙන ගල් කෙමවල් අටේම වතුර හිඳිලා යන්නේ නැතිලු! |
“ගල් බිල්ලා වගේ බුකෝගෙන
ඉන්නේ නැතිව කියපන්කො බං මෙතැන විස්තර..... එනකොට කිව්වා නේද මෙහෙදීම කියන්නම්
කියලා.” මර්වින් මතක් කළේය.
“දන්නවද... මේ ගල උඩ
කවදාවත් හිඳෙන්නෙ නැති ගල් කෙමවල් අටක් තියෙනවාලු. අර... කරුවලේම වුණත් දෙමළ
මිනිස්සු ඇවිත් ඒවායින් නානවා. රස්නේ හින්දම නෙවෙයි. එයාලා හිතනවා එතකොට පව්
හේදිලා යනවා කියලත්.”
“අපිත් විශ්වාස කරනවනේ
නිමල් අයියේ එහෙම කතාවක්.... උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ...”
අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයා මටත් වඩා පැරණි සාහිත්‍යය ඇසුරු කරයි. බොහොමයක්
පොත්වල කොටස් ඔහුට කටපාඩම්ය.
හොඳම දේ පීරිස් දැනුම update කරගන්නා එකය. සමහර දවසට
ඒ මනුස්සයා රාත්තිරි දෙක තුන වෙනකලුත් කියවයි; ජාලයේ සරයි! ඇත්තම කිව්වොත් අපේ
මිත්‍ර සමාගම එකිනෙකාගෙන් දැනුමත් පෝෂණය වෙන එකකි.
මිතුරු සමාගම් දිගුකාලීනව පවත්වා ගන්නට රහස් ක්‍රම තියෙනවාද? |
මිතුරුදම් දීර්ඝකාලීනව
පවත්වා ගැනීමේ රහසක් තියෙනවාද? මම නම් නොදනිමි. එකක් නම් දනිමි. අපේ මිත්‍ර සමාගමේ
හැම වරිගයේම අය එකට පෑහී සිටිති.
බොන්නන්-නොබොන්නන්,
පතපොත කියවන්නන්-නොකියවන්නන්, ඉවසිලිවන්තයන්-නොඉවසන්නන්, UNP- SLFP- JVP- සමසමාජ-
නවසමසමාජ- පොහොට්ටු පක්ෂවලට ලැදියාව ඇත්තෝ.....
මොන විදිහෙන් බැලුවත් එකම
කැටගරියකට දමාගන්නට බැරිය.
දොස්තරලා- ඉංජිනේරුවෝ- ව්‍යාපාරිකයෝ- පරිපාලකයෝ- බැඳපු
අය- අවිවාහකයෝ- තරුණ අය- වැඩිහිටි අය.... වලියට බර අය- නැති අය...
අපේ මිත්‍ර
සමාගමේ එකම පොදු සාධකය ‘හැබෑ මිතුරුකමය- අවංකකමය’.
අන්ත දෙකක ඉන්නා අය ගැන
හොඳම උදාහරණයක් පළමුවර පාද යාත්‍රාවෙන්ම දෙන්නට හිතෙන්නේ දැන්ය.
ගමනේ දෙවෙනි දවසේ රාත්‍රිය
ගත කරන්නට සැලසුම වුණේ නාවලඩි හෙවත් ළිං තුනේය. එතැනට යන්නට නම් විල්ලුවක් හරහා
යායුතුව තිබිණි. පැහැදිලි අඩි පාර දිගේ ගියා මිස අප වෙනින් කිසිවකුගෙන් අහගන්නට
නැවතුණේ නැත.
ඉතින් ගියා.... ගියා.... ගියා... ගියාම විතරය. ළිං තුනක් තියා
එකක්වත් තිබුණේ නැත.
කොච්චර ගියත් නාවලඩි හෙවත් ළිං තුන අපට හම්බ වුණේ නැත! (ෆොටෝ- ගිහාන් වික්‍රමසිංහ) |
“කෝ මනුස්සයෝ ළිං තුන?” මං
නිශාන්තගෙන් ඇහුවේ බැරිම තැනදීය.
නිශාන්ත එතකොට යාල වනෝද්‍යානයේ ට්‍රැකර් කෙනෙකි. අප මනුස්සයා ගැන හිතාගෙන හිටියේ වනගත
පාරවල් ගැන ඔස්තාද් කෙනෙකු විදිහටය. එයා දෙන්නෙත් ‘නැව් talkය’.
“... මඩමේතොට ඉඳලා ළිං
තුනට කිලෝ මීටර් දාහතරයි කියලනේ නිශාන්ත මං බලපු එව්වයේ තිබුණේ....”
“එහෙම නම් නිමල් අයියේ,
දැනටම අපි කිලෝ මීටර් දාහතක්-අටක් විතර ඇවිත්....” පීරිසුත් අලගු තිබ්බේය.
“ඒක නේන්නං නිමල් අයියේ,
තාම නැති වෙන්න විදිහක් නං නැහැ... වතුර ටැංකියකුත් තිබුණේ... හැබැයි තවම වතුර
දාලා තිබ්බෙත් නැත්තේ, අපි ළිං තුන පහු කරලා ඇවිත්වත්ද?” නිශාන්තගේ කට ඇරුණේ
එතකොටය.
පාලි, සංස්කෘත, එස්පරාන්ටෝ භාෂාවලින් ආක්‍රෝෂ- පරිභව වරුසාවක් වහින්නට ගත්තේය......... |
“ඇවිත්වත්ද? ඇයි xත්තෝ
තෝ නේද පාර දන්නවයි කිව්වේ.
තෝ නේද අම්මගේ රෙද්දේ ට්‍රැකර්? දැන් අපෙන්
අහන්නේ..... #%#@*+^%#”
ඔය විදිහට එක්කෙනෙක් ජාතිය අමතද්දී මං කළේ අප පසු කරගෙන ආ
පාර දිහාව බලාගෙන ඉඳීමය. “අනේ දෙයියනේ, කවුරු හරි එනවා නං අහගන්නවත්...”
මේවා අහම්බද, නැද්ද
කියන්නට නම් මම නොදන්නෙමි. ඈතින් දෙන්නෙක් මතු වුණේය.
“පොඩ්ඩක් ඉවසලා හිටිල්ලා.
අන්න, දෙන්නෙක් එනවා.... අහලා බලමු.”
ආවේ දමිළ ගැටවරයන් දෙන්නෙකි. එක්කෙනෙකුට
විතරය ‘කොඤ්ඤං කොඤ්ඤං සිංගල තෙරියුමා’ වුණේ. එතකොට පීරිස්ට ‘ඩිංග- ඩිංගය දෙමළ
කතාව’ පුළුවන් වෙලා තිබුණේ.
ඒ දෙන්නා ළිං තුනට
ගිහින්, නැවතෙන්නේ නැතිව ඇවිත්ය. ඒ එයාලාත් එක්ක ඇවිදින් හිටි අනෙක් අයව මඟ හැරුණු
නිසාය. අපට මඟ හැරී තියෙන්නේ ළිං තුනේ නවාතැන් පොළයි. එතැන පසු කරලා අප කිලෝ මීටර්
තුන-හතරක් වැඩියෙන් ඇවිත්ය!
පාද යාත්‍රාවේ යන කිසිවෙකුත් ආපසු හැරිලා යන්නට නම් සූදානම් නැත! |
“ආපහු යන එකේ තේරුමක්
නැහැ... අපරාදෙනේ. අපි ඉස්සරහටම යමු. බලමු වතුර ටැංකියක් තියෙන තැනක්වත්. එකම දේ,
මේ මිනිස්සු ටැංකි තියලා තිබුණට වතුර පුරවලා නැති එක. සාමාන්‍යයෙන් මිනිස්සු මේ
ඉසව්ව හරහා යන්නේ හෙටනෙ....”
මම තීන්දුව ප්‍රකාශ කළෙමි. මගේ සාධාරණ ඒකාධිපතිවාදය
එහෙමය. ප්‍රශ්නයක් පැන නැඟුණාම ඕනෑවට වඩා පමා නොකර විසඳුම් දෙන්නට ඕනෑය. වැඩියෙන්
ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නට ගියාම යන්නට වෙන්නේ හොම්බෙන්ය!
අපේ කතාබහ ඉවර වෙනතුරුම
සසිදරන්, දිනේෂ් කුමාර දමිළ ගැටව් දෙන්නාත් බලාගෙන උන්හ. දැන් අපේ නඩයේ අට දෙනෙකි.
මේ හැමෝම නුපුරුදු අයයි; කෝඩුකාරයෝයි.
“ඔයාලා දෙන්නටත් අපිත්
එක්කම ඉන්න පුළුවන්. රෑට කන්න දේකුත් දෙන්නම්. හෙට උදේට යාළුවන්ව හොයාගන්න.”
අනේ,
එහෙම කිව්වාම අර ගැටවරයන් දෙන්නාගේ මුහුණේ මතු වුණු අස්වැසිල්ල!
වතුර ටැංකියක් තියෙන තැනක් හම්බ වෙනකල් යමු! |
“අද රෑ දොළහට හරි වතුර පුරවන බවුසරේ එනවා. එතකල් නම් සොරි තමයි.”
“කමක් නැහැ. අපේ ළඟ වතුර
ටික-ටික තියෙනවා බෝතල්වල. ඒකෙන් ෂේප් වෙනවා. දෙවියෝ බැලුවොත් බවුසරේ ඉක්මනට එයි!”
ඇත්තටම දෙවියන් අප දෙස
බැලුවා වැනිය. අට විතර වෙද්දී වතුර බවුසරය ආවේය. නොනවත්වාම ළිං තුන පැත්තට ගිහින්,
මඟ තිබුණු ටැංකිවලට වතුර පුරවා ආපහුත්
ආවේය.
ඒ අතරේ අපේ මිතුරු නිශාන්ත හමුදා භටයන් එක්ක බජනෙට වැටිලාය. ටිකකින්ම මිනිහා
දුවගෙන ආවේය.
ඇත්තටම දෙවියන් අපේ දිහාව බැලුවා වෙන්නැතිය .......... |
“ටක් ගාලා යං. දොස්තර
මහත්තයෝ, මං අරගොල්ලන්ට කිව්වා ඔයා කවුද කියලා...... ටැංකියට පුරවලා වතුර ඉතිරි
වෙනවලු. හමුදාවේ කොල්ලෝ ලැහැස්ති වෙන්නේ ඉතිරි වතුරවලින් නාගන්න. ඒ අස්සෙම අපටත්
නාගන්නලු!”
අපේ මිත්‍ර සමාගමේ එක
අනාවැකියක් වැරදුණේ එහෙමය.
“නිමල් එක සැරෙන්ම පාද යාත්‍රාවේ යන එක නවත්තනවා.
මිනිහට නොනා එක දවසක්වත් ඉන්න බැරි එකේ.... කොහෙන්ද හැමදාම නාන්න ලැබෙන්නේ.”
මිතුරන් පාරම් බාලා තිබුණත්, ඒ වතාවේ හැම හැන්දෑවකම මට නාගන්නට ඉඩ ලැබිණි;
කිසිසේත්ම chance එකක් නොලැබෙන්නට ඉඩ තිබුණු එදාත් මට නාන්නට හැකිවිණි. නාන්නට
විතරක් නොවේ. කිළිටි ඇඳුම් හෝදාගන්නටත්. අනෙක් අයත් එසේම කළහ.
පහුවදා පාන්දර සූදානම්
වෙද්දී ඇබැද්දියක් වෙලාය. මගේ යට ඇඳුම- ජොකා missingය.
“හරි වැඩේනේ. මං ඊයේ රෑ
නාලා ඇවිත් හෝදපු ඇඳුම් ඔක්කොම මෙතැන කටු ගහේ වැනුවා. දැන් අන්ඩර්වෙයාර් එක විතරක්
නැහැ.”
“හුළඟේ යන්න ඇති නිමලෝ.”
මර්වින් බොතේජු පරක්කු නොවී කිව්වේය.
“රෙද්ද අස්සටද යකෝ
හුළඟක් ආවේ?.....”
රෙද්ද අස්සටද යකෝ හුළඟක් ආවේ? |
“.....මඟුලක් කියනවා
මෙතැන. කමිසේ, බැනියම විතරක් නෙවෙයි ලේන්සුවත් තියෙනවා... ජොකා කොහොමද යකෝ හුළඟෙ
යන්නේ?”
ඇහුවාට වැඩක් වුණේ නැත. හෙව්වාටත් වැඩක් වුණේ නැත. බෑගයෙන් වෙනින් එකක්
ගන්නට විණි.
එතනින් පිටත්වී කිලෝ මීටරයක් විතර ආවාම අපේ නඩේ මිතුරෙක් ප්‍රශ්නයක්
ඇහුවේය.
“නිමල්, උඹේ ජොකා මොන
පාටද?”
“දුඹුරු පාටයි.”
“උඹට හොඳටම මතකයිද?
අඳුනන්න පුළුවන්ද?”
“හිතුවද මටත් තමුසෙට වගේ
මඤ්ඤං කියලා.”
“නෑ මගේ එකත් දුඹුරු
පාටයි. ඊයේ රෑ නාලා ඉවර වෙලා මාත් ඒක වැනුවා වේලෙන්න... මට දැනුයි මතක් වුණේ, මං ඒක වනන්න ඇත්තේ
පාරෙන් එහා පැත්තේ වෙන්නැති. සොරි බං.... ගෙදර ගියාම මං උඹට අලුතෙන්ම එකක් ගෙනත්
දෙන්නං”
ඒ මිතුරාගේ බිරියට නම් එදා පාන්දර කිවිසුම් වැස්සක් යන්නට ඇතිවා ............. |
ඒ මිතුරාගේ බිරියට නම්
එදා පාන්දර නොකඩවා කිවිසුම් යන්නට ඇතුවා නිසැකය. “යකෝ, උඹයි ගෑනියි දෙන්නම අඳින්නේ
එකම ඒවාද? ඒවාත් පැටලෙනවා ඇතිනේ.... හිටපංකෝ, සිග්නල් තියෙන හරියකට ගියාම xxxගෙන්
අහන්න.”
ඒ මිතුරාගේ සිහිය එහෙමය.
අවුරුදු හතළිහකටත් වඩා අපේ මිතුරුදම පැරැණිය. මනුස්සයාගේ අසිහිය ගැන කියන්නට නම්
මට දවස් හතළිහක්වත් ඕනෑය.
අනෙක් මිතුරන් වුණත් එක-එක දේවලදී ඉන්නේ එක-එක අන්තවලය.
මට මේ තරම් දේවල් ලියන්නට ලැබෙන්නෙත් මේ විවිධාකාර සත්ත්වයන්ගේ ඇසුර නිසාමය!
ජාති-ජාතිත් මට ඔබලාගේ ඇසුර ලැබේවා!! ජාතිවල ඉපදෙන්නට කලින් ආපහු යමුනෙ, ඔකඳ දෙවොල්
බිමේ පර්වතය උඩට.
“පීරිස් නං කියවලත් ඇති.
කාන්තා විමුක්තිය ගැන කතා කරන අයට ඔකඳ හොඳම ආදර්ශයක්... මටම පුදුමයි ඒ අම්මණ්ඩිලා
මේ කාරණේ ගැන කොහෙදිවත් කතා නොකරන එක ගැන.”
“ඒ මොකද අයියේ?”
පිරිමි දෙවිවරුන්ගේ දේවාලවලට ඉහළින් තමයි මෙහෙ කාන්තා දෙවිවරුන්ගේ දේවාල තියෙන්නේ! |
“මේකයි සුනිල්. මෙතැන
මුරුගන්, ගණේෂ දේවාල දෙකම තියෙන්නේ ගලෙන් පහළ. එව්වාට ඉහළින්; එව්වාට උඩින් තමයි,
මේ ගල් පරුවතේ උඩ මේ දේවාල දෙක තියෙන්නේ.
මේක වල්ලි මාතාවගේ කෝවිල. අරක තේවානි
අම්මගේ....
මේකට කියන්නේ ‘උකාන්ත මලෙයි’. ඉන්දියාවේත් ‘වල්ලි මාලෙයි’ කෝවිල් තියෙන්නේ
මේ වගේ උඩින්ලු!”
“ඇයි නිමල් අයියේ,
ඊශ්වරගේ ඔළුව උඩත් ගෑනු කෙනෙක් තියාගෙන ඉන්නව නේද?”
“ඕක ඔච්චර ගණන් ගන්න
එපා. පිරිමි වැඩි දෙනෙක් ගෑනුන්ව ඔළුව උඩ තියාගෙන තමා ඉන්නේ, එළිපිට නොකිව්වට.”
තුන් වතාවෙම, ඔකඳ ගල
උඩදී අපට මුරුතැන් බත්, හකුරු දමා හැදූ හබල පෙති, පලතුරු වැනිදේ ලැබිණි. දමිළ
බැතිමතුන් ඒවායින් දෙවියන් පුදා, ඉන්පසු අවට සිටින හැමදෙනාටම ඒවා බෙදති.
මේ වතාවේ
මාත්, ජයශංඛත් වාඩිවී හිඳිද්දී ඇට්ටර කොල්ලන් කිහිප දෙනෙකු කියූ දෙයක් මේ දැන්
මතක් විණි. “තව තුන්-හතර ගොල්ලක් පූජාවල් තියනකම් මෙතැන ඉමු. අපිට රෑට උයන්න ඕන
වෙන්නෙ නැහැ මචං!”
අප නම් එහෙම කළේ නැත.
එදා රාත්‍රියට උයා ගත්තෙමු. කුමන වනෝද්‍යානයේම සේවය කරමින් උන් චන්දන දිසානායක
එයාලගෙ නවාතැන් කාමරයක් අපට දීලා වෙනින් කාමරයකට ගිහින් ගජයක් ගැසූ නිසා අතපය දිග
අරගෙන වැඩ කරගන්නට අපට හැකි වුණේය..
අප සැලසුම් කරගෙන ගියේ හැම වේලකටම කෑම උයන්නටය........ |
කාමරය ලැබුණාට අපට
හරිහමන් නින්දක් නම් නිඳාගන්නට ඉඩක් ලැබුණේ නැතිය.
දඩාන්- බඩාං- ටාන්- ටෑං!
චීනයේ දරුවෙකු උපන්නා වගෙය. එහෙ දරුවෙකු ඉපදුණාම ගෙදර තියෙන
හැලි-වළං-පිඟන්-සාස්පාන් වගේ දෙයක් පොළොවේ ගහනවාලු.
තරහකට නොවේ. දරුවාට නමක්
හොයාගන්නටලු. අර දේවල් පොළොවේ වැදෙනකොට ඇහෙන සද්දේ විදිහටලු දරුවාට නම දාන්නේ.
කතාව විශ්වාස නැතිනම් චීනේ කෙනෙකුගෙන්ම- චීන බාසාවෙන්ම අහන්නකෝ!
කවුරුන් වුණත් එහෙම
සද්ද-බද්ද දමමින් නිඳි වරමින් ඉඳලා තිබුණේ යහපත් වැඩකටය. එයාලා කිරිබත් උයලාය.
පහුවදා උදේ කුමන ගේට්ටුව ළඟ සරු කිරිබත් දන්සලක් තිබුණේය. ඒ සැරේ විතරද? මේ
සැරෙත්.....
හැබැයි, මේ වතාවේ නම්
අපේ නින්දට බාධාවක් වුණේ නැත.
එහෙම වුණේ, මේ වතාවේ
පොතුවිල් මුහුදු මහා විහාරයේ අධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු දායක පිරිස කිරිබත්
උයාගෙන, කෑලිත් කපාගෙන, අපූරු ළූණු සම්බෝලයකුත් හදාගෙනම ඇවිත් හිටි නිසාය. පොඩි
වැඩක් හෙම නොවේ. දාහකට-හමාරකට කිරිබත් කෑලි තුන-හතර ගානේ බෙදන්න...... නෙලුම්
කොළවලට.
පොතුවිල් මුහුදු මහා විහාරයේ ලොකු හාමුදුරුවන් හා දායක පිරිස එකතුවී කිරිබත්, ලුණුමිරිස් හදාගෙන........... |
එදා පාද යාත්‍රාවේ
යෙදුණු හැමෝම පාහේ උදේ වේල පිරිමසා ගත්තේ ඒ කිරිබත්වලිනි. හැමෝම කියන්නේ අපටත්
එක්කය!
පළමුවෙනි වතාවේ දන්සලෙන්
කිරිබතුත් අරන් එද්දී අපේ සගයෙකු හිටියේ තරහෙන් පුපුරමිනි.
“ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී
සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන වගන්තිය යටතේද තමුසේ මට පැත්තකට වෙන්න
කියන්නේ? මේක මගේ මානව නිදහස.... තමුසෙට පුළුවන් නම්......”
එයා එහෙමය. තව ඩිංගෙන්
....... ඒවා අනෙක් කොටසෙන්ම කියමු, නේද? අදට ඇතිනෙ.
https://alodreams.com/biblical-meaning-of-bathing-in-a-dream-interpretation.html
ReplyDeletePra Jay,
Deleteලින්ක් එකට ගිහින් බලුවාමයි තේරෙන්නේ ලෝකේ කොහෙත් මිනිස්සු එකම වගෙයි හිතන්නේ!
ලොකා, අර යාලුවාගේ පරම්පරා කුට්ටම ගමනින් පසුත් නිරුපද්‍රිතව තිබෙන්නට ඇතැයි සිතමි.පිරිමි ගෑණුන්ව උඩ තියාගෙන ඉන්නා අතර සමහර ගෑණු වෙන මොකද්දෝ එකක් නළලේ තියාගෙන ඉන්න බව අසා ඇත්තෙමි. ඒ විදිහට ගත්තාම උඩින්ම තියෙන්නේ අහවල් එක නේදැයි සිතේ....ශ්‍රී රාවණ සිද්ධම්!!!!
ReplyDeleteයාලුවා ඒක ඇන්දේ ලොකාට ඇති ඇල්ම කියාපාන්න වෙන්ටැ. (පස්සේ ඒක ගලවද්දි පරම්පරා කූට්ටමත් එකත් එක්කම ගැලවිලා ආවා කිව්වා නේද?)
Deleteදැන් ඉතින් නොකියා හිටපු ටිකකුත් කියන්නම වෙනවා.
Deleteකතාව කියවුණාම මගේ බැණුම්වලින් බේරෙන්න එකා කියපි යස කතාවක්. 'යකෝ, මගේ කුට්ටම කසනකොටයි මට මතක් වුණේ මං ඇඳන් ඉන්නේ තොගේ එක බව'.
ඊට පස්සේ වදේ ගැහුණේ මට.
Api madunagala unu-wathra lin balanna giya wage wadak wela ne.
ReplyDeleteMatath kiribath danyak denna hithuna, eka watina wadak. Xi Jinping Nidita nadu danawa kiwwa Cheeneta apahasa karata.
විජේබාහු මහත්තයෝ, මදුනාගලදී මොකක්ද වුණේ? එහෙ ආරණ්‍ය සේනාසනයටද ගියේ?
Deleteක්සි ජින්පින් නඩු නං දැම්මොත් පරදිනවා, ජම්පින් එකක් දාලා මාරු වෙන් කියලා වන් ට්‍රේනින් ලෙසන් අරන් තියෙන නිසා.
කාන්තා විමුක්තිය විතරක් නෙමෙයි එකෙක්ව බෙදාගෙන දෙන්නා සමගියෙන් ඉන්න එකම මැදෑ
ReplyDeleteබෙදාගෙන සමගියෙන් ඉන්න එක හොඳයිනේ හොරෙන් ඉන්නවට වඩා. එහෙම හිතුනේ හින්දු- ග්‍රීක දේව කතාවල ඉන්න දෙවිවරුන්ගේ කතා ගොඩක තියෙන දේවල් නිසා. මිනිස්සු තව හොඳයි!
DeleteYes, we went to Madunagala monastery for a 'Dane' and someone told us there is a hot water well about 4km in the jungle. There we no trackers, someone just gave us directions, we walked about 3 hours, could not find the hot water well, heard some sounds like wiled elephants near by, and we ran for our lives.
ReplyDeleteගිය කට්ටිය එකම පැත්තකට දුවලා තියෙන බව නම් පේනවා!
Deleteආදර්ශය - ගමනක් යනකොට කට්ටිය එකිනෙකට වෙනස් පාටවල ජොක්කුන් රැගෙන යා යුතුය
ReplyDeleteමහත්තයා බ්‍රෑන්ඩ් name එකකුත් කියනවද?
Delete//ප්‍රශ්නයක් පැන නැඟුණාම ඕනෑවට වඩා පමා නොකර විසඳුම් දෙන්නට ඕනෑය. වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නට ගියාම යන්නට වෙන්නේ හොම්බෙන්ය// මතක තියාගත්තා මේක නිසා ගොඩක් තැන් වලදි කලෙවී ඇත.
ReplyDeleteමධු, ඔයාට නම් ඇත්තටම ඕනේ වෙන කරුණක්ම තමයි.
Delete